වරාය නගර පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 89 කින් සම්මත වෙයි

වරාය නගර පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 89 කින් සම්මත වෙයි

*********************************************

වරාය නගර පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 89 කින් සම්මත වෙයි

(20.05.2021 – 16:43 +0530 – hirunews.lk/sinhala)

වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටූවිමට අදාල පනත් කෙටුම්පත දෙවන (2) වර කියවීම අද (20) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 148 ක් හිමිවූ අතර විපක්ෂව ලැබුනු ඡන්ද සංඛ්‍යාව 59 ක්.

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අනුව අදාල සංශෝධන ඊට එක් කරන බවයි එම පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ වරාය නගරයේ රැකියාවන්වලින් සියයට 75 ක් ශ්‍රී ලාංකිකයන්ට ලබා ගැනීමට අවශ්‍ය රෙගුලාසිද එම පනතට ඇතුලත් කරන බවයි.

වරාය නගර ආර්ථික කොමිෂන් සභාව නීතිගත කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු පනත් කෙටුම්පතේ විධිවිධාන 8 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එහි ඇතැම් වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකට අමතරව ජනමත විචාරණයකින් ජනතා අනුමැතියක්ද ලබා ගත යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණ මතය වී තිබුණේ.

එම ශ්‍රේෂ්ඨාධිකරණ මතය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පෙරේදා (18) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

කෙසේවෙතත්, එම නිවේදනයේ දැක්වුණේ අදාල වගන්ති සංශෝධනය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් අදාල පනත සම්මත කරගත හැකි බවයි.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දී ඇති කරුණුවලට අනුකූලව අවශ්‍ය සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමටයි.

ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන සමයේ 2014 සැප්තෑම්බර් මස 17 වන දා කොළඹ වරාය නගරය සදහා මුල්ගල තැබුනේ චීන ජනාධිපති සී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ වරාය හා ගාළු මුවදොරපිටිය අතර හෙක්ටයාර 233 ක මුහුද ගොඩකිරීමෙන් ඉදිවන එම වරාය නගර ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 15 ක්.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 3000 කට ආසන්නයි.

යහපාලන රජයේ පළමු වසරේ මෙහි වැඩකටයුතු තාවකාලිකව නතර කෙරුණේ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ශක්‍යතා වාර්තාවේ අඩුපාඩු ඇති බව ප්‍රකාශ කරමින්.

නමුත් ආණ්ඩු පෙරළියත් සමඟ එහි වැඩකටයුතු යළි ඇරඹුණා.

ඒ අනුව වත්මන් රජය කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් මස 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ සමඟ එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 19 ක් ගොණු කෙරුණා.

පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ඒ පිළිබඳ මතය පසුගිය 05 දා කතානායකවරයාට භාර දී තිබුණා.

වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටූවිමට අදාල පනත් කෙටුම්පත තුන්වන (3) වර කියවීම සංශෝධන සහිතව අද (20) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 149 ක් හිමිවූ අතර විපක්ෂව ලැබුනු ඡන්ද සංඛ්‍යාව 58 ක්.

පනතේ වගන්ති 20 ක් ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කෙරුණු සංශෝධන සහිතව සම්මත වුණා.

එමෙන්ම මෙම පනතේ වගන්ති 9 ක් සඳහා විපක්ෂයේ යෝජනා ඉදිරිපත් කෙරුණු අතර එම වගන්ති සම්මත කෙරුණේ විපක්ෂයේ යෝජනා පිළිගැනීමකින් තොරවයි.

පනත සම්බන්ධයෙන් සිදු කෙරුණු ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 207 දෙනෙක් ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කළ අතර 16 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් වන අලි සබ්‍රි රහීම් සහ ඉෂාඩ් රහුමාන් පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදී තිබෙනවා.

ඒ අතරින් මුජිබර් රහුමාන් සහ එම් රමේෂ්වරන් යන මන්ත්‍රීවරුන් කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් පාර්ලිමේන්තුවට නොපැමිණි අතර ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා ද අසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ.

අවසන් ඡන්ද විමසීම සඳහා හරීන් ප්‍රනාන්දු, විජේදාස රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ නොසිටි අතර මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම් ඇතුලු මන්ත්‍රීවරුන් 5 දෙනෙක් ද ඡන්දය දීමෙන් වැළකී සිටි බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

******************************************

(20.05.2021 – 19:17 +0530 – hirunews.lk/sinhala)

බර වාහන සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ ද නැද්ද යන්න පරීක්ෂා කර ඉදිරියේදී රියදුරු බලපත්‍ර ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

නව රියදුරු බලපත් සහ රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා වෛද්‍ය සහතික ලබාගැනීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණෙන ‘බර වාහන රියදුරන්’ සඳහායි ප්‍රථම වරට මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ.

එය මුල් වරට හඳුන්වා දීම අද (20) සිදුවූ අතර ඊට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහ ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එක්ව සිටියා ෴

******************************************

(20.05.2021 – 19:51 +0530 – hirunews.lk/sinhala)

නව නීතිපතිවරයා ලෙස වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාව එකඟත්වය පළ කර තිබෙනවා.

ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාවටයි පාර්ලිමේන්තු සභාව මෙලෙස සිය එකඟතාව පළ කර ඇත්තේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තු සභාව රැස්වුණා.

ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ.

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා නැවත පත් කිරීම සඳහා එවා තිබූ නිර්දේශයටද පාර්ලිමේන්තු සභාවේ එකඟතාව හිමිව තිබෙනවා ෴

ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා

******************************************

(20.05.2021 – 19:57 +0530 – hirunews.lk/sinhala)

ලොව වේගයෙන් දියුණු වන කලාපයක හදවතෙහි පිහිටා ඇති කොළඹ වරාය නගරයේ පාර්ශවකරුවෙකු වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියළු ජාතීන්ට ආරාධනා කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ආසියාවේ අනාගතය පිළිබදව 26 වන ජාත්‍යන්තර සමුළුව අමතමින්. ජපානයේ නික්කෙයි පුවත්පත මගින් වාර්ෂිකව සංවිධාන කරන මෙම සමුළුව පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙවර පැවැත්වුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.

කොළඹ වරාය නගරය දකුණු ආසියාවට පිවිසෙන දොරටුවක් බවට පත්වනු ඇති බව සදහන් කළ ජනාධිපතිවරයා, මෙම නවතම සංවර්ධන ක්‍රියාදාමය ජාත්‍යන්තර ව්‍යාපාර සදහා ආකර්ශනීය නව අවස්ථාවක් සපයනු ලබන බව පෙන්වා දුන්නා.

******************************************

කාන්තාවකට ලිංගික හිරිහැර සිදු කළ පුද්ගලයා CIA මැදිහත්වීම මත අත්අඩංගුවට

(20.05.2021 – 21:18 +0530 – hirunews.lk/sinhala)

වේයන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකට බරපතල ලිංගික හිංසන සිදුකොට, මරණ තර්ජන එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

ගම්පහ – දිවුලපිටිය නගරාසන්නයේ පිහිටා ඇති ඔහුගේ නිවස ඊයේ (19) රාත්‍රියේ පොලිසිය වැටලුවේ අදාල කාන්තාව සම්බන්ධයෙන් ‘හිරු සී.අයි.ඒ.’ සිදු කළ දැනුම්දීමක් අනුවයි.

වේයන්ගොඩ – නයිවල ප්‍රදේශයේ පුද්ගලයෙකු 23 හැවිරිදි එක්දරු මවක් වන මෙම කාන්තාවට නිවෙසක ගෘහසේවය සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ අනුව අදාල නිවසට ගිය ඇයට නිවෙස්හිමි පුද්ගලයා බලහත්කාරයෙන් බරපතල ලිංගික හිංසන සිදුකර තිබු බව අප ‘හිරු සී.අයි.ඒ.’ ඔස්සේ රටට හෙළි කළා.

තමාට සිදු වු අසාධාරණය ඇය පොලිසියට හෝ පැමිණිලි නොතිබුනේ ඇයට දිගින් දිගටම පැමිණි මරණ තර්ජන හේතුවෙන්.

අප මෙම කාන්තාව දිවුලපිටිය පොලිසිය වෙත යොමු කළේ ඒ පිළිබද හිරු ප්‍රවෘත්ති හරහා අනාවරණය කිරීමෙන් අනතුරුවයි.

අදාළ කාන්තාවගේ පැමිණිල්ලට අනුව පොලිසිය ඊයේ (19) රාත්‍රියේම සැකකාර කාමාතුරයා සොයා ගියා.

ගම්පහ – දිවුලපිටිය නගර ආසන්නයේ ඇති ඔහුගේ නවාතැනේදීම සැකකරු කොටු කර ගැණුනේ මෙලෙසින්.

තමා කෲර ලිංගික වධහිංසාවලට ලක් වූයේ මෙම නිවසේදී බව ඇය තහවුරු කළා.

අදාල නිවස මෙන්ම පුද්ගලයාව ද පොලිසියේ දැඩි පරීක්ෂාවට ලක් වුණා.

සැකකරු අත්අඩංගුවට ගැණුනු අතර පොලිස් ‘සොකෝ’ කණ්ඩායම යළිත් අද (20) උදෑසන නිවස සෝදිසි කළා.

අදලා කාන්තාවට මෙම නිවස හඳුන්වාදුන් පුද්ගලයාව ද පොලිසිය අත්අඩංගුවට ගත්තා.

තවත් කාන්තාවන් මෙම පුද්ගලයාගේ බලපෑම්වලට හසුවී ඇත්තැයි පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක වන අතර සැකකරුවන් අද (20) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණු ලැබූවා.

@@@@@@@@@@@@@@@@

(20.05.2021 – 16:59 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල පොලිස් ස්ථානයේ කොරෝනා ආසාදිත පොලිස් නිලධාරියෙකු වාර්තා වීමත් සමඟ එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 76 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඒ හේතුවෙන් එම පොලිස් ස්ථානයේ සේවා කටයුතු පවත්වාගෙන යාම සඳහා වෙනත් පොලිස් නිලධාරීන් පිරිසක් යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ ෴

+++++++++++++++++++++++

(20.05.2021 – 17:11 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් අසාදිතයින් 1,165 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ මුළු සංඛ්‍යාව 123,532 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2780 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 154,123 ක් දක්වා ඉහළ යනවා ෴

++++++++++++++++++++++

(20.05.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත් ලබාගැනීමට පෙර පිරවිය යුතු අයදුම්පත්‍ර මතුගම ප්‍රදේශයේ වෙළඳසැල් දෙකකින් (2) අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ අයදුම්පත්‍රයක් රුපියල් විස්සකට (20/-) එම ව්‍යාපාරිකයින් විසින් අලෙවි කර ඇති බවටයි වාර්තාවන්නේ.

මතුගම ප්‍රදේශයේ වසම්වල පදිංචිකරුවන්ට සහ රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයට එන්නත් ලබාගැනීමට හැකිවන පරිදි සෞඛ්‍ය අංශ වෙන් වෙන් වශයෙන් මීට පෙර දැනුවත් කර තිබුණා.

එමෙන්ම ඊට අවශ්‍ය අයදුම්පත්‍රද ඔවුන්ට සීමාසහිතව ලබාදීමටයි පියවර ගෙන තිබුණේ.

කෙසේ වෙතත් අද (20) දින එන්නත් ලබාදීමට සූදානම් වූ අවස්ථාවේ සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති අයදුම්පත්‍රවලට වඩා වැඩි සංඛ්‍යාවක් සහිතව පුද්ගලයින් රැඳී සිටීම හේතුවෙන් ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ වෙත සැක මතුවී තිබෙනවා.

ඒ අනුවයි සිදුකළ විමර්ශනවලදී අනාවරණ වූණේ අදාළ වෙළඳසැල් මගින් අයදුම්පත්‍ර අලෙවිකර ඇති බවයි.

මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව මුදලට ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණ කළා.

එහෙත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ මුදල් ලබාදී එන්නත් මිලදී ගැනීම සිදු නොකරන ලෙසට තමන් ජනතාවට දැනුම් දෙන බවයි ෴

++++++++++++++++++

(20.05.2021 – 20:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතයේ බරපතල තත්වය හමුවේ වහා රට දින 14 කට අගුළු දැමිය යුතු බව කොරෝනා වසංගතයට හේතුවෙන සාර්ස් වෛරසය පිළිබඳව ගවේෂණ කාර්යයක නිරතවූ මහාචාර්ය මලික් පීරිස් මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශිකාවක වන මහාචාර්ය කාමිණී මෙන්ඩිස් මහත්මිය ඉල්ලා තිබෙනවා.

විද්‍යාත්මක හැදෑරීමකින් පසු දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරමින් මහාචාර්ය මලික් පීරිස් මහතා සහ මහාචාර්ය කාමණී මෙන්ඩිස් මහත්මිය සඳහන් කළේ කඩින් කඩ සංචරණ සීමා දැමීම, පළාත් සංචරණ සීමා, ග්‍රාම සේවා වසම් හුදෙකලා කිරීම හෝ හැඳුනුම්පතේ අවසාන අංක පිළිවෙලට ගමන් කිරීමෙන් පවතින අර්බුදයේ බරපතල බව ඉවත් කිරීමට හේතු නොවනු ඇති බවයි.

එසේම ප්‍රජා වෛද්‍ය විශේෂඥවරියක් ලෙස තමාගේ මතය, රට සති දෙකකට (2) වසා දැමීම බවයි රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (20) ප්‍රකාශ කළේ.

(20.05.2021 – 21:20 +0530 – hirunews.lk/sinhala)

තුල්හිරිය ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 400 දෙනෙකුට එකවර කොරෝනා වැළඳීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකරන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අදාළ කර්මාන්තශාලාවේ නියමිත පරිදි සෞඛ්‍ය කමිටු පිහිටුවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළේද නැද්ද යන්න පිළිබඳව විමර්ශනය කරන ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම දැනට ක්‍රියාත්මක පෞද්ගලික කර්මාන්තශාලාවල සහ සේවා ස්ථානවල අදාළ සෞඛ්‍ය කමිටු සක්‍රිය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද විෂයභාර අමාත්‍යවරයා ආයතන ප්‍රධානීන් හා වෘත්තිය සමිති නායකයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර බණ්ඩාරගම ඇඟළුම් කර්මාන්තශාලාවකින් එක්වර කොරෝනා ආසාදිතයන් 150 දෙනෙකු වාර්තාවී ඇත්තේ සිදුකළ කොරෝනා පරීක්ෂාවකදියි. ඒ අනුව අදාළ කර්මාන්තශාලාවද තාවකාලිකව වසාදැමීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ.

ඊයේ (19) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ 36 න් මරණ 6 ක් සිදුව ඇත්තේ නිවෙස් තුළ වීම විශේෂත්වයක්. එම මරණවලට කොවිඩ් නියුමෝනියාව ද හේතු වී තිබෙනවා. එසේම තවත් මරණයක් වාර්තා වී ඇත්තේ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදියි ෴

++++++++++++++++++++++++

(20.05.2021 – 22:07 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් ආසාදිතයින් 661 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද (20) මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 3441 ක්.

මේ අතර, තවත් කොවිඩ් අසාදිතයින් 1,165 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.

මේ දක්වා සුවය ලැබූ මුළු සංඛ්‍යාව 123,532 ක් ලෙසයි දැක්වෙන්නේ.

මෙරටින් කොරෝනා මරණ 1051 ක්ද වාර්තා වුනා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *