පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවිමයි – මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවිමයි – මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර

*********************************************

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවිමයි – මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර

(19.05.2021 – 11:54 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි බවට ඇමරිකාවේ එෆ්.බී.අයි. ආයතනය ද තහවුරු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට තම ධුර කාලය තුළ නඩු පැවරීමට හැකියාවක් නොමැති බවට නීතිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

නීතිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් අනතුරුව ඒ පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙසට අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම්දෙනු ලැබුවා.

අද (19) ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා, පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අතර, ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, රාවුෆ් හකීම් සහ අමාත්‍ය අලි සබ්රිද මැදිහත්වුණා.

******************************************

(19.05.2021 – 11:17 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට අද (19) උදෑසන විරෝධතාවක නිරතවුණා.

‘පෝට් සිටි පනත සම්මත කිරීමට සහය නොදෙමු’ යනුවෙන් විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් මොවුන් උද්ඝෝෂණයේ නිරත වූ බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මෙම විරෝධතාවට ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ ඇතුලු තවත් පිරිසක් එක්ව සිටියා.

එහිදී පොලීසිය සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ දුරස්ථභාවය රඳවා ගන්නා ලෙසට විරෝධතාකරුවන්ට දැනුම්දීමත් සමඟ පොලිසිය සහ ඔවුන් අතර සංවාදාත්මක තත්ත්වයක් ඇතිවුණා.

පසුව ඔවුන් දුරස්ථභාවය රඳවාගනිමින් විරෝධතාවයේ නිරත වූ අතර, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් හේරත් ඇතුලු නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.

මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමද අද (19) පස්වරුවේ කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතයි ෴

******************************************

(19.05.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

අඩු මුදලට නවීන ස්මාර්ට් ජංගම දුරකථන දෙන බව පවසා පාරිභෝගිකයන්ගේ රුපියල් ලක්ෂ 1200 කට අධික මුදලක් වංචා කළ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු (2) කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ දැන්වීම් හරහා පවත්වාගෙන ගිය මෙම ජාවාරම ‘හිරු CIA’ හරහා අප පසුගියදා තොරතුරු වාර්තා කළා.

මේ වනවිටත් මෙම වංචාවට හසුවූ 300 කට වැඩි පිරිසක් කොල්ලුපිටිය පොලිසියේ පැමිණිලි ගොනුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ මේ වනවිට ලැබී ඇති පැමිණිලි අනුව ලක්ෂ 1200 කට වැඩි මුදලක් මෙම පුද්ගලයන් විසින් වංචා කර ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවයි.

කොල්ලුපිටිය පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරන අතර අදාළ වංචාකරුට හසුවූ මෙතෙක් පැමිණිලි ඉදිරිපත් නොකළ යම් කෙනෙකු වේ නම් කොල්ලුපිටිය පොලිසියට පැමිණ වහාම පැමිණිලි කරන ලෙසත් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙම වංචාව සම්බන්ධයෙන් ‘හිරු CIA’ පසුගිය අප්‍රේල් මස 07 වනදා සිදුකළ අනාවරණය පහතින්.

******************************************

(19.05.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

මැයි 21 සිට නැවත දැනුම් දෙනතුරු ඊසානදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

ඒ, එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ලබන 23 වනදා වනවිට අඩු පීඩන තත්වයක් වර්ධනය වීමට ඇති හැකියාව හේතුවෙන්.

එමෙන්ම මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවිය හැකි අතර, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 ත් 55 ත් දක්වා ඉහළ යා හැකි බවද සඳහන්.

මේ අතර ඉදිරි දින කිහිපයේ දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩිවීමක් හා උතුර සහ වයඹ පළාත්වල සුළං තත්වයේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළා ෴

@@@@@@@@@@@@@@@@

(19.05.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා හේතුවෙන් ලබන 21 වනදා සිට 24 වනදා දක්වාත්, යලි 26 වනදා සිට 28 වනදා දක්වාත් සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා තැබීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ලබන 25 වනදා පෙරවරු හතරට (04:00) සියලුම ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළඳපොල විවෘත කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

එදින අවශ්‍ය එළවළු සහ පළතුරු ආර්ථික මධ්‍යස්ථාන කරා රැගෙන යාමට සියලුම ලොරි රථවලට අවසර පත්‍ර දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාදීමට කටයුතු කෙරෙනවා.

ලබන 25 වන දින උදෑසන අට (08:00) වනවිට සිය ප්‍රදේශවල පිහිටි සිල්ලර වෙළඳසැල්වලට සහ ජංගම වෙළඳුන් මගින් එළවළු සහ පළතුරු ලබාගැනීමට හැකිවන පරිදි ආර්ථික මධ්‍යස්ථාන මගින් බෙදාහැරීම සිදුකිරීමටයි සැළසුම් කර ඇත්තේ.

ලබන 21 වන දින සංචරණ සීමා පැනවීමට පෙර තොග, ජංගම, සිල්ලර වෙළන්දන් සහ ගොවීන් අදාළ අවසර පත්‍ර ලබාගත යුතු වනවා ෴

+++++++++++++++++++++++

(19.05.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා නියුමෝනියා තත්ත්වයට පත්වූ රෝගීන් 1000 කට වැඩි පිරිසක් මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළා.

මේ අතර තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවකින් මේ දක්වා කොරෝනා ආසාදිතයින් 400 ක් හමුවී ඇති බවයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.

ඊයේ (18) දිනයේ මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 2,518 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් එනම් 391 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා. දෙවනුවට වැඩිම ආසාදිතයන් වාර්තාවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 350 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 333 දෙනෙකු හඳුනා ගැණුනා.

එමෙන්ම දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස අතරින් වැඩිම ආසාදිත සංඛ්‍යාවක් එනම්, ආසාදිතයන් 255 දෙනෙකු වාර්තාවී ඇත්තේ පානදුර දකුණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයෙන්.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ද ඊයේ (18) ආසාදිතයන් 159 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඉන් වැඩි පිරිසක් තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවෙන් හඳුනා ගත් ආසාදිතයින් බව සදහන්.

මේ දක්වා අදාළ කර්මාන්තශාලාවෙන් ආසාදිතයන් 400 දෙනෙකු පමණ හදුනාගෙන ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා කියා සිටියා.

මේ අතර ඊයේ (18) දිනයේ තවත් 5,229 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීමත් සමඟ එම එන්නතේ මාත්‍රා දෙකම (2) ලබාගත් සංඛ්‍යාව 2,97,686 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ඊයේ (18) දිනයේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 33,017 දෙනෙකුට ලබාදී ඇති අතර, ඒ අනුව මේ දක්වා එම එන්නතේ පළමු මාත්‍රාව හාරලක්ෂ 57,840 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ඊයේ (18) දිනයේ තවත් 17 දෙනෙකුට ලබාදීමත් සමඟ එම එන්නතේ පළමු මාත්‍රාව මේ දක්වා ලබාදී ඇති සංඛ්‍යාව 14,917 ක්.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොරෝනා එන්නත් තුළින් ඇති වන ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ එන්නත ලබාගැනීමෙන් පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බවයි.

එන්නත් ලබාගැනීමෙන් සිදුවන්නේ කොරෝනා වෛරසය වැළඳීමේ ඉඩප්‍රස්ථා අවම කිරීමක් පමණක් බවද එහිදී ඔවුන් අවධාරණය කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කියා සිටියේ මේ වනවිට ලංකාව තුළ පවතින සීග්‍ර ව්‍යාප්තියක් සහිත බ්‍රිතාන්‍ය ප්‍රභේදයට අමතරව සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ප්‍රභේදය ද සමාජය තුළ ඇත්දැයි නිරන්තර අවධානයෙන් පසුවන බවයි ෴

+++++++++++++++++++++++

(19.05.2021 – 13:53 +0530 – hirunews.lk/sinhala)

මීට දින තුනකට (3) පෙර වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහ මග දමාගොස් සිටි මහලු යුවළකට සිදුකළ කොවිඩ් පරීක්ෂණවලදී ඔවුන් දෙදෙනාටම කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

සෞඛ්‍ය අංශ මැදිහත්ව ගිලන් රථවලින් ඔවුන් දෙදෙනා IDH රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.

මෙම වයෝවෘද යුවලගේ දසුන මීට දින තුනකට පමණ පෙර නෙත ගැටෙන්නේ කොළඹ වැල්ලම්පිටිය නගරයේ මාර්ගයක් අභියස.

කඩපිලක් අසළ අසරණව වැතිර සිටි මෙම යුවල ඉංගිරිය පදිංචිකරුවන් බවයි පොලිසිය පසුව කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ.

කාත් කවුරුවත් නොමැතිව කුසගින්නේ කල්ගෙවූ මේ දෙදෙනා (2) නාවා පිරිසිදු කර ඔවුන්ගේ කුස පුරවන්නට කටයුතු කළේ ඒ අවට සිටි හදවත් ඇති පිරිසක් විසින්.

කෙසේ වෙතත් මේ දෙදෙනාගේ (2) සෞඛ්‍ය තත්වය දිනෙන් දින ක්ෂයවෙද්දී ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් ඔවුන් IDH රෝහල වෙත රැගෙනගියා.

කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඉතිරී අතිශය කාර්යබහුල තත්වයක ඇති IDH රෝහල මේ අසරණ මා පිය යුවල අත්හැර දැමුවේ නෑ.

ඔවුන් සම්බන්ධයෙන් ප්‍රතිකාර කටයුතු ආරම්භ කළ අතරම කොවිඩ්-19 වැළඳී ඇත්දැයි සොයාබැලීම සඳහා PCR පරීක්ෂණයකටත් යොමුකෙරුණා.

ඉන් තහවුරු වී ඇත්තේ මේ දෙදෙනාටම කොවිඩ්-19 වැළඳී ඇති බවයි.

නිසි ප්‍රතිකාර නොමැතිව රෝගී තත්වයේ සිටි මේ දෙදෙනාගේ (2) තත්වය අතිශය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර මෙම වයෝවෘද යුවල නාවා කවා පොවා උපකාර කිරීමට ඉදිරිපත් වූ කරුණා සිත් ඇති කිහිපදෙනා සොයා ඔවුන් නිරෝධායනය කිරීමටත් ගොතටුව සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේ මේ දෙපලට කොවිඩ්-19 වැළඳී ඇති බව තහවුරු වීමෙන් අනතුරුවයි.

++++++++++++++++++++++

(19.05.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින කොරෝනා වසංගත තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මේ වනවිට විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා.

+++++++++++++++++++++

(19.05.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 9 ක් ජූනි මාසය වනවිට මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ සඳහා රජය අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 2,60,915 කට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව සහ දෙවන (2) මාත්‍රාව 9,826 කට ලබාදී තිබෙනවා ෴

++++++++++++++++++++++

ප්‍රථමයෙන් ඇස්ට්‍රා සෙනෙකා ගෙන දෙවනුව සයිනොෆාම් ගන්න එපා !

(19.05.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු (1) මාත්‍රාව ලෙස ලබාගත් අයෙකු දෙවන (2) මාත්‍රාව ලෙස සයිනොෆාම් එන්නත ලබා ගැනීම සුදුසු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආර්නෝල්ඩ් මහතා පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (19) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

මේ අතර, එම මාධ්‍ය හමුවට එක්වෙමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ තෙවන (3) කොරෝනා රැල්ලෙන් මේ වන විට ගර්භනී මාතාවන් 5 දෙනෙකු කොරෝනා ආසාදිතව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එමෙන්ම, ගැබිණි මව්වරුන්ට ද කොරෝනා එන්නත ලබාදීම සුදුසු බවට ප්‍රතිශක්තීකරණය පිළිබද උපදේශක කමිටුව විසින් තීරණය කර ඇති බව ද ඇය ප්‍රකාශ කළා.

ඔවුන්ට එන්නත ලබාදෙන ක්‍රමවේදය තීරණය කිරීම සඳහා කමිටුවක් ද පත් කිරීමට පියවර ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියේ. එමෙන්ම කිරි දෙන මව්වරුන් සඳහා ද කොරෝනා එන්නත් ලබා ගැනීම ගැටළුවක් නොවන බවද ඇය වැඩ්දුරටත් සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *