නැගෙනහිර එල්.ටී.ටී.ඊ. සැමරුම් සිදුකළ 10 ක් අත්අඩංගුවට

නැගෙනහිර එල්.ටී.ටී.ඊ. සැමරුම් සිදුකළ 10 ක් අත්අඩංගුවට

*********************************************

නැගෙනහිර එල්.ටී.ටී.ඊ. සැමරුම් සිදුකළ 10 ක් අත්අඩංගුවට

(18.05.2021 – 17:01 +0530 – hirunews.lk/sinhala)

විජයග්‍රහණයේ 12 වන සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල – ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියස දී හෙට (19) පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. ඒ,සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අඩු පිරිසකගේ සහභාගීත්වයෙන්.

ඊට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් 452 කුට සහ සෙසු නිලයන් 4,289 දෙනෙකුට ජනාධිපතිවරයා විසින් උසස්වීම් ලබාදී තිබෙනවා.

ජනාපතිවරයාගේ උපදෙස් මත එලෙස උසස්වීම් ලැබූ පිරිසට බ්‍රිගේඩියර්වරුන් 12 දෙනෙකු, කර්නල්වරු 37 දෙනෙකු සහ ලුතිනන් කර්නල් 39 දෙනෙකු ද වන බවයි හමුදා මාධ්‍ය ඒකකය කියා සිටියේ.

මේ අතර, යුද්ධයේදී එරෙහිවූ අයුරින් රටට, ජාතියට ද්‍රෝහි බලවේග, කොරෝනා වසංගතයට එරෙහිව ත්‍රිවිධ හමුදාව යෙදවීමට විරෝධය පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) ප්‍රකාශ කළා.

ඒ, විජයග්‍රහණයේ 12 වන සැමරුම වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.

මේ අතර, මඩකලපුව – කල්කුඩා ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ. සැමරුමක් සිදුකිරීමට උත්සාහ කිරීමට අදාළව පුද්ගලයන් දස දෙනෙකු (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැමරුම සංවිධාන කළ කණ්ඩායමේ ප්‍රධානියා අද (18) දහවල් අත්අඩංගුවට ගත් අතර, ඊට සම්බන්ධ අනෙක් 9 දෙනා පස්වරුවේ අත්අඩංගුවට ගැනුණේ කිරාන් වෙරළ තීරයේදීයි.

ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු (2) ද සිටිනවා.

සමාජ මාධ්‍යයට ඔවුන් සූදානම් කළ සැමරුම පිළිබඳ විඩියෝවක් ද එක් කර තිබූ අතර ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයෙන් අනතුරුවයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එමෙන්ම, කිලිනොච්චිය, මුලතිව්, යාපනය, මන්නාරම සහ තවත් ස්ථාන කිහිපයක පහන් දල්වා සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක වී තිබුණා.

කෙසේ වෙතත්, මුලතිව් ප්‍රදේශය හුදෙකලා කර ඇති බැවින් අවසන් සටන දියත් වූ වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සැමරුම් අද (18) දිනයේ පවත්වා නැහැ.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෑම නිවසකම පස්වරුවේ පහන් දැල්වීම සිදුකරන ලෙසටයි උතුරේ ආගමික නායකයින් සහ දේශපාලන නියෝජිතයින් එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ.

කෙසේ වෙතත්, නන්දිකඩාල් ප්‍රදේශයේදී අද (18) පහන් දැල්වීම සිදුකළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්ගෙන් යාපනය පොලීසිය අද (18) පස්වරුවේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් දමිල ජනතා පක්ෂයේ යාපනය කාර්යාලයේදී අද (18) පහන් දල්වා මිය ගිය පිරිස් සිහිකර තිබෙනවා ෴

******************************************

(18.05.2021 – 17:03 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද (18) පාර්ලිමේන්තුව වෙත රැගෙන ආවා.

මේ අතර තමන්ව මුදා හරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්ව තමන්ව අත්අඩංගුට ගැනීම හරහා සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් තමන්ව ඕනෑම කොන්දේසියක් මත මුදා හරින ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

******************************************

(18.05.2021 – 17:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් සඳහා යෝග්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මරණයකදී රුපියල් 600,000 ක හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීමේදී රුපියල් 400,000 ක උපරිමයකට යටත්ව වන්දි ගෙවිමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදෙස් ශ්‍රමික රක්ෂණ ආවරණයක් සලසා දී තිබෙනවා.

නමුත් විගමනික ශ්‍රමිකයින්ට වැඩ බිම්වලදී සිදුවන කාර්මික සහා ගෘහස්ත අනතුරු, විවිධ රෝගාබාධ මෙන්ම හාම්පුතුන්ගෙන් සිදුවන පීඩාවන් සහ හිරිහැර හේතුවෙන් ඇතිවන මානසික සහ සෞඛ්‍ය ගැටලු සඳහා කිසිදු ආවරණයක් එමගින් නොලැබෙන බවයි කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කල යෝජනාවේ සඳහන් වන්නේ ෴

******************************************

(18.05.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ලබා ගැනීම සදහා නුවරඑළියේ ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට අද (18) උදෑසන සිට රැඳී සිටියද ඉල්ලුමට සරිලන හෝ වගාවට අවශ්‍ය පොහොර නොලැබුණු බවට එළවළු ගොවීන් චෝදනා කරනවා.

ඔවුන් කියා සිටියේ නිකුත් කළ රසායනික පොහොර එළවළු සඳහා නොව වී වගාව සඳහා භාවිත කරන පොහොර වර්ග බවයි ෴

******************************************

(18.05.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇති කරුණුවලට අනුකූලව අවශ්‍ය සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට අද (18) පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇති කරුණුවලට අනුව අවශ්‍ය සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති අතර, පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය හෙට (19) සහ අනිද්දා (20) පැවැත්වීමට නියමිතයි.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බවටත් ඒවා සංශෝධනය කරන ලෙසටත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබූ තීන්දුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද (18) දැනුම් දුන්නා.

ඒ අනුව ඇතැම් වගන්ති සම්මත කිරීම සඳහා විශේෂ බහුතරයක් අවශ්‍ය බවත්, තවත් වගන්ති කිහිපයක් සම්මත කිරීම සඳහා විශේෂ බහුතරයකට අමතරව ජනමත විචාරණයක්ද අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවයි කථානායකවරයා කියා සිටියේ.

මෙම පනත් කෙටුම්පතේ වගන්ති 8 ක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අනුව පනත් කෙටුම්පතේ වගන්ති සහ උපවගන්තිවල ඇතුළත් විධිවිධාන 15 ක් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු වනවා.

එමෙන්ම කෙටුම්පතේ වගන්ති සහ උපවගන්තිවල ඇතුළත් විධිවිධාන 9 ක් ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සඳහන් ලියවිල්ලෙහි තවත් කරුණු රැසක් දක්වා තිබෙනවා.

ව්‍යවස්ථාවට අනුකූල නොවන වගන්ති අනුකූල කරගත හැකි ආකාරය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ලබාදී තිබූ සංශෝධන ද ඊට ඇතුළත්.

ඊට අමතරව තවදුරටත් සංශෝධනය කරගත යුතු වගන්ති පිළිබඳවද එහි දක්වා ඇති අතර, ඒවාට අදාළ නිර්දේශද ඉදිරිපත් කර තිබෙනවා.

උදාහරණයක් ලෙස කොළඹ වරාය නගරය නැරඹීමට යාමේදී ගාස්තු අය කිරීමක් නොමැති බවට සඳහන් කළද පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවල සටහන් වන්නේ එලෙස ගාස්තුවක් අය කිරීමට හැකියාව ඇති බවයි.

එලෙස ඇති වගන්ති ඉවත් කිරීමට කටයුතු කරන බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම්දී තිබුණත්, තවදුරටත් පනත් කෙටුම්පත සළකා බැලීමේදී වෙනත් වගන්තියක් යටතේ යළි ගාස්තු අයකිරීමට හැකියාව පවතින බවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇත්තේ.

ඒ අනුව පනත් කෙටුම්පත සරළ බහුතරයකින් සම්මත වීමට නම් අදාළ සංශෝධන සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබෙනවා.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ මතය ප්‍රකාශ කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක දෙකේ (2) දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් පනත් කෙටුම්පත හා එහි වපසරිය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විශේෂ පැහැදිළි කිරීමක් සිදුකළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කොටුම්පත සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ද අද (18) මෙලෙස අදහස් පළ කළා :

+++++++++++++

‘පෝට් සිටි’ය චීනයට දීමෙන් ලෝක බලවතුන් හතුරන් වීම තුල අනාගත පරපුර අනාරක්ෂිතයි – ආචාර්ය විජේදාස රාජපක්ෂ

https://www.youtube.com/watch?v=FO_vKLCvw44
19-05-2021

******************************************

(18.05.2021 – 20:22 +0530 – hirunews.lk/sinhala)

අද මැයි 18 වැනිදා.

මීට දොළොස් (12) වසරකට පෙර කුරිරු කොටි ත්‍රස්තවාදය මව් බිමින් සඳහටම අතුගා දමන්නට වීරෝදාර රණවිරුවන් සමත් වුණේ අද (මැයි 18) වැනි දිනකයි.

මේ ඒ වෙනුවෙන් හිරු ප්‍රවෘත්ති තබව ප්‍රණාම පූර්ණ සටහනයි.

1975 ජුලි 27 යාපනය පොන්නාලෛ ප්‍රදේශයේ වර්ධරාජා පෙරුමාල් මහා විශ්ණු කෝවිල ඉදිරිපිටදී ඇසුණු වෙඩි
හඩත් සමඟ කොටි ත්‍රස්තවාදීන් සිය ඝාතන රැල්ල ඇරඹුවා.

ඔවුන්ගේ ගොදුර බවට පත්වුණේ එවක යාපනය නගරාධිති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතායි.

1983 ජූලි 23 යාපනය තිරුනෙල්වේලි ප්‍රදේශයේදී යුද හමුදා ට්‍රක් රථයක් පුපුරුවා හරිමින් හමුදා ජීවිත13 ක් බිලිගත් කොටි සංවිධානය මෙරට හමුදාවට එරෙහිව සිය ඝාතන සංස්කෘතිය ආරම්භ කළා.

ඉන් පසුව වසර ගණනාවක් පුරා ඔවුන් සිය ලේ පිපාසය සංසිඳුවාගත්තේ සිය දහස් ගණනකගේ ජීවත්වීමේ අයිතිය උදුරා ගනිමින්.

ජය ශ්‍රී මහා බෝධිය, ශ්‍රී දළදා මාළිගාව වැනි පුණ්‍ය භූමි පමණක් නොව ශ්‍රී ලංකා මහ බැංකුව, කටුනායක ගුවන් තොටුපොළ වැනි ආර්ථික මර්මස්ථාන ඔවුන්ගේ ඉලක්ක බවට පත්වුණා.

1990 වසරේ ඇරඹෙන දෙවන (2) ඊළාම් යුද්ධය අවසන් වන්නේ 1993 වසරේදීයි.

එම තුන් (3) වසර තුළ මෙරට කීර්තිමත් රණවිරුවන් වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, මොහාන් ජයමහ ඇතුළු රණවිරුවන් විශාල පිරිසක් මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදුවා.

2002 වසරේ සිට සිව් (4) වසරක කාලයක් තුළ සටන් විරාම ගිවිසුමක් අත්සන් කරමින් පැවති එක්සත් ජාතික පක්ෂ රජය සාම සාකච්ඡා වට කිහිපයක් ඔස්සේ යුද්ධයට වෙනත් විසඳුමක් ලබාදීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ.

එම කාලය අතරතුර පවා හිටපු විදේශ අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් වැනි දේශමාමක චරිත සදහටම නිහඬ කරමින් කොටි ත්‍රස්තවාදීන් ප්‍රදර්ශනය කළේ සිය සිත් පිත් නැති ලේ පිපාසයේ තරම මිස අන් කිසිවක් නොවේ.

තවත් දේශපාලන චරිත රැසක්ම කොටි ත්‍රස්තයින්ගේ ඉලක්ක බවට පත්වුණා.

12 වන විජයග්‍රාහි සැමරුමට සමගාමීව නාවික හමුදාවේ නිලධාරීන් 64 ක් ඇතුළු නාවික භටයින් 1,968 කට උසස්වීම් ලබා දී තිබෙනවා ෴

(19.05.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

රණවිරු ජයග්‍රහණයේ 12 වන සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල – ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියස දී අද (19) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ඒ, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන්. ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්වීමට නියමිතයි.

මීට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් 452 කුට සහ සෙසු නිලයන් 4,289 දෙනෙකුට ජනාධිපතිවරයා විසින් ඊයේ (18) උසස්වීම් ද ලබාදුන්නා ෴

******************************************

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන කොළඹ අගරදගුරු පදවියෙන් නිවේදනයක්

(18.05.2021 – 19:25 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාර මාලාවේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය හරහා එහි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුවන බව කොළඹ අගරදගුරු පදවියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් පවසයි.

අද (18) පෙරවරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කළේය.

කෙසේවෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අගරදගුරු පදවිය ලෙස ගත යුතු ඉදිරි පියවර මේ වනවිටත් ගනිමින් සිටින බව කොළඹ අගරදගුරු පදවියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් පැවසුවේය.

“මේ ප්‍රහාරය සිදුවෙලා දැන් අවුරුදු 2 ක් ගතවෙලා. ඒ වසර 2 පුරාවටම මේ විමර්ශන කටයුතු සිදුවුණා කියලා තමයි අපි විශ්වාස කළෙත් අපි බලාපොරොත්තු වුණෙත්. නමුත් දැන් කරන ප්‍රකාශයේ දී එක්තරා විදිහකට අසරණ තත්ත්වයකට පත්වුණා වගේද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ මූලික වගකීම දරන කෙනෙක් මේ විදිහේ ප්‍රකාශයක් කළාම අපිට ඇති වෙනවා ප්‍රශ්නයක්. ඒ වගේම මේක කණ්ඩායමක් එකතු වෙලා කරපු කුමන්ත්‍රණයක් කියලා තවත් ප්‍රකාශයක් පළවුණා. කාදිනල් හිමියන් මේ පිළිබඳ කියපු දේ තමයි ‘අපි මේ පිළිබඳව අවධානයෙන් සිටිනවා. ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා’ කියන එක.”

@@@@@@@@@@@@@@@@

(18.05.2021 – 17:44 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ ඇතිවී තිබෙන කොවිඩ් වසංගත තත්වය හමුවේ දිවයින පුරා ඇති රෝහල් සහ අතර මැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ ලබා දීමේ වැඩසටහනක් අද (18) ක්‍රියාත්මක වුණා.

ඒ අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රදානත්වයෙන්.

මේ සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ දායකත්වයද ලැබී තිබෙනවා.

මෙහිදී ආරක්ෂක ඇදුම් කට්ටල, මුව ආවරණ ඇතුළු සෞඛ්‍ය උපකරණ රැසක් බෙදා දීම සිදුවුණා.

මෙම අවස්ථාවට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය W.K. වික්‍රමසිංහ මහතා, අධිකරණ අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා ෴

++++++++++++++++++++++++

(18.05.2021 – 17:59 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් අසාදිතයින් 1,516 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ මුළු සංඛ්‍යාව 121,145 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා ෴

අද (18) දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 1734 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතර, අදත් (18) ආසාදිතයන් 1516 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 1,21,145 දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++++++++

(18.05.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

ආසාදිතයින් 1200 කට එකවර ප්‍රතිකාර කිරීම සඳහා සකස් කෙරුණු ‘සීදුව අතරමැදි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය’ අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.

ප්‍රායෝගිකව නිවෙස්වල ප්‍රතිකාර දිය නොහැකි එහෙත් බරපතල රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින්ට මෙහි ප්‍රතිකාර කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

බ්‍රැන්ඩික්ස් ආයතනය ලබාදුන් ගොඩනැගිල්ලක මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති අතර, යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකය එක්ව දින 10 ක් තුළ දී මෙහි ඉදිකිරීම් සිදුකර තිබෙනවා.

+++++++++++++++++++++++

(18.05.2021 – 19:44 +0530 – hirunews.lk/sinhala)

කර්මාන්තශාලා ආශ්‍රිතව යළිත් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාවන බවට සෞඛ්‍ය අංශ පවසනවා.

කෙසේ වෙතත් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ආසාදිතයන්ගේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා කියා සිටියේ.

පානදුර ප්‍රදේශයේ ඇඟළුම් කම්හලකින් කොරෝනා ආසාදිතයන් 450 දෙනෙකු මේ දක්වා වාර්තාවී තිබෙනවා.

ඒ, එම කර්මාන්තශාලාවේ සේවය කරන 2,500 කුට සිදුකළ කොරෝනා පරීක්ෂණවලදියි. ඒ හේතුවෙන් අදාළ කර්මාන්තශාලාව වසා දැමීමට උපදෙස් ලබාදුන් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

මේ අතර කුරුණෑගල – බෝයගනේ ප්‍රදේශයේ ඇඟළුම් කම්හලකින්ද ආසාදිතයන් 18 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඊයේ (17) දිනයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 60 දෙනෙකු වාර්තාවී තිබූ අතර, ඉන් 28 දෙනෙකුම කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තාවී තිබුණා.

මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන් සඳහා වෙන් කළ වාට්ටු සියල්ල පිරී ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර මුලතිව් දිස්ත්‍රික්කයෙන් ඊයේ (17) වාර්තාවූ ආසාදිතයන් 255 න් ආසාදිතයන් 254 දෙනෙකුම පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබූ අතර, ඉන් බහුතරය එම ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සිදුකළ අහඹු කොරෝනා පරීක්ෂාවකදී හඳුනාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම මධ්‍යම පළාතෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 14,486 දෙනෙකු වාර්තාවී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය මහතා ප්‍රකාශ කළා. ඉන් 7,896 දෙනෙකුම වාර්තාවන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.

මේ අතර, කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවලට අමතරව දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා සඳහන් කළේ තදාසන්න ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ මේ වනවිට රතු කලාප බවට පත්ව ඇති බවයි.

මේ අතර කළුතර – නාගොඩ මහ රෝහලෙන් පලාගිය කොරෝනා ආසාදිත රෝගියෙකු බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බේරුවල පරණ කඩේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදියි. 21 හැවිරිදි අදාළ තරුණයා යළි ප්‍රතිකාර සඳහා නාගොඩ මහ රෝහලට රැගෙන ගියා.

එමෙන්ම කොරෝනා ආසාදිතව අම්පාර – දමන ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන මව සමඟ සිටින අවුරුද්දක් වයසැති බිළිඳෙකුගේ අදට (18) යෙදුණු උපන් දිනය සැමරීමට වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කටයුතු කිරීමේ පුවතක්ද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 744 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (18) දිනයේ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 2478 ක් ලෙසටයි ෴

++++++++++++++++++++++

(18.05.2021 – 23:01 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1015 ක් දක්වා ඉහළ ගියා. ඒ තවත් මරණ 34 ක් වාර්තා වීමත් සමගයි.

++++++++++++++++++++

(19.05.2021 – 06:05 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයන් 340 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

විදේශ අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව, ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ලාංකිකයන් 19 දෙනෙකු සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් 16 දෙනෙකු රැගත් ‘එයාර් ඉන්දියා’ ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබෙනවා ෴

හලාවතින් අද (19) පෙරවරු 6 ට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබු මන්දගාමී දුම්රිය කාර්මික දෝෂයක් හේතුවෙන් ධාවනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා ෴

+++++++++++++++++++++

(19.05.2021 – 08:30 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් පළමු, දෙවන සහ තුන්වන රැල්ලේ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ (18) වාර්තාවුණා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද මරණ 34 ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (18) වාර්තා කර තිබූ අතර, ඒ අනුව මෙරට මුළු මරණ සංඛ්‍යාව දහසේ (1000) සීමාව ඉක්මවා 1,015 ක් ලෙස සටහන් වුණා.

ඊයේ (18) වාර්තා වූ මරණ 34 න් තිස් දෙකකට (32) ම කොවිඩ් නියුමෝනියා තත්වයද හේතුවී තිබෙනවා.

මෙලෙස මියගිය අය අතර, රත්නපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු විස්සක (20) තරුණයෙකුද සිටිනවා.

ඔහු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උග්‍ර කොවිඩ් නියුමෝනියා තත්වය හේතුවෙන් මියගියා.

ඊට අමතරව දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 ක සහ රාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 ක කාන්තාවන් දෙදෙනෙකු (2) ද කොවිඩ් හේතුවෙන් මියගොස් තිබෙනවා.

සෙසු පුද්ගලයින් අවුරුදු 55 ත් අවුරුදු 94 ත් අතර වයස්වල පසුවන්නන්.

ඊයේ (18) දිනයේ නව ආසාදිතයන් 2,518 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 147,720 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 2,478 දෙනෙකු ‘අලුත් අවුරුදු කොරෝනා පොකුරේ’ ආශ්‍රිතයන්. 40 දෙනෙකු විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් වනවා.

ඒ අනුව ආසාදිතයන් 25,560 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 121,145 ක්.

එමෙන්ම කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබියදීත් නිවසේ රැදී සිටින ආසාදිතයින්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා ද නැද්ද යන්න සොයා බැලීම සඳහා අද (19) සිට ප්‍රජා පොලිස් නිලධාරීන් ද යොදවා ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මහනුවර දී ඊයේ (18) මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++

වයස 60 ට වැඩි අය භාරගැනීමට නොහැකි බව පවසා කොවිඩ් ආසාදිත මවක් යළි නිවසට එවලා – PHI සංගමය

(18.05.2021 – 19:08 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුවීමට නොහැකිව නිවෙස් තුළ රැඳී සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසීය.

එහි සභාපති උපුල් රෝහණ මහතා මහතා සඳහන් කළේ වයස 60 ඉක්මවූ අය භාර ගැනීමේ හැකියාවක් නොමැති බව පවසා කොවිඩ් ආසාදිත මවක් යළි නිවසට ගෙනවිත් දැමීමේ සිද්ධියක් ද වාර්තා වූ බවය.

එලෙස රැඳීසිටින පිරිස් යම් සංකූලතා හෝ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හැකි ඉක්මණින් තම සංගමය වෙත දැනුම්දෙන ලෙස ද උපුල් රෝහණ මහතා ජනතාවට දැනුම්දෙයි.

“පසුගිය දින කිහිපයේ බොහෝ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ප්‍රකාශ වුණේ ධාරිතාවය ඉක්මවා ඇති බැවින් ඇතුළත් කර ගැනීමේ ගැටලු තියෙනවා කියලා. වයස 60 ඉක්මවූ අය භාර ගැනීමේ හැකියාවක් නෑ කියලා ඊයේ දිනයේ කෑගල්ල ප්‍රදේශයේ නිදන්ගත රෝග රාශියක් සහිත මවක් ආපසු නිවසට ගෙනවිත් දාලා තිබුණා.”

මේ අතර ඇඟලුම් කාර්මාන්තශාලා සහ එහි සේවකයින් සම්බන්ධයෙන් දැනට පවතින කොවිඩ් නීති රීති සංශෝධනය කිරීමට අවශ්‍ය පියවරගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය අංශ වලින් ඉල්ලීමක් කරයි.

ඇඟලුම් කර්මාන්තශාලා පවතින ප්‍රදේශ හුදකලා කර තිබුණ ද එහි සේවකයින් රාජකාරී කටයුතු සඳහා ගමන් කරන බැවින් කොවිඩ් පැතිරීමේ අවදානමක් මතුව ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ බියගම වැඩි වශයෙන් එවැනි ගැටලු වාර්තා වී ඇති බවද සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *