පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ අවශ්‍ය නැහැ

පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ අවශ්‍ය නැහැ

*********************************************

පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ අවශ්‍ය නැහැ

(15.05.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

තම පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ, හිරු ප්‍රවෘත්ති අංශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

++++++++++++++++++++++++

(15.05.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

ගෙවුණු දින පහ (5) තුළ මෙරට කොරෝනා මරණ 100 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

එමෙන්ම පසුගිය සතිය තුළදී පමණක් මෙරටදී මියගිය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 157 ක්.

දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ ඊයේ (14) සටහන් වූ අතර, එම සංඛ්‍යාව 29 ක්.

එසේ වුවද වසංගත රෝග විද්‍යා අංශය සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ ඊයේ (14) දිනයේ මරණ 31 ක් වාර්තාවී ඇති බවටයි.

කෙසේ වෙතත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ (14) මරණ 29 ක් වාර්තාවී ඇති බවයි.

කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ගෙන් මාධ්‍යවේදියෙකු මේ සම්බන්ධයෙන් විමසා සිටියේ කොළඹ අද (15) පැවති උත්සවයකින් අනතුරුවයි.

මේ අතර ඊයේ (14) දිනයේ වැඩිම ආසාදිතයන් 555 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර, වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් හමුවූ ප්‍රදේශය ලෙස වාර්තාවන්නේ ගාල්ල – හබරාදූව යි.

එම ප්‍රදේශයෙන් ආසාදිතයන් 130 ක් වාර්තාවී ඇති අතර, වැඩිම ආසාදිතයන් වාර්තාවූ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම පිරිසක් වාර්තාවී ඇත්තේ පිළියන්දල ප්‍රදේශයෙන්. එම සංඛ්‍යාව 126ක්.

(15.05.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පිළිබදව නිසි අධ්‍යයනයක් සිදුකිරීමෙන් පසු දැනට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස් කරන්නේ ද නැද්ද යන්න පිළිබදව තීන්දුවක් ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, මාතලේ – උකුවෙල – පරගහවෙළ ග්‍රාම නිළධාරීවරයා මරණ තර්ජන එල්ල කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළහොත් හෙට (16) සිට මාතලේ දිස්ත්‍රික්කයේ සියළුම ග්‍රාම නිලධාරීවරුන් සේවයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා ෴

+++++++++++++++++++++++

(15.05.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ මැනිං වෙළද සංකීර්ණය සහ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය වෙත අද (15) දිනයේදීත් එළවළු තොග විශාල වශයෙන් ලැබී තිබුණත් ඒවා මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන් නොපැමිණීම හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

මේ අතර, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබී තිබූ රුපියල් ලක්ෂ 10 ක පමණ වටිනාකමකින් යුත් එළවළු තොග විකුණා ගැනීමට නොහැකිව ජනතාවට නොමිළේ ලබාදීමට ගොවීන් කටයුතු කර තිබූණා.

සංචරණ සීමා පනවා තිබුණ ද රජය විසින් දැනුම් දුන්නේ එළවළු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා අවසර හිමි වන බවයි.

ඒ අනුව ඊයේ (14) සහ අද (15) දිනයේදීත් ආර්ථික මධ්‍යස්ථාන වෙත ගොවීන් සිය එළවළු තොග රැගෙනවිත් තිබුණා.

එහෙත් ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු මිලදී ගැනීම සඳහා වෙළඳුන් නොපැමිණීම හේතුවෙන් ගොවින් පත්වූයේ දැඩි අපහසුතාවයකටයි.

පෑලියගොඩ මැනිං වෙළද සංකීර්ණයට අදත් එළවළු තොග රැගෙන ආ ගොවීන් සිය තොග අලෙවිකර ගැනීමට නොහැකිව අපහසුතා රැසකට මුහුණ දුන් බවයි ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

එමෙන්ම, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ද අද (15) දිනයේදී විශාල එළවළු තොග ලැබී තිබූ අතර, එලෙස ලැබී තිබූ රුපියල් ලක්ෂ 10 ක පමණ එළවළු තොග ජනතාවට නොමිළේ ලබාදීමටයි එහි ව්‍යාපාරිකයින් කටයුතු කර තිබුණේ.

කෙසේ වෙතත්, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය හෙට (16) වසා දැමීමට තීරණය කර ඇති අතර, එය යළි විවෘත වන්නේ අනිද්දා (17) දිනයේදියි.

එමෙන්ම, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ද ඊයේ (14) දින විවෘතව තිබුණ ද අද (15) සහ හෙට (16) වසා තැබීමට කළමනාකරණ භාරය තීරණය කර තිබුණේ එළවළු මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන් නොපැමිණීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඊයේ (14) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ගෙන එනු ලැබූ එළවළු තොග රජය විසින් මිලදී ගෙන ඉන් කොටසක් යුධ හමුදාවේ මැදිහත් වීමෙන් ප්‍රවාහනය කර තිබෙනවා.

මේ අතර වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹ දී අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන්ට පැමිණීමට අවස්ථාව හිමිව පවතින බවයි.

එමෙන්ම, ඊයේ (14) දිනයේදී ගැනුම්කරුවන් නොපැමිණීම හේතුවෙන් අපහසුතාවට පත්ව සිටි පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයට අද (15) දිනය වන විට ගැනුම්කරුවන් යම්තාක් දුරට පැමිණ සිටි බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, දිවයින පුරා තොග වෙළඳුන්ට පිටකොටුව තොග වෙළඳපොලෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ මිලදී ගැනීමට හෙට (16) සිට අවසර ලබාදෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

පිටකොටුව තොග වෙළඳ පොලේ නිරීක්ෂණයකට අද (15) එක්වෙමින් ඔහු කියා සිටියේ තමන්ට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසරපත්‍රයක් ලබාගෙන තොග මිලදී ගැනීම සඳහා පමණක් පිටකොටුව තොග වෙළඳ මධ්‍යස්ථානය වෙත පැමිණිය හැකි බවයි.

එම අවස්ථාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වන්නන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ද එක්ව සිටි අතර, එහිදී ඔහු ප්‍රකාශ කළේ තොග වෙළදසැල්වල සේවය කරන සේවක සේවිකාවන්ට ද කොරෝනා එන්නත ලබාදිය යුතු බවටයි.

+++++++++++++++++++

(15.05.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙන කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අද (15) දිනයේත් ක්‍රියාත්මක කෙරෙන අතර බොහෝ ප්‍රදේශවල එන්නත් ලබාගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණා.

මේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව දෙලක්ෂ පනස් හයදහස් හතරදෙනෙකුට (2,56,004) ලබාදී ඇති අතර, සිනොෆාම් එන්නත ලබාදී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2,76,762 ක්.

ඊයේ (14) දිනය තුළදී පමණක් සිනොෆාම් එන්නත් මාත්‍රා 61,882 ක් ලබාදී තිබෙනවා.

ස්පුට්නික් වී එන්නත මේ වනවිට පුද්ගලයින් 14,673 කට ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ.

මේ අතර, කොළඹදී අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර සිටියේ කොරෝනා තුන්වන (3) රැල්ලෙන් ආරක්ෂාවීමට ඇති එකම විසඳුම එන්නත්කරණය නොවන අතර, හැකිතාක් නිවසට වී සිටිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම බවයි.

කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පිරිසට දෙවන (2) මාත්‍රාව ලබාදීමට නම් තවත් මාත්‍රා ලක්ෂ 06 ක් පමණ අවශ්‍ය වී තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දියාවේ පවතින තත්වය හේතුවෙන් එම ප්‍රමාණය ලබාගැනීමට නොහැකිවී ඇති අතර, පෞද්ගලික අංශය හෝ යොදවා අවශ්‍ය ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ හය (6) ලබාගැනීමට කටයුතු සූදානම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර සිටියේ ෴

++++++++++++++++++++++

(15.05.2021 – 14:39 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා පාලනය සඳහා යොදා ගන්නා ඖෂධ නිපදවීමට භාවිත කරන අමුද්‍රව්‍යවල මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.

ලොව ප්‍රධානතම ඖෂධ නිෂ්පාදකයෙකු වන ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ චීනයෙන් ආනයනය කරන අමුද්‍රව්‍ය රැසක මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි.

පැරසිටමෝල් සහ ඇසිත්‍රෝමයිසීන් නිපදවීම සඳහා චීනයෙන් ගෙන්වන අමුද්‍රව්‍යවල මිල සියයට 30 ත්, 40 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව ද සදහන්.

ඉන්දීය ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ විධායක අධ්‍යක්ෂ අශෝක් කුමාර් කියා සිටියේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ඖෂධ නිපදවීමට භාවිත කරන චීනයෙන් ආනයනය කරන අයිවර්මෙක්ටින් හි මිල සියයට 300 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි ෴

+++++++++++++++++++++++

(15.05.2021 – 14:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා උවදුර නිසා පීඩාවට පත්වුණු පුද්ගලයන් සහ අයහපත් ගංවතුර තත්ත්වය නිසා පීඩාවට පත්වුණු පවුල්වලට අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ලබාදීමට කොටදෙණියාව පොලිසිය සහ එම කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබුණා.

කොටදෙණියාව ප්‍රදේශයේ ජීවත්වන පවුල් කිහිපයක් තෝරාගනිමින් මෙම ආහාර මල්ල ලබාදීමට සිදුකර තිබූ බවයි වාර්තා වන්නේ ෴

++++++++++++++++++++++

(15.05.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සිදුකරන එන්නත්කරණ වැඩසටහන යටතේ කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ සේවක සේවිකාවන්ට එන්නත් ලබාදීම අද (15) සිදු කෙරුණා.

ඒ, නාවික හමුදාව සහ සැකසුම් කලාපයේ සෞඛ්‍ය නිලධාරින්ගේ මැදිහත්වීමෙන්.

සයිනොෆාම් එන්නත ඔවුන්ට ලබාදීම අද (15) දිනයේදී සිදු කෙරුණේ අපනයන සැකසුම් කලාපයේ කර්මාන්තශාලා පහක (5) සේවක සේවිකාවන් සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ඇතුලු 500 දෙනෙකුට පමණයි.

ඉදිරි සතිය තුළ තවත් කර්මාන්තශාලා 48 ක් පමණ ආවරණය වන පරිදි මෙම එන්නත්කරණ වැඩසටහන සිදුකිරීමට නියමිතයි ෴

@@@@@@@@@@@@@@@

(15.05.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

පැවති අධික වැසි තත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 10 ක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා ප්‍රකාශ කළා.

මේ අතර පැවති වර්ෂාවත් සමඟ මැදවච්චිය – කිඩවරම්කුලම මහ වැව බිඳී යාමේ අවදානමක් පවතින බව කිඩවරම්කුලම ගම්වාසීන් පවසනවා.

මෙම වැව බිඳී ගියහොත් කුඹුරු අක්කර 375 ක් පමණ විනාශ විය හැකි බවයි ඔවුන් කියා සිටියේ.

මෙම අවදානම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය, පදවිය වාරිමාර්ග කාර්යාලයෙන් විමසීමක් කළ අතර, එහි ඉජිනේරු ප්‍රදීප් වැලිවිට මහතා සඳහන් කළේ වැවේ ජල මට්ටම පහළ අගයක පවතින විටදී ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ යුතු බවයි.

ඒ සඳහා තවත් මාසයක කාලයක් ගතවන බවද ඔහු කියා සිටියා.

අද (15) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂපතනය නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්ටන් ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර, එහි අගය සටහන් වූයේ මිලිමීටර 89 ක් ලෙසයි.

******************************************

(15.05.2021 – 14:00 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර හා කෘමි නාශක ආනයනය සපුරා තහනම් කිරිම තුළින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම රජය ද සිදුකර ඇත්තේ මහා පුණ්‍ය කර්මයක් බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ වෙනත් ආණ්ඩුවකට හෝ මෙම ප්‍රතිපත්තිය වෙනස් කළ නොහැකි අයුරින් ජාතික ප්‍රතිපත්තියක් ලෙස සැකසීමත් වත්මන් රජයේ වගකීමක් බවයි.

******************************************

(15.05.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala)

මෙම මාසයේ ගත වූ දින 15 තුළ දී ඩෙංගු රෝගීන් 430 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

වසරේ මේ දක්වා ගත වූ මාස 05 තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7317 ක්.

ඉන් වැඩිම පිරිසක් එනම් 1805 ක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් මාසය තුළදියි.

වසරේ මේ දක්වා වාර්තා වූ රෝගීන් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 2846 ක්.

ඉන් අනතුරුව වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 1159 ක්.

කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ යළිත් ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ෴

******************************************

(15.05.2021 – 14:25 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අසම්පූර්ණ නිසා සිය ධුර කාලය ඇතුළත පාස්කු ප්‍රහාරයේ සියලු සැකකරුවන්ට එරෙහිව මහාධිකරණවල චෝදනා ගොනු කිරීමට තමන්ට හැකියාවක් නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා පවසනවා.

ඔහු පිටු 130 කින් සමන්විත වාර්තාවක්ද පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති අතර, එමඟින් පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින ඒ කාණ්ඩයේ සැකකරුවන් 42 නෙකු සම්බන්ධයෙන් සාක්ෂි ලිඛිතව තහවුරු කරන ලෙසත්, 5 දෙනෙකු පිළිබද පරීක්ෂණ අසම්පූර්ණ බව දැනුම් දුන් බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළේ.

නීතිපති දප්පුල ද ලිවේරා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත්තේ ලබන 25 වනදායි.

******************************************

(15.05.2021 – 14:31 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ 84 වන කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

අධික වේගය හේතුවෙන් රියදුරුට කන්ටේනර් රථය පාලනය කර ගත නොහැකි වීමෙන් අද (15) දහවල් මාර්ගය ආසන්නයේ තාප්පයක ගැටී පෙරළී ඇති බව සදහන්.

අනතුරට පත් කන්ටේනරය මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින අතර කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

******************************************

(15.05.2021 – 19:17 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණයෙන් පවුල් 11,074 කට අයත් පුද්ගලයින් 42,252 කු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ වැසි සහිත කාලගුණ තත්වය ඉදිරි දින කිහිපයේදීත් අපේක්ෂා කරන බවයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නවතම දත්ත වාර්තාවට අනුව අයහපත් කාලගුණයෙන් සහ පැවති සුළං තත්ත්වයෙන් වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 29,603 ක්.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 6620 ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 2994 දෙනෙකු ද, මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1035 ක් , කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1132 ක් පීඩාවට පත්ව සිටිනවා.

මේ අතර දිවයිනට බලපා ඇති වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් විදුලි පාරිභෝගිකයින් එක්ලක්ෂ පනස් දහසකට (1,50,000) පමණ විදුලිය විසන්ධි වී තිබෙනවා.

ඒ පිළිබඳව වාර්තාවී ඇති සිද්ධීන් ප්‍රමාණය 22,000 ක් පමණ බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ.

බහුතරයක් සිද්ධීන් මාතර, ගාල්ල, කළුතර, මහනුවර, හලාවත සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් වාර්තාවී ඇති අතර, මේ වනවිට ඒවා යථා තත්වයට පත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවයි එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ.

එමෙන්ම කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 100 කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති අතර, හංවැල්ල, සීවලීවත්ත, ජයවීරගොඩ, වලව්වත්ත ආදී ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යටවී තිබෙනවා.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජලධාරිතාව ඉහළ යමින් පවතින බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් කියා සිටියේ.

******************************************

(15.05.2021 – 16:34 +0530 – hirunews.lk/sinhala)

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩි පිරිසකට බලපෑම් එල්ලවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා කියා සිටියේ එම දිස්ත්‍රික්කයේ පවුල් 1,620 කට මෙලෙස බලපෑම් එල්ලවී ඇති බවයි.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1,228 දෙනෙකු, ගම්පහ පවුල් 1,385 දෙනෙකු සහ මාතර දිස්ත්‍රික්කයේ පවුල් 663 කටද ඉන් බලපෑම් එල්ලවී තිබෙනවා ෴

(15.05.2021 – 20:11 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයට අදාලව පැනවූ නායයෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා ෴

******************************************

(15.05.2021 – 18:49 +0530 – hirunews.lk/sinhala)

පොලොන්නරුවේ අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානයේ වෙසෙන අලි ඇතුන් රාත්‍රි කාලයේ පරාක්‍රම සමුද්‍රය අවට ගම්මානවල බව භෝග විනාශ කිරීම කාලයක් පුරා දිගින් දිගටම සිදුවන්නක්.

අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානයේ සිට රාත්‍රි කාලයේ පරාක්‍රම සමුද්‍රයට තරණය කොට ඒ අවට ගම්මානවලට වදින මෙම දැවැන්තයින් එම ගම්මානවල භව භෝග විනාශ කරනවා.

ඉන් අනතුරුව නැවතත් මෙම දැවැන්තයින් පරාක්‍රම සමුද්‍රය පිහිනා යන අතරතුර අතරමැද නවාතැනක් ලෙස භාවිත කරන්නේ වැව මැද පිහිටා ඇති සුවිසල් දූපතයි.

ඇතැම් දිනවල දිවා කාලය සම්පූර්ණයෙන්ම මෙම දූපත මද්‍යයෙහි වසනා මෙම වන අලින් රාත්‍රියේ නැවත වරක් මීටර් 200 ක් 250 ක පමණ දුරක් පරාක්‍රම සමුද්‍රය පිහිනා අවට ඇති ගම්මානවල භව භෝග විනාශ කරනවා.

මෙම දූපත දූපත මැද අලි ඇතුන් 8 දෙනකු පමණ නිරන්තරයෙන් මේ දිනවල රැඳී සිටින බවයි අප වාර්තාකරු පවසන්නේ.

දූපත මැද සිටිනා මෙම වන අලින් පලවා හැරීමටත් ක්‍රමවේදයක් නොමැති බව අවට ගම්වැසියන් පවසනවා.

පරාක්‍රම සමුද්‍රය අවට ගම්මානවල රාත්‍රී කාලයේ භීෂණය වැපුරුව ද මෙම දැවැන්තයින් දහවල් කාලයේ එහි යන එන සංචාරකයින්ට නම් මවන්නේ අපූරු දසුනක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *