ගර්භණී කාන්තාවන්ට විශේෂ දැනුම්දීමක් – තුන් වන (3) ගැබිණි මරණය කුරුණෑගලින්

ගර්භණී කාන්තාවන්ට විශේෂ දැනුම්දීමක් – තුන් වන (3) ගැබිණි මරණය කුරුණෑගලින්

*********************************************

ගර්භණී කාන්තාවන්ට විශේෂ දැනුම්දීමක් – තුන් වන (3) ගැබිණි මරණය කුරුණෑගලින්

(15.05.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙරට සිදුවූ තුන් වන (3) ගැබිණි කාන්තා මරණය කුරුණෑගලින් වාර්තා වුණා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 28 හැවිරිදි කාන්තාවකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

කෙසේ වෙතත් ඇය මිය ගිය ද ඇගේ දරුවා සිසේරියන් සැත්කමකින් බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත් වී තිබෙනවා.

මෙම ගර්භණී කාන්තාව කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක්.

කොරෝනා ආසාදිත මව්වරුන් අසාධ්‍ය තත්වයට පත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් ඒ පිළිබදව වැඩි අවදානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය අංශ දිගින් දිගටම අවධාරණය කරනවා.

මෙරටින් කොරෝනා ආසාදිතයින් 2269 දෙනෙකු ඊයේ (14) හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 138,085 දක්වා ඉහළ ගියා.

විදේශගතව සිට පැමිණි 20 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (14) වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් එනම් 555 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ මැයි 31 වනදායින් පසු ගනු ලබන තීන්දු තීරණ පිළිබදව ඉදිරියේදී දැනුම් දෙන බවයි.

මුළු දිවයිනටම පෙරේදා (13) රාත්‍රි 11 ට පැනවූ සංචරණ සීමා තහනම තවදුරටත් ක්‍රියාත්මකයි.

එය අවසන් වන්නේ එළඹෙන සඳුදා (17) අළුයම 4 යි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ නිරෝධායන නීති උල්ලංඝණය කළ 253 දෙනෙකු ඊයේ (14) අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර, අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාන්විතයේ නියුතු සියළු දෙනාට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත කඩිනමින් ලබාදෙන ලෙස වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා ෴

+++++++++++++++++++++

(15.05.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

ලොව ධනවත් රටවල් වයස අවුරුදු 18 ට අඩු යෞවනයන්ට සහ දරුවන්ට කොරෝනා එන්නත් ලබාදීමට වඩා ඒවා අඩු ආදායම්ලාභී රටවලට ලබාදෙන්නේ නම්, වඩාත් සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩිනම් ග්‍රෙබ්රියේසස් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ එලෙස වුවහොත් කොවැක්ස් වැඩසටහන වඩාත් සාර්ථක වනු ඇති බවයි.

ධනවත් රටවල් වැඩි වැඩියෙන් එන්නත් ඇනවුම් කිරීම නිසා අඩු ආදායම්ලාභී රටවලට කොරෝනා එන්නත් ලබාදීම ගැටළුවක් වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර, ලොව පුරා කොරෝනා ආසාදිතයින් 16,25,15,661 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3,370,668 ක් ලෙසයි.

ගත වූ පැය 24 තුල ලොව වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඊයේ (14) දිනයේ එරටින් මරණ 3879 ක් සහ ආසාදිතයින් 326,123 ක් වාර්තා වුණා ෴

+++++++++++++++++++++++++

(15.05.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ධාවනයට ඍජුවම සම්බන්ධ වන සේවකයින්ට කඩිනමින් කොරෝනා මර්දන එන්නත් ලබානොදෙන්නේ නම්, සඳුදා (17) සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි ප්‍රධාන ලේකම් මනුර පීරිස් මහතා සඳහන් කළේ රියදුරු, රියදුරු සහයක, නියාමක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය පාලක, ආරක්ෂක අංශ, ප්‍රවේශ පත්‍ර පරීක්ෂක ඇතුළු කණ්ඩායම් කඩිනමින් එන්නත්කරණයට ලක් කළ යුතු බවයි.

දිවයිනටම සංචරණ සීමා පනවා ඇති බැවින් සඳුදා (17) දක්වා කිසිදු දුම්රියක් ධාවනය නොකෙරෙන අතර යළි සඳුදා (17) සිට දුම්රිය ධාවනය වීමටයි නියමිතව ඇත්තේ.

කෙසේ වෙතත්, වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ සිය සේවකයින්ට එන්නත්කරණය සිදුනොකරන්නේ නම් සංචරණ සීමා සඳුදා (17) ඉවත් කිරීමෙන් පසු දුම්රිය ධාවනයෙන් ඉවත් වන බවයි ෴

++++++++++++++++++++++++

(15.05.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

වැරදීමකින් මල් ශාලාව වෙත මුදා හැරුණු මෘත ශරීරයක් කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමත් සමඟ යළිත් එය රෝහලට රැගෙන යාමේ සිද්ධියක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පානදුර – වත්තල්පොළ ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකුගේ මෘත දේහයකුයි මෙලෙස යළිත් පානදුර මූලික රෝහල වෙත රැගෙනවිත් ඇත්තේ.

පසුගිය 12 වන දා රාත්‍රියේ අදාළ පුද්ගලයා පානදුර මූලික රෝහලේදී මිය ගොස් තිබුණා.

කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරයාගේ අනුදැනුම මත ඔහුගේ මෘත දේහය මුදා හැර ඇත්තේ කොරෝනා ආසාදනය වී නොමැති බවට පවසමින්.

එහෙත් මිය ගිය පුද්ගලයා මීට පෙර කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකින් කොරෝනා පරීක්ෂණයක් සිදුකර ඇති අතර, එහි වාර්තාව ලැබී ඇත්තේ මොහු මියගොස් මෘත දේහය ඥාතීන් වෙත භාර දීමෙනුත් පසුවයි.

කොරෝනා පරීක්ෂණ වාර්තාව අනුව මොහුට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති අතර ඒ වනවිටත් මිය ගිය පුද්ගලයාගේ සිරුර පානදුර පිහිටි මල්ශාලාවකට රැගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන් අනතුරුවයි රෝහල් කාර්ය මණ්ඩලය මෘත දේහය යළිත් පානදුර මූලික රෝහල වෙත රැගෙනවිත් ඇත්තේ.

ඒ අනුව මල්ශාලාවේ කාර්ය මණ්ඩලය සහ නිවැසියන් නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා ෴

++++++++++++++++++++

(15.05.2021 – 09:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය සඳහා එන්නත් භාවිතයේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නතින් පළමු (1) මාත්‍රාව ලබාගත් අයෙකුට දෙවැනි (2) මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත භාවිතා කිරීම යම්තාත් දුරකට සාර්ථක බව බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයින් පෙන්වා දෙනවා.

මෙලෙස මාත්‍රා මිශ්‍ර කර ලබා ගත් පුද්ගලයෙකුට උණ ගැනීම, ඇඟපත වේදනාව වැනි අතුරු ආබාධ ඉතා තීව්‍ර වුවද ඉන් අහිතකර තත්වයක් නොමැති බවයි ඔවුන් කියා සිටියේ.

එසේම එක් එන්නතකික් මාත්‍රා දෙකම (2) ලබා ගන්නා පුද්ගලයින්ට අතුරු අබාධ ඇතිවීම සියයට 10 ක සම්භාවිතාවක් පැවතිය ද එන්නත් මිශ්‍ර කර මාත්‍රා ලබාගන්නා පුද්ගලයන්ට අතුරු අබාධ ඇති වීමේ සම්භාවිතාව සියයට 34 ක බවයි පර්යේෂකයන් ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++++

(15.05.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා තොග වෙළඳුන්ට පිටකොටුව තොග වෙළඳපොලෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ මිලදී ගැනීමට හෙට (16) සිට අවසර ලබාදෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

පිටකොටුව තොග වෙළඳ පොලේ නිරීක්ෂණයකට අද (15) එක්වෙමින් ඔහු කියා සිටියේ තමන්ට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසරපත්‍රයක් ලබාගෙන තොග මිලදීගැනීම සඳහා පමණක් පිටකොටුව තොග වෙළඳ මධ්‍යස්ථානය වෙත පැමිණිය හැකි බවයි ෴

++++++++++++++++++++

යුක්‍රේන සංචාරකයන්ගෙන් කොවිඩ් වෛරසය ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වන්නේ දැයි අත්හදා බැලීම් කළා – බැසිල් රාජපක්ෂ

(14.05.2021 – 12:47 +0530 – lankaleadnews.com)

පසුගිය ජනවාරි මාසයේ දී යුක්‍රේන ජාතික සංචාරකයන් පිරිසක් ලංකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනාත්මක තත්වයේදී එවකට සිටි සංචාරක මණ්ඩලයේ සභාපතිනි ක්‍රිමාලි ෆර්නැන්ඩෝ මහත්මිය සංචාරක අමාත්‍යය ප්‍රසන්න රණතුංග මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටියේ සංචාරක මණ්ඩලය, යුක්‍රේන ජාතික සංචාරකයන් ලංකාවට පැමිණීම සහ ඔවුන් ‘සංචාරක බුබුලු’ ක්‍රමයට රට තුළ සංචාරය කරන බව දැන ගත්තේ මාධ්‍යය වාර්තා වලින් පමණක් බවයි.

මේ සම්බන්ධව එම දිනවල පලවූ මාධ්‍යය වාර්තා මගින් ප්‍රශ්න කර සිටියේ ශ්‍රී ලංකාව දෙවෙනි කොරෝනා වෛරස් ආසාදන රැල්ල සම්පූර්ණයෙන් නිවා දැමීමට අසමත්ව දිනකට වෛරසය ආසාදිතයින් 600 – 800 ත් තරම් ඉහළ කොරෝනා ආසාදිතයන් හමුවවන තත්වයක් තුල යුක්‍රේනය වැනි කොරෝනා ආසාදිතයන් බහුලව හමුවන දුප්පත් සංචාරකයන් සිටින රටකින් සංචාරකයින් ගෙන්වා සංචාරක ව්‍යාපාරය යථාවත් කිරීමට ගන්නා ප්‍රයත්නයේ ඇති ඵලදායිත්වයයි.

මෙම ප්‍රශ්න කිරීම් ඉතා තීව්‍ර වූ තත්වයක් තුළ බැසිල් රාජපක්ෂ හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන්ට පැමිනියේය. එතුමා එම වැඩසටහනට සහභාගී වී දැක්වූ අදහස් මේ දිනවල සමාජ ජාල තුළ හුවමාරුවේ. එම වීඩියෝ ‘ක්ලිප්’ තුළ එතුමා එහිදී අවධාරණය කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසරකට සංචාරකයින් ලක්ෂ විස්සක්වත් රැගෙන එන්නේ නොමැතිව සංචාරක ව්‍යාපාරය ගොඩනැංවිය නොහැකි බැවින් ඒ සඳහා සක්‍රිය ලෙස මැදිහත් වන ලෙස උපදෙස් දුන් බවයි. ඒ අනුව සංචාරකයන් රැගෙන ඒමට තමා මැදිහත්ව කටයුතු කළ බව ප්‍රකාශ කළේය.

එහිදී ඔහු අවධාරණය කළේ සංචාරකයන්ගෙන් කොවිඩ් වෛරසය ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වන්නේ දැයි අත්හදා බැලීම් කළ බවයි. යුක්‍රේනය වැනි කොවිඩ් වෛරසය ආසාදිතයන් බහුලව වෙසෙන රටකින් ගෙන ආවේ ඔවුන්ගෙන් ශ්‍රී ලංකාව තුළ පැතිරෙනවාද යන්න බලා ගැනීමට බවද එතුමා චමුදිත සමරවික්‍රම මාධ්‍යයවේදියාගේ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා සිටියේය.

එදා බැසිල් රාජපක්ෂ යුක්‍රේන සංචාරකයන්ගෙන් කොවිඩ්-19 වෛරසය ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වන්නේ දැයි කළ පර්යේෂණය අතිශය සාර්ථක වී ඇති බව ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ දැනට විදේශගතව සිටින වසංගතවේදය සම්බන්ධව විද්වතෙකු පවසා සිටියේය. එහිදී ඔහු අවධාරණය කර සිටියේ 2015 ට පෙර තමාගේ වැඩිමහළු සොහොයුරා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ කළ අත්හදා බැලිම් වලින් එතුමාට ජනාධිපති පදවිය පවා අහිමිව ගොස් රට විශාල වශයෙන් වන්දි ගෙවූ බවයි. එසේම මෙවර කොවිඩ් වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් කළ අත්හදා බැලීම මගින් තම බාල සහොයුරා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශාල අමාරුවක වැටී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දැනට විශ්‍රාම සුවයෙන් පසුවෙන වාමාංශික දේශපාලනයේ පතාක දේශපාලන යෝදයෙකු අප වෙත පවසා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා අත්හදා බැලීම් කරන්නට ගොස් 2015 දී රටත් මහින්ද රාජපක්ෂ මහතාත් අමාරුවේ දමා පලාගිය ආකාරයටම 2021 දී රට මළ ගෙයක් කර ගෝඨාභය රාජපක්ෂ මහතා අමාරුවේ දමා පලා ගොස් ඇති බවක් දක්නට ලැබෙන බවයි.

@@@@@@@@@@@@@@@

(15.05.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද (15) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

පසුගිය දින කිහිපයේ මිලිමීටර් 200 ඉක්ම වූ වැසි තත්ත්වයක් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වූ නමුත් අද (15) දිනයේ මිලිමීටර් 75 ක් පමණ වූ වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර, දිස්ත්‍රික්ක 06 කට පනවා තිබූ නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදන අද (15) රාත්‍රී 7 දක්වා දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මෙම නායයාම් අනතුරු නිවේදනය බලපැවැත්වෙනු ඇති.

මේ අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් පවුල් 2750 කට අයත් පුද්ගලයින් 11,542 ක් බලපෑමට ලක්ව තිබෙනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අර්ධ නිවාස හානි 205 ක් වාර්තා වන අතර, පවුල් 42 කට අයත් පුද්ගලයින් 175 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රදවා ඇති බවයි.

මේ අතර, පසුගිය දින කිහිපයේ ඇති වූ වර්ෂාවත් සමඟ ජල මට්ටම් ඉහළ ගිය කැළණි, කළු, නිල්වලා සහ අත්තනගලුඔයේ ජල මට්ටම් පහත බසිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත්, පහළ ජල පෝෂක කලාපවල ගං වතුර තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටියේ ෴

******************************************

(15.05.2021 – 08:47 +0530 – hirunews.lk/sinhala)

යුද්ධයෙන් මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිහි කොට සැමරුම් උත්සවයක් සංවිධාන කිරීමට උත්සාහ දැරූ බව කියන 27 දෙනෙකුට අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එළඹෙන 18 වන දා මුලතිව් – මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ අදාළ සැමරුම් උත්සවය සංවිධාන කරන බවට තොරතුරු ලැබී ඇති බව මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 07 ක් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

ඒ අනුවයි කරුණු සලකා බැලූ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය සැමරුම් උත්සවය සංවිධාන කරන බවට තොරතුරු වාර්තා වූ 27 දෙනෙකුට එරෙහිව මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ ෴

******************************************

(15.05.2021 – 08:53 +0530 – hirunews.lk/sinhala)

මාතලේ – උකුවෙල නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක අද (15) උදෑසන ඇති වූ ගින්න මාතලේ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ යොදා ගනිමින් මේ වනවිට මැඩපවත්වා තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ ෴

******************************************

13-05-2021

******************************************

(15.05.2021 – 11:37 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විශාල පිරිසක් මේ වනවිට පීඩාවට පත්ව සිටිනවා.

අත්තනගලු ඔය පිටාර ගලා ඇති වූ ගංවතුර තත්ත්වයෙන් අත්තනගල්ල, වඳුරමුල්ල සහ නාගොඩ ග්‍රාමසේවා වසම්වල පවුල් රැසක් විපතට පත් ඇති බව වාර්තා වනවා.

ඊට අමතව ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇල්පිටිය, නෙළුව, බද්දේගම, තවලම, යක්කලමුල්ල, නාගොඩ සහ නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ගංවතුර තත්ත්වයක් ඇති වුණා.

මේ අතර ගිණිකොණ දිග ආරාබි මුහුද ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙනවා.

‘ටවුටේ’ ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී උතුරුට ගමන් කර ඉදිරියේදී ඉන්දියාවේ ගුජරාට් වෙරළ තීරයට ඇතුල්වීමට නියමිත බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියේ.

මේ අතර වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද (15) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *