කොරෝනා සුව කරන්න පිලිපීනයෙන් අලුත් සොයාගැනීමක්

කොරෝනා සුව කරන්න පිලිපීනයෙන් අලුත් සොයාගැනීමක්

*********************************************

කොරෝනා සුව කරන්න පිලිපීනයෙන් අලුත් සොයාගැනීමක්

(14.05.2021 – 12:29 +0530 – hirunews.lk/sinhala)

පිලිපීනය තුළ සිදුකළ නවතම සායනික පරීක්ෂණයකට අනුව කොවිඩ් ආසාදිතයින් සුව කිරීම සඳහා පිරිසිදු පොල් තෙල් භාවිතය සුදුසු බවට තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන ආහාරවේල් තුනෙන් පසු පොල් තෙල් මේස හැදි 1 ක් ආසාදිත කොවිඩ් රෝගීන් භාවිතා කිරීම තුළින් තවදුරටත් වෛරසය පැතිරීම වළක්වා ගත හැකි බවටයි ඔවුන් අනාවරණය කරගෙන ඇත්තේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙතෙක් කිසිඳු ප්‍රතිචරයක් ලබාදී නැහැ.

+++++

කොවිඩ් මර්දන එන්නත් භාවිතය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පැහැදිලි කර තිබුණේ මෙලෙසින් :

ප්‍රශ්නය – පුද්ගලයෙකුට කොවිඩ් එන්නත් ලබාදීමෙන් කොපමණ කාලයකට පසුවද ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය සිදුවන්නේ?

පිළිතුර – මේ අවස්ථාවේ අපට තිබෙන එන්නත් සියල්ලම වගේ මාත්‍රා දෙකකින් (2) සමන්විතයි පළමු (1) එන්නත් මාත්‍රාව ලබාගැනීමෙන් සති 2 ක වගේ කාලයකදී අපි හොඳ ප්‍රතිශක්තිකරණයක් දකිනවා. ඒ වගේම දෙවන (2) මාත්‍රාවෙන් එම ප්‍රතිශක්තිකරණය තවත් ශක්තිමත් කරනවා. නමුත් අපි තවමත් දන්නේ නැහැ මේ එන්නත්වල ඵලදායිතාවය කොපමණ කාලයක් පවතිනවද කියලා. අපිට සිද්ධවෙනවා කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්න. මේක කොපමණ කාලයකට බලාත්මක වෙනවද කියලා

ප්‍රශ්නය – පුද්ගලයෙකු එන්නත් ලබාගැනීමෙන් පසු ඔහුට ආසාදනය වීමේ ඉඩ කඩ තිබෙනවාද? ඒ වගේම ඔහුගෙන් තවත් කෙනෙකුට වෛරසය ආසාදනය වීමේ ප්‍රවණතාවයක් තිබෙනවාද?

උත්තරය – හොඳ ප්‍රශ්නයක්. සායනික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ මේ එන්නත් කොවිඩ්-19 වෛරසයට එරෙහිව ඵලදායී බවයි. අපි තවමත් නොදන්නා කාරණය තමයි සාස් කොවිඩ් ඝණයේ වෛරසය තවත් කෙනෙකුට එන්නත් කිරීමෙන් පසුවත් ඔබගෙන් ව්‍යාප්ත වෙනවාද? එහෙම නැත්නම් ආසාදනය වෙන්නට පුළුවන්ද ?යන කාරණය.

ප්‍රශ්නය – ඇයි කෙනෙක් එන්නත් ලබාගැනීමෙන් පසුව වුණත් ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කළ යුත්තේ? කොපමණ කාලයක් එය සිදුකළ යුතු ද?

උත්තරය – ඇත්තටම අපි යහපත් සෞඛ්‍ය පුරුදු සහ ආරක්ෂක පිළිවෙත් දිගටම අනුගමනය කළ යුතු වනවා. මොකද අපි තවමත් මේ සම්බන්ධයෙන් ඉගෙන ගනිමින් සිටින්නේ. තවමත් ලොව බොහෝ රටවල වෛරස ව්‍යාප්තිය වේගවත්. පාලනයෙන් පවා ගිලිහී තිබෙනවා. එවගේම දරුවන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අපි තවමත් පරීක්ෂණ සිදුකරමින් සිටිනවා. සමාජයේ අවශ්‍යතාවය මත ප්‍රමාණවත් එන්නත් තොග අපිට නැහැ. ඒ නිසාමයි අපි සෞඛ්‍ය පුරුදු පවත්වාගත යුතු වන්නේ. මුහුණු ආවරණ පැළදීම, දෑත් සෝදා ගැනීම, සමාජ දුරස්තභාවය පවත්වාගැනීම වැනි කාරණා කොපමණ කාලයක් සිදුකරන්නට වේද යන කාරණය කාලයට භාරදීමට සිදුවෙනවා. ඒ අධ්‍යයන නිමවීමෙන් පසු අපිට පුළුවන් මේ ක්‍රියාදාමයෙන් ටිකෙන් ටික ඈත් වෙන්න. ඒ තුළින් ව්‍යාප්තිය අඩු වෙනවා කියලා අපිට තහවුරු කරන්නත් පුළුවන් ෴

+++++++++++++++++++++++++

(14.05.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දනය සඳහා මෙරට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන යටතේ මේ දක්වා ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා 925,242 ලබා දී ඇති අතර එහි දෙවන (2) මාත්‍රාව මේ වනවිට 241,522ක් වෙත ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

මේ අතර 214,880 දෙනෙක් සයිනොෆාම් එන්නත ලබාගෙන ඇති අතර ස්පුට්නික් එන්නත ලබාගෙන ඇති සංඛ්‍යාව 14,673 ක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

+++++++++++++++++++++

(14.05.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් හුදෙකලා කර ඇති ප්‍රදේශවල සුදුසුකම් ලැබූ ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් එම සහන මලු ලබාදිය යුතු පිරිස් තෝරාගෙන ඇති අතර, රුපියල් 5,000 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය විස්සක් (20) ඊට ඇතුළත්.

මෙම සහන මල්ල එළඹෙන සඳුදා (17) සිට දින 3 ක කාලසීමාවක් ඇතුළත ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවයි වෙළඳ අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව සුදුසුකම් ලැබූ පුද්ගලයින් සඳහා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම සේවා නිලධාරීන් සමෘද්ධි නිලධාරීන් විසින් සහන මල්ල බෙදාහැරීමේ කටයුතු සිදුකරනු ඇති.

++++++++++++++++++++

(14.05.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පැනවීමත් සමඟ ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු රැගෙන ආ ගොවීන් මෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළේ වෙළදුන් අද (14) සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් දැඩි අපහසුතාවට පත්වුණා.

පොලීසිය මීට පෙර දැනුම් දී තිබුණේ සංචරණ සීමා පනවනු ලැබුව ද එළවළු සහ පළතුරු රැගෙන එන ගොවීන් හට සිය නිෂ්පාදන ප්‍රවාහනය කිරීමේ පහසුකම් සලසා දී ඇති බවයි.

ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් තම එළවළු දඹුල්ල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන විත් තිබුණා.

එමෙන්ම, පෑලියගොඩ මැනිං වෙළදපළට මෙන්ම කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයට ද අද (14) එළවළු විශාල වශයෙන් ලැබී තිබුණා.

කෙසේ වෙතත්, මැනිං මාකට් පොදු වෙළද සමිතියේ හිටපු සභාපති ලාල් හෙට්ටිගේ මහතා කියා සිටියේ සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් එළවළු මිලදී ගැනීමට වෙළඳුන් පැමිණ නොසිටි බවයි.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවළු මිලදී ගැනීමට කටයුතු කරන ලෙස මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී තිබූ බවයි.

මේ අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළදපළට මසුන් රැගෙන ආ ධීවරයින් ද අද (14) සිය නිෂ්පාදන අලෙවි කර ගත නොහැකි වීමෙන් දුෂ්කරතාවට පත්ව සිටියා.

කෙසේ වෙතත්, එම ස්ථානයට පැමිණි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ ව්‍යාපාරිකයින් අතර පැවති කරුණු පැහැදිලි කිරීමක් ද සිදුකළා.

+++++++++++++++++++++

(14.05.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ආර්ථිකය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහය රජයට ලබාදීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොවිඩ් ව්‍යාප්තිය හා රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

+++++++++++++++++

(14.05.2021 – 15:11 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අවධානම හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් සහ පිටවීමේ දොරටු 4 ක් යළි විවෘත කර තිබෙනවා.

කඩුවෙල පිවිසුමේ ඇතුළුවීමේ දොරටු දෙකක් (2) සහ පිටවීමේ දොරටු දෙකක් (2) මෙලෙස අද (14) සිට යළි විවෘත කළ බවයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොතලාවල, වැලිපැන්න සහ ඉමදූව පිවිසුම් තවදුරටත් කොරෝනා අවධානම හේතුවෙන් වසා දමා තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@

(14.05.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා හි බටහිර වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ රික්ටර් පරිමාණයේ 6.7 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් අද (14) දහවල් 12:03 ට පමණ සිදුවූ මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

******************************************

(14.05.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

ප්ලාස්ටික් සහ පොලිතින් තහනමේ තවත් එක් අදියරක් ලෙස බෝතල්වල අඩංගු පාන මිලදී ගැනීමේදී තැන්පතු මුදලක් ලබාගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව අදාළ බෝතලයේ අන්තර්ගත පානය භාවිත කිරීමෙන් අනතුරුව එම බෝතලය යළි වෙළඳසැලට ලබාදී තැන්පතු මුදල ලබාගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව හිමිවන බවයි කොළඹ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ෴

******************************************

(14.05.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

අද (14) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ අගලවත්ත ප්‍රදේශයටයි.

එය මිලිමීටර් 336 ක්.

එමෙන්ම, ගාල්ල – පෝද්දිවෙල ප්‍රදේශයට මිලිමීටර් 332.2 ක් සහ කැටන්දොළ ප්‍රදේශයට මිලිමීටර් 318.2 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

මීට අමතරව හිනිදුම ප්‍රදේශයටත් මිලිමීටර් 292 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම කෑගල්ල – දෙහිඕවිට ප්‍රදේශයට මිලිමීටර් 273.5 ක සහ වරකාපොළ ප්‍රදේශයට මිලිමීටර් 246 ක වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා.

අවිස්සාවේල්ල – තල්දූව ප්‍රදේශයටද මිලිමීටර 248 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

වරකාපොළ ප්‍රාදේශීය ලේකම් රංගන සංජීව අත්තනායක මහතා සදහන් කළේ පැවති වර්ෂාව සහ තද සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 100 කට වැඩි ප්‍රමාණයකට අලාභ හානි සිදුව ඇති බවයි.

රුවන්වැල්ල – මායින්නොලුව ප්‍රදේශයේදී කුඩා ඔය පිටාර ගැලීමෙන් කොටු වී සිටි පවුල් 4 කට අයත් කුඩා ළමයින් ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු මුදා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව අද (14) අලුයම කටයුතු කළා.

මේ අතර, ගාල්ල – උඩුගම – අලුත්වත්ත ප්‍රදේශයේදී ගිං ගඟට සම්බන්ධ ඇළ මාර්ගයක පාලමක් මතින් ගමන් කරමින් සිටියදී සැඬ පහරකට හසුව අතුරුදන් වූ 32 හැවිරිදි තරුණයාගේ සිරුර මේ වන විට සොයාගෙන තිබෙනවා.

මීට අමතරව ගිනිගත්හේන – පොල්පිටිය – මාදෙනියාවත්ත ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් මවක් සහ දියණියක් තුවාල ලබා අද (14) අලුයම රෝහල් ගත කෙරුණා.

කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ අවිස්සාවේල්ල නගරය මඟහැර ගමන් කරන පිටත වට රවුම් මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් අද (14) උදෑසන එම මාර්ගය අවහිර වුණා.

එසේම කොළඹ – කුරුණෑගල මාර්ගයේ යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් අවහිර වූ දුම්රිය මාර්ගය මේ දක්වා සම්පූර්ණයෙන් යථා තත්වයට පත් කර නැහැ.

අධික වර්ෂාපතනයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ගාල්ල, කළුතර, මාතර, රත්නපුර, කෑගල්ල සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි.

බියගම – කැළණිය මාර්ගය පට්ටිවිල මංසන්ධියෙන් ජලයෙන් යට වීම හේතුවෙන් එම මාර්ගයේද ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

එමෙන්ම, කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ තල්දූව නගරය සීතාවක ගඟ පිටාර ගැලීමෙන් හා ගුරුගොඩඔය පිටාර ගැලීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වර්ෂාපතනයත් සමඟ කැළණි, කළු, ගිං, නිල්වලා, අත්තනගලු ඔය සහ මාඔයේ ජල මට්ටම් තවදුරටත් ඉහළ අගයක පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ.

එමෙන්ම, දැදුරුඔය, උඩවලව, තබ්බෝව, ලක්ෂපාන, නෝර්ටන්බ්‍රිජ් සහ කැනියොන් යන ජලාශ ද මේ වන විට වාන් දමමින් පවතිනවා.

මේ අතර අයහපත් කාලගුණය සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු (2) මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) රෝහල් ගත කර තිබෙනවා.

එම මරණ දෙක (2) වාර්තා වී ඇත්තේ වරකාපොළ සහ උඩුගම යන ප්‍රදේශවලින්.

වරකාපොළ, තෝලන්ගමුව, ගස්නාව ප්‍රදේශයේ නිවාස දෙකක් (2) මතට පස් කඳු කඩා වැටීමෙන් එක් අයෙකු (1) ඊයේ (13) ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස අනතුරට ලක්වූයේ මවක් සහ පුත්‍රයෙක්. එහිදී 55 හැවිරිදි පුත්‍රයා ජීවිතක්ෂයට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

අද (14) පස්වරුවේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

එසේම උතුර, උතුරුමැද පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට රාත්‍රී කාලයේදී හෝ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

එසේම තවදුරටත් ගිනිකොණ දිග අරාබි මුහුද ආශ්‍රිතව ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ෴

******************************************

(14.05.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala)

මහජන හිතකාමී ලෙස පවත්නා නීති රෙගුලාසි සරළ කිරීම සඳහා පත් කළ කොමිෂන් සභාවේ කාලය මාස 3 කින් දීර්ඝ කර තිබෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක දැක්වෙන්නේ අප්‍රේල් 07 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කළ බවයි.

මහජන හිතකාමී ලෙස පවත්නා නීති රෙගුලාසි සරළ කිරීම පිළිබඳ කොමිෂන් සභාව පිහිටවනු ලැබුවේ පසුගිය ජනවාරි 07 වනදායි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *