අද (13) රාත්‍රී 11 සිට දින 3 ක් මුලු රටේම සංචරණය තහනම්

අද (13) රාත්‍රී 11 සිට දින 3 ක් මුලු රටේම සංචරණය තහනම්

*********************************************

අද (13) රාත්‍රී 11 සිට දින 3 ක් මුලු රටේම සංචරණය තහනම්

(13.05.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන අද (13) රාත්‍රී 11 සිට ලබන 17 වනදා සඳුදා අලුයම 4 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවා තිබෙනවා.

නැවත රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා වන සංචරණ සීමා ලබන 17 වන සඳුදා සිට මැයි 31 වනදා දක්වා ද ඉන් පසු, ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

ඔහු කියා සිටියේ එම කාලසීමාව තුල අත්‍යාවශ්‍ය සේවා අඛන්ඩව පවත්වාගෙන යන අතර, දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙලට මෙමගින් බලපෑමක් එල්ල නොවන බවයි.

එසේම, අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම සීමා අදාළ නොවන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම, දැනට බස්නාහිර පළාතේ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිලිවෙල සඳහාද එමඟින් බලපෑමක් වන්නේ නැහැ.

සංචරණ සීමා ක්‍රියාත්මක වන කාල සීමාවන්හිදී රෝගීන් රෝහල්ගත කිරීම වැනි කටයුතු සඳහා බාධාවක් නොවන බව, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියා.

මේ අතර, මැයි 31 වනදා දක්වා අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා නිවසින් පිටව හා හැක්කේ ජාතික හැඳුනුම්පතේ, රියදුරු බලපත්‍රයේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ අවසන් අංකය අනුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ඔත්තේ දිනවල හැදුනුම්පතේ 1, 3, 5, 7, 9 යන අවසන් අංක සහිත අයට නිවසින් පිටවිය හැකි අතර, ඉරට්ටේ දිනවල 0, 2, 4, 6, 8 යන අවසන් අංක හිමි අයට නිවසින් බැහැර යා හැකියි. (උදා : මැයි 14 ඉරට්ටේ , මැයි 15 ඔත්තේ)

කොරෝනා ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන මැයි 31 වනදා දක්වා පළාත් අතර, සංචරණ සීමා පැනවූ අතර, කෙසේ වෙතත්, එය අදාළ නොවන අත්‍යාවශ්‍ය සේවා කිහිපයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, සෞඛ්‍ය සේවා පොලීසිය හා ත්‍රිවිධ හමුදාව, අත්‍යාවශ්‍ය නිල සංචාර සඳහා රාජ්‍ය අංශයේ නිලධාරින්, අත්‍යාවශ්‍ය සැපයුම් බෙදා හරින්නන් හා සේවා සපයන්නන් ඊට ඇතුළත්.

මීට අමතරව, පවුලේ ආසන්නතම සාමාජිකයෙකුගේ අවමංගල්‍යයක් සඳහා සහභාගි වීම, විදේශ ගත වීම, විදේශයක සිට පැමිණීම හෝ ආනයන අපනයන කටයුතු සඳහා අවශ්‍ය සේවා සඳහා තහවුරු කිරීමකින් අනතුරුව පළාත් අතර, සංචරණය කිරීමට හැකිවනවා ෴

++++++++++++++++++++++

(13.05.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (12) දිනය තුළ පමණක් පුද්ගලයින් 92,927 දෙනෙකුට කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා.

එහිදී රුසියානු ස්පුට්නික් එන්නත් මාත්‍රා 3,335 ක් ලබාදී ඇති අතර, චීන සයිනොෆාම් එන්නත් මාත්‍රා 79,403 ක් ලබාදී ඇති බව සඳහන්.

මීට අමතරව ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාවද ඊයේ (12) පුද්ගලයින් 10,189 දෙනෙකුට ලබාදී තිබෙනවා.

මේ අනුව මේ දක්වා මෙරටදී ලබාදුන් කොරෝනා එන්නත් ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව දසලක්ෂ 90,521 ක් ෴

+++++++++++++++++++

(13.05.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කෙරුණද, අද (13) සිට අමතර දුම්රිය 05 ක් ධාවනය සඳහා යෙදවීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය පියවර ගෙන තිබෙනවා.

එමගින් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා යන මගීන්ට තම අනන්‍යතාවය තහවුරු කර දුම්රියේ ගමන් කිරිමට හැකියාව ලැබෙනු ඇති.

ඒ අනුව, මහනුවර, මහව, හලාවත සහ බෙලිඅත්ත සිට කාර්යාල දුම්රිය ධාවනය කෙරෙනවා.

එමෙන්ම, පස්වරුවේ අදාළ දුම්රිය පැමිණි ගමනාන්ත දක්වා නැවත ගමන් කරන බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කළේ.

මේ අතර, පළාත් අතර සංචරණ සීමා පෙරේදා (11) රාත්‍රියේ සිට පැනවීමත් සමඟ අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පැමිණෙන පුද්ගලයන්ට අවශ්‍ය බස් රථ ප්‍රදේශ කිහිපයකින් කොළඹ බලා ධාවනය වන බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළා ෴

++++++++++++++++++++

(13.05.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයින් 2,429 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ තිස්තුන් දහසේ (1,33,000) සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව පළමු වතාවට 25,000 සීමාව ඉක්මවා යමින් මේ වනවිට සටහන් වන්නේ 25,020 ක් ලෙසයි.

ඊයේ (12) දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් 2,429 දෙනා සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 133,527 ක් වනවා. ආසාදිතයින් 107,657 ක් පූර්ණ සුවය ලබා ඇති අතර, මෙරටින් මේ වනවිට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 850 ක්.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමාත් සමඟ නිවසට වී සිටින වැඩිහිටියන්ගේ සහ කුඩා දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සායනික පෝෂණවේදී වෛද්‍ය තිමති වික්‍රමසේකර සඳහන් කළේ නිවසේ පිසූ ආහාර ලබා ගැනීම සඳහා කටයුතු කරන ලෙසයි.

මේ අතර, නව සඳ නිරීක්ෂණය නොවීම නිසා රාමසාන් උත්සවය හෙට (14) සැමරීමට තීරණය කළ බව කොළඹ මුස්ලිම් මහ පල්ලිය ප්‍රකාශ කළා.

මෙවර රාමසාන් දිනයේදී යාච්ඤා පැවැත්වීමෙන් වළකින ලෙස වකූෆ් සභාව සියලු මුස්ලිම් දේවස්ථාන වෙත මීට පෙර දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව කොරෝනා ව්‍යාප්තිය අවම කිරීම සඳහා රාමසාන් දිනයේදී ඒවා වසා තැබිය යුතු බවයි එමගින් නිවේදනය කර තිබුණේ.

රාමසාන් උත්සවයත් සමඟ ඥාතී නිවෙස්වලට නොයා සෞඛ්‍ය නිර්දේශ යටතේ නිවසටම සිය කටයුතු සිදුකර ගන්නා ලෙසට ඉස්ලාම් ජනතාවගෙන් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මුෂ්රිෆ් මුනාස් ඉල්ලීමක් කරනවා ෴

++++++++++++++++++++++

ඉහල හමුදා ලොක්කෙක් කොරෝනා මධ්‍යස්ථානයකදී රෝගියෙකුට තිරිසන්ව පහර දේ.. අත පය කැඩී බෙහෙත් දමයි..

(13.05.2021 – 09:20 +0530 – lankacnews.com)

බණ්ඩාරවෙල බිඳුණුවැව කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී තමනට ඉහළ හමුදා නිලධාරියෙකු ඇතුළු සෙබල පිරිසක් ඉතා දරුණු ලෙස හර දුන්නේ යැයි කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයකු සඳහන් කරයි.

ඒ පිලිබදව දීර්ඝ විස්තරයක් කරමින් ඔහු විසින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය :

++++++++++++++++++++++

කොරෝනා තෙවෙනි (3) රැල්ල පාලනය කිරීමට දේශීය ඖෂධ භාවිතයට හුරු වෙන්න! – දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය ආයුර්වේද රෝහල් රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි

(13.05.2021 – 07:03 +0530 – lankaleadnews.com)

දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය ආයුර්වේද රෝහල් රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා වෛරස ආසාදනයෙන් වැළකී සිටීම සඳහා දේශීය වෛද්‍ය ජාතික කමිටුව මගින් හඳුන්වා දී තිබෙන ‘සුව ධරණී ප්‍රතිශක්ති වර්ධන පානය’ හා ‘සුව ධරණී ගුඩුර්ව්‍යාදී චූර්ණක වර්ධකය’ භාවිතයට හුරු වන ලෙසයි.

කැළණිය ප්‍රදේශයේ ආගමික වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය අමතමින් අමාත්‍යයවරයා මේ බව සඳහන් කළ අතර පළමු කොරෝනා රැල්ලේ දී රටේ විවිධ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත නොමිලේ ලබාදුන් බවද අවධාරණය කළේය ෴

+++++++++++++++++++++

සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ එන්නත් දෙකම ගත්තු වැඩි දෙනකුට කොරෝනා

(13.05.2021 – 08:22 +0530 – lankaleadnews.com)

සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ, කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් අයගෙන් තුනෙන් එකකට, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඒ ගැන කනස්සල්ලෙන් පසුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සීෂෙල්ස් වැසියන්ගෙන් සියයට 57 කට චීනයේ ‘සයිනෝෆාම්’ එන්නතේ මාත්‍රා දෙකම ලබා දී අවසන් වන අතර, සියයට 43 කට ලබා දී ඇත්තේ ‘ඇස්ට්‍රාසෙනකා’ එන්නතය. මෙම එන්නත් දෙකම මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතයට සුදුසු යැයි නිර්දේශ කර තිබේ.

ප්‍රතිශතයක් වශයෙන් ‘සයිනෝෆාම්’ සහ ‘ඇස්ට්‍රාසෙනකා’ එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් සියයට 37 ක පිරිසකට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇති බව සීෂෙල්ස් සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය අප්‍රේල් 30 වැනිදා එන්නත් දෙකම ලබා ගත් 120 දෙනකු ආසාදිතයන් ලෙස හඳුනා ගැණුනු අතර, මැයි 8 වෙද්දී, ආසාදිතයන් ගණන 314 තෙක් ඉහළ ගියේය.

එන්නත්කරණය සහ ආසාදිතයන් වාර්තා වීම සම්බන්ධයෙන් සියලු දත්ත, තම සෞඛ්‍ය බලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කර ඇති බව සීෂෙල්ස් රජය පවසා තිබේ.

‘කොරෝනා වයිරසය ආසාදනය වළක්වා ගැනීමටයි එන්නත්කරණය සිදුවෙන්නේ. එක් මාත්‍රාවක් පමණක් ලබා ගෙන සිටිද්දී, වයිරසය ආසාදනය වීමට ඉඩ තිබෙනවා. එසේ වුවහොත් වයිරසය නිසා සංකූලතා හට ගන්නේ නැහැ. කෙසේ නමුත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසු වයිරසය ආසාදනය වීම අඩු විය යුතුයි. එක් කෙනකුට හෝ දෙන්නකුට හෝ වයිරසය ආසාදනය විය හැකියි. ඒත් පොදුවේ බහුතරයකට වයිරසය ආසාදනය වෙන්න බැහැ. එසේ වුවහොත් එය ගැටලුවක්.’ යැයි සීෂෙල්ස් රාජ්‍යය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.

සීෂෙල්ස් යනු ඉන්දීය සාගරයේ පිහිටි කුඩා දූපත් 115 කින් සමන්විත දූපත් රාජ්‍යයකි. 2019 ලෝක බැංකු වාර්තා අනුව, සීෂෙල්ස් හි ජනගහනය 97,625 කි. ‘සීෂෙල්ස්’ දූපත් රාජ්‍යයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වූ ගණන 8,200 කි. මරණ වාර්තා වන්නේ 28 ක් ලෙසය. වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 5,658 කි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව, ‘සයිනෝෆාම්’ එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමෙන් පසු දෙවැනි මාත්‍රාව ලබා දිය යුත්තේ දින 21 කිනි. දෙවැනි මාත්‍රාව ලබාගෙන දින 14 ක් යද්දී, සිරුරේ වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙයි.

‘සීෂෙල්ස්’ රාජ්‍යය ඔවුන්ට ලැබුණු ‘සයිනෝෆාම්’ එන්නත් ‘සීෂෙල්ස්’ වැසියන්ට ලබා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා දීමට මාස කීපයකට පෙර සිටය. ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ ‘කොවැක්ස්’ වැඩසටහනට ද ‘සයිනෝෆාම්’ එන්නත් ඇතුළත් කර තිබෙන අතර, ඒවා දිළිඳු රටවලට ලබා දීම සිදුවෙයි.

වික්ටෝරියාහිදීය (රොයිටර්)

+++++++++++

කෙසේ නමුත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ එන්නත් ලබා දීමෙන් මූලිකම බලාපොරොත්තුව වන්නේ රෝගීන් මිය යෑම වැළැක්වීම බවයි.

ලෝකයේ දැනට වැඩිම එන්නත්කරණය කරවූ රාජ්‍යයක් වන සීෂෙල්ස් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වුවද එහි කිසිදු රෝගියෙකු මියයන මට්ටමට පැමිණ නැතැයිද ඔහු සඳහන් කරයි.

එන්නත්කරණයේ බලාපොරොත්තුව එය බවත් රෝගීන් මිය යාම වළක්වා ගැනීම එහි මූලිකම අරමුණ බවත් ඒ මහතා පැවසීය ෴

lankacnews.com

+++++++++++++++++++++

අධිපතිවාදී විද්වතුන් කොවිඩ් පාලනය අවුල් කරනවා – ජාතික සංවිධාන එකමුතුව

(12.05.2021 – 20:41 +0530 – lankaleadnews.com)

විවිධ ආයතන බලය දරණ සහ විද්වත් කමිටු නියෝජනය කරණ විද්වතුන්ගේ අධිපතිවාදී තීන්දු තීරණ නිසා කොවිඩ් පාලන උපාය මාර්ග අවුල් වන බව රන්ගිරි රූපවාහිනියේ වැඩසටහනකට සහභාගි වෙමින් වෛද්‍යය වසන්ත බංඩාර මහතා සඳහන් කරයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ දේශීය වෛද්‍යය ප්‍රතිකාර විවිධ ආකාරයට හෙලා දැකීම බලවත් වරදක් ලෙස සලකන බවයි.

ඒ අතර චීනයේ සයොනොෆාම් එන්නතට අනුමැතිය ලබා නොදී කල් මැරීමද අධිපතිවාදී විද්වතුන්ගේ අමනෝඥ ක්‍රියාවක් බව වෛද්‍යයවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී.

+++++++++++++++++++++

යන්තම් හරි සැකයක් ආවොත් මෙන්න මේ දේ කරන්න – ව්‍යසනය වෙන්නත් කලින් ටක්කෙට කී දේ අද සනාථ වෙලා (12.05.2021)

++++++++++++++++++++++

(13.05.2021 – 09:21 +0530 – hirunews.lk/sinhala)

Zoom තාක්ෂණය ඔස්සේ පාස්ටර්වරයෙක් පැවැත්වූ දේව මෙහෙයකට සහභාගී වීම සඳහා වැල්ලම්පිටියේ නිවසකට PCR පරීක්ෂණයකින් අනතුරුව පැමිණ ඇති කාන්තාවක් හා ඇගේ සැමියා කොරෝනා ආසාදියින් බව පසුව අනාවරණය වී තිබෙනවා.

වැල්ලම්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක එම ස්ථානයට ගොස් දේව මෙහෙයට සහභාගී වූ පවුල් වල අය දින දාහතරක් (14) නිරෝධායනයට ලක් කළා.

Zoom තාක්ෂණය ඔස්සේ දේවමෙහෙය පැවැත්වූ පාස්ටර්වරයාද එම ස්ථානයට කැඳවූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔහුට දැඩි ලෙස අවවාද කර වැඩිදුර පරීක්ෂණයක් සඳහා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත වාර්තාකරණ ලෙස දන්වා සිටියා.

මේ අතර එම ප්‍රදේශයේම කොරෝනා රෝගයෙන් මියගිය පුද්ගලයෙකුගේ නිවසක පිරිසක් මීට පෙර නිරෝධායනයට ලක් කර තිබී ඇති අතර ප්‍රදේශවාසීන් කළ පැමිණිල්ලකට අනුව සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථානයට යන විට නිරෝධායනය වෙමින් සිටි එම පවුලේ ඇතැම් අය නිවසේ සිටියේ නැහැ.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ නිරෝධායනය වන පුද්ගලයින් නිවසින් පිටතට යෑම තමන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් එම නිවසේ අයට ද දැඩි ලෙස අවවාද කරනු ලැබුවා.

නිරෝධායනය වන පුද්ගලයින් නොයෙක් හේතු කියා නිවසින් බැහැරට ගොස් සිටීම ඉතා බරපතළ තත්ත්වයක් බවයි වැල්ලම්පිටිය මහජන සෞඛ්‍යය පරීක්ෂක අජිත් විතානගේ මහතා මෙහිදී කියා සිටියේ ෴

+++++++++++++++++++

(13.05.2021 – 09:39 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ තවත් මරණ 18 ක් ඊයේ (12) දිනයේදි වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව, කොරෝනා ආසාදිතව මියගිය මුළු සංඛ්‍යාව 868 දක්වා ඉහළ යනවා.

වඳුරඹ, ඉමදූව, වලස්මුල්ල, මතුගම, මැල්සිරිපුර, කුරුණෑගල, අලව්ව, මොරොන්තුඩුව, ඕමල්පේ, ඇඹිලිපිටිය, හාල්දඬුවන, කන්දෙගෙදර, පස්සර, කොළඹ-05, අලව්ව, වව්නියාව, තල්ගස්වල සහ බේරුවල ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 38 ත් 95 ත් අතර වයස්වල පසුවූ අයයි.

‘කොවිඩ් නියුමෝනියාව’ ඔවුන් සියලුදෙනාම පාහේ මියයාමට හේතුව ලෙස දක්වා තිබෙනවා.

මියගිය ආසාදිතයන් පිළිබඳව තොරතුරු පහතින් :

++++++++++++++++++++++++

අද (13) රාත්‍රි 11 සිට සඳුදා (17) අලුයම දක්වා අත්‍යාවශ්‍ය සේවා හැර සියලු සංචරණ තහනම් – හැඳුනුම්පතෙනුන් ගමන් බැහැ

(13.05.2021 – 10:36 +0530 – hirunews.lk/sinhala)

සම්පූර්ණයෙන්ම සංචරණ සීමා පනවා ඇති තෙදින තුළ හැඳුනුම්පත් ක්‍රමවේදය භාවිත කරමින් ගමන් යාමට කිසිදු අවසරයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, අද (13) රාත්‍රී 11 සිට ලබන සඳුදා (17) අලුයම 4 දක්වා දිවයින පුරා සියලු සංචරණ තහනම් බවයි.

එමෙන් අදාළ කාලය තුළ දී කඩසාප්පු විවෘත කර තැබීම සම්පූර්ණයෙන් තහනම් වන අතර අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කළ හැකි බව ද සඳහන්.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත යාමටත්, ඖෂධ බෙදා හැරීමට හැකි බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ.

එමෙන්ම, අත්‍යාවශ්‍ය සේවාවන්ට පමණක් රාජකාරි හැඳුනුම්පත මගින් සිය සේවාස්ථාන වලට වාර්තා කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එසේම, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන සියලුම රථ වාහන වැලිපැන්න පිවිසුමෙන් පිටවිය යුතු බව අධිවේගී මාර්ග රථවාහන කොට්ඨාශය පවසනවා.

ඒ අනුව, වැලිපැන්න හුවමාරුවේ ඇති පොලිස් මාර්ග බාධකය මගින් සියලුම පුද්ගලයින් පරික්ෂා කිරීමෙන් අනතුරුවයි අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් යළි අධිවේගී මාර්ගයට ඇතුළු වී ගමන් කළ හැකි වන්නේ.

එසේම, දිවයින පුරා සංචරණ සීමා පැනවුව ද අද (13) සිට අමතර දුම්රිය 05 ක් ධාවනය සඳහා යෙදවීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය පියවර ගෙන තිබෙනවා.

එමගින් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා යන මගීන්ට තම අනන්‍යතාවය තහවුරු කර දුම්රියේ ගමන් කිරිමට හැකියාව ලැබෙනු ඇති.

මේ අතර, දිස්ත්‍රික්ක 03 ක තවත් ග්‍රාම නිලධාරී වසම් 11 ක් අද (13) උදෑසන සිට හුදෙකලා කෙරුණු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයේ පාළුගහවෙල හුදෙකලා කෙරෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ අහංගම පොලිස් බල ප්‍රදේශයේ කරදුන්ගොඩ, ගොවියාපාන, කහවන්නගම සහ දොම්මන්ගොඩ මෙන්ම හබරාදූව පොලිස් බල ප්‍රදේශයේ ලණුමෝදර, බොනවිස්ටා, කටුකුරුන්ද යන ග්‍රාම නිලධාරී වසම්ද හුදෙකලාවට ලක් කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙනවක – පාතකඩ සහ දිප්පිටිගල මෙන්ම කුරුවිට පොලිස් බල ප්‍රදේශයේ කුරුවිට ග්‍රාම නිලධාරී වසම හුදෙකලාවට ලක් කර තිබෙනවා.

මීට අමතරව දෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය ද හුදෙකලාවට ලක් කර ඇති බවයි යුද හමුදාපතිවරයා නිවේදනය කළේ.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බල ප්‍රදේශයේ උග්ගල්ල, අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය මෙන්ම නුවරඑලිය දිස්ත්‍රික්කයේ හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝඩස්වත්ත වසමේ ගෝනගල්ල කොටස සහ අක්කර 30 කොටස අද (13) උදෑසන සිට හුදෙකලාභාවයෙන් නිදහස් කර තිබෙනවා.

@@@@@@@@@@@@@@@

(13.05.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

පුරාණ සෙල්ලිපි වල සඳහන් ‘ජිනපටි සතරියකම’ යන පුරාවිද්‍යාත්මක වචනය සඳහා ‘කඨින පූජෝත්සවය’ නැමැති නව අර්ථ නිරූපනයක් ලබා දී තිබෙනවා.

දීර්ඝ කාලයක් පුරා සිදු කල පුරාවිද්‍යා පර්යේෂණ ගණනාවකින් අනතුරුව මෙම නව අර්ථ නිරූපනය ලබා දී ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා විසින්.

මෙම ජිනපටි සතරියකම යන පුරාණ වචනය බහුලව හමුවී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 2 ත් 5 ත් අතර කාලයේ අනුරාධපුර යුගයට අයත් සෙල් ලිපි වලින්.

මේ වනවිට සෙල් ලිපි 30 කින් පමණ මෙම පුරාවිද්‍යාත්මක වචනය හමු වී තිබෙනවා.

කෙසේ වෙතත්, අදාල පුරාවිද්‍යාත්මක වචනයට ගැලපෙන නිශ්චිත අර්ථ නිරූපනයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම සෙල්ලිපි නිවැරදිව අර්ථ ගන්වා ගැනීමට මෙතෙක් හැකිව තිබුණේ නැහැ.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ප්‍රකාශ කළේ නව අර්ථ නිරූපනය සමග එම සියලු සෙල්ලිපි වල සඳහන් සම්පූර්ණ කරුණු නිවැරදිව පැහැදිලි කර ගැනීමට හැකි වී ඇති බවයි ෴

******************************************

(13.05.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

වී ගොවීන්ගේ යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් තරම් ආනයනය කර බෙදාහැරීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

හැටන් ප්‍රදේශයේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කාබනික පොහොර භාවිතා කර වගා කටයුතු කිරීමෙන් ගොවීන්ට පාඩු විඳීමට සිදු වුවහොත් ඔවුන්ට සහනාධාර ලබා දීමට රජය සූදානම් බව යි.

කෙසේ වෙතත්, රසායනික පොහොර ආනයනය අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය ප්‍රකාශයට පත්වීමත් සමග පොහොර ලබා ගැනීමට නොහැකි වීමෙන් ගොවීන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බවට දිගින් දිගටම තොරතුරු වාර්තා වුණා ෴

******************************************

එංගලන්තෙට පැහැරගෙන ගිය මගෙ රත්තරං පුතා මාව හොයනවා ඇති – ඉන්න තැනකින් කතාකරලා මට ‘අම්මේ’ කියන්න පුතේ.. (12.05.2021)

2008 වසරේදී තමාගෙන් පැහැරගෙන එංගලන්තයට රැගෙන ගොස් ඇති එවකට පස් (5) හැවිරිදි සහ මේ වනවිට 18 හැවිරිදි ගයිඳු කිත්මුඛ මදුරප්පෙරුම නොහොත් ගයිඳු කිත්මුඛ ජයවර්ධන දරුවා දැකගැනීමට පෙරුම් පුරන රජීවා මල්ලවාරච්චි මවගේ කඳුලු කතාව.. ඉහත දරුවා පිළිබඳ කිසියම් හෝ හෝඩුවාවක් ඔබ දන්නේනම් hirajeewa@gmail.com යන ඊමේල් ලිපිනයට ඒ පිළිබඳ දැනුම් දෙන මෙන් මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉල්ලා සිටිමි.

Rajeewa Mallawarachchi, mother of Gayindhu Kithmukha Madurapperuma allies Gayindu Kithmukha Jayawardhane who was abducted in 2008 when he as 5 years old boy and now live in England appealing your assistance to give her message to his son. If you have any important details or information about this matter please contact her through hirajeewa@gmail.com
This is the everlasting hope of her helpless life.

******************************************

(13.05.2021 – 12:44 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් මේ දිනවල අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

දිවයිනට බටහිරින් පිහිටි අරාබි මුහුදේ පවතින කැළඹිලි ස්වභාවයේ වක්‍ර බලපෑම හේතුවෙන් මෙම වැසි වැඩිවීම සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ.

මෙම කාලගුණ වෙනසත් සමඟ බේරුවල, දික්ඕවිට, පිටිපන, කල්පිටිය සහ යාපනය, මයිලඩ්ඩි යන ධීවර වරාය වලින් ධීවර කටයුතු සඳහා පිටත්ව යාම බහුදින ධීවර යාත්‍රා සඳහා අද (13) පෙරවරුවේ සිට තහනම් කර තිබෙනවා.

මේ වනවිට ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත ධීවර යාත්‍රාවලට දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසටයි.

ඒ අනුව, දිවයිනේ සෙසු ධීවර වරාය වලින් පිටත් වන බහුදින ධීවර යාත්‍රා සඳහා ඉදිරි දින 3 තුල ඉන්දියානු – මාලදිවයින් සීමාවට යාමෙන් වළකින ලෙස දැනුම් දුන් බව ධීවර දෙපාර්තමේන්තුවේ අන්තර්ජාතික ධීවර කටයුතු පිළිබඳ අතිරේක අධ්‍යක්ෂ එම්.එම්.ආරියරත්න මහතා සඳහන් කළා ෴

******************************************

(13.05.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනකු පුහුණුව ලබන ටොරින්ටන් ක්‍රීඩාංගනයේ මීටර් 400 ධාවන පථය ඇතුළු තවත් ක්‍රීඩාංගණ 4 ක් නවීකරණය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මේ සඳහා පාසල් දෙකක් (2) සහ දිස්ත්‍රික් මට්ටමේ ක්‍රීඩාංගන තුනක (3) කෘත්‍රිම ධාවන පථ එලලීම සඳහා මිල ගණන් විමසමින් ක්‍රීඩා අමාත්‍යාංශය ටෙන්ඩර් කැඳවා තිබෙනවා.

මේ සඳහා නවීනතම ‘ෆුල් පෝ මොන්ඩෝ’ වර්ගයේ කෘත්‍රිම ධාවන පථයක් එලීමටයි ක්‍රීඩා අමාත්‍යංශය සූදානම් වන්නේ.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යාංශය මෙම සංවර්ධන කටයුත්ත සඳහා භාවිතා කිරීමට සූදානම් වන කෘත්‍රිම ධාවන පථය ඒ සඳහා කිසිසේත් උචිත නොවන එකක් බවට ක්ෂේත්‍රයේ විශේෂඥයන් චෝදනා කරනවා.

සංවර්ධන කටයුත්ත සඳහා ක්‍රීඩා අමාත්‍යංශ තාක්ෂණික කමිටු බලධාරීන් භාවිතා කිරීමට උත්සාහ දරන මෙම ධාවන පථ පුහුණුවීම් සඳහා උචිත නොවන බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධ විශේෂඥයින් පවසන්නේ මොන්ඩෝ වර්ගයේ ධාවන පථ ජාත්‍යන්තර තරගකාරී තරඟාවලි වන ඔලිම්පික්, ආසියානු ක්‍රීඩා වැනි තරගාවලි සඳහා පමණක් භාවිතා කෙරෙන බවයි.

එමෙන්ම මෙම වර්ගයේ ධාවන පථ ඝර්ම කලාපීය රටවලට කිසිසේත් උචිත නොවන බවටත් ඔවුන් පෙන්වා දෙනවා.

මෙම ධාවන පථ වල රබර් ආස්තරණය වැඩිවීම හේතුවෙන් කල් යද්දී එම ආස්තරණය දැඩි වීමක් සිදුවන අතර ඒ හේතුවෙන් එහි පුහුණුවීම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බරපතළ අතුරු ආබාධ සිදු විය හැකි බවටත් ඔවුන් අනතුරු අඟවනවා.

මොන්ඩෝ වර්ගයේ ධාවන පථයක් පළමු වරට මෙරට ක්‍රීඩාංගණයක ස්ථාපිත කෙරුණේ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.

ඒ මෙරට සත්කාරකත්වය දැරූ 1991 දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල සඳහායි.

මීට අමතරව මෙම ‘ෆුල් පෝ’ වර්ගයේ ධාවන පථ කුරුණෑගල සහ මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයට යෙදීමටත් ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් උත්සාහ කරනවා.

මේ සම්බන්ධයෙන් මලල ක්‍රීඩා සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත පෙරේරා මහතා ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මේ දක්වා මෙම කෘත්‍රිම තණතීරු එළීම සම්බන්ධයෙන් මලල ක්‍රීඩා සංගමයෙන් කිසිවෙකුත් අදහස් විමසා නොමැති බවයි.

එවන් තත්ත්වයක් යටතේ තමන්ට මේ සඳහා අදහස් ප්‍රකාශ කල නොහැකි බව ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් ඔහු පෙන්වා දුන්නේත් මෙම කෘත්‍රිම ධාවන පථය පුහුණුවීම් සඳහා යොදා ගැනීම උචිත නොවන ක්‍රියාවක් බවයි.

ක්‍රීඩාවේ දියුණුව සඳහා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දිය හැකි ඉහළම පහසුකම් සැපයීම ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමයි. කෙසේ වෙතත් පුහුණුවීම් හරහා උපරිම ප්‍රතිඵල ලබාගත නොහැකි යටිතල පහසුකම් සංවර්ධනයක් හරහා ක්‍රීඩාවේ හෙට දවසේ බලාපොරොත්තු තබා ගත හැකිද ? මෙය අප ඉදිරියේ ඇති ගැටලුවයි ෴

******************************************

(13.05.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකු ලොරි රථයක ගැටී අනතුරට ලක්වන අයුරු ඒ අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.

මෙලෙසින් අනතුරට ලක් වූයේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපලවරයෙක්. ඔහු වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගියා.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ගමන් කරමින් තිබූ අදාළ ලොරි රථය කිසිදු සංඥා පහන් දැල් වීමකින් තොරව දකුණු පසට හැරවීමට උත්සාහ කරනවා. පසුපසින් පැමිණි යතුරුපැදිය ලොරි රථයේ ගැටෙන්නේ ඒ අවස්ථාවේදීයි. සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන නැහැ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *