හැකිතාක් සිය නිවසටම වී සිටින්නැයි ඉල්ලීමක්

හැකිතාක් සිය නිවසටම වී සිටින්නැයි ඉල්ලීමක්

*********************************************

හැකිතාක් සිය නිවසටම වී සිටින්නැයි ඉල්ලීමක්

(12.05.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

හැකිතාක් සිය නිවසටම වී සිටින ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා.

කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (11) දිනයේ සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 50,493 දෙනෙකුට ලබාදී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙතෙක් එම එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදුන් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 71,203 ක් බවයි ඔහු කියා සිටියේ.

එම එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 2435 දෙනෙකුට ලබාදී තිබෙනවා.

එසේම, රුසියානු ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව මේ වනවිට පුද්ගලයින් 11,338 කට ලබාදී ඇති අතර, ඊයේ (11) දිනයේ පමණක් එම එන්නත ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 5,460 ක්.

ඒ අනුව මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් වර්ග තුනෙන්ම (3) පළමු (1) මාත්‍රාව ලබාදුන් සමස්ත පුද්ගලයින් ගණන මේ වනවිට මිලියනය ඉක්මවා තිබෙනවා.

ඉදිරි සති දෙක (2) ඇතුළත ස්පුට්නික් එන්නතේ තවත් මාත්‍රා ලක්ෂ 06 ක් දිවයිනට රැගෙන එන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියා.

ගාල්ල මහ නගර සභා සීමාව තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අත්විඳීමට සිදුව ඇති රාජකාරීමය හා පරිපාලනමය ගැටළුවලට මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොරෝනා මර්දන රාජකාරී කටයුතු ඇතුළුව සියලුම රාජකාරීවලින් අද (12) දිනයේදී ඉවත්ව සංකේත වර්ජනයක නිරත වනවා.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ විදේශ රටවල සිට දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමට අදාළව නව නිරෝධායන රෙගුලාසි මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොරෝනා එන්නත් ලබා ගැනීම සැලකිල්ලට නොගෙන විදේශ රටක සිට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන්, සංචාරකයින්, අනෙකුත් විදේශිකයින් සහ රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩල ඇතුළු සියලු දෙනා යළිත් දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවකට යටත් වනවා.

විදේශීය තානාපති සේවයේ නිරත මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් සහ ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටින විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද නැවත දිවයිනට පැමිණීමේදී මෙලෙස දින 14 ක නිරෝධායනයට ලක්විය යුතුයි.

මෙය ජෛව බුබුළක් ලෙසින් ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. දින 14 ක නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු ඉන් මුදා හැරීමට පෙර සියල්ලන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමට නියමිතයි.

ඔවුන් ගුවන් තොටුපලින් දිවයිනට පැමිණීමේදී කොරෝනා පරීක්ෂණයක් සිදුකළ යුතු මෙන්ම නිරෝධායන කාලසීමාව අවසානයේ යළිත් කොරෝනා පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි එහි දැක්වෙන්නේ.

අදාළ නිරෝධායන රෙගුලාසි මැයි මස 31 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇති.

මේ අතර, ඊයේ (11) දිනයේ වාර්තා වූ ආසාදිතයින් 2,568 දෙනා සමඟින් මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,31,098 ක් දක්වා ඉහළ ගියා.

ගතවූ දිනයේ ආසාදිතයින්ගෙන් 2530 දෙනෙක් වාර්තා වුණේ ‘අලු‍ත් අවුරුදු කොවිඩ් පොකුරෙන්’ වන අතර, සෙසු 38 දෙනා විදේශගතව සිටි මෙරටට පැමිණි පුද්ගලයින්.

ඊයේ (11) හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස වූ 606 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව, කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස මුල්ලේරියාව ප්‍රදේශයෙන් වාර්තා වනවා. එම සංඛ්‍යාව 40 ක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 417 ක් වාර්තා වී තිබූ අතර, ඊට පානදුර දකුණ ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයින් එකසිය දෙදෙනා ද (102) වනවා. එසේම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 300 ක් ඊයේ (11) හඳුනාගත් අතර, කටුනායකින් හඳුනාගත් ආසාදිතයින් හැට දෙදෙනෙකු (62) ද ඒ අතර වුණා.

ඒ අනුව බස්නාහිර පළාතෙන් පමණක් ඊයේ (11) වාර්තා වූ ආසාදිතයින් ගණන 1,323 ක්.

මීට අමතරව කුරුණෑගල, ගාල්ල, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් වාර්තා වීම පෙර දින කිහිපයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

+++++++++++++++++++++++

(12.05.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තියත් සමඟ හුදකලා කෙරෙන ප්‍රදේශවල ජිවත් වන ජනතාවට මූල්‍යාධාර සැපයීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමුවී තිබෙනවා.

එමෙන්ම, කොරෝනා ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය උපරිම මූල්‍ය පහසුකම් සැලසීම සඳහා සැලසුම් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

කොවිඩ් ව්‍යාප්තියේ පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂ නායකයන් පූර්ණ සහය පළ කළ අතර අනාගත තත්ත්වයන්ට මුහුණදීම සඳහා දිවයින පුරා අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීම පිලිබඳව ද අවධානය යොමුවුණා.

කොවිඩ් ආසාදිත රෝගීන්ට ඇතිවිය හැකි දුෂ්කරතා මඟ හැරීම පිළිබඳව ද ආණ්ඩුවේ පක්ෂ නායක හමුවේදී අදහස් හුවමාරු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය, අනුරාධා යහම්පත් මහත්මියට කොරෝනා ආසාදනය වී තිබෙනවා ෴

+++++++++++++++++++++

හෙට (13) රාත්‍රී 11 සිට 17 වනදා සඳුදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා

(12.05.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන හෙට (13) රාත්‍රී 11 සිට ලබන 17 වනදා සඳුදා අලුයම 4 දක්වා (දින 03 යි පැය 05 ක්) දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවා තිබෙනවා.

එසේම, අද (12) රාත්‍රී 11 සිට හෙට (13) අලුයම 4 දක්වා ද දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි.

නැවත රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා වන සංචරණ සීමා ලබන 17 වනදා සඳුදා සිට මැයි 31 වනදා දක්වා ද ඉන් පසු, ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඔහු කියා සිටියේ එම කාලසීමාව තුල අත්‍යාවශ්‍ය සේවා අඛන්ඩව පවත්වාගෙන යන අතර, දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙලට මෙමගින් බලපෑමක් එල්ල නොවන බවයි.

එසේම, අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම සීමා අදාළ නොවන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම, දැනට බස්නාහිර පළාතේ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිලිවෙල සඳහා ද එමඟින් බලපෑමක් වන්නේ නැහැ.

සංචරණ සීමා ක්‍රියාත්මක වන කාල සීමාවන්හිදී රෝගීන් රෝහල්ගත කිරීම වැනි කටයුතු සඳහා බාධාවක් නොවන බව, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියා.

මේ අතර මැයි 31 වනදා දක්වා අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා නිවසින් පිටව හා හැක්කේ ජාතික හැඳුනුම්පතේ, රියදුරු බලපත්‍රයේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ අවසන් අංකය අනුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ඔත්තේ දිනවල හැදුනුම්පතේ 1,3,5,7,9 යන අවසන් අංක සහිත අයට නිවසින් පිටවිය හැකි අතර, ඉරට්ටේ දිනවල 0,2,4,6,8 යන අවසන් අංක හිමි අයට නිවසින් බැහැර යා හැකියි.

කොරෝනා ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 වනදා දක්වා පළාත් අතර, සංචරණ සීමා පැනවූ අතර, කෙසේ වෙතත්, එය අදාළ නොවන අත්‍යාවශ්‍ය සේවා කිහිපයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, සෞඛ්‍ය සේවා පොලීසිය හා ත්‍රිවිධ හමුදාව, අත්‍යාවශ්‍ය නිල සංචාර සඳහා රාජ්‍ය අංශයේ නිලධාරින්, අත්‍යාවශ්‍ය සැපයුම් බෙදා හරින්නන් හා සේවා සපයන්නන් ඊට ඇතුළත්.

මීට අමතරව, පවුලේ ආසන්නතම සාමාජිකයෙකුගේ අවමංගල්‍යයක් සඳහා සහභාගි වීම, විදේශ ගත වීම, විදේශයක සිට පැමිණීම හෝ ආනයන අපනයන කටයුතු සඳහා අවශ්‍ය සේවා සඳහා තහවුරු කිරීමකින් අනතුරුව පළාත් අතර, සංචරණය කිරීමට හැකිවනවා.

මේ අතර, මැයි 31 වනදා දක්වා අවසර ලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, මංගල උත්සව නැවත දැනුම්දෙනතුරු පැවැත්වීමට අවසර හිමි නොවන අතර, විවාහ ලියාපදිංචි කිරීම පමණක් ලගම ඥාතීන් උපරිම 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදුකළ හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ අදාළ නව මාර්ගෝපදේශයන්හි දැක්වෙන්නේ.

++++++++++

+++++++++++++++++++

හෙට (13) සිට අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා නිවසින් බැහැරව යන අයට දැනුම්දීමක්

(12.05.2021 – 15:01 +0530 – hirunews.lk/sinhala)

හෙට (13) සිට මැයි 31 වනදා දක්වා අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා නිවසින් පිටව හා හැක්කේ ජාතික හැඳුනුම්පතේ, රියදුරු බලපත්‍රයේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ අවසන් අංකය අනුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ඔත්තේ දිනවල හැදුනුම්පතේ 1,3,5,7,9 යන අවසන් අංක සහිත අයට නිවසින් පිටවිය හැකි අතර, ඉරට්ටේ දිනවල 0,2,4,6,8 යන අවසන් අංක හිමි අයට නිවසින් බැහැර යා හැකියි.

මේ අතර අද සිට ලබන 31 වනදා දක්වා අවසර ලත් පොදු ක්‍රියාකාරකම් සිදු කළ යුතු ආකාරය දැක්වෙන නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පොදු ප්‍රවාහන සේවාවලදී බස් රථවල හෝ දුම්රියේ ආසන ධාරිතාව දක්වා මගීන් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර හිමිවනු ඇති.

පෞද්ගලික කූලී රථ සේවා වන මෝටර් රථ සහ ත්‍රී රෝද රථ සඳහා උපරිම මගීන් සංඛ්‍යාව දෙදෙනෙකුට (2) සීමාවන අතර වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාවට සීමා වනවා.

කොවිඩ් වෛරසය ආසාදනය නොවූ මෘත දේහ රෝහලෙන් හෝ මරණ පරීක්ෂකවරයා විසින් මුදාහැර පැය 24 ක් තුල අවසන් කටයුතු සිදු කළ යුතුයි.

ලබාදී ඇති උපදෙස්වලට අනුකූලව පැමිණෙන පුද්ගලයින් ප්‍රමාණය අවම කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් වරකට උපරිම පුද්ගලයන් 15 කට සීමා කර අවසන් කටයුතු සිදුකළ යුතු වනවා.

පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර හිමිවන්නේ නැහැ.

නිවෙස්වල පැවැත්වෙන සුලු සාද ද ඇතුලුව උත්සව, සාද, එක්රැස්වීම් පැවැත්වීමට අවසර හිමි නොවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.

+++++++++++++++++++++

++++++++++++

@@@@@@@@@@@@@@@@

ජීවිතයට එල්ල වූ අභියෝග ආත්ම විශ්වාසයෙන් ජයගත් මහනුවර දිරිය දියණිය

(12.05.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

ජීවිතයට එල්ල වූ අභියෝග ආත්ම විශ්වාසයෙන් සහ කැපවීමෙන් ජය ගෙන මෙවර උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා අංශයෙන් විශිෂ්ට ප්‍රතිඵල හිමිකර ගත් දිරිය දියණියක් පිළිබඳ මහනුවරින් වාර්තා වනවා.

විවිධ ආබාධ සහිතව උපත ලැබු ඇයට මේ වනවිට සැත්කම් 27 ක් සිදු කර තිබීම ද විශේෂත්වයක්.

මේ වත්සලා යසන්ති කුමාරි මුතුකුඩේ සිසුවියයි.

මෙවර උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා අංශයෙන් ඉදිරිපත් වී A සාමර්ථ්‍යය දෙකක් (2) සහ B සාමර්ථ්‍යයක් (1) හිමිකර ගැනීමට ඇය සමත් වුණා.

මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව – අරඹේගම පදිංචිව සිටින වත්සලා උපත ලබා තිබුණේ ආබාධ කිහිපයක් ද සමඟයි.

නමුත් එය බාධාවක් කර නොගත් ඇය සාමාන්‍ය පෙළ විභාගයේදී A සාමාර්ථ 8 ක් සහ B සාමාර්ථයක් (1) ලබා ගැනීමට සමත්ව තිබුණා.

මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලයෙන් පසු උසස් පෙළ සඳහා වත්සලා මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා.

ඇගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ගුරුවරුන්ගෙන් ද ලැබුණු සහය මුදල් අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු වන ඇයගේ පියා මෙලෙස විස්තර කළා.

මේ වනවිට ශල්‍ය කර්ම 27 කට මුහණ දී සිටින ඇය පාසල් සිටි කාලයට වඩා වැඩි කාලයක් රෝහල් ගතව සිටි බව මව්පියන් පවසනවා.

අධ්‍යාපන කටයුතුවලට මෙන්ම චිත්‍ර ශිල්පයට ද සුවිශේෂි දක්ෂතා දක්වන ඇය තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට උර දුන් සැම සිහිපත්ක ළේ මෙලෙසින්.

කුඩා කළ සිටම තම ජීවිතයට එල්ල වූ අනේක විධ දුක් කම්කටොලු පරදා අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් උසස් පෙළ ජයගත් මේ දියණිය සමාජයට දෙන්නේ කෙතරම් නම් ආදර්ශයක්ද?

******************************************

(12.05.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ දිවයිනේ විවිධ ප්‍රදේශ වල ගොවීන් සිය අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා.

නවගත්තේගම – ඉගිනිමිටිය ප්‍රදේශයේ වට්ටක්කා ගොවීන්, කරුවලගස්වැව – නෙළුම්ගම ප්‍රදේශයේ ගස්ලබු වගාකරුවන් සහ කුලියාපිටිය ප්‍රදේශයේ බුලත් වගාකරුවන් සඳහන් කලේ සිය වගාවන් අලෙවි කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් තමන් ආර්ථික අර්බුද රැසකට මුහුණ දී සිටින බවයි.

මේ අතර රසායනික පොහොර ආනයනය අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය ප්‍රකාශයට පත්වීමත් සමග පොහොර ලබා ගැනීමට නොහැකි වීමෙන් ගොවීන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බවට තවදුරටත් තොරතුරු වාර්තා වනවා.

පොළොන්නරුව ඇලහැර ගොවිජනපද ව්‍යාපාරයේ බකමූණ, කුරුවියාය ගොවීන් ප්‍රකාශ කළේ කුඹුරු අක්කර 300 කට වැඩි ප්‍රමාණයක් සඳහා යූරියා පොහොර මෙතෙක් ලැබී නොමැති බවයි.

******************************************

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පත්කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *