දින 10 කදී මෙරටින් කොරෝනා මරණ 149 ක් – ආසාදිතයින්ගෙන් සියයට 17 කට ඔක්සිජන් අවශ්‍යයි

දින 10 කදී මෙරටින් කොරෝනා මරණ 149 ක් – ආසාදිතයින්ගෙන් සියයට 17 කට ඔක්සිජන් අවශ්‍යයි

*********************************************

දින 10 කදී මෙරටින් කොරෝනා මරණ 149 ක් – ආසාදිතයින්ගෙන් සියයට 17 කට ඔක්සිජන් අවශ්‍යයි

(11.05.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala)

මැයි මාසයේ ගෙවුණු දින දහයක (10) කාලය ඇතුළත මෙරටින් කොරෝනා ආසාදිතයින් 20,384 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

එම කාලය තුළ සිදුව ඇති කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 149 ක්.

මෙරට සිදුවූ දෛනික වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් කරමින් ඊයේ (10) මරණ 26 ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 827 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (10) සිදුවූ මරණ 26 න් 22 කටම හේතුවී තිබුණේ කොවිඩ් නිව්මෝනියාවයි.

එම මරණ අතර මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය මාස 03 ක් වයසැති බිළිඳියක්ද වනවා.

මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ මහතා කියා සිටියේ බිළිඳියට වෛරසය ආසාදනය වූ ආකාරය සොයාගත නොහැකි බවයි.

මැයි මාසයේ ගතවූ දින 10 තුළදී පමණක් කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින් 149 දෙනා අතරින් 119 දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව තිබුණේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන්.

ගතවූ දින 04 තුළදී දෛනික කොරෝනා මරණ වාර්තා වූයේ දිනකට මරණ 15 ඉක්මවමින් වීම විශේෂත්වයක්.

මේ අතර, අද (11) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 1225 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,29,755 දක්වා ඉහළ ගියා.

එසේම, කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 1,030 දෙනෙකු අද (11) දිනයේදී පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 1,06,641 ලෙසයි.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 22,287 ක්.

මේ අතර, මෙරට කොවිඩ් අවදානම තුන්වන (3) මට්ටමට මුහුණදීම සඳහා දැනට භාවිත වන ක්‍රමවේද විමසා බැලීමට සහ අලුතින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් තාක්ෂණික කමිටුව අද (11) හදිසියේ රැස්වුණා.

ඒ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

එහිදී මෙරට තුළ කොරෝනා පැතිරීමේ වේගය, කොරෝනා පරීක්ෂණවල ශක්‍යතාව, නිරෝධායනය, රෝහල්ගත කිරීම, ප්‍රතිකාර කිරීම, ඔක්සිජන් මට්ටම, මරණ අනුපාතය පිළිබඳව අවධානය යොමුකරමින් ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවුණා.

කොරෝනා පාලනය සිදුකරන සමස්ත ක්‍රියාවලිය විධිමත්ව නිරීක්ෂණය කෙරෙන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම කෙරෙහි සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු අතර, ඒ සඳහා වෛද්‍ය උපාධිධාරීන්ගේ සේවය සේවය ලබාගැනීමට සාකච්ඡා වී තිබෙනවා.

කොරෝනා තුන්වන (3) අවදානම් තත්ත්වය හමුවේ ඇතිවන ඔක්සිජන් අවශ්‍යතාවය පිළිබඳව පුරෝකතනයක් සිදුකිරීමටද මෙහිදී අවධානය යොමු වුණා.

දැනට වාර්තාවන ආසාදිතයින්ගෙන් 25% ත්, 28% ත් අතර ප්‍රමාණයක් රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් වන අතර, එයින් 17% ක පමණ ප්‍රමාණයකට ඔක්සිජන් අවශ්‍යතාවය ඇතිවන බවට නිරීක්ෂණය වන බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

එයින් 4% ක, 5% ක පමණ ප්‍රමාණයක් දැඩි සත්කාර ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සිදුවන බව හඳුනාගෙන තිබෙනවා.

මේ අතර, කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් විවිධ ප්‍රදේශවල අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සැකසීමේ කටයුතුද මේ දිනවල සිදුකෙරෙනවා.

එසේම, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවලින් පැමිණෙන ගුවන් යානා සිය රටට ඇතුළු වීම නැවැත්වීමට කුවේටය ද තීරණය කර තිබෙනවා.

+++++++++++++++++++++++

(11.05.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ ක්‍රියාවලියේදී රජය මුළුමනින්ම අසමත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අද (11) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

++++++++++++++++++++

(11.05.2021 – 20:50 +0530 – hirunews.lk/sinhala)

අද (11) වන විට හෝමාගම මූලික රෝහලේ කොවිඩ් ආසාදිතයින් දෙසීයකට (200) ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබනවා.

ඒ අතර 20 කට ආසන්න ගැබිණි මව්වරු සහ වයස අවුරැදු 15 ට අඩු දරුවන් 25 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර එක් ගැබිණි මවක් දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබනවා

ඒ නිසා ගැබිණි මව්වරු සහ දරුවන් හැකි තරම් නිවසේම රඳවා තබන්න.

නිවසින් බැහැරව ගොස් කොවිඩ් වාහකයෙකු ලෙස ආපසු නිවසට පැමිණෙන පුද්ගලයා නිසා නිවැසියන් කොවිඩ් ආසාදිතන් බවට පත්විය හැක.

හෝමාගම මූලික රෝහලට මේ වන රෝගීන් 125 කට ඔක්සිජන් ලබා දීමේ පහසුකම් තිබෙනවා.

එය තවත් වර්ධනය කිරීමට කටයුතු සිදු කරමින් සිටිනවා ෴

++++++++++++++++++++++

(11.05.2021 – 21:40 +0530 – hirunews.lk/sinhala)

රාත්‍රී කාලයේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

‘අද (11) රාත්‍රී 11 සිට හෙට (12) අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කරයි’ යන මැයෙන් සමාජ මාධ්‍ය සහ පුවත් වෙබ් අඩවි වල පළවන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකට ප්‍රතිචාර වශයෙනුයි යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේ.

එය සම්පූර්ණයෙන්ම සාවද්‍ය පුවතක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා ෴

+++++++++++++++++++++++

(11.05.2021 – 21:51 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා මරණ ගණන 850 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද (11) තවත් කොවිඩ් මරණ 23 ක් වාර්තා වීමත් සමඟයි.

අද (11) දිනයේ කොරෝනා ආසාදිතයන් 1,225 ක් ද වාර්තා වුණා. මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 1,030 ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළා. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 106,641 ක්.

අද (11) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1035 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද (11) දිනයේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 2530 ක් ෴

+++++++++++++++++++++++

(11.05.2021 – 18:08 +0530 – sinhala.adaderana.lk)

දකුණු පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සේවා ස්ථානයට මහජනතාව පැමිණීම සීමා කිරීමේ අරමුණින් එම තීරණය ගෙන ඇත.

ඒ අනුව මැයි මස 17 වන දින සිට 2021 ජූනි මස 16 වන දා දක්වා දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළුව දකුණු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෝ ඒ ආශ්‍රිත සේවා ක්‍රියාත්මක නොවේ.

නිවේදනයක් නිකුත් කරමින් දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් මේ බව දැනුම් දී තිබේ.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති කාලය සඳහා දඩ මුදල් අය කිරීම් සිදුනොකරන බවත් අන්තර්ජාලය මඟින් වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ පහසුකම පෙර පරිදිම ක්‍රියාත්මක බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ ෴

++++++++++++++++++++

(11.05.2021 – sinhala.adaderana.lk)

මේ තම මව මෙලොවින් සමුගැනීම දරාගැනීමට නොහැකිව හඬා වැලෙපෙන තවත් එක් දියණියක් ෆේස්බුක් ගිණුමේ තැබු සටහනක්.

දිනෙන් දින ඉහළ යන කොවිඩ් අවධානම මධ්‍යයේ තම සමීපතමයින් අප හැර යමින් සිටින මොහොතක අරුණිගේ සංවේදී කථාව ඔබට පැවසිය යුතු යැයි අපි සිතුවෙමු.

පුවත්පත් මාධ්‍යවේදිනියක් වන අරුණි කළුපහන සියලුදෙනාගේ දැන ගැනීම පිණිස ෆේස්බුක් සටහනක් තබන්නේ මැයි 07 වනදා ය.

කෙසේවෙතත් ඒ වෙනවිට කොවිඩ් ආසාදිතව ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර, ඇයගේ මව ද කොවිඩ් ආසාදිතව වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියාය.

එම මව පිළිකා රෝගීව සුවවු තැනැත්තියකි.

කෙසේවෙතත් අද අප මේ සටහන තමන මොහොතේ අරුණිගේ මව මෙලොවින් සමුගෙන ගොසින්ය.

සියල්ලන්ගේ දැන ගැනීම පිණිස ලියා තබමි.

පසුගිය අප්‍රියෙල් 28 වන දින රාත්‍රියේ පටන් මා තද උණ රෝගයෙන් සහ අත් කකුල් වල දැඩි වේදනාවකින් පෙළුණෙමි. තත්වය කෙසේ වේදැයි නොදැන වුවත් එදිනම MOH කාර්‍යාලය සහ PHI මහතා දැනුවත් කළෙමි. එමෙන්ම PCR පරික්ෂණයක් කර ගැනිමට මා ඔවුන්ගෙන් විමසු විට පරික්ෂා කරන ලද වෛද්‍යවරයෙකුගේ ලියුමක් අවශ්‍ය බව පැවසීය.

එදිනම හවස් යාමයේ වෙන්නප්පුව ප්‍රදේශයේ මා නිරතුරුවම ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයා මුණ ගැසී ප්‍රතිකාර ලබාගතිමි. මට ඇත්තේ වෛරස් උණක් බවත් රජයේ රෝහලකින් PCR පරික්ෂණයකට යොමු කිරිමට අවශ්‍ය ලිපියක් ලබා දිය නොහැකි බවත් මා PCR පරික්ෂණයෙන් කොරෝනා අසාදිතයෙකු බව තහවුරු වුවහොත් තමාටද නිරෝධානය වීමට සිදුවන බවත් PCR පරික්ෂණයක් අවශ්‍ය නොවන බවත් එම වෛද්‍යවරයා පුන පුනා මට පැවසීය. එමෙන්ම ඔහුගේ උපදේශය වුයේ දවසට සෑම කෑම වේලකට පසුවම රතු ළූණු සහ අමු මිරිස් ආහාරයට ගන්නා ලෙසත් ය. ඒ වෛද්‍යවරයා ගැන මීට වඩා කිසිවක් දැනට නොකියමි.

මටත් වඩා අම්මා ගැන තිබුණු බය නිසාම මම මීගමුව නවලෝක රෝහලෙන් පෞද්ගලිකව PCR පරික්ෂණයක් මැයි මස 03 වෙනිදා සිදු කර ගතිමි. ඒ වන විටත් වෛරස් උණක් යැයි සිතා වෛද්‍යවරයා ලබා දුන් බෙහෙත් ලබා ගත්තද තද උණ තත්වය එසේම පැවතිණි.

ඒ වන විට කලක් තිස්සේ රෝගීව රෝහල්ගත කර සිටි අම්මා සිටියේ නැවතත් නිවසේය. අම්මා ගැන ඇති වු බිය නිසාම ඇයව රෝහල් ගත කිරීමට කිහිපවරක් උත්සාහ කලද, කොතරම් අසනීපයෙන් සිටියත් අම්මා මා දමා යළි රෝහල් ගත වීම ප්‍රතික්ෂේප කළාය. තද උණෙන් පෙළමින් නිදා සිටි මා අවදිවෙද්දී වතාවක් දෙකක් මගේ නළලට අත තබමින් මා ගැන වද වෙමින් මා විමසමින් ඇය සිටියාය. ඒ ඇයත් මාත් සමීපව සිටි මොහොතය.

ඒ කාලයේම ඇයගේ රෝගී තත්වය යළි උත්සන්න වන්නටත් හුස්ම ගැනීමට අපහසු වන්නටත් විය. තව දුරටත් බලා සිටිය නොහැකිම තැන මැයි 05 වෙනිදා පාන්දර පවුලේ අය විසින් ඇය රෝහල් ගතකරනු ලැබූ අතර එහිදි ඇන්ටිජන් පරික්ෂණයෙන් අම්මා කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු විය.

අනතුරුව දහවල් වෙත්දි මා ද කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වීමත් සමගින් යළි මා PHI සහ MOH කාර්‍යාලය දැනුවත් කළෙමි. ඊට පසුවදා උදේ මා නිරෝධාන මද්‍යස්ථානයකට රැගෙන යන බව ඔවුන් පැවසීය.

ඊට පසුදා එනම් මැයි 06 වෙනිදා වෙත්දී මා හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළුණ අතර හවස් වෙත්දි තත්වය අසීරු විය. ඒ වන විට සෙනග එකතු කරමින් සිටි PHI පැමිණ සිටියේ නැත.

හවස හතර (04:00) පමණ වන විට 1990 සුවසැරිය රථයක් පැමිණ මා කඩිනමින් රෝහල් ගත කළේය. රෝහලට ගෙනියන අතරතුරේද කිහිපවරක් හුස්ම ගැනීමට අසීරු වූ අතර හැකි ඉක්මනින් අවශ්‍ය උපදෙස් දෙමින් මා රැගෙන ආ ඔවුන්ගේ ඒ සුවිශේෂී සේවාව අගය කළ යුතුමය.

කෙසේ හෝ මා දැන් ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර රෝහලේය. දුරකතනයට සිගන්ල් නැති හෙයින් බොහොමයක් පණිවිඩ සහ ඇමතුම් වලට පිළිතුරු දීමට නොහැකි විණි.

අම්මා වැලිසර ලය රෝහලේය. ඇය ඉතා අසීරුවෙනි. කතා කරන විට ශබ්දය පිට වුවද වචන ගලපා ගන්නේද ඇය අසීරුවෙනි. එසේ හෙයින් අප ගැන විමසන්නට ඇයට ඇමතුම් ලබා නොදෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. මීට පෙර පිළිකා රෝගී තත්වයකින් පෙළුණු ඇය කොරෝනා ආසාදිත වන විට පෙනහලු ආශ්‍රීත රෝගී තත්වයකින් රෝගීව සිටියාය. අම්මාට කිසිවක් තනිවම කරගත නොහැකි තත්වයක ඇය සිටී. කිසිවෙකුට ළග සිටීමට අවසර නැත.

මා නිරතුරුව මිනිසුන් හෝ සමාජය හා ගැටුණු අයෙක් නොවෙමි. කාර්‍යාල මගී සේවයක් මගින් උදේ හවා ගමන් කරන මා අනෙකුත් හැකි සෑම අවස්ථාවකම පෞද්ගලික කාරයෙන් ගමන් කළෙමි. නමුත් ගෙවුණු කාලය තුළ මා මුණ ගැසුණු, මා හා කතා බස් කළ සියලු දෙනාටම කරුණාකර කොයිකටත් ඔබේ තත්වය පරික්ෂා කරගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ඉතින්, ජිවිතය බොහෝ අපේක්ෂා නොකළ දේවල් වලින් පිරි ගොසිනි. මේ කාලය තුළ මා බොහෝ මිනිසුන් ගැන හදුනා ගතිමි. ජිවිතයේ පළමු වරට තනිව රෝහලක වෙසෙමි. නමුත් කිසිම විටෙක මා සිතින් තනි නොකළ මගේ පවුල, නෑදෑයන්, ආදරණිය පවුලක් වෙමින් මා වෙනුවෙන් වෙහෙස වූ කාර්‍යාල සගයන්, මිතුරන්, ගුරුවරුන්, වෛද්‍යවරුන් ඇතුළු කාර්‍ය් මණ්ඩලය මෙන්ම මා සමගින් සිටි සියල්ලටම බොහොමත්ම ස්තූති කරමි. ඒ ආදරයට පෙරළා ආදරය කරමි, ඔබ මා වෙනුවෙන් අන්තීම මොහොත වනතුරු නොසෑහෙන්න වෙහෙස වූ අයුරු ස්තූතිපූර්වකම සිහිපත් කරමි.

හෙට දවස කුමක් වුවත් ඔබ සැමටම හදවතින්ම ආදරය කරන බව පමණක් පවසමි.

2021 මැයි 07

මේ අවුරුදු 26 ට පුංචිවත් දුකක් නොදී හෙවණැල්ලක් වගේ මාව බලාගත්තේ, ඉල්ලපු හැමදේම මට දුන්නේ, හැම වෙලේම මගේ සතුට වෙනුවෙන් හැමදේම දරාගත්තේ, මේ විදියට පස්සෙන් ඇවිත් ඇවිත් මගේ ජිවිතේ ලස්සනට හැදුවේ මාව මේ විදියට තනියම දාලා යන්නද අම්මේ? ඔයා කිව්වා “හැම වෙලේම කවුරු නැතත් පුතේ මං ඉන්නවා” කියලා. ආපහු සනීප වෙලා අපි එමු කියලා මාව මෙහෙම කාත් කවුරුත් නැතිව දාලා යන්න ගියේ කොහොමද අම්මේ? ඔයා දන්නවා මට ඔයා නැතිව ඉන්න බෑ කියලා. ඇයි අම්මේ කෝම හරි හොඳ වෙනවා කියලා මෙහෙම යන්න ගියේ.. ඇයි අම්මේ?

අරුණි කළුපහන
2021 මැයි 10

++++++++++++++++++++++

SARS-CoV-2 Coronavirus Micro-droplets – NHK World report (30.03.2020)

++++++++++++++++++++++

(12.05.2021 – 06:10 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 435 ලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++

ඊයේ (11) රාත්‍රියේ සිට තහනම් වන ගමන්

(12.05.2021 – 06:19 +0530 – hirunews.lk/sinhala)

පළාතෙන් පළාතට ඥාතීන් බැලීම සඳහා, ආගමික කටයුතු සඳහා, විනෝද චාරිකා සඳහා සිදුකෙරෙන චාරිකා, සති අන්ත නිවාඩු ගත කිරීම සඳහා කණ්ඩායම් වශයෙන් සිදු කෙරෙන චාරිකා ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු සපුරා තහනම් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ වන විට දිවයින පුරා සීග්‍රයෙන් පැතිර යන කොවිඩ්-19 වසංගත රෝග තත්ත්වය මර්දනය කිරීම සඳහා පළාත් අතර සංචරණ සීමා පනවා ඇති බවත් කිසිදු විශේෂ හේතුවක් නොමැතිව පළාතෙන් පළාතට ගමන්කරන පුද්ගලයන් සහ කණ්ඩායම් පිළිබඳව පොලිසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

සෑම පළාත් සීමාවක් ම ආවරණය වන පරිදි පිහිටුවා ඇති විශේෂ ආරක්ෂක මුර කපොලුවල පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඒකාබද්ධව සේවයේ යෙදවෙන බවත් සියලු රථවාහන පරික්ෂා කිරීමේ කටයුතුවල නිරත වන ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම මේ ව්‍යසනකාරී අවස්ථාවේ සමස්ත රටවැසියන්ගේ යුතුකම බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබන 30 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි පනවා ඇති කොවිඩ්-19 නව මාර්ගඋපදේශ මාලාව අනුව පෙර පාසල්, දිවා සුරකුම් මධ්‍යස්ථාන, පාසල්, උපකාරක පන්ති, ගෘහස්ථ ක්‍රීඩා ශාලා, ව්‍යායාම් මධ්‍යස්ථාන වසා දැමිය යුතු බවට නිර්දේශ කර තිබෙනවා.

මීට අමතරව මහජනතාව පොදු වශයෙන් රැස් වන වෙරළ තීරයන්, ක්‍රීඩාංගන ආදියත් වසා තැබීමටයි මෙම සෞඛ්‍ය උපදේශන මාලාවෙන් නිර්දේශ කර ඇත්තේ.

පළාත් සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමත් සමඟ ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට දුර ගමන් සේවා දුම්රිය ධාවනය නතර කෙරුණා.

ඒ අනුව, අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා පැමිණෙන පිරිස් සඳහා ලංගම බස් රථ කිහිපයක් පමණක් ධාවනය වන බවයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ (11) සඳහන් කළේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ඉල්ලා සිටියේ අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා පැමිණෙන සේවකයන් සඳහා යොදවන බස් රථවලට වෙනත් පුද්ගලයින් ගොඩවීමෙන් වළකින ලෙසටයි.

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට සියලු දුර ගමන් දුම්රිය සේවා අවලංගු කෙරුණු අතර, දුම්රිය ධාවනය පළාත් සීමාවන් තුළ පමණක් සිදුවනවා.

ඒ අනුව, සියලුම මාර්ගවල දුම්රිය 62 ක් පමණක් ධාවනයට යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ (11) දැනුම් දුන්නා.

එමෙන්ම, දිවයිනේ සියලු මත්පැන් අලෙවිසැල් ඊයේ (11) සිට ක්‍රියාත්මක පරිදි දිනපතා පස්වරු 6 දක්වා පමණක් විවෘතව තැබිය හැකි බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

++++++++++++++++++++++

(12.05.2021 – 06:49 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (11) සවස 5 සිට රාත්‍රී 7 දක්වා බස්නාහිර පළාත තුල ව්‍යායාම් මධ්‍යස්ථාන, රූපලාවන්‍යාගාර, බාබර් සාප්පු, සන්නිවේදන මධ්‍යස්ථාන, රථ වාහන අලුත්වැඩියා කරන ස්ථාන, ටයර් අලුත්වැඩියා කරන ස්ථාන ඇතුළු විවිධ ව්‍යාපාරික ස්ථාන 2045 ක් මේ යටතේ පරීක්ෂාවට ලක් කෙරුණා.

මෙහිදී මෙම ස්ථානවල සිටි පුද්ගලයින් 3269 ක් අවවාද කිරීම් වලට කර තිබෙනවා.

එමෙන්ම මෙම ස්ථානවල සිටි නිරෝධායන නීති තදබල ලෙස උල්ලංඝනය කළ පුද්ගලයින් 63 දෙනෙකු අත්අඩංගුවට ගැනීම ද සිදු කෙරුණා.

මීට අමතරව බස්නාහිර පළාතෙන් පිට වන සහ බස්නාහිර පළාතට ඇතුළු වන ස්ථාන 12 ක පිහිටුවා ඇති රථවාහන පරීක්ෂණ කපොළු වලදී රථවාහන 571 ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

ඒවායේ සිටි පුද්ගලයන් 1394 දෙනකු අතරෙන් නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 254 දෙනෙකුට දැඩි අවවාද කිරීම්ද සිදු කෙරුණා.

මෙම මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ ෴

+++++++++++++++++++

(12.05.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක හයක ග්‍රාම සේවා වසම් 13 ක් හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල කොලමුන්න 573 ග්‍රාම සේවා වසම, මාම්පේ බටහිර 574 ග්‍රාම සේවා වසම, ගම්පහ මහබාගේ ඇලපිටිවල නවම් මහරගම ග්‍රාම සේවා වසම, මගුල් පොකුණ ගමේ මගුල් පොකුණ පාර, ගාල්ල ඉමදුව දික්කුඹුර 165 ග්‍රාම සේවා වසම, අහංගම ආටනිකිත 166 බී ග්‍රාම සේවා වසම, රත්නපුර පැල්මඩුල්ලේ සන්නස්ගම 171B ග්‍රාම සේවා වසම, දොඩංගස්වින්න 171 C ග්‍රාම සේවා වසම, ගොඩගම 171 බී ග්‍රාම සේවා වසම එමෙන්ම කහවත්ත කට්ටන්ගේ අංක 3 කොටස 169A ග්‍රාම සේවා වසම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව සූරියවැව නගරය 103 ග්‍රාම සේවා වසම, කෑගල්ල නගරයේ බුලත්කොහුපිටිය උඩපොත 128ජී ග්‍රාම සේවා වසම සහ කැන්දාව 128 ග්‍රාම සේවා වසම මේ මොහොතේ සිට හුදෙකලා කරනු ඇති.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් තුනක් (3) හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. ගම්පහ කොටදෙණියාව කලුඅග්ගල සහ පොල්හේන ග්‍රාම සේවා වසම් සහ කළුතර දොඩන්ගොඩ අධිකාරි ගොඩ 719 ඒ ග්‍රාම සේවා වසම් මෙලෙස හුදෙකලා බවින් ඉවත් කෙරෙනු ඇති.

වැඩිදුර තොරතුරු පහතින් :

++++++++++++++++++++++

(12.05.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (11) දිනයේ සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 50,493 දෙනෙකුට ලබාදී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙතෙක් එම එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 71,203 ක් බවයි ඔහු කියා සිටියේ.

එම එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 2435 දෙනෙකුට ලබාදී තිබෙනවා.

එසේම, රුසියානු ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව මේ වනවිට පුද්ගලයින් 11,338 කට ලබාදී ඇති අතර, ඊයේ (11) දිනයේ පමණක් එම එන්නත ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 5460 ක් ෴

++++++++++++++++++++++++

(12.05.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හමුවේ විදේශ රටවල සිට දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමට අදාළව නව නිරෝධායන රෙගුලාසි මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොරෝනා එන්නත් ලබාගෙන හෝ නොගෙන විදේශ රටක සිට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන්, සංචාරකයින්, අනෙකුත් විදේශිකයින් සහ රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩල ඇතුළු සියලු දෙනා යළිත් දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවකට යටත් වනවා.

ඔවුන් ගුවන් තොටුපලින් දිවයිනට පැමිණීමේදී කොරෝනා පරීක්ෂණයක් සිදුකළ යුතු මෙන්ම නිරෝධායන කාලසීමාව අවසානයේ යළිත් කොරෝනා පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි එහි දැක්වෙන්නේ.

අදාළ නිරෝධායන රෙගුලාසි මැයි මස 31 වැනිදා දක්වා බලපැවැත්වෙනවා.

එම මාර්ගෝපදේශ පහතින් :

@@@@@@@@@@@@@@@

(11.05.2021 – 22:41 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘ඌරුජුවා’ කඩුවෙල වඳුරමුල්ල ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු එම ස්ථානයට ගෙන ගොස් ඇති අතර එහිදී ඇතිවූ සිද්ධියකින් ඔහු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ෴

(01.05.2021 – 22:53 +0530 – sinhala.adaderana.lk)

‘ඌරු ජුවා’ නමින් ප්‍රකට පාතාල සාමාජිකයා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව තිබේ. එම වෙඩි තැබීම නවගමුවේදී සිදුවූ බව පොලීසිය පැවසීය. මරණය ට පත්වී ඇති පුද්ගලයා මිනීමැරුම්, පැහැරගෙන යෑම්, කප්පම් ගැනීම් වැනි අපරාධවලට අවශ්‍යව සිටි කෙනෙකි.

ඔහුගේ සම්පූර්ණ නම වන්නේ ‘මාඹුලගේ ඩිනේත් මෙලාන් මාඹුල’ වේ. 1994 දී ඔහු උපත ලබා තිබේ ෴

++++++++

+++++++++++

(12.05.2021 – 08:44 +0530 – hirunews.lk/sinhala)

පාතාල නායක ‘සමයං’ ගෙන් පසු ඔහුගේ පාතාල ක්‍රියාකාරකම් මෙහෙය වූ ‘මාඹුලගේ දිනිති මෙලන් මාඹුල’ හෙවත් ‘ඌරුජුවා’, කඩුවෙල – වඳුරම්මුල්ල ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූවා.

නවගමුව සහ හංවැල්ල පොලිස් බල ප්‍රදේශවල සිදුවූ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන ඔහු පෙරේදා නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ප්‍රකාශයක් සටහන් කරගෙන වැඩිදුර විමර්ශනයක් සඳහා සැකකරු රැගෙන ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව ඇති බව වාර්තා වන බවයි පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත්, මෙම සැකකරුගේ මියයෑම සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය මගින් විමර්ශනයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

++++++++++++

බන්ධනාගාරයේ සිට ඌරුජුවාගෙන් නියෝගයක් : ‘ඉන්දාගේ බෙල්ල අයිඑස් ක්‍රමයට කපපන්’
(23.09.2019 – truenews.lk)

******************************************

(11.05.2021 – 16:11 +0530 – sinhala.adaderana.lk)

දක්ෂිණ අධිවේග මාර්ගයේ බෙලිඅත්ත සහ බැදිගම අන්තර් හුවමාරු දෙක අතර සිදුවූ අනතුරකින් එක පුද්ගලයෙක් මියගොස් තිබේ. අද (11) උදෑසන 9ට පමණ එම අනතුර සිදු වී තිබේ.

පොලීසිය පැවසුවේ මාතර දෙස සිට පැමිණි වෑන් රථයක් සහ මාර්ගයේ නඩත්තු කටයුතු කරමින් සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ ටිපර් රථයක ගැටී එම අනතුර සිදුවී ඇති බවය.

එහිදී වෑන් රථයේ ගමන් කළ තිදෙනා (3) ගෙන් එක් (1) අයෙක් මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා (2) බරපතළ තුවාල සහිතව තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බව පොලිසිය පවසයි.

ටිපර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ ෴

******************************************

පුද්ගලයෙකුව පැහැර ගන්නා ආකාරය CCTV කැමරාවක සටහන් වු අයුරු

(11.05.2021 – 15:57 +0530 – sinhala.adaderana.lk)

බණ්ඩාරවෙල, ඇත්තලපිටිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකුව යම්කිසි පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ.

ඊයේ (10) රාත්‍රී 8 ට පමණ එය සිදුව ඇති අතර, පැහැරගැනීමට ලක්වු පුද්ගලයාගේ යතුරුපැදිය මාර්ගයේ බිම වැටී තිබිය දී ප්‍රදේශවාසියෙක් එය දැක ඒ පිළිබඳ බණ්ඩාරවෙල පොලීසියට දන්වා ඇත.

ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී යතුරුපැදිය බිම වැටී තිබු ස්ථානය අසල නිවසක තිබු සීසීටීවි කැමරාවක යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකු ත්‍රීරෝද රථයකින් හප්පා පළා යන අයුරු සනිටුහන්ව තිබුණි.

පසුව යතුරුපැදිකරු බිම වැටෙන බවත් අදාළ ත්‍රීරෝද රථය නැවත හරවාගෙන විත් යතුරුපැදිකරුගේ හිසට බෑගයක් වැනි යමක් දමා බලහත්කාරයෙන් ත්‍රීරෝද රථයේ නංවාගෙන යන අයුරුත් එම දර්ශනවල සටහන්ව ඇත.

ඒ අනුව අද (11) උදෑසන බණ්ඩාරවෙල, අමුණුදෝව ප්‍රදේශයේ දී පැහැර ගැනීමට ලක්වු පුද්ගලයා මාර්ගයක් අසල සිහිසුන්ව වැටී සිටිය දී සොයා ගෙන තිබේ.

පසුව එම පුද්ගලයා ව දියතලාව රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔහුගේ පාදයකට බරපතළ තුවාල සිදුව ඇතැයි ද අප වාර්තාකරු පැවසීය.

එලෙස තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේ එළවළු වෙළෙඳාමේ නිරතව සිටින පුද්ගලයෙක් බවත්, වෙළෙඳසැල වසා නිවෙස බලා පැමිණෙමින් සිටිය දී එම සිදුවීමට මුහුණ පා ඇති බවත් අනාවරණය වී තිබේ.

අනතුරට පත් වු පුද්ගලයාගේ බිරිඳ සඳහන් කර සිටියේ තම ස්වාමිපුර්ෂයා සතුව තිබු රත්‍රං ආභරණ සියල්ල හොරකම් කර ඇති බවය.

බණ්ඩාරවෙල පොලීසිය සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *