දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

*********************************************

දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

(10.05.2021 – 06:17 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිලධාරී වසම් 16 කට අයත් ප්‍රදේශ කිහිපයක් අද (10) අලුයම සිට හුදෙකලා කර තිබෙනවා.

ගම්පහ, අම්පාර, කළුතර, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 16 කට අයත් ප්‍රදේශ කිහිපයකුයි මෙලෙස හුදෙකලා කර ඇත්තේ.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මහර පොලිස් බල ප්‍රදේශයේ මහර ඇටිකෙහෙල්ගල්ල බටහිර 290A, කටාන K.C සිල්වා ග්‍රාමසේවා නිලධාරී වසම 70B, කදිරාණ උතුර ග්‍රාම නිලධාරී වසමේ ඇටඹ ගහවත්ත ගම්මානය, කදිරාන දකුණ ග්‍රාම නිලධාරි වසමේ පේෂකර්ම ගම්මානය, වත්තල සේදවත්ත ග්‍රාම නිලධාරී වසමේ මහ පමුණුගම කොටස, කුන්ජගහවත්ත ග්‍රාම නිලධාරි වසමේ 44 වන පටුමග, නිල්සිරිගම ග්‍රාම නිලධාරි වසමේ 03 හා 07 වන පටුමග හුදෙකලා කෙරෙනු ඇති.

එමෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය නවමැදගම ග්‍රාම නිලධාරී වසමේ නවමැදගම කොටසත්, බක්මීදෙනිය ග්‍රාම නිලධාරි වසමේ රන්හෙළගම කොටසත්, සේරුපිටිය ග්‍රාම නිලධාරී වසමේ සේරුපිටිය උප කොටසත් අද (10) අලුයම සිට හුදෙකලා කෙරෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ හුදකලා කෙරෙන්නේ අංගම්මන 182 සී ග්‍රාම නිලධාරී වසමයි.

කළුතර මොරගහහේන පලන්නෝරුව 604 ග්‍රාම නිලධාරී වසම, කෝරළඉම 604 ඒ ග්‍රාම නිලධාරී වසම, කුඹුක බටහිර 607 ඒ ග්‍රාම නිලධාරී වසම, හොරණ නර්තනගල 616 සී ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කෙරෙනු ඇති.

එමෙන්ම මොණරාගල බෝ හිටිය ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කෙරෙන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.

එලෙස හුදෙකලා කළ ප්‍රදේශ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින් :

++++++++++++++++++++++++++

(10.05.2021 – 06:39 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් හුදෙකලා කර තිබූ දිස්ත්‍රික්ක 05 කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (10) අලුයම සිට හුදෙකලා බවින් නිදහස් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

ගම්පහ, අම්පාර, කළුතර, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් 14 ක් මෙලෙස හුදෙකලා බවින් නිදහස් කිරීමටයි තීරණය කර ඇත්තේ.

එලෙස හුදෙකලා බව ඉවත් කළ ප්‍රදේශ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින් :

++++++++++++++++++++++++++

(10.05.2021 – 06:07 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 351 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේ දක්වා 7316 දෙනෙකු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

++++++++++++++++++++++

(10.05.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)

පළමු වරට මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (09) 2,500 සීමාව ඉක්මවනු ලැබූවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,25,000 සීමාව ඉක්මවීමද විශේෂත්වයක්.

ඊයේ (09) දිනයේදී මෙරටින් නව ආසාදිතයින් 2,672 ක් හඳුනා ගැනුනු අතර ඉන් 13 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයන් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එම ආසාදිතයින් ඇතුළුව මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,25,906 ක් ලෙස ඒ අනුව ඉහළ ගියා.

එසේම, ඊයේ (09) දිනයේදී නව කොරෝනා ආසාදිත මරණ 15 ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 801 ක් ලෙසටයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ බණ්ඩාරගම, අම්පිටිය, ගණේමුල්ල, රාගම, කුලියාපිටිය, බිබිල, ගල්කිරියාගම, පස්සර, වස්කඩුව, නෑබොඩ, බෝඹුවල, නාවුත්තුඩුව, කොළඹ 07 සහ මඩොල්කැලේ පදිංචි පිරිසක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඉන් 13 දෙනෙකුම කොවිඩ් නියුමෝනියාවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය පුද්ගලයින් වයස අවුරුදු 46 ත්, 86 ත් අතර වයස්වල පසුවනවා.

මේ අතර, ඇමරිකානු ෆයිසර් කොරෝනා මර්ධන එන්නත් ලක්ෂ 09 ක් ජුලි මාසයේදී දිවයිනට රැගෙන ඒමට ගිවිසුම් ගත වී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඔක්තෝම්බර් මාසයේදී තවත් එන්නත් මිලියන 4.9 ක් ශ්‍රී ලංකාවට ලැබෙන බවයි.

මේ අතර, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව දින කිහිපය තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ එහි රියදුරෙකු සහ සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු වීම හේතුවෙන්.

ඒ අනුව මේ වන විට ප්‍රාදේශීය සභාවේ 23 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ ඔවුන්ගේ කොරෝනා පරීක්ෂණවල වාර්තා ලැබීමෙන් පසු ප්‍රාදේශීය සභාව විවෘත කිරීම පිළිබද ඉදිරි තීරණ ගන්නා බවයි.

මේ අතර, පවතින තත්වය හමුවේ ඖෂධ නිවසට ගෙන්වාදීමේ වැඩපිළිවලක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ආරම්භ කර තිබෙනවා.

ඊට අදාළ දුරකථන අංක කිහිපයක්ද ඔවුන් හදුන්වා දී ඇති අතර ඒ අනුව මහනුවර ප්‍රදේශය සඳහා 070 190 2737, පේරාදෙණිය සඳහා 070 190 2739 ඇමතිය හැකි බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කළේ.

මීට අමතරව කුරුණෑගල සඳහා 070 171 8318, කොළඹ 1 සඳහා 070 190 2740, කොළඹ 4 සඳහා 070 190 2741 මෙන්ම කොළඹ 7 සඳහා 070 190 2742 හඳුන්වා දී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඖෂධ ගෙන්වා ගැනීමට 070 190 2773 දුරකථන අංකය ඇමතිය හැකියි.

එමෙන්ම, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලු ශාඛාවල සේවාවන් නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නවතා දමා තිබෙනවා.

ඊ-චැනලින් සේවාව මගින් වේලාවන් වෙන් කර ගත් සේවා ලාභීන්හට නැවත සේවා ලබා ගැනීමට පැමිණිය යුතු දිනය හා වේලාව ඉදිරියේදී දැනුම් දෙන බවයි එහි සභාපති සචින්ද්‍ර ගමගේ මහතා කියා සිටියේ.

මේ අතර, ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 351 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

+++++++++++++++++++

(10.05.2021 – 07:35 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවම සේවක සංඛ්‍යාව තීරණය කර සේවයට කැඳවීමට අමාත්‍යංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට බලය පැවරීමේ චක්‍රලේඛය අද (10) නිකුත් කිරීමට නියමිතයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ පවතින කොරෝනා අවදානම හමුවේ සියලු රාජ්‍ය ආයතනවල ගර්භනී මාතාවන් සේවයට කැඳවීම අත්හිටුවීමද එමගින් බලාත්මක වන බවයි.

අරලියගහ මන්දිරයේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පැවති සාකච්ඡාවකදී එම තීරණ වලට එළඹී බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මීට පෙර රජය මගින් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වන්නේ පෞද්ගලික අංශය තුලද අත්‍යවශ්‍ය අවම සේවක සංඛ්‍යාව පමණක් සේවයට කැඳවීමට කටයුතු කළ යුතු බවයි.

රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය තුළ හැකිතාක් නිවසේ සිට රාජකාරී කිරීමට පියවර ගන්නා ලෙස එම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවෙන් වැඩිදුරටත් අවධාරණය කරනවා.

මේ අතර, රාජ්‍ය ආයතන සඳහා සේවකයින් කැඳවීම සීමා කලද ඒවායේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ පිළිබදව අප රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන්ගෙන් විමසීමක් කළා.

පවතින තත්ත්වය හමුවේ 50% කටත් අඩු සේවක සංඛ්‍යාවක් වරකට සේවයට කැඳවූවද, ඉන්ධන සැපයීම සඳහා කිසිදු බාධාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා ද කියා සිටියේ සේවයට කැඳවා ඇති රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ප්‍රමාණවත් කාර්යාල දුම්රිය යොදවා ඇති බවයි ෴

++++++++++++++++++++++

(10.05.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ්-19 වසංගත රෝග තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් පනවා ඇති නිරෝධායන නීති පොදු ප්‍රවාහන සේවයේදී උල්ලංඝනය කරන්නන් පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව මගී ප්‍රවාහන බස් රථ, ටැක්සි රථ සහ ත්‍රිරෝද රථ පොදු ප්‍රවාහනය දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග වෙත දැඩිව අනුගත විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

යම් හෙයකින් පොදු ප්‍රවාහනයේ දී ඔවුන්ට ලබාදී ඇති නිර්දේශ උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින් පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත් ඒ පිළිබඳව සොයා බැලීමට විශේෂ පොලිස් මෙහෙයුම් අඛන්ඩව දියත් කිරීමටත් බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එබැවින් පොදු ප්‍රවාහන නිර්දේශ පිළිබඳ දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා ෴

++++++++++++++++++++++

(10.05.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ගර්භණී කාන්තාව කරාපිටිය රෝහලේ දී ඊයේ (09) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගිය ගැබිණි මවගේ දේහය, නිරෝධායන නිතීරීති අනුව ඊයේ (09) පස්වරුවේම දඩල්ල ආදාහනාගාරයේදී සිදුකළ බව හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස විල්පිට ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක්.

මෙම කාන්තාව නල දරු ක්‍රමය මගින් ගැබ් ගැනිමේ ප්‍රීතිය නිමිත්තෙන් අලු‍ත් අවුරුදු දිනයේ ඇයගේ නිවසේ සාදයක් පවත්තා ඇති අතර ඊට බොහෝ පිරිසක් ද සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් පසු ඇය සේවා ස්ථානයට ගොස් සිටියදී ඇයගේ මවට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

ඒ නිසා මෙම කාන්තාවටද පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ ඇයටද කොරෝනා ආසාදිත වී ඇති බවටයි.

පසුව ඇය මුල්ලේරියාව රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙනහළු ආසාදනයට ලක් වී අසාධ්‍ය තත්ත්වයට පත්වීම නිසා ‘එක්මෝ’ ප්‍රතිකාර දීම සඳහා ඉකුත් 29 වන දින කරාපිටිය රෝහලට මාරුකර තිබෙනවා.

එලෙස එක්මෝ යන්ත්‍රයට සම්බන්ධ කර ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා කුස තුලම මියයාම නිසා පෙරේදා මළ දරු උපතක් සිදු කළ අතර පසුව ඇයද මියගියා.

ඇයගේ නිවසේ පවත්වන ලද සාදයට සහභාගි වූ පිරිසකට අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් කරන ලද කොරෝනා පරීක්ෂණවලදී සාදයට පැමිණි 17 දෙනෙකුද ආසාදිතයින් බවටද තහවුරු වී තිබෙනවා ෴

+++++++++++++++++++++++

(10.05.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (09) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2672 දෙනා අතරින් 755 ක් වූ වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

ඒ අතර කැස්බෑවෙන් හඳුනාගත් ආසාදිතයින් 180 දෙනෙකු සහ පිළියන්දලින් හඳුනාගත් ආසාදිතයින් 180 දෙනෙකු වන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වූ 131 දෙනෙකුද ඊයේ (09) හඳුනාගත් ආසාදිතයින් අතර වනවා.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 323 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 234 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 228 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් එකසිය අනූ දෙදෙනෙකු (192) ද ඊයේ (09) හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ෴

+++++++++++++++++++++

(10.05.2021 – 08:34 +0530 – hirunews.lk/sinhala)

ජුනි මාසයේ සිට මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 200 ඉක්මවා යා හැකි බව ඇමරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයට අනුබද්ධිත සෞඛ්‍ය සමීක්ෂණ ආයතනයක් වන IHME ආයතනය පෙන්වා අනතුරු අඟවනවා.

එම ආයතනය විසින් සිදුකරන ලද ප්‍රක්ෂේපණ වාර්තා අනුව දැක්වෙන්නේ කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කර ගතහොත් සැප්තැම්බර් මස වන විට මරණ 20,000 ක් පමණ සීමාවකින් එය වළක්වා ගත හැකි බවයි.

කෙසේ වෙතත් තත්ත්වය මීට වඩා බරපතළ වුවහොත් එය මරණ 30,000 දක්වා ඉහළ යා හැකි බවටත් ඔවුන් අනතුරු අඟවනවා.

එමෙන්ම මෙම වාර්තාවන්ට අනුව පවතින තත්ත්වය අනුව ජුනි මස දෙවන සතිය වන විට දිනක දී වාර්තා විය හැකි මරණ සංඛ්‍යාව 244 ක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම පවතින ව්‍යසනකාරී තත්ත්වය තවත් බරපතළ වුවහොත් එය 350 සීමාව දක්වා ඉහළ යා හැකි බවටත් ඔවුන් අනතුරු අඟවනවා.

ඔවුන්ගේ ප්‍රක්ශේපන වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවට කොවිඩ්-19 වසංගතයෙන් බරපතළම බලපෑම ඇතිකරන්නෙ ජුනි මාසයේ දෙවැනි සහ තුන්වැනි සතිය අතරතුරයි.

IHME ආයතනය වාර්තා කරන ආකාරයට ජුනි මාසයේ දෙවැනි සහ තෙවැනි සතිය ඇතුළත මෙරට දෛනික මරණ සංඛ්‍යාව 265 සිට 307 දක්වා ඉහළ යා හැකියි.

ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය යටතේ ජූනි මාසයේ දෙවෙනි සහ දෙවැනි සතිය ඇතුලත මරණ දිනකට මරණ 250ක් 260 ත් අතර සංඛ්‍යාවක් වාර්තා විය හැකි බවයි.

කෙසේ වෙතත් පවතින තත්වය පාලනයෙන් ගිලිහී ගියහොත් එය දිනකට මරණ 307 සිට 355 දක්වා ඉහළ යා හැකි බවට ඔවුන් අනතුරු අඟවනවා.

එමෙන්ම මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ජුනි මස පළමු සතිය අවසන් වන විට දැඩි සත්කාර ඇඳන් 3500 ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය බවත් රෝගී සත්කාර ඇඳන් 20,700 ආසන්න සංඛ්‍යාවක් අවශ්‍ය බවත් ඔවුන් පෙන්වා දෙනවා ෴

+++++++++++++++++++++

(10.05.2021 – 10:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ජෛව විද්‍යාත්මක අවියක් ලෙස යොදා ගැනීම පිළිබඳව වත්මන් ගෝලීය වසංගතය ඇතිවීමට වසර 5 කට පෙර චීන විද්‍යාඥයන් සහ සෞඛ්‍ය බලධාරින් සාකච්ඡා කර ඇතැයි ඕස්ට්‍රේලියානු පුවත්පතක් ප්‍රකාශ කළා.

‘ද ඕස්ට්‍රේලියන්’ නමැති එම පුවත්පත සඳහන් කරන පරිදි 2015 වසරේ චීන විද්‍යාඥයන් ඒ පිළිබඳ ලේඛනයක් ද සකසා තිබෙනවා.

සාස් හෙවත් කොරෝනා වෛරස නව යුගයේ ජානමය අවි ලෙස යොදා ගත හැකි බවයි එහි සඳහන් කර ඇත්තේ.

එම වෛරස කෘත්‍රිම ලෙස සකසා මිනිසුන් අතර, රෝග කාරක වෛරසයක් ලෙස යොදා ගත හැකි බවත් එහි සඳහන්.

එලෙස ජීව විද්‍යාත්මක අවියක් ලෙස කොරෝනා වෛරසය මුදා හැරිය හැකි බවට වන අදාළ ලේඛනය ව්‍යාජ ලේඛනයක් නොවන බවයි ඕස්ට්‍රේලියානු ක්‍රමෝපාය ප්‍රතිපත්ති ආයතනයේ විධායක අධ්‍යක්ෂ පීටර් ජෙනින්ස් ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++++

කල් ඉකුත් වන රියදුරු බලපත්‍රවලට සහන කාලයක්

(10.05.2021 – 11:03 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් පළමුවනදා (01) සිට සැප්තැම්බර් 30 වනදා දක්වා කල් ඉකුත් වන සියලු රියදුරු බලපත්‍රවල වලංගු කාලය, කල් ඉකුත් වන දිනයේ සිට තවත් මාස 6 ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ප්‍රකාශ කළා.

එසේම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල මගින් ලබාදෙන සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කර දැමීමටයි ඊයේ (09) පියවර ගැණුනේ.

නැවත සියලු සේවාවන් ආරම්භ කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා ෴

@@@@@@@@@@@@@@@@@@

(10.05.2021 – 07:19 +0530 – hirunews.lk/sinhala)

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක් ලෙස සේවයේ නිරතව සිටියදී ඝාතනයට ලක්වූ මෙරට කාන්තාවකගේ මළ සිරුරක් මෙරටට රැගෙන විත් තිබෙනවා.

කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළට ඊයේ (09) මෙම මෘත ශරීරය රැගෙන ආ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ඇය 2019 වසරේ සිට ගෘහ සේවිකාවක් ලෙස සේවයේ නිරතව සිටියදී පසුගිය අප්‍රේල් මස 13 වනදා ඉතියෝපියානු ජාතික තවත් ගෘහ සේවිකාවක් විසින් ගෙල කපා ඝාතනය කර ඇති බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මහව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි කාන්තාවක්.

මෘත ශරීරය සම්බන්ධයෙන් වන පස්චාත් මරණ පරීක්ෂණය මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් අද (10) දිනයේ සිදු කිරීමට නියමිතයි ෴

+++++++++++++

(10.05.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

කුවේටයේ ගෘහ සේවයේ නිරතව සිටියදී ගෙල කපා ඝාතනය කළ ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (09) උදෑසන මෙරටට රැගෙන ආවා.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ මහව ප්‍රදේශයේ පදිංචිව සිටි ස්වර්ණවතී හේරත් නැමැති 39 හැවිරිදි එක්දරු මවක්.

පසුගිය අප්‍රේල් මස 13 වනදා ස්වර්ණවතී, ඉතියෝපියානු ජාතික ගෘහ සේවිකාවක් අතින් ඝාතනයට ලක්ව ඇති බවටයි සිදුකළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සිදුකළ ඉතියෝපියානු ජාතික කාන්තාවක ද ස්වර්ණවතී රැඳී සිටි කාමරයේම වාසය කර ඇති බවයි වාර්තා වන්නේ.

වසර 02 ක සිය සේවා කාලය අවසන්ව යළි දිවයිනට පැමිණීමට සූදානම්ව සිටින අවස්ථාවේදීයි ඇය පසුගිය 13 වනදා මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ.

මෙරටට රැගෙන ආ ස්වර්ණවතීගේ මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදුකර තිබෙනවා.

එහිදී තියුණු ආයුධයකින්, ස්වර්ණවතීගේ ගෙල ප්‍රදේශයට, කකුළට, වම් අතේ දඹර ඇඟිල්ලට සහ දකුණු අතේ මහපට ඇඟිල්ලට පහර දී ඇති බවට ආනාවරණය වී අතර ගෙල ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයෙන් ගෙල වෙන්වී නොගිය ද එය මාරාන්තික වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ස්වර්ණවතී දිවයිනට පැමිණි පසු ඉතියෝපියානු ජාතික කාන්තාවට අදාල නිවසේ වැඩ කටයුතු තනිව කිරීමට සිදුවන බැවින් එයට කෝපයට පත්ව මෙම අපරාධය සිදුකර ඇති බවයි සිදුකළ මුලික විමර්ශන වලදී හෙළිව ඇත්තේ.

මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව අද (10) මීගමුව පොදු සුසාන භූමියේ දී ස්වර්ණවතී අවසන් කටයුතු සිදුකරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබෙනවා ෴

******************************************

(10.05.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා කැඳවූ සම්මුඛ පරීක්ෂණවල වාර්තා ලබන 18 වැනිදා මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයන් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එහි සභාපති නිමල් පුංචිහේවා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ වාර්තා පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු ලියාපදිංචියට සුදුසු දේශපාලන පක්ෂ තෝරා ගන්නා බවයි.

ඒ අනුව සම්මුඛ පරීක්ෂණය සමත් දේශපාලන පක්ෂ නිවේදනය කරන බව ඔහු ප්‍රකාශ කළා.

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මැතිවරණ කොමිසන් සභා කාර්යාලයේදී පසුගිය දිනවලදී පැවැත්වුණු අතර ඒ සඳහා දේශපාලන පක්ෂ 18 ක් සුදුසුකම් ලබා තිබුණා.

කෙසේ වෙතත්, එම දේශපාලන පක්ෂ අතරින් බහුතරයක් සම්මුඛ පරීක්ෂණයේදී පක්ෂ ලියාපදිංචියට අදාල අවශ්‍යතා සහ සුදුසුකම් සපුරා නොමැති බවට නිරීක්ෂණය වී ඇති බවයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

******************************************

(10.05.2021 – 09:17 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකායේ දිය මත මෙහෙයුම් සිදුකිරීම සඳහා වන විශේෂ ඒකකයක් එළිදැක්වීම ඊයේ (09) සිදුවුණා.

Special Waterbond Operation Squad නමින් හැඳින්වෙන මෙම ඒකකය නිලධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විතයි.

ජලාශ ආශ්‍රිතව සිදුකෙරෙන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා මෙම විශේෂ ඒකකයේ සහය ඉදිරියේදී ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ.

මෙම ඒකකයට අවශ්‍ය උපකරණ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ වැඩපිළිවෙළ මඟින් හා ඒකක නිලධාරීන් සඳහා අවශ්‍ය කරනු ලැබූ පුහුණුව ශ්‍රී ලංකා මෝටර් බෝට්ටු ධාවකයින්ගේ සංගමය විසින් ලබා දුන් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඉදිරියේදී විශේෂ කාර්ය බලකාය ජලාශ්‍රිතව සිදුකරන මෙහෙයුම් වලදී මෙම ඒකකය හරහා අවශ්‍ය සහාය ලබා ගැනීමට හැකි වනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ ෴

******************************************

(10.05.2021 – 12:29 +0530 – hirunews.lk/sinhala)

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සිදුවූ බව කියන රුපියල් ලක්ෂ 700 ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව, පොල් වගා කිරීමේ මණ්ඩලයේ මූල්‍ය කළමනාකාරවරයා සහ ගණකාධිකාරි ඇතුළු කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කළ යුතු බවටයි අදාළ කමිටුව නිර්දේශ කර ඇත්තේ.

මීට අමතරව, ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ යුතු බවටත්, මෙම අරමුදල රජයේ විගණකාධිපති හා ආයතනයේ අභ්‍යන්තර විගණක ලවා විගණනයට ලක් කළ යුතු බවටත් නිර්දේශ කර ඇති බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා ෴

******************************************

(10.05.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 60 කට පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 02 යි ග්‍රෑම් 29 ක් සමඟ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් දකුණු අප්‍රිකානු ජාතිකයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව, අදාළ පුද්ගලයාගෙන් ලබන 15 වනදා දක්වා රඳවා ගෙන ප්‍රශ්න කිරීමටයි මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රිමාල් අමරසිංහ නියෝග කර ඇත්තේ.

කෙන්යාවේ – නයිරෝබි නුවර සිට කටුනායක ගුවන්තොටුපලට පැමිණි මොහු ඊයේ (09) අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහුගේ ගමන් මළු ගුවන්තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලක ඒකකයේ නිලධාරින් විසින් එහිදි පරීක්ෂාවට ලක් කළා.

එහිදී ඔහුගේ ගමන් මල්ලේ ෂැම්පු බෝතල් 02 ක පාර්සල් 03 ක් ලෙස මෙම කොකේන් තොගය සගවා තිබුණු බවයි රේගුව ප්‍රකාශ කළේ ෴

******************************************

(10.05.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

සේවක අර්ථසාධක අරමුදල් පනත් සංශෝධනය කරමින් පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කලේ විශ්‍රාම ගිය පසු මාසික ගෙවීම් ක්‍රමයක් හඳුන්වාදීම කෙරෙහි මේ වනවිට අවධානය යොමුව ඇති බවයි.

එය සාකච්ඡා මට්ටමක පමණක් පවතින අතර, මෙතෙක් නිෂ්චිත එකඟතාවක් නොමැති බව ද ඔහු සඳහන් කළා.

රජයෙන් ද යම් මුදලක් ඒ සඳහා යෙදවිය හැකිදැයි සාකච්ඡා කෙරෙන බව සඳහන්.

පෞද්ගලික අංශය සඳහා වෙනම විශ්‍රාම වැටුප් ක්‍රමයක් පිහිටුවීම 2011 වසරේ මැයි මාසයේදී එවක පැවති රජය ද ආරම්භ කර තිබූ අතර, පැන නැගුණු විරෝධතා මත එය අත්හැර දැමුණා ෴

******************************************

(10.05.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

කොරියානු ආනයන අපනයන බැංකුව හෙවත් එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක සහනදායි ණය ආධාරයක් පිරිනැමීමට එකඟ වී තිබෙනවා.

ඊට අදාළ එකඟතාවයට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සහ කොරියානු තානාපති වුන්ජින් ජියොන් මහතා අද (10)අත්සන් තැබූ බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.

මෙම සහනදායි ණය ආපසු ගෙවීම සඳහා වසර 10 ක සහන කාලයක් සහිතව වසර 40 ක පමණ දීර්ඝ කාලයක් හිමිව තිබෙනවා ෴

******************************************

(10.05.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

ප්‍රේම සබඳතාවක් මුල් කර ගනිමින් ආරච්චිකට්ටුව අත්තංගණය ප්‍රදේශයේදි දේපාර්ශවයක් අතර ඇති වු ගැටුමකින් 17 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්වුණා.

ඔහු ප්‍රදේශයේම තරුණියක සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, මහමඟ ගමන් කරමින් සිටියදි තරුණියගේ පාර්ශවයේ පිරිසක් සමග ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

එහිදි කිසියම් අයෙකු එම තරුණයාට උදලු මිටකින් පහරදි ඇති අතර, එහිදි ඇති වු බරපතල තුවාල හේතුවෙන් අද (10) අලුයම ඔහු මිය ගිය බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මේ අතර දේපල ගැටලු මත දරුවන් විසින් මව හෝ පියා ඝාතනය කළ අවස්ථා පහක් (5) ජනවාරියේ සිට මේ දක්වා වාර්තා වී තිබෙනවා.

මෙහි ආසන්නතම සිදු විම වාර්තාවන්නේ වේයන්ගොඩ – කූරිකොටුව ප්‍රදේශයෙන්.

වේයන්ගොඩ කූරිකොටුවේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙකු ඇඳ වැටිමකින් පසු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබු අතර, සිද්ධියෙන් පසු ඔහුගේ දියණිය පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබුණා.

එහි දැක්වුනේ කෝපයට පත් තම සහොයුරා විසින් කළ තල්ලු කිරිමකින් පියා ඇද වැටි මෙම මරණය සිදු වු බවයි.

පෙරේදා නිවසට පැමිණි සොහොයුරා තමන්ට (ඇයට) කිසිදු දේපළක් ලබා නොදෙන ලෙස පියාට තර්ජනය කරමින් ආරවුලක් ඇති කරගත් අතර එහිදි මෙය සිදු වු බව ඇය සඳහන් කර තිබුණා.

ඒ අනුව පියාගේ ඝාතනය සමබන්ධයෙන් සැක පිට 32 හැවිරිදි පුතු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *