සෞඛ්‍ය තීන්දු තීරණවලට දේශපාලන ඇඟිලි ගැසීම්වල ප්‍රතිඵල එළියට

සෞඛ්‍ය තීන්දු තීරණවලට දේශපාලන ඇඟිලි ගැසීම්වල ප්‍රතිඵල එළියට

*********************************************

සෞඛ්‍ය තීන්දු තීරණවලට දේශපාලන ඇඟිලි ගැසීම්වල ප්‍රතිඵල එළියට

(06.05.2021 – 09:39 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (05) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1939 දෙනා අතරින් වැඩිම පිරිසක් එනම් 498 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

මේ අතරින් සෞඛ්‍ය බලප්‍රදේශයක වැඩිම ආසාදිතයන් වාර්තා වීම දැක්වුණේ පිළියන්දල සෞඛ්‍ය බල ප්‍රදේශයේයි.

එය ගණනින් ආසාදිතයන් 122 ක් ලෙසයි දැක්වුණේ.

පිළියන්දල කැස්බෑව අවට ප්‍රදේශවල දැඩි සංචරණ සීමා පැනවියයුතු බවට සෞඛ්‍ය අංශ බලධාරීන් නිර්දේශ කර තිබියදී එම නිර්දේශ අභිබවා යමින් ප්‍රදේශයේ දේශපාලන ප්‍රබලයින් ක්‍රියාත්මක වූ බව පසුගිය දින කිහිපය පුරා වාර්තා වුනා.

මෙය වඩාත් ප්‍රබල ලෙස සමාජයට දැනෙන කරුණක් වූයේ කැස්බෑව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය විසින් පිළියන්දල ප්‍රදේශයේ සංචරණ සීමා ලිහිල් කිරීම සිදුකළේ සියේ විරෝධය මැද්දේ බව මාධ්‍යට ප්‍රකාශ කිරීමත් සමඟයි.

මතුව ඇති කොවිඩ්-19 දැඩි රෝග ව්‍යාප්තියත් සමඟ සෞඛ්‍ය බලධාරීන් ගතයුතු තීන්දු තීරණ කෙරෙහි බලපෑම් එල්ලකරන දේශපාලන අඳබාලයින් සමාජයට දෙනු ලබන ආදර්ශය කුමක් ද ?

මෙවැනි කාරණා හරහා අසරණ වන සමස්ත මහජනතාවත් පොදුවේ බිඳ වැටෙන මෙරට සෞඛ්‍ය යාන්ත්‍රනයත් පිළිබඳව වගකියන්නේ කවුද ?

ඊයේ (05) දිනයේ පිළියන්දලින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව අපට පෙන්වාදෙන්නේ මෙම සරල යතාර්ථයයි ෴

+++++++++++++++++++++

(06.05.2021 – 09:52 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (05) රාත්‍රියේ කොරෝනා මරණ 14 ක් වාර්තා වීමත් සමඟ ඊයේ (05) දිනයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 25 ක්.

ඊයේ (05) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මරණ 11 ක වාර්තාවක් නිකුත් කර තිබූ අතර රාත්‍රියේ තවත් මරණ 14 ක වාර්තාවක් නිකුත් කළා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව ඉහළ ගියේ 734 ක් ලෙසයි.

ඊයේ (05) රාත්‍රියේ වාර්තා වූ මරණ 14 න් 10 කටම හේතුව ‘කොවිඩ් නියුමෝනියා’ තත්ත්වය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මිය ගිය අය අතර පොළොන්නරුව – අරලගංවිල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් ද වනවා.

ඊට අමතරව මිය ගිය අනෙක් පිරිස හිඟුරක්ගොඩ, ගෝනපල, බුලත්කොහුපිටිය, දෙවනගල, ගල්ලෑල්ල, තිරප්පනේ, වත්තල, කළුතර – දකුණ, පයාගල, පේරාදෙනිය, කුරන, දුම්මලසූරිය සහ කිරිබත්කුඹුර ප්‍රදේශවල පදිංචි අවුරුදු 42 ත්, 87 ත් අතර වයස්වල පසුවන්නන්.

මේ අතර, කොරෝනා ව්‍යාප්ත වීම හේතුවෙන් වසා දමා ඊයේ (05) යළි විවෘත කෙරුණු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණෙන ජනතාව නිරෝධායන නීති අනුගමනය කිරීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

රට පුරා තවදුරටත් කොරෝනා වෛරසය පැතිරීම සිදුවිය හැකි බවයි එම විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ.

පැතිර යන කොරෝනා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන අලුත්ගම, දර්ගා නගරය සහ බේරුවල යන නගරවල වසා දමා තිබූ වෙළදසැල් මේ වන විට යළි විවෘත කිරීමට සෞඛ්‍ය අංශ විසින් කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත්, සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව ඒවා පවත්වාගෙන යන ලෙසයි වෙළදසැල් හිමියන්ට සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබාදී ඇත්තේ.

මේ අතර, කොරෝනා ආසාදනය වූ පිළිකා රෝගීන් සඳහා මහරගම අපේක්ෂා රෝහලේදීම ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා විශේෂිත ළමා සහ වැඩිහිටි වාට්ටු දෙකක් (2) වෙන් කර ඇති බවයි මහරගම අපේක්ෂා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ලලිත් පොද්දල්ගොඩ මහතා සඳහන් කළේ.

පානදුර – පරත්ත ළමා පුහුණු හා උපදේශන ජාතික සේවා මධ්‍යස්ථානය හා පර්යේෂණ පුහුණු මධ්‍යස්ථානය 100 කට අධික රෝගීන් සඳහා නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැකි කොරෝනා මර්දන ව්‍යාපාරයේ අන්තර් මධ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පත් කර තිබෙනවා ෴

පවතින කොරෝනා වසංගත තත්ත්වය මත ඉන්දියාවේ සිට පැමිණෙන මගීන්ට මෙරටට ඇතුළුවීමට ඉඩ ලබා නොදීමට තීරණය කර තිබෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය කාලවකවානුවේ සිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ ගුවන් මාර්ගයෙන් මෙන්ම ධීවර යාත්‍රා හරහා ද ඉන්දීය ජාතිකයින් මෙරටට පැමිණෙන බවයි ෴

+++++++++++++++++++++

(06.05.2021 – 11:20 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (05) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1939 දෙනා අතරින් වැඩිම පිරිසක් එනම් 498 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 387 දෙනෙකු සහ කළුතරින් 377 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊට අමතරව මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 83 ක් සහ පොළොන්නරුවෙන් 60 ක් ද වාර්තා වනවා ෴

+++++++++++++++++++++

(06.05.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයත් සමඟ මගීන් අඩුවීම හේතුවෙන් අද (06) සිට නැවත දැනුම් දෙනතුරු රාත්‍රී තැපැල් දුම්රිය ඇතුලු දුම්රිය ගමන් වාර විස්සක් (20) අවලංගු කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ – කොටුවෙන් ගමන් ආරම්භ කර බදුල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තුරය බලා ධාවනය කරන රාත්‍රි තැපැල් දුම්රිය සහ එම නගරවලින් කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස අවලංගු කර ඇති බවයි.

එසේම මන්දගාමී දුම්රිය ගමන් වාර 14 ක්ද අවලංගු කර තිබෙනවා.

මේ අතර කොරෝනා ව්‍යාප්තිය සළකා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අද (06) මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව ර.බි.-22-ඒ, තානායම් බලපත්‍ර, හෝටල් බලපත්‍ර සහ වයින් ස්ටෝර්ස් හැර අනෙකුත් බලපත්‍ර ලත් ස්ථාන නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක කළ නොහැකි බවයි සුරාබදු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++++++

(06.05.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

දිනෙන් දින වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හමුවේ සතියක කාලයකට හෝ රට වසා තැබිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මේ අතර, ග්‍රාම නිලධාරීවරුන් 50 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් තවත් 100 දෙනෙකු නිරෝධායනයට යොමු කර සිටින බවත් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමය කියා සිටියා.

ඊයේ (05) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 1939 දෙනාගෙන් වැඩිම පිරිසක් එනම් 498 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

ඉන් 122 කු පිළියන්දලින් වීම විශේෂත්වයක්.

ඊට අමතරව මුල්ලේරියාවෙන් ආසාදිතයින් 55 දෙනෙකු වාර්තා වනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (05) ආසාදිතයින් 387 දෙනෙකුත් කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 377 දෙනෙකුත් වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

පොළොන්නරුවෙන් ආසාදිතයින් 78 දෙනෙකු සහ මහනුවරින් 58 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා.

මේ වන විට මෙරටින් සමස්ත කොරෝනා ආසාදිතයින් 117,525 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 720 ක් ලෙසයි.

කෙසේ වෙතත්, දිනෙන් දින මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යන බැවින් සතියකට හෝ රට වසා දැමිය යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා හිරු ප්‍රවෘත්ති අංශය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ.

එමෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සම්මන්ත්‍රණ සහ සේවක හමු පවත්වන බවට තොරතුරු ලැබී ඇති බැවින් එසේ වුවහොත් ආයතන ප්‍රධානීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කොළඹ දී අද (06) මාධ්‍ය හමුවක් කැදවා තිබුණේ ගැබිණි මව්වරුන්ට කොරෝනා වෛරසයෙන් එල්ල වී ඇති බලපෑම් පිළිබදව පැහැදිලි කිරීම සඳහායි.

ඊයේ (05) දිනයේදී කොරෝනා හේතුවෙන් මෙරට ප්‍රථම ගැබිණි කාන්තා මරණය වාර්තා වූයේ රාගම – බටුවත්ත ප්‍රදේශයෙන්.

එමෙන්ම තවත් ගැබිණි මව්වරුන් 5 දෙනෙකු දැඩි සත්කාර ඒකක වල සිටින බවයි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය එම්. ලියනගේ මහතා මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

++++++++++++++++++++

(06.05.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

රුසියාවෙන් ගෙන්වන ලද ස්පුට්නික් එන්නත මින් ඉදිරියට මෙරට ජනතාවට කොරෝනා වෛරසය සඳහා ලබාදෙන ප්‍රධාන එන්නත බවට පත් කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද (06) ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධරී කොට්ඨාශයෙන් ආරම්භ කළ අතර ඊට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ ෴

++++++++++++++++++++

(06.05.2021 – 14:57 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වෛරසයෙන් ආරක්ෂා විය හැකි නව හෙල්මටයක් නිෂ්පාදනය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

භාවිතයට වඩා පහසු සහ පරිසර හිතකාමී මෙම හෙල්මටය සුවිශේෂී තාක්ෂණික අංගයන් රැසකින්ම සමන්විතයි.

කොවිඩ් වෛරස ව්‍යාප්තියෙන් ආරක්ෂාවීම සඳහා මුහුණු ආවරණයක් පැලඳීම අනිවාර්යවනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංගිකා බණ්ඩාර මහත්මිය සහ උපාධිධාරියෙකුවන අකිල ලන්සාකාර මහතා විසින් මෙම නව හෙල්මටය නිෂ්පාදනය කරන්නේ මුහුණු ආවරණවලට විකල්පයක් ලෙසයි.

@@@@@@@@@@@@@@@@@@

(06.05.2021 – 10:25 +0530 – hirunews.lk/sinhala)

නීතිපති දප්පුල ද ලිවේරා මහතා කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, තමා තවදුරටත් ශ්‍රී ලංකාවේ රැදී සිටිමින් මෙරට ජනතාවට සේවය කිරීමට කැමැති බවට සදහන් කරමින් එම තනතුරට පත් කිරීම පිළිබදව ස්තූතිය ජනාධිපතිවරයාට පළ කළ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ ෴

******************************************

(06.05.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

2020 උසස් පෙළ විභාගයෙන් සරසවි ප්‍රවේශයට අදාළ කඩඉම් ලකුණු සැප්තැම්බර් මාසයේ නිකුත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

මෙවර සිසුන් 41,500 ක් විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගැනීමට නියමිතයි ෴

******************************************

(06.05.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද ලොකුලූණු බීජ සහ වියලි කහ තොගයක් සමඟ දෙදෙනෙකු (2) ද සමඟ මීගමුව කලපුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ලොකුලූණු බීජ ගෝනි 27 ක් සහ වියලි කහ ගෝනි 15 ක් එහි තිබූ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළේ.

නාවික හමුදාව සමඟ එක්ව විශේෂ කාර්ය බලකාය අද (06) අලුයම මෙම වැටලීම සිදු කර ඇති අතර, මෙම ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගත් යාත්‍රා තුනක් (3) ද ඔවුන් භාරයට ගෙන තිබෙනවා ෴

******************************************

(06.05.2021 – 14:25 +0530 – hirunews.lk/sinhala)

මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපලට නව ගුවන් සේවා ආකර්ෂණය කරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරටට පැමිණෙන සියලුම ගුවන් සේවා සමඟ මත්තල ගුවන් තොටුපලට ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

වත්මන් කොරෝනා තත්වය පාලනය වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි ෴

******************************************

(06.05.2021 – 15:06 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අයත් පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන නිධන් හොරුන් විසින් කඩා විනාශ කර ඇති බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව පවසනවා.

එම සංඝ සභාවේ භික්ෂුන්වහන්සේ මෙම අදහස් පළ කලේ නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතුව ඇති එම ස්ථාන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

ඓතිහාසික දිඹුලාගල ආරණය සේනාසනයට අයත් කොස්ගහ උල්පත ප්‍රදේශයේ පිහිටා ඇති පිරිනිවන් මංචක සැතපෙන පිළිමය ඇතුළු පුරා විද්‍යා කමකින් හෙබි වටිනා චෛත්‍ය දෙකක් (2) නිදන් හොරුන්කඩා විනාශ කර තිබෙනවා.

මේ පිළිබද සැලවීමත් සමග දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ භික්ෂුන්වහන්සේ මෙම ස්ථානයට වැඩම කළා.

මෙහිදී නිරීක්ෂණය වුයේ පිරිනිවන් මංචකයේ සැතපෙන පිළිමය පිටුපසින් නිධදන් හොරුන් විසින් හෑරීමකට ලක් කර ඇති බවයි.

විහාරස්ථානයේ පිහිටා ඇති චෛත්‍ය පැන් පොකුනු කිහිපයක් ද නිධන් හොරුන්ගේ ග්‍රහණට නතුව තිබෙනවා.

මෙම පුරා විද්‍යා විනාශය පිළිබදව පිරිනිවන් මංචකයේ ගල්කුටියක මේ වනවිට භාවනා කිරීම සදහා පැමිණ සිටින භික්ෂුන්වහන්සේ නමකගෙන් ප්‍රශ්න කෙරුනේ මෙලෙසින්.

මෙම විනාශය පිළිබදව අප පොලොන්නරුව පුරා විද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු පැවසුවේ මේ පිළිබදව අරලගංවිල පොලිසියට පැමිණිලි කර ඇති බවයි.

පිරිනිවන්මංචකයේ නිරීක්ෂණයෙන් අනතුරුව එහි වැඩම කළ මහා සංඝරත්නය මෙලෙස අදහස් පළ කළා.

******************************************

(06.05.2021 – 15:15 +0530 – hirunews.lk/sinhala)

වගාවන්ට අවශ්‍ය පොහොර නොමැතිවීම හේතුවෙන් අනුරාධපුර – විලච්චිය ප්‍රදේශයේ වට්ටක්කා ගොවීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ නිසි ක්‍රමවේදයක් යටතේ තමන්ට පොහොර නොලැබීම නිසා මෙම තත්ත්වය මතුව ඇති බවයි.

අනුරාධපුර – විලච්චිය ප්‍රදේශයේ බහුතර ගොවීන් පිරිසක් සිදුකරන්නේ වට්ටක්කා වගාවයි.

දුක් මහන්සි වී අක්කර ගණනාවක වට්ටක්කා වගාව සිදුකිරීමට බිම් සැකසුවද වගාවන් සඳහා අවශ්‍ය පොහොර වෙළඳපොලේ නොමැති වීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා.

රජයෙන් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර හඳුන්වාදීම පිළිබඳ සතුටු වන නමුත් එයට නිසි ක්‍රමවේදයක් හඳුන්වා දී නොතිබීම කණගාටුවට කරුණක් බව ගොවීන් පෙන්වා දෙනවා.

බලධාරීන්ගෙන් ගොවීන් ඉල්ලා සිටින්නේ මෙම ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙසයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *