බස්නාහිර නිරෝධායන නීති කැඩූ ආයතන 2023 ක් හඳුනාගැනේ

බස්නාහිර නිරෝධායන නීති කැඩූ ආයතන 2023 ක් හඳුනාගැනේ

*********************************************

බස්නාහිර නිරෝධායන නීති කැඩූ ආයතන 2023 ක් හඳුනාගැනේ

(01.05.2021 – 08:38 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ නිරෝධායන නීති කඩ කළ 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ (30) පස්වරුවේ 3 සිට 6 දක්වා පැය තුනක (3) කාලය තුළ මෙම මෙහෙයුම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ඒ අනුව ආයතන 2320 ක් හා පුද්ගලයින් 6320 ක් එහිදී පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

ඒ අතරින් ආයතන 2023 ක් නිරෝධායන නීති උල්ලංඝනය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

++++++++++++++++++++++++

(01.05.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා (03) සිට ආරම්භ කිරීමට නියමිත ප්‍රථම වර්ෂ, ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට අවසර හිමි වන්නේ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර තුළ විධිමත් ලෙස නිරෝධායනය වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පමණක් බව සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක මහතා ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ සිංහරාජ ශිෂ්‍ය නේවාසිකාගාරයේ රැදී සිටින සිසුන් විශ්වවිද්‍යාලයේ නීති රීති සහ නිරෝධායන නීති කඩ කරමින් හැසිරෙන බවට තහවුරු වී ඇති බවයි.

ඒ අනුව සිංහරාජ නේවාසිකාගාරයේ රැදී සිටින සියළුම සිසුන්ට අනිද්දා (03) ආරම්භ කිරීමට නියමිත පරීක්ෂණ සඳහා සහභාගි වීමට අවසර නොදෙන අතර ඔවුන් අද (01) දහවල් 12 ට පෙර නේවාසිකාගාරයෙන් ඉවත් විය යුතු බවට ද උප කුලපතිවරයා ප්‍රකාශ කළා.

එසේම ඔවුන්ට විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවීම ද තහනම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මීට එරෙහිව සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් ඊයේ (30) රාත්‍රියේ විශ්වවිද්‍යාල දොරටුව ඉදිරිපිට උපවාසයක ද නිරත වුණා.

එසේම කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය දා අවලංගු කෙරුණු දුර ගමන් සේවා දුම්රිය කිහිපයක් ද යළි ධාවනය කිරීමට කටයුතු කර තිබෙනවා.

දුම්රිය මගීන්ගේ ඉල්ලීම මත මෙලෙස යළි ධාවනය ආරම්භ කර ඇත්තේ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ සහ යළි කොළඹ කොටුවට පැමිණෙන දුම්රිය සහ කොළඹ කොටුවේ සිට බදුල්ල සහ යළි කොළඹ කොටුවට පැමිණෙන දිනපතා ධාවනය වන දුම්රියයි.

එසේම, කොළඹ කොටුවේ සිට මහනුවර සහ යළි කොළඹ කොටුවට පැමිණෙන සති අන්ත දුම්රිය ද යළි සුපුරුදු පරිදි ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ ෴

++++++++++++++++++++++

(01.05.2021 – 08:35 +0530 – hirunews.lk/sinhala)

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ නාම්පමුණුව සහ ගොරකාපිටිය යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ගොඩහේන සහ තල්ගස්ගොඩ යන ග්‍රාම නිලධාරී වසම් ද මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය සහ කදිරාපුර ග්‍රාම නිලධාරී වසම් ද මෙලෙස හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කර තිබෙනවා.

++++++++++++++++++++

(01.05.2021 – 10:01 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පැය 24 තුළ වැඩිම ආසාදිතයින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 329 ක්.

එමෙන්ම, දෙවනුවට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 317 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 193 ක්, කළුතරින් 100 ක් සහ ගාල්ලෙන් 114 ක් ආසාදිතයින් වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ෴

++++++++++++++++++++

(01.05.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)

හෝටල්වල සිදුකරන සාද, උත්සව සහ රැස්වීම් මෙන්ම රාත්‍රී සමාජශාලා ක්‍රියාකාරකම් අද (01) රාත්‍රී 10:00 න් පසු සති දෙකක (2) කාලයක් සඳහා තහනම් කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ෴

++++++++++++++++++++

(01.05.2021 – 10:29 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින්ට ඇමරිකානු මොඩර්නා කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධාන විසින් අනුමැතිය ලබාදුන් පස්වන (5) එන්නත මෙයයි ෴

+++++++++++++++++++++

පවතින තත්ත්වය ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය පද්ධතියට දරාගත නොහැකියි – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා

(01.05.2021 – 08:56 +0530 – lankaleadnews.com)

‘ටෘත් විත් චමුදිත’ වැඩසටහනට සහභාගි වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසා සිටින්නේ ශ්‍රී ලංකාව මේ වන විට කොරෝනා සුනාමියක් දෙසට ගමන් කරමින් සිටින බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ දැන් පවතින තත්ත්වය ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය පද්ධතියට දරාගත නොහැකි බවත් මේ තත්වය තම සංගමය විසින් මුල සිටම පැවසූ බවත් කිසිවෙකු එය ගැන අවධානය යොමු නොකළ බවත්ය.

+++++++++++++++++++++

මාර්ග ගත ක්‍රම (ඔන්ලයින්) ඔස්සේ සිසුන්ගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙන් හොරණ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් සාර්ථක වැඩ සටහනක්

(30.04.2021 – 19:48 +0530 – lankaleadnews.com)

කොවිඩ්-19 තත්ත්වය හමුවේ පාසල් වසා තැබීමට සිදු වීම නිසා විවිධ මාර්ග ගත ක්‍රම ඔස්සේ සිසුන්ගේ ඉගෙනීම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට පාසල්, කලාප අධ්‍යාපන කාර්යාල, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු හා අධ්‍යාපන අමාත්‍යාංශය මට්ටමින් අනුගමනය කරන ලද විවිධ ක්‍රියාමාර්ග අතරට හොරණ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී. එම්. ඩී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් මාර්ග ගත ක්‍රම ඔස්සේ සිසුන්ගේ ඉගෙනීම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වන ඉතා ක්‍රමවත් වැඩ සටහනක් හඳුන්වා දී තිබේ.

එම වැඩ සටහන පහත සඳහන් ලින්ක් එකෙන් පරිශීලනය කළ හැක.

e-ඉගෙනුම් පාසල – හොරණ අධ්‍යාපන කලාපය
[ https://www.saviyenperata.com/ ]

+++++++++++

• DP Education : Free World Class Education
(Largest Learning Platform In Sri Lanka)

[ https://www.dpeducation.lk/ ]

++++++++++++++++++++++++

(01.05.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

අද (01) මධ්‍යම රාත්‍රී 12 සිට මැයි 17 වන දින දක්වා දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවන බවට සාවද්‍ය පුවතක් පැතිර යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙම සාවද්‍ය පුවත සම්බන්ධයෙන් මේ වනවිට ආපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භකර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ෴

@@@@@@@@@@@@@@@@@

(01.05.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

මෙවර යල කන්නයේ වගා කටයුතු සඳහා කිසිදු පොහොර හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

******************************************

(01.05.2021 – 09:09 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි තරුණයින් පිරිසක් මුහුණු පොත මඟින් සම්බන්ධ වී නීති විරෝධී යතුරුපැදි තරඟ සදහා අරණායකට පැමිණ සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස පැමිණ සිටි තරුණයින් සිව්දෙනෙකු (4) යතුරුපැදි හතරක් (4) ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පිරිස යතුරුපැදිවල නැගී පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දෙබත්ගම, මාවනැල්ල මාර්ගයේ යතුරුපැදි තරඟ සඳහා සූදානම් වෙමින් සිටියදී මොවුන් මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තරුණයින් දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව මුදා හැරීමට කටයුතු කර තිබෙනවා ෴

******************************************

(01.05.2021 – 09:53 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1500 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මීගමුව වෙරළාසන්න ප්‍රදේශයකදී සිය භාරයට ගෙන තිබෙනවා.

මේ සමඟ සැකකරුවන් 06 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙලෙස සොයාගත් බීඩි කොළ තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් (1,20,00,000) පමණ වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ බීඩි කොළ තොගය වැඩිදුර විමර්ශන සඳහා මිගමුව පොලිසියට භාරදී තිබෙනවා ෴

******************************************

‘එක් රටක්! එක් නීතියක්!’ යථාර්ථයක් බවට පත් කොට සැමට සමානව සලකමු – විමල් වීරවංශ

(01.05.2021 – 10:21 +0530 – lankaleadnews.com)

= ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් පණිවිඩය =

‘එක් රටක්! එක් නීතියක්!’ යථාර්ථයක් බවට පත් කොට සැමට සමානව සලකමු!

පැය අටක (8) වැඩ මුරයක් ඉල්ලා සටන් වැද එම සටනේ දී දිවි දුන් කම්කරු විරුවන් සමරමින් ඇරැඹි ‘ජාත්‍යන්තර කම්කරු දිනයේ’ 135 වැන්න යෙදී ඇත්තේ අදට (මැයි 01) ය. ලෝක ව්‍යාප්තව පැතිර යමින් ඇති කොරෝනා වසංගතය හේතුවෙන් ඉකුත් වසරේ මෙන්ම මෙවර ද ලොව පුරා වෙසෙන වැඩකරන ජනතාවට තම ශක්තිය විදහාපාන දැවැන්ත මැයි දින පෙළපාලි, රැලි සහිත සැමරුම් අහිමිව ඇති මොහොතක ඔවුන් ඒකාත්මික කෙරෙන නිවැරදි දැක්මක අවශ්‍යතාව අද අන් කවරදාටත් වඩා අවශ්‍යව තිබේ. මේ මොහොතේ ලොව පුරා වෙසෙන වැඩකරන ජනතාවට අවබෝධ කර දී ඇති යථාර්ථය වන්නේ නව ලිබරල්වාදී ‘පැලැස්තර’ ඇලවීමෙන් තමන් පමණක් නොව මුළුමහත් සමාජය මුහුණ දී ඇති ප්‍රශ්න විසඳිය නොහැකි බවය.

සමාජය තුළ මතුව ඇති ප්‍රශ්න ඒවායේ මූලයන් සොයා ගොස් විසඳිය යුතු බව ය. මෙරට ජන සමාජයෙහි වෙසෙන වැඩකරන ජනතාවට අදාළව ගත් කල නිදසුන් ලෙස ගොවියා වනසා කම්කරුවාට සහන දිය නොහැකි බවත් ජීවන වියදම අඩු කළ හැක්කේ නිෂ්පාදනය වැඩි කිරීමෙන් බවත් ජාතික ආර්ථිකය ශක්තිමත් කොට කම්කරුවාට සහන දීම සඳහා දේශීය නිෂ්පාදන මිලදී ගත යුතු බවත් ඔවුන් ගැඹුරින් තේරුම් ගත යුතුය.

එසේම හුදකලා පන්ති සටනක් තුළ ජයග්‍රහණ නොමැති බවත් පන්ති සටන තිබිය යුත්තේ අධිරාජ්‍ය විරෝධී අරගලය තුළ බවත් අද සමස්ත ලෝකවාසී වැඩකරන ජනතාව ඉදිරියේ අවධාරණය කෙරී තිබේ. නූතන අධිරාජ්‍යවාදීන් ආපදාවන්ට සහන සැලසීමේ මුවාවෙන් රටවල් තුළට කඩා වැදී රටවල් දුර්වල කරන ‘ආපදා අධිරාජ්‍යවාදය’ නිසි ලෙස වටහා ගෙන ඊට එරෙහිව වැඩකරන ජනතා බලය පෙන්වීම ද මේ මොහොතේ වැඩකරන ජනතාව හමුවේ වන අත්හළ නොහැකි වගකීමකි.

‘ඉස්ලාම් අන්තවාදය’ ජාතික සමගියට බාධාවක් බැවින් ඊට එරෙහි වීම ද ක්ෂුද්‍ර මූල්‍ය වහල්භාවයෙන් දුප්පතුන් ගලවා ගැනීම ද මෙරට වැඩ කරන ජනතාවගේ වැටුප් විෂමතාව වහා නිරවුල් කිරීම ද විදේශ රැකියා නියුක්තිකයන්ගේ ආරක්ෂාව සහ අයිතීන් තහවුරු කිරීම ද යන මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් කරන යෝජනා රට හමුවේ තැබීමට ද මෙය අවස්ථාවක් කරගනිමි.

අවසන් වශයෙන් ස්වදේශිකත්වය බලගන්වමින් අප යන ගමන තුළ රට හමුවේ වන බරපතළ අභියෝග ජය ගනු වස් ‘එක් රටක් – එක් නීතියක්’ තේමා පාඨය යථාවත් කර ‘සැමට සමාන අධ්‍යාපනයක් – සමාන විවාහ නීතියක්’ ස්ථාපිත කරවා සැමට සමානව සලකනු ලබන සමාජයක් ගොඩනැගීමට අත්වැල් බැඳ ගන්නා ලෙස මෙරට වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

විමල් වීරවංශ (පා.ම.)
කර්මාන්ත අමාත්‍ය,
නායක, ජාතික නිදහස් පෙරමුණ
2021.05.01

******************************************

22-04-2021

******************************************

(01.05.2021 – 11:53 +0530 – hirunews.lk/sinhala)

නිකවැරටිය රෝහලේදී කාන්තා මෘත ශරීර දෙකක් මාරු වීමෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (30) රාත්‍රියේදී මෙම උණුසුම් තත්ත්වය ඇති වූ බවයි.

නිකවැරටිය, තරනගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවකගේ සහ මහව ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවකගේ මෘත ශරීර මෙලෙස මාරු වී ඇති බවයි වාර්තා වන්නේ.

67 හැවිරිදි කාන්තාවගේ මෘත ශරීරය මහව ප්‍රදේශයේ මියගිය කාන්තාවගේ ඥාතීන් වෙත භාර දී ඇති අතර ඔවුන් එම මෘත ශරීරය ආදාහනාගාරයකට ගෙන ගොස් අවසන් කටයුතු සිදුකර ඇතැයි වාර්තා වනවා.

අනතුරුව නිකවැරටිය ප්‍රදේශයේ මියගිය කාන්තාවගේ ඥාතීන් මෘත ශරීරය ලබාගැනීමට රෝහලට පැමිණි අවස්ථාවේ දී එය තම ඥාතියාගේ නොවන බව අනාවරණය වීමත් සමඟ ඔවුන් රෝහල තුලදී කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම දෙපිරිසටම අද (01) දිනයේ දී රෝහල වෙත පැමිණෙන ලෙස රෝහල් බලධාරීන් දැනුම් දී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා ෴

******************************************

(01.05.2021 – 12:17 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වල්සපුගල ගොවි සත්‍යග්‍රහය දින 105 කට පසු අද (01) අවසන් කෙරුණා.

ඒ, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සකච්ඡාවකින් අනතුරුවයි.

මොවුන් සත්‍යග්‍රහය අවසන් කරන අවස්ථාවේ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනයද කරනු ලැබුවා.

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිත ගැසට් පත්‍රය පසුගිය 12 වන දා නිකුත් කෙරුණු අතර, හෙක්ටයාර 23,746 ක භුමි ප්‍රමාණයක් යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනවා.

කෙසේ නමුත් එම භුමිය තුළ පිහිටා ඇති හෙක්ටයාර 886 කින් යුතු මත්තල ගුවන්තොටුපල සඳහා වෙන්කර තිබු භුමි ප්‍රමාණය ඉන් ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එහෙත් අදාල ගැසට් පත්‍රය මගින් සිය ඉල්ලීම් සදහා සාධනීය විසදුම් නොලැබීම හේතුවෙන් තවදුරටත් සිය සත්‍යග්‍රහය සිදුකරන බවයි වලව වම් ඉවුර එකාබද්ධ ගොවි සංවිධානය ප්‍රකාශ කළේ ෴

******************************************

(01.05.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

කෘෂි රසායනික පොහොර ආනයනය නැවැත්වීමට රජය විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

******************************************

(01.05.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවන්ට පමණක් සීමා වූ රැකියා මෙන්ම පුරුෂ පක්ෂයට පමණක් සීමා කළ රැකියාවන්ද මෙරට තුළ සමාජ ගත වී තිබෙන්නේ කලක සිටයි.

එහෙත් එම සමාජ මතයට අභියෝග කරමින් ජීවිතය ජය ගැනීමට වෙහෙසෙන විරල චරිතද අප අතර සිටිනවා.

ලෝක කම්කරු දිනය සමරණ අද (01) දිනයේ අපේ මේ විමසා බැලීම එවන් දිරිය කාන්තාවක් පිළිබදවයි.

******************************************

(01.05.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

වැලිගම – කපුවත්ත ප්‍රදේශයේ ශ්‍රී විවේකාරාම විහාරාධිපතියන්ට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරදීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඊයේ (30) රාත්‍රියේ විහාරස්ථානය ආසන්නයේ පිහිටි කලපුවේ සිටි පිරිසක් විසින් අදාල පහරදීම සිදුකර තිබෙනවා.

පහරකෑමට ලක්වූ විහාරාධිපති හිමියන් මේ වන විට මාතර රෝහලේ ප්‍රතිකාර ලබන අතර, උන්වහන්සේ පොලීසියට පැමිණිලි කර ඇත්තේ රුපියල් 15,000 ක මුදලක් පහර දීම සිදුකළ පුද්ගලයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බවයි ෴

******************************************

(01.05.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

මෙරටට දිසිඳි (කැබලි කරන ලද) පොල් ආනයනය කිරීමේ දී විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මේ සඳහා මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතු , 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ නියමයන් දැක්වෙන රජයේ නිවේදනයක් පසුගිය අප්‍රේල් 27 වනදා ප්‍රකාශයට පත් කර කෙරුණා.

ඒ අනුව දිසිඳි පොල් ආනයනයේ දී කිලෝ ග්‍රෑම් 01 ක් සඳහා රුපියල් 300 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා.

කෙසේ වෙතත් කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශය මත දිසිඳි පොල් මාසයකට උපරිම වශයෙන් මෙට්‍රික් ටොන් 13,000 රජයට අයත් BCC ලංකා ලිමිටඩ් ආයතනය වෙත ආනයනය කිරීමට විශේෂ බදු සහනයක් සලසා ඇත්තේ ඒ සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියලක් ලෙසින් නියම කරමින්.

මෙම විශේෂ බදු සහනය 2021 අප්‍රේල් 28 දින සිට මාස 03 ක කාලයක් දක්වා වලංගු වන බවයි එම නියෝගයේ දැක්වෙන්නේ.

චොක්ලට්, කේක්, බිස්කට්, රසකැවිලි, පොල් තෙල් හා ක්ෂණික ආහාර නිෂ්පාදනය සඳහා දිසිඳි පොල් යොදා ගනු ලබයි ෴

******************************************

(01.05.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවකට අකුණුසැර වැදීමෙන් එහි ගමන් ගත් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙනවා.

ඊයේ (30) අලුයම් කාලයේදී සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ කල්මුණේ පදිංචි ධීවරයින් දෙදෙනෙක් (2). ඔවුන්ගේ සිරුරු ඊයේ (30) පස්වරුවේ ගොඩබිම වෙත රැගෙනවිත් ඇති අතර තුවාල ලැබූවන් කල්මුණේ – අෂ්රොෆ් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර, පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි පවතින විට තද සුළං ද ඇති විය හැකි අතර, අකුණු අනතුරු සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *