රුපියල් මිලියන 317 ක රත්‍රන් කිලෝ 26 ක් අත්අඩංගුවට

රුපියල් මිලියන 317 ක රත්‍රන් කිලෝ 26 ක් අත්අඩංගුවට

*********************************************

රුපියල් මිලියන 317 ක රත්‍රන් කිලෝ 26 ක් අත්අඩංගුවට

(30.04.2021 – 16:51 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී රුපියල් මිලියන 317 ක් වටිනා රත්‍රන් කිලෝ 26 ක් සොයාගෙන තිබෙනවා.

සිද්ධියට අදාළව ගුවන්තොටුපල සේවකයෙකු සහ ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

රේගු නිලධාරීන් දීර්ඝ කාලයක් පුරා සිදු කරන ලද විමර්ශණවල ප්‍රතිඵලයක් ලෙස ගුවන්තොටුපල කාර්ය මණ්ඩලය යොදා ගනිමින් රට තුළට රත්‍රන් ජාවාරම් කිරීමේ උපක්‍රමයක් හඳුනා ගැනීමට සමත්ව තිබුණා.

එහි ප්‍රතිඵලයක් ලෙසටයි අද (30) දෝහා සිට පැමිණි මගියෙකු විසින් වැසිකිළියක් තුලදී ගුවන්තොටුපල නඩත්තු සේවකයකු වෙත හුවමාරු කරන ලද රත්‍රන් තොගය අත්අඩංගුවට ගැනුණේ.

නඩත්තු සේවකයා මෙම රත්‍රන් තම ශරීරයේ සඟවාගෙන ගුවන්තොටුපලින් පිට කිරීමට සූදානම්ව සිටින අතර රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම රත්‍රන් තොගයේ රත්‍රන් බිස්කට් ස්වර්ණාභාරණ ද වනවා.

සිද්ධියට අදාළව රේගු නිලධාරීන් පරීක්ෂණ සිදුකරනවා.

******************************************

(30.04.2021 – 16:51 +0530 – hirunews.lk/sinhala)

දෙහිඕවිට, අටළුගම ප්‍රදේශයේ පිහිටි පලතුරු වෙළඳ සැලකට අද (30) අළුයම යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු එහි හිමිකාරියගේ ගෙල බැදී රන් මාලය කඩාගෙන පලා යාමට උත්සහ කර තිබෙනවා.

සැකකරු සමඟ පොර බැඳී අදාළ කාන්තාව ඔහුට එම අවස්ථාවේදී පලායාමට අවස්ථාව දී නැහැ.

පසුව ප්‍රදේශවාසීන් එක්ව ඔහුව අසළ තිබු විදුලි කණුවක බැඳ, රුවන්වැල්ල පොලිසියට භාර දී තිබෙනවා.

අදාල සැකකරු බුලත්කොහුපිටිය උඩපොත ප්‍රදේශයේ පදිංචි යුධ හමුදාවෙන් පැන ආ පුද්ගලයෙකු බවටයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්දයෙන් රුවන්වැල්ල පොලිසිය ඉදිරි පරීක්ෂණ පවත්වනවා.

******************************************

(30.04.2021 – 17:13 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීමක් කළ හොත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගී වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන ලෙසට වේත්‍රධාරීවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දීමක් කර තිබෙනවා ෴

******************************************

(30.04.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඉන්දියාවේ කේරළය සමඟ පැවති සබඳතා පිළිබදව ඉන්දීය ආරක්ෂක අංශ විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ‘නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්’ පුවත් සේවය වාර්තා කර තිබුණා.

එහි දැක්වුණේ මන්ත්‍රීවරයා කේරළය සමඟ පැවැත්වූ සබඳතා මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර 2009 වසරේදී කේරළයේ කසරාගොඩ් ප්‍රදේශයේ සංචාරය කරමින් එහි ආගමික නායකයින් සමඟ මොහු සබඳතා පවත්වා ඇති බවයි.

ඒ අනුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පවතින වාර්තා තහවුරු කර ගැනීම සඳහා එරට පොලිසිය පරීක්ෂණයක් පවත්වන බවද එහි සඳහන්.

එමෙන්ම රිෂාඩ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2013 වසරේදී චෙන්නායි හි කළ සංචාරයක් අතරතුර අදාළ පාර්ශය සමඟ සබඳතා ගොඩනගා ගෙන ඇති බවට අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

මේ සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ සහ කේරළ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි එම පුවත් සේවය සඳහන් කළේ.

රිෂාඩ් බදියුදීන්ගේ පියාද කසරාගොඩ් හි පඩ්නා ප්‍රදේශයේ පුද්ගලයෙකු වන අතර ඔහු එම ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකු සමඟ සබඳතා පවත්වා ඇති බවට ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණය කර තිබුණා.

මේ වනවිටත් බුද්ධි කාර්යාංශය සහ ජාතික විමර්ශන ආයතනය ලක් රජය සමග මෙම විමර්ශණ වලට අදාල සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරන බවයි ‘නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්’ පුවත් සේවය සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් සමඟ සබදතා පැවැත්වූ තමිල්නාඩුවේ පුද්ගලයෙකු 2019 වසරේ ජූනි මාසයේදි අත්අඩංගුවට ගත් බවද එම පුවත් සේවය වාර්තා කළා.

කේරල ප්‍රාන්ත පොලිස් ප්‍රධානි ලෝක්නාත් බෙහෙරා මෙම පුවත් සේවයට පවසා ඇත්තේ අත්අඩංගුවට පත්ව ඇති ශ්‍රී ලාංකික දේශපාලන නායකයා සම්බන්ධයෙන් පවතින වාර්තා තහවුරු කර ගැනීම සඳහා තම පොලිසිය පරීක්ෂණ පවත්වන බවයි.

ඉන්දීය බුද්ධි නිලධාරීන් පඩ්නා ප්‍රදේශයෙන් අතුරුදන්වූ තරුණ මුස්ලිම් පවුල් 05 සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී මොවුන් 2016 වසරේ අයි.එස්. සංවිධානයට සම්බන්ධ වීම සඳහා සිරියාවට යාමට පෙර ඒ අතරින් කිහිපදෙනෙකු ශ්‍රී ලංකාවේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ ආගමික පුහුණුවීම්වල නිරත වූ බවට අනාවරණය වී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියදීන් පසුගිය 24 වනදා අත්අඩංගුවට ගනු ලැබූ අතර දින 90 ක රැදවුම් නියෝග මත මොවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්ණ කරමින් සිටිනවා.

මේ අතර, ඉල්ලීමක් සිදුකළහොත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි වීම සඳහා අවසර ලබාදීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එකඟත්වය පළ කර තිබෙනවා.

ඒ, අද (30) පැවති පක්ෂ නායක රැස්වීමේදියි. ඒ අනුව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට දන්වමින් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම්දීමක් ද කර තිබෙනවා.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අද (30) දහවල් කොළඹ දවටගහ මුස්ලිම් පල්ලිය අසළ දී උද්ඝෝෂණයක් පැවැත්වුණා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සිංහලේ සංවිධානය සහ බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද (30) පැමිණිල්ලක් සිදුකළා.

ඒ, රිෂාඩ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා ලෙස සිටියදී 2018 වසර සඳහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට විමර්ශන නිලධාරීන් බදවා ගැනීම ජාතිවාදී පදනමෙන් සහ අයථා ආකාරයෙන් සිදුකර ඇති බවට සඳහන් කරමින්.

++++++++++++++

******************************************

(30.04.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යසනයත් සමඟ දඹුල්ල ප්‍රදේශය සහ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමත් සමඟ එළවළු ගොවීන් දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටිනවා.

ඔවුන් නිරෝධායන නීති උල්ලංගණය කරමින් තැන තැන එළවළු අලෙවි කරන බවටයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඇතැම් ගොවීන් දඹුල්ල, ගලේවෙල සහ කැකිරාව ආදී ප්‍රදේශවල ප්‍රධාන මාර්ග ආසන්නයේ එළවළු අලෙවි කරන බවටයි හිරු වාර්තාකරු සදහන් කළේ.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹදී අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ සිය නිෂ්පාදන නාරාහේන්පිට සහ වේයන්ගොඩ පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් අලෙවි කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දී ඇති බවයි.

@@@@@@@@@@@@@@@@

(30.04.2021 – 17:03 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 530 දෙනෙකු අද (30) දිනයේ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 95,975 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 992 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 107,406 ක් ලෙසටයි ෴

++++++++++++++++++++++

(30.04.2021 – 18:09 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර සහ සරුබිම ග්‍රාම නිලධාරී කොට්ඨාශ දෙක (2) වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා.

මේ අතර රටපුරා දැඩිව පැතිර යන කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමඟ ලබන සඳුදායින් (03) පසුව මංගල උත්සව ඇතුළු සියලුම මහජන එක්රැස්වීම් සඳහා අවසර ලබා නොදෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මෙම තීරණය ලබන සඳුදායින් (03) පසුව සති දෙකක (2) කාලයක් බලපැවැත්වෙනු ඇති.

මේ වන විට මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාවුල යන පොලිස් බල ප්‍රදේශ ද හුදෙකලා කර තිබෙනවා.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් බල ප්‍රදේශය සහ කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේ උඩබදලව ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කළ බවයි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

එමෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයට අයත් ගල්අමුණ සහ හෙළමුල්ල යන ග්‍රාම නිලධාරී වසම් ද මෙලෙස හුදෙකලා කෙරුණා.

ඒ අනුව පසුගිය 20 වන දා සිට දින 10 ක කාලයක් තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 9 කට අයත් පොලිස් බල ප්‍රදේශ 23 ක ග්‍රාම නිලධාරී වසම් 100 කට වැඩි ප්‍රමාණයක් හුදෙකලා කර තිබෙනවා ෴

+++++++++++++++++++++

(30.04.2021 – 18:43 +0530 – hirunews.lk/sinhala)

කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක ග්‍රාම නිලධාරී වසම් 15ක් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ 841C බොල්දුන්න, 841A ඉඟුරුදළුව, 837 මිදලන, 836A මෝරපිටිය, 836 පැළෑඳ, 838 හැඩිගල්ල, 836H මෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම ඊට අයත්.

මේ අතර තිනියාවල පොලිස් බල ප්‍රදේශයේ 842A තිනියාවල ග්‍රාම නිලධාරී වසම ද හුදෙකලා කර තිබෙනවා.

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් ද හුදෙකලා කර තිබෙනවා.

ඒ අනුව 787B වලල්ලාවිට දකුණ, 788 මාකලන්දාව, 844A බෝතලාව, 844E කටුයකැලේ වැල්මීගොඩ, 843G පහල හවෙස්ස, 850A මිරිස්වත්ත සහ 850 පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම ද හුදෙකලා කෙරෙනවා.

මේ අතර ඇලහැර පොලිස් බල ප්‍රදේශයේ සරුබිම ග්‍රාම නිලධාරී කොට්ඨාශය ද හුදෙකලා කර තිබෙනවා.

++++++++++++++++++++++++

(30.04.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව ලොව අනෙකුත් රටවලට එන්නත් බෙදාහැරීම තාවකාලිකව නතර කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක එන්නත්කරණ වැඩසටහන්වලට බලපෑම් එල්ල වී තිබෙනවා.

රටවල් 35 ක්ම කොරෝනා එන්නත් ආනයනය කරනු ලැබුවේ ඉන්දියාවෙන්. ඉන් වැඩි සංඛ්‍යාවක් සංවර්ධනය වෙමින් පවතින රටවල් වීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහනට බලපෑම් එල්ල වී ඇත්තේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන (2) මාත්‍රාව ලබාදීමට තවත් මාත්‍රා ලක්ෂ 6 ක ප්‍රමාණයක් සපයා ගැනීම අභියෝගයක් වී තිබීම හේතුවෙන්.

මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් වෙනත් රටවලට ලබාදීමට ඇති හැකියාව පිළිබදව සොයා බලමින් සිටින බව ඇමරිකාව ප්‍රකාශ කළා.

අප කළ විමසීමකදී මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ මහජන සම්බන්ධතා නිලධාරී ඩේවිඩ් මැක් ගයර් පැවසුවේ ඇමරිකාවෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නැව්ගත කිරීමට පෙර එහි ගුණාත්මකභාවය පිළිබද එරට ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමි විය යුතු බවයි.

වෙනත් රටකට යැවීම සදහා අදාළ නෛතික ක්‍රියාවලිය සම්පූර්ණ කොට නිශ්කාශනය කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොග ඇමරිකාව සතුව නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

සිනොවැක් හා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් භාවිතයට ගැනෙන ඉන්දුනීසියාව තුළ චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත හදිසි භාවිතයට අද අනුමැතිය ලබාදුන්නා.

ඒ, ඉන්දීය අපනයන තහනම හේතුවෙන් ඉන්දුනීසියාවේ එන්නත්කරණ වැඩසටහන මන්දගාමී වී ඇති පසුබිමකයි.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සිනොෆාම් එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදීමේ තීරණය අද ගැනීමට නියමිතව තිබුණ ද එම තීරණය දිනය තුළ අපේක්ෂා කළ නොහැකි බවට එහි ප්‍රකාශිකා ස්ටෙෆනි නිබෙහි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළා.

ලොව දෙවනුවට වැඩිම ජනගහනයක් වෙසෙන රට වන ඉන්දියාවේ මේ වන විට මුළු ආසාදිත සංඛ්‍යාව මිලියන 18 ඉක්මවා ඇති අතර, වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ 8330 ක්.

විදෙස් වාර්තා සඳහන් කළේ ජනවාරි මාසයේ සිට මේ දක්වා එන්නත්කරණයට ලක් කර ඇත්තේ ඉන්දියාවේ ජනගහනයෙන් සියයට 9 ක් පමණක් බවයි.

ඉන්දීය ජාතිකයෙකු සිය ට්විටර් ගිණුමට වීඩියෝවක් එක් කරමින් සඳහන් කර ඇත්තේ තමන් දින 28 කට පෙර එන්නත්කරණයට ලියාපදිංචි වුවද මේ වනවිට එන්නත් නොමැති බවට සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී ඇති බවයි.

මේ අතර, කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් පළමු මාත්‍රාව ලබා ගත් ඇමෙරිකානුවන් මිලියන 5 කට අධික පිරිසක් දෙවන මාත්‍රාව ලබා ගැනීම පැහැර හැර තිබෙනවා.

එම සංඛ්‍යාව ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබා ගත් ඇමෙරිකානු ජනතාවගෙන් සියයට 8 ක ප්‍රමාණයක් බවයි ඇමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ.

උණ වැනි රෝග ලක්ෂණ හා අතුරු ආබාධ වලට පවතින බිය හේතුවෙන් ඔවුන් දෙවන මාත්‍රාව ලබා ගැනීම මෙලෙස ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වනවා ෴

++++++++++++++++++++++

(30.04.2021 – 19:59 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා තත්වය හේතුවෙන් තාවකාලිකව අවලංගු කෙරුණු කොළඹ කොටුව – කන්කසන්තුරේ, කොළඹ කොටුව – බදුල්ල දිනපතා දුම්රියන් සහ මහනුවර සති අන්ත දුම්රිය යළි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා ෴

+++++++++++++++++++++++

(30.04.2021 – 20:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වීමෙන් මෙරට පළමු ග්‍රාම නිලධාරීවරයාගේ මරණය ඊයේ (29) වාර්තා වී තිබෙනවා.

ඔහු වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයෙකු වන පියල් විජේසුන්දර මහතා යි.

මීට දින කිහිපයකට පෙර කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් පසු කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරුණු ඔහු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා කියා සිටියා.

මේ වනවිට රට තුල පැතිර යන කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මීටරයක සමාජ දුරස්ථභාවය මීටර් 2 ක් දක්වා ඉහළ දැමිය යුතු බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියා සිටියේ.

මේ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පවතින තත්ත්වය ඉතාමත් අවදානම් වන අතර, මූලාරම්භය සොයා ගත නොහැකි කොරෝනා අනුපොකුරු බහුල ලෙස පවතින බවයි.

මේ අතර අද (30) දිනයේ මේ දක්වා අලුතින් කොරෝනා ආසාදිතයින් 922 නෙකු වාර්තා වී තිබෙනවා.

එසේම, තවත් කොරෝනා ආසාදිතයින් 530 දෙනෙකු අද (30) දිනයේ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය අතර, ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 95,975 ක්.

මේ අතර පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පසුගියදා සිදුකළ කොරෝනා පරීක්ෂණ 610 කින් ආසාදිතයන් 122 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉන්දික එල්ලාවල මහතා ප්‍රකාශ කළා.

අවිස්සාවේල්ල – යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් ද ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බැවින් යටියන්තොට සතිපොල තාවකාලිකව වසා දැමීමටයි අද (30) පියවර ගැණුනේ.

මේ අතර, කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමඟ හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ද අද (30) වසා දැමුණා.

මීටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් 5 දෙනෙකු ආසාදිත බවට අද හඳුනාගෙන ඇති අතර කාන්තා පොලිස් පරීක්ෂකවරියක් සහ කාන්තා කොස්තාපල්වරියක් ද ඒ අතර වනවා.

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්ය මණ්ඩල සාමාජිකාවකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අද (30) සිට මැයි මස 9 වනදා දක්වා අධිකරණ කටයුතු වලින් තාවකාලිකව ඉවත් වීමට තීරණය කළ බව කුරුණෑගල නීතිඥ සංගමයේ ලේකම් පියුමාල් හේරත් මහතා ප්‍රකාශ කළා.

හුදකලා කර ඇති වැල්ලවාය නගරයේ වෙළඳසැලක් විවෘත කර වෙළඳාම් කරමින් සිටි පුද්ගලයෙකු අද (30) අත්අඩංගුවට ගැණුනා.

වැල්ලවාය මූලික රෝහල ඉදිරිපිට ඇති මෙම වෙළඳසැල කොවිඩ් අවදානම නොතකමින් විවෘත කර තිබූ අතර, වෙළඳසැල් හිමියාට එරෙහිව නඩු පවරන බවයි වැල්ලවාය පොලීසිය සඳහන් කළේ.

මේ අතර රට තුළ පවතින තත්ත්වය සලකා මංගල උත්සව ඇතුළු සියළු උත්සව ලබන අඟහරුවාදා (04) සිට සති දෙකකට (2) අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම ඊට හේතුව බවයි.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි පොළොන්නරුව සහ කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 16 ක් හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය පොලිස් බල ප්‍රදේශයට අයත් බොල්ලුන්න, ඉගුරුදළුව, මිදලන, මෝරපිටිය, පැළෑද, හැඩිගල්ල, මෝරපිටිය – උතුර යන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කෙරෙනු ඇති.

මීට අමතරව කළුතර – තීනියාවල පොලිස් බල ප්‍රදේශයේ තීනියාවල ග්‍රාම නිලධාරී වසම ද හුදෙකලා කර තිබෙනවා.

කළුතර – මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ හුදෙකලා කෙරුණු ග්‍රාම නිලධාරී වසම් වන්නේ වලල්ලාවිට දකුණ, මාකලන්දාව, බෝතලාව, කටුකැළේ – වැල්මීගොඩ, පහළ හෙවෙස්ස, මිරිස්වත්ත සහ පැලවත්ත නැගෙනහිරයි.

ඊට අමතරව ඇලහැර පොලිස් බල ප්‍රදේශයේ සරුබිම ග්‍රාම නිලධාරී වසම ද මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපතිවරයා කියා සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *