මෙරට වැඩිම දෛනික ආසාදිතයන් ඊයේ (26) දිනයේ

මෙරට වැඩිම දෛනික ආසාදිතයන් ඊයේ (26) දිනයේ

*********************************************

මෙරට වැඩිම දෛනික ආසාදිතයන් ඊයේ (26) දිනයේ

(27.04.2021 – 07:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ (26) හඳුනා ගැනුණා.

එය රෝගීන් 997 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. එම රෝගීන් අතරින් 45 දෙනෙකු විදේශයන් හි සිට පැමිණි පිරිස් වන අතර, තවත් 8 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්.

ඊයේ (26) දිනයේ කොරෝනා මරණ 3 ක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 647 දක්වා ඉහළ ගියා.

මිය ගිය අය අතර, ගල්පාත ප්‍රදේශයේ හා අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචි 70 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු (2) සහ කඳාන ප්‍රදේශයේ පදිංචි 92 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉදිරියේදී තවදුරටත් දිගින් දිගටම කොරෝනා ආසාදිතයින් වාර්තා වන්නේ නම් මින් එහා ගිය සංචරණ සීමා පැනවීමට බලධාරීන් අවධානය යොමු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ දැනට රට තුළ පවතින තත්ත්වය ඉතා අවදානම්සහගත බවයි.

මේ අතර, කටුනායක ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවකයින් 3 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නලීන් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ.

එසේම බියගම නිදහස් වෙළද කලාපයේ කර්මාන්තශාලාවල සේවය කරන සේවකයින් 42 නෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මීට අමතරව මිනුවන්ගොඩ – මාරපොළ ප්‍රදේශයේ ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනා ගැනීමත් සමග තවත් පාසල් ගුරුවරුන් 4 දෙනෙකු සහ සිසු සිසුවියන් 18 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ ෴

+++++++++++++++++++

(27.04.2021 – 06:28 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති රීති කඩ කළ පුද්ගලයින් 108 දෙනෙකු ද ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර ඒකක ප්‍රමාණය උපරිම ධාරීතාවයට ළඟා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මධ්‍යම කාරක සභික වෛද්‍ය රුවන් ජයසූරිය මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ රෝග ව්‍යාප්තිය පාලනයට අදාල පියවර කඩිනමින් ගත යුතු බවයි.

මේ අතර, දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හුදෙකලා කිරීමට සිදුවීම හමුවේ ගොවීන් ඍජුව සම්බන්ධ කර ගනිමින් එළවළු හා පළතුරු බස්නාහිර පළාතට රැගෙන ඒමේ වැඩපිලිවෙලක් සැලසුම් කෙරෙනවා.

උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ නුවරඑළිය, තඹුත්තේගම සහ කැප්පෙටිපොළ යන ආර්ථික මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ වී එය ක්‍රියාත්මක කෙරෙන බවයි ෴

+++++++++++++++++++

(27.04.2021 – 07:00 +0530 – hirunews.lk/sinhala)

හිඟුරක්ගොඩ සිරිකෙත ග්‍රාම නිලධාරී වසම සහ මාතලේ උකුවෙල පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරී වසම මේ මොහාතේ සිට හුදකලා කෙරේ ෴

+++++++++++++++++++

(27.04.2021 – 08:45 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ රාජ්‍ය නිලධාරීන් සේවයට කැදවීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් අද (27) නිකුත් කිරීමට නියමිතයි.

එසේම රාජ්‍ය නිලධාරීන් අඛණ්ඩව සේවයට කැදවීම සඳහා මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛය ද අද (27) සිට අත්හිටුවන බවයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළේ.

පළමු සහ දෙවන (2) කොරෝනා රැල්ල හමුවේ රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිවසේ සිට සේවා කටයුතු සිදුකිරීම, සියයට 50 ක් සේවයට කැදවීම සහ ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි නිලධාරීන් ගෙන්වීම වැනි ක්‍රමවේදයන් අනුගමනය කෙරුණා.

පසුව කොරෝනා තත්ත්වය ක්‍රමානුකූලව අඩු වෙමින් පැවති වකවානුවක යළි සුපුරුදු පරිදි රාජ්‍ය සේවකයින් සේවයට කැදවූ අතර, මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි රාජ්‍ය සේවකයින් ගෙන්වීම යළි සීමා කිරීමට තීරණය කර ඇත්තේ ෴

++++++++++++++++++++

(27.04.2021 – 09:23 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් 2 ක් හුදෙකලා කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ පොලිස් වසමේ සිරිකෙත, ග්‍රාම නිලධාරී වසම සහ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල පොලිස් වසමේ පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදෙකලා කර ඇති බවයි.

මේ අනුව කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 16 ක් දක්වා ඉහළ යනවා.

ඊයේ (26) දිනයේදී ද ග්‍රාම නිලධාරී වසම් 10 ක් හුදෙකලා කෙරුණු අතර කොරෝනා ආසාදනය නිසා දින 3 ක කාලයක් සදහා වසා දමා තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ද හුදෙකලා කරනු ලැබුවා.

මීට අමතරව කුලියාපිටිය පොලිස් වසම ද තවදුරටත් හුදෙකලාවේ පවතිනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුලගොඩ සහ කටුදම්පේ යන ග්‍රාම නිලධාරී වසම් දෙක (2) ද හුදෙකලා කෙරුණේ පවතින කොරෝනා වෛරසය සැලකිල්ලට ගනිමින්. අදාළ ග්‍රාම නිලධාරී වසම් දෙක (2) ඊයේ රාත්‍රී 8 සිට හුදෙකලා කිරීමටයි පියවර ගත්තේ.

එමෙන්ම, කොරෝනා රෝගීන් වාර්තා වීම හමුවේ ගම්පහ, කළුතර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ග්‍රාම නිළධාරී වසම් 8 ක් ද ඊයේ රාත්‍රී 8 සිට හුදෙකලා කෙරුණා.

ඒ, ගම්පහ – කොටදෙනියාව පොලිස් බල ප්‍රදේශයේ පොල්හේන, හීරළුගෙදර, කළුඅග්ගල යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නවත්ත – නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම වශයෙන්.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න, පොලිස් බල ප්‍රදේශයට අයත් මිරිස්වත්ත, පැලවත්ත – උතුර, පැලවත්ත – නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම ත්‍රිකුණාමල පොලිස් වසමේ පුම්පුහාර් ග්‍රාම නිලධාරී වසම ද ඊයේ (26) රාත්‍රී 8 සිට හුදෙකලා කිරීමටයි තීරණය කෙරුණේ.

මේ අතර, පවතින තත්ත්වය හමුවේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව දිවයිනේ සෙසු පාසල්වල අධ්‍යයනය කටයුතු සිදුකෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සදහන් කළේ.

මේ වන විට බස්නාහිර සහ වයඹ පළාත්වල සියළුම පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් මෙන්ම කතෝලික සහ ඇග්ලිකන් සභාවට අයත් පාසල් ද අප්‍රේල් 30 වන දා දක්වා වසා දමා තිබෙනවා.

එමෙන්ම, මොණරාගල දිස්ත්‍රික්කයේ අවදානමට ලක්වූ ප්‍රදේශවල පාසල් 15 ක් ද අප්‍රේල් 30 වන දා දක්වා වසා දැමීමට ඊයේ (26) තීරණය කෙරුණා.

කෙසේ වෙතත්, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පාසල් පෙර පරිදිම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ.

එමෙන්ම පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කණ්ඩායම් රැස්වී ඒ පිළිබදව තවදුරටත් තීන්දු තීරණ ගත යුතු බව ද ඔහු ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++

(27.04.2021 – 09:49 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (26) රාත්‍රි 08:00 සිට හුදෙකලා කෙරුනු ත්‍රිකුණාමලය පම්පුකර් ප්‍රදේශයේ ජනතාව එම ප්‍රදේශය අතහැර ගිය බව ත්‍රිකුණාමලය හිරු ප්‍රාදේශීය වාර්තාකරු පවසනවා.

ඊයේ (26) දහවල් මෙම හුදෙකලා කිරීම ප්‍රකාශ කිරීමත් සමග ප්‍රදේශයේ ජනතාව පිට පළාත් වෙත ගමන්ගත් බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

ඊයේ (26) සවස 05:00 සිට රාත්‍රී හත (07:00) පමණ වන තුරු අප වාර්තාකරු මෙම ගම්මානය අවට රැදී සිට ඇති අතර ඔහු පවසන්නේ කිසිදු ආරක්ෂක අංශ නිලධාරියෙක් රාත්‍රී 07:00 වන තුරුත් එම ස්ථානයේ නොසිටි බවයි.

අවම තරමින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) හෝ රාජකාරිය යොදවා තිබුණේ නම් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිව තිබූ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මෙලෙස නිරොධායන නියෝග සඳහා ජනතාව අනුගත නොවන්නේ නම් සහ එම නියෝග ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන් කටයුතු නොකරන්නේ නම් මෙලෙස ගම්මාන හුදකලා කිරීමේ ඇති ඵලය කුමක්ද?

මේ තත්ත්වය වෙනස් කිරීමට හෝ පාලනය කිරීමට ඔවුන් නිසි පියවර ගනු ඇතැයි යන්න අප බලාපොරොත්තුවයි.

++++++++++++++++++++++++

(27.04.2021 – 09:54 +0530 – hirunews.lk/sinhala)

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව හෙට (28) සිට ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

එහිදී මුලින්ම එන්නත ලබාදෙන්නේ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන්ට බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

+++++++++++++++++++++++

(27.04.2021 – 10:56 +0530 – hirunews.lk/sinhala)

සබරගමුව පළාත් සභාව යටතේ පාලනය වන කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළු පාසල් ලබන 30 වන දා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සදහන් කළේ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ල ගෙන මෙම තීරණයට එළඹ ඇති බවයි.

වයඹ සහ බස්නාහිර පළාත්වල සියළු පාසල් ලබන 30 වන දා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (26) නිවේදනය කළා ෴

අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් පාසල් 13 ක් ද ලබන 30 වන දා දක්වා වසා දමා තිබෙනවා.

උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ප්‍රදේශයේ පවතින තත්ත්වය සහ පාසල් දරුවන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් අදාළ තීරණය ගත් බවයි.

සබරගමුව පළාත් සභාව මගින් පාලනය වන කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් ද ලබන 30 වන දා වසා තැබීමට සබරගමුව ආණ්ඩුකාරවරයා විසින් අද (27) තීරණය කළා.

බස්නාහිර සහ වයඹ පළාත්වල සියළුම පාසල් ලබන 30 වන දා දක්වා වසා තබන බව ඊයේ (26) ප්‍රකාශයට පත් කළේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් ෴

ත්‍රිකුණාමලය-කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය සහ අම්පාර කලාපයට අයත් සියලු පාසල් අප්‍රේල් 30 දක්වා වසා දැමෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසනවා ෴

++++++++++++++++++++++++

දිවයිනේ සියලු පාසල් වැසේ

(27.04.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලු පාසල් ලබන සිකුරාදා (30) දක්වා වසා දැමීමට අමාත්‍ය මණ්ඩලයේදී තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

මේ අතර රජයේ තීරණයට අනුව දිවයින පුරා ඇති සියලුම කතෝලික පාසල් අප්‍රේල් 30 දක්වා වසා තබන බව බිෂොප් මන්දිරය පවසනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

(27.04.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

ගත වූ දිනයේ කොරෝනා ආසාදිතයින් 997 ක් වාර්තා වූ අතර එය සැලකෙන්නේ මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි.

ඔවුන්ගෙන් 45 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය වනවා.

මීට පෙර ආසාදිතයින් වැඩි පිරිසක් පසුගිය පෙබරවාරි 9 වන දා වාර්තා වූ අතර, එම සංඛ්‍යාව දැක්වුණේ 976 ක් ලෙසටයි.

එසේම මේ වන විට සියළු දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් වාර්තා වීම ද විශේෂත්වයක්.

ඊයේ (26) වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 173 ක්.

එහිදී දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් ආසාදිතයින් 18 ක් සහ හංවැල්ලෙන් ආසාදිතයින් 17 ක් වාර්තා වී තිබෙනවා.

මීට අමතරව මිරිහාන සහ මුල්ලේරියාවෙන් ආසාදිතයින් 13 දෙනා බැගින් වාර්තා වී ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.

මීළඟට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 170 ඊයේ (26) ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එහිදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් 17 ක්, මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් වාර්තා වී තිබෙනවා.

ඊට අමතරව දිවුලපිටියෙන් ආසාදිතයින් 16 ක් සහ මැල්ලවගෙදර ප්‍රදේශයෙන් ආසාදිතයින් 15 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

මේ අතර, බගවන්තලාව – කිව් වතු යායේ පහළ කොටසේ පදිංචි එකම පවුලේ 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කළා.

පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන ගම්පහ, කළුතර, පොළොන්නරුව, මාතලේ, ත්‍රිකුණාමලය, ගාල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක 7 ක ග්‍රාම නිලධාරී වසම් 16 ක් මේ වන විට හුදෙකලා කර තිබෙනවා.

කොරෝනා ආසාදිතයින්ගේ ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ පොලිස් වසමේ සිරිකෙත, ග්‍රාම නිලධාරී වසම සහ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල පොලිස් වසමේ පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කිරීමට අද (27) පෙරවරුවේ තීරණය කළා.

මීට අමතරව කොරෝනා ආසාදනය නිසා දින 3 ක කාලයක් සදහා වසා දමා තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ද හුදෙකලා කෙරුණා.

මීට අමතරව කුලියාපිටිය පොලිස් වසම ද මේ වන විට පවතින්නේ හුදෙකලා තත්ත්වයකයි.

ඊයේ (26) රාත්‍රී 8 සිට හුදෙකලා කෙරුණු ත්‍රිකුණාමලය – පුම්පුකාර් ප්‍රදේශයේ විශාල පිරිසක් එම ප්‍රදේශය හුදෙකලා කිරීමට පෙර ඉන් ඉවත්ව ගිය බව ත්‍රිකුණාමලය හිරු වාර්තාකරු සදහන් කළා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල පුද්ගලයින් බාහිර ප්‍රදේශ වෙත ගමන් කිරීමෙන් වළකින ලෙසටයි ෴

(27.04.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලුම උපකාරක පන්ති, පෙර පාසල් සහ පිරිවන් දිවයින පුරා අප්‍රේල් 30 දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මේ අතර කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් ද අප්‍රේල් 30 දක්වා අත්හිටුවීමටයි ෴

@@@@@@@@@@@@@@@@

(27.04.2021 – 06:44 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් අද (27) සිට දින 90 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට රැදවුම් නියෝගයක් ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාරකයින්ට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා (25) දිනයේදියි.

ඉන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72 ක් සදහා රැදවුම් නියෝග ලබාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කෙරුණා.

ඒ සඳහා වැඩි කාලයක් අවශ්‍ය බැවින් දින 90 ක කාලයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා රදවා ගැනීමට පොලීසිය ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් යොමු කර තිබුණා ෴

******************************************

(27.04.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

මෙවර රාජකීය – ශාන්ත තෝමස් වාර්ෂික ක්‍රිකට් තරඟය කොරෝනා වසංගතය හේතුවෙන් කල් තැබීමට එහි සංවිධායක කමිටුව තීරණය කර තිබෙනවා.

142 වන නිල් මහ සටන පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන මැයි 6 වන දා සිට 8 වන දා දක්වායි.

මෙවර එම තරඟය හම්බන්තොට – සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණේ ජෛව බුබුළ සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේදය යටතේයි.

කෙසේ නමුත්, ශාන්ත තෝමස් කණ්ඩායමේ ක්‍රීඩකයන් 4 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඔවුන් මෙන්ම අනෙකුත් සියළු ක්‍රීඩකයන් සෞඛ්‍ය බලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ අදාල මාර්ගෝපදේශ පිළිපදින බව ද සංවිධායකයන් අවධාරණය කළා.

එමෙන්ම, රජයේ සහ පෞද්ගලික අංශයේ සියළුම උත්සව මැයි 31 වන දා දක්වා කල් තැබීමට රජය ගෙන ඇති තීරණය ද සැලකිල්ලට ගෙන මෙලෙස රාජකීය – ශාන්ත තෝමස් නිල් මහ සටන කල් දැමූ බවයි සංවිධායකයන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ෴

******************************************

(27.04.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

පරිසරය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ මෙහෙයුමකදී ඊයේ (26) දිනයේ ගලේවල ප්‍රදේශයේ නිදන් හෑරීමක නිරත වූ පුද්ගලයින් 05 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිට අමතරව තිරප්පන ප්‍රදේශයේදීත් නිදන් හෑරීමක් සිදුකළ 04 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම පාරිසරක හානි පුරා වස්තු විනාශ කරන පිරිස් සම්බන්ධයෙන් යම් නිවැරදි තොරතුරක් ලබා දෙන පුද්ගලයන්ට වටිනා මුදල් ත්‍යාගය ලබා දිමට ශ්‍රී ලංකා පොලිසිය සුදානම් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

******************************************

(27.04.2021 – 08:53 +0530 – hirunews.lk/sinhala)

තම අධිකාරිය ලබාදී ඇති උපදෙස් සහ නියෝග උල්ලංගණය කරමින් තවදුරටත් ගෑස් සමාගමක් විසින් නව ගෑස් සිලින්ඩර් පිළිබදව ප්‍රවර්ධන කටයුතු සිදුකරමින් පවතින බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

සමාජ මාධ්‍ය සහ මුහුණු පොත ඔස්සේ අදාළ ගෑස් සමාගම මෙම ප්‍රවර්ධන කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.

ලිට්රෝ ගෑස් සමාගම ගෘහස්ථ පරිභෝජනය සඳහා නව මුහුණුවරකින් ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් මතුව ඇති බවට හිරු ප්‍රවෘත්ති ඔස්සේ මීට පෙර අනාවරණය කළා.

ඒ අනුව කිලෝගෑම් 12.5 ක් ලෙස බර සඳහන් කරමින් නිකුත් කෙරුණු ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් සියයක (100) මිල අඩුකිරීමක් සමඟ ලීටර් 18 ක් ලෙස සටහන් කරමින් පසුගියදා වෙළඳපොළට නිකුත් කෙරුණා.

එහෙත් එම සිලින්ඩරයේ බර එහි සඳහන් ප්‍රමාණයට වඩා කිලෝග්‍රෑම් 02.17 ක් පමණ අඩු බවයි අනාවරණ වුණේ.

එවන් පසුබිමක පාරිභෝගික සේවා අධිකාරිය අදාල ගෑස් සමාගමට නියෝග කළේ වෙළදපොළට නිකුත් කර ඇති මෙම ගෑස් සිලින්ඩරය ඉවත් කර ගන්නා ලෙසටයි.

එහෙත් අදාළ ගෑස් සමාගම විසින් තවදුරටත් වෙනත් ක්‍රමවේද ඔස්සේ නව ගෑස් සිලින්ඩරය පිළිබදව ප්‍රවර්ධන කටයුතු සිදුකරන බවටයි පාරිභෝගික සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

******************************************

(27.04.2021 – 10:20 +0530 – hirunews.lk/sinhala)

මාතලේ – රත්තොට – රත්වත්ත වතුයායේ දොඹගොඩ තේ වත්තේ තිබියදී සොයා ගත් පිළිස්සුණු මළ සිරුර පිළිබද තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ මෙහිදී සොයා බැලෙන්නේ එම මළ සිරුර දැනට මාලබේ, තලාහේන ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බවට පැවසෙන පුද්ගලයාගේ ද යන්න පිළිබඳවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *