කොවිඩ්-19 ට සාර්ථක ඖෂධයක් – ප්‍රවීණ රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස්

කොවිඩ්-19 ට සාර්ථක ඖෂධයක් – ප්‍රවීණ රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස්

*********************************************

කොවිඩ්-19 ට සාර්ථක ඖෂධයක් – ප්‍රවීණ රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස්

(26.04.2021 – 18:47 +0530 – lankaleadnews.com)

කොවිඩ් ආසාදිත රෝගීන් විඳින පීඩාවන් සහ දිනෙන් දින වැඩිවන කොවිඩ් මරණ අනුපාතිකය අඩු කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව හා බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායමක් විසින් සිදුකරන ලද පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදනය කරනු ලැබූ ‘මේඝා ප්‍රයිමල් ඉන්ටේක්’ (MeGha Primal Intake) ආහාරමය අතිරේකය හඳුන්වාදීම පසුගියදා කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී සිදු කෙරුණු අවස්ථාවේදී; සාම්ප්‍රදායික, ස්වාභාවික ආහාර සංස්කෘතියෙන් ඈත්වීම හරහා මෙරටට අහිමිව වූ ප්‍රතිශක්තිය නැවත හිමිකරගත යුතුව ඇති බව ප්‍රවීණ රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා පැවසීය.

මෙරට පැරණි ගැමියා ස්වාභාවික ආහාර රටාවේ වැදගත්කමත්, ප්‍රතිශක්තිය පිළිබඳවත් මනා අවබෝධයකින් සිටි බව පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ නූතන ආහාර රටාවන් හේතුවෙන් වත්මන් සමාජය දුබල වී ඇති බවයි.

“ඒ කාලේ කුස්සිය ෆාමසියක්. අම්මා වෙද නෝනා. ඔළුව අතගාලා දුන්නු, කුස්සියෙන් හොයාගත්තු දේවල් ටිකෙන් අපේ රෝග සුවපත් උනා. අපි තව කෙනෙකු ජීවත් කරන්න උත්සහ කරමු. ඒ නිසයි මේ පෙති වර්ගය සමාජගත කරන්නට මම උනත් ඇවිල්ලා මෙතන වාඩි උනේ. අපේ ටෙලි නාට්‍ය කණ්ඩායමකට මේ රෝගය වැළඳුනා; මම ඔවුන්ට කතා කරලා මේ ගැන කිව්වා. මේ බෙහෙතින් ඔවුන් සුවපත් උනා.” යැයි ඒ මහතා පවසයි.

බටහිර හා සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායමක් විසින් නිපදවා ඇති MeGha ආහාර අතිරේකය තුළ මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ නංවන ස්වාභාවික ශාඛසාර අමුද්‍රව්‍ය පමණක් අඩංගු වේ.

ශ්‍රී ලංකාවේ ආහාර පනතේ මාර්ගෝපදේශ යටතේ නිපදවා ඇති අතර එම නිෂ්පාදන කාර්‍ය සිදු කරන්නේ ISO 22000 සහ GMP තත්ත්ව සහතික යටතේ පවත්වාගෙන යන නිෂ්පාදනාගාර තුලය.

MeGha Primal Intake ආහාරමය අතිරේකය මගින් සයිටොකයින් ස්ටෝම් තත්ත්වය නිසා ශරීරයට සිදුවන හානිය අවම කිරීම සිදුකෙරන අතර පෙනහළු සෛල වර්ධනය කිරීම මගින් පෙනහළු වලට ආරක්ෂාව ලබාදීමද සිදුකෙරේ. දිගු කාලීනව ස්නායුවලට එන බලපෑම අඩු කිරීම ද MeGha Primal Intake විසින් සිදු කරනු ලබයි. MeGha Primal Intake ආහාරමය අතිරේකය, ආහාර මාත්‍රා 03 ක් භාවිතයට ගැනීමෙන් පසු රෝගීන්ගේ රෝග ලක්ෂණ ප්‍රබල ලෙස අඩුවී යන බව ප්‍රත්‍යක්ෂ වී තිබෙන අතර එය රෝගීන් විසින් ද තහවුරු කර තිබේ.

MeGha Primal Intake හි විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම කරනු ලබන වෛද්‍යවරුන් හා විද්‍යාඥයින් කණ්ඩායම, එහි සියළු වගකීමද දරනු ලබන අතර MeGha Primal Intake හි නිෂ්පාදනයේ හා බෙදාහැරීමේ වගකීම මේඝා කෙයාරින් පුද්ගලික ආයතනය (MeGha Caring Pvt Ltd) විසින් සිදුකරනු ලබයි.

++++++++++++

++++++++++++

MeGha Primal Intake launched to help combat COVID-19 by boosting human immune system

[ https://www.facebook.com/meghaprimalintake/ ]

[ https://www.meghacaring.com/ ]

++++++++++++++++++++++++++

ඉන්දීය ජාතිකයින් ලංකාවේ දී නිරෝධායනය කිරීමේ සැලසුමක් ?

(26.04.2021 – 21:09 +0530 – sinhala.adaderana.lk)

අන්තර්ජාලයේ දැන්වීම් පළ කරමින් ඉන්දීය ජාතිකයින්ට මෙරට තුළ නිරෝධායනයවීමට අවස්ථාව ලබාදී විදෙස් රටවලට පිටත්කර යැවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කාවින්ද ජයවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

“ඉන්දියානු ජාතිකයන්ට සිංගප්පූරුවේ, සෞදියේ රැකියාවට යනවා නම් වෙනත් රටක නිරෝධායනය වෙන්න අවශ්‍යයි. මේක හඳුනා ගත්තු ලංකාවේ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රබල නිලධාරියෙක් මේවා ව්‍යාපාරයක් කරගන්න හදලා. මේකෙ ගොදුරු වෙන්නේ ලංකාවේ ජනතාව. ඒකේ වගකීම භාර ගන්නේ කවුද?”

එහිදී අදාළ දැන්වීම පළකර ඇති ආයතනයේ සේවකයෙකු සමග පැවැත් වූ දුරකථන සංවාදයක් ද කාවින්ද ජයවර්ධන මහතා මාධ්‍යට නිකුත් කළේය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් ‘අද දෙරණ’ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතාගෙන් විමසීමක් කළේය.

ඊට ඔහු ලබාදුන්නේ මෙවන් පිළිතුරකි,

“සිවිල් ගුවන් සේවයට එහෙම චෝදනාවක් එල්ල කරන්න බෑ. හැබැයි අපිට ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න පුළුවන්. අපි නිරෝධායනය කියලා වෙනම පහසුකමක් දීලා නෑ.”

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෙට (27) දිනයේදී සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව රජ‍යේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

“රජය ලබා දී තිබෙන අනුමැති අයථා ලෙස යොදාගෙන වෙනත් රටවල පිරිස් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙලක් මේ ආකාරයෙන් සිදුවෙනවද කියලා සොයා බලන්න ඕනේ,” යනුවෙන් ද ඔහු පැවසීය ෴

******************************************

‘කළණ මිතුරන් ඇසුරු කිරීම’ කියන්නෙ මහා පුදුමාකාර දෙයක් ! (K.Sujeewa) (Musician)

******************************************

වරාය නගර කොමිසමේ සියලු සාමාජිකයින් ශ‍්‍රී ලාංකිකයින් විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගෙවිඳු කුමාරතුංග

(27.04.2021 – divaina.com)

= යහපාලන ආණ්ඩුව ගෙන තිබූ හොඳ තීරණ මේආණ්ඩුවේ පනත් කෙටුම්පතින් මඟ හැරුණේ කොහොමද? =

වරාය නගර කොමිසමේ සියලු සාමාජිකයින් ශ‍්‍රී ලාංකිකයින් විය යුතු බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

පෙරේදා (25) කොළඹ සම්බුද්ධත්වය ජයන්ති මන්දිරයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී එසේ කී කුමාරතුංග මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය :

“කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය නමින් අපි මේ මුල පුරමින් සිටින්නේ ශ‍්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් විශාල බලපෑමක් කළ හැකි දැවැන්ත ව්‍යාපෘතියකටයි. ඒනිසා අප සියලු දෙනාගේ යුතුකම සහ වගකීම එහි සාර්ථකත්වය සඳහා අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමයි.

කොළඹ වරාය නගරය කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජිකයින් ගැන ඇත්තේ එකම වගන්තියක් විතරයි. ඒ ජනාධිපතිවරයා විසින් අවම සාමාජිකයින් 5 ක් සහ උපරිම සාමාජිකයින් 7 ක් දක්වා කොමිසම් සභාවට සාමාජිකයින් පත්කළ යුතුයි යනුවෙන්. ඒ පත් කිරීම් වෙනත් කිසිදු නිර්ණායකයකට හෝ වෙනත් ආයතනයක සුපරීක්ෂණයකට හෝ යටත් කිරීමක් මෙහිදී සිදු කර නැහැ.

මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අවස්ථා දෙකකදී (2) වරාය නගරයේ පරිපාලනය සම්බන්ධව සංකල්ප පත‍්‍රිකා දෙකක් ඉදිරිපත් වී තිබෙනවා. පළමු වැන්න, පැවැති යහපාලන රජය සමයේ, එනම් 2019 සැප්තැම්බර 09 දිනැති සංකල්ප පත‍්‍රිකාව. ඒ වගේ ම අපේ ආණ්ඩුව යටතේ, 2020 ජුනි 16 වැනිදා අග‍්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉදිරිපත්කළ සංකල්පීය පත‍්‍රිකාවක් ද සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

මේ පත‍්‍රිකා දෙකම වරාය නගරය යම් අමාත්‍යංශයක් යටතේ පැවැතිය යුතුය යන පදනමේ සිට සකසා තිබෙනවා. ඒවගේම මේ පත‍්‍රිකා දෙක (2) තුළම වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජිකයින් ලෙස මේ රටේ රාජ්‍ය සේවයේ විවිධ නිලතල දරන්නන් නිල වශයෙන් පත්විය යුතු බවට යෝජනා වී තිබෙනවා. පැවැති ආණ්ඩුව සිය පත‍්‍රිකාව මඟින් කොමිසමේ සාමාජිකයන් ලෙස මහ බැංකු අධිපතිතුමා, මුදල් අමාත්‍යංශ ලේකම්තුමා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා ආදි වශයෙන් රජයේ නිල තනතුරු දරන පිරිසක් පත්විය යුතු බව යෝජනා කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා යටතේ ඉදිරිපත් කළ සංකල්ප පත‍්‍රිකාවෙන් එය තව දුරටත් ඉදිරියට ගෙන ගොස් සභාපතිට අමතරව සාමාජිකයින් දහ දෙනෙක් (10) පත්විය යුතු බවත්, ඒ සඳහා මහ බැංකු අධිපතිතුමා, මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා, කොළඹ වරාය නගරය භාර අමාත්‍යංශයේ ලේකම්තුමා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා, ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමා, විනිමය හුවමාරු කොමිසමේ සභාපතිතුමා ආදීන් නිල වශයෙන් පත්විය යුතු බවත් යෝජනා කර තිබෙනවා.

මේ තනතුරු දරන රාජ්‍ය නිලධාරීන් අනිවාර්යෙන්ම ශ‍්‍රී ලාංකිකයින් වන නිසා පෙර කී යෝජනා දෙක අනුවම වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජිකයින් බහුතරය නිතැතින්ම ශ‍්‍රී ලාංකිකයින් වීම සහතික කෙරෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ නිල වගකීමක් හොබවන පිරිසක් කොමිසමේ බහුතරය බවට පත්වෙනවා. එයට අමතරව ඉහත සංකල්පීය පත‍්‍රිකාවන්හි සාමාජිකයින් තිදෙනකු (3) පත්කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයාට නැත්නම් කොළඹ වරාය නගරය භාර අමාත්‍යංශයේඇමැතිවරයාට හිමිව තිබෙනවා.

මේ වගේ හරවත් සංවාදයකට පසු කිසිම නිර්ණායකයක් නොමැතිව ‘ජනාධිපතිවරයා විසින් කොමිසමේ සාමාජිකයින් පත්කළ යුතුය’ කියන ස්ථාවරයට යෑම අපට තේරුම් ගත නොහැකි කාරණාවක්. අපි මෙතැනදී සලකා බැලිය යුත්තේ වර්තමාන ජනාධිපතිවරයා ගැන පමණක් නෙමෙයි. වරාය නගරයේ අන්තර් කාලීන කටයුතු අවසන් වන විට 2028 වෙනවා. ගොඩනැඟූ සමාගම සමඟ අප අවුරුදු 100 ක් සඳහා ගිවිසුමකට බැඳී සිටිනවා. මේ කාලය තුළ අවම වශයෙන් ජනාධිපතිවරණ 20 ක් පැවැත්වීමට නියමිතයි.

යුතුකම සංවිධානය විදිහට අපි විශ්වාස කරනවා, මේ කොමිසමේ සියලු සාමාජිකයින් ශ‍්‍රී ලාංකික පුරවැසියන් විය යුතු යි කියා. ඒ වගේම මේ කොමිසමේ බහුතරය මහ බැංකු අධිපතිතුමා, මුදල් අමාත්‍යංශ ලේකම්තුමා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා ආදි රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත විය යුතුයි කියා.

බොහෝ දෙනෙක් වරාය නගර කොමිසම ගැන කතා කරද්දී 1978 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පත් කළ මහ කොළඹ ආර්ථික කොමිසම ගැන කතා කරනවා. එහෙත් යම් යම් දේශපාලන කැළඹිලි මැදින් අපි එතැන් සිට, 17 වන, 18 වන, 19 වන සහ 20 වන ව්‍යවස්ථා සංශෝධන ඔස්සේ ගමන් කරතිබෙනවා.එමඟින් ජනාධිපතිවරයාගේ පත්කිරීම් යම් ආකාරයකට පාර්ලිමේන්තුවට යටත් කෙරෙන, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ සුපරීක්ෂණයකට ලක් කෙරෙන තත්ත්වයක් නිර්මාණය කොට තිබෙනවා.

78 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, නීතිපති, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පත්කිරීමේ බලය තිබුණා. එහෙත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඒ පත්කිරීම් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත් කළා. 20 වන සංශෝධනයට අනුව ඒ පත්කිරීම් කථානායක, අගමැති, විපක්ෂ නායක ප‍්‍රධානත්වය දරන පාර්ලිමේන්තු කවුන්සිලයට දැනුම් දිය යුතුයි.ඒ කවුන්සිලයේ නිරීක්ෂණ ලබාගත යුතු යි.

පහුගිය ආණ්ඩුව ඉදිරිපත් කළ සංකල්පීය පත‍්‍රිකාවේ වරාය නගර කොමිසම් සභාවට ජනාධිපති කරන පත්කිරීම් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යොමු කළ යුතු බව සඳහන් වෙනවා. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉදිරිපත් කළ සංකල්පීය පත‍්‍රිකාවෙත් ඒ කාරණාව සඳහන් වෙනවා. ඒ සංකල්පීය පත‍්‍ර තවදුරටත් දියුණු කිරීම වෙනුවට ඒ කරුණු අපේ ආණ්ඩුව ගෙන ආ පනත් කෙටුම්පතින් මඟ හැරුණේ කොහොමද කියන කාරණය අපට වටහාගන්න අපහසුයි.

මෙහිදී මතුවිය හැකි ප‍්‍රශ්නයක් තමයි කොළඹ වරාය නගරය ලෝකයේ ආර්ථික මර්මස්ථානයක් බවට පත්කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම ඇති විදේශීය විශේෂඥයන් ගේ සහාය ලබාගන්න බැරිද කියන කාරණය. එහෙත් එය ප‍්‍රශ්නයක් නොවෙයි. වරාය නගරය පාලනය සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්, විශේෂඥයන්, උපදේශකයින් පත්කර ගැනීමේ සම්පූර්ණ අයිතිය කොමිසමට ඇති බව මේ පනත් කෙටුම්පතේම සඳහන් වෙනවා. ඒනිසා කොමිසමට පුළුවන් අවශ්‍ය නම් විදෙස් විශේෂඥයින් සේවයට බඳවා ගෙන වරාය නගරය ගොඩනඟන්න. ඔවුන්ගේ දැනුම භාවිත කරන්න.

ඒ වගේ ම වරාය නගරයේ පොදු කටයුතුවලට වෙන් වන ඉඩම්වලට අමතරව චීන සමාගමට සහ ලංකා ආණ්ඩුවට අයත් ඉඩම් විවිධ ව්‍යාපාර කටයුතුවලට බදු දීමේ අවස්ථාව තිබෙනවා. 7 වන පිටුවේ 6.ඉ, ඊ. වගන්තිවලින් ඉඩම් ප‍්‍රදානය කිරීමේ බලයත් කොමිසමට පවරා තිබෙනවා. මේ සියලු ඉඩම් රාජ්‍ය අයිතියට යටත්ව පැවැතිය යුතු බවත් ඒවා ව්‍යාපාරික කටයුතු සඳහා බදු දීම මිස මුළුමනින් පවරා දීමක් සිදු නොවිය යුතු බවත් අප විශ්වාස කරනවා.

ඒ වගේ ම වරාය නගරයේ ආයෝජකයින්ට වුවමනා මධ්‍යම පරිසර අධිකාරිය, ශ‍්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රජයේ ආයතන මඟින් ලබා ගතයුතු අනුමැතියන් කොමිසම මඟින් ම ලබාදීමට මේ පනත් කෙටුම්පතේ 3 වන පිටුවේ 5 වන වගන්තියේ යෝජනා කර තිබෙනවා. එහි කොමිසම් සභාව අදාළ රාජ්‍ය ආයතන වෙත සිදු කරන ඉල්ලීම් සඳහා ප‍්‍රමුඛත්වය ලබා දෙමින් වහාම අදාළ එකඟත්වය ලබාදිය යුතු බව සඳහන් වෙනවා. ඒසඳහා ප‍්‍රමුඛත්වය ලබා දීම කිසිම ප‍්‍රශ්නයක් නෙමෙයි. එහෙත් මධ්‍යම පරිසර අධිකාරිය හෝ මහ බැංකුව හෝ වෙනත් ඕනෑම රාජ්‍ය ආයතනයක් මඟින් කළ යුත්තේ කොමිසම යොමු කරන ව්‍යාපෘති යෝජනා සඳහා අනුමැතිය ලබා දිය හැකි නම් කඩිනමින් අනුමැතිය ලබාදීම හෝ නොහැකි නම් ඒසඳහා හේතු දැක්වීමයි. අදාළ වගන්තියෙන් අදහස් කරන්නේ මේ ක‍්‍රියාවලිය විය හැකියි. එහෙත් මෙය පනතක් නිසායි. පසුව ඒ වගන්තිය අධිකරණයකදී වෙනත් ආකාරයක අර්ථ දැක්වීමක් සඳහා භාවිත කළ හැකි නිසා යි, අපි එය පෙන්නුම් කරන්නේ.”

@@@@@@@@@@@@@

වසංගත රෝග අංශයේ නිළධාරීන්ගේ අත්තනෝමතික සහ උඩඟු හැසිරීම රටට හානියක් – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ෆර්නෑන්ඩු

(27.04.2021 – 09:24 +0530 – lankaleadnews.com)

තමාද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවුරුදු 30 කට අධික කාළයක් සේවය කර ඇති බවත් ඒ යටතේ ඇති වත්මන් වසංගත රෝග අංශය නිළ වශයෙන් හොඳ ආකාරයට මෙන්ම නරක ආකාරයට කටයුතු කරන ලද යුගයන් තමා දැක ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ෆර්නෑන්ඩු මහතා පවසයි.

කොවිඩ් පළමු රැල්ලේදී අපට තිබූ අභියෝගය වූයේ පිටරටින් පැමිණි අයගේ සහ නාවික හමුදා පොකුර පාළනය කරගැනීම බවත් එහි සාර්ථකත්වය මත ඉන්පසු ඔවුන් යම්කිසි උඩඟු ආකාරයකට කටයුතු කිරීමේ උත්සාහයක් නිරීක්ෂණය වන බවත් පවසයි.

ඒ අතරතුර මුඛ ආවරණය අනිවාර්යය නොවන බව ඔවුන් කිහිපවිටක්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බව ද ඔහු සිහිපත් කර සිටින ඔහු එවන් වැරදි ඔවුන් විසින් දැනටත් කරමින් සිටින බව ප්‍රකාශ කරයි.

තායිවානය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයකු නොවීම තුළින් තායිවානයට යම්කිසි වාසිදායක තත්වයන් ද උදාවූ බව ඔහු පෙන්වා දෙයි.

වසංගත රෝග කළමනාකරණය පිළිබඳ විශේෂඥ දැනුම ඇති බොහෝ පිරිසක් සිටිය ද සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති වසංගත රෝග අංශයේ නිළධාරීන් උඩඟු බවින් සහ අත්තනෝමතික ලෙස ක්‍රියාකිරීම දැන්වත් නවතා දැමිය යුතු බවත් ඔහු පවසයි.

දේශපාළන අධිකාරිය ද හරිම තීරණය නොගැනීමට මෙම තත්වය බළපා ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

++++++++++++

[ https://fb.watch/57MuL9AJ1h/ ]

++++++++++++

******************************************

කොරෝනා වසංගතයේ අලුත් තත්ත්වයන්ට මුහුණදෙන්න අපට පුළුවන් – ආයුර්වේද වෛද්‍ය ආචාර්ය තරංගා කුමාරි වික්‍රමසූරිය

(27.04.2021 – mawbima.lk)

තරමක් දුරට හෝ පාලනය වී තිබුණු වසංගත තත්ත්වය නැවතත් නරක අතට හැරිලද?

ඔව්. එවැනි තත්ත්වයක් ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම හේතුවෙලා තියෙන්නේ කාගෙ කාගේත් නොසැලකිල්ලයි. විශේෂයෙන්ම පහුගිය අවුරුදු සමය තුළදී සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් සහ බෙහෙත් ගැන අවධානය යොමු නොකිරීම වගේම නොදැනුවත් බවත් ඒ සඳහා හේතුකාරක වුණා කියලයි මට හිතෙන්නේ. දැනටත් බද්දේගම රෝහලෙන් සහ ඇල්පිටිය රෝහලෙන් ආසාදිතයන් සැලකිය යුතු ප්‍රමාණයක් හමුවෙලා තියෙනව. දැනට දැනගන්න ලැබිලා තියෙන විදිහට වැඩිපුරම ආසාදිතයන් හඳුනාගෙන තියෙන්නේ සෞඛ්‍ය අංශයෙන්. බෙහෙතක් තිබුණු පළියට රෝගියෙක් වෙන්න අවශ්‍ය නැහැ කියන එක බොහෝ අය අමතක කළ බවක් තමයි දැන් පෙනෙන්න තියෙන්නේ. ඇත්තටම අපට බෙහෙතක් ගන්න ඕන වෙන්නේ ලෙඩ වුණොත් විතරයිනෙ.

බෙහෙතක් තිබුණා වුණත් ලෙඩක් හදා නොගත්තොත් ප්‍රශ්නයක් නැහැනෙ. පහුගිය දවස්වල අලුත් වයිරස් කාණ්ඩයක් ඇවිල්ලා තියෙනවා කියලා අදහසකුත් පැතිරුණා. මේ වසංගත තත්ත්වයට අදාළව බ්‍රිතාන්‍යයේ තිබුණෙත් ඔය වගේම තත්ත්වයක්. මේ වයිරසය මුලින්ම හානි කරන්නෙ පෙණහලුවලටයි. කොරෝනාවලදී ‘ලන්ග් ෆයිබ්‍රෝසිස්’ (Lung Fibrosis) හෙවත් පෙණහලු ආශ්‍රිත ෆයිබ්‍රෝසිස් තත්ත්වයට බෙහෙත් කරන්න ඕන කියලා මම මුල ඉඳලම කිව්වේ ඔන්න ඔය හේතුව නිසායි. මම මේ බෙහෙත හැදුවෙත් පෙණහලු ආශ්‍රිත ෆයිබ්‍රෝසිස් තත්ත්වයටත් අදාළ වන විදිහටයි. පවතින තත්ත්වයන්ට අනුව වෙනස් වෙන එක වයිරසයක සාමාන්‍ය ලක්ෂණයක්. ඒ කියන්නේ වයිරසයක් පවතින තත්ත්වයන්ට අනුවර්තනය වෙනවා. වයිරසය පරිසරයට අනුවර්තනය වෙනවා වගේම සිරුරේ රැඳෙන්න පුළුවන් ක්‍රමයක් හොයා ගන්නව. අපි වයිරසයෙන් ගැලවෙන්න හදන ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් අපේ සිරුර ඇතුළෙ හදාගෙන අපි හදන ක්‍රමය මඟහැරලා වයිරසය ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක වෙන වයිරසය මුලින්ම ආසාදනය වෙන්නෙ පෙණහලුවලටයි.

වයිරස ප්‍රභේදය වෙනස් වනවිට ඒ අනුව ඖෂධයත් නැවත සකස් කළ යුතුද?

නැහැ. වයිරස් ප්‍රභේදය වෙනස් වුණා කියලා ඖෂධය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් ඇතිවෙන්නේ නැහැ. වයිරසයේ බලපෑම නිසා ඇති වන රෝග තත්ත්වයන් සහ අදාළ රෝග ලක්ෂණ සියල්ල ඖෂධය සැකසීමේදී සැලකිල්ලට අරගෙන තියෙන නිසා වයිරසයේ ස්වභාවය කුමක් වුණත් මේ ඖෂධය නිසි ආකාරයට ක්‍රියාත්මක වෙනවා. මේක පෙණහලු ආශ්‍රිත ෆයිබ්‍රෝසිස් තත්ත්වය සහ ‘පල්මොනරි කැන්සර්’ (Pulmonary Cancers) හෙවත් පුප්සීය පිළිකා වැනි තත්ත්වයන් ඉලක්ක කරගෙන සකස් කළ ඖෂධයක් නිසා වයිරසයේ ස්වභාවය වෙනස් වුණත් එයින් ඇති වන බලපෑම් සියල්ල පාලනය කරන්න හැකියාව මේ ඖෂධයට තියෙනවා.

නව කොරෝනා ඖෂධය දැන් වෙළෙඳපොළේ තිබෙනවාද?

ඔව්. මේ වෙනකොට ඖෂධය වෙළෙඳපොළට නිකුත් කරලා තියෙනවා. ඖෂධය ලබාගත හැකි අලෙවිසල් කිහිපයකුත් රට පුරා විවිධ ස්ථාන කිහිපයක තියෙනවා. අනුරාධපුර, මහනුවර සහ නිට්ටඹුව ඇතුළු ප්‍රදේශ කිහිපයක තියෙන ඒ අලෙවිසල්වලින් දැන් ඕනම කෙනකුට ඖෂධය ලබාගන්න පුළුවන්. දැනට පවතින තත්ත්වයන්ට අවශ්‍ය ආකාරයට ඖෂධය සපයන්න අපට හැකියාව තියෙනවා.

දැනට පැහැදිලිව තහවුරු වෙලා තියෙන විදිහට මේ ඖෂධයෙන් කොරෝනා මර්දනය කරන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙන නිසායි මම එහෙම කියන්නෙ. පහුගිය කාලය පුරාම මේ ඖෂධය ගැන බොහෝ අය තුළ ලොකු විශ්වාසයක් ගොඩනැඟුණා කියලා මම හිතනවා. මේ වෙනකොට ඖෂධය සඳහා ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතියත් ලැබිලා තියෙනවා. කාලයක් යන තුරුම ඖෂධය ගැන ලොකු ප්‍රචාරයක් ලබාදීමට උත්සාහ නොගත්තේ අවශ්‍ය ප්‍රමාණයට සැපයුම ලබාදෙන්න හැකියාවක් නොතිබුණු නිසායි. ඒත් දැන් අපට සැපයුම පිළිබඳ ප්‍රශ්නත් නැහැ. දැනට පවතින තත්ත්වය සැලකිල්ලට අරගෙන ඖෂධය වැඩි වැඩියෙන් ජනතාව අතරට ගෙනියන්න කියලා බොහෝ අය කියනවා. විශේෂයෙන්ම දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිතුමා මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම මට කතා කරලා දැනට පවතින තත්ත්වය හමුවේ ඉතා ඉක්මනින් ඖෂධය ප්‍රචලිත කළ යුතු බව පෙන්වාදුන්නා. ඖෂධය සඳහා අනුමැතිය ලබාගැනීමට පවා මාව උනන්දු කරමින් එතුමා දක්වපු සහයෝගයට මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. දැන් දැන් බොහෝ ඈත පළාත්වල අය පවා මේ ඖෂධය ගැන තොරතුරු දැනගෙන අලුත්වල ‘ලංකාපුර වෙදමැඳුර’ හොයාගෙන එනවා. ඒත් දැන් එහෙම එන්න අවශ්‍යත් නැහැ. අපි හැකි ඉක්මනින් ලංකාව පුරාම හැම කෙනකුටම මේ ඖෂධය ලබාගන්න පුළුවන් වන ආකාරයට බෙදාහැරීම් කටයුතු කරන්න කටයුතු යොදනවා.

මෙවැනි ඖෂධයක් සකස් කරන්න පසුබිම සකස් වෙන්නේ කොහොමද?

ඇත්තටම මේ ඖෂධය මුලින්ම නිෂ්පාදනය කළේ ලංකාවට නෙවෙයි. ඒ වෙනකොට කොවිඩ්-19 බරපතළ වශයෙන් ලංකාවේ ව්‍යාප්ත වෙලා තිබුණේ නැහැ. විදෙස් රටක ඉන්න මගේ හිතවත් ජර්මන් ජාතික වෛද්‍යවරයෙක් කතා කරලා මෙහෙම ලෙඩක් තියෙනවා කියලා මාව දැනුවත් කළා. මම ඩෙංගු රෝගයට ඖෂධයක් නිෂ්පාදනය කළ බව ඔහු දන්නවා. ඔහුත් ඒ ඖෂධය පාවිච්චි කළා. ඔහු ලංකාවෙන් යන්න දවස් දෙකකට කලින් ඔහුට ඩෙංගු රෝගය වැලඳුණා. ලංකාවෙන් පිටත්වෙන්න නියමිතව තිබුණු ගුවන්යානයට යන්න බැරිවෙයි කියලා ඔහු බය වුණා. ඊට පස්සෙ මම ඔහුට කතා කරලා එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ කියලා ඩෙංගු රෝගය සඳහා මම හදපු ඖෂධය ඔහුට දුන්නා. ඔහුටවත් හිතාගන්න බැරි විදිහට ඒ ඖෂධයෙන් ඔහුට සුවය ලැබුණා. ඊට පස්සෙ ‘ලංකාව පුදුම රටක්’ කියලා ඔහු කිව්වා. මේ රටේ ඩෙංගු වගේ වයිරස්වලට බෙහෙත් තියෙනවා කියන එක ඔහුට අදහාගන්න බැරිව ගියා. ඔහුට කිසිම සංකූලතාවක්වත් ආවෙ නැහැ. කොවිඩ්-19 වයිරසය ගැන සියලු විස්තර සහ ඒ වයිරසයෙන් වෙන්නෙ මොකක්ද කියන එක ගැන තොරතුරු සහ වාර්තා ඔහු මට එව්වා.

ඒ සියලු තොරතුරු මට එවලා පුළුවන් නම් මේ රෝගය සඳහා ඖෂධයක් නිපදවන්න උත්සාහ කරන්න කියලා ඉල්ලීමක් කළා. එයා දැනගෙන හිටියා මම ‘පල්මොනරි කැන්සර්’ (Pulmonary Cancers) හෙවත් පුප්පුසීය පිළිකා වගේම පුප්පුසීය ෆයිබ්‍රෝසිස් (Pulmonary Fibrosis) සහ ‘ලේ කැටි ගැසීම්’ තත්ත්වයට ප්‍රතිකාර කරන බව. මේ රෝග ලක්ෂණ දෙකම කොවිඩ් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ හැටියට සැලකෙනවා. ඒ තත්ත්වයන්ට ප්‍රතිචාර දක්වන්න පුළුවන් විදිහට පිටරටවලට යවන්න තමයි මම ඖෂධය සකස් කළේ. ලංකාවේ පළමුවැනි වරට කොරෝනා වසංගත රැල්ල මතුවෙනකොටත් ඖෂධය සකස් කරලා අවසන්. ඒ වසංගත තත්ත්වය ආවට පස්සෙත් මේ ඖෂධය අපි ළඟ තිබුණා. ඒත් වසංගතය දිගින් දිගට පැතිරෙන එකක් නැති වෙයි කියලා හිතපු නිසා මේ වගේ ඖෂධයක් ඕනෑ වෙන එකකුත් නැති වෙයි කියලයි මම හිතුවෙ. ඒ නිසා මම සුපුරුදු ආකාරයට මගේ අනෙකුත් සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු කරගෙන ගියා. ඊට පස්සෙ තමයි මේ වගේ ඖෂධයක් අවශ්‍ය වන තත්ත්වයක් උදාවුණේ. ඒ වෙද්දි මුලින්ම ඖෂධය නිෂ්පාදනය කළේ අපනයනය කරන්නයි. ඒත් ඇතිවුණු තත්ත්වය හමුවේ ඒ අපනයන අරමුණ පැත්තකින් තියලා ලංකාවේ අයට ඖෂධය ලබාදෙන්න සිද්ධ වුණා.

එහෙත් මෑතක් වන තුරුම මේ ඖෂධය ගැන සමාජය දැනුවත් වුණේ නැහැ?

එවැනි දැනුවත් කිරීමක් කරන්න හැකියාවක් සහ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. මේ ඖෂධය ගැන ප්‍රචාරයක් ලබාදෙන්න මම උනන්දු වුණෙත් නැහැ. මාධ්‍යවලින් මේ ඖෂධය ගැන විමසීම් කළා. ඒත් මාධ්‍යට වුණත් මේ ගැන කතා කරන්න මම උත්සාහ කළේ නැහැ. පහුගිය කාලය තුළ ආයුර්වේද ක්ෂේත්‍රය තුළ සිද්ධවෙමින් තිබුණු දේවල් දිහා මම පැත්තකට වෙලා කලකිරීමෙන් බලාගෙන හිටියා. නිවැරදි දෙයක් කරනවා නම් ඒ ගැන මහා ලොකුවට කෑ ගහන්න අවශ්‍ය නැහැ කියලයි මම හිතුවෙ. හැබැයි දැන් වෙනකොට එහෙම දිගටම නිහඬව සිටින එකත් වැරදියි කියලා මට හිතෙනවා. ඒ නිසා මම දැන් ඖෂධය ප්‍රචලිත කරන්න අවශ්‍ය කටයුතු යොදලා තියෙනවා.

ඉදිරියේද ලංකාවට අවශ්‍ය ඖෂධ සැපයුම ලබාදෙන්න ඔබට පුළුවන් වෙයිද?

අනිවාර්යයෙන්ම පුළුවන්. අපි ලංකාවේ ජනතාවට මැරෙන්න දෙන්නෙ නැහැ. ඖෂධය ගැන දැනට බොහෝ අය දන්නෙ නැති නිසා තවමත් ඖෂධය ලොකු පිරිසක් අතරට ගිහින් නැහැ. හැබැයි මේ ඖෂධය පාවිච්චි කළොත් සහතික වශයෙන්ම කොවිඩ් රෝගයෙන් සුවය ලබන්න පුළුවන්. මේ ඖෂධය මඟින් රෝගියාගේ ශරීරයේ ලේ මිදෙන එක නතර වෙනවා. කිරීටක ධමනි අවරෝධය පුප්පුසීය ෆයිබ්‍රෝසිස් සහ අභ්‍යන්තර අවයව දුර්වල වීම වගේම පොටෑසියම් අඩුවෙන මට්ටමට එන තත්ත්වයන් පාලනය කරන්න මේ ඖෂධයට පුළුවන්. මේ ඖෂධයෙන් ඩෙංගු වගේම කොවිඩ් රෝගයත් සුව වෙනවා.

ඔබ වයිරසය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු ලබාගත්තේ කොහොමද?

මම අර කලින් කියපු මගේ හිතවත් වෛද්‍යවරයා මට මේ වයිරසය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ විද්‍යාත්මක පැතිකඩ වගේම මට අවශ්‍ය තොරතුරු සියල්ල ලබාදුන්නා. මේ වයිරසය මනුෂ්‍ය ශරීරය තුළ ක්‍රියාත්මක වෙන ආකාරය ගැන පැහැදිලි විස්තරයක් ඔහුගෙන් මට ලැබුණා. ඒ විස්තරවලට අනුව මේ වයිරසය ගිහිල්ලා සුදු රුධිර සෛලවල ඇලවෙනවා. ඉන් පසුව ඒ සෛල තුවාල කරගෙන වයිරසය ඇතුළට යනවා. ඒක නවත්තන එක තමයි අපි කරන්න ඕන. ඖෂධය ක්‍රියාත්මක විය යුත්තේ සුදු රුධිර සෛලයට හානි කරලා වයිරසය ඇතුළට යන එක වළක්වන ‘වැක්ස්’ ආවරණයක් විදිහටයි. මෙයට පෙරත් මම පාරම්පරික ඖෂධ යොදාගෙන පුප්පුසීය ෆයිබ්‍රෝසිස් තත්ත්වයට ප්‍රතිකාර කරලා තියෙනවා. ඊට අමතරව අංශභාග රෝගීන්ගේත් ලේ කැටිගැහෙන එක නතර කරන්න මම ප්‍රතිකාර කළා. කොවිඩ් රෝගයේදී ශරීරය තුළ ඇති වන තත්ත්වය ඒ රෝග තත්ත්ව දෙකට වඩා තරමක් වෙනස්. කොවිඩ් රෝගයේදී ශරීරයේ පොටෑසියම් මට්ටම අඩුවෙනවා. අතපය රිදෙන එක, හන්දිපත් රුදාව වගේ දේවල් ඇතිවෙනවා. මුල්ම අවස්ථාවේදී මේ ඖෂධය දුන්නොත් සිරුර තුළදී ඒක වැක්ස් එකක් වගේ වැඩ කරනවා. මේ ඖෂධය හරහා මම කළේ වයිරසයට ශරීරය තුළ ඉන්න බැරි විදිහෙ පරිසරයක් ගොඩනැඟීමයි. එතකොට රෝගය පුප්පුසීය ෆයිබ්‍රෝසිස් තත්ත්වයට යන්නේ නැහැ. ඒ අවස්ථාවෙ ඉන්න රෝගියකුට මේ ඖෂධය දුන්නොත් ඒ පුද්ගලයාව සුව කරගන්න පුළුවන්.

මම කලිනුත් පෙණහලුවල තරල එකතුවෙන රෝගීන්ට ඔය ආකාරයටම ප්‍රතිකාර කළා. බටහිර වෛද්‍ය ක්‍රමයේදී කරන්නෙ අදාළ ආසාදිත ස්ථාන හොයාගෙන ඒවා අයින් කරන එකයි. එතැනදී ඔවුන්ට ඒකීය ඖෂධයක් නැහැ. රෝග ලක්ෂණවලට දෙන ලාක්ෂණික ප්‍රතිකාර තමයි ඔවුන්ට තියෙන්නෙ. ඒ කියන්නේ ඒ ප්‍රතිකාර ලබාදෙන්නේ රෝග ලක්ෂණ අනුවයි. ඒ ආකාරයට ප්‍රතිකාර කරනකොට ලේ මිදෙන තත්ත්වය හෙවත් ලේ සීතල වෙන තත්ත්වය ඇතිවුණාම කරන්න දෙයක් නැති වෙනවා. මේ ඖෂධයෙන් ලේ සීතල වීම නතර වෙනවා. ඒ නිසා මේ ඖෂධය බටහිර ඖෂධ වලට වඩා ඉදිරියෙන් ඉන්නවා. බටහිර වෙදකමට වඩා බොහෝ දේවල් දේශීය වෙදකමෙන් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නෙත් අන්න ඒ වගේ කාරණා නිසායි. අපි දේශීය වෙදකමෙන් සුවපත් කරන බොහෝ ලෙඩ රෝගවලට බටහිර වෙදකමේ අදටත් ප්‍රතිකාර නැහැ. හෙළ වෙදකමෙන් සුවපත් කළ හැකි පිළිකාවටවත් දැනට සාර්ථක ප්‍රතිකාරයක් බටහිර වෙදකමේ නැහැ.

මේ ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා ඔබට බටහිර වෛද්‍ය විද්‍යා දැනුම වැදගත් වුණාද?

ඔව්. වැදගත් වුණා. බටහිරට අවශ්‍ය විදිහට තාක්ෂණික ක්‍රමවේද හරහා යම් යම් දේවල් කරන්නත් මට සිදුවුණා. සාමාන්‍යයෙන් නම් පාරම්පරික ඖෂධයකට ITI වාර්තා ලබාගැනීම වගේ දේවල් අදාළ නැහැ. හැබැයි මේ ඖෂධය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය ඉදිරිපත් කරලා ඒවායේ තියෙන බැර ලෝහ, පෙප්ටිසයිඩ් , ආසනික් වගේ දේවල්වලට අදාළ ITI වාර්තා මම ලබාගත්තා. ඒ අනුව මේ ඖෂධයේ මනුෂ්‍ය ශරීරයට අහිතකර ද්‍රව්‍ය තියෙනවද කියන එක පරීක්ෂා කරලා බලලා ITI වාර්තාවක් නිකුත් කළා. සමහර බටහිර වෛද්‍යවරු වැනි අය හිතන්නේ ආයුර්වේද ඖෂධයක් සඳහා අනුමැතිය දෙනකොට ඒ ඖෂධය ගැන කිසිදෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව නිකම් ඔහේ දෙනවා කියලයි. එහෙම එකක් නැහැ. ආයුර්වේද ඖෂධයකට අනුමැතිය දෙනකොට බරපතළ ක්‍රමවේදයක් අනුගමනය කෙරෙනවා. මේ ඖෂධයට අනුමැතිය ලබාගැනීමේදී මට ලොකු අපහසුතාවක් ඇති වුණේ නැත්තෙ කලින් ඩෙංගු ඖෂධය සඳහා අනුමැතිය ලබාගැනීම සම්බන්ධ අත්දැකීම් අනුව අදාළ ක්‍රමවේදය ගැන මට කිසියම් දැනුමක් තිබුණු නිසයි. මේ ඖෂධය සඳහා මම ITI වාර්තා ලබාගත්තා. ඊට අමතරව තවත් වෛද්‍යවරුන්ටත් මේ ඖෂධය පරීක්ෂා කරලා බලන්න දුන්නා. ඒ හරහා ඖෂධයේ සාර්ථකත්වය පිළිබඳ දත්ත ලබාගත්තා. ඒ සියල්ලෙන් පසුව තමයි ඖෂධය සඳහා අවශ්‍ය සහතිකය ලැබුණේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *