කොවිඩ් හමුවේ අභියෝග ජයගමු

කොවිඩ් හමුවේ අභියෝග ජයගමු

*********************************************

කොවිඩ් හමුවේ අභියෝග ජයගමු

(26.04.2021 – 20:37 +0530 – hirunews.lk/sinhala)

අභියෝග රැසකට මුහුණදුන් ශ්‍රී ලංකාව හමුවේ අද ඇති ප්‍රබලතම අභියෝගය කොවිඩ් වසංගතයයි.

නමුත් ඇතැමුන්ගේ ක්‍රියාකලාපය එම අභියෝගය ජය ගැනීමට පිටුබලයක් සපයනවාද?

මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.

++++++++++++++++++++++

(26.04.2021 – 20:01 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුදු සමයෙන් අනතුරුව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ට වැඩි වශයෙන් ශ්වසන අපහසුතා මතුවීම හේතුවෙන් ඔවුන්ට සැපයිය යුතු ඔක්සිජන් ධාරිතාව ඉහළ ගොස් තිබෙනවා.

වර්තමානය වන විට ඉන්දයාව ද දැඩි ඔක්සිජන් හිඟයකට මුහුණ පා ඇති පසුබිමක් තුළ මෙරට සෞඛ්‍ය අංශ එවැනි තත්ත්වයකට මුහුණ දීමට සූදානම්දැයි අප වෛද්‍ය සැපයුම් අංශයෙන් විමසීමක් කළා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේ සමාගම් දෙකක් (2) හරහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය කෙරෙන ඔක්සිජන් ධාරිතාව සපයන බවයි.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ඔක්සිජන් ධාරිතාව ඉහළ ගොස් ඇතැයි අපේක්ෂා කරන බවත්, ඊට මුහුණ දීම කිසිදු ගැටලුවක් නොවන බවත් ඔහු කියා සිටියා ෴

+++++++++++++++++++++++

(26.04.2021 – 20:08 +0530 – hirunews.lk/sinhala)

සේවකයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය හෙට (27) සහ අනිද්දා (28) වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රධාන කාර්යාලයේ පළමු සහ අවසන් අනුමැති අංශය සහ කොරියානු රැකියා අංශය සීමිත කාර්ය මණ්ඩලයක් මගින් පවත්වාගෙන යාමටයි තීරණය වී ඇත්තේ.

එමෙන්ම, තලාහේන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල වසා නොතැබෙන අතර, ඒවායේ සේවාවන් සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇති.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාළව සේවා සැපයීම සීමා කර තිබෙනවා.

ඒ අනුව 011 267 7877 දුරකථන අංකයට ඇමතීමෙන් රියදුරු බලපත් ලබාගැනීම සඳහා ලබන 13 වනදා දක්වා වේලාවන් වෙන් කරගෙන ඇති පුද්ගලයින්ට සංශෝධිත වේලාවන් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

(26.04.2021 – 20:12 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවායේ 46 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළ අතර මොණරාගල දිස්ත්‍රික්කයේ එක් කොට්ඨාශයකින් එකවර වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වු පළමු අවස්ථාව මෙය බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.එච්. පියසුමන මහතා කියා සිටියේ.

මේ අතර, අද (26) රාත්‍රි 08 සිට හුදෙකලා කෙරුණු ත්‍රිකුණාමල පොලිස් වසමේ පුම්පුහාර් ග්‍රාම නිලධාරී වසමෙන් කොරෝනා ආසාදිතයින් 56 වාර්තා වී තිබෙනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ප්‍රකාශ කළේ ත්‍රිකුණාමල නගරයේ ආයතනවල පවිත්‍රතා කටයුතුවල නිරත පිරිසක් එම ආසාදිතයින් අතර සිටින බවයි.

එසේම, හැටන් පොලිසියේ රියදුරු කොස්තාපල්වරයෙකුට කොරෝනා ආසාදිත වීම හේතුවෙන් ආශ්‍රීතයින් සියලු දෙනා නිරෝධායනයට ලක් කර තිබෙනවා. කිරිදිවැල සතිපොලෙහි ව්‍යපාරිකයින් 08 දෙනෙකුට කොරෝනා අසාදනය සිදුකල පරීක්ෂණ වලින් අනතුරුව තවත් රෝගීන් 21 දෙනෙකු හදුනා ගැනුනා.

හිනිදුම – තොටුගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා පිරිසක්ද අද (26) දිනයේදී නිරෝධායනයට ලක් කල අතර මොණරාගල, පොළොන්නරුව ආශ්‍රීත ප්‍රදේශවලින් ද අද (26) දිනයේ ආසාදිතයින් වාර්තා වුණා. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රීතයින් ස්වයං නිරෝධායනයට ලක් කිරිමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ.

බුත්තල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීම නිසා නගරයේ සියලු වෙළඳසැල් අද (26) දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබුණා.

එමෙන්ම, දිවුලපිටිය ප්‍රදේශයේ ඊයේ (25) දිනයේ සහ අද (26) දිනයේදි කොරෝනා ආසාදිතයින් 57 දෙනෙකු වාර්තා වූ බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ ෴

++++++++++++++++++++

(26.04.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අවදානම හේතුවෙන් වසා දැමුණු ගනේවත්ත දුම්රිය ස්ථානයේ කටයුතු හෙට (27) සිට යලි ආරම්භ කරන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා.

මේ අතර, පොදු ප්‍රවාහන සේවාවල නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින් සොයා අද (26) විශේෂ පොලිස් රථ වාහන මෙහෙයුමක් ආරම්භ කෙරුණා.

කොරෝනා අවදානම ඉහළ ගොස් ඇති මොහොතක මුහුණු ආවරණ නොපැළඳීම සහ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන පිරිසට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ දැඩි ලෙස අවවාද කරනු දක්නට ලැබුණා.

මේ අතර, සෞඛ්‍ය උපදෙස් නොතකමින් හැටන් – ඩන්බාර් ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට සුදානම් කර තිබු පාපන්දු තරඟාවලියක අවසන් මහා තරඟය නතර කිරීමට පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද කටයුතු කර තිබෙනවා.

++++++++++++++++++++

පස්වරු 04 ට පමණ තරඟ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති අතර එය නැරඹීමට ප්‍රේක්ෂකයින් පිරිසක් ද පැමිණ සිටි බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ ෴

තවත් කොරෝනා ආසාදිතයින් 60 දෙනකු අද (26) දිනයේ හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 952 ක් ෴

අද (26) දිනය තුලදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 3 ක් වාර්තා වනවා. මෙම මරණ තුනත් (3) සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 647 ක් දක්වා ඉහළ ගියා.

+++++++++++++++++++++

තාක්ෂණික කමිටුවල ඉන්නේ PCR කට්ටල විකුණන අයගේ ඒජන්තවරු – රවී කුමුදේශ් (26.04.2021)

+++++++++++++

+++++++++++++++++++++

කොරෝනා අස්සේ වැඩ කරන කර්මාන්ත ශාලාවක් නිසා බිංගිරියේ පිරිසක් ඇවිලෙයි කැරළි මර්දනයත් කැඳවයි (26.04.2021)

++++++++++++++++++++

මෙහෙම ගියොත් මරණ වැඩිවෙන එක නතර කරගන්න බෑ. කොවිඩ් හැදිලද අපිම බලාගන්නේ මෙහෙමයි – Truth with Chamuditha (25.04.2021)

@@@@@@@@@@@@@@@@@

(26.04.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

වන අලි පහරදීම්වලින් දින දෙකක් (2) තුළ පුද්ගලයින් දෙදෙනෙකු (2) මිය යාම සහ ප්‍රදේශයට පවතින වන අලි තර්ජනවලට විසදුම් ඉල්ලා මහියංගනය, මිනිපේ සහ උල්හිටිය යන ප්‍රදේශවල ජනතාව අද (26) මහියංගන නගර මධ්‍යයේ විරෝධතාවක නිරත වුණා.

රථ පෙළපාලියකින් පැමිණි ඔවුන් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම, ප්‍රදේශයේ පවතින වනඅලි ගැටලුවට විසඳුම් ඉල්ලා මේ වන විට සත්‍යග්‍රහයක්ද ආරම්භ කර ඇති අතර එය 41 වන දිනටත් ක්‍රියාත්මකයි. එවන් පසුබිමකයි අද (26) ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරත වූයේ ෴

******************************************

(26.04.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

මාතලේ – රත්තොට – රත්වත්ත වතුයායේ දොඹගොඩ තේ වත්තේ තිබියදී සොයා ගත් පිළිස්සුණු මළ සිරුර දැනට තලාහේන ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බවට පැවසෙන පුද්ගලයාගේ ද යන්න පිළිබද විමර්ශන ආරම්භවී තිබෙනවා.

ඒ, රත්තොට, අනුරාධපුර සහ තලංගම පොලීසි මගින්.

එමෙන්ම, එම පුද්ගලයාගේ දෙමව්පියන්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ද සිදුකිරීමටයි පොලීසිය තීරණය කර ඇත්තේ.

පසුගිය 21 වන දා රත්තොට – දොඹගොඩ ප්‍රදේශයේ තේ වත්තක තිබියදී පිළිස්සුණ මළ සිරුරක් සොයාගෙන තිබුණා.

කෙසේ වෙතත්, තලාහේන ප්‍රදේශයෙන් අතුරුදන් වූ බවට පැවසෙන 46 හැවිරිදි පුද්ගලයාට අයත් මෝටර් රථය අනුරාධපුර බස් නැවතුම්පොළ අසළ තිබී පොලීසිය සොයා ගත්තේ පසුගිය 23 වන දායි.

එමෙන්ම, අතුරුදන් වී ඇති බවට පැවසෙන එම පුද්ගලයා පදිංචිව සිටි තලංගම – තලාහේන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක තිබී ලේ පැල්ලම් කිහිපයක් ද සොයා ගැනුණා.

******************************************

(26.04.2021 – 19:54 +0530 – hirunews.lk/sinhala)

ගම සමඟ පිළිසඳර පළමු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බදුල්ල – හල්දුම්මුල්ල, වෙලංවිට ගම්මානය අද (26) නිරීක්ෂණක නිරත වුණා.

ගම සමඟ පිළිසඳර වැඩසටහන පසුගිය වසරේ සැප්තැම්බර් 25 වන දා ආරම්භ කෙරුණේ එම ගම්මානයෙන්.

එහිදී ඉදිරිපත් වූ ඉල්ලීම් සහ ඒවා ක්‍රියාත්මක වී ඇති ආකාරය පිළිබදව සොයා බැලීමේ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ චාරිකාව අද (26) ආරම්භ කෙරුණේ කොටබෝගස්තැන්න ක්‍රීඩාංගණයෙන්.

ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වූ ඉල්ලීමක් මත ශ්‍රී ලංකා යුද හමුදාව විසින් එහි ඉදිකිරීම් සිදුකර තිබුණා.

හපුතලේ සිට වෙලංවිට දක්වා බස් රථ දෙකක් (2) ධාවනය සඳහා එක් කෙරුණේ ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට සමගාමීවයි.

වන අලි පහරදීමකින් කැඩී ගොස් තිබූ නිවසක් ගම සමඟ පිළිසඳරක් වැඩසටහනට පැමිණි ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබූ අතර ඔවුන් වෙනුවෙන් යුද හමුදාව නව නිවසක් ද ඉදිකර දී තිබෙනවා.

වසර දෙකකට (2) ආසන්න කාලයක් අක්‍රියව පැවති කිලෝමීටර් 6 ක දිගින් යුත් වෙලංවිට ග්‍රාමයේ විදුලිවැට ප්‍රතිසංස්කරණයෙන් පසු යළි සක්‍රීය කර තිබෙනවා.

එමෙන්ම, අලි වැට ආරක්ෂා කර ගැනීම සඳහා එක් කිලෝමීටරයකට එක් අයෙකු බැගින් පුද්ගලයින් 6 දෙනෙකුට රුපියල් 7500 ක මාසික දීමනාවක් ලැබෙන සේ ගම්මානයේ ජනතාවටම පවරා තිබීම විශේෂත්වයක්.

******************************************

(26.04.2021 – 20:50 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන් බුද්ධි අංශයේ ඇතැම් පිරිස් සමඟ සබඳතා පවත්වා ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ කතෝලික සභාවේ පියතුමන්ලා පිරිසක් සමඟ අද (26) පැවති හමුවකදී.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (26) කොළඹදී කතොලික සභාවේ පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් පිරිසක් මුණ ගැසුණා.

එහිදී පාස්කු කොමිසන් වාර්තාව සහ ඉන් මතුව ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කර රඳගුරු මණ්ලඩය වෙත කරුණු දක්වන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් ඔවුන්ගෙන් ඉල්ලීමක් කළා.

+++++++++++++

******************************************

(26.04.2021 – 22:19 +0530 – hirunews.lk/sinhala)

ආනයනික අර්තාපල් සඳහා අය කෙරෙන විශේෂ භාණ්ඩ බද්ද අද (26) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝවකට රුපියල් 50 ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අර්තාපල් අස්වැන්න නෙලීම ආරම්භ වී ඇති බැවින් මෙම තීරණය ගත් බවයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරන්නේ ෴

******************************************

(26.04.2021 – 22:45 +0530 – hirunews.lk/sinhala)

ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය දැඩි කැපවීමෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

එක්සත් ජාතීන්ගේ ආසියානු සහ පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ 77 වන සැසිවාරය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කොවිඩ් වසංගතය හේතුවෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති යුනෙස්කැප් 77 වන සැසිවාරයේ මෙවර තේමාව ආසියානු හා පැසිෆික් කලාපීය සහයෝගීතාව තුළින් පෙරටත් වඩා සවිමත්ව අර්බුදයන් තුළින් නැවත නැඟී සිටිමු යන්නයි.

විවිධ රටවල රාජ්‍ය නායකයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සැසිය ඇමතූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සැසියට එක්වෙමින් සඳහන් කළේ කොවිඩ් වසංගතය හමුවේ මෙවර සැසිවාරයේ තේමාව ඉතා කාලෝචිත බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *