කොවිඩ්-19 වාතය මගින් බෝවීමේ අවදානමක් ?

කොවිඩ්-19 වාතය මගින් බෝවීමේ අවදානමක් ?

*********************************************

කොවිඩ්-19 වාතය මගින් බෝවීමේ අවදානමක් ?

(23.04.2021 – 16:55 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව ඇතුලු රටවල පැතිර යන කොවිඩ්-19 නව ප්‍රබේදය පැතිරී යාම ඉතා වේගවත්ව සිදුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පවසනවා.

එය එක් අයෙකුගෙන් තවත් පුද්ගලයන් 5 කට හෝ 6 කට වැනි ප්‍රමාණයකට ආසාදනය විය හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරිය කියාසිටියේ.

මේවන විට වෛරසය ආසාදනය වන පිරිස ඉහළ ගොස් ඇති අතර තරුණයන්ට ද ආසාදනය වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කෙරෙනවා.

එමෙන්ම මේවනවිට හමුවන ආසාදිතයන්ගෙන් වෙනස් රෝග ලක්ෂණ ද පෙන්නුම් කෙරෙන බවයි මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පෙන්වා දුන්නේ.

කොවිඩ්-19 වෛරසය වාතය මගින් පැතිරී ගොස් බෝවීමේ අවදානමක් ද පවතින බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

++++++++++++++++++

(23.04.2021 – 15:18 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන සති අන්තයේ රට වසා දැමීමක් සිදු කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ අනවශ්‍ය ගමන් බිමන් සීමා කිරීමට කටයුතු කරන ලෙසටයි.

අත්‍යවශ්‍යම හේතුවකට හැර දිස්ත්‍රික් අතර ගමනාගමනය සීමා කරන ලෙසට ද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

හැකිතාක් දුරට ජනතාව එක්රැස්වීමෙන් වළකින ලෙසට සහ නිවසට වී සිටින ලෙසට හමුදාපතිවරයා දැනුම්දෙනවා.

විවිධාකාරයේ උත්සව සහ විනෝද චාරිකා සංවිධාන කර ඇත්නම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එම කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙසටයි යුද හමුදාපතිවරයා දැනුම් දෙන්නේ.

ජනතාව බහුතරයක් මුඛ ආවරණ පැළඳ සිටිය ද එය අනුගමනය නොකරන පිරිස් ද දක්නට ලැබෙන බව ඔහු පෙන්වා දෙනවා.

යුද හමුදාපතිවරයා කියාසිටියේ අලුත් අවුරුදු සමය අවසන් වන තෙක්ම දිනකට හමුවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 150 ත් 200 ත් අතර ප්‍රමාණයකට පාලනය කිරීමට රජය මෙන්ම සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබු බවයි.

කෙසේවෙතත් අලුත් අවුරුද්ද නිමා වීමත් සමග ගතවූ දින කිහිපය තුල ආසාදිතයන් වාර්තාවීම ඉහළ අගයක් ගෙන ඇතැයි ඔහු කියාසිටියා.

කුලියාපිටිය, ගනේවත්ත, වත්තල, දිවුලපිටිය වැනි ප්‍රදේශවලින් වැඩි ප්‍රමාණයක් හමුවූ අතර කොළඹ, ගම්පහ, කුරුණෑගල, කලුතර, ගාල්ල, මහනුවර, පුත්තලම, යාපනය, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්වලින් අනෙක් දිස්ත්‍රික්වලට සාපේක්ෂව ආසාදිතයන් වැඩිවීමක් පෙන්නුම් කරන බව ද යුද හමුදාපතිවරයා කියාසිටියා.

එම තත්වය සලකා බැලීමේදී ඉදිරි දින කිහිපයේදී ආසාදිතයන් වාර්තාවීම වැඩිවිය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

විශේෂයෙන් සීමිත ප්‍රදේශයක අධික ජනගහණයක් ඒකරාශී වීම මෙලෙස ආසාදිතයන් වැඩි වීමට එක් හේතුවක්.

එමෙන්ම මුව ආවරණ නොපැළඳීම මෙන්ම ශාරීරික දුරස්ථභාවය පවත්වා නොගැනීම ද මෙලෙස ආසාදිතයන් වාර්තාවීම වැඩිවීමට හේතුවක් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ.

අලුත් අවුරුදු සමයට පෙර විශාල පිරිසක් වෙළඳසැල් වෙත ගොස් ඇඳුම් මිලදී ගැනීම මෙන්ම සෞඛ්‍ය නිර්දේශ නොතකමින් බස් රථ ඇතුලු පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීම ද මෙම තත්වයට හේතුවී ඇතැයි ඔහු කියාසිටියා.

+++++++++++++++++++++++

(23.04.2021 – 15:54 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැතිව පිරිස ඒකරාශීවන කිසිඳු උත්සව අවස්ථාවක් සංවිධානය කිරීමට හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ අතර එළඹෙන දීර්ඝ සති අන්තය තුලදී සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ නිරෝධායන නීතීන්ට අනුව කටයුතු කිරීම සම්බන්ධව අමතර පොලිස් නිලධාරීන් යොදවා සොයා බැලීම් සිදුකරන බවයි ඔහු වැඩිදුරත් පවසා සිටියේ.

++++++++++++++++++++++

(23.04.2021 – 16:00 +0530 – hirunews.lk/sinhala)

තවත් ආසාදිතයින් 151 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 94,036 දක්වා ඉහල ගියා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ආසාදිතයින් 4052 දෙනකු ප්‍රතිකාර ලබන අතර, මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ 98,722 ක් ලෙසයි ෴

අද (23) රාත්‍රී 12න් පසු කුරුණෑගල ගනේවත්ත දුම්රිය ස්ථානයේ කිසිදු දුම්රියක් නතර නොකරන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා ෴

+++++++++++++++++++

(23.04.2021 – 17:34 +0530 – hirunews.lk/sinhala)

අද (23) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 796 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 99,500 ඉක්මවා තිබෙනවා.

මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 99,518 ක් ලෙසයි. අද (23) දිනයේ තවත් ආසාදිතයින් 151 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 94,036 දක්වා ඉහල ගියා.

මැදවච්චිය නගරයේ අද (23) දිනයේදී කොවිඩ්-19 ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් කිහිපදෙනෙකු ද නිරෝධායනය කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

අලුත්ගම ප්‍රධාන පාසලක ගුරුවරියකට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා එම පාසලේ පන්ති 3 ක සිසුවියන් 50 ක් සිය නිවෙස්වල නිරෝධායනයට ලක් කර තිබෙනවා.

එමෙන්ම, කොරෝනා අවදානම හේතුවෙන් වසා දැමුණු හලාවත කොස්වත්ත පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු කොස්වත්ත විජේසුන්දරාරාම විහාරස්ථානයේ සිට පවත්වාගෙන යාමට පියවර ගැණුනා.

මේ අතර, හුදකලා කර ඇති ප්‍රදේශවලට ආසන්න ගනේවත්ත දුම්රිය ස්ථානයේ කිසිදු දුම්රියක් අද (23) මධ්‍යම රාත්‍රියේ සිට නතර නොකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එමෙන්ම, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකටි පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා යොදවා සිටි ක්‍රීඩා පිටි කම්කරුවෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

පසුව ඔහුගේ ආශ්‍රිතයින් 11 දෙනෙකු එම සේවයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළා.

එමෙන්ම, මෙරට බන්ධනාගාරවල රැදවියන් බැලීම සඳහා අමුත්තන්ට ලබාදී තිබූ අවසරය සති දෙකක (2) කාලයක් සඳහා අත්හිටවූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අද (23) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතාවට දැනුම් දුන්නේ බස්නාහිර පළාත තුල පවතින තත්ත්වය අනුව කොළඹ දිස්ත්‍රික්කය තුල සති අන්තයේදී සංචරණය තවදුරටත් සීමා කරන ලෙසටයි.

කෙසේ වෙතත්, රටේ මේ වනවිට පවතින තත්ත්වය සංචරණ සීමා පැනවීමකින් කළමනාකරණය කර ගත හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 135 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 99,653 ක් ලෙසටයි ෴

@@@@@@@@@@@@@@@

(23.04.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

වරාය නගර ව්‍යාපෘතිය ගැන දැක බලා ගැනීමට එහි සංචාරයකට එක්වන ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කළා.

ඒ හිරු ටී.වී. බලය දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

++++++++++++++

******************************************

(23.04.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

වන අලීන් ගම්වැදීම යලිත් කාලීන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

පසුගිය සති කිහිපය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ වනඅලි පහරදීම්වලින් ජීවිත හා දේපළ හානි රැසක් වාර්තා වුණේ බලධාරීන් තවමත් ඊට නිසි විසඳුම් ලබා නොදුන් පසුබිමකයි.

******************************************

(23.04.2021 – 16:21 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ වඩමාරච්චි දික්කම් ප්‍රදේශයේදී පොලිසිය විසින් ලුහුබැඳ ගිය ටිපර් රථයක් ගුරුවරයෙකු යටකර පළා ගොස් තිබෙනවා.

එම සිදුවීම ඒ අසල සවිකර තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබුනා.

මෙම සිදුවීම පසුගිය 21 වනදා සවස 4 ට පමණ සිදුවූ අතර ටිපර් රථය පසුපස හඹා යමින් සිටි පොලිස් නිලධාරීන් අනතුර පිළිබඳව සැලකිලිමත් නොවූ බවටයි ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ.

මෙලෙස පොලිස් නියෝග නොතකමින් පළා ගියේ සබරගමුව පළාතේ ලියාපදිංචි කරන ලද LM 5114 අංකය දරණ ටිපර් රථයයි.

ප්‍රදේශයේ පටු අතුරු මාර්ගයක අධික වේගයෙන් ධාවනය කල මෙම ටිපර් රථයේ රියදුරා සහ සහායකයා පොලිස් ලුහුබැදීම් හමුවේ රථය දමා පලා ගොස් තිබෙනවා.

අනතුරට පත් ගුරුවරයා ප්‍රදේශවාසීන් විසින් ගිලන් රථයකින් පේදුරුතුඩුව රෝහලට රෝහලට ඇතුලත් කල අතර පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යැවුනා.

මෙම අනතුර සිදුවී මේ වන විට දින දෙකක (2) කාලයක් ගතවුවද මේ දක්වා පොලීසිය අනතුර සිදුවූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් පවත්වා නැති බවටයි ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ.

******************************************

(23.04.2021 – 16:28 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් සලකා බැලීම අද (23) අවසන් කෙරුණා.

පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිලිබද රහසිගත නිගමනය කතානායකවරයා වෙත යොමු කරන බව ප්‍රකාශ කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලු‍විහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච (5) පුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය දින 5 ක් පුරා පැවැත්වුණා.

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය මෙම පනත් කෙටුම්පත හරහා ස්ථාපිත කිරීමට යෝජිත කොමිසම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස අද (23) කරුණු පැහැදිලි කළා.

වරාය නගර කලාපය තුළ ස්ථාපිත කෙරෙන බැංකු, මෙරට බැංකු අණපනත් මගින් අධීක්ෂණය කෙරෙන අතර අදාළ කලාපය තුළ ස්ථාපිත කෙරෙන බැංකු සදහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පැවරී තිබෙන බව ද ඇය කියා සිටියා.

මෙම පනත් කෙටුම්පත තුළින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සතු බලතල කප්පාදු කිරීමක් සිදු නොවන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

වරාය නගර කලාපය තුළ ව්‍යාපාරිකයෙකු ඉන් පිටත රටේ වෙනත් ප්‍රදේශයක ආයෝජන ක්‍රියාවලියක නිරත වන්නේ නම් ඔහුට සුවිශේෂ වරප්‍රසාද හිමි නොවන අතර එම ආයෝජකයා දිවයිනේ පොදු නීතියට යටත්ව එම ව්‍යාපාර කටයුතු කිරීමට සිදු වන බවද ඇය අවධාරණය කලා.

පෙත්සම් විභාගය අතරවාරයේ අග විනිසුරු ජයන්ත ජයසූරිය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ වරුන්ට පෙන්වා දුන්නේ මෙම පනත් කෙටුම්පත හරහා ස්ථාපිත කෙරෙන කොමිසමට ආයෝජකයින් වෙත සහන ප්‍රදානය කිරීම සඳහා බලයක් ලබා දී නොමැති බවයි.

පෙත්සම් විභාගය අතරවාරයේ පෙත්සම්කාර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ, විවිධ අමාත්‍යාංශ වල ලේකම්වරු විසින් පනත් කෙටුම්පතට අදාළ සංශෝධන ඉදිරිපත් කිරිම ගැටළු සහගත බව මෙහිදී කියා සිටියා.

එම අවස්ථාවේදී මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සඳහන් කළේ තම සේවාදායකයා විසින් ඉදිරිපත් කළේ පනත් කෙටුම්පතට සංශෝධන සිදු විය යුතු ආකාරය පිළිබඳ යෝජනා පමණක් බවයි ෴

******************************************

(23.04.2021 – 16:59 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ නගර සහ සමුද්‍රීය සම්පත් ප්ලාස්ටික් හරහා සිදුවන දූෂණයෙන් ආරක්ෂා කර ගැනීමට සිදුකරන ව්‍යාපෘති සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ඩොලර් 3,45,000 ක් ලබාදීම ඊයේ (22) සිදුකෙරුණා.

ඒ, එක්සත් ජනපද රජයේ පිවිතුරු නගර, නීල සාගර වැඩසටහන හරහා ලබාදෙන පළමු ප්‍රදානය ලෙසයි.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිස්ට් විසින් මෙම අරමුදල් ප්‍රදානය කිරීමේ අවස්ථාවට පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද එක්ව සිටියා.

එහිදී තානාපතිනිය සඳහන් කළේ ශ්‍රී ලංකාව වටා පිහිටි මහැඟි සාගරය රැක ගැනීමේ තිරසාර විසදුම් ගොඩනැංවීම සඳහා ශ්‍රී ලාංකිකයින්ට මෙම ප්‍රදානය ඉවහල් වනු ඇති බවයි ෴

******************************************

(23.04.2021 – 18:23 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුක්ත හෙරොයින් 1.6 kg ක් සමඟ 28 හැවිරිදි සැකකරුවෙක් වෙන්නප්පුව, උලහිටියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(23.04.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් වෙළඳපොලේ පැවති කිලෝග්‍රෑම් 12.5 ක් වූ ගෑස් සිලින්ඩරය වෙනුවට ලීටර් 18 ක් අඩංගු නව ගෑස් සිලින්ඩරයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මතුවුණේ ගැටලුකාරි තත්ත්වයක්.

ඒ නව ගෑස් සිලින්ඩරය හේතුවෙන් පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදුව ඇති බවට ප්‍රකාශ වීමත් සමඟයි.

කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක ඇතුළත් විය යුතු ලීටර් ප්‍රමාණය 25 ක් පමණ වන අතර, නව සිලින්ඩරයෙහි ඇත්තේ ලීටර් 18 ක් පමණයි.

මේ සම්බන්ධයෙන් අප පාරිභෝගික සේවා අධිකාරියේ මීට පෙර කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ එම ගෑස් සිලින්ඩරය වහාම වෙළඳපොලෙන් ඉවත් කරගන්නා ලෙසට අදාල ගෑස් සමාගම වෙත දැනුම් දුන් බවයි.

එසේම, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා අදාළ සමාගමට ප්‍රකාශ කර ඇත්තේ අදාළ ගෑස් සිලින්ඩරවල බර කිලෝග්‍රෑම් වලට හරවා යළි වෙළඳපොලට නිකුත් කරන ලෙසයි.

******************************************

(23.04.2021 – 20:26 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පලිගැනීම් කොමිෂන් සභා වාර්තාව පිළිබඳව අද (23) දෙවන (2) දිනටත් පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වුණු අතර එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා.

******************************************

(23.04.2021 – 20:34 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේ ගැටුම්කාරී සිද්ධියකට සම්බන්ධ වීමෙන් පසු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මේවන විට පසුවන්නේ රෝහල්ගතවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ඔහු බැලීම සඳහා එම පෞද්ගලික රෝහලට ගියා.

මේ අතර, හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා රෝහල්ගතවීම සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවෙත් අදහස් පළවුණා.

******************************************

(23.04.2021 – 22:11 +0530 – hirunews.lk/sinhala)

රටක් එකතැන පල්විය යුතු නොවන අතර, වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු බව මහා සංඝරත්නය අවධාරණය කරනවා.

බෞද්ධ උපදේශක සභාව අද (23) පස්වරුවේ 10 වැනි වරටත් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් වීමෙන් පසුවයි උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත්තේ.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ව්‍යාපෘතිය ගැන දීර්ඝව කරුණු දක්වමින් ආර්ථිකයට සහ රටට ලැබෙන ප්‍රතිලාභ පැහැදිළි කර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියා.

භූමි ප්‍රමාණය පුළුල් කර නව ආයෝජන අවස්ථා සඳහා දොරටු විවරවීම රටක් ලෙස අත්කරගන්නා ජයග්‍රහණයක්.

වැරදි මත පතුරවමින් සියල්ලට එරෙහි වනවා වෙනුවට ජාතියක් ලෙස නැගී සිටීමට එක් විය යුතු අතර ව්‍යාපෘතිය පිළිබඳව ජනතාවට නිවැරදි අවබෝධයක් දී ඊට සහය ගත යුතු බවයි මහා සංඝරත්නය අවධාරණය කර ඇත්තේ.

කොවිඩ් 19 නව ප්‍රභේදයේ, සෞඛ්‍ය අංශ උපදෙස් පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙහිදී මහා සංඝරත්නය දැනුවත් කර තිබෙනවා.

බුද්ධ චරිතය, ත්‍රිපිටකය, බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකථන දෙමින් දුර්මත පතුරවන පුද්ගලයන් පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව සිය යෝජනා ද උපදේශක සභාවට දැනුම් දී තිබෙනවා.

ඉදිරි සභා වාරයේ දී ඒ පිළිබඳ මහා සංඝරත්නයේ අදහස් කමිටුව වෙත ඉදිරිපත් කිරීමටයි යෝජනා කෙරුණේ.

බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් බෞද්ධ උපදේශක සභා රැස්වීමට එක්ව සිටියා.

******************************************

(23.04.2021 – 22:23 +0530 – hirunews.lk/sinhala)

තවත් සති දෙකකින් (2) පමණ දිවයිනේ පොල් තෙල් හිඟයක් ඇතිවිය හැකි බව බේකරි නිෂ්පාදකයින් ඇතුළු සංගම් කිහිපයක් අනතුරු අඟවනවා.

කෙසේ වෙතත්, රජය පවසන්නේ කිසිදු ආකාරයකින් පොල්තෙල් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි.

පොල්තෙල් සම්බන්ධයෙන් ඉදිරියේදී මතුවිය හැකි ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා.

ඒ, විෂය භාර අමාත්‍යවරුන්ල රාජ්‍ය අමාත්‍යවරුන් සහ පොල්තෙල් නිෂ්පාදකයින්, බේකරි නිෂ්පාදකයින්, රසකැවිලි නිෂ්පාදකයින්ගේ සහභාගීත්වයෙන්.

මෙහිදී බේකරි නිෂ්පාදකයින් සහ රසකැවිලි නිෂ්පාදකයින් චෝදනා කළේ රට තුළ පොල්තෙල් තොග ඇත්තේ තවත් සති දෙකක (2) පමණක් බවයි.

ආරූඩයෙන් යක්ෂ දත් එන අත්භූත මිනිසාගේ අනාවැකිය – Adurshyamanaya EP 01 (20.08.2020)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *