අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් තහනම් කිරීමේ ගැසට්ටුව නිකුත් වෙයි

අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් තහනම් කිරීමේ ගැසට්ටුව නිකුත් වෙයි

*********************************************

අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් තහනම් කිරීමේ ගැසට්ටුව නිකුත් වෙයි

(14.04.2021 – 06:38 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තවාදයට සම්බන්ධ ඉස්ලාමීය සංවිධාන 11 ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ (13) නිකුත් කර තිබෙනවා. මෙම සංවිධාන තහනම් කිරීමට පසුගිය 07 වැනිදා නීතිපති දප්පුල ද ලිවේරාගේ අනුමැතියද හිමිවුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ මෙම ගැසට් නිවේදනයට අනුව,

එක්සත් තව්හිද් ජමාත්,
සිලෝන් තව්හිද් ජමාත්,
ශ්‍රී ලංකා තව්හිද් ජමාත්,

සමස්ත ලංකා තව්හිද් ජමාත්,
ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා,
දාරුල් අදර් හෙවත් ජමිඋල් අදර් මොස්ක්,

ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය,
ඉස්ලමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා,
අල්කයිඩා,

සේව් ද පර්ල් සහ
සුපර් මුස්ලිම්

යන සංවිධාන මෙලෙස තහනම් වනු ඇති.

මෙම ගැසට් නිවේදනයට අනුව අදාළ සංවිධානවල සාමාජිකයෙකු වීම, නායකත්වය සැපයීම, නිල ඇඳුම් සංකේත, ලාංඡන හෝ ධජ පැළඳීම, ප්‍රදර්ශනය කිරීම හෝ සන්තකයේ තබා ගැනීම තහනම් වනවා.

රැස්වීම් කැඳවීම, පැවැත්වීම හෝ ඊට සහභාගිවීම, එම සංවිධාන ප්‍රවර්ධනය කිරීම, උපදෙස් දීම, ආධාර කිරීම, ගණුදෙනුවල නිරත වීම සහ ඒ වෙනුවෙන් තොරතුරු පතුරුවා හැරීමද තහනම් වන බව මෙම ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

මෙම නියෝග උල්ලංඝනය කරන කිසියම් තැනැත්තෙකුට අවුරුදු 20 කට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමේ දඬුවමක් ලබාදිය හැකියි ෴

******************************************

(14.04.2021 – 07:03 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (13) දිනයේ දිවයිනපුරා සිදුවු මාරක රිය අනතුරු එකොළහක් (11) හේතුවෙන් යතුරුපැදිකරුවන් 8 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.

පසුගිය දින කිහිපය පුරා සිදු වූ අනතුරුවලින් යතුරුපැදිකරුවන්, පසු පැදිකරුවන් සහ පදිකයින්ගේ මියයාම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මහ මග ගමන් කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ නිසා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නව වසරේ නෑදෑ හිතමිතුරන් සමග ගමන් බිමන් යාමේ දී මාර්ග නීති පිළිපදින ලෙස හා රථ වාහන වල උපරිම මගී ධාරිතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලෙසයි.

මෙරට සිදුවන මාර්ග අනතුරු බොහොමයකට හේතු වී ඇත්තේ අධික වේගයෙන් රිය ධාවනය, බීමත්කම, මාර්ග නීති නොපිළිපැදීම, සහ නොසැලකිල්ල බවයි පොලිස් රථවාහන අංශය පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් මෙම සිංහල අවුරුද්ද ගමන් බිමන් යාමේ දී ඉහත කී කාරණා වෙත වැඩි අවධානයක් යොමු කරන ලෙස ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴

******************************************

(14.04.2021 – 07:14 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම පිවිසුම් මාර්ගයේ රාජකාරි කටයුතු කළ පොලිස් නිලධාරියෙකුට පහර දීමේ සිද්ධියක් වාර්තා වන බව පොලිස් මාධ්‍ය අංශය පවසනවා.

ඊයේ (13) සවස් කාලයේදී කුරුඳුගහ පිවිසුමෙන් කොළඹ දෙසට ඇතුළු කිරීමට උත්සාහ කළ රථයක, රියදුරු අසුනේ සිටි පුද්ගලයා ආසන පටි පැළඳ නොසිටීම හේතුවෙන් ඒ පිළිබඳව අදාළ පොලිස් නිලධාරියා ඔහුව දැනුවත් කළ බවයි වාර්තා වන්නේ.

මේ සිද්ධියත් සමඟ උරණ වූ රථයේ රියදුරු පොලිස් නිලධාරියා සමග බහින් බස් වීමක් ඇති කරගෙන තිබෙනවා.

පසුව ඔහු පොලිස් නිලධාරියාට පහර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රථයේ රියැදුරා අත්අඩංගුවට ගැණුනා.

ඔහු අද දින (14) ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ පොලිස් නිලධාරීන් අව්වැසි නොතකා, දිවා රෑ නොබලා රාජකාරියේ නිරතව සිටින්නේ මෙරට සමස්ත මහජනතාවගේ ආරක්ෂාවට බවයි.

එබැවින් යම් කිසි වරදක් සිදු වූ විට නිහතමානීව එය පිළිගෙන විනීතව හැසිරීම තුළින් පොලිස් නිලධාරීන්ගෙන් ද යම්කිසි සානුකම්පිත බවක් ලබාගත හැකි බව ඔහු අවධාරණය කරනවා.

එසේ නොමැතිව නීතිය ක්‍රියාත්මක කරවන නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගැනීම පොලිස් නිලධාරීන්ට පමණක් නොව සමස්ථ නීතියේ ආධිපත්‍යයට ම සිදු කරන බලපෑමක් සහ අභියෝගයක් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ ෴

******************************************

(14.04.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (13) දින දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මනුෂ්‍ය ඝාතන තුනක් (3) වාර්තා වන බව පොලිස් මාධ්‍ය අංශය පවසනවා.

මේ අතරින් මනුෂ්‍ය ඝාතන දෙකකට (2) හේතු වී ඇත්තේ අනියම් සම්බන්ධතාවයන්.

තිස්සමහාරාම සඳගිරිගම ප්‍රදේශයේ 48 හැවිරිදි කාන්තාවක් ඊයේ (13) දිනයේ දී මිය ගියේ සිය අනියම් සැමියාගේ පොලු පහරකට ලක් වීමෙන්.

මීට අමතරව හිදෝගම හීනාබෝවාගම ප්‍රදේශයේදී හතළිස් පස් (45) හැවිරිදි පුද්ගලයෙකු අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඝාතනය කෙරුණා.

අදාළ පුද්ගලයා කඩුවකින් කපා කොටා ඝාතනය කර ඇත්තේ ඔහු අනියම් සම්බන්ධතාව පැවැත් වූ කාන්තාවගේ සැමියා විසින්.

එමෙන්ම පොතුහැර රත්ගල්ල ප්‍රදේශයේදී හැටපස් (65) හැවිරිදි සිය පියාගේ ගෙළ මිරිකා මරා දැමූ හතළිස් පස් (45) හැවිරිදි පුතෙකු පිළිබඳවත් වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ ෴

******************************************

(14.04.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

ගැට කිඹුලා ශ්‍රී ලංකාවට ආවේණික කිඹුල් විශේෂයක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ‘ලෝක කිඹුල් සංරක්ෂණ සංගමය’ පවසනවා.

එහි ආසියානු සහ ඉරාන කලාපයේ සභාපති ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වා මහතා කියා සිටියේ කිඹුලන් පිළිබඳ සංගණන වාර්තාවලට අනුව මෙරට ජලාශ 1,673 ක් තුළ කිඹුලන් 7,516 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි ෴

******************************************

(14.04.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

සමස්ත ජනතාව සෞම්‍ය හා දැහැමි සිතිවිලි ඇතිව කිසිදු භේදයකින් තොරව සිංහල දෙමළ අලු‍ත් අවුරුදු චාරිත්‍ර සමග එක්වනු දැකීම සිය අපේක්ෂාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ අලු‍ත් අවුරුදු සමයේදී සිය දූ දරුවන්ගෙන් ඈත්ව රාජකාරියන්හි නිරතවන හා විදෙස්ගත සියලු පුරවැසියන් කරනු ලබන කැප කිරීමද ගෞරවයෙන් සිහිපත් කරන බවයි.

පසුගිය වසරේ අලුත් අවුරුදු උදාව සැමරීමට රටේ පැවති අයහපත් සෞඛ්‍ය පසුබිම බාධා කළද, පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව අලු‍ත් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමට මෙවර සියලු‍ දෙනා එක්ව පසුබිම සකසා ගෙන ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළා.

එසේම රජය දුන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් විනය ගරුක ජනතාවක් ලෙස සියලු පුරවැසියන් කළ කැපකිරීම නිසා, අලුත් අවුරුද්ද මේ තරමින් හෝ නිදහසේ සැමරීමට අවස්ථාව උදාවී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අලු‍ත් අවුරුදු සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ සෞඛ්‍ය පිළිවෙත් සිහි තබා ගනිමින් සංස්කෘතිමය වටිනාකම් රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීම බවයි.

ජනතාව මත පැටවෙන පීඩාවන් ආණ්ඩුව මත තබා ගනිමින් රජය සියලු ජනතාවගේ අනාගතය සෞභාග්‍යමත් කිරීමේ වෑයමක නිරතව සිටින බව අග්‍රාමාත්‍යවරයා සිය අවුරුදු පණිවුඩයෙන් ප්‍රකාශ කළා.

මේ අතර, අලු‍ත් අවුරුදු පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ අභාග්‍ය සම්පන්න කාලසමයක් තුල සකල ලෝකවාසීන්ටම අලුතින් සිතිය යුතු පාඩම සොබාදහම විසින් නිහඩවම කියා දී ඇති බවයි.

උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද මිනිස් සංහතියට යහපත උදා කරන ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරන බව ඔහු කියා සිටියා ෴

******************************************

(14.04.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්ද පිළිගැනීමට සැරසෙන ඔබ වෙනුවෙන් කවදත් අනුකරණයෙන් සහ ආවේණිකත්වයෙන් තොර අත්දැකීම් තිළිණ කරන ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ ප්‍රමුඛයා ‘හිරු ටීවී’, මෙවරත් නවමු අත්දැකීම් පෙළක් ඔබ වෙත තිළිණ කිරීම මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.

ඒ සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ විශේෂ අවුරුදු සජීවී වැඩසටහන සමඟින්.

අවුරුදු උදාවටත් පෙරම හිරු ටීවී ගෙන එන අවුරුදු වැඩසටහන් පෙළ ගැස්ම ඊයේ (13) ඇරඹුණේ තරු සිගිත්තන්ගේ අවුරුදු හැන්දෑව, තරු සිඟිති අවුරුදු සාජ්ජයෙන්.

සූර්ය සිංහලයේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු විශේෂ අලුත් අවුරුදු සජීව විකාශය අද (14) අලුයම පහේ (05:00) සිට ආරම්භවුණා.

ඒ, බොල්ගොඩ – වයිට් ලෝටස් පරිශ්‍රයේදියි. නැටුම් ගැයුම්, වැයුම් සහ ජන ක්‍රීඩාවලින් වර්ණවත් වන සූර්ය සිංහලයේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුද්දට ප්‍රවීන සහ ජනප්‍රිය ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් සහ නර්තන ශිල්පීන් 100 කට අධික පිරිසක් මෙවරත් එක්වනවා.

අලුත් අවුරුද්ද වෙනුවෙන් හිරු ටී.වී ජනකාන්ත තරු පිරිවරා ගෙන එන හිරු කොවුල් වසන්තය අද (14) අලුයම තුනට (03:00) ආරම්භ වුණේ බක්මහ වසන්තය ප්‍රසාංගිකත්වයෙන් වර්ණවත් කරමින්.

එසේම මියුරු සර වැයෙන බක්මහ වසන්තයේ හිරු ගේ සංගීත සිරිත, හිරු අවුරුදු සාජ්ජය ජනකාන්ත ගී තරු රැසක් පිරිවරා අද (14) පස්වරු 05:00 ට ඇරඹෙනවා. උදාවන හිරු මංගල්‍යයේ හිරු අවුරුදු කුමරා, කුමරිය තේරීම ආරම්භ වන්නේ අද (14) රාත්‍රී 09:00 ටයි.

මෙම සියලු වැඩසටහන් සමඟ නිවසේ සිට එක්වෙමින් බක්මහේ අසිරිය බෙදාගැනීමට එක්වන්නැයි අප ඔබට ඇරයුම් කර සිටිනවා.

******************************************

(14.04.2021 – 08:31 +0530 – hirunews.lk/sinhala)

මාර්ගයේ ගමන් කරන රථවාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් අද (14) සිට අලුත් අවුරුදු සමය අවසන් වනතෙක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ රියදුරන් මත්පැන් පානය හෝ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වුවහොත් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට ඇප ලබාදීමක් නොකරන බවයි.

අධිවේගී මාර්ග ආශ්‍රිතවද මෙම රථවාහන මෙහෙයුම් ක්‍රියාත්මක අතර, අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාසයට අනුයුක්ත නිලධාරින් යොදවා, එය සිදුකරනු ලබනවා ෴

******************************************

(14.04.2021 – 10:40 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුදු සමයේ දින 4 ක් තුල අධිවේගී මාර්ගවල ගමන් ගත් රථ වාහනවලින් රුපියල් මිලියන 135 කට අධික ආදායමක් උපයා තිබෙනවා.

ඒ අනුව, පසුගිය 10 වනදා පමණක් මිලියන 38 ක ආදායමක් ඉපයීමට හැකිවූ බවයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් වැඩබලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්රික් මහතා සඳහන් කළේ.

පසුගිය 8 වනදා සිට 11 වනදා දක්වා වැඩිම රථ වාහන සංඛ්‍යාවක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කර තිබෙනවා.

පසුගිය 10 වනදා පමණක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති මුළු රථ වාහන සංඛ්‍යාව 1,41,187 ක්.

එමෙන්ම, පසුගිය 9 වනදා වාහන 1,37,721 ක් ධාවනය කර ඇති අතර එදින උපයා ඇති මුළු ආදායම රුපියල් මිලියන 35 කට අධිකයි ෴

******************************************

(14.04.2021 – 11:32 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) උදෑසන සිය නිවසේදී සිංහල දමිළ අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සඳහා කටයුතු කළා.

ඉතා චාම් අයුරින් සිදු කෙරුණු මෙම කටයුත්තේ ඡායාරුප ඔහුගේ නිල මුහුණු පොතේ පළ කර තිබුනේ මෙලෙසින් :

May be an image of 9 people, people sitting, people standing and indoor
May be an image of 8 people, people standing, food and indoor
May be an image of 5 people, people sitting and indoor

******************************************

(14.04.2021 – 12:33 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර, 30 වන කිලෝමීටර් කණුව ආසන්නයේ මෝටර් රථ 8 ක් එනිනෙක ගැටී සිදුවූ අනතුරෙන් වෑන් රථයක ගමන් ගත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා තිබෙනවා.

අද පෙරවරු 11:45 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ඒ හේතුවෙන් මාතර දක්වා ගමන් ගන්නා මංතීරුවේ මේ වනවිට දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

2019 වර්ෂයේ අප්‍රේල් මස 14 වන දින ගැලනිගමදී සිදු වූ රිය අනතුරක් හේතුවෙන් මේ අකාරයේම දැඩි රථ වාහන තදබදයක් ඇති වුණා.

පහතින් දැක්වෙන්නේ එම සිදුවීමේ ඡායාරුපයක් :

වාහන 8 කට වැඩි සංඛ්‍යාවක් ගැටීමෙන් අවහිර වී තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දක්වා ගමන් ගන්නා මංතීරුවේ රථ වාහන ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ගැලනිගම සහ දොඩංගොඩ අතර, 30 වන කිලෝමීටර් කණුව ආසන්නයේ මෙම අනතුරු සිදුව තිබුණේ අද (14) පෙරවරු 11:45 ට පමණයි.

අනතුරෙන් වෑන් රථයක ගමන් ගත් පුද්ගලයෙකු සුළු තුවාල ලැබූ අතර, රථ වාහන තදබදය පැය 2 කට ආසන්න කාලයක් පැවතුණා ෴

******************************************

(14.04.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

මීතොටමුල්ල කසල කන්ද නාය ගොස් අදට (14) වසර 4 ක් සපිරෙනවා.

2017 වසරේ අප්‍රේල් මස 14 වන දින මීතොටමුල්ල කසල කන්ද නායගිය අතර, ඉන් මීතොටමුල්ල – දහම්පුරය ගම්මානයේ පුද්ගලයින් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

නිවාස 145 කට ආසන්න ප්‍රමාණයක් කුණු කන්ද කඩා වැටීම හේතුවෙන් විනාශ වූ අතර, පවුල් 180 කට අයත් පුද්ගලයින් 625 දෙනෙකු ඒ හේතුවෙන් අවතැන් වුණා.

මීතොටමුල්ල කුණුකන්ද නාය යාමෙන් ඊට යටවූ දහම්පුර ගම්මානයේ ජනතාව අද (14) මියගිය සිය ඥාතීන් සිහිපත් කළේ ඒ අසල ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමින්.

@@@@@@@@@@@@@@

(14.04.2021 – 08:28 +0530 – hirunews.lk/sinhala)

මෙවර අලුත් අවුරුද්ද සැමරීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට මුල්තැන දී කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහමහත්මිය සඳහන් කළේ කොරෝනා වසංගත තත්වය නිසා ජනතාව තුළ පැවති මානසික ආතතිය නැති කිරීමට අලුත් අවුරුද්ද හේතුවන බවයි.

මේ අතර ඊයේ (13) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයන් 226 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 95,620 ක් දක්වා ඉහළ ගියා.

තවදුරටත් ආසාදිතයින් 3,092 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 91,926 ක් ෴

+++++++++++++++++++

(14.04.2021 – 10:21 +0530 – hirunews.lk/sinhala)

උදා වූ සිංහල දෙමල අලුත් අවුරුද්දේ නෑගම් යාමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අවුරුදු සිරිත් විරිත් ඉටු කළා සේම සෞඛ්‍ය සිරිත්ද එලෙසම අනුගමනය කරන ලෙසටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *