‘හිරු සී.අයි.ඒ.’ තුලින් හෙළි කළ කුරුණෑගල ඉඩම් ජාවාරමට ඇමතිගෙන් ප්‍රතිචාර

‘හිරු සී.අයි.ඒ.’ තුලින් හෙළි කළ කුරුණෑගල ඉඩම් ජාවාරමට ඇමතිගෙන් ප්‍රතිචාර

*********************************************

‘හිරු සී.අයි.ඒ.’ තුලින් හෙළි කළ කුරුණෑගල ඉඩම් ජාවාරමට ඇමතිගෙන් ප්‍රතිචාර

(04.04.2021 – 14:37 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ තුලින් හෙළි කළ කුරුණෑගල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය හරහා සිදුව ඇති මහා පරිමාණ ඉඩම් වංචාව පිළිබඳව වහා විමර්ශනයක් ආරම්භ කරන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා.

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසු ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

‘හිරු සී.අයි.ඒ.’ තුලින් පසුගිය 02 වැනිදා අප හෙළිකළේ කුරුණෑගල – කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා බැවිලිගමුව ප්‍රදේශයේ පිහිටා ඇති පර්චස් 20 ක් පමණ වන මෙම ඉඩම විකුණන බව පවසමින් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක මුදලක් වංචා කර තිබූ ආකාරයයි.

අදාල ඉඩමේ පත්ඉරු නිවැරදි බව මුල් සොයාබැලීමේදී අනාවරණය වීම හේතුවෙන් අදාළ ව්‍යාපාරිකයා මෙම ඉඩම මිලදී ගැනීමට කටයුතු කර තිබුණා.

එම ගණුදෙනුවේදී රජයට අයවිය යුතු මුද්දර ගාස්තු ලෙස රුපියල් 399,000 ක මුදලක්ද ව්‍යාපාරිකයා විසින් ගෙවනු ලැබ තිබුණා.

කෙසේ වෙතත් සියලු ගණුදෙනු අවසන් වූ පසු කුරුණෑගල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නිලධාරීන් පවසා ඇත්තේ අදාළ ඉඩමේ ලේඛන සහිත පිටු කිහිපයක් අස්ථානගත වී ඇති බවයි.

******************************************

(04.04.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

මිරිහාන සහ නිට්ටඹුව ප්‍රදේශවල සිදු වූ රිය අනතුරු දෙකකින් (2) පුද්ගලයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (03) රාත්‍රියේ මෙම අනතුරු දෙක සිදුව ඇති අතර, මිරිහාන ප්‍රදේශයේ සිදුවූ අනතුර පරණ කැස්බෑව මාර්ගයේදී සිදුව ඇති අතර, ඉන් මියගොස් ඇත්තේ 47 හැවිරිදි බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක් නවතා තිබූ අදාළ යතුරුපැදියේ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මේ අතර, කොළඹ – නුවර මාර්ගයේ – නිට්ටඹුව – මල්වත්ත මංසන්ධිය ආසන්නයේදී අනෙක් අනතුර සිදුව ඇති අතර, ඉන් මියගොස් ඇත්තේ 59 හැවිරිදි නිට්ටඹුව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ලංගම බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා ෴

******************************************

(04.04.2021 – 14:46 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ගෙන්වන ආහාර ද්‍රව්‍යවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මෙන්ම විෂ පොල්තෙල් ආනයනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

******************************************

(04.04.2021 – 15:56 +0530 – hirunews.lk/sinhala)

පිළිකාකාරක පොල්තෙල් ආනයනය කිරීමට සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව නාවලපිටිය නගරයේදී අද (04) විරෝධතාවක් පැවැත්වුණා.

ජාතික සමගි ජනබලවේගය විසින් සංවිධාන කර තිබූ මෙම විරෝධතාවට විශාල පිරිසක් එක්ව සිටි බවයි ප්‍රදේශයේ අප වාර්තාකරු සඳහන් කළේ.

******************************************

(04.04.2021 – 16:07 +0530 – hirunews.lk/sinhala)

15 හැවිරිදි පාසල් සිසුවියක් ගැබ් ගැනීමේ සිද්ධියකට අදාළව ඇගේ 21 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගැබ් ගැනීමට ලක්වූ සිසුවිය නිවසේදී පසුගිය 29 වනදා දරු ප්‍රසූතිය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව ඇයගේ පෙම්වතා පෙරේදා අත්අඩංගුවට ගෙන ඊයේ (03) හැටන් වැඩබලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා ෴

******************************************

(04.04.2021 – 17:00 +0530 – hirunews.lk/sinhala)

තවලම – ජෙස්මින්වැලි වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සැකකටයුතු අන්දමින් මියගොස් සිටි පාසල් සිසුවෙකුගේ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව 14 හැවිරිදි මෙම සිසුවාගේ සිරුර නිවසෙහි එල්ලෙමින් තිබියදී අද (04) සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සිසුවා පදිංචිව සිටි නිවස ආසන්නයේ පාලු නිවසක තිබියදී මෙම සිරුර සොයාගෙන තිබුණා ෴

******************************************

(04.04.2021 – 17:28 +0530 – hirunews.lk/sinhala)

මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් කන්ට්නර් 95 ක් ප්‍රති අපනයනයට සූදානම් කර ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඒ සඳහා නෞකා දෙකක් (2) හෙට දිනයේ මෙරටට ළඟාවීමට නියමිත බවයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා මෙරටට ගෙන එන ලද පොල්තෙල් කන්ටේනර් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇතැම් කන්ටේනර්වල පිළිකා කාරක සහිත පොල්තෙල් අඩංගු බවට තහවුරු වුණා.

මෙම කාලය තුළ මෙරටට කන්ටේනර් දහසක් (1000) පමණ ආනයනය කර ඇති බවයි වාර්තාවන්නේ. ඒ, පිලිපීනය, මලයාසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල්වලින්.

මේ අතර ආනයනික පොල්තෙල්වල පිළිකා කාරක අඩංගු බවට අනාවරණ වීමත් සමඟ වෙළඳපොලේ දැනට පවතින පොල්තෙල්වල මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. රුපියල් 400 ක්ව පැවති පොල්තෙල් ලීටරය මේ වනවිට රුපියල් 440 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

උත්සව සමය එළැඹීමත් සමඟ තම පොල්තෙල් පරිභෝජන අවශ්‍යතාව ඉහළ ගිය ද පොල් තෙල් මිලදී ගැනීමේ දී ප්‍රමිතිය පිළිබඳ ගැටලු මතුවන බව පාරිභෝගිකයන් ප්‍රකාශ කළා.

මේ අතර පිළිකාකාරක අඩංගු පොල්තෙල් පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න හිරු ප්‍රවෘත්ති අංශය සමග ඊයේ (03) සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ‘සිංහලේ ජාතික සංවිධානය’ අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එම සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් කියා සිටියේ එම ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.

ඒ, ආනයනික පොල් තෙල්වල පිළිකාකාරක අඩංගු වීමේ සිද්ධියේ විමර්ශන සම්බන්ධයෙන් වන සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න හිරු ප්‍රවෘත්ති අංශය සමග ඊයේ (03) සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සිදුකළ ප්‍රකාශයට අදාළවයි.

එමෙන්ම ‘සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව’ නම් සංවිධානයද අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේ පිළිකා කාරක සහිත පොල්තෙල් ආනයනය කළ ව්‍යාපාරිකයින්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්.

******************************************

(04.04.2021 – 17:49 +0530 – hirunews.lk/sinhala)

සිංහල අලුත් අවුරුදු සමයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ මගී ප්‍රවාහනය සඳහා සියලු පහසුකම් සලසන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මේ සඳහා වන විශේෂ සාකච්ඡාවක් ලබන 06 වනදා ප්‍රවාහනයට අදාල සියලු අංශවල සහභාගීත්වයෙන් පවත්වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා සිටියා.

******************************************

(04.04.2021 – 19:02 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ වැසිකිළියක දමා ගොස් තිබූ රුපියල් කෝටි 1.3 කට වැඩි වටිනාකමින් යුත් රත්‍රං අඩංගු පාර්සල් 3 ක් සොයා ගෙන තිබෙනවා ෴

******************************************

පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පොලිස් ප්‍රධානියෙකු ගැන කාදිනල් හිමියන්ගෙන් හෙළිදරව්වක්

(04.04.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala)

පාස්කු කොමිසමේ වාර්තාවෙන් වරදකරුවෙකු ලෙස සඳහන් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා නිමිත්තෙන් දේවස්ථාන කිහිපයක සංචාරයේ නිරතවෙමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණි අවස්ථාවේදියි.

කාදිනල් හිමිපාණන් කොටහේන – ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරටත් පසුව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයටත්, අවසානයේ පාස්කු ප්‍රහාරයෙන් වැඩිම හානියට පත් කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයටත් පැමිණ දේව මෙහෙයන්ට සහභාගිවී තිබෙනවා.

කෙසේ වෙතත් මෙවරත් ශ්‍රී ලංකාවේ කිතුනුවන්ට පාස්කු සැමරීමට සිදුවූයේ දෙවසරකට (2) පෙර එල්ලවූ අන්තවාදී ප්‍රහාරයේ අමිහිරි මතකයන්ද සමඟයි.

2019 වසරේ අප්‍රේල් මස 21 වනදාට යෙදී තිබුණු පාස්කු ඉරිදාව සිහිපත් කරමින් දේව මෙහෙයන්ට එක්වූ කතෝලික ජනතාව ඉලක්ක කරගනිමින් අන්තවාදී ස්වයං ඝාතකයන් විසින් ප්‍රහාරයක් එල්ල කළේ පෙරවරු 08:45 ටයි.

එය සිහිපත් කරමින් දේවස්ථාන තුළ සීනු නාද කෙරුණු අතර, අනතුරුව රැස්ව සිටි බැතිමතුන් තමන් සමඟ දේව මෙහෙයට එක්ව සිටියදී බෝම්බ ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන් සිහිපත් කරනු ලැබුවා.

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් වැඩිම හානියට පත් කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මෙන්ම මඩකලපුව සියොන් දේවස්ථානයේද දේව මෙහෙයන් පැවති අතර, ඊට පිපිරීම්වලින් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර පාස්කු ප්‍රහාරයට දායක වූ වැරදිකරුවන්ට නීතියෙන් ගැලවී සිටීමට කිසිසේත් ඉඩක් නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අධ්‍යයනය කළ කමිටුවේ වාර්තාව හෙට (05) ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.

******************************************

(04.04.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala)

තරුණියකගේ උපතින්ම කන්වල පිහිටි අසාමාන්‍ය තත්ත්වයක් රූපලාවන්‍ය සැත්කමක් මගින් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට බදුල්ල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා සමත්ව තිබෙනවා.

සැත්කමට භාජනය වු 22 හැවිරිදි දියතලාව පදිංචි තරුණියක ගේ කන්වල පැවති අසාමාන්‍ය තත්ත්වය හේතුවෙන් කනස්සල්ලට පත්ව සිටි ඇය බදුල්ල මහරෝහලට පැමිණ ඇත්තේ ඊට ප්‍රතිකාරයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන්.

පසුව මෙම තරුණිය විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා වෙත යොමු කර ඇති අතර, තත්වය පරීක්ෂා කළ වෛද්‍යවරයා රූපලාවන්‍ය සැත්කමක් මගින් ඇයගේ කන් සාමාන්‍ය තත්වයට පත් කළ හැකි බවට දැනුම්දී තිබෙනවා ෴

******************************************

(04.04.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

කැබිතිගොල්ලෑව ‘ගම සමඟ පිළිසදර’ වැඩසටහනේ දි ජනතාව සිදුකළ ඉල්ලීමකට අනුව සංවර්ධනය කෙරුණු කණුගහවැව ආදර්ශ ගම්මානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) විවෘත කෙරුණා.

පසුගිය වසරේ දෙසැම්බර් මස 30 වැනිදා ගම සමග පිළිසදර වැඩසටහන කැබිතිගොල්ලෑව – කණුගහවැව ගම්මානයේදි පැවති අතර එම ගම්වැසියන් යුද සමයේ ත්‍රස්තවාදි ප්‍රහාරවලින් බැටකෑ පිරිසක්.

යුද සමයෙන් පසුවද ඔවුන් ආර්ථික, සමාජයීය ප්‍රශ්ණ රැසකට මුහුණ දුන් අතර ඒවාට කඩිනමින් විසදුම් ලබා දෙන ලෙසයි ගම සමග පිළිසදර වැඩසටහනේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින් ට උපදෙස් ලබා දුන්නේ.

ඒ අනුව ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ඔවුන් කණුගහවැව ගම්මානයේ සංවර්ධන කටයුතු භාරගෙන ඇති අතර, ඒ අනුව සංවර්ධනය කෙරුණු කණුගහවැව ගම්මානය විවෘත කිරිම සදහා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජිත වෙහෙර වහන්සේ ඉදිකෙරෙන භූමිය, ඉදිකෙරුණු බෝධිඝරය සහ ආවාසගෙය නිරීක්ෂණයට ලක් කළා.

ගම්මානයේ ඉදිකරන ලද කිලෝමීටර් 15 ක දිගින් යුත් අලිවැට ද නිරීක්ෂණය කළ ජනාධීපතිවරයා ගම්වැසියන් සමග ද සුහද කථා බහක නිරත වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

******************************************

(04.04.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ නව පොලිස් ස්ථාන 190 ක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.

මරදන්කර්නි සහ අයියන්කන්කුලම් ප්‍රදේශවල ස්ථාපිත කරනු ලැබූ පොලිස් ස්ථාන විවෘත කිරීමේ අවස්ථාවට අද (04) එක්වෙමින් ඔහු කියා සිටියේ දැනට පොලිස් ස්ථාන 494 ක් ක්‍රියාත්මක බවයි ෴

******************************************

(04.04.2021 – 20:29 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට අදාල චෝදනා කඩිනමින් ගොනු කරන බවට පල වන වාර්තා ප්‍රතික්ෂේප කරන අතර, අදාල සියලු තොරතුරු තවදුරටත් විශේෂ කණ්ඩායමක් විසින් විශ්ලේෂණය කරමින් සිටින බව නීතිපති සඳහන් කර තිබෙනවා ෴

******************************************

(04.04.2021 – 20:44 +0530 – hirunews.lk/sinhala)

තමන් නියෝජනය කළ ආණ්ඩුවක් තුලදී පාස්කු ප්‍රහාරයේ සිදුවීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයදින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

තිස්සමහාරාමයේදී පැවති විපක්ෂ නායක ජංගම සේවයේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා.

******************************************

(04.04.2021 – 21:47 +0530 – hirunews.lk/sinhala)

මාතර, තිහගොඩ, බණ්ඩත්තර ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් කිරීමේදී වයස අවුරුදු 75 ක පුද්ගලයෙකු පොලිස් ජීප් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ෴

******************************************

(04.04.2021 – 22:54 +0530 – hirunews.lk/sinhala)

රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ඇතැම් නිලධාරීන් පියවර නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, ගැටඹේ රාජෝපවනාරාමයේදීයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අද (04) පස්වරුවේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදුටුවා.

@@@@@@@@@@@@@@@@

(04.04.2021 – 15:49 +0530 – hirunews.lk/sinhala)

මුව ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 11 දෙනෙකු බදුල්ල නගරයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බදුල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (04) බදුල්ල නගරයේ පිහිටි ඉරිදා පොළෙහි සංචාරයක නිරතවූ අවස්ථාවේදී මෙලෙස මුව ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් හඳුනාගනු ලැබුවා ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 97 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා ෴

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 187 දෙනෙකු සුවය ලබා අද (04) රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අනූ දහසේ සීමාව ඉක්මවා ගියා.

මේ වනවිට සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 90,208 ක් ලෙසයි ෴

තවත් කොවිඩ් ආසාදිත මරණ 2 ක් අද (04) වාර්තා වී තිබෙනවා. මෙම මරණ දෙකත් (2) සමඟ මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 581 ක් දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++++

(04.04.2021 – 19:59 +0530 – hirunews.lk/sinhala)

අද (04) දිනයේ නව ආසාදිතයන් 97 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් 93,392 දක්වා ඉහළ ගියා. එසේම 187 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 90,208 ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයන් 2,506 ක් පමණයි.

එමෙන්ම නව මරණ දෙකක් (2) අද (04) දිනයේ වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 581 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර උත්සව සමයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බැහැරවන පුද්ගලයින්ට කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මීට පෙර ප්‍රකාශ කළේ උත්සව සමයේ කොළඹින් බැහැරවන පුද්ගලයින්ට කොරෝනා පරීක්ෂණ සිදුකරන බවයි.

මේ අතර ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත කිසිදු රටකට ලබාදීමට මේ වනතෙක් තහනමක් පනවා නොමැති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ අනෙකුත් රටවලට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයක් මතුව ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ආක්ෂේ කුමාර් සඳහන් කළේ කොරෝනා වෛරසය ආසාදනය වූ තමන් නිවස තුළ ස්වයං නිරෝධායනයේ පසුවන බවයි.

අද (04) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 25 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් අද (04) දිනයේ වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 122 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *