‘එදිරිසිංහ එඩිබල් ඔයිල්ස්’ සමාගමට අයත් විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු ආදේශක පොල් තෙල් බව්සර් දෙකක් (2) අත්අඩංගුවට

‘එදිරිසිංහ එඩිබල් ඔයිල්ස්’ සමාගමට අයත් විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු ආදේශක පොල් තෙල් බව්සර් දෙකක් (2) අත්අඩංගුවට

*********************************************

‘එදිරිසිංහ එඩිබල් ඔයිල්ස්’ සමාගමට අයත් විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු ආදේශක පොල් තෙල් බව්සර් දෙකක් (2) අත්අඩංගුවට

(30.03.2021 – 15:37 +0530 – lankaleadnews.com)

‘එදිරිසිංහ එඩිබල් ඔයිල්ස්’ සමාගමට අයත් විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු යැයි අනාවරණය වී ඇති ආදේශක පොල්තෙල් අඩංගු යැයි සැක සහිත බවුසර් රථ දෙකක් (2) දංකොටුව නගරයට ආසන්න තෙල් මෝලක රඳවා තිබියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තාවේ. අත් අඩංගුවට ගත් බවුසර් රථ දෙක (2) තුළ ආදේශක පොල් තෙල් ලීටර 27,500 තිබී ඇති අතර පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව මෙම රථ දෙක (2) අත් අඩංගුවට ගත් බව පැවසේ.

බවුසර දෙකෙහි (2) රියැදුරන් පොලිසියට කට උත්තර දෙමින් පවසා ඇත්තේ රාගම ප්‍රදේශයේ පිහිටි ගබඩාවකින් අදාළ තෙල් රැගෙන ආ බවයි.

‘එදිරිසිංහ එඩිබල් ඔයිල්ස්’ සමාගම ශ්‍රී ලංකාවේ හෝටල් වලින් භාවිත කර ඉවත් කරන ලද පොල් තෙල් සහ වෙනත් කුමන හෝ මට්ටමේ ඇති පොල් තෙල් නමින් ඇති භාවිතයෙන් ඉවත් කරන ලද තෙල් මිළට ගෙන විරංජන කාරක දමා පිරිපහදු කර වෙළෙඳ පොළට එවන බව සමහර මාධ්‍යය වාර්තා කර තිබුණි.

‘එදිරිසිංහ එඩිබල් ඔයිල්ස්’ සමාගම නිපදවන නිෂ්පාදන ‘එදිරිසිංහ ඔයිල්ස්’ නම් සන්නාමය යටතේ වෙළෙඳ පොළට නිකුත් කරණ බව කියැවේ ෴

++++++++++++

(30.03.2021 – 09:48 +0530 – hirunews.lk/sinhala)

දංකොටුව නගරයට ආසන්න තෙල් මෝලක තිබී පොලීසිය අත්අඩංගුවට ගත් බවුසර් රථ දෙකේ (2) ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් පවතින බවට හෙළිවී තිබෙනවා.

විමර්ශන සිදුකරන දංකොටුව පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ පසුගියදා පිළිකා කාරක අඩංගු පොල්තෙල් ගෙන්වූ සමාගම් තුනෙන් (3) එක් (1) සමාගමක් විසින් මලයාසියාවේ සිට මෙරටට මෙම පොල්තෙල් ගෙන්වා ඇති බවයි.

බවුසරයක පොල්තෙල් ලීටර 27,500 බැගින් බවුසර් දෙකේ පොල්තෙල් ලීටර 55,000 ක් පමණ පවතිනවා.

බවුසර් රථවල රියදුරන් දෙදෙනා (2) ගෙන් සහ එම රථ නවතා තිබූ පොල්තෙල් මෝලේ හිමිකරුගෙන්ද පොලීසිය අද (30) ප්‍රකාශ සටහන් කරගත්තා.

එහිදී අදාළ රියදුරන් සඳහන් කර ඇත්තේ පසුගිය 25 වනදා බවුසර මෙම ස්ථානයට රැගෙන ආ බවයි.

පොල්තෙල් මෝලේ හිමිකරුද ප්‍රකාශ කර ඇත්තේ මෙම බවුසර්වල අඩංගු වී ඇත්තේ පිරිපහදු නොකළ පොල්තෙල් බවට තමන් දැන නොසිටි බවයි.

ඔහු, අදාළ පොල්තෙල් මෙරටට ගෙන්වූ සමාගමේ හිමිකරුගේ හිතවතෙකු බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පසුගියදා පිළිකාකාරක අඩංගු බවට හෙළිවූ බවුසර 13 න් බහුතරයක්ම අදාළ සමාගමට අයත් බවයි.

මෙම රථවලට මුද්‍රා තබා ඇති අතර, ඒවා දංකොටුව ප්‍රදේශයට රැගෙන විත් ඇත්තේ සැඟවීමටද යන්න සම්බන්ධයෙන් පොලීසියට සැක මතුවී තිබෙනවා.

දංකොටුව පොලීසියේ උසස් නිලධාරියා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ මෙම බවුසර්වල ඇත්තේ පිළිකාකාරක පොල්තෙල් ද යන්න හඳුනාගැනීම සඳහා අධිකරණ නියෝගයක් මත ඒවායේ සාම්පල හෙට (31) රේගුවට, ප්‍රමිති ආයතනයට සහ රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන බවයි.

මෙරටට ගෙන්වූ පොල්තෙල්වල පිළිකාකාරක අඩංගු බවට හිරු ප්‍රවෘත්ති අංශය මගින් මුල්වරට හෙළි කළේ පසුගිය 23 වනදායි.

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි අද (30) අදාළ බවුසර් රථ නිරීක්ෂණය සඳහා දංකොටුව පොලීසියට පැමිණ තිබුණා.

එමෙන්ම සමගි ජනබලවේගය අදත් (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන ආරම්භ කර වගකිවයුත්තන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින්.

එම දෙපාර්තමේන්තුවට ඔවුන් යොමු කළ ලිපියක දැක්වෙන්නේ පිළිකා කාරක අඩංගු පොල්තෙල් ප්‍රමාණයෙන් කොපමණ තොගයක් මේ වනවිට පරිභෝජනයට ගෙන තිබේද යන්න පිළිබඳව වගකීම් සහගත ප්‍රකාශයක් සිදුකිරීමට ඊට අදාළ කිසිදු ආයතනයකට නොහැකිවී ඇති බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර, ඊට පිළිතුරු ලබාදුන්නේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතායි.

එහිදී ඔහු කියා සිටියේ ගැටළුකාරී තත්වයක් පැන නැග ඇති පොල්තෙල් වෙළඳසැල් වෙත ගොස් ඇති බවට කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා නොවන බවයි. එවැන්නක් සිදුව ඇත්නම් නීතිමය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

******************************************

ආදේශක විෂ පොල් තෙල් හෙවත් ඇෆ්ලටොක්සීන් කතාවේ ගැඹුරු ඇතුලාන්තය…

(30.03.2021 – 12:17 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකාවේ කීර්තිමත් සූපවේදියෙකු වන ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන සූපවේදියා වූ පබ්ලිස් සිල්වා මහතා විසින් මෙම ලියුම්කරු සමඟ කරනු ලැබූ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී පෙන්වා දුන්නේ සත්ව තෙල් භාවිත නොකර තම ආහාර සකස් කරගන්නා එකම ජාතිය වෙසෙන රට ශ්‍රී ලංකාව බවයි. ඔහු පෙන්වා දුන්නේ ඉන්දියාව පවා තම ආහාර නිපදවා ගැනීමට සත්ව තෙල් (එළඟි තෙල්) භාවිතා කරන බවයි. ශ්‍රී ලාංකිකයෝ තම ආහාරමය තෙල් අවශ්‍යයතාවය පොල් තෙල් සහ මී තෙල් ආශ්‍රිතව සපුරා ගත් අතර සුදු ජාතික ආක්‍රමණිකයන් විසින් මී ගස විනාශ කිරීමට කටයුතු කිරීමෙන් පසු ආහාරමය අවශ්‍යයතා වෙනුවෙන් අවශ්‍යය තෙල් සපයා ගත්තේ පොල් තෙල් ආශ්‍රිතවය. මෙම තෙල් වර්ග භාවිතා කළ ශ්‍රි ලාංකිකයෝ වසර 120 ක පමණ ආයුකාලයක් භුක්ති වින්ද බව ඉතිහාස කාරනා දෙස් දෙයි. රොබට් නොක්ස් නම් උඩරට රාජධානියේ සිරකරුවෙකුව සිට පසුව පාලාගිය නාවිකයා විසින් ලියන ලද එදා හෙළදිව නම් ග්‍රන්ථයේ කියවෙන පරිදි ඔහු උඩරට රාජධානියේ ජීවත්වූ කාලය තුළ වසර 80 ක් ආයු වළඳා මිය යාමත් සලකා තිබුණේ අකාල මරණයක් ලෙස බවයි. මෙම සියල්ල සිදු වූයේ ශ්‍රී ලාංකිකයා ලබා ගත් පිරිසිදු පෝෂ්‍යයදායි ආහාර සහ සෞම්‍යය පරිසරය විසින් ඇති කරන ලද්දාවූ ජීවන රටාව මිස වෙන කිසිවක් නොවේ. ශ්‍රී ලාංකිකයාගේ පිරිසිදු පෝෂ්‍යයදායි ආහාරවේලේ ප්‍රධාන අංගය පොල් යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.

විවෘත ආර්ථිකය සහ සාම්ප්‍රදායික ආහාර රටාව

කරුණු මෙසේ වෙද්දී වසර 500 ක් තිස්සේ බටහිර ජාතින්ගේ යටත් විජිතයක්ව සිට පවා විනාශ කිරීමට නොහැකි වූ අපේ ජීවන රටාවේ වැදගත්ම අංගය වූ ආහාර සංස්කෘතියට බරපතලම ව්‍යුහාත්මක වෙනස්කම කිරීමට 1977 න් ඇරඹි විවෘත ආර්ථිකයට පහසුවෙන් කළ හැකි විය. පළමුවෙන්ම පාංපිටි පර්භෝජනය ඉහළ දැමීමට ඉවහල් වන ක්‍රියා මාර්ග තේරු එම පාලන රටාව අපේ ආහාර පරිභෝජන රටාව උඩු යටිකුරු කිරීමට අවශ්‍ය වන්නාවූ දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් සිදු කරමින් දේශීය එළ කිරි වෙනුවට විදේශීය ආදේශක කිරිපිටි බීමට අපිව ඉතා පහසුවෙන් හුරු කළෝය. පාම් තෙල් තුළින් හයිඩ්‍රජන් වායුව යවා දේශීය පෝෂ්‍යයදායි බටර් වෙනුවට මාගරින් ලාංකිකයාට කැවීමට තරම් විවෘත ආර්ථික මහිමය ඉතා උජාරු විය.

ලාංකිකයාට පොල් තෙල් ‘ඇලජික්’ කරවීම

කෙසේ වුවද පොල් තෙල් පරිභෝජනයෙන් ඉවත් කර ආදේශක පොල් තෙල් කැවීමට ශ්‍රී ලාංකිකයා හුරු කර වීම දේශීය එළ කිරි වෙනුවට ඌරුතෙල් හෝ පාම් ඔයිල් එක්කල නවසීලන්ත කිරි පෙවීමට ලාංකිකයා හුරු කරවීම තරම් පහසුවෙන් කළ නොහැකි විය. ඒ වෙනුවට බටහිර සමාගම් අපූරු උපක්‍රමයක් තෝරා ගත්හ. මේ ලියුම්කරුගේ අදහසේ හැටියට නවසීලන්තයෙන් ගෙන්වූ ඌරුතෙල් හෝ පාම් තෙල් මිශ්‍ර කිරිපිටි සහ බටර් පර්භෝජනයට හුරු වූ ශ්‍රී ලංකාවේ උගත් මධ්‍යයම පන්තිය අතර හදවත් රෝග සුලබ වන්නට පටන් ගත්තේ 80 දශකයේ මැද භාගයේ සිටය. ඊට සමාන්තර ‘හදවත් රෝගවලට හේතුව පොල්තෙල් පරිභෝජනයයි’ කියැවෙන විද්වත් මත, වෛද්‍යය මත වැසි වසින්නට පටන් ගත්තේය. ඉරිදා පුවත් පත් වල පිටු ගනන් වෙන් වූයේ පොල්තෙල් වල නුගුණ කීමටය. මේ ලණුව අමුවෙන් ගිල ගත්තේ උගත් යැයි කියා ගන්නා මධ්‍යයම පාන්තිකයන් වූ අතර ඔවුන්ගේ පුංචි මොළයට ආකර්ෂණය වන සූරියකාන්ත තෙල්, එළවළු තෙල් ආදී වශයෙන්වූ බහුවිධ ආදේශක පොල්තෙල් ශ්‍රී ලාංකේය වෙළෙඳ පොළ ආක්‍රමණය කළේය. මෙය මේ වන විට ‘ඇස්කිමෝවරුන්ට ශීතකරණ විකිණීම’ යන ‘මාර්කටිං’ සංකල්පය ‘ලාංකිකයාට පාම් තෙල් විකිනීම’ දක්වා වෙනස් කිරීමට තරම් ප්‍රභල වී තිබේ. මීට සමාන්තරව බහු ජාතික සමාගම් අපේ පොල් ගෙඩියෙන් ‘වර්ජින් කොකනට් ඔයිල්’ අපේ භූමියේ සිටම නිපදවා උන්ගේ මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යය සුවපත් කිරීමට උන්ගේ රටවලට පටවා අපිට කෝලා බීම පොවා උන්ට පොල් වතුර බීමට අවශ්‍යයවන පහසුකම් සලසා සිටියෝය.

පොල්තෙල් ශ්‍රී ලාංකිකයාගේ මනසේ ‘ඇලජික්’ කරවීමෙන් බහු ජාතික සමාගම් බූවල්ලෝ විවර කර ගත් ඉඩ භාවිත කරමින් පාම් තෙල් කැවීමට අපූරු උපක්‍රම පාවිච්චි කළෝය. එලෙසම අද ද පාවිච්චි කරමින් සිටිති. ශ්‍රී ලාංකික පුද්ගලික සමාගම් කිහිපයක් විසින් ගෙන්වා බෙදාහරින පාම් තෙල් වෙළඳාමේ පහසුව තකා හිටපු අමාත්‍යය රිෂාඩ් බදුර්දීන් විසින් ‘පොල්තෙල් වලට පාම් තෙල් කවලම් කරවීමේ අනුමැතිය හිමි වන ගැසට්ටුව’ 69 ලක්ෂයේ අපේක්ෂාවන් මල් පල ගන්වන වත්මන් ආණ්ඩුවේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා යටතේද ක්‍රියාත්මකය. මේවා ගැන සොයා බලා කටයුතු කරණු ඇතැයි 69 ලක්ෂය බලාපොරොත්තු තැබූ ජනාධිපතිවරයා වට කොට සිටින්නේ එක්කෝ ‘පාත් ෆයින්ඩරයන්’ය එහෙමත් නැතිනම් ‘බෝන් අගේන්’ ක්‍රියාකාරිකයන්ය. ලියුම්කරුට හැඟෙන්නේ එතුමාව ගම සමඟ පිළිසඳරට තල්ලු කර දැමීමට තරම් සූක්ෂම වූ මෙම කණ්ඩායම්, මුහුණු පොතේ ජනාධිපතිවරයාට එල්ල කරනු ලබන උපහාසාත්මක විවේචන වලින් සලිත වන ජනාධිපතිවරයාව පිළිසඳරේ යෙදෙන ගමේ මිනිහාට දුක කියන තැනට පත් කර හමාරය.

ආදේශක පොල් තෙල් ප්‍රතිඅපනයනයට නියෝග

පිටිය සැකසුනේ පාම් තෙල් විකිණීම පහසු කරවීමට වුවද පන්දු යවන්නේ 69 ලක්ෂයේ කණ්ඩායම වන හෙයින් අතලොස්සක් වූ ආදේශක පොල් තෙල් ආනයනයකරුවන්ට විකට්ටුව පහසුම නැත. දේශිය පොල්තෙල් නිෂ්පාදකවරුන් විසින් යැවු ඇෆ්ලටොක්සීන් පන්දුව ආදේශක පොල්තෙල් ගෙන්වූ කණ්ඩායමේ පළමු පෙළ පිතිකරුවන්ගේ විකට්ටුවටම දඟ කැවී ඇත්තේ ඔවුනට පක්ෂපාත විනිසුරුවන් විසින් ලබා දුන් වාසි දායක තීන්දුව වූ ආදේශක විෂ පොල් තෙල් තමන්ගේ අංගනයන්ගේ ගබඩා කර ගැනීමට දී තිබූ හයේ පහරක් ලෙස සනිටුහන්වූ තීන්දුව තුන්වැනි විනිසුරුවන් වූ ඇෆ්ලටොක්සීන් පරීක්ෂණයට ලක්කල විද්‍යාගර වල වාර්තා විසින් උඩු යටි කුරු කර ඒවා විෂ සහිත ආදේශක පොල් තෙල් බවට තහවුරු කර එම පහර නීති විරෝධී හයේ පහරක් ලෙස සනිටුහන් කර ඇත. කෙසේ වුවද පිතිකරුගේ දීර්ඝකාලීන ව්‍යාපාරික ක්‍රීඩා ජීවිතයට අවම හානිය කරමින් ඒවා ප්‍රති අපනයනය කිරීමට නියෝග ලැබීමට නියමිතය. ලංකාවේ ව්‍යාපාරික ක්‍රීඩා නීති පොත ලියා ඇත්තේම කූට ව්‍යාපාරිකයා ආර්ක්ෂා කරීමටම බව තහවුරු වන අතර රිෂාඩ් බද්යුද්දීන්ගේ නීති පොත එලෙසම ආරක්ෂා කිරීමට ආචාර්ය බන්දුල ගුණවර්ධන අපූරු සමත් කමක් පෙන්වමින් සිටී.

තෙවන විනිසුරුගේ තීන්දුව

රිෂාඩ්ලා සැකසූ පිටිය ආචාර්යවරු අලංකාර කරමින් සිටින අතර තුර 69 ලක්ෂය වන තුන්වැනි විනිසුරු නිවැරදි තීන්දුව ලෙස ජාතියම ආමාශගත දරුණු රෝග වලට ලක්කරන ආදේශක විෂ පොල්තෙල් අත් හැරීම නම් සාමූහික ප්‍රහාරාත්මක සමාජ ක්‍රියාකාරකම් වලට අවතීර්ණ විය යුතු බව ලියුම්කරුගේ හැඟීමයි. එහි පහසුව පිණිස පහත දැක්වෙන තොරතුරු නළු නිළියන්ගේ දේශපාලුවන්ගේ ඕපා දූප වලින් පුරවා ගත් හිස වැදගත් තොර තුරු වලින් පුරවා ගත යුතුය. ඒ අනුව පිලිකා කාරක ආදේශක පොල් තෙල් ගෙන්වූ සමාගම් හතර (4) අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, සේන මිල්ස් පිරිපහදුව, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් සහ කටාන පිරිපහදුව යන ආයාතන බව සිහි තබා ගත යුතුය. ඔවුන් විසින් තමන්ගේ නිෂ්පාදන බෙදා හැරීමට භාවිත කරන සන්නාමයන් වන්නේ පිළිවෙලින් ‘මෙඩි සිලෝන්’, ‘සේන ඔයිල්ස්’, ‘එදිරිසිංහ ඔයිල්ස්’ සහ ‘කොකොටානා’ යන සන්නාමයන් වේ. මීට අමතරව මෙම සමාගම් විසින් දේශීය වෙළෙඳ පොළට අවශ්‍යයවන ආහාරමය පොල්තෙල් අවශ්‍යයතාවය පිරවීම පිණිස සන්නාමයන් රහිතව සිල්ලර වෙළෙඳ පොළට සහ බේකරි ඇතුළු වෙනත් නිෂ්පාදනය කිරීම සඳහා ද මෙම ආදේශක පොල් තෙල් බෙදා හරිනු ලබයි.

ඉහත ආදේශක විෂ පොල් තෙල් ගෙන්වූ සමාගමක් වන කටාන තෙල් පිරිපහදු සමාගම ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුවේ හිල් අතරින් රිංගා අපූරු ලෙස ලාභ ලබන සමාගමක් බවට වාර්තා පලවේ. ඔවුන් දේශීය වශයෙන් පොල් මිළදී ගෙන පොල් තෙල් නිපදවා අපනයනය කරණ බව එම වාර්තා පවසයි. ඊට සමාන්තරව ඔවුහු ආදේශක පොල් තෙල් ආනයනය කර බෙදා හරින බව ද පැවසේ. ඒ අනුව අපනයනය කරුවෙකු ආනයනය කිරීමේදී රජයෙන් ලැබෙන බදු සහනය බුක්ති විඳීමටද කටාන තෙල් පිරිපහදු සමාගම කටයුතු කරන බවට චෝදනා එල්ල වෙන බව එම වාර්තා දෙස් දෙයි. එම වාර්තා සත්‍යය නම් ගුණාත්මක පොල්තෙල් රට පටවා විෂ සහිත ආදේශක තෙල් ආනයනය කර අපට ‘කොකොටානා’ නමින් කවා නීත්‍යානුකූල බදු සහනයද කටාන තෙල් පිරිපහදු සමාගම ලබා ගනිති.

ඉහත කී විෂ සහිත ආදේශක පොල්තෙල් ආනයනය කළ සමාගම් අතරින් ‘සේන මිල්ස්’ සහ ‘එදිරිසිංහ එඩිබල් ඔයිල්’ සමාගම ශ්‍රී ලංකාවේ හෝටල් වලින් භාවිත කර ඉවත් කරන ලද පොල් තෙල් සහ වෙනත් කුමන හෝ මට්ටමේ ඇති පොල් තෙල් නමින් ඇති භාවිතයෙන් ඉවත් කරන ලද තෙල් මිළට ගනී. සමහර සමාජ ජාල ක්‍රියාකරුවන් පවසන පරිදි එම ආයාතන එම තෙල් විරංජනය කර නැවත වෙළෙඳ පොළට එවති.

මෙම නිෂ්චිත මොහොතේදී විෂ සහිත ආදේශක පොල් තෙල් ගෙන්වූ බවට අනාවරණය නොවූ මෙන්ම බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යයවරයා විසින් සිය පාර්ලිමේන්තු කතාවේදී විශේෂයෙන් සඳහන් කළ සීනි බදු වංචාවට සම්මාදම් වූ ‘සජාඩ් මවුසූන්’ ගේ ‘පිරමිඩ් විල්මා සමාගම’ මැලේසියාවෙන් ආදේශක පොල්තෙල් ගෙන්වමින් එවැනි තෙල් ආනයනය කිරීමේදී විශාලම පංගුවට හිමිකම් කියන සමාගම බවට පත්වී තිබේ. එම සමාගම ‘ෆෝචුන්’ නමින් ආහාර පිසීමට තෙල් වර්ගයක් මෙන්ම මාගරින් වර්ගයක්ද වෙළෙඳ පොළට නිකුත් කරයි.

ආනයනික ආදේශක පොල්තෙල් වෙළෙඳ පොළේ දෙවෙනි විශාලතම කොටස අත්පත් කරගෙන සිටින්නේ ‘ආදම්ජි ලුක්මන්ජි’ ආයාතනයයි. ඔවුන් වෙළෙඳ පොළට ඉදිරිපත් කරන ආදේශක පොල් තෙල් වර්ගය වන්නේ ‘එන් ජෝයි’නම් සන්නාමය සහිත ආදේශක පොල් තෙල් වර්ගයයි.

තවද ශ්‍රී ලාංකීය ආදේශක පොල්තෙල් වෙළෙඳ පොළෙහි ‘මරීනා’ නමින් ඇති ආදේශක පොල් තෙල් වර්ගය ආනයනය කර බෙදා හරින්නේ ‘නාරද හෝල්ඩිංග්ස්’ නැමැති සමාගමයි.

ආදේශක පොල් තෙල් වලට ‘හලාල්’ සහතිකය නැතිද?

මේ වන විට ආදේශක පොල් තෙල් වෙළෙඳ පොළේ ඉතා සුළබය. ඒ අතර ආදේශක පොල් තෙල් ආනයනය කළ සමාගම් හතරක් විසින් ඉතාම නුදුරු කාලයේදී ආනයනය කළ ආදේශක පොල් තෙල් මිනිස් පරිභෝජනයට නුසුදුසු උග්‍ර පිළිකා කාරක බව වග කිවයුතු පර්යේෂණ ආයාතන තුනකින් (3) කළ සාම්පල පරීක්ෂාවලින් තහවුරු වී තිබේ. මේ අතර මෙම ලියුම්කරු වෙත අදහස් දැක්වූ සමාජ ජාලා ක්‍රියාකරිකයෙකු පවසා සිටියේ ආදේශක පොල් තෙල් ආනයනය කරන මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංනාම සහිත ආදේශක පොල් තෙල් බෝතල් වල ලේබලයේ පවා ‘හලාල්’ සහතිකය ඇති බව ප්‍රදර්ශනය නොකරණ බවයි. ඔහු පවසන දේ මේ ලියුම්කරුට සත්‍යය යැයි සෘජුවම ලිපිය ලියන මොහොතේ ප්‍රකාශ කළ නොහැකි වුවද එම ප්‍රකාශ සත්‍යයක් වන්නේ නම් අදාල ව්‍යාපාරිකයන් ව්‍යංගයෙන් මුස්ලිම් ජාතිකයන්ට ආදේශක පොල් තෙල් ආහාරයට නොගන්නා ලෙස දන්වා සිටී.

කරුණු කෙසේ සලකා බැලුවද ආදේශක පොල් තෙල් ආනයනය කළ සමාගම් හතරෙහිම (4) සාම්පල් තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ පිළිකා කාරකය අඩංගු බව තහවුරු වීමෙන් පෙනී යන්නේ 69 ලක්ෂයේ ජනතාවගේ උර මත පැටවී ඇත්තේ සුළු පටු වගකීමක් නොවන බවයි.

අනිත් අතට රජයේ පාර්ශවයෙන් ආදේශක පිළිකා කාරක විෂ පොල් තෙල් විනාශ නොකර ආපසු ආනයනය කළ රටවලටම හරවා යවන්නේ එම රටවල මිනිසුන්ගේ පරිභෝජනයට ඒවා සුදුසු දැයි හැඟෙන නිසාදැයි ප්‍රශ්නයක් පැන නගී. අනිත් අතට මෙතරම් විෂ කන්දරාවක් රටට ආනයනය කළ සමාගම් වලට මෙතරම් සහනයක් ලබාදෙන්නේ මන්දැයි යන්න නොවිසඳුණු ගැටලුවකි. එම ගැටළුවේ ගැඹුර තවත් තීව්‍ර වන්නේ මේ වන විට වෙළෙඳ පොළේ ඇති ආදේශක පොල් තෙල්වලද මෙම විෂ කාරකය අඩංගුදැයි පරීක්ෂා නොකරන්නේ කාගේ වුවමනාවටදැයි දෙයියෝද නොදනිතියි යන්න තහවුරු වීම මගිනි.

ජීවන්ත ජයතිස්ස

******************************************

වැඩියෙන්ම විෂ පොල්තෙල් ගෙන ආ අලි බ්‍රදර්ස් සමාගම සතුව පිරිපහදු කර්මාන්ත ශාලාවක් නෑ – පිරිපහදු නොකර වෙළඳපලට නිකුත්කලාදැයි සැකයි

(30.03.2021 – colombotoday.com)

පිළිකාකාරක අඩංගු පොල් තෙල් ආනයනය කල ‘අලි බ්‍රදර්ස් සමාගම’ සතුව පොල් තෙල් පිරිපහදු කරන කර්මාන්ත ශාලාවක් නොමැති බව ‘පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ සඳහන් කර සිටිනවා.

මේ අතර, තනි සමාගමක් මෙරටට ආනයනය කල විශාලතම පිළිකා කාරක අඩංගු පොල්තෙල් තොගය මෙම සමාගම විසින් ආනයනය කර ඇත.

ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු පොල්තෙල් මෙරටට ආනයනය කරන ලද Ali Brothers (pvt)Ltd සමාගමට පොල් තෙල් පිරිපහදු කරන කර්මාන්ත ශාලාවක් නොමැති බවත් තමන් සතුව පොල් තෙල් පිරිපහදු කරන කර්මාන්ත ශාලාවක් ඇති බවට මේ වනවිට බොරු ප්‍රචාරයන් ගෙනයමින් තිබෙන බවත් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ජපානයෙන් හා වෙනත් රටවලින් වාහන මෙරටට ආනයනය කරන සමාගමක් වන මෙම සමාගම ඉතා මෑත කාලයකදී පොල් තෙල් ව්‍යාපාරයට පැමිණ තිබේ.

මෙම සමාගම විසින් ආනයනය කරන ලද පොල් තෙල් මෙරට වෙළඳපොල වෙත අලෙවි කර ඇද්ද? යන්න සොයා බැලීම සදහා වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලා සිටින බවත් මෙම සමාගම්වලට ජාවාරම් කිරීම සදහා සහයෝගය දක්වන හා සිදුවීම සැඟවීම සදහා සහයෝගය දක්වන සෞඛ්‍ය අමාත්‍යංශයේ හා පාරිභෝගික අධිකාරියේ නිළධාරීන්ට කීමට ඇත්තේ තමන්ගේ ඉන පටි හොදින් තද කරගන්නා ලෙස බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විතානගේ මහතා අවධාරණය කර සිටින්නේ.

1980 අංක 26 දරණ ආහාර පනතේ ‘8(1)ක’ වගන්තිය අනුව ආහාර උපදේශන කමිටුව සදහා පාරිභෝගිකයින් නියෝජනය කිරීම සදහා දෙදෙනෙකු (2) පත්කල යුතු වුවද ආහාර උපදේශන කමිටුවට මේවන තුරු පාරිභෝගික නියෝජනයක් ලබාදී නැත්තේ මෙවැනි ජාවාරම් සදහා සහයෝගය ලබාදීම සදහාද යන්න සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් එම සංවිධානය ප්‍රශ්න කර සිටියි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *