පළාත් පාලන ආයතන මගින් සැලසුම් අනුමත කිරීම, ඔන්ලයින් ක්‍රමයට මාරු වෙයි

පළාත් පාලන ආයතන මගින් සැලසුම් අනුමත කිරීම, ඔන්ලයින් ක්‍රමයට මාරු වෙයි

*********************************************

පළාත් පාලන ආයතන මගින් සැලසුම් අනුමත කිරීම, ඔන්ලයින් ක්‍රමයට මාරු වෙයි

(26.03.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතන මගින් සිදුකරන ඉදිකිරීම් සැලසුම් අනුමත කිරීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදයක් හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට ක්‍රියාත්මක බව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

එහි අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ. රණවීර මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ පැවති නාගරික සංවර්ධන සහ නිවාස කටයුතු පිළිබද අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදියි.

පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කර ව්‍යාපෘතිය හඳුන්වා දෙන බවයි ඔහු එහිදී කියා සිටියේ.

නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන සැලසුම් අනුමත කිරීමේදී අයදුම්කරු අපහසුතාවට පත් නොවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතන 17 ක් ඒකාබද්ධ කර අදාළ ඔන්ලයින් ක්‍රමය හඳුන්වා දෙනු ඇති.

අගෝස්තු මාසයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස එය ආරම්භ කරන බව ද උපදේශක කාරක සභාවේදී වැඩිදුරටත් අනාවරණ වුණා ෴

******************************************

(26.03.2021 – 11:34 +0530 – hirunews.lk/sinhala)

සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවකයන් දේශපාලන ක්‍රියාකාරකම්වල යොදවා දූෂණය නම් වරද සිදුකර ඇති බවට අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට (3) ගොනුකර තිබූ නඩුවෙන් චූදිතයින් තිදෙනා (3) නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (26) නියෝග කළා ෴

******************************************

(26.03.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

දඩයක්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා ගල්කිරියාගම පැල් බැඳියාව ප්‍රදේශයේ සැරි සරමින් සිටි තවත් සද්ධන්තයෙක් දිවි ගමන නිමා කළා.

වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා මෙලෙස මියගිය වන අලියාගේ වයස අවුරුදු 10 – 12 අතර වන බවයි වනජීවී පශු වෛද්‍යවරුන් සඳහන් කළේ.

මෙම වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) වනජීවී පශු වෛද්‍යවරුන් විසින් සිදුකල අතර එහිදී සතාගේ පෙනහලු ප්‍රදේශයේ තිබී වෙඩි උණ්ඩයක් හමුවුණා.

සතා මිය යාමට ආසන්නම හේතුව මෙය බවයි වනජීවී පශු වෛද්‍යවරුන් පවසන්නේ.

******************************************

(26.03.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්දේශ සහ යෝජනා අද (26) භාරදීමට නියමිතයි.

ඒ අනුව බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කාර්යාලයට අදාළ යෝජනා භාරදීමට නියමිත බවයි නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවක් විසින් මෙම නිර්දේශ සහ යෝජනා සකස් කළ බව ද ඔහු කියා සිටියා ෴

******************************************

(26.03.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකු (7) අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තු බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පවත්වාගෙන යාම පිළිබඳව මැයි 07 වන දා කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය අද (26) නියෝග කළා.

මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ 2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 50 කට අධික වටිනාකමකින් යුත් බැඳුම්කර සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට වන චෝදනාවට අදාළවයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මෙහිදී පැවසුවේ සිද්ධියට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවයි.

ඒ අනුව මෙම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් තිබේද යන්න පිළිබඳව ප්‍රශ්නයක් මතු වී තිබෙන බව ඔහු කියා සිටියා.

තම සේවාදායකයින් අත්අඩංගුට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව සහ පොදු දේපළ පනත යටතේ පොලිසිය විසින් ඉදිරිපත් කර තිබෙන සහතිකය එම නඩුකර යටතේ අභියෝගයට ලක් කර ඇති බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එහිදී ප්‍රකාශ කළා.

සේවාදායකයින් ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍යව ඇති බවත් මේ වන විට ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හෙයින් මේ පිළිබඳව උපදෙස් ලබා ගැනීමට කල් ලබා දෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය මෙම පෙත්සම් නැවත මැයි මස 07 වනදා කැඳවීමට නියම කරනු ලැබුවා.

මේ වන විට 2016 වසරේ මාර්තු මාසයේ සිදුවූ එක් බැඳුම්කර සිද්ධියට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් මාර්තු 30 දක්වා ද තවත් බැඳුම්කර සිද්ධියකට අදාළව අද (26) දිනය දක්වා ද රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා ෴

******************************************

(26.03.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

සිංහරාජ වනාන්තරයේ කිසිදු වන විනාශයක් සිදු වී නොමැති බව යුනෙස්කෝ ජාතික කොමිසම් සභාව ප්‍රකාශ කළා.

එහි මහ ලේකම් ආචාර්ය පුංචිනිළමේ මීගස්වත්තේ මහතා වැඩිදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිංහරාජ වනාන්තරය කිසිදු අවස්ථාවක ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් නොමැති බවයි.

කෙසේ වෙතත් සිංහරාජ ලෝක උරුම වනාන්තරය තුළ හෙක්ටර්යාර 5 ක වපසරියකින් යුත් ජලාශ දෙකක් තැනීම පිළිබඳව ඉල්ලීමක් යුනෙස්කෝ ආයතනයට යොමුකර ඇති බවත් මේ දක්වා එම ඉල්ලීම් වලට යුනෙස්කෝව ප්‍රතිචාර දක්වා නොමැති බවත් ආචාර්ය මීගස්වත්තේ මහතා පවසනවා.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ඇතුළු නිලධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ එහි පැවැත්මට බලපාන කරුණු සාකච්ඡා කළ බව ආචාර්ය මීගස්වත්තේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එහිදී අමාත්‍යවරයා ඇතුළු පිරිස පවතින තත්වය අවබෝධ කරගැනීමෙන් අනතුරුව අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ඉවත්කරගැනීමට කැමැත්ත පළකර තිබෙනවා.

ඒ අනුව කිසිදු අවස්ථාවක හෙක්ටයාර 8000 කින් සමන්විත සිංහරාජ ලෝක උරුම වනාන්තරය තුළ ඇති ජෛව විවිධත්වයට හානි ආකාරයේ කිසිදු ඉදිකිරීමක් සිදුකිරීමක් නොකෙරෙන බව ආචාර්ය පුංචිනිළමේ මීගස්වත්තේ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, සිංහරාජයේ වන විනාශයක් සිදුවන බවට අසත්‍යය චෝදනා කරමින් ඇතැම් පාර්ශව රජය අපහසුතාවට පත් කරමින් සිටින බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පවසනවා.

ඔවුන් මේ බව කියා සිටියේ සිංහරාජ රක්ෂිතයේ හෝටලයක් ඉදිකරන බවට පැවසෙන ප්‍රදේශයේ ඊයේ (25) සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවයි.

******************************************

(26.03.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් මාසයේ 05 වනදා සඳුදා විශේෂ දිනයක් ලෙස පාර්ලිමේන්තුව රැස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස්වූ කාරක සභාවේදී තීරණය වී ඇත්තේ එදින පෙරවරු 10 සිට පස්වරු 4 දක්වා කාලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා අවස්ථාව ලබාදීමටයි.

ඒ අනුව එදින (05) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න 50 ක් විමසීමට අවස්ථාව සලසා දෙන බවයි සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ෴

******************************************

(26.03.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පූජා භූමියට අයත් නාම පුවරුවකට හානි සිදුකළ පුද්ගලයෙකු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් ඊයේ (25) අත්ඩංගුවට ගත් සැකකරු අද (26) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති දෙවනගල පුදබිමේ ඉඩම් විවිධ පාර්ශව අත්පත් කර ගැනීම පිළිබඳව පසුගිය කාලය තුළ මතුවුණේ දැඩි සංවාදයක්.

******************************************

(26.03.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සිදුවන බවට තමන්ට පෙර දැනුම් දීමක් සිදු කළ බවට කිසිදු සාක්ෂියක් එම ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඉදිරිපත් වී නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, පාස්කු කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින්.

එම තොරතුරු සමඟ මැතිසබය විශේෂාංගය දැන්.

******************************************

(26.03.2021 – 14:23 +0530 – hirunews.lk/sinhala)

ඉල්මනයිට් ඛනිජ වැලි මෙට්‍රික් ටොන් 85,000 ක් අඩු මුදලට අලෙවි කිරීම පිළිබඳ වහාම විමර්ශනයක් කර මාසයක් ඇතුලතදී වාර්තාවක් ලබා දෙන ලෙස කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

කෝප් කමිටුවේදී වැඩිදුටත් හෙළ වූයේ ඛනිජ වැලි ටොන් එකක් සඳහා ඇමරිකානු ඩොලර් 165 ක මිලක් ඉදිරිපත් කළ ගැනුම් කරු වෙනුවට මිල ගණන් ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවූ ගැණුම්කරුට ඇමරිකානු ඩොලර් 147 කට ලබා දී ඇති බවයි.

******************************************

(26.03.2021 – 14:26 +0530 – hirunews.lk/sinhala)

සහල් මාෆියාවක් රට තුළ නිර්මාණයවීමට ඉඩ නොදෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බවට විපක්ෂය ගෙන යන ප්‍රචාර දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව සිදුකරන්නක් බවයි.

******************************************

(26.03.2021 – 14:31 +0530 – hirunews.lk/sinhala)

ගමට බලාගාරයක් නැමති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය හරහා කුඩා බලාගාර 7000 ක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පුනර්ජනනීය බල ශක්ති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

ගමට බලාගාරයක් ව්‍යාපෘතිය කොළඹදී ජනගත කරමින් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පැවසුවේ එමගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 700 ක විදුලි ධාරිතාවක් එක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

******************************************

(26.03.2021 – 15:17 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 1.2 ක් පමණ වටිනා එනසාල් කිලෝ 600 ක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී රේගු භාරයට ගෙන තිබෙනවා ෴

******************************************

(26.03.2021 – 15:47 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම – මද්‍රසා පාසලේ සිසුන්ට අවි පුහුණුව ලබාදුන් බවට චෝදනා එල්ල වූ එම පාසලේ ගුරුවරුන් දෙදෙනෙකු (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළේ නීතිපතිවරයාගේ උපදෙස් මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

මීට පෙර අදාළ මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා ද අත්අඩංගුවට ගැණුනු අතර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

මේ අතර, අන්තවාදය පැතිරවීමේ චෝදනාව යටතේ පුද්ගලයන් දෙදෙනෙකු (2) ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබුවා.

මාතලේ සහ මඩකලපුව ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන්ගෙන් එක් අයෙකු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ සහරාන් හෂීම්ගේ සමීපතමයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

******************************************

(26.03.2021 – 15:59 +0530 – hirunews.lk/sinhala)

යාපනය හින්දු විද්‍යාලය ඉදිරිපිට පිහිටා ඇති TNA පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්ගේ නිවසට අද (26) පස්වරු 01:40 ට පමණ යතුරුපැදිවලින් පැමිණි කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

මේ සඳහා යතුරුපැදි 4 කින් පුද්ගලයින් 8 දෙනෙකු පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පහරදීම හේතුවෙන් මන්ත්‍රීවරයාගේ පුත්‍රයාට තුවාල සිදුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

[ සේයාරූ ]

******************************************

(26.03.2021 – 17:41 +0530 – hirunews.lk/sinhala)

විෂදියර ගබඩා කිරීමට භාවිත කළ බැරල් තුල පොල්තෙල් සහ ‘පාම් ඔයිල්’ අසුරා බෙදා හැරි බවට වරද පිළිගත් ව්‍යාපාරියෙකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 60,000 ක දඩයක් නියම කළා.

ව්‍යාපාරිකයා සමඟ අත්අඩංගුවට ගත් අදාළ පොල්තෙල් තොගය විනාශ කරන ලෙසයි කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අධිකරණය නියෝග කළේ.

මෙලෙස දඩ නියම කෙරුණේ කොළඹ 13 ආදුරුප්පු වීදියේ පදිංචි ව්‍යාපාරිකයෙකුටයි.

සැකකරු අඛන්ඩව එම වරද සිදුකරන්නේ නම් යළි අත්අඩංගුවට ගෙන තමා හමුවටම ඉදිරිපත් කරන ලෙස ද මාලිගාකන්ද මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝග කළා ෴

@@@@@@@@@@@@@@

(26.03.2021 – 11:41 +0530 – hirunews.lk/sinhala)

යාපනය නගරයේ කොටසකට සංචරණ සීමා පැනවීමට යාපනය දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ යාපනය මහනගර සීමාව තුළින් කොවිඩ් ආසාදිතයන් 77 ක් වාර්තාවීමත් සමඟයි.

මේ අනුව යාපනය පොළ භූමිය යාපනය තිරුනෙල්වේලි පොළ භූමිය, මධ්‍යම බස් නැවතුම්පොළ කොටුව සීමාව සහ යාපනය කන්කසන්තුරය මාර්ගයේ කොටසක් මෙලෙස තාවකාලිකව වසා දැමෙනු ඇති.

ඊයේ (25) දිනයේදී යාපනය දිස්ත්‍රික්කය තුලින් කොවිඩ් ආසාදිතයන් 80 ක් වාර්තා වුනා.

ඒ අතර පාසල් දරුවන් කිහිප දෙනෙකුද අයත්.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 91,289 ක් හඳුනාගෙන ඇති අතර, සම්පූර්ණයෙන්ම සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 87,881 ක්.

ඒ අනුව පුද්ගලයින් 2,851 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

ඊයේ (25) හඳුනාගත් ආසාදිතයින් අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 64 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 27 දෙනෙකු සිටින බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ.

මෙරට එන්නතකරණ වැඩසටහනට අදාළව මේ දක්වා පුද්ගලයින් 869,709 කට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති බව ද වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා ෴

+++++++++++++++++++

(26.03.2021 – 12:07 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් අත්හිටුවා තිබූ ගමනාන්ත කිහිපයකට රුසියාව නැවත ගුවන්ගමන් අරඹා තිබෙනවා.

මේ අනුව ජර්මනිය, වෙනිසියුලාව, සිරියාව, තජිකිස්ථානය, උස්බෙකිස්ථානය සහ ශ්‍රී ලංකාවට අප්‍රේල් 01 සිට නැවත ගුවන් ගමන් අරඹන බව රුසියානු ගුවන් බලධාරීන් පවසනවා ෴

+++++++++++++++++++

(26.03.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ 11 කට කොරෝනා අසාදනය වී ඇති බව වාර්තාවනවා.

මෙලෙස කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත්තේ අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ සේවය කරන ගුරුවරුන් සිව්දෙනෙකුට (4) සහ සුළු සේවකයන් 5 කටයි.

මීට අමතරව ගුරුවරුන්ගේ ඥාතීන් දෙදෙනෙකුටත් (2) කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා.

අද (26) එම විද්‍යාලයේ සියලු ගුරුවරුන් සහ සිසු දරුවන් ආවරණය වන පරිදි කොරෝනා පරීක්ෂාව සිදුකෙරෙන බවයි අම්පාර ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වජිර රාජපක්ෂ මහතා සඳහන් කළේ.

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 264 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, සුවය ලැබූ මුළු ආසාදිත සංඛ්‍යාව 88,145 ක් දක්වා ඉහළ යනවා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 166 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 91,455 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 94 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 91,500 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණයක් (1) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 558 ක්. අද (26) වාර්තාවී ඇති මරණය මතුගම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. කලුතර දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් ආසාදිතයෙකු ලෙසට හඳුනාගැනීමෙන් පසු ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබුනා. එහි ප්‍රතිකාර ලබමින් සිටින අතර මාර්තු 25 වනදා මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ හෘද රෝගී තත්වය සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *