මිහින්තලේ මහා පරිමාණ පස් ජාවාරමක් සහ වන විනාශයක්

මිහින්තලේ මහා පරිමාණ පස් ජාවාරමක් සහ වන විනාශයක්

*********************************************

මිහින්තලේ මහා පරිමාණ පස් ජාවාරමක් සහ වන විනාශයක්

(13.03.2021 – 18:55 +0530 – hirunews.lk/sinhala)

මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පලුගස්වැව – කටුකැලියාව වනාන්තරයේ මහා පරිමාණ පස් කැණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට පරිසරවේදීන් චෝදනා කරනවා.

මේ වනවිට අක්කර 100 ක පමණ වනාන්තර ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම හෙළිපෙහෙළි කර අඩි 50 ක් පමණ වන වලවල් සැකසෙන පරිදි බැකෝ යන්ත්‍ර භාවිත කරමින් පස් කැණීම් සිදුවන බවයි වාර්තා වන්නේ.

බලධාරින් ඒ සඳහා අවධානය යොමු නොකරන බවට ද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

පළුගස්වැව – කටුකැලියාව වනාන්තරය අවට ගම්මානවල ගොවි පවුල් 600 ක් පමණ ජීවත් වන අතර, ඔවුන්ගේ ගොවිතැන්වලට අවශ්‍ය ජල මූලාශ්‍ර පවතින්නේ ද මෙම වනාන්තරය තුල බවටයි පරිසරවේදී සජීව චාමිකර සඳහන් කළේ.

මෙම පස් කැණීම් කටයුතු ජාතික පාරිසරික පනතට වුව ද නීතිවිරෝධී බව පෙන්වා දෙන ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙස සිදුවන කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට ද හැකියාවක් නොමැති බවයි ෴

(14.03.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පලුගස්වැව – කටුකැලියාව වනාන්තරයේ සිදුවූ මහා පරිමාණ පස් කැණීමේ ජාවාරම මේ වනවිට නතර කර තිබෙනවා.

මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නියෝග කර ඇත්තේ කඩිනමින් එය නතර කර දමන ලෙසටයි.

පරිසරවේදීන් චෝදනා කර සිටියේ අක්කර 100 ක පමණ වනාන්තර ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම හෙළිපෙහෙළි කර අඩි 50 ක් පමණ වන වලවල් සැකසෙන පරිදි බැකෝ යන්ත්‍ර භාවිත කරමින් අදාළ ප්‍රදේශයේ පස් කැණීම් සිදුවූ බවටයි.

හිරු ප්‍රවෘත්ති අංශයෙන් මේ පිළිබඳව අනාවරණ කළ අතර, එම වන විනාශය නතර කර දැමීම සම්බන්ධයෙන් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ප්‍රකාශ කළේ ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වනතුරු තාවකාලිකව වන විනාශය නතර කර ඇති බවටයි.

මේ අතර ගල්ගමුව – නාකොලගනේ රජමහා විහාරයට අයත් නින්දගම් වනාන්තර හෙළිපෙහෙළි කර බහුජාතික සමාගම්වලට ලබාදෙන බව පවසමින් ප්‍රදේශයේ පරිසර සංවිධාන අද (14) නිහඬ විරෝධතාවක නිරතවුණා.

මේ අතර පරිසර හානි සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඒ, අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ (13) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ෴

******************************************

(13.03.2021 – 19:00 +0530 – hirunews.lk/sinhala)

බුර්කාව තහනම් කිරීමෙන් ඉස්ලාමීය කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ශ්‍රීන් සරූර් පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ බුර්කාව තහනම් කිරීමට පෙර ඒ පිළිබඳව ප්‍රජාව සමඟ සාකච්ඡා කළ යුතුව තිබූ බවයි.

කෙසේ වෙතත්, බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට තමන් ඊයේ (12) අත්සන් තැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.

මේ අතර, වහාබ් සහ ජිහාඩ් මතවාද පැතිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජමාත් ඉ ඉස්ලාමි සංවිධානයේ හිටපු සභාපති රෂීඩ් හාජුල් අක්බාර් රඳවාගෙන ප්‍රශ්න කරන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සඳහන් කළා.

එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් මාවනැල්ල – මුරුතවෙල ප්‍රදේශයේ පදිංචි ඔහු ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබුණේ දෙමටගොඩ ප්‍රදේශයේදීයි.

******************************************

(13.03.2021 – 20:46 +0530 – hirunews.lk/sinhala)

‘සිලෝන් තවුහිද් ජමාත්’ සංවිධානයේ ලේකම් ‘අබ්දුල් රාසික්’ මේ වන විටත් ‘වහබ් වාදය’ පතුරමින් සිටින්නේදැයි සැක මතුවන බව ‘සූෆි’ මුස්ලිම්වරුන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ වහාබ්වාදය පැතිරවීම හේතුවෙන් තහනම් කළ යුතු බවට පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශිත ‘කිතාබ් අට් තවුහිද්’ ග්‍රන්ථය සාධාරණීකරණය කිරීමට ද අබ්දුල් රාසික් කටයුතු කර ඇති බවයි.

උත්තරීතර සූෆි සභාවේ මාධ්‍ය ප්‍රකාශක ‘ඉන්තිකාබ් සූෆර්’ හිරු ප්‍රවෘත්ති සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

‘මුහම්මද් බින් අබ්දුල් වහබ්’ විසින් රචිත ‘කිතාබ් අට් – තවුහිද්’ ග්‍රන්ථය වහාබ් වාදය පැතිරවීම සඳහා තවුහිද් කණ්ඩායම් විසින් භාවිත කර ඇති බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එම වාර්තාවේ නිර්දේශ කර ඇත්තේ අදාළ ග්‍රන්ථය තහනම් කළ යුතු බවටයි.

වහබ් යන වචනය ව්‍යුත්පන්න වී ඇත්තේ ද එම ග්‍රන්ථය රචනා කළ 18 වැනි සියවසේ අරාබි අර්ධද්වීපයේ ජීවත් වූ මුහම්මද් බින් අබ්දුල් වහබ් නමින්.

කෙසේ වෙතත් කිතාබ් අට් – තවුහිද් ග්‍රන්ථය තහනම් කිරීමට කර ඇති නිර්දේශය සම්බන්ධයෙන් අන්තවාදී අදහසක් දක්වමින් සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් සඳහන් කර ඇත්තේ එම ග්‍රන්ථය තහනම් කිරීම සාධාරණ නොවන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන උත්තරීතර සුෆි සභාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට පවා මෙම ග්‍රන්ථයේ අන්තර්තයන් හේතුවන්නට ඇතැයි විශ්වාස කළ හැකි බවයි.

******************************************

(13.03.2021 – 21:14 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණය සඳහා බැසිල් රාජපක්ෂ මහතා සුදුසු බවට පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත්‍රීවරයෙක් අද (13) යළිත් ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ පක්ෂ විපක්ෂ අදහස් දැන් :

******************************************

(13.03.2021 – 23:11 +0530 – hirunews.lk/sinhala)

ඕනෑම අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට සූදානම් බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පස්වරුවේ කුරුඳුවත්ත පොලිස් ස්ථානයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මුස්ලිම් නීතිය කිසිසේත් වෙනස් කළ නොහැකි බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ අසාද් සාලි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.

එසේම, අසාද් සාලි පසුගියදා සිදුකළ ප්‍රකාශයට එරෙහිව මේ වනවිට විවිධ පාර්ශව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් අසාද් සාලිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මේ වනවිටත් උපදෙස් ලබාදී ඇති බවයි.

******************************************

(14.03.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ජාතික ධජය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගමේ ප්‍රධානියා දැනුවත් කිරීමට පියවර ගත් බව ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

මෙරට ධජය පාපිසි සහ පාවහන්වලට යොදා ගැනීම සම්බන්ධයෙන් වොෂිංටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය විරෝධය පළ කළ බවයි ඔවුන් නිවේදනය කළේ.

මෙය ශ්‍රී ලංකා රජයේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව ද එම නිවේදනය මගින් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙන්වා දෙනවා.

එබැවින් අදාළ වෙළඳ භාණ්ඩය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙසට අදාළ වෙබ් අඩවිය හිමි සමාගමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මීට අමතරව මෙම සිද්ධිය පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුවට රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයන්ට සහ එක්සත් ජනපද වෙළඳ කාර්යාලයට දැනුම්දීමට ද තානාපති කාර්යාලය කටයුතු කර තිබෙනවා.

මීට අදාළව සිදුවන කටයුතු සම්බන්ධයෙන් අධීක්ෂණය කරමින් සිටින අතර ශ්‍රී ලංකා ධජය සහිත අදාළ නිෂ්පාදන අන්තර්ජාලය හරහා වෙළඳාම් කිරීම අත්හිටුවීම වෙනුවෙන් අදාළ සමාගම සහ ඇමරිකා බලධාරීන් සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළා ෴

******************************************

(14.03.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ පුරාවිද්‍යා දැනුම ඉහළ නැංවීම සඳහා පහසුකම් රැසක් ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා හිරු ප්‍රවෘත්තී අංශයට ප්‍රකාශ කළේ ඊට අදාළ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි ෴

******************************************

(14.03.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය ආයතන විමර්ෂණ වැඩසටහනේ පළමු අදියර හෙට (15) ආරම්භ වීමට නියමිතයි.

එම විමර්ශන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ අදාල රාජ්‍ය ආයතනයන්හි වැරදි අවම කර ජනතාවට කාර්‍යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින්.

ලබන 19 වනදා දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේදී හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය සහ එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11 ක් ඍජු පරික්ෂාවට ලක් කෙරෙන අතර ග්‍රාම නිලධාරී කාර්යාල අහඹු පරීක්ෂාවන්ට ලක්වනු ඇති.

එම ආයතන ජනතාවට නිසි පරිදි සේවාවන් සපයන්නේද යන්න සොයා බැලීම මෙහිදී සිදු වනවා.මෙම විමර්ශන සදහා ස්වදේශ කටයුතු අමාත්‍යශයේ නිලධාරීන් 28 දෙනෙකු යොදවා ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ ෴

******************************************

(14.03.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවා ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ඉදිරිපත් කර ඇති ගැසට් පත්‍රය ඉවත් කර නොගන්නේ නම් යළි දැනුම් දීමකින් තොරව දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය ප්‍රකාශ කළේ ඒ පිළිබඳ තීන්දුවක් ගැනීම සඳහා ලබන 18 වනදා හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැදවා ඇති බවයි.

සෞඛ්‍ය සේවා ව්‍යවස්ථාව සංශෝධනය වෛද්‍ය සේවයේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ එකගතාවයකින් තොරව සිදු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

අදාල සංශෝධනය හේතුවෙන් ගැටලු රැසක් ඇතිවන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(14.03.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදී නොපැවැත්වීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළා.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති හමුවකදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

කොරෝනා වසංගතය හේතුවෙන් විෂය නිර්දේශ ආවරණය කිරීමේ අපහසුතාව සැළකිල්ලට ගනිමින් මෙම එකඟතාවට එළඹුණු බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ නමුත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමේදී ඇතැම් අවස්ථාවලදී ගැටළුකාරී තත්වයන් මතුව ඇති බවටයි ෴

******************************************

(14.03.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සංශෝධිත යෝජනාවලිය ජිනීවා මානව හිමිකම් මණ්ඩලය මගින් ඊයේ (13) ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

කොරෝනා වෛරසයට ගොදුරු වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් අනිවාර්යයෙන් ආදාහනය කිරීමට නොසතුට පළ කරමින් ඇතුළත් කෙරුණු වගන්තිය, නව යෝජනාවෙන්ද ඉවත් කර නොතිබීම විශේෂත්වයක්.

කොරෝනා වෛරස් වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී ආගමික නිදහසට එල්ලවන බලපෑම් සහ සුළු ජනකොටස් කොන්වීම පිළිබඳව සංශෝධිත යෝජනාවේ වැඩිදුර කරුණු දක්වා තිබෙනවා. එය, ආගමික සුළුතරය තුළ ආතතිය සහ සන්තාපයක් ඇති කිරීමට හේතුවන බවයි අදාළ යෝජනාවේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය යන තේමාව යටතේ අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය මගින්.

ශ්‍රී ලංකාවේ සියලු වාර්ගික සහ ආගමික කණ්ඩායම්වල අයිතීන්වලට ගරු කරමින් තිරසාර සාමය සහ සංවර්ධනය උදෙසා දේශපාලන විසඳුමක් ඇති කිරීම සඳහා ලක් රජය පුළුල් සංවාදයකට එළඹීම පිළිගන්නා බවයි අදාළ යෝජනාවේ දැක්වෙන්නේ.

කෙසේ නමුත් විසිවන සංශෝධනය බලාත්මක කිරීම ඇතුලු දේශපාලන වාර්තාවන් සම්බන්ධයෙන් වන වගන්ති සංශෝධිත යෝජනාවේ තවදුරටත් ඇතුලත් වනවා. දේශපාලන බලාධිකාරිය විසින් බලය බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට පියවර ගත යුතු බවයි අදාළ යෝජනාවෙන් ඉල්ලා සිටින්නේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යළි ඇගයීම සඳහා ජගත් මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු සංශෝධිත යෝජනාවෙන්ද ඉල්ලීමක් කෙරෙනවා.

එමෙන්ම එය ප්‍රතිස්ථාපනය කෙරෙන වෙනත් ඕනෑම නීතිමය ක්‍රියාවලියක් ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීතිය සඳහා වන ලක් රජයේ වගවීම් සහතික කරමින් ස්ථාපිත කළ යුතු බවයි අදාළ යෝජනාවේ දැක්වෙන්නේ ෴

******************************************

(14.03.2021 – 09:19 +0530 – hirunews.lk/sinhala)

අසාද් සාලි විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලිවලට අදාළව කඩිනම් පරීක්ෂණයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් 5 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විමර්ශණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර පොලිස් මූලස්ථානයට ද තවත් පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

අසාද් සාලිගේ ප්‍රකාශයේ සඳහන් කරුණු මෙන්ම එම ප්‍රකාශයෙන් ජාතීන් සහ ආගම් අතර ගැටලු ඇතිවී තිබේ ද යන්න මෙමගින් විමර්ශණ සිදු කෙරෙනු ඇති.

මුස්ලිම් නීතිය කිසිසේත් වෙනස් කළ නොහැකි බවට අසාද් සාලි පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා.

මෙම ප්‍රකාශයෙන් පසුව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කළේ අසාද් සාලි පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවයි.

එවැනි පසුබිමකදී ඕනෑම අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට සූදානම් බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (13) පස්වරුවේ කුරුඳුවත්ත පොලිස් ස්ථානයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී අසාද් සාලි අන්තවාදී ලෙස හැසිරෙන බවට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට චෝදනාවක්ද එල්ල කළා.

@@@@@@@@@@@@@@@@@@

(13.03.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වෛරස් එන්නතෙහි අතුරු විපාක පිළිබඳ ඉදිරි සතියේ ඇගයීමක් සිදුකරන බව ඉන්දියාව පවසනවා.

මෙම එන්නත ඉන්දියාවේ පූනේහි සීරම් ආයතනයේ ද නිෂ්පාදනය කරනු ලැබීම ඊට හේතුවයි.

එන්නත ලබාදුන් පුද්ගලයන්ට ද රුධිර කැටිති ඇතිවිය හැකි බවට සැකයෙන් ඩෙන්මාර්කය, නෝර්වේ සහ අයිස්ලන්තය ආදි යුරෝපා රටවල් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

කෙසේ නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් එවැනි අතුරුවිපාක සිදුවන්නේ යැයි සාක්ෂි නොමැති බවයි.

මේ අතර, රුධිරය කැටි ගැසීම කොරෝනා රෝගයට ආවේණික ලක්ෂණයක් බැවින් එලෙස රුධිරය කැටි ගැසීම කොරෝනා එන්නත නිසා සිදුවූවක් ලෙස විද්‍යාත්මකව විග්‍රහ කළ නොහැකි බව රජයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥයින්ගේ සංගමය පවසනවා.

මේ අතර, ආසාදිතයෙකු ලෙස අද වාර්තා වූ සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ. හලීම් පෙබරවාරි 25 වැනිදා ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් බවද අනාවරණ වී තිබෙනවා.

අද (13) දිනයේදී ආසාදිතයින් 295 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 84,253 ක්.

තවත් කොරෝනා ආසාදිතයින් 179 දෙනෙකු අද (13) දිනයේදී මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 87,465 ක් ලෙසයි.

මේ අතර නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වූ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම පළාතේ නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් පිළිබඳව නිරීක්ෂණය කළා.

එහිදී යුද හමුදාපතිවරයා කොරෝනා මෘතදේහ භූමදානය සිදු කරන ඕට්ටමාවඩි ප්‍රදේශයද නිරීක්ෂණය කර තිබෙනවා ෴

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 526 ක්. මියගොස් ඇත්තේ කනත්තේවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවක්.

ඇය කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරුකර එවා තිබුණා. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (12) මියගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ උග්‍ර බ්‍රොන්කෝ නියුමෝනියාව සහ ලේ විෂවීමයි ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 102 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 87,567 ක් ෴

++++++++++++++++++++

(14.03.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමෙන් පසු සංකූලතා ඇතිවූ අවස්ථා කිහිපයක් මෙරටින් වාර්තාවී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ එන්නත ලබා ගැනීමෙන් පසුව ඇති වන එවැනි සංකූලතා පිලිබදව සෞඛ්‍ය බලධාරීන් සිය අවධානය යොමු කළ යුතු බවයි.

කෙසේවෙතත් රජයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥයින්ගේ සංගමය ප්‍රකාශ කලේ රුධිරය කැටි ගැසීම කොරෝනා රෝගයට ආවේණික ලක්ෂණයක් බැවින් එය කොරෝනා එන්නත නිසා සිදුවූවක් ලෙස විද්‍යාත්මකව විග්‍රහ කළ නොහැකි බවයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමක් සිදුවන්නේ යැයි සාක්ෂි නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයද ප්‍රකාශ කළා.

මේ අතර ශ්‍රී ලාංකිකයින් හා විදේශිකයින් රට තුළට පැමිණීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද ඇතුළත් නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, සති 2 කට පෙර සියලු‍ තොරතුරු සමග පූර්ණ අනුමැතියක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලබාගත යුතුයි.

කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් ගෘහස්ථ නිරෝධායනයට ලක්වීම ප්‍රමාණවත් බවයි අදාළ මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.

දිවයිනට පැමිණීමට පෙර පැය 96 ක කාලයක් තුළ අදාළ පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු විය යුතු අතර, මෙරටට පැමිණ, පැය 48 ක් තුළ කොරෝනා පරීක්ෂණයකට ලක්විය යුතුයි.

එමෙන්ම දින 5 ත් 7 ත් ඇතුළත තවත් කොරෝනා පරීක්ෂාවකට ලක් කෙරෙන ඔවුන් ආසාදිතයෙකු නොවන බව තහවුරු විය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.

මේ අතර, ඊයේ (13) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 314 දෙනෙකු හඳුනාගත්තා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 87,600 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඊයේ (13) හඳුනාගත් රෝගීන් අතර විදේශයන් හි සිට පැමිණි 33 දෙනෙකුද වනවා.

කොරෝනා ආසාදිතව හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ 48 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 526 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *