වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය පාතාල ගැටුමක ප්‍රතිඵලයක් – මහජන ආරක්ෂක ඇමති

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය පාතාල ගැටුමක ප්‍රතිඵලයක් – මහජන ආරක්ෂක ඇමති


වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය පාතාල ගැටුමක ප්‍රතිඵලයක් – මහජන ආරක්ෂක ඇමති

(22.10.2025 – hirunews.lk)

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය අපරාධකරුවන් අතර ආරවුලක ප්‍රතිඵලයක් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ දී අද සවස (22) ප්‍රකාශ කළා.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ‘ලසන්ත වික්‍රමසේකර’ගේ ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ආනන්ද විජේපාල අමාත්‍යවරයා :

“අද (22) පෙරවරුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයට ලක්වුණා. මේ සිදුවීම හරහා රටේ මහජන ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැහැ. මේ රටේ සංවිධානාත්මක අපරාධකරුවන් ඉන්නවා. ඔවුන් සතුව ආයුධ තිබෙනවා. ඔවුන් අතර ගැටුමක් තිබෙනවා. අපරාධකරුවන් අතර ගැටුම් තිබෙනවා. ඔවුන් ආයුධ සන්නද්ධව සිටිනවා.

අද (22) සිදුවීමද ගැන කතා කරනවා නම් වැලිගම සභාපතිවරයා මහජන නියෝජිතයෙක් වුණත් පාතාල අපරාධකරුවෙක්. මොහුට නඩු 6 ක් තිබෙනවා. මාතර මහාධිකරණයේ නඩු දෙකක් (2) තිබෙනවා. කුරුණෑගල මහාධිකරණයේ නඩු දෙකක් (2) තිබෙනවා. ගාල්ල අධිකරණයේ නඩුවක් (1) තිබෙනවා. සිර දඩුවම් ලබා තිබෙනවා. අත්හිටවූ සිරදඩුවම් මතයි ඔහු ඉදල තියෙන්නේ. ඔහු පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධයි.

මේ වනවිට ඉන්දුනීසියාවේ සිට රැගෙන ආ අපරාධකරුවන් කිහිපදෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ ප්‍රකාශ හරහා මෙම සභාපතිවරයා සතුව අවි ආයුධ තිබෙන බවට තොරතුරු අනාවරණය වී ති‌බෙනවා. මේවා සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙනවා.

මත් ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයා ගත් බවට අධිකරණයේ නඩුවක් තිබෙනවා.

පාතාලයේ අපරාධකරුවන් අතර පසුගිය කාලයේ ආරවුල් පැවතියා. එම ආරවුල් ඝාතන බවට පත් වෙනවා. මේකත් ඒ හා සමාන සිදුවීමක්. පාතාල හෝ වෙනත් අයෙකු මියයාම අනුමත කරන්නේ නැහැ. මිනිස් ජීවිත අගයන ආණ්ඩුවක් තිබෙන්නේ. නමුත් මේ ගැන විධිමත් විමර්ශනයක් කරනවා. කවුරු වුණත් ඝාතන අනුමත කරන්නේ නැහැ.

පාතලයෙක් යම් දේශපාලන පක්ෂය කටයුතු කරන්නේ නම් ඔහු ‘පාතාල ක්‍රියාකාරිකයෙකු’ ගණයටයි වැටෙන්නේ.

ඔහු සම්බන්ධ විමර්ශන වලින් ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙක් බවට අවශ්‍ය තරම් තොරතුරු ලැබී තිබෙනවා.

මහජන නියෝජිතයෙක් ‌ලෙස පත්කරන පුද්ගලයෙක් සමාජයේ නීතිගරුකව කටයුතු කරන්නේ නම් මෙවැනි දේ සිදුවන්නේ නැහැ” ෴

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සමගි ජන බලවේගයේ ලසන්ත වික්‍රමසේකර ඝාතනය සම්බන්ධයෙන් වනවිට පරික්පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යු. වුට්ලර් පවසනවා.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ මැදිහත්වීමෙන් කණ්ඩායම් හතරක් (4) මේ විමර්ශනය ආරම්භ කර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) කුඩා අවියකින් උණ්ඩ හතරක් (4) භාවිතා කරමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ෴


තරුණ පෙළ මානසිකව වට්ටන Panic Attack

(22.10.2025 – hirunews.lk)

සිතේ ඇතිවන දරාගත නොහැකි ‘අනියත බියක්’ හේතුවෙන් දරුවන් තුළ හටගන්නා ‘මානසික ව්‍යාකූලතාවක්’ නැත‍හොත් Panic Attack තත්ත්වයට පත්වන දරුවන් 9 ත් 20 ත් අතර සංඛ්‍යාවක් සතියකට බදුල්ල රෝහලට පමණක් ප්‍රතිකාර සඳහා රැගෙන එන බව බදුල්ල රෝහලේ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ සඳහන් කරනවා.

සතියකට තරුණ තරුණියන් හතක් – අටක් (7-8) පමණ බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත රැගෙන එන බවද වෛද්‍ය පාලිත පෙන්වාදේ.

Panic Attack තත්ත්වයට මුහුණ දෙන තරුණ කණ්ඩායම් ලංකාව පුරාම වාර්තා වන බවත් දරුවන් හා දෙමාපියන් අතර තිබෙන සබඳතාවන් බිඳවැටීම, සහෝදර සබඳතාවන් බිඳවැටීම, සමාජ සම්බන්ධතාවන් බිඳවැටීම, එකිනෙකාට ආදරය නොකිරීම, ජීවිත කොටුවීම, තරඟකාරිත්වයක් නොමැතිවීම, ආදර සබඳතා බිඳවැටිමෙන් සිත ව්‍යාකූත්වයට පත්වීම ප්‍රධාන හේතු ලෙස හදුනාගෙන ඇතැයි වෛද්‍ය රාජපක්ෂ පෙන්වාදේ.

අන්තර්ජාල භාවිතයට වැඩි වැඩියෙන් නැඹුරු වීම මෙයට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇතැයිද මෙම නැඹුරුව හරහා දරුවන්ගේ සාරධර්ම වේගයෙන් පිරිහෙමින් යන බවද හෙතෙම සඳහන් කරයි.

කරකැවිල්ල, කලාන්තය, වේගයෙන් හුස්ම ගැනීම, පපුවේ කැක්කුම, අතේ පයේ හිරිගතිය , අතේ පයේ ඇගිලි ඇදවීම, පපුවේ ගැස්ම වැඩිවීම, හුස්ම ගැනිමේ අපහසුව, අධික ලෙස දහඩිය දැමීම, ඇතැම්විට සිහි මද බව, තොලේ – කටෙ වියලි බව, දැඩි නිදිමත කම, තොල්වල හිරි ගතිය, අත්පා දරදඩුවීම වැනි ලක්ෂණ එකක් හෝ කිහිපයක් රෝහල් ගත කරන දරුවන් අතර දක්නට ලැබෙන බව ඔහු පවසා දෙනවා.

ජිවිතය පිළිබඳ අනියත බියක්, හුස්ම ගැනීමට නොහකි වේයැයි ඇතිවන බියක්, ඇතැම් අවස්ථා කළමණාකරනය කරගැනීමට නොහැකි වේයැයි බිය, හට ගැනීම හේතුවෙන් මෙවැනි ලක්ෂණ පෙන්නුම් කරන බවද වෛද්‍යවරයා පවසනවා.

ඇතැම් රෝග තත්තවයන් වන දියවැඩියාව, හතිය, තයිරොයිඩ්, හොමෝන වැඩිවීම, පසු ප්‍රසව අවස්ථාවන් වලදී හා කනේ ආබාධයන් හේතුවෙන් මෙවැනි රෝග ලක්ෂණයන් පෙන්නුම් කල හැකිය. මෙවැනි රෝග තත්තවයක් නොමැතිව ඉහත සඳහන් කළ ලක්ෂණයන් පෙන්නුම් කරයි නම් එවන් විටක පහත සඳහන් ප්‍රථමාධාරයන් ලබා දීමෙන් අනතුරුව රෝහල කරා රැගෙන යා යුතු බව වෛද්‍ය රාජපක්ෂ පෙන්වාදේ ෴


ජවිපෙ තරුණ සමුළුවට රු. මිලියන 38 ක්.. ටීෂර්ට්වලට විතරක් රු. මිලියන 12 ක්.. ඇණැවුම දී ඇත්තේ වසා දැමූ ආයතනයකට..

(22.10.2025 – 00:01 +0530 – lankacnews.com)

ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය විසින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන ලද තරුණ සමුළුව සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්‍ෂ මහතා බරපතල මූල්‍ය අක්‍රමිකතා සහ දේශපාලන වංචා චෝදනා මතු කරයි.

මෙම තරුණ සමුළුවේ මුළු වියදම රුපියල් තුන් කෝටි අසූ අට ලක්ෂයකට (3,88,00,000) ආසන්න වන අතර, එය රු. කෝටි හතරකට ආසන්නය. වියදම් වාර්තාව ‘රාහුල් සමන්ත’ නම් පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කර තිබූ අතර, එහි ප්‍රධාන වියදම් වූයේ බස් රථ සඳහා, සංග්‍රහ සඳහා සහ ප්‍රචාරණය සඳහා ය.

රාජපක්‍ෂ මහතාගේ ප්‍රධාන විවේචනය එල්ල වන්නේ සමුළුවට පැමිණි තරුණ තරුණියන්ගේ සංග්‍රහ වියදම්වල දක්නට ලැබුණු විශාල විෂමතාව ගැනය.

සමුළුවට පැමිණි සාමාන්‍ය තරුණයෙකුට තරැණියකට තේ එකක් සඳහා වෙන් කර ඇත්තේ රුපියල් 290 ක් බැගින් පමණක් වුවත් ‘ප්‍රභූවරුන්ගේ තේ සඳහා’ එක් පුද්ගලයෙකුට වෙන් කර ඇති මුදල රුපියල් 2,625 ක් ලෙස සඳහන් වේ.

ජවිපෙ විසින් නායක පිරිස ප්‍රභූ වෙමින්, සාමාන්‍ය තරුණයන්ට රුපියල් 290 තේ බොන තත්ත්වයක් ඇති කිරීම ‘නිර්ප්‍රභූ දේශපාලනය’ යන ඔවුන්ගේ සංකල්පයට පටහැනි බව රාජපක්‍ෂ මහතා ප්‍රශ්න කරයි.

සමුළුවේ සමස්ත වියදමෙන් වැඩිම වියදමක් දරා ඇත්තේ ටීෂර්ට් මුද්‍රණය සඳහා බව රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි.

ටීෂර්ට් 7,500 ක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් 1,18,00,000 වෙන් කර තිබේ. කෙසේ වෙතත්, සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති සමුළුවට පැමිණ ඇත්තේ 3,000 ක් පමණ වන අතර, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට රැගෙන ඒමට හැකි උපරිම සංඛ්‍යාව 4,000 කට අඩුවෙන් පවතින බවද ඔහු සඳහන් කරයි.

මෙම ටීෂර්ට් මුද්‍රණය කර ඇත්තේ ‘චායා ටෙක්ස්’ නමැති ආයතනයකින් වන අතර, ටෙන්ඩරයේදී පළමුව තේරී පත් වූ පාර්ශවය වෙනුවට දෙවනුව තේරී පත් වූ පාර්ශවයට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී තිබේ.

පන්නිපිටියේ වීර මාවතේ තිබූ ‘චායා ටෙක්ස්’ ආයතනය මේ වන විට වසා දමා ඇති බවට තොරතුරු ලැබී ඇති බව පවසන රාජපක්‍ෂ මහතා, වසා දැමු ආයතනයකින් මෙම කාර්යය සිදු කළාද යන්න ප්‍රශ්න කරයි. ඔහු චෝදනා කරන්නේ මෙමගින් පෙනී යන්නේ ‘බිස්නස් ඩීල්’ කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වී ඇති බවයි.

ජවිපෙ විසින් මෙම සමුළුව සංවිධානය කර තිබුණේ ‘චේ’ (Che) ලාංඡනය යොදා ගනිමින් අලුත් දේශපාලනයක් සහ වෙනස් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටිමින් ය.

රාජපක්‍ෂ මහතා සඳහන් කරන්නේ, ‘චේ’ යනු තමන් විශ්වාස කරන මතය වෙනුවෙන් පෙනී සිටි අවංකකමක් ලෝකයේ තරුණයන්ට පෙන්නුම් කළ චරිතයක් බවයි. කෙසේ වෙතත්, මෙම සමුළුවෙන් සිදු වී ඇත්තේ, අරක්කුහල් වලට විවෘත වන ‘චේ ක්ලබ්’ වල මෙන්, ‘චේ සංකේතය’ විකුණාගෙන කෑමක් නොවේදැයි ඔහු ප්‍රශ්න කරයි.

අවසාන වශයෙන්, මෙම ‘නිර්ප්‍රභූ දේශපාලනයක්’ ගැන කතා කරන පිරිස ‘ප්‍රභූ තේ’ සහ ‘නිර්ප්‍රභූ තේ’ යනුවෙන් කාණ්ඩ වෙන් කරමින්, ටීෂර්ට් සම්බන්ධයෙන්ද ‘ලස්සන ඩීල් එකක්’ දමා මෙම සමුළුව පවත්වා ඇති බවට ඔහු චෝදනා කරයි.

+


අවලංගු කළ දුම්රිය ගමන් කිහිපයක් යළි හෙට (23) සිට

(22.10.2025 – hirunews.lk)

අවලංගු කෙරුණු දුම්රිය ගමන්වාර කිහිපයක් නැවතත් හෙට (23) දිනයේ ධාවනයට එක් වීම නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව හෙට (23) උදෑසන නුවර සිට කොළඹට පෙ.ව. 04:30, 05:00 සහ 06:15 ට ගමන් කිරීමට නියමිත දුම්රිය 3 ක් ධාවනය කෙරෙනු ඇති.

එමෙන්ම පෙ.ව. 05:55 කොටුව-බදුල්ල මෙන්ම පෙ.ව. 11:15 සහ දහවල් 12:35 ට නුවර සිට බදුල්ලට දුම්රිය 2 ක්ද ධාවනයට එක්වෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ෴


වෙඩි නොවදින ප්‍රභූ රථයක් ගරාජයකින් සොයාගනී

(22.10.2025 – hirunews.lk)

වෙඩි නොවදින මෝටර් රථයක් නුගේගොඩ, පාගොඩ පාරේ ගරාජයක දමා ගොස් තිබියදී ඊයේ (21) සොයාගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසනවා.

එම රථය ජර්මන් රාජ්‍යයෙන් මෙරටට ගෙන්වූ එකක් බවයි වාර්තා වන්නේ.

බෙන්ස් වර්ගයේ මෙම වෙඩි නොවදින මෝටර් රථය 2008 වසරේදී මෙරටට ගෙන්වා ඇති අතර 2017 පසුව කිසිදු සේවා කටයුත්තක් සඳහා එම රථය මෙරටට ගෙන්වූ ඩිමෝ සමාගමට ගෙනැවිත් නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලිසිය පවසනවා.

නුගේගොඩ, පාගොඩ පාරේ, පළමුවන පටුමගේ පිහිටි ගරාජයක සැකකටයුතු පුද්ගලයකු රැඳී සිටින බවට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව නිලධාරී කණ්ඩායමක් එම ගරාජයට ගොස් පරීක්ෂා කිරීමේදී අලුත් වැඩියාවක් සඳහා රැගෙන ආ බව පැවසෙන අංක තහඩු නොමැති මෝටර් රථයක් වසා දමා තිබියදී දැක තිබුණා.

පසුව එම රථය විවෘත කොට දොරවල් ඇරීමට යාමේදී අධික බරකින් යුක්ත වීම නිසා සැකසිතී මෝටර් රථය තව දුරටත් පරීක්ෂා කිරීමේදී එය වෙඩි නොවදින රථයක් බවට තොරතුරු අනාවරණය වූ බවයි පොලීසිය පවසන්නේ.

පසුව මෝටර් රථය පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශනය කිරීමේදී එය ඉකුත් මැයි මස 23 දා අලුත් වැඩියාවක් සඳහා ගරාජයට රැගෙන ආ බවත් රැගෙන ආ පුද්ගලයාගේ අනන්‍යතාවය නොදන්නා බවයි ගරාජ හිමියා කියා ඇත්තේ.

මෙම මෝටර් රථය පිළිබඳව රේගුවෙන් හා ඩිමෝ ආයතනයෙන් තොරතුරු පරීක්ෂා කිරීමේදී එය 2008 වසරේදී ඉන්දීය තානාපති කාර්යාලයෙන් මෙරටට ගෙන්වූ එකක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඉන්දීය තානාපති කාර්යාලයෙන් වාර්තාවක් කැඳවා ඇති අතර එය ලැබෙන තෙක් භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙම මෝටර් රථය කිසියම් ප්‍රභූ පුද්ගලයෙකු භාවිතා කළේද නැතහොත් කිසියම් අපරාධයක් සඳහා භාවිතා කර ඇතිදැයි යන්න සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි (43) හැවිරිදි ගරාජ හිමියාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කොට කරුණු වාර්තා කිරීමට නියමිතයි ෴


පාලන මිලට වඩා වැඩි මිලකට දේශීය කිරී සම්බා සහල් විකුණු අයෙකුට දඩ

(22.10.2025 – hirunews.lk)

පාලන මිලට වඩා වැඩි මිලකට දේශීය කිරී සම්බා සහල් විකුණු බව කියන සිද්ධියට අදාළව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අත්අඩංගුවට ගත් වෙළඳසැල් හිමිකරුවකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් ලක්ෂයක (100,000) දඩ මුදලක් අද (22) නියම කළා.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී. දර්ශිමා ප්‍රේමරත්න හමුවේ දී.

මෙලෙස දඩ මුදල් නියම කරනු ලැබුවේ කොළඹ ප්‍රදේශයේ පදිංචි, ප්‍රසිද්ධ පෞද්ගලික වෙළඳසැලක හිමිකරුවකුහටයි.

පාලන මිලට වඩා වැඩි මිලට දේශිය කිරී සම්බා සහල් විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රදේශයේ පදිංචි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙලෙස නියෝග කරනු ලැබුවා.

කිසිම සැපයුම්කරුවෙකු නිෂ්පාදකයෙකු, සාදන්නෙකු, බෙදා හරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් කිරී සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක උපරිම සිල්ලට මිල රුපියල් 260/= වැඩියෙන් වෙළඳාම් කිරීම, සැපයීම, වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට නියම කර තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අධිකරණයට දැනුම් දුන්නා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් ලද තොරතුරුට අනුව කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අධිකරණයට දැනුම් දුන්නා.

සැකකරු විවෘත අධිකරණයේදී වරද පිළිගැනිම හේතුවෙන් එලෙස දඩ මුදල් නියම වුණා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සිද්ධියට අදාළ සැකකරුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කළා ෴


GovPay හරහා මාස 2 කින් රථවාහන දඩ ලෙස රු. මිලියන 30 ක ආදායමක්

(22.10.2025 – hirunews.lk)

බස්නාහිර පළාතේ සහ දඹුල්ල සහ අනුරාධපුරය අතර කොටසේ මාස දෙකක් (2) ඇතුළත ‘GovPay ඩිජිටල් ගෙවීම් වේදිකාව’ හරහා ගෙවන ලද රථවාහන දඩ මුදල්වලින් රුපියල් මිලියන 30 කට ආසන්න මුදලක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ඩිජිටල් කටයුතු පිළිබඳ කාර්ය සාධක බලකායේ සභාපති හර්ෂ පුරසිංහ පවසනවා.

සභාපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

කුරුණෑගල සිට අනුරාධපුරය දක්වා කොටසේ සාර්ථක නියමු ව්‍යාපෘතියකින් පසු 2025 අගෝස්තු මාසයේදී රථවාහන දඩ සඳහා GovPay ඩිජිටල් ගෙවීම් වේදිකාව බස්නාහිර පළාතේ හඳුන්වා දුන් බවයි ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවසා සිටියේ.

මාස දෙකක් ඇතුළත GovPay ඩිජිටල් ගෙවීම් වේදිකාව හරහා රථවාහන දඩ සඳහා ගනුදෙනු 20,000 කට වඩා සිදුවී ඇති බවයි සභාපතිවරයා පවසා සිටියේ.

රථවාහන දඩ සඳහා GovPay ඩිජිටල් ගෙවීම් වේදිකාව පසුගිය සිකුරාදා දකුණු පළාතේ හඳුන්වා දුන් බවත්, ඊළඟ පියවර ලෙස එය උතුරු පළාතේ හඳුන්වා දෙන බවත් ඔහු පවසා සිටියා.

මෙම වසර අවසන් වීමට පෙර සියලුම පළාත් ආවරණය කිරීමට අපි බලාපොරොත්තු වෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *