COVID – එන්නත නැවතත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට

COVID – එන්නත නැවතත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට

*********************************************

COVID – එන්නත නැවතත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට

(11.03.2021 – 16:49 +0530 – hirunews.lk/sinhala)

COVID-19 ජාතික එන්නත් වැඩසටහන ලබන සෙනසුරාදා (13) සිට නැවතත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා.

වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ කෝවිඩ් මරණ වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ගෙන් වාර්තා වන බැවින් අමාත්‍යාංශය මෙම තීරණයට එළඹ ඇති බවයි.

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්හට වෛරසය ආසාදනය වීමෙන් පසු රෝහල් ගත වීමට සහ අසාධ්‍ය වීමට වැඩි ඉඩක් ඇති බවත්, මේ හරහා සිදුවන මරණ සංඛ්‍යාව අඩු කිරීම සහ එම වයස් කාණ්ඩයේ පුද්ගලයින් රෝහල් ගත කිරීම අඩු කිරීම යන කරුණු සැලකිල්ලට ගනිමින් ඉහත තීරණයට එළැඹි බවයි වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 158 ක් වාර්තා වී තිබෙනවා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 134 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද (11) දිනයේ වාර්තා වූ මුළු ආසාදිත සංඛ්‍යාව 292 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 520 ක් ෴

@@@@@@@@@@@@@@@@@

(11.03.2021 – 16:23 +0530 – hirunews.lk/sinhala)

උස මීටර් 230 ක් සහ මහල් 68 කින් යුත් ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර හෙට (12) දින විවෘත කිරීමට නියමිතයි.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අළුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක් සේ ඉදිකෙරුණු කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර හෙට (12) දින සවස 05:00 ට නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායන් වෙනස් මගකට යොමු කරමින් කලාත්මක ආකාරයට ගංගාරාම සීමාමාලකය ඉදිරිපිට ඉදිකරන ලද සියළු පහසුකම්වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය නේවාසික හා වාණිජ වෙළඳ සංකීර්ණය නේවාසික සහ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරීමට නියමිතයි.

ඇල්ටෙයාර් ගොඩනැගිල්ල නමින් හැඳින්වෙන මෙම නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමෙන් පසුව දේශීය ආර්ථිකයේ සහ මානව සමාජයේ වර්ධනයක්, නැගිටීමක් සිදුවෙතැයි අපේක්ෂා කෙරේ.

ඒ යටතේ ශ්‍රී ලංකාව නව නිර්මාණශීලී ආයෝජන රටාවකට වඩාත් විශ්වාසයකින් සහ ප්‍රමිති සහගත වටපිටාවක් සහිත ඉඩක් නිර්මාණය වී ඇති බවත් නව ආයෝජකයන්ට යොදවන ලද මුදල්වලින් ලබාගත හැකි උපරිම ප්‍රයෝජන ලබාගත හැකි බවත් ලොව පුරා සිටින ආයෝජකයන්ට සහතිකයක් මෙමඟින් ලබා දී තිබෙනවා.

එසේම දේශීය වශයෙන් පවතින රැකියා ඉල්ලුම වැඩි ප්‍රතිශතයකින් සපුරා ගත හැකි අතර ඒ යටතේ සෘජු සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් අලුතින් බිහිවේන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කළේ.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ ගංගාරාම සීමාමාලකයට නුදුරින් අක්කර 02 ක භූමි ප්‍රමාණයක මෙම ඇල්ටෙයාර් ගොඩනැගිල්ල ඉදිකර තිබේනවා.

ඇල්ටෙයාර් ගොඩනැගිල්ල සඳහා වන ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 කි.

******************************************

(11.03.2021 – 17:06 +0530 – hirunews.lk/sinhala)

අද (11) පෙරවරුවේ පානදුර මධ්‍යම දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් බොල්ගොඩ ගඟේ දුපත් ආශ්‍රිතව සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් පේරු සිවු දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව ගෝඩා රත්කිරීම සඳහා භාවිතා කල ගැස් උඳුන් 8 ක් කසිප්පු බෝතල් 45 ක් සහ ගෝඩා බැරල් 59 ක් ද සොයා ගැනුනා.

බොල්ගොඩ ගඟේ දුපත් ආශ්‍රිතව මෙවැනි නීති විරෝධී ක්‍රියා බහුලව සිදුවන බවට වලාන දූෂණ මර්ධන ඒකකයට ලැබුනු තොරතුරු මත මෙම වැටලීම සිදු කල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

******************************************

(11.03.2021 – 17:23 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ගුවන් බලපත්‍රයක් සහ ව්‍යාජ වීසා බලපත්‍ර උපයෝගි කර විදේශ ගත වීමට තැත් කළ කාන්තාවක ඇතුළු දෙදෙනෙකු (2) අද අලුයම කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ඒකකයේ නිලධාරින් විසින්. ඉන් එක් අයෙකු 35 හැවිරිදි චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 29 හැවිරිදි කාන්තාව පේරුදුතුඩුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වනවා ෴

******************************************

(11.03.2021 – 17:27 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චි – අම්බාකුලම වැවේ තිබී ඊයේ (10) හමුවූ කාන්තා මළ සිරුර වැවට දමා ඇත්තේ ඝාතනය කිරීමෙන් පසුව බව කිලිනොච්චිය රෝහලේ අද සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ වැවෙහි මසුන් මැරීමට ගිය ධීවරයින් පිරිසක් විසින් මෙම සිරුර සොයා ගෙන තිබූ බවයි. 37 හැවිරිදි මියගිය කාන්තාව කිලිනොච්චියේ කුලී නිවසක පදිංචිව සිටි බව ද අනාවරණ වී තිබෙනවා ෴

******************************************

(11.03.2021 – 17:48 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොළේ තෙල් මිල මේ වනවිට ඉහලගොස් ඇති බව වරාය පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ අනුව මෙරට තෙල් මිල සම්බන්ධයෙන් රජය සාකච්ඡා කරමින් සිටින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා :

******************************************

(11.03.2021 – 17:52 +0530 – hirunews.lk/sinhala)

වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 4.9 කින් අවප්‍රමාණය වී තිබෙනවා.

මහබැංකුව අද (11) ප්‍රකාශ කළේ යූරෝ, ස්ටර්ලින් පවුම්, ඕස්ට්‍රේලියානු ඩොලර් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බවයි.

මේ අතර, ජනවාරි මාසය අවසානයේදී මෙරට දළ නිල සංචිත සටහන් වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8 ක් ලෙසයි ෴

******************************************

(11.03.2021 – 18:07 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දුර්වලතා නිසා රටට විශාල අලාභයක් සිදුවී ඇති බැවින් මේ පිළබඳ වහාම අභ්‍යයන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස ‘පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව’ හෙවත් ‘කෝප් කමිටුව’ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට නිර්දේශ කර තිබෙනවා.

එසේම මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යනය සහ එහි ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ විශේෂ විගණන වාර්තාව අධ්‍යයනයේදී මධයම අධිවේගී මාර්ගයේ තෙවෙනි (3) කොටසේ ඒකක පිරිවැය අනෙකුත් ඒකකවල පිරිවැය හා සැසදීමේදී ඉහළ අගයක් ගන්නා බවද කෝප් කමිටුව පෙන්වාදී තිබෙනවා.

මීට අමතරව කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාත තුල A හා B කාණ්ඩයට අයත් කර්මාන්තශාලා 294 ක් අතරින් A කාණ්ඩයේ කර්මාන්ත 41 ක් සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් රහිතවද, තවත් කර්මාන්ත ශාලා 205 ක බලපත්‍ර නවතා ඇති බවද, කිසිදු සටහනක් නොමැති ඉතා ඉහළ අවධානමක් සහිත කර්මාන්ත ශාලා 17 පවතින බවද නිරීක්ෂණය වී ඇති බවත් මේම වාර්තාවේ ඇතුලත් ෴

******************************************

(11.03.2021 – 18:37 +0530 – hirunews.lk/sinhala)

ආනයනික සීනි සඳහා පනවා තිබු බදු අඩු කිරීම හරහා රජයට රුපියල් බිලියන 15.9 ක අති විශාල මුදලක් අහිමි කිරීම සහ ඒ මගින් ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනුකිරීමට තිරණය කර තිබෙනවා.

හෙට (12) දින පෙ.ව. 10:00 ට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ නීතිඥ සුනිල් වටගල ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙම පැමිණිල්ල ගොනුකිරීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, විල්මා සමාගමේ සභාපති සජාත් මවුසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක සහ නීතිපති යන අය මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් කර තිබෙනවා.

මේ අතර, බෝගල මිනිරන් පතලේ නිරීක්ෂණ චාරිකාවකට අද (11) එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ රජය විසින් අදාල බදු සහනය ලබාදීමට තීරණය කළේ ජනතාවට සහන ලබාදීමට මිස ජාවාරම්කරුවන්ගේ සාක්කු පිරවීමට නොවන බවයි ෴

+++++++++++++++

ඉතිහාසයේ සිදුවු ලොකුම වංචාව ගැන හඳුන්නෙත්ති කියයි

(11.03.2021 – 18:52 +0530 – sinhala.adaderana.lk)

2020 ඔක්තෝබර් මස 14 වැනිදා සිට මේ වසරේ පෙබරවාරි 20 වැනිදා දක්වා වූ කාලය තුළ සීනි ආනයනයේදී වංචාවක් සිදුනොවුනේ නම් රජයට එම මුදලින් කොවිඩ් එන්නත ගෙන්වා මෙරට ජන ගහනයෙන් මිලියන 15 කට පමණ ලබාදීමට හැකියාවක් පැවති බව කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, මෙරට ඉතිහාසයේ සිදුව ඇති ලොකුම වංචාව සීනි ආනයනයේ දී සිදුවු වංචාව බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා :

“මහ බැංකුව මංකොල්ලකන වෙලවේ රනිල් වික්‍රමසිංහලා, අපි ඒක හෙළිදරව් කරන කොට මෙදා විපක්ෂයේ හිටිය මේ ගොල්ලෝ කෑ මොර දුන්නා ඒක තමයි ඉතිහාසයේ දැවැන්තම මංකොල්ලය – හොරකම කියලා. මේ අය බලයට ආවහම ඒක අල්ලනවා කියලා. මේ අය බලයට ඇවිල්ලා ඒක ඇල්ලුවෙත් නෑ. ඒ අය එක්ක යටින් ඩීල් දාගෙන ඒක හංගගෙන ඉන්නවා. දැන් මේ ඉතිහාසයේ ලොකුම වංචාව – වෙලා තියෙන්නේ මොකද්ද, එදා මහ බැංකු මංකොල්ලය කෝටි 1100 නම් දැන් මේක කෝටි 1590 ක්. කොරෝනා වසංගත එන්නත් ගන්න කියලා ලෝක බැංකුවට ගියා මිලියන 1000 ක් හොයා ගෙන. මේ සීනි ගනුදෙනුව සිද්ධ නොවුණානම් ලංකාවට කොරෝනා වසංගතය මර්දනය කරන ඉන්ජක්ෂන් එකට ඩොලර් 5 ගානේ ගණන් හැදුවත් මිලියන 15 ක් ගෙන්න පුළුවන් එන්නත්.”

******************************************

(11.03.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

කොහුවලදී මෝටර් රථයක් තුළ පිළිස්සී මියගිය ව්‍යාපාරිකයාගේ සිරුර සම්බන්ධයෙන් ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදුකිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

ඒ මෝටර් රථයේ මියගොස් සිටින්නේ දැනට වාර්තා වී ඇති භාතිය මාවත ප්‍රදේශයේම පදිංචි ව්‍යාපාරිකයා ද යන්න හඳුනා ගැනීම සඳහායි. කොහුවල – ආසිරි මාවත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි 11:30 ට පමණ 33 හැවිරිදි නසාර් මොහොමඩ් නැමැති මෙම ව්‍යාපාරිකයා ගමන්ගත් ‘වැගන්ආර්’ වර්ගයේ මෝටර් රථය ගිනි ගැනීමට ලක්ව තිබුණා.

+++++++++++

++++++++++++

******************************************

(11.03.2021 – 20:01 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කණගාටුව පළ කර තිබෙනවා. ඔහු පැය 05 කට ආසන්න කාලයක් අද (11) ප්‍රකාශයක් ලබා දුන්නේ අවස්ථා දෙකකදී (2) එහි පැමිණීම පැහැර හැරීමෙන් අනතුරුවයි.

ඒ අනුව අද (11) දිනයේදී අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර, ඔහුගේ සහයට සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් එහි පැමිණ සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ දැන් සිද්ධිය නීතිමය කරුණක් බවට පත්ව ඇති බවයි. එය නිර්මාණය කළ වීඩියෝවක් බව ඔහුගේ නීතිඥවරයා මෙහිදී කියා සිටියා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයාගෙන් ලබාගත් ප්‍රකාශ සම්බන්ධයෙන් අද (11) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඔහු සඳහන් කළේ මන්ත්‍රීවරයාට තමන් සිදුකළ ප්‍රකාශය තහවුරු කිරීමට කිසිදු කරුණක් ඉදිරිපත් කිරීමට නොහැකිවූ බවයි.

ඒ සම්බන්ධයෙන් ඇති වූ මතවාද පිළිබඳව ඔහු කණගාටුව පළ කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. නීතිපති උපදෙස් මත ඉදිරි පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

දරුවන් ගැන අවධානයෙන් සිටින්න

(11.03.2021 – 19:23 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වන පාසල් සිසු සිසුවියන් පිරිසක් මත්පැන් පානය කරන දර්ශන ඇතුළත් වීඩියෝ පටය සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇත්තේ දැඩි සංවාදයක්.

නිල ඇඳුමින් සැරසුණු සිසුවියන් 6 දෙනෙකු ද එම වීඩියෝ පටයේ සිටින අයුරු දැක්වෙනවා.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ වීඩියෝ පට අධ්‍යයනය කරමින් අදාළ සිදුවීම් සිදුවූ ස්ථාන හඳුනා ගනිමින් යම් අපරාධමය වරදක් සිදුව ඇත් ද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් සිදුකරන බවයි.

පසුගියදා පාසල් සිසුවියන් පිරිසක් ගැටුමක් ඇති කර ගන්නා අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද පසුගියදා සමාජ මාධ්‍ය තුල හුවමාරු වනු දක්නට ලැබුණා.

වාර්තා පළ වුණේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවියන් පිරිසක් අතර මෙම ගැටුම හට ගෙන තිබූ බවයි.

පාසල් සිසු සිසුවියන් අතර, මෙවැනි හැසිරීම් ව්‍යාප්තවීම සම්බන්ධයෙන් අප ළමා හා යොවුන් මනෝ වෛද්‍ය විශේෂඥ කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා ගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ කොරෝනා තත්ත්වය හමුවේ දරුවන් වැඩි කාලයක් නිවසේ රැදී සිටීම සහ තාක්ෂණික උපකරණ භාවිතය වැඩි වීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

මේ පිළිබඳව අධ්‍යාපන බලධාරින් මෙන්ම දෙමාපියන් ද අවධානයෙන් කටයුතු කළ යුතු බව ඔහු සඳහන් කළා.

******************************************

(11.03.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයේදී කිසිදු හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය ලබාදිය හැකි බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ රුපියලේ අගයේ තවදුරටත් අවප්‍රමාණය වීම සහ රජය විසින් බදු පැනවීමක් සිදු කළහොත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ යා හැකි බවයි.

මේ අතර, රට තුල පවතින පොල් හිඟය සහ ආනයනික පොල්තෙල් හේතුවෙන් වෙළඳපලේ පොල්තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට මිලිලීටර් 750 පොල්තෙල් බෝතලයක මිල රුපියල් 400 ඉක්මවා අලෙවි වන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම සහල් වල මිල ගණන් ද මේ වනවිට පවතින්නේ ඉහළ මට්ටමකයි ෴

******************************************

(11.03.2021 – 20:10 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට විරෝධය පළ කරමින් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (11) පස්වරුවේ සත්‍යග්‍රහයක් පැවැත්වුණා.

එය නම් කර තිබුණේ ‘යුක්තිය උදෙසා යතිවර පාරමිතාව’ නමින්.

පාස්කු කොමිෂන් වාර්තාවෙන් බෞද්ධ සංවිධාන සහ සිංහල බෞද්ධ නායකයින් නිහඬ කිරීමේ වෑයමට එරෙහිවීම සහ ප්‍රහාරයේ මහ මොලකරුවන්ට නිසි දඬුවම් ලබාදීම මෙන්ම වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට බල කිරීම එහි අරමුණ ලෙස දැක්වුණා ෴

+++++++++++

අදිසි දේශපාලන හස්තයක් හේතුවෙන් පාස්කු කොමිෂන් සභා වාර්තාව විකෘති වෙලා…

(11.03.2021 – 20:56 +0530 – sinhala.adaderana.lk)

අදිසි දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවීම හේතුවෙන් පාස්කු කොමිෂන් සභා වාර්තාව විකෘති වී ඇති බව බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසති.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (11) කොළඹදී පැවති සත්‍යග්‍රහයකට එක්වෙමිනි.

පාස්කු කොමිෂන් වාර්තාව මගින් බෞද්ධ ජනතාවට, බෞද්ධ සංවිධානවලට සහ මහා සංඝරත්නයට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනා පරාජය කිරීමේ අරමුණින් ත්‍රෛයිනිකායික භික්ෂුන් වහන්සේ පිරිසක් අද (11) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සත්‍යග්‍රහයක් පැවැත්වූහ.

එය නම් කර තිබුණේ ‘යුක්තිය උදෙසා යතිවර පාරමිතාව’ නමිනි.

තහනම් කළ යුතු බවට කොමිෂන් වාර්තාවෙන් නිර්දේශ කර ඇති ‘බොදු බල සේනා සංවිධානයේ’ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද ඊට එක්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද සත්‍යග්‍රහයට වැඩම කර සිටියහ.

එහිදී මහා සංඝරත්නය අධිෂ්ඨාන ප්‍රතිඥාවක් ලබාදුන්හ.

******************************************

(11.03.2021 – 21:09 +0530 – hirunews.lk/sinhala)

මේ අතර, මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ අසාද් සාලි සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුකළ යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද අද (11) දේශපාලන වේදිකාවේ තවත් අදහස් පළ වුණා.

++++++++++++

අසාද් සාලි වයස අවුරුදු 12 ක දැරියක් විවාහ කර ගැනීමේ මානසික ව්‍යාධියකින්..

(12.03.2021 – 03:24 +0530 – lankacnews.com)

රටේ නීතියට ප්‍රසිද්ධියේ අභියෝග කරන, වසර 12 ක දැරියක විවාහ කර ගැනීමේ මානසික ව්‍යාධියෙන් පෙළෙන අසාද් සාලි නැමැත්තාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ ඉල්ලා සිටියේය.

තමන් රටේ පවතින නීතියට ගරු කරන්නේ නැති බවත් එය තමන්ට අදාළ නැති බවත් තමන් පිළිගන්නේ මුස්ලිම් නීතිය පමණක් බවත් පවසමින් අසාත් සාලි නැමැත්තා මේ රටේ නීතිගරුක පොදු ජනතාවට සහ තමන්ගේ අන්තවාදී මතවාදයට එරෙහි වන අයට දැඩි තර්ජනයක් සිදුකර ඇතැයි ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය. අප 21 වන සියවසේ ජීවත් වුවත් අසාත් සාලිලා තවමත් ජීවත් වන්නේ ගෝත්‍රික යුගයේ බව පෙන්වා දුන් මොහොමඩ් මුසම්මිල් මහතා මෙම පුද්ගලයා වයස 12 ක දැරියක විවාහ කර ගැනීමේ මානසික ව්‍යාධියෙන් පෙළෙන අයකු බව ද පැවසීය.

සැමට එක් නීතියක් මිස මේ රටේ එක් එක් පුරවැසියන්ට එක් එක් නීති පැවැතිය නොහැකි බවත් ජාති, ආගම්, කුල ආදී වෙනස්කම් මත වෙනම නීති, වෙනම අධිකරණ, වෙනම අධ්‍යාපන පද්ධති අවශ්‍ය නොවන බවත් අවධාරණය කළ මුසම්මිල් මහතා එක් එක් ජනකොටස්වලට තම සිරිත් විරිත්, සංස්කෘතික අනන්‍යතා පවත්වාගෙන යාමට ඉන් කිසිදු බාධාවක් නොවන බවත් වැඩිදුරටත් පැවසීය.

අසාත් සාලිලා වැනි අන්තවාදීන්ට අවශ්‍යවන්නේ ඇඳුමින්, ආහාර භාවිතයෙන්, උසාවි භාවිතයෙන් මුස්ලිම් ජනයා සෙසු ජනයාගෙන් වෙන් කිරීමට බවත් මේ පටු බෙදීම් හදන අන්තවාදීන් පිරිස හෙට දිනයේ ඒ ඔස්සේ ‘සහරාන්ලා පැටව් ගසන තෙක්’ බලා සිටින බවත් ඒ අනතුරින් මුළුමහත් ජාතියම බේරා ගැනීම අප කාගේත් වගකීමක් බවත් මුසම්මිල් මහතා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

******************************************

රියදුරුට වංගුව අමතක වෙයි – කැබ් රිය පල්ලමට

(11.03.2021 – 17:00 +0530 – sinhala.adaderana.lk)

හැටන් ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රිවල මුදල් තැන්පත් කර නැවත යමින් තිබු කැබ් රථයක් වටවල ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පල්ලමකට වැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වටවල පොලීසිය පවසයි.

අද (11) දින සවස 03:30 ට පමණ එම අනතුර සිදු වී ඇත්තේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල දුම්රිය ස්ථානයට පිවිසෙන මංසන්ධියට ඉහළින්ය.

වංගුවක් ආසන්නයේ දී බස් රථයක් පසුකර යෑමට උත්සහ කිරීමේ දී රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව කැබ් රථය එලෙස අනතුරට පත්ව තිබේ.

අදාළ බැංකු ශාඛාවේ මුදල් තැන්පත් කර ආපසු කැබ් රථය මහනුවර දක්වා ධාවනය වෙමින් තිබීය දී අනතුරට ලක්ව ඇති අතර, එහි ගමන් ගත් පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරින්ට හා රියදුරුට තුවාල සිදුව නොමැති බව අප වාර්තාකරු පැවසීය.

අනතුරෙන් කැබ් රථයට දැඩි අලාභ හානි සිදුව තිබේ.

කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ පෙරළී යන අයුරු අසල තිබු ආරක්ෂිත කැමරාවක මෙලෙස සනිටුහන් විය :

******************************************

රජයේ ඉඩම් බැංකුවක් හදන්න තීන්දු කරයි..

(12.03.2021 – 02:21 +0530 – lankacnews.com)

රජයේ ආයතන සතු වගා කිරීමට සුදුසු ඉඩම් පිළිබඳ බැංකු සංචිතයක් ගොඩනැගිය යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ජාතික සම්බන්ධීකරණ කෘෂිකාර්මික අනුකමිටුවේ දී තීරණය කළ බව වාරිමාර්ග හා රාජ ආරක්ෂක ආපදා කළමනාකරණ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඒ එම ජාතික අනු කමිටුවේ සභාපති වරයා වන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ ඊයේ (10) රැස්වූ අවස්ථාවේ දී.

වගා කිරීමට සුදුසු එහෙත් මේ වන විට වගා නොකර ඇති ඉඩම් විශාල ප්‍රමාණයක් රජයේ ආයතන සතුව තිබේ. එම ඉඩම් පාරම්පරික ගොවීන්ට හෝ ගොවිපොළවල් ඇති කිරීමට ලබා දීමට සුදුසු ක්‍රමවේදයක් සකසන ලෙස නිලධාරීන්දට අමාත්‍යවරයා උපදෙස් දෙන ලදී.

රට හදන සෞභාග්‍යයේ දැක්මට අනුව ශ්‍රී ලංකාව ආහාරවලින් පෝෂණය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය ශක්තියක් වීමට මෙම වැඩසටහන රුකුලක් වේ.

  • කුඩා හා මධ්‍ය පරිමාණ ගොවිපොළවල් නිර්මාණය කිරීම.
  • කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීම.
  • යල කන්නය සඳහා පොහොර බෙදාහැරීමේදී නිසි කලට ගොවීන්ට ලබා දීමේ ක්‍රමවේදය
  • මහවැලි ගොවි පොළවල් ඉදිරි වසර තුළ දී ලාභදායකත්වයට පත් කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් ඇති කිරීම
    සහ
  • වන සතුන්ගෙන් බෝගවලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙම කෘෂිකර්ම ජාතික සම්බන්ධීකරණ අනු කමිටුවේ දී සාකච්ඡා කරන ලදී.

රිලවුන්ගෙන් ගොවීන්ට වගා හානි සිදුවීම වළක්වා ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් ඇති කළ යුතු බව මෙහිදී සාකච්ඡා විය.

මෙම අනුකමිටුව සඳහා වාරිමාර්ග, වනජීවී, කෘෂිකර්ම, ඉඩම්, පරිසර හා වැවිලි කර්මාන්ත යන අමාත්‍යාංශ 6 ඇතුලත් වේ.

කෘෂිකාර්මික අනු කමිටු රැස්වීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා එක්ව සිටියේය.

ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ , සිරිපාල ගම්ලත්, අනුරාධ ජයරත්න , විමලවීර දිසානායක, කනක හේරත්, අරුන්දික ප්‍රනාන්දු, ජානක වක්කුඹුර මහත්වරු සහ එම අමාත්‍යාංශ වල ලේකම්වරු මෙන්ම රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියේය.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
මාධ්‍ය ඒකකය
කසුන් විරතුංග

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *