කොළඹ සහ ගම්පහ කොවිඩ් ව්‍යාප්ත වීමේ අධි අවදානමක් සහිත ප්‍රදේශවල අවුරුදු 30 ට වැඩි සියලුදෙනාට එන්නත ලබාදීමට පියවර

කොළඹ සහ ගම්පහ කොවිඩ් ව්‍යාප්ත වීමේ අධි අවදානමක් සහිත ප්‍රදේශවල අවුරුදු 30 ට වැඩි සියලුදෙනාට එන්නත ලබාදීමට පියවර

*********************************************

කොළඹ සහ ගම්පහ කොවිඩ් ව්‍යාප්ත වීමේ අධි අවදානමක් සහිත ප්‍රදේශවල අවුරුදු 30 ට වැඩි සියලුදෙනාට එන්නත ලබාදීමට පියවර

(26.02.2021 – 18:49 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල කොවිඩ්-19 ව්‍යාප්ත වීමේ අධි අවදානමක් සහිත ග්‍රාම නිලධාරී වසම්වල සිටින අවුරුදු 30 සහ ඊට වැඩි සියලුදෙනාට කොවිඩ් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (26) සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ට එන්නත් ලබාදීම සිදු කෙරෙනු ඇති.

එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු අධි අවදානමක් සහිත ග්‍රාම නිලධාරී වසම් හඳුනා ගන්නා ලෙසටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට සහ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාට දැනුම්දී ඇත්තේ.

හඳුනා ගන්නා ග්‍රාම නිලධාරී වසම්වල අවුරුදු 30 සහ ඊට වැඩි ජනතාවට එන්නත ලබාදීමට වසංගත රෝග විද්‍යා අංශය සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබාදී තිබෙනවා.

තෝරා ගන්නා ග්‍රාම නිලධාරී වසම්වල ඉහත වයස් කාණ්ඩයට අයත් ස්ථිරව පදිංචිව සිටින සහ තාවකාලිකව පදිංචිව සිටින ජනතාවට ද එන්නත ලබාදෙන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.

තෝරා ගනු ලබන අධි අවදානම් ග්‍රාම නිලධාරී වසම්වල එන්නත්කරණ මධ්‍යස්ථානවලදී එම ග්‍රාම නිලධාරී වසමට අයත් මහජනතාවට පමණක් එන්නත ලබාදෙන බවට එම මධ්‍යස්ථාන භාර නිලධාරීන් වගබලා ගත යුතු බවට ද දන්වා තිබෙනවා.

++++++++++++++++++++

(26.02.2021 – 17:52 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සහ ආදාහනය කිරීම සඳහා අවශ්‍ය නව මාර්ගෝපදේශ ලබන සතිය මුල ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීම සඳහා ඉඩ සලසන අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (25) රාත්‍රියේ නිකුත් කෙරුණා.

සෞඛ්‍ය ඇමතිනී, පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව මෙතෙක් පැවති ගැසට් නිවේදන මගින් ක්‍රියාත්මක වූ නිරෝධායන නියෝග සංශෝධනයට ලක් කෙරෙනවා.

ඊයේ (25) නිකුත් කරනු ලැබූ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව මෘතදේහ ආදාහනය කිරීම යන්න මෘතදේහ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම යනුවෙන් සංශෝධනය කෙරෙනු ඇති.

එමෙන්ම, යම් තැනැත්තෙකුගේ මෘතදේහය ආදාහනය හෝ භූමදානය කළ හැකිය යන්න ඊට ඇතුළත් වන අතර, තවත් අනු නියෝග කිහිපයක්ද ඒ සඳහා එක්කර තිබෙනවා.

මෙම නව අනු නියෝගවලට අනුව අදාළ මෘතදේහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධිවිධානවලට අනුකූලව නිසි බලධරයා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක බලධාරීයාගේ අධීක්ෂණය යටතේ භූමදානය කළ යුතුයි.

එමෙන්ම, අදාළ කටයුතුවලදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබිය හැකි විධානවලට අනුකූල යම් පියවරද ගනු ලැබිය යුතු බවයි ඊයේ (25) නිකුත් කෙරුණු අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

කොරෝනා මළ සිරුරු භූමිදානය කිරීමට අදාළ මාර්ගෝපදේශ මේ වනවිට සකස් කරමින් පවතින අතර, හෙට (27) දිනයේදී ඊට අදාළ විද්වත් කමිටුව සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ.

ඉන් අනතුරුව කඩිනමින් එම මාර්ගෝපදේශ ප්‍රකාශයට පත්කරන බවයි ඔහු සඳහන් කළේ.

කොරෝනා මරණ සම්බන්ධ අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ උප කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්, මේජර් ජෙනරාල් එස්.එච්. මුණසිංහ මහතා පසුගිය දෙසැම්බර් මාසයේදී පත් කළා.

එහි සභාපති ලෙස පත්කෙරුණේ ශ්‍රී ලංකා එන්නත් හා බෝවන රෝග පිළිබඳ සංසදයේ හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරායි.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිලිවෙත් පිළිබඳව මීට පෙර නිර්දේශ කිහිපයක් ලබාදී තිබුණා.

++++++++++++++++++++++

(26.02.2021 – 18:38 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 247 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 82,180 දක්වා ඉහළ යනවා.

ඉන් ආසාදිතයන් 4096 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 77,625 ක්.

මෙරටින් කොරෝනා වෛරසය ආසාදිත මරණ 459 ක් ද වාර්තාවුනා.

මේ අතර කොවිඩ් ආසාදනය වීමෙන් මෙරට මියගිය පළමු හෙද නිලධාරි මරණය ද ඊයේ (25) වාර්තා වුණා.

53 හැවිරිදි ඇය මාවනැල්ල – ලෝල්ලේගොඩ ප්‍රදේශයේ පදිංචි කාරිනියක් වන අතර එම ප්‍රදේශයේම රෝහලක හෙද නිලධාරිනියක ලෙස රැකියා කර තිබෙනවා.

ඇය පසුගිය 11 වැනිදා රෝගාතුර වී මාවනැල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පසුගිය 22 වැනිදා ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර, විවාහ මංගල උත්සවයකට සහභාගී වූ කාන්තාවන් හදිසියේ ඇද වැටී ජීවිතක්ෂයට පත්වීමෙන් පසු සිදුකළ කොවිඩ් පරීක්ෂාවකදී තහවුරු වී ඇත්තේ ඇයට කොරෝනා ආසාදිත බවයි.

කොටදෙනියාව ප්‍රදේශයේ උත්සව ශාලාවකදී ඊයේ (25) අදාළ මංගල උත්සවය පැවැත් වී තිබෙනවා. මානාලියගේ මිත්තනිය වන ඇය 77 හැවිරිදි කාන්තාවක්.

+++++++++++++++++++++

(26.02.2021 – 19:59 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 5 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 464 ක් ලෙසටයි.

මියගොස් ඇත්තේ නවදගල මහනුවර කොළඹ 09 වේයන්ගොඩ ප්‍රදේශවල පදිංචි අවුරුදු 69, 70 සහ 71 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 4 දෙනෙක් සහ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක්.

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 240 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 82,420 ක්.

අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 487ක් වාර්තාවී තිබෙනවා ෴

++++++++++++++++++++

(27.02.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කොරෝනා අවදානම් සහිත ග්‍රාම නිලධාරි වසම්වල සිටින අවුරුදු 30 ට වැඩි සියලුම පුද්ගලයින්ට මෙන්ම තාවකාලිකව පදිංචිව සිටින ජනතාවටද කොවිඩ් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ග්‍රාමසේවා වසම් මට්ටමින් තොරතුරු රැස් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දීමක් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට සහ කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාට එලෙස තොරතුරු රැස් කරන ලෙස දැනුම් දී ඇති බව සඳහන්.

මේ අතර, අද සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කය තුල එන්නත්කරණ සේවා වලින් ඉවත්වීමට ගම්පහ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති සමින්ද සමරදිවාකර මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ එන්නත් ලබාදීම සඳහා යොදාගැනෙන මධ්‍යස්ථාන ප්‍රමාණය අද (27) සිට අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන ඇති තීරණයට එරෙහිව එම පියවරට එළැඹුණු බවයි.

මේ අතර, ඊයේ (26) ආසාදිතයින් 497 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 82,430 දක්වා ඉහළ ගියා.

ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 78,314 ක්.

දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 4,341 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොරෝනා ආසාදිතව සිටි තවත් 664 දෙනෙකු ඊයේ (26) දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබුණා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 77,625 ක් බවයි.

එමෙන්ම, තවත් කොරෝනා මරණ 05 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 464 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ නවදගල ප්‍රදේශයේ 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, නාරාහේන්පිට ප්‍රදේශයේ 72 හැවිරිදි කාන්තාවක්, මහනුවර ප්‍රදේශයේ 70 හැවිරිදි පුද්ගලයෙකු, කොළඹ 9 ප්‍රදේශයේ 71 හැවිරිදි පුද්ගලයෙකු සහ වේයන්ගොඩ ප්‍රදේශයේ 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

කොරෝනා වෛරසය විනාශ කිරීමේ හැකියාවෙන් යුත් ප්‍රථම මුව ආවරණ තොගය ඊයේ (26) වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ප්‍රදානය කර තිබෙනවා.

නැනෝ තාක්ෂණයෙන් වෛරසය නසන මුව ආවරණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස සිදුකළ නිර්මාණයක් ෴

+++++++++++++++++++++

(27.02.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සහ ආදාහනය කිරීම සඳහා අවශ්‍ය නව මාර්ගෝපදේශ සකස් කිරීම වෙනුවෙන් අද (27)) දිනයේදී ඊට අදාළ විද්වත් කමිටුව රැස්වීමට නියමිතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ අදාළ නිර්දේශ ලබන සතිය මුලදී ප්‍රකාශයට පත්කරන බවයි.

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීම සඳහා ඉඩ සලසන අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරුණා.

සෞඛ්‍ය ඇමතිනී, පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව මෙතෙක් පැවති ගැසට් නිවේදන මගින් ක්‍රියාත්මක වූ නිරෝධායන නියෝග සංශෝධනයට ලක් කෙරෙනවා ෴

@@@@@@@@@@@@@@@

(26.02.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala)

අසල්වැසි ඉඩමක සිට කැපූ කිතුල් ගසකට යටවීමෙන් වැලිපැන්න – ගබඩාහන්දිය ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් අද (26) ජිවිතක්ෂයට පත්වුණා.

ඇය 52 හැවිරිදි වියේ පසුවන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඇය පදිංචි ඉඩමට යාබද ඉඩමේ හිමිකරු තවත් දෙදෙනෙකු (2) සමඟ එක්ව කිතුල් ගස කපා ඇති අතර ඔවුන් එය අඩක් කපා ඔවුන්ගේ ඉඩම දෙසට කඹයක් ආධාරයෙන් ඇදීමට උත්සාහ කළත් ගස අනෙක් ඉඩමට ඇද වැටී තිබෙනවා.

එම අවස්ථාවේ අදාළ ඉඩමේ ළිඳක දියනාමින් සිටි මෙම කාන්තාව ගසට යටවී ඇති අතර බරපතල තුවාල ලැබූ ඇය රෝහල් ගත කරන විටත් මියගොස් සිටියා. ගස කැපූ තිදෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

(26.02.2021 – 20:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට විදේශ විනිමය පිටතට ගලා යෑම අවම කරමින් වාහන ආනයනය කිරීමේ කර්මාන්තය පවත්වා ගැනීමේ සැලැස්මක් සකස් කර ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ පිළිබඳව කරුණු දැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතින් සාකච්ඡාවක් අපේක්ෂා කරන බව එම සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගෝ මහතා ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

පසුගිය වසරේ මාර්තු 19 වැනිදා සිට මෙරටට වාහන ආනයනය කිරීම මුළුමනින්ම අත්හිටුවීමට රජය තීරණය කරනු ලැබුවා.

ඒ හේතුවෙන් ක්ෂේත්‍රයේ සේවයේ නිරත ලක්ෂයකට පමණ රැකියා අහිමි වන අතර, ඔවුන් වෙතින් යැපෙන හාරලක්ෂයක (4,00,000) පමණ පිරිසක් පීඩාවට ලක්ව ඇති බවයි වාහන ආනයනකරුවන් පවසන්නේ.

මාසිකව මෙරට වාහන සඳහා ඉල්ලුම ඒකක 2500 ක් පමණ වන අතර, එය සපුරාලීමට වාහන එකලස් කිරීම පිලියමක් නොවන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අවධාරණය කළා.

***************************************

(27.02.2021 – 06:12 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ 43 වන නවම් මහා පෙරහර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) රාත්‍රී පැවැත් වුණා.

පූජ්‍ය ගලබොඩ ඤාණීස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි ගංඟාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අධීක්ෂණයෙන් පෙරහර සංවිධානය කර තිබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපතිවරයා විසින් සධාතුක කරඬුව, මංගල හස්ථි රාජයා මත තැන්පත් කළ අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙවර පෙරහර සංවිධානය කර තිබීම විශේෂත්වයක්.

උඩරට, පහතරට නර්තන අංග සහ අලි ඇතුන්ගේ සහභාගීත්වයෙන් මෙවර නවම් මහා පෙරහර වර්ණවත් වුණා.

***************************************

(27.02.2021 – 06:39 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි එකමාරකට (1½) අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙකු (2) පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ රාගම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව දෙහිවල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන් සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750 ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 01 ක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

(27.02.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල කොස්ලන්ද – උඩදියලුම දියවලක නෑමට ගිය 09 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (27) පස්වරුවේ මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ සිට තවත් පිරිසක් සමඟ උඩදියලුම සංචාරයක පැමිණි දරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.

හදිසි ඇමතුමකට අනුව අදාළ ස්ථානයට ළඟා වී ඇති පොලීසිය පසුව අතුරුදන් වූ සිසුවා සොයාගෙන තිබෙනවා.

එහෙත් කොස්ලන්ද ප්‍රාදේශීය රෝහලට රැගෙන යන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

(27.02.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව සංශෝධනය කෙරෙනවා.

පසුගිය බදාදා මානව හිමිකම් මණ්ඩලයේ සභාගත කෙරුණු එහි මුල් කෙටුම්පත එලෙස සංශෝධනය කෙරෙන්නේ ලක් රජය සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව අදාළ වෙනස්කම් ඇතුළත් කිරීමට බවයි එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස් නාඩා අල් නෂිෆ් ප්‍රකාශ කළේ.

ඒ අනුව අදාළ වෙනස්කම් ඇතුළත් කර අවසන් කෙටුම්පත සකස් කිරීමට සති 03 ක් පමණ ගතවනු ඇති බවයි නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස්වරිය දැනුම් දුන්නේ.

කෙසේ නමුත්, මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව නියෝජ්‍ය මානව මානව හිමිකම් කොමසාරිස් නාඩා අල් නෂිෆ් වැඩිදුරටත් සඳහන් කළා.

අදාළ යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආකෘති කිහිපයක් සම්බන්ධයෙන් මානව හිමිකම් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය සවිමත් කළ හැකි එම ආකෘති පිළිබඳව මානව හිමිකම් මණ්ඩලය විසින් තීරණය කරනු ඇති බවයි නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය සඳහන් කළේ.

ලක් රජය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ කාර්යාලය අතර විවෘත හා සුහද සබඳතාවක් පවතින බවද නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය මෙහිදී කියා සිටියා ෴

***************************************

(27.02.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)

මේ අතර, පවතින වියලි කලගුණ තත්වය හමුවේ කොළඹ මෙන්ම කොළඹින් පිට ප්‍රදේශ වෙත ලබාදෙන පානීය ජලය තවදුරටත් අඩු පීඩනයක් යටතේ ලැබිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණඩලය පවසනවා.

එහෙත් පවතින තත්වය යටතේ ජලය කප්පාදුවක් සිදුකිරීමට මේ මොහොතේ අවධානය යෙමුවී නොමැති බවයි එහි ප්‍රකාශිකාවක වැඩිදුරටත් සඳහන් කළේ.

කලටුවාව ජලාශයේ ජල මට්ටම අඩි 30 කින් පහත වැටී ඇති නිසා මීපේ, පාදුක්ක, හෝමාගම, මහරගම ඇතුළු කොළඹ තදාසන්න නගරවල ජනතාවගෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි කලටුවාව ජල සම්පාදන ක්‍රමයේ කාර්ය භාර නිලධාරී මාධව ලලිත් අමරතුංග ඉල්ලා සිටින්නේ.

එමෙන්ම, වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් රැසක් පීඩාවටද පත්ව සිටිනවා.

ඔවුන් සඳහා පානීය ජලය ලබාදීමේ කටයුතු බවුසර් මගින් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළා ෴

***************************************

(27.02.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනය කිරීමට සමගි ජන බලවේගය විසින් විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ ඊයේ (26) රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීයි.

අදාළ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමටද එහිදී තීරණය කර තිබෙනවා.

එමෙන්ම, අදාළ වාර්තාව ප්‍රතික්ෂේප කරන බවද සමගි ජන බලවේගය ඊයේ (26) ප්‍රකාශ කළා.

මේ අතර, සමගි ජනබලවේගයේ පළමු සංවත්සරය ලබන මාර්තු මස 15 වනදා කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එදින පස්වරු 2 ට කොළඹ – හයිඩ්පිටියේදී එම සංවත්සර උත්සවය පැවැත්වෙන බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඊයේ (26) පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණයට එළැඹි බවද මන්ත්‍රීවරයා කියා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *