පැමිණිලි 40,000 ක් ළමාරක්ෂක අධිකාරියේ ගොඩගැසේ

පැමිණිලි 40,000 ක් ළමාරක්ෂක අධිකාරියේ ගොඩගැසේ

*********************************************

පැමිණිලි 40,000 ක් ළමාරක්ෂක අධිකාරියේ ගොඩගැසේ

(15.02.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

2011 සිට 2020 දක්වා කාලය තුළ ළමාරක්ෂක අධිකාරියට ලැබී ඇති පැමිණිලි 89,405 න් පැමිණිලි 40,668 කට විසඳුම් ලබාදී නොමැති බවට රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී හෙළිවුණා.

ඒ, ජාතික ළමාරක්ෂක අධිකාරිය සම්බන්ධයෙන් පසුගියදා පැවති කෝප් කමිටු රැස්වීමේදියි.

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවති අතර, එහිදී අනාවරණ වුණේ ළමාරක්ෂක අධිකාරිය විසින් 2016, 2017, 2018 සහ 2019 වසරවලට අදාළ වාර්ෂික වාර්තා කිසිවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවයි.

එසේම ළමා අපයෝජන වැළැක්වීම සඳහා පාසල් ළමාරක්ෂක කමිටු 3,165 ක් පිහිටුවා තිබුණද, මේ වනවිට ක්‍රියාකාරී තත්වයේ පවතින්නේ කමිටු 2,392 ක් පමණක් බවද එහිදී ප්‍රකාශ වුණා.

2011, 2020 අතර කාලය තුළ පැමිණිලි 8,945 ක් ලැබී තිබුණද පැමිණිලි පිළිබඳ මෙහෙයුම් සිදුකිරීමට නීති බලාත්මක කිරීමේ අංශයේ සේවය කිරීමට සිටින්නේ එක් පුද්ගලයෙකු පමණක් වීම කණගාටුවට කරුණක් බවයි කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළේ.

එහිදී කෝප් කමිටු රැස්වීමේදී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සහ එහි නිලධාරීන් අතර සංවාදයක්ද ඇතිවුණා ෴

***************************************

(15.02.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

කැකුළු තුරු උදානය ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ – අටභාගේ විමලධර්ම ජාතික පාසලේදී අද (15) ආරම්භ කෙරුණා.

එහිදී ජනාධිපතිවරයා දරුවන් සමඟ පැල සිටුවීමට ද එක්වූ අතර, වසර 5 ක් තුළ පැල ලක්ෂ 17 ක් දරුවන්ගේ අධීක්ෂණයෙන් පරිසරයට එක් කිරීම රජයේ ඉලක්කයයි.

පැළ බෙදාදීම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයෙන් සිදු කෙරෙන අතර, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් විසින් වාර්ෂිකව දරුවා සහ පැලය පිළිබඳව වාර්තාවක් සැකසීමටද සැළසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා.

මෙහිදී 2021 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා විසින් දරුවෙකුගේ නම ලියාපදිංචි කිරීම ද සිදුකළා.

මේ අතර ජනාධිපතිවරයා උඩගම මහජන ක්‍රීඩාංගනයට රැස්ව සිටි ජනතාව සමඟ සුහද කතා බහකද නිරත වූ අතර ප්‍රදේශයේ ගැටළු සම්බන්ධයෙන් ද විමසා තිබෙනවා.

***************************************

(15.02.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

භාරතීය ජනතා පක්ෂයට හෝ වෙනත් කිසිදු විදෙස් දේශපාලන පක්ෂයකට මෙරට තුළ ලියාපදිංචිවීමට හෝ මැතිවරණවලට තරග කිරීමේ නෛතික හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළා.

1981 අංක එක දරණ පාර්ලිමේන්තු පනත මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවද එම හැකියාව අහුරා ඇති බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂය ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බව එහි හිටපු සභාපති මෙන්ම ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ප්‍රකාශ කර තිබුණා.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රධාන පාලක භාරතීය ජනතා පක්ෂය නෙළුම් මල සළකුණ කරගනිමින් ගෝලීය පක්ෂයක් බවට පත්කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

අමිත් ෂා පාලක භාරතීය ජනතා පක්ෂය තුළ ප්‍රබල භූමිකාවක් නියෝජනය කිරීම හේතුවෙන් ඔහුගේ ප්‍රකාශයට ඉන්දීය මාධ්‍ය පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබුණා.

අමිත් ෂා සිය ප්‍රකාශය මගින් වැඩිදුරටත් පවසා ඇත්තේ ඉන්දියාවේ සියලු ප්‍රාන්තවල බලය අත්පත් කරගැනීමෙන් පසුව මෙලෙස අසල්වැසි ශ්‍රී ලංකාවේ සහ නේපාලයේද සිය පක්ෂය නිර්මාණය කරන බවයි.

භාරතීය ජනතා පක්ෂයේ හිටපු ප්‍රධානියාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් එරට ප්‍රධාන විපක්ෂය වන ඉන්දීය කොංග්‍රසය දැඩි විරෝධය පළ කළා.

එම පක්ෂය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව හෝ නේපාලය වැනි ස්වෛරී රටවල පාලන තන්ත්‍රයන්ට බලපෑම් කිරීමට පාලක භාරතිය ජනතා පක්ෂයට කිසිදු අයිතියක් නොමැති බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රධාන එරට පාලක භාරතීය ජනතා පක්ෂය සැළකෙන්නේ ලොව විශාලතම දේශපාලන පක්ෂය ලෙසටයි.

මිලියන 180 කට වැඩි සාමාජිකයන් පිරිසක් හිමි භාරතීය ජනතා පක්ෂයේ 2018 – 2019 වර්ෂය සඳහා කළ විගණනයේදී පක්ෂයේ වාර්ෂික සමස්ත ආදායම ඉන්දීය රුපියල් කෝටි 2410 ක් ඉක්මවා ඇති බව වාර්තා කර තිබෙනවා.

මූල්‍යමය අතින්ද ශක්තිමත් දකුණු ආසියාවේ බලවත්ම රාජ්‍යය පාලනය කරන දේශපාලන පක්ෂයකට අසල්වැසි රාජ්‍යයක් සඳහා එල්ල කළ හැකි බලපෑම්ද සුළු කොට තැකීමේ හැකියාවක් නැහැ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් සුරැකීමට ඉන්දීය රජය නිරන්තරයෙන් කැපවන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.

ඒ චෙන්නායි හි ඊයේ (14) පැවති ජන හමුවක් අමතමින් ෴

***************************************

(15.02.2021 – 20:59 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගොවීන් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට සමගාමීව මහවැලි අධිකාරියේ මයුරපුර කොට්ඨාස කාර්යාලය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත්වුණා.

ඒ යෝජිත රක්ෂිත කලාපයේ අක්කර 2500 කට වැඩි ප්‍රමාණයක් අනවසර ගොවීන්ට ලබා දීම හරහා තමන් අර්බුද රැසකට මුහුණ දෙන බවට පවසමින් ෴

***************************************

(15.02.2021 – 21:03 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වීමෙන් සිර දඬුවම් විඳීමට සිදුවූ පුද්ගලයින්ට වත්මන් රජය යටතේ සාධාරණයක් ඉටුවිය යුතු බව පවසමින් දේශපාලනඥයින් ඇතුළු විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

***************************************

(15.02.2021 – 21:06 +0530 – hirunews.lk/sinhala)

විකෘති කාමාශාවන් සදහා කුඩා දරුවන් ඇබ්බැහිකර ගන්නා ගනේමුල්ල ප්‍රදේශයේ සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබදව ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු හෙළිකරගත්තා.

අද (15) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

කලක පටන් ගනේමුල්ල – බොල්ලත ප්‍රදේශයේ පිරිසක් වයස අවුරුදු 10 – 13 ආදී වයස්වල පසුවන කුඩා දරුවන් තම විකෘති කාමාශාවන් සංසිදවා ගැනීමට යොදා ගන්නා බවට ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු හෙළි කර ගත්තා.

එම ප්‍රදේශයේ ජීවත්වන වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා මුහුණ දීමට සිටින දරුවෙකුට අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ පට පෙන්වා ළමා අපචාර සිදුකර ඇත්තේ තවත් කාන්තාවකගේ ද සහය ඇතිවයි.

අපයෝජනයට ලක් වු එක් දරුවෙකු තමන් මුහුණදුන් කටුක අත්දැකීම ප්‍රදේශවාසියෙකුට විස්තර කර තිබුනේ මෙලෙසින්.

තවදුරටත් එම ළමා අපයෝජකයන්ට නිදැල්ලේ සැරිසැරීමට ඉඩ නොතැබු ‘හිරු සි.අයි.ඒ.’ කණ්ඩායම මේ පිළිබදව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාව දැනුවත් කරනු ලැබුවා.

ඔහුගේ උපදෙස් මත ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් අද (15) එම ළමා අපයෝජකයන් සොයා වැටලීමක් සිදුකළා.

ඒ පිළිබද තොරතුරු හෙට (16) ‘හිරු සි.අයි.ඒ.’ හරහා ගෙන ඒමට අප සුදානම්.

***************************************

(16.02.2021 – 06:49 +0530 – hirunews.lk/sinhala)

අලි මිනිස් ගැටුම පාලනය කර මිනිස් ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම සදහා ඉදිකරන අලි වැට ආරක්ෂා කිරීම සදහා ‘අලිවැට පුහුණු කිරීමේ බලකායක්’ නැගෙනහිර පළාත තුළ ස්ථාපනය කිරීමට පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පියවර ගෙන තිබෙනවා.

ඒ සදහා වන මූලික සාකච්ඡාවක් පසුගියදා සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වුණා.

ගොවි සමිති නියෝජිතයෙක්, සිවිල් ආරක්ෂක බලකායෙන් සාමාජිකයන් දෙදෙනෙක් (2) , ප්‍රාදේශිය ලේකම් කාර්යාල නියෝජිතයෙක්, ග්‍රාම නිළධාරී සහ වනජීවි දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිළධාරියෙක් මෙම බලකාය සඳහා පත්කර තිබෙනවා.

මෙම බලකායේ අධීක්ෂණ කටයුතු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා සිදු කිරීමට නියමිතයි.

නැගෙනහිර පළාතේ ස්ථාපනය කර ඇති මෙම ‘අලිවැට පුහුණු කිරීමේ බලකාය’ සඳහා ලබාදෙන විශේෂ පුහුණුවක් ලබන මාර්තු මස 02 සහ 03 යන දිනයන් වලදී කුච්චවේලි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි සහ කුඹුරුපිටිය අලිවැට පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙහි දෙවැනි සහ තුන්වන අදියර යටතේ මෙම බලකාය අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක වලද ස්ථාපනය කිරීමට ආණ්ඩුකාරවරිය උපදෙස් ලබාදී තිබෙනවා.

වන අලි පහරදීමෙන් නිරන්තරයෙන් පුද්ගල මරණ වාර්තාවනවා.

එහි ආසන්නතම සිද්ධිය ඊයේ (15) අම්පාර – උහන – වීරගොඩ ප්‍රදේශයෙන් වාර්තාවූ අතර, කුඹුරට යමින් සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව මියගියේ 56 හැවිරිදි එක්දරු පියෙක්.

එමෙන්ම අනුරාධපුර – මැදවච්චිය, කැබිතිගොල්ලෑව, ගලෙන්බිදුණුවැව, පදවිය, තිරප්පනේ සහ තන්තිරිමලේ යන ප්‍රදේශවල ජනතාව වන අලි තර්ජන හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

වන අලියෙකුගේ පහරදීමෙන් පසුගිය 7 වනදා අනුරාධපුරය – අලුත්ගම ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත්වූ අතර, මේ පිළිබඳව බලධාරීන්ට දැනුම් දුන්න ද කිසිදු පියවරක් ගෙන නොමැති බවටයි ජනතාව චෝදනා කරන්නේ ෴

@@@@@@@@@@@@@@@

(15.02.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

මියගිය පසුව කොරෝනා ආසාදිතයකු බවට අනාවරණය වූ තරුණයෙකුගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු අනිද්දා 17 දක්වා සිදු නොකරන ලෙස අභියාචනාධිකරණය අද 15 දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධක්ෂවරයාට සහ එහි අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළා.

ඒ එම තරුණයාගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහිම් ලෙබ්බේ නැමති ත්‍රිකුණාමලයේ පදිංචි පුද්ගලයෙකු ගොනු කළ රිට් පෙත්සමක් අද 15 කැදවූ අවස්ථාවේදීයි.

එමෙන්ම එදිනට අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා, මෙම වගඋත්තරකරුවන් දෙදෙනාට 2 නොතිසි නිකුත් කළා.

පසුගිය ජනවාරි 31 වනදා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී මියගිය 26 හැවිරිදි මෙම තරුණයා කොරෝනා ආසාදිතයෙකු බවට අනාවරණය වීමෙන් පසුව මොහුට යළි පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබෙනවා ෴

+++++++++++++++++++++

(15.02.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව අභාවප්‍රාප්ත වූ හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොටිකාවත්ත ආදාහනාගාරයේදී අද (15) පස්වරුවේ සිදු කෙරුණා.

ඒ, නිරෝධායන නීතීන්ට අනුකූලවයි.

කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කෘතහස්ත දේශපාලනඥයෙකු වන වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා ඊයේ (14) රාත්‍රියේ අභාවප්‍රාප්ත වනවිට 80 වන වියේ පසුවුණා.

1977 වසරේදී මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු ඇමතිවරයෙකු, කථානායකයෙකු ලෙස මෙන්ම ආණ්ඩුකාරවරයෙකු ලෙසද කටයුතු කළා.

මේ අතර, හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා ජනතාවාදී දේශපාලනඥයෙකු, සාහිත්‍යධරයෙකු සහ විචාරකයෙකු ලෙස මෙරට තැබූ සළකුණු තවත් බොහෝ කාලයක් සමාජයේ කථිකාවන්ට මූලබීජ සපයනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

හිටපු කථානාකවරයාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජනතාභිලාෂයන් කෙරෙහි දැඩි අවධානයකින් පසුවූ වි.ජ.මු. ලොකුබණ්ඩාරයන්ගේ දේශපාලන භූමිකාව පක්ෂ විපක්ෂ සියලුදෙනාගේ බුහුමනටද ලක්වූ බවයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙළ හවුලේ සාහිත්‍යධරයෙකු ලෙස සාහිත්‍යයට අනුපමේය සේවයක් ඉටුකළ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා දේශපාලනඥයෙකු ලෙස මාතෘ භූමියේ අභිලාෂයන් වෙනුවෙන් අමිල මෙහෙවරක නිරතවූ බවයි.

++++++++++++++++++++

(15.02.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ලබාදීම හෙට (16) ආරම්භ කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව කතානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 224 දෙනාටම ලබන සිකුරාදා දක්වා යුද හමුදා රෝහලේදී එන්නත ලබාදීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම, ජනාධිපතිවරයාගේ උපදෙස් මත ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ජනතාවට ලබාදීම අද (15) බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරුණු අතර ඒ යටතේ කොළඹ මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ සේවකයින් 552 නෙකු සදහා එන්නත් ලබාදීම සිදුකෙරුණා.

මේ අතර, කොරෝනා නව ප්‍රභේදය සහිත ආසාදිතයින්ගෙන් බහුතරයක් විදේශගතව සිට පැමිණි අය වන බැවින් රට වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩි රෝග පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (15) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ඉන්දියාවේ සීරම් ඖෂධ නිෂ්පාදනාගාරය අතර කොරෝනා එන්නත් මිලදී ගැනීම සඳහා වන ගිවිසුමට සංශෝධන සහිතව නීතිපතිවරයා අනුමැතිය ලබාදී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය කියා සිටියා.

තවත් කොරෝනා ආසාදිතයන් 463 ක් වාර්තාවී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ෴

++++++++++++++++++++

(15.02.2021 – 21:51 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා අසාදිත මරණ 06 ක් තහවුරු වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙරට කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 403 ක් දක්වා ඉහල යනු ඇති.

මරණකරුවන්ගේ විස්තර පහතින් :

කළුතර දිස්ත්‍රික්කයේ 818 වේයන්ගල්ල නැගෙනහිර සහ 818 ඒ වේයන්ගල්ල බටහිර යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකළා බවින් ඉවත් කර තිබෙනවා.

කොවිඩ්-19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *