අපරාධකරුවන් සමඟ ගනුදෙනු ඇති පොලිස් නිලධාරීන් සොයන්න විශේෂ විමර්ශනයක්

අපරාධකරුවන් සමඟ ගනුදෙනු ඇති පොලිස් නිලධාරීන් සොයන්න විශේෂ විමර්ශනයක්

*********************************************

අපරාධකරුවන් සමඟ ගනුදෙනු ඇති පොලිස් නිලධාරීන් සොයන්න විශේෂ විමර්ශනයක්

(07.02.2021 – 20:44 +0530 – hirunews.lk/sinhala)

මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කුඩු මංගලිකා නම් කාන්තාවගේ පුත්‍රයා හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

මේ අතර, විවිධ අපරාධවලට සම්බන්ධ බවට තොරතුරු හෙළිවන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව අමාත්‍ය සරත් වීරසේකර අද (07) පැවති උත්සවයකදී සඳහන් කළා.

***************************************

(07.02.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජය සමයේ සිදු කළ දේශපාලන පළිගැනීම්වලට ලක්වීමෙන් සිර දඬුවම් විඳීමට සිදු වූ අයට වත්මන් රජය යටතේ සාධාරණයක් ඉටු විය යුතු බව පවසමින් දේශපාලඥයින් අදත් අදහස් පළ කළා.

***************************************

(07.02.2021 – 20:02 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික සන්ධානය ඇතුළු තවත් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව දියත් කළ විරෝධතා පාගමන අදින් අවසන් වනවා.

කිලිනොච්චි බස් නැවතුම්පොළොන් පස්වන දිනටත් අද (07) පෙළපාලිය ආරම්භ වූ අතර, එය අවසන් වූයේ යාපනය පොලිගන්ඩි ප්‍රදේශයෙන්.

අතුරුදන්වූ පුද්ගලයින්ට සාධාරණයක් ඉෂ්ට කිරීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සහ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නංවා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතා පාගමන පසුගිය 3 වැනිදා අම්පාර පොතුවිල් ප්‍රදේශයෙන් ආරම්භ වුණා.

***************************************

(07.02.2021 – 21:33 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර පූජා නගරය ආසන්නයේ පිහිටි බුලන්කුලම වැව ආසන්න රක්ෂිතයේ ඉඩම් කට්ටි කර ඔප්පු පවා ලබාදීමට කටයුතු කර ඇති බවට පූජ්‍ය ජබුරේවෙල චන්ද්‍රරතන හිමියන් අද අනාවරණයක් සිදුකළා.

උන්වහන්සේ චෝදනා කළේ එලෙස ඉඩම් ලබාගත් ඇතැමුන් වැව ගොඩ කිරීමට ද කටයුතු කර ඇති බවයි.

***************************************

(07.02.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක් ස්ථාවර මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාව වෙත ලබාදීමේ වැඩසටහන අද සිට ක්‍රියාත්මකයි.

ලංකා සතොස, සමුපකාර සහ කියු ෂොප් අලෙවිසැල් හරහා එම භාණ්ඩ අලෙවි කෙරෙන බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළා.

මිල ස්ථායිකරණය කළ අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක් අද දිනයේ සිට පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට සියලු පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

ඒ අනුව රුපියල් 106ක්ව පැවති රතු කැකුළු කිලෝ ග්‍රෑම් එකක් සහ රුපියල් 105ක්ව පැවති සුදු කැකුළු කිලෝ ග්‍රෑම් එකක නව මිල රුපියල් 93ක් වනවා.

රුපියල් 109ක් පැවති සුදු නාඩු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 13කින් අඩු කර තිබෙනවා.

සම්බා කිලෝග්‍රෑම් එකක මිල අඩු කර ඇත්තේ රුපියල් 21කින්.

කීරි සම්බා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 15කින් අඩු කර තිබෙනවා.

රුපියල් 105ක්ව පැවති තිරිගු පිටි කිලෝ ග්‍රෑම් එකක නව මිල රුපියල් 84ක්.

සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 11කින් අඩුකර ඇති අතර රුපියල් 130ක්ව පැවති ග්‍රෑම් 100ක තේකොළ පැකට්ටුවක් රුපියල් 35කින් මිල අඩුකර තිබෙනවා.

රතුපරිප්පු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 165කට ලබාගත හැකි අතර ලොකු ලුණු කිලෝ ග්‍රෑම් එකක් අලෙවි කෙරෙන්නේ රුපියල් 120කටයි.

දේශීය අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 36කින් අඩු කර ඇති අතර වියළි මිරිස් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 55කින් අඩු කර තිබෙනවා.

දේශීයව නිෂ්පාදිත ග්‍රෑම් 425 ටින් මාළු රුපියල් 220කට ලබා ගත හැකි අතර තායි හාල්මැස්සන් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 125කට ලබා ගත හැකියි.

කුකුළු මස් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 30කින් අඩු කර ඇති අතර කිරි පිටි ග්‍රෑම් 400ක් රුපියල් 25කින් පහත දමා තිබෙනවා.

දෑත් සෝදන දියර මිලි ලීටර් 100 බෝතලයක් රුපියල් 250ක් වන අතර මුව ආවරණයක් රුපියල් 14කට ලබා ගත හැකියි.

මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ලංකා සතොස සමුපකාර සහ කියු ෂොප් අලෙවි සැල් හරහා පාරිභෝගිකයින්ට මිලදි ගැනිමට හැකියාව ඇති අතර මෙම මිළ ගණන් අඩු කිරිම ඉදිරි මාස 03ක කාලය සඳහා ද ක්‍රියාත්මක වනවා.

ව්‍යාපාරිකයන් සහ වෙළඳ අමාත්‍යාංශය අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

***************************************

(07.02.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

ජගත් මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එරෙහිව පසුගියදා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් විදේශ රටවල තනාපතිවරුන් දැනුම්වත් කිරිමේ හමුවක් අද (08) පැවැත්වීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍යංශ්‍ය සඳහන් කළේ විෂය භාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (08) දහවල් 12 ට මෙම හමුව සිදු වන බවයි.

ශ්‍රී ලංකාවට එරෙහිව පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවට ලක් රජයේ විරෝධය ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලය වෙත ලිඛිතව දැනුම්දී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පෙරේදා මහනුවරදී ප්‍රකාශ කළා.

***************************************

(07.02.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සහ එහි නායකත්වය අපකීර්තියට පත් කිරීමට ඇතැම් කණ්ඩායම් දරණ උත්සාහයට නොරැවටෙන ලෙස අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ එරට සියලු පාර්ශවකරුවන්ගෙන් ඉල්ලීමක් කළා.

එමෙන්ම, එම දුර්මත මත පදනම්ව වැරදි අදහස්වල එල්බ නොගන්නා ලෙසත්, ලොවම අඩපන කර ඇති වසංගත තත්ත්වයක් සමඟ පොරබදමින් ඉතා කෙටි කාලයක් තුළ ලක් රජය දියත් කර ඇති සාධනීය කරුණු පැහැදිලිව හඳුනා ගන්නා ලෙසයි තානාපතිවරයා ඉල්ලා සිටියේ.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ 73 වන නිදහස් දින සංවත්සරය වෙනුවෙන් වොෂින්ටන් ඩී.සී. හි තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති උත්සවයේදීයි.

ඒ සඳහා ආගමික නායකයින්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම සහ දකුණු ආසියානු පිළිබඳ කටයුතු පිළිබඳ කාර්යාංශයේ වැඩබලන සහකාර ලේකම් ඩීන් තොම්සන් ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙන්ම තානාපති කාර්යාල නිලධාරීන්ද සහභාගි වී තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එක්සත් ජනපදය පුරා විසිර සිටින ශ්‍රී ලංකා ප්‍රජාව සහ ශ්‍රී ලංකා මිතුරු කණ්ඩායම් අන්තර්ජාලය හරහා මෙම අවස්ථාවට එක්වූ බවයි වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ.

***************************************

(07.02.2021 – 08:30 +0530 – hirunews.lk/sinhala)

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට 2021 වසරේ මේ දක්වා කාලය තුළ විදේශීය සංචාරකයින් 2500 කට අධික සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා.

එය කසක්ස්ථානයේ අස්තානා ගුවන් සේවයටද විවෘත කිරීමෙන් පසු සංචාරකයින් 160 දෙනෙකු පැමිණියේ මෙරට සංචාරක කර්මාන්තය යළි ප්‍රකෘතිමත් කිරීමේ වැඩසටහන අනුවයි.

මෙරට සංචාරක නියෝජිත ආයතනයක් වන එයිට්කන් ස්පෙන්ස් ආයතනය සඳහන් කළේ කසක්ස්ථානයේ සිට සතියකට සංචාරකයින් 350 බැගින් මේ වසරේ අප්‍රේල් මාසය දක්වා ගෙන ඒමට සැලසුම් කර ඇති බවයි.

කසක්ස්ථාන ජාතික ගුවන් සේවය වන අස්තානා ගුවන් සේවයට අමතරව ස්කැට් ගුවන් සේවයද අප්‍රේල් මාසය දක්වා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පියාසර කරනු ඇති.

***************************************

(07.02.2021 – 08:38 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලිපි ලේඛණ සකස් කරමින් රථවාහන ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු කඩුවෙල ප්‍රදේශයේදී මිරිහාන විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පිළිබඳව සිදුකළ විමර්ශනවලදී මෙලෙස සකස් කළ ව්‍යාජ ලිපි ලේඛණ රැසක් සහ තවත් රථවාහන වංචා පිළිබඳව තොරතුරු අනාවරණ කර ගැනීමට හැකි වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

***************************************

(07.02.2021 – 09:20 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය ගෝලීය කොටස් වෙළඳපොල මිල දර්ශක අතුරින් ඉහළම ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන දර්ශකය බව කොළඹ කොටස් වෙළඳපොල ප්‍රකාශ කළා.

පසුගිය 05 වැනිදා ගණුදෙනු අවසන් කරන විට කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය 8275 යි දශම 3 යි 7 ක් ලෙස සටහන් වූ අතර, එය වසර තුළ මේ දක්වා පෙන්නුම් කර ඇති වර්ධනය සියයට 22 යි දශම 1 යි 6 ක්.

ඒ අනුව එම වර්ධනය අනෙකුත් ගෝලීය මිල දර්ශක සියල්ල අභිබවා යන බවයි කොළඹ කොටස් වෙළඳපොල මගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

කොටස් වෙළඳපොලේ ප්‍රධාන පෙලේ සමාගම් විස්ස නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකයද මේ වසර තුළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ අතර, අවසන් ගණුදෙනු දිනයට පසු 3304 යි දශම 3 යි 0 ක් ලෙස සටහන් වුණා.

ඒ අනුව එම දර්ශකයද 2021 වසර තුළ සියයට 25 යි දශම 2 යි 5 කින් වර්ධනය වී තිබෙනවා.

@@@@@@@@@@@@@@

(07.02.2021 – 20:25 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 410 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අද (07) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 772ක්.

අද (07) දිනය තුලදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෙම මරණ 05 සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 356ක් දක්වා ඉහළ ගියා.

අද දිනයේ වාර්තාවන මරණ වක්වැල්ල, වැලිමඩ, පමුණුගම, දුම්මලසූරිය සහ කොළඹ 15 යන ප්‍රදේශ වලින් වාර්තා වනවා.

+++++++++++++++++++++++

(07.02.2021 – 20:58 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ප්‍රතිශක්තිකරන වැඩසටහන යටතේ අද (07) පස්වරු 8.30 වනවිට පුද්ගලයින් 161,773කට කොවිඩ් එන්නත ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය සඳහන් කර සිටියේ අද (07) දිනයේදී 1,625 දෙනෙකුට කොවිඩ් එන්නත ලබාදුන් බවයි.

+++++++++++++++++++

(07.02.2021 – 22:30 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත ශ්‍රමිකයින් කඩිනමින් මෙරටට ගෙනවා ගැනීමට රජය කඩිනමින් කටයුතු කළ යුතු බව ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව පවසනවා.

බත්තරමුල්ලේ පිහිටි ජනතාවිමුක්ති පෙරමුණු පක්ෂ මූලස්ථානයේ අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි නියෝජිතයින් මේ බව සඳහන් කළා.

විදෙස්ගත ශ්‍රමිකයින්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම වාර්තා වුණා.

පවතින කොවිඩ් අවදානමත් සමඟ සිය රැකියා අහිමිව මෙරටට පැමිණීමට නොහැකිව කුවේට් ඇතුළු රටවල් කිහිපයක සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිඟමන් යදින අයුරු දැක්වෙන විඩියෝ දර්ශන පෙළක් අද මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

+++++++++++++++++++

(07.02.2021 – 06:58 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදෙකලා බව අද (08) උදෑසන පහේ සිට ඉවත් කෙරුනා.

ඊට බොරැල්ල පොලිස් වසමේ ගෝතමීපුර මහල් නිවාස සංකීර්ණය ඇතුළු ප්‍රදේශ 4ක්, පූගොඩ පොලිස් වසමේ කුමාරිමුල් ග්‍රාම නිලධාරි වසම, මීනුවන්ගොඩ පොලිස් වසමේ ප්‍රදේශ 04ක් සහ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝලාන දකුණ අයත්.

ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සම්පූර්ණයෙන් හුදෙකලා බවින් නිදහස් වන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

  1. බොරැල්ල පොලිස් වසමේ – ගෝතමීපුර මහල් නිවාසය, ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 78 වත්ත, වේළුවන පාර (දෙමටගොඩ)
  2. පූගොඩ පොලිස් වසමේ – කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසම
  3. මින්වනුගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ‍ – ජුම්මා මස්ජිඩ් මාවත, හිද්‍රා මාවත, අලුත්පාර, අකරගොඩ
  4. අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝලාන දකුණ

++++++++++++++++++

(07.02.2021 – 08:28 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 772ක් ඊයේ (07) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 69,348 දක්වා ඉහළ ගියා.

ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර 65,347 ක් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 5,591 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

ඊයේ දිනයේදී තවත් ආසාදිතයින් 807 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 63,401 ක් දක්වා ඉහළ ගියා.

තවත් කොරෝනා මරණ 05 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 356 දක්වා ඉහළ යනවා.

ඒ අනුව කොළඹ 15 ප්‍රදේශයේ 61 හැවිරිදි කාන්තාවක් කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර වූ ඇදුම රෝගී තත්ත්වය හේතුවෙන් නිවසේදී මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී ලේ විෂවීම නිසා ඇති වූ කම්පන තත්ත්වය සහ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණා.

කොවිඩ් නියුමෝනියාවෙන් වැලිමඩ පදංචි 66 හැවිරිදි කොරෝනා ආසාදිත කාන්තාවක් දියතලාව මූලික රෝහලේදී මියගොස් තිබූ අතර, 84 හැවිරිදි දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිත කාන්තාවක්ද මුල්ලේරියාව මූලික රෝහලේදී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම, පමුණුගම පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 18 ක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එමෙන්ම, කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ සඳහන් කළේ කොරෝනා වෛරසයට එරෙහිව රුසියාවේ සහ චීනයේ නිෂ්පාදිත එන්නත් සම්බන්ධයෙන් ද මේ වනවිට අධ්‍යයනයක් සිදුකරමින් පවතින බවයි.

කොරෝනා එන්නත් ලබාදීම ආරම්භ කළ පසුගිය 29 වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ පුද්ගලයින් එක්ලක්ෂ 61,773 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඊයේ දිනයේදීත් පුද්ගලයින් 1,625 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බවයි එමඟින් සඳහන් කළේ.

+++++++++++++++++++++

(07.02.2021 – 08:34 +0530 – hirunews.lk/sinhala)

දකුණු අප්‍රිකාව විසින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වෛරස් එන්නත භාවිතය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාවෙන් සොයාගත් නව කොරෝනා ප්‍රභේදයට එමඟින් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

දකුණු අප්‍රිකාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් අතරින් 90% ක්ම නව ප්‍රභේදයට ගොදුරු වී ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

සුළු හා මධ්‍යම මට්ටමේ කොරෝනා රෝග තත්ත්වය වැළැක්වීමට ඇස්ට්‍රාසෙනෙකා එන්නත අසමත් බව විද්‍යාඥයින් තහවුරු කරගෙන ඇති කරුණක්.

කෙසේ නමුත්, එමඟින් රෝගය උත්සන්න වීම සහ මරණය වළක්වාලීමට සහයක් හිමිවනවා.

දකුණු අප්‍රිකාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත භාවිතය අත්හිටුවීමට තීරණය කර ඇත්තේ එම එන්නත් මාත්‍රා මිලියනයක් ආනයනය කිරීමෙන් අනතුරුවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *