වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව විධිමත් කිරීමට GMOA වෙතින් යෝජනාවක්

වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව විධිමත් කිරීමට GMOA වෙතින් යෝජනාවක්

*********************************************

වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව විධිමත් කිරීමට GMOA වෙතින් යෝජනාවක්

(04.02.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හමුවේ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව විධිමත් කිරීම සඳහා අවශ්‍ය කරුණු ඇතුළත් යෝජනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

පසුගියදා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට ප්‍රථම වෛද්‍ය මරණය වාර්තාවූ අතර, එය සැළකිල්ලට ගනිමින් අදාළ යෝජනාව සකස් කර ඇති බවයි එම සංගමයේ මධ්‍යම කාරකසභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේ.

ගෙවුණු දින 6 තුළ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයන් 139,914 කට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඊයේ (03) දිනයේ පමණක් 21,147 කට එන්නත් ලබා දී ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මේ අතර, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ කුවේට් හි සිට තවත් ශ්‍රී ලාංකිකයින් 168 දෙනෙකු අද (04) අලුයම මත්තල ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියා.

මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන විදෙස් ශ්‍රමිකයින් ගෙන්වීමේ වැඩපිළිවෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කඩිනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ වන විට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 32,000 ක් පමණ මෙරටට ගෙන්වා ඇති බවත් තවත් 22,483 දෙනෙකු මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

ඊයේ (03) වාර්තා වූ ආසාදිතයින් 711 දෙනාගෙන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

එම සංඛ්‍යාව 236 ක්.

මීට අමතරව ගම්පහින් 93 දෙනෙකු, කුරුණෑගලින් 74 දෙනෙකු, ගාල්ලෙන් 63 දෙනෙකු, මහනුවරින් 60 දෙනෙකු සහ බදුල්ලෙන් 53 දෙනකු වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

එමෙන්ම ගිනිගත්හේන ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු හමුවී තිබෙනවා.

ඒ අතර මාස 3 ක බිළිදෙකු ද සිටින බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

ගිනිගත්හේන – කෙනිල්වත්ත, ගෝනාවල සහ රංජුරාව ප්‍රදේශවලින් මෙම ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම, වටවල පෞද්ගලික ඇගලුම් කර්මාන්තශාලාවක ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයින් 14 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

+++++++++++++++++++++

(04.02.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 60,000 ඉක්මවා තිබෙනවා.

ඒ අද (04) දිනයේ තවත් ආසාදිතයන් 684 ක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 60,567 ක්.

මෙරටින් මේවන විට කොරෝනා ආසාදිතයන් 66,409 ක් හමුවී ඇති අතර ඉන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින්නේ 5510 ක් පමණයි.

මෙරටින් කොරෝනා මරණ 332 ක් ද වාර්තාවුණා.

මේ අතර බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ තවත් රෝගියෙකුට කොරොනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

ඒ සමඟම ඔහු රැදී සිටි වාට්ටුවෙහි නේවාසිකව ප්‍රතිකාර ලැබූ තවත් 6 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@

(04.02.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරාගත් නැගෙනහිර පර්යන්තය වසර 2023 වනවිට සම්පූර්ණයෙන් සංවර්ධනය කර අවසන් කරන බව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමිනුයි සභාපතිවරයා මෙම අදහස් පළ කළේ.

මේ අතර ගාල්ල වරායේ අක්කර 7 කට ආසන්න භූමි ප්‍රමාණයක් පෞද්ගලික අංශයට වසර 30 ක කාලයක් සඳහා බදු දීමට සැලසුම් කර තිබෙනවා.

ගාල්ල වරායේ කුඩා යාත්‍රා අංගනයේ මෙහෙයුම් සිදුකිරීම සඳහා මෙම කොටස ලබාදීමට සූදානම් කර ඇති බවටයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අප වරාය අධිකාරියේ තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂ සුසන්ත අබේසිරිවර්ධන මහතා ගෙන් විමසීමක් කළ අතර, ඔහු සදහන් කළේ මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් කුඩා යාත්‍රා අංගනයේ මෙහෙයුම් කටයුතු පෞද්ගලික අංශයට බදුදීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත්, වරායේ අනෙකුත් මෙහෙයුම් කටයුතුවලට එමගින් කිසිදු බලපෑමක් සිදුනොවන බව ද ඔහු සදහන් කළා.

මීට අමතරව ත්‍රිකුණාමල වරාය ද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙලෙස පෞද්ගලික අංශය හා එක්ව මෙහෙයුම් සිදුකිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි වරාය අධිකාරියේ තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂ සුසන්ත අබේසිරිවර්ධන මහතා කියා සිටියේ.

ඊට අමතරව දික්ඕවිට වරාය කෙරෙහි ද අවදානය යොමුව ඇති අතර, සංචාරකයින්ගේ ආකර්ශනය වැඩි වශයෙන් ලබාගෙන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා ප්‍රකාශ කළේ සංචාරක ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට පෞද්ගලික අංශයට ලබා නොදී වරාය අධිකාරියටම එම කටයුතු සිදුකිරීමට හැකියාව පවතින බවයි.

අනෙකුත් වෘත්තීය සමිති සමග සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඔහු සදහන් කළා ෴

***************************************

(04.02.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

මුදල් වෙන් කලද අඩක් නිම කල වැව් බැම්ම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවින් පිරිසක් පිළිබඳව පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැල්ලෑව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම වැල්ලෑව ඇඳගල වැව නිකරුණේ ජලය අපතේ නොයවා බැම්ම ඉදිකර දීමට හැකිනම් තවත් කුඹුරු අක්කර 300 කට වැඩි ප්‍රමාණයක් අස්වැද්දිය හැකි බවයි ජනතාව පවසන්නේ.

මේ අතර ගම්මානයේ පවුල් 400 කගේ පමණ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන වන සඳහා ජලය ලබාගනු ලබන්නේද මෙම ඇඳගල වැවෙන්.

***************************************

(04.02.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

වැල්ලම්පිටිය – වෙලේවත්ත ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ඔහු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ 34 හැවිරිදි මෙම සැකකරු අද (04) දහවල් වෙලේවත්ත ප්‍රදේශයේ සිය නිවසට පැමිණ ඇති බවට ලද තොරතුරකට අනුවයි ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලම්පිටිය පොලීසියේ නිළධාරීන් පිරිසක් අද (04) දහවල් 12 ට පමණ එම ස්ථානයට ගොස් ඇත්තේ.

මාස කිහිපයක සිට දහවල් කාලයේ එම ප්‍රදේශයේ නිවෙස්වලට පැන මාල කොල්ලකෑමේ සිදුවීම් පොලිසියට වාර්තා වී තිබුණා.

පුද්ගලයන් 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම ජාවාරම සිදුකරන බවටයි පොලිසිය හෙළිකරගෙන ඇත්තේ.

එම හතරදෙනාගේ (4) කණ්ඩායමේ එක් අයෙක් මෙලෙස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය උත්සාහ කර ඇති අතර සැකකරු ඊට ප්‍රතිරෝධය පෑම හමුවේ වෙඩි තැබීමට සිදුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

එහිදී අදාළ සැකකරුගේ පාදයකට තුවාල සිදුවී ඇති අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව සඳහන්.

සැකකරු එම ප්‍රදේශයේ නිවෙස්වලට පැන රන් මාල කොල්ලකෑමේ සිදුවීම් 4 කට සම්බන්ධ බවට අනාවරණ වී ඇති අතර ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවට ද හෙළිවී තිබෙනවා.

මෙම ජාවාරමට සම්බන්ධ අනෙක් සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය කියාසිටියේ ෴

***************************************

(04.02.2021 – 15:24 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජාතික උරුමයන් නිශ්චිතව තීරණය කිරීම හා හඳුනාගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ අතුරු වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී තිබෙනවා.

විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඒ සඳහා පත් කළ 16 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුව අදාළ වාර්තාව භාරදුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

අතුරු වාර්තාව අනුව ඉදිරිපත් කරන යෝජිත ක්‍රමවේදය, මහජන අදහස් ලබාගැනීම සඳහා ලබන 8 වනදා ජාතික පුවත්පත්වල ප්‍රසිද්ධ කිරීමට නියමිතව තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ඉල්ලීමකට අනුව අග්‍රාමාත්‍යවරයා විසින් මෙරට ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනාගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතියද ලබාගත්තා ෴

***************************************

(04.02.2021 – 15:25 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවට පළාගොස් ඇති බවට සැක කෙරෙන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ශිවා’ නොහොත් ‘නන්දකුමාර් ශිවනන්දන්’ ගේ බිරිඳ ලෙස සැළකෙන කාන්තාවක් හෙරොයින් සමඟ තලාහේන ජයමාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 7 යි මිලිග්‍රෑම් 250 ක් සොයාගෙන ඇති අතර, 44 හැවිරිදි ඇය කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි ‘නෝනා ෂෙරීන් ෂෙයික් අහමඩ්’ බවයි පොලීසිය ප්‍රකාශ කළේ ෴

***************************************

(04.02.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

හම්බෙගමුව, උඩවලව සහ නාලිය රක්ෂිත ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකින් ගංජා සහ මෙරට නිශ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කතරගම, උඩවලව, සූරියවැව, අම්බලන්තොට සහ හම්බන්තොට යන විශේෂ කාර්ය බලකා කඳවුරුවල නිලධාරීන් 50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දින 3 ක් පුරා මෙම වැටලීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී මහා පරිමාණ ගංජා හේන් 7 ක් සහ ගංජා පැල තවානක් සොයාගෙන තිබෙනවා.

මෙම මෙහෙයුමේදී උඩවලව රක්ෂිතය, මව්ආර, හම්බෙගමුව, නාලිය රක්ෂිතය ඇතුලු ප්‍රදේශ රැසක් විශේෂ සෝදිසියකට ලක්කර තිබෙනවා.

එක් සැකකරුවෙකු මෙරට නිශ්පාදිත ගිනි අවියක් සමග අත්අඩංගුවට පත්වී ඇත්තේ දඩයමේ යමින් සිටියදීයි.

ගංජා හේන් ගිනි තබා විනාශකර ඇති අතර සැකකරුවන් වැඩිදුර විමර්ශණ සඳහා සූරියවැව සහ තණමල්විල පොලිස් ස්ථාන වෙත භාරදී තිබෙනවා.

මේ අතර යාල රක්ෂිතයේ ගෝනගංආර ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ගංජා හේන් 5 ක් වටලා සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙහිදී රුපියල් කෝටි 5 ක් පමණ වටිනා ගංජා ශාක එක්ලක්ෂ පනස් දහසක් (1,50,000) පමණ විනාශ කළ බවයි.

දීර්ඝ කාලයක් පුරා රක්ෂිතය තුල ගංජා වගාවන් සිදුවන බවට පොලිසියට ලැබී තිබූ තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබුණා.

අත්අඩංගුවට පත්වූ සැකකරුවන් අවුරුදු 40 සහ 48 වයස්වල පසුවන සෙල්ලකතරගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

(04.02.2021 – 10:40 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා රේගුවේ සියලු නිලධාරින් දූෂිත නැතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහස තමන්ට පිළිගන්නට බැරි බවත් රේගුවේ සිටින 15% ක් පමණ පිරිසක් දුෂිත බවත් ඔහු පෙන්වා දෙයි.

රේගුවේ සිටින දුෂිතයන් තමන් දන්නා බවත් ඔවුන්ගේ තොරතුරු තමන් සතු බවත් ඒ මහතා කියයි.

ජනාධිපති තුමන්ට තමන් ධුරයෙන් ඉවත් කිරීමේ වුවමනාවක් තිබෙනවා දැයි නොදන්නා බවත් ඇතැම් අය බලපෑම් කරන්නේ දැයි නොදන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

***************************************

මුදල් අමාත්‍යතුමාගේ ගැසට් නිවේදනය අත්හිටුවූයේ මුදල් අමාත්‍යාංශයෙන් ලද උපදෙස් මතයි – ආනයන අපනයන පාලක ජෙනරාල් දමයන්ති එස්. කරුණාරත්න

(04.02.2021 – 12:34 +0530 – lankaleadnews.com)

මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ගැසට් නිවේදනයක්, මුදල් අමාත්‍යාංශයෙන් ලද උපදෙස් මත අවලංගු කිරීමට තමන් පියවර ගත් බවත් එයට පසුබිම් වූ කාරණා මෙම අවස්ථාවේ හෙළි කළ නොහැකි බවත් ආනයන අපනයන පාලක ජෙනරාල් දමයන්ති එස්. කරුණාරත්න මහත්මිය සඳහන් කරන්නීය.

කෙසේ නමුත් එය පැය කිහිපයක් ඇතුලත අත්හිටුවූ නිසා කිසිවකුට ඉන් බලපෑමක් සිදු නොවූ බව ‘සිරස රූපවාහිනිය’ වෙත අදහස් පල කරමින් ඇය පවසා සිටියාය.

කෙසේ නමුත් මුදල් අමාත්‍යාංශයේ ඉහළම බලධාරියා වන මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද ටයිල් ආනයන තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය එම අමාත්‍යාංශයේ පහළ නිලධාරිණියක් වන ආනයන අපනයන පාලක ජනරාල්වරිය විසින් අහෝසි කර තිබීම විශේෂත්වයකි.

OI_23-2020-Imports-and-Exports-Control-Regulation (pdf file)

++++++++++++++++

03-02-2021
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *