මත්පැන් සහ දුම්වැටි භාවිත කරන්නන්ට එන්නත නොදිය යුතු බවට යෝජනාවක්

මත්පැන් සහ දුම්වැටි භාවිත කරන්නන්ට එන්නත නොදිය යුතු බවට යෝජනාවක්

*********************************************

මත්පැන් සහ දුම්වැටි භාවිත කරන්නන්ට එන්නත නොදිය යුතු බවට යෝජනාවක්

(03.02.2021 – 19:57 +0530 – hirunews.lk/sinhala)

මත්පැන් හා දුම්වැටි පානය කරන්නන්ට කොරෝනා එන්නත් ලබාදීම මගින් මුදල් අපතේ යාමක් සිදුවන දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

එබැවින් ඔවුන්ට එම එන්නත් ලබාදීම සිදුනොකළ යුතු බවටයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් කොරෝනා වෛරසය පැතිරීම වළක්වන බව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සිදුකළ නවතම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

එන්නත ලබා ගත් පුද්ගලයෙකුගෙන් වක්‍රව වෙනත් අයෙකුට වෛරසය ආසාදන වීම සිදුනොවන බවයි එමගින් තහවුරු වී ඇත්තේ.

මේ අතර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා මහතාට කොරෝනා ආසාදනය වී තිබෙනවා. පසුගිය ඉරිදා ඔහුට ඇති වූ රෝග ලක්ෂණ මත සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

ගාල්ල – බෝපේ – පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද සිදුකළ අහඹු කොවිඩ් පරීක්ෂණයකදී සමාජ සේවා අංශයේ නිලධාරිනියකට කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු එම අංශය දහවල් සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගැණුනා.

අනතුරුව වක්වැල්ල පාරේ පිහිටි දකුණු පළාත් ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කරන ඇයගේ සැමියාට ද සිදුකළ කොරෝනා පරීක්ෂණයකදී ආසාදිතයෙකු බවටයි හදුනාගෙන ඇත්තේ.

එම තත්ත්වය හමුවේ ගාල්ල මහින්ද විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සහ සවුත්ලන්ඩ් විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔවුන්ගේ දරුවන් දෙදෙනාට (2) ද කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු ඔවුන්ට ද වෛරසය ආසාදිත බවට හෙළි වී තිබෙනවා.

ඒ අනුව එම පාසල් දෙකෙහි (2) අදාළ දරුවන් දෙදෙනාගේ (2) ආශ්‍රිත සිසුන් නිරෝධායනයට ලක් කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ.

එමෙන්ම රිදීමාලියද්ද – ගැමුණුපුර ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 176 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් අදාළ ඇඟළුම් කර්මාන්තශාලාව සති දෙකක (2) පමණ කාලයක් වසා දැමීමට පියවර ගැනුණා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් තුන් කෙනෙකු (3) සහ හෙද කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂවරයා සදහන් කළේ තවත් වෛද්‍යවරුන් 7 දෙනෙකු, හෙද කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු නිරෝධායනය සදහා යොමු කර ඇති බවයි.

මේ හේතුවෙන් රෝහලේ 25 වන වාට්ටුව තාවකාලිකව වසා දමා තිබෙනවා.

විවිධ ප්‍රදේශවලින් තම වාස භූමි වෙත පැමිණෙන පිරිස් හේතුවෙන් ආදීවාසී ජනතාවට ද කොරෝනා පැතිරීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ පිළිබඳව බලධාරින්ට දැනුම් දුන්නද මෙතෙක් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බවයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රකාශ කළේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ ක්‍රීඩක ළහිරු තිරිමාන්නට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර ඊයේ සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලදී ඔවුන් දෙදෙනාට (2) කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, සහායකයින් ඇතුළු 36 දෙනෙකු අදාල පී.සී.ආර්. පරික්ෂණයට ලක් කර තිබුණා.

ඒ අනුව දෙරට අතර තරඟ සංචාරය කල් දැමීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළේ.

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 20 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණා.

තවත් කොරෝනා ආසාදිතයන් 357 ක් වාර්තාවී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

අද (03) දිනයේත් කොරෝනා මර්ධන එන්නත් 21,147 ක් එන්නත්කරණය සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මේ දක්වා මෙරට කොරෝනා එන්නත්කරණය සිදුකර ඇති සංඛ්‍යාව 139,914 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ ෴

තවත් කොරෝනා අසාදිත මරණ 04 ක් වාර්තාවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 332 ක්.

මේ අතර අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පෙබරවාරි මස 01 වනදා වාර්තා කර ඇති රෝගීන් දෙදෙනෙක් (2) ප්‍රමාද දෝෂයක් හේතුවෙන් පෙබරවාරි 02 වනදා නැවත වාර්තා කර ඇති බවයි.

++++++++++++++

+++++++++++++++++++

(03.02.2021 – 20:47 +0530 – sinhala.adaderana.lk)

මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා විසින් පත්කළ කොමිසමේ නිර්දේශ අනුව මෙම ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

සතියක කාලයක් ඇතුළත ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) සමඟ සාකච්ඡා කර විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව ඔවුන්ගේ ඥාතීන් හා මහජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 32,000 ක් පමණ මෙරටට ගෙන්වාගෙන ඇති අතර තවත් 22,483 දෙනෙක් සිය මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටී ෴

++++++++++++++++++++

(03.02.2021 – 16:23 +0530 – sinhala.adaderana.lk)

නිරෝධායන වෙමින් සිටි පල්ලේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවසක් බිඳ එහි තිබු මුදල් සහ ඔහුගේ දේපලවලට අදාළ ලියකියවිලි රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

නිවෙස් හිමියා පවසන්නේ මේ සම්බන්ධයෙන් දෙනියාය පොලීසියට පසුගිය 31 වනදා සිය ඥාතියෙකු විසින් පැමිණි කළද මෙතෙක් කිසිදු පියවරක් නොගෙන ඇති බවය.

පසුගිය 21 වනදා සිදුකළ PCR පරික්ෂණයකින් පසුව තමන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වු බවත් පසුව 23 වනදා තමන්ව ප්‍රතිකාර සඳහා යොමුකළ බවත් ඔහු පවසයි.

ඉන් පසුව ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනෙකුට (2) සිදු කළ PCR පරික්ෂණ අනුව ඔවුන්ට ද වෛරසය වැළඳි ඇති බව තහවුරු වු බැවින් ඔවුන් ද ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.

ප්‍රතිකාරවලින් අනතුරුව සුව වු පසු ඔහු ඊයේ (02) උදැසන සිය නිවසට ගොස් තිබේ.

ඒ වනතෙක් පොලීසිය සොරකම පිළිබඳ ව සොයාබැලීමට තම නිවසට පැමිණ නොමැති බව ඔහු පවසයි.

තමන් නැවතත් ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කළ පසු පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ නිවස විෂබිජානුහරණය කර නොමැති බැවින් විමර්ශන සඳහා පැමිණිමට නොහැකි බවය.

එහෙත් බටපොළ ප්‍රාදේශීය සභාව විසින් සිය නිවස විෂබිජානුහරණය කරඇති බව සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් තහවුරු කළ බව ඔහු පැවසීය.

@@@@@@@@@@@@@@@@@

(03.02.2021 – 20:43 +0530 – hirunews.lk/sinhala)

මහජන උපයෝගීතා කොමිසමේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු සභාවේ බහුතර අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එම කොමිසමේ නව සභාපති වන්නේ ජනක රත්නායක මහතා වන අතර සෙසු සාමාජිකයන් වන්නේ චතුරිකා විජේසිංහ, මොහාන් සමරණායක, උදේනි වික්‍රමසිංහ සහ මහාචාර්ය ජනක ඒකනායක මහත්ම මහත්මීන් ය ෴

***************************************

(03.02.2021 – 20:49 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ඉන්දියානු මැදිහත්වීම් නතර කරන ලෙස බලකරමින් ජාතික ගොවිජන එකමුතුව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට සන්දේශයක් භාරදුන්නා.

ජාතික ගොවිජන එකමුතුව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෙකුට මෙම සන්දේශය බාරදීම සඳහා පැමිණියේ විරෝධතා පා ගමනකින්.

මේ අතර කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනය සඳහා විදෙස් සමාගම් හවුල්කරගැනීමට අදාළ කැබිනට් අනුමැතියට එරෙහිව අද (03) කොටුව දුම්රියපොල ඉදිරිපිටදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද පත්‍රිකා බෙදාදීමක් සිදුකළා.

මේ අතර කොළඹ වරායේ සංවර්ධන කටයුතු පිළිබඳව අදත් (03) විවිධ පාර්ශ්ව අදහස් පළ කළා ෴

+++++++++++++++++

නැගෙනහිර පර්යන්තය ලබා ගැනිමේන් පසු රට කොතනටද? – වෛද්‍ය වසන්ත බණ්ඩාර

***************************************

(03.02.2021 – 19:58 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ අනවසර වගා කටයුතු නැවතත් ආරම්භ කර ඇති බවට භික්ෂූන්වහන්සේ ඇතුළු ප්‍රදේශවාසින් චෝදනා කරනවා.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය තුළ අනවසර වගා කටයුතු සහ ගවයින් ඇතුළු කිරීම මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් සිදුවන ආකාරය පිළිබද මීට පෙර හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණය කළා.

අනතුරුව අධිකරණ නියෝගයක්ද නිකුත් කෙරුණේ වනෝද්‍යානය තුළ සියළු අනවසර වගා කටයුතු තහනම් කරමින්.

කෙසේ වෙතත්, නැවතත් ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය තුළ අනවසර වගා කටයුතු ආරම්භ කර ඇති බවයි ප්‍රදේශවාසින් චෝදනා කළේ.

ප්‍රදේශයේ භික්ෂුන්වහන්සේලා, පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානය, ජලගැලුම් නිම්න සුරැකීමේ ජනතා ව්‍යාපාර මෙන්ම ඕනෑගම සංවිධානය එක්ව මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අද (03) පෙරවරුවේ පොළොන්නරුව වනජීවි කාර්යාලයට පැමිණියා.

එහිදි ඔවුන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාට හා පොළොන්නරුව කලාප වනජීවි කාර්යාලයට සංදේශයක් ද භාර දුන්නා.

කෙසේ වෙතත්, එම ස්ථානයේ සිටි පොළොන්නරුව සහකාර වනජීවි අධ්‍යක්ෂ ඩබ්ලිව්. එම්.කේ. චන්ද්‍රරත්න මහතා සදහන් කළේ වහාම ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ අනවසර වගා කිරීම් සම්බන්ධව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඒ අනුව ක්‍රියාත්මක වු පොලොන්නරුව වනජීවි කාර්යාල නිලධාරීන් අද (03) සිදුකළ මෙහෙයුමකදි පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයට අයත් වෙහෙරගොඩ යාය ප්‍රදේශයේ අනවසරයෙන් වගා කටයුතු සිදුකළ 13 දෙනෙකු සිය භාරයට ගනු ලැබුවා ෴

++++++++++++++

***************************************

(03.02.2021 – 20:13 +0530 – hirunews.lk/sinhala)

හෙට (පෙබරවාරි 04) දිනට යෙදෙන 73 වන නිදහස් දිනය වෙනුවෙන් දිවයින පුරා බන්ධනාගාර තුලින් රැඳවියන් 146 දෙනෙකු විශේෂ සමාවක් ලබාදීමට අතිගරු ජනාධිපති තුමා විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව දඬුවම් ගෙවා ඇති වසරකට (1) හෝ ඉන් කොටසකට මාස එකක (1) සමාවක් ලබාදීමටත් ගෙවීමට ඇති දඩ අහෝසි කිරීමටත් වයස අවුරුදු 65 ට වැඩි දඬුවමින් අඩක් ගෙවා ඇති සිරකරුවන් නිදහස් කිරීමටත් තීරණය කර තිබෙනවා.

එමෙන්ම වයස අවුරුදු 50 ට වැඩි වසර 25 කට වඩා සිරදඬුවම් විඳ ඇති සිරකරුවනුත් නිදහස් කිරීමටයි තීරණය කර ඇත්තේ.

තරුණ වරදකරුවන් අතුරින් තම දඬුවම් කාලයෙන් හරි අඩක් ගෙවා ඇති සිරකරුවන් නිදහස් කිරීමටත් පියවර ගනිමින් සිටිනවා.

ඒ අනුව හෙට (පෙබරවාරි 04) දින දිවයින පුරා බන්ධනාගාර තුලින් රැඳවියන් 146 දෙනෙකු නිදහස් වීමට නියමිතයි.

පසුගිය දින වලදී කොරෝනා වසංගත තත්වය සහ නත්තල නිමිති කරගෙන සමාවන් ප්‍රධානය කිරීම හේතුවෙන් මෙම සමාවේදී නිදහස් වීමට සිටින සිරකරුවන් ප්‍රමාණය අඩුවී තිබෙනවා ෴

***************************************

(03.02.2021 – 22:37 +0530 – hirunews.lk/sinhala)

‘ගම සමඟ පිළිසඳරක් – වැඩසමඟ යළි ගමට’ වැඩසටහන යටතේ එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර මෙරට සියලුම නිවාසවලට විදුලිය හා ජල සැපයුම් ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (03) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

***************************************

(03.02.2021 – 22:39 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ අධිකරණයට සිදුකළ බලපෑම් සහ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා.

***************************************

(03.02.2021 – 22:42 +0530 – hirunews.lk/sinhala)

යාල ජාතික වනෝද්‍යාන පිවිසුම ආසන්නයේ ඉදි කෙරෙමින් පවතින සංචාරක මණ්ඩල ගොඩනැගිල්ලක් හේතුවෙන් පරිසර ගැටලුවක් හටගෙන තිබෙනවා.

පරිසරවේදීන් පෙන්වා දෙන පරිදි මෙම ඉදිකිරීම සිදුකරන්නේ අලි ඇතුන් ඇතුළු වන සතුන් නිරන්තරයෙන් හුවමාරුවන ප්‍රදේශයකයි.

***************************************

කේබලයක් ආධාරයෙන් මල්වතු ඔය තරණය කරන ගම්වාසීන්

(03.02.2021 – 14:30 +0530 – sinhala.adaderana.lk)

එදිනෙදා කටයුතු වෙනුවෙන් සිය ජීවිතය අවදානමක හෙළමින් මල්වතු ඔය තරණය කරන ගම්වාසීන් පිරිසක් පිළිබඳව ‘අද දෙරණ’ ට වාර්තා විය.

අනුරාධපුර හිදෝගම කුඩා නෙලුබෑවේ සිට අනුරාධපුර නගරය වෙත මල්වතු ඔය හරහා යෙදී ඇති කෙටිම මාර්ගය මෙය වේ.

ඒ ඔය හරහා යෑමට පාළමක් නොමැති බැවිනි.

මල්වතු ඔයේ කිඹුල් ගහනය වැඩිවීම නිසා තම ජීවිත අවදානම ද නොතකා එම කේබලයක අධාරයෙන් ඔය හරහා යෑමට ගම්වාසීන්ට සිදුව තිබේ.

ගම්වාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ කේබල් පාලමද ඉතා අබලන් තත්ත්වයක පවතින පසුබිමක ස්ථිර පාලමක් ඉදිකිරීම සඳහා බලධාරීන්ගේ අවදානය යොමු වෙතැයි ඔවුන් අපේක්ෂා කරයි.

***************************************

73 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා

(04.02.2021 – 06:18 +0530 – hirunews.lk/sinhala)

ඒ අනුව රාජ්‍ය නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරස්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්.

කොරෝනා වසංගත තත්වය හමුවේ මෙවර නිදහස් දින සැමරුම පැවැත්වෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව වීමත් විශේෂත්වයක්.

නිදහස් දින සමරු උළෙලේ ආචාර පෙළපාලිය සඳහා යුද හමුදාවේ 3,271 ක්, නාවික හමුදාවේ 808 ක්, ගුවන් හමුදාවේ 997 ක් සහ පොලීසියේ 664 ක් එක්වනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ 432 දෙනෙකු, සිවිල් ආරක්ෂක බලකායේ 558 දෙනෙකු සහ ජාතික ශිෂ්‍ය භට බලකා නිලධාරීන් 336 දෙනෙකු ද නිදහස් දින සැමරුම් උළෙල සඳහා එක්වනවා.

එමෙන්ම පැවැත්වෙන සංස්කෘතික පෙළපාලියට නර්තන හා වාදන ශිල්පීන් 340 දෙනෙකු සහභාගිවීමට නියමිතයි.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය, ජාතික තරුණ සේවා සභාව ඇතුලු අංශ 13 ක් ඒ සඳහා එක්වනවා.

කොළඹ ආනන්ද විද්‍යාලය, ආරක්ෂක සේවා විද්‍යාලය, මුස්ලිම් කාන්තා විද්‍යාලය ඇතුලු පාසල් 11 ක සිසු සිසුවියන් 45 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ජාතික ගීය ගායනා කෙරෙනු ඇති.

කොරෝනා වසංගතය හේතුවෙන් 73 වන නිදහස් දින සමරු උළෙල සඳහා සහභාගීත්වය සීමා කර ඇති අතර, ඊට එක්වන සියල්ලන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කළ යුතු බවයි ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ.

එමෙන්ම නිදහස් දින සැමරුම හේතුවෙන් නිදහස් මාවත, නිදහස් චතුරශ්‍රය සහ ඒ අවට මාර්ග කිහිපයක අද (04) අලුයම හතරේ (04:00) සිට දහවල් එක (01:00) දක්වා ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එහිදී රාජ්‍ය නිදහස් දින සැමරුම් උළෙල සඳහා එක්වන සියලුදෙනා PCR පරීක්ෂණවලට ලක්කර තිබීමද විශේෂත්වයක්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 07:30 ට ආරම්භ කෙරෙන සැමරුම් උළෙල පසුගිය වසරවලදී මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නාහ සන්නද්ද රථ පෙළපාලිය සහ ගුවන් හමුදා සංදර්ශනයක් මෙන්ම විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයකින්ද වර්ණවත් වනු ඇති.

ජාතික නිදහස් දින උළෙලේ සජීවී විකාශය උදෑසන 07:30 සිට [ හිරු TV ] ඔස්සේ ඔබටත් නැරඹිය හැකියි.

+++++++++++++++

***************************************

ලේඛිකා ජයන්තා රුක්මණී සමුගනී

(03.02.2021 – 20:10 +0530 – lankadeepa.lk)

කෙටිකතාකාරියක, කිවිඳියක, විචාරිකාවක ලෙස සාහිත්‍ය ක්ෂේත්‍රයට දීර්ඝ කාලයක් සිය දායකත්වය ලබාදුන් ජයන්තා රුක්මණී මහත්මිය අද (03) අභාවප්‍රාප්ත වූවාය.

පසුගිය කාලයේ රෝගාතුරව සිටි ඈ මිය යන විට 71 වන වියේ පසුවූවාය.

ඇය විසින් නවකතා දෙකක් (2), කෙටිකතා සංග්‍රහ දෙකක් (2) හා පද්‍ය සංග්‍රහ පහක් (5) පළ කරන ලදී. සිනමා, රූපවාහිනී නිර්මාණ හා සාහිත්‍ය මණ්ඩල ජූරි සභිකාවක් ලෙස ද ඇය කටයුතු කළාය.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ පශ්චාද් උපාධිය ලැබුවාය. 1978 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත් වූ ජයන්තා රුක්මණී මහත්මිය රාජ්‍ය සේවයේ විවිධ දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ රැසක සේවය කළාය. අවසාන වරට වෙළඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස සේවය කළ ඇය පසුව විශ්‍රාම ගත්තාය.

ඇය ඇසුරු කළ සැමගේ සිත දිනාගත් නිහතමානී චරිතයකි.

ඇගේ දේහය දැනට තලවතුගොඩ, ශාන්තිපුර පළමුවන පටුමග 262/ජී 5 නිවසෙහි තැන්පත් කර ඇත. අවසාන කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ලැබේ ෴

***************************************

හෝමාගම – කොටුව නව මන්දගාමී දුම්රියක්

(03.02.2021 – 16:27 +0530 – lankadeepa.lk)

හෝමාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා නව මන්දගාමී දුම්රියක් අනිද්දා (05) දිනයේ සිට දිනපතා ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙම නව දුම්රියේ මංගල ගමන ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා පෙරවරු 07:00 ට හෝමාගම දුම්රිය ස්ථානයෙන් ආරම්භ වේ.

මෙම දුම්රිය පස්වරු 06:10 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිත අතර පස්වරු 07:15 ට හෝමාගම දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිත බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී. එස්. පොල්වත්තගේ මහතා සඳහන් කරයි.

කැළණිවැලි දුම්රිය මාර්ගයේ පවතින අධික මගී තදබදය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මෙම පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය ෴

***************************************

(04.02.2021 – 06:33 +0530 – hirunews.lk/sinhala)

එමෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි යුද හමුදා නිලධාරීන් 337 දෙනෙකුට සහ සෙසු නිලයින් 8,266 කට උසස්වීම් ලබාදීම නිදහස් දිනයට සමගාමීව අද (04) සිදු කෙරෙනවා.

73 වැනි ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් 337 කට සහ සෙසු නිලයන් 8266 කට උසස්වීම් හිමිවන බව යුද හමුදාව ප්‍රකාශ කළා.

***************************************

(04.02.2021 – 07:12 +0530 – hirunews.lk/sinhala)

ලංකාවේ විවිධ අපරාධ සිදුකර විදේශ රටවලට පලාගොස් සිටින පුද්ගලයන් 129 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඉන් 40 දෙනෙකුම මූල්‍ය අපරාධ වංචා සඳහා අවශ්‍ය පුද්ගලයින් බවයි ඔහු කියා සිටියේ ෴

***************************************

(04.02.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය මේ වනවිට ලෝකය හමුවේ ඇති විශාලතම අභියෝගය බවත්, ජනතාව මෙම අර්බුදයෙන් නිදහස් කරගැනීමේ සටනට අප දැන් උරදී ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

73 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් සුබ පැතුම් එක් කරමිනුයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සතුරු බලවේග පරාජය කිරීමට මෙන්ම කොරෝනා වෛරසය පරාජය කිරීමටද ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස අප නැගී සිටිය යුතු බවයි.

සෑම ක්‍ෂේත්‍රයකම සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ අවබෝධ කරගනිමින් ජනතාව මත තැබූ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් නිදහස තවත් අර්ථවත් වනවිට ‘ඉසුරුමත් හෙට දිනක් – සෞභ්‍යාගමත් මව්බිමක්’ යන්නද යථාර්ථයක් වනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

මීට අමතරව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද 73 වන නිදහස් දිනය වෙනුවෙන් සුබපැතුම් එක්කර තිබෙනවා.

මේ අතර 73 වන නිදහස් සමරුව වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පින්ද සුබපැතුම් එක්කර තිබෙනවා.

(04.02.2021 – 08:41 +0530 – hirunews.lk/sinhala)

මේ අතර 73 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය සුබපැතුම් එක්කර තිබෙනවා.

ඉන්දු – ශාන්තිකරයේ කලාපීය ආරක්ෂාව සහ සමෘද්ධිමත් බව ප්‍රවර්ධනය සඳහා හවුල්කරුවෙකු සහ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව සමඟ එක්ව වැඩකිරීමට බලාපොරොත්තු වන බවයි ඇමරිකා එක්සත් ජනපදය නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ.

කොරෝනා වසංගතය පරාජය කිරීමටත්, ගෝලීය ආර්ථිකය යථා තත්වයට ගෙන යාමට සහය දීමටත්, අනාගත අභියෝගවලට එක්ව මුහුණදීමටත් අඛන්ඩව සහයෝගීතාවයෙන් වැඩකරන බව ඇමරිකාව සිය නිවේදනය මගින් පෙන්වාදී තිබෙනවා ෴

++++++++++++++++

(04.02.2021 – 09:18 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය සැළසුම් කළ හා ඊට අනුබලදුන් පුද්ගලයින්ට නීතියෙන් පලායාමට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

73 වන නිදහස් දින සමරු උළෙලේදී ජාතිය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසම් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කෙරුණු අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබුවේ ඉන් අනතුරුවයි.

ජය මංගල ගාථා ගායනා කිරීමෙන් පසු මියගිය රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක (2) නිශ්ශබ්දතාවයක් පළ කරනු ලැබුවා.

අනතුරුව ජනාධිපති උත්තමාචාර පළ කෙරුණු අතර, එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ආචාර වෙඩි මුර 21 ක් පිරිනැමුණා.

ජනාධිපතිවරයා ජාතිය ඇමතීම ආරම්භ කරනු ලැබුවේ පෙරවරු 08:46 ට පමණයි.

++++++++++++++++

(04.02.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala)

73 වන අභිමානවත් නිදහස් දින සැමරුම් උළෙලේ නිදහස් චතුරස්‍රයේ සිට හිරු TV ඔස්සේ ගෙන ආ සජීවී විකාශය පහතින් :

***************************************

(04.02.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්ව ඇති යෝජනා සම්බන්ධයෙන් සාමාජික රටවල තානාපතිවරුන් දැනුවත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

පසුගිය සැසිවාරවලදී ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කළ මිත්‍ර රටවලින් ඊට සුහද ප්‍රතිචාරයක් හිමිව ඇති බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

අවසන් වරට ජිනීවා මානව හිමිකම් කොමිසම රැස්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය දැනුම් දුන්නේ යහපාලන රජය මගින් එකඟ වූ සම අනුග්‍රාහකත්වය සැපයීමේ 30-1 යෝජනාවෙන් ඉවත්වන බවයි.

ඒ සමඟම මානව හිමිකම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා දේශීය යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවත්, මානව හිමිකම් කොමිසමට දැනුම් දුන්නා.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් එම කොමිසම පසුගියදා පත් කළ අතර, එහි සභාපතිත්වය දරණු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස්.

එම කොමිසම මගින් මීට පෙර මානව හිමිකම් සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව මෙන්ම අතුරුදන්වීම් පිළිබඳ සොයා බැලූ පරණගම කොමිසමේ වාර්තාවද පුළුල් ලෙස අධ්‍යයනය කිරීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *