ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ අනවසර වගා කටයුතු නැවතත් ආරම්භ කර ඇති බවට චෝදනා

ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ අනවසර වගා කටයුතු නැවතත් ආරම්භ කර ඇති බවට චෝදනා

*********************************************

ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ අනවසර වගා කටයුතු නැවතත් ආරම්භ කර ඇති බවට චෝදනා

(03.02.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala)

පොලොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ අනවසර වගා කටයුතු නැවතත් ආරම්භ කර ඇති බවට භික්ෂූන් වහන්සේ ඇතුළු ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඔවුන් අද (03) පෙරවරුවේ මේ සම්බන්ධයෙන් වනජීවි කාර්යාලයට පැමිණිලි කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා.

පොලොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය තුල අනවසර වගා කටයුතු සහ ගවයින් ඇතුලු කිරීම ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් සිදුවන ආකාරය පිළිබඳව මීට පෙර හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණයක්ද සිදු කළා.

අනතුරුව වනෝද්‍යානය තුල සියලු අනවසර වගා කටයුතු තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කෙරුණා.

කෙසේවෙතත්, නැවතත් ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය තුල අනවසර වගා කටයුතු ආරම්භ කර ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ ඇතුළු ජනතාව මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අද පෙරවරුවේ පොලොන්නරුව වනජීවි කාර්යාලයට පැමිණියා. එහිදී උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.

පොලොන්නරුව වනජීවි කාර්යාලයේ නිලධාරීයා සඳහන් කළේ වහාම ඒ සම්බන්ධයෙන් පියවර ගන්න බවයි.

***************************************

(03.02.2021 – 11:35 +0530 – hirunews.lk/sinhala)

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි කසල ප්‍රතිචක්‍රීකරණය කරන කර්මාන්තශාලාවක අද (03) අලුයම හටගත් ගින්න සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කර්මාන්තශාලාවේ කසල රදවන අංගනය තුළ මුලින්ම මෙම ගින්න හට ගත් අතර, එය මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කටුනායක ගුවන් තොටුපළේ සහ කොළඹ මහා නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 10 කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගැනුණා.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය වාර්තා වීමත් සමඟ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ද එම ස්ථානයට පැමිණියා.

ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ද එහි පැමිණීමට නියමිතයි ෴

***************************************

(03.02.2021 – 12:43 +0530 – hirunews.lk/sinhala)

රටේ ජාතික සම්පත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සෑම විටම කටයුතු කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

අද (03) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

***************************************

(03.02.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඉදිරියේදී ගොවින්ට පොහොර ලබාදීමට පෙර පස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්ද අරඹන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

***************************************

(03.02.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සති කිහිපය තුළම වෙළදපොළේ ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන් මේ වන විට සියයට 50 කින් පමණ පහත වැටී ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

මහ කන්නයේ එළවළු තොග වෙළදපොළට ලැබීමත් සමග මෙලෙස මිල ගණන් පහත වැටී ඇති බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ ආයතනය සඳහන් කළේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දින එළවළු රැසක තොග මිල ගණන් පහත වැටී තිබෙනවා.

රුපියල් 230 ත්, 280 ත් අතර මිලක පැවති බෝංචි කිලෝවක් අද (03) වන විට රුපියල් 100 දක්වා පහත වැටී තිබෙනවා.

මීට අමතරව කරවිල, වට්ටක්කා, පතෝල, කැකිරි, පිපිඤ්ඤා, කැරට් ආදී එළවළුවල මිල ගණන් ද පහත වැටී ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරය සදහන් කළේ.

***************************************

(03.02.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala)

මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක ජනතාව මුහුණ දෙන ජල ගැටලුවට විසඳුම් ලබාදීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ පසුගිය දිනක ‘රතු මිනිත්තුව’ ඔස්සේ අප කළ අනාවරණයෙන් අනතුරුවයි.

මේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක ජනතාව ජලය නොමැතිව පීඩාවිදින ආකාරයයි.

‘හිරු රතුමිනිත්තුව’ හරහා මෙම ගැටලුව හෙලිකිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අදාළ ප්‍රදේශයට පැමිණියා.

ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කර මෙම ව්‍යාපෘතිය නිමකිරීම සඳහා අයවැයෙන් රුපියල් ලක්ෂ 56 ක මුදලක් වෙන්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන් බව එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

***************************************

(03.02.2021 – 13:52 +0530 – hirunews.lk/sinhala)

නිදහස් දින උත්සවයට විරෝධය පළ කරමින් අද (03) අම්පාර – පොතුවිල් නගරයෙන් විරෝධතා පෙළපාලියක් ආරම්භ කළා.

පසුව පොලීසිය මැදිහත් වී එම පිරිස විසුරුවා හැර තිබෙනවා.

පොතුවිල් පොලීසිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව පිරිස විසුරුවා හැරීම සඳහා නියෝගයක් ලබාගත් බවයි.

මේ අතර 73 වන ජාතික නිදහස් දින සැමරුමේ අවසන් පෙරහුරුව නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී අද (03) පෙරවරුවේ පැවැත්වුණා.

එහිදී හෙට (04) නිදහස් දිනය දා අනුගමනය කිරීමට නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට පෙරවරුවේ අවසන් පෙරහුරුව පැවති බවයි මේ එම ස්ථානයේ සිටි හිරු මාණ්ඩලික වාර්තාකරු මධුෂාන් ද සිල්වා මහතා කියා සිටියේ.

එමෙන්ම හෙට (04) අලුයම හතරේ (04:00) සිට නිදහස් චතුරස්‍රය ආශ්‍රිත ප්‍රදේශ වල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

***************************************

(03.02.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

ජගත් මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචෙලට් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පසුගිය දා ඉදිරිපත් කළ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට රජය තීරණය කර තිබෙනවා.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා කොළඹ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අදාළ වාර්තාව විෂය පථයට පටහැනි වීම සහ පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

පසුගිය මස 27 වන දා ජිනිවා නුවරදී මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් මෙම වාර්තාව නිකුත් කළ අතර, එමගින් මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අවභාවිත කිරීම සම්බන්ධයෙන් විශ්වසනීයත්වයෙන් යුත් චෝදනා ලැබ සිටින පුද්ගලයින්ට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව ද සලකා බලන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටියා ෴

@@@@@@@@@@@@@@@@@@

(03.02.2021 – 12:03 +0530 – hirunews.lk/sinhala)

කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 90 ක් මෙරටට ගෙන්වීමට අපේක්ෂා කරන බව කොවිඩ් පාලන අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

මේ අතර කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ දින 5 ක් තුළසෞඛය හා ආරක්ෂක අංශ සාමාජිකයින් ලක්ෂයකට (1,00,000) අධික පිරිසකට එන්නත් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

දින 5 ක් තුළ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ 1,18,767 දෙනෙකුට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ්’ එන්නත ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

මේ අතර ගෙවුණු පැය 24 තුල නව ආසාදිතයින් 715 දෙනෙකු වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 65,698 ක් දක්වා ඉහළ ගියා.

වැඩිම ආසාදිතයින් ගණන තවදුරටත් කොළඹ දිස්ත්‍රික්කයෙන් සටහන් වූ අතර එම ගණන 261 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 142 කු වාර්තා වී තිබෙනවා.

ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 61 දෙනෙකු සහ කුරුණෑගලින් ආසාදිතයින් 53 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව තවදුරටත් 6325 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය ලැබූවන් සංඛ්‍යාව 59,043 ක් .

මේ අතර තවත් කොවිඩ් මරණ 7 ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 330 ක් දක්වා ඉහළ ගියා.

මෙලෙස මියගියේ වැලිගම, කොළඹ 15, වත්තේගම, නිට්ටඹුව, ගෙලිඔය, කොළඹ 2 සහ රාගම ප්‍ර දේශවල පදිංචිකරුවන් පිරිසක් සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය බිළිදෙක්.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලා.

මේ අතර බලපිටිය සෞඛ්‍ය වෛයද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොවිඩ් ආසාදිතයින් 16 හඳුනාගෙන ඇති අතර ඉන් 11 දෙනෙකු ආදාදොළ ශ්‍රීපති මාවතින් වාර්තා වී තිබෙනවා.

ඔවුන්ගෙන් පිරිසක් පසුගියදා විනෝද චාරිකාවක් සඳහා එක්ව ඇති බවත් වාර්තා වුණා.

ආසාදිතයින් අතර දරුවන් දෙදෙනෙකු (2) ද වනවා.

ඔවුන් කරන්දෙණිය සහ අම්බලන්ගොඩ කොවිඩ් රෝහල්වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුනා.

මේ අතර කොවිඩ් ආසාදිතව අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර සිටි දෙනියාය ප්‍රදේශයේ පදිංචි නිවසක සිව් දෙනෙකු (4) නිවසේ නොමැති කාලය තුළ පිරිසක් එම නිවස බිඳ බඩු බාහිරාදිය රැගෙන ගොස් තිබෙනවා.

මහියංගනය රිදී මාලියද්ද ගැමුණුපුර ඇඟලුම් ආයතනයක සේවක සේවිකාවන් 324 දෙනෙකු සඳහා පසුගියදා සිදුකළ පී.සි.ආර්. පරීක්ෂණවලින් 24 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

රජයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ යුක්‍රේනයේ සිට සංචාරකයින් රැගත් තවත් ගුවන්යානා 2 ක් මත්තලින් දිවයිනට පැමිණියා.

මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදසිංචිව විදෙස්ගතවූ ශ්‍රමිකයින් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ යළි මෙරටට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සදහන් කළා ෴

++++++++++++++++++++

(03.02.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොරෝනා ආසාදිත බිලිඳු දරුවන් 150 දෙනෙකු හඳුනාගෙන ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කළා.

කොරෝනා ආසාදිතව එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 18 ක් වයසැති බිළිදෙකු පෙරේදා ජීවිතක්ෂයට පත්වූ අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රෝහල් ගත කිරීමට ප්‍රමාදවීම එම මරණයට හේතුවී ඇති බවයි.

+++++++++++++++++++

(03.02.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට මාර්තු 1 වනදා සිට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නත ලබාදීමට සැළසුම් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම එන්නත් මිලියන 9 ක් වහාම මිලදී ගැනීමට ද රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සමඟ ඊයේ (02) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිණි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියේ ‘කොවැක්ස් පහසුකම’ යටතේ තවත් එන්නත් ප්‍රමාණයක් මෙරටට ලැබීමට නියමිත බවයි.

ඉන්දීය ප්‍රදානයක් ලෙස ලැබුණු ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නත පසුගිය 29 වනදා සිට ප්‍රමුඛතාව මත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ට ලබාදීම ආරම්භ කෙරුණා.

ඒ අනුව දින පහක් (5) තුළ ලක්ෂය ඉක්මවූ පිරිසක් සාර්ථකව එන්නත්කරණයට ලක් කිරීමට හැකිවී තිබෙනවා.

මේ අතර ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නත් මිලියන 9 ක් වහාම මිලදී ගැනීමට තීරණය කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *