මත්ද්‍රව්‍ය ජාවාරමට ඉන්දියාවේදී ඇල්ලූ දෙදෙනා මධුෂ්, කංජිපානි සහ අංගොඩ ලොක්කා සමඟ සබදතා පැවැත්වූ බවට තොරතුරු

මත්ද්‍රව්‍ය ජාවාරමට ඉන්දියාවේදී ඇල්ලූ දෙදෙනා මධුෂ්, කංජිපානි සහ අංගොඩ ලොක්කා සමඟ සබදතා පැවැත්වූ බවට තොරතුරු

*********************************************

මත්ද්‍රව්‍ය ජාවාරමට ඉන්දියාවේදී ඇල්ලූ දෙදෙනා මධුෂ්, කංජිපානි සහ අංගොඩ ලොක්කා සමඟ සබදතා පැවැත්වූ බවට තොරතුරු

(01.02.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් හෙරොයින් කිලෝ 100 ක් සමඟ පසුගිය දා අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා (2) පිළිබඳ තවත් තොරතුරු රැසක් ද හින්දු පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඉන්දීය ආරක්ෂක අංශ සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පසුගිය දා ඝාතනයට ලක්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘මාකඳුරේ මධුෂ්’, දැනට සිරගතව සිටින ‘කංජිපානි ඉම්රාන්’ සහ පසුගියදා ඉන්දියාවේදී මියගිය බවට වාර්තා පළ වූ ‘අංගොඩ ලොක්කා’ නැමැති පාතාල කල්ලි සාමාජිකයින් සමඟ මොවුන් ඍජුව සබඳතා පවත්වා ඇති බවටයි.

ඔවුන් දෙදෙනා (2) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු වැටලීම් ප්‍රධානියා වූ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ඝාතනයට තැත් කළ ‘එම්.එම්.එම්. නවාස්’ සහ ‘මොහොමඩ් අෆ්නාස්’ වන අතර ඔවුන් තවදුරටත් ඉන්දීය ආරක්ෂක අංශ භාරයේ පසුවනවා.

‘එම්.එම්.එම්. නවාස්’ ඉන්දියාවට පළා ගොස් ඇත්තේ නියොමාල් රංගජීව ඝාතනය කිරීමට තැත් කිරීමෙන් අනතුරුව බවටයි වාර්තා වන්නේ.

මොවුන් රාමේෂ්වරම් ප්‍රදේශයෙන් ඉන්දියාවට ඇතුළු වී ඇති අතර චෙන්නායි නගරයෙන් පිටත ජීවත්ව ඇත්තේ රෙදි වෙළදාමේ යෙදෙන පුද්ගලයින් ලෙසටයි.

අන්තර්ජාලය හරහා සහ මෙරට සිම්පත් භාවිත කරමින් ඔවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සබදතා පවත්වාගෙන ගොස් තිබෙනවා.

ව්‍යාජ නම් වලින් ඉන්දියාව තුළ පෙනී සිටි මොවුන් එරට බැංකුවලින් ණය මුදල් ලබාගෙන ඇති බවට ද තොරතුරු අනාවරණ වී ඇති බවයි ද හින්දු පුවත්පත වැඩිදුරටත් අනාවරණ කළේ.

මොවුන් දෙදෙනා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වා ඇති අතර, පාකිස්තානය, ඉරානය සහ ඇෆ්ගනිස්ථානයට අයත් ලොව හෙරොයින් නිෂ්පාදනයේ ත්‍රිකෝණය ලෙස සැලකෙන ප්‍රදේශවල නිෂ්පාදනය කෙරෙන හෙරොයින් මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාව, මැලේසියාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවලට බෙදා හැරීමේ ජාවාරමක් ද මෙහෙයවා ඇති බවටයි වාර්තා වූයේ.

එසේම මේ වන විට සිරගතව සිටින ‘කංජිපානි ඉම්රාන්’ සමග බන්ධනාගාරයේ පසුවන පාකිස්තාන ජාතිකයෙකු ද මොවුන් සමග ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එම සැකකරුවන් දෙදෙනා (2) කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතින බවයි ෴

***************************************

(01.02.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

වළවේ ගඟේ දිය නෑමට ගොස් 16 හැවිරිදි දැරියක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇය ඉගෙනුම ලැබූ බලංගොඩ – තැන්න විද්‍යාලයේ ගුරුවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (30) දිනයේදී මිය ගිය දැරිය ඇතුළු සිසු සිසුවියන් 12 දෙනෙකු බලංගොඩ – කල්තොට වළවේ ගඟ ආශ්‍රිත ක්ෂේත්‍ර පුහුණු චාරිකාවකට සහභාගි වී තිබෙනවා.

එහිදී එම සිසුන් බටකොළ ඇල්ල ප්‍රදේශයේ දිය නෑමට ගිය අවස්ථාවේදීයි අදාළ දැරිය දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණේ.

මෙලෙස මිය ගියේ බලංගොඩ – තැන්න විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ බෙලිගොල්ල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියක්.

මිය ගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය බලංගොඩ මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ ගුරුවරිය පාසලේ විදුහල්පතිවරයාට හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතියකින් තොරව දරුවන් මෙලෙස රැගෙන ගොස් ඇති බවයි ෴

***************************************

(01.02.2021 – 08:56 +0530 – hirunews.lk/sinhala)

චීන දුම්රිය මැදිරි ධාවනය කිරීමෙන් අද (01) සිට ඉවත්වීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබෙනවා.

2009 වසරේදී මෙරටට චීන මැදිරි 100 ක් ගෙන්වා ඇති අතර, අවස්ථා කිහිපයකදී තිරිංග පද්ධතියේ ඇති වූ ගැටළු හේතුවෙන් එහි ධාවන කටයුතුවලට බාධා එල්ල වුණා.

එසේ තිබියදීත් චීන දුම්රිය මැදිරි 50 ත්, 60 ත් අතර ප්‍රමාණයක් දෛනිකව ධාවනය වන අතර ඒවා ද ගැටළුසහගත බැවින් එම දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ ෴

***************************************

(01.02.2021 – 10:14 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකු සමඟ සබදතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක් හෝකන්දර – බෝගහවත්ත පාර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි බුද්ධි කොට්ඨාශය වෙත ඊයේ (31) ලද තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී කාන්තාව සන්තකයේ තිබූ බෑගයක තිබී හෙරොයින් ග්‍රෑම් 106 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් 6,00,3000 ක මුදලක් ද සොයා ගැනුණා.

48 හැවිරිදි මෙම කාන්තාව මත්කුඩු ජාවාරම සඳහා අදාළ නිවස භාවිත කර ඇති අතර, ඇයට දෙමටගොඩ – මිහිදුසෙන්පුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක් ද පවතින බවටයි හෙළිවී ඇත්තේ ෴

***************************************

(01.02.2021 – 10:29 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – දමන – අම්බලන්ඔය මංසන්ධිය ප්‍රදේශයේ නිවසක තිබී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ මවකගේ සහ කුඩා දරුවෙකුගේ සිරුරු අද (01) පෙරවරුවේ පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මිය ගිය මවගේ වයස අවුරුදු 33 ක් පමණ වන අතර ඝාතනයට ලක්වූ කුඩා දරුවා දස (10) හැවිරිදි වියේ පසුවන බවයි පොලීසිය සඳහන් කළේ.

එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා යුද හමුදාවේ සේවය කළ අයෙකු වන අතර ඔහු මීට කලකට පෙර මිය ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, ඝාතනයට හේතුව සහ ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴

***************************************

(01.02.2021 – 11:03 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දින කිහිපය තුලදී පුද්ගලයින් 14 දෙනෙකු රිය අනතුරුවලින් මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ (31) සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 05 දෙනෙකු සහ මීට පෙර දිනවල සිදුවූ රිය අනතුරුවලින් 09 දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

***************************************

(01.02.2021 – 11:26 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් අද (01) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදි භාර දෙනු ලැබුවා.

දින 214 ක කාලසීමාවක් තුළ මෙම පරීක්ෂණ කොමිෂන් සභාව ක්‍රියාත්මක වූ අතර, 2019 වසරේ සැප්තැම්බර් 22 වනදා එය පත් කරනු ලැබුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්.

පුද්ගලයන් 457 දෙනෙකුගේ සාක්ෂි මෙම කොමිසම මගින් විමසා ඇති අතර, එය පිටු 472 කින්, ඇමුණුම් 215 කින් සහ වෙළුම් හයකින් (6) සමන්විත බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශ කළා.

***************************************

(01.02.2021 – 11:30 +0530 – hirunews.lk/sinhala)

වසරක (1) කාලයක් දිගින් දිගටම තම නැඟණියව ලිංගික අතවරයට ලක් කළ 16 හැවිරිදි තරුණයෙකු පිළිබඳ පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ළමා ආරක්‍ෂණ අධිකාරියට ලද දුරකථන ඇමතුමක් මත බේරුවල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුව සොයා පසුගිය දිනක ආරම්භ කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනුණා.

මෙසේ අතවරයට ලක්ව ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචිව සිටි 08 හැවිරිදි දැරියක බවයි පොලිසිය පැවසුවේ.

ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වා වසරකට ආසන්න කාලයක් තම නැඟණියව තමන් විසින් දිගින් දිගටම අතවරයට ලක් කළ බවටයි පොලිසිය කළ ප්‍රශ්න කිරීම් වලදී සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ.

සැකකරු සන්තකයේ තිබු ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර දැරිය නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බේරුවල පොලිසිය සිදුකරනවා ෴

***************************************

(01.02.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

මෙවර ජාතික නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට තීරණය කර ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළා.

නිදහස් දින උළෙල සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර, ජාතික නිදහස් දින සැමරුම යෙදෙන ලබන 04 වන දා අලුයම 4 සිට දහවල් 1 දක්වා නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය සදහන් කළා.

***************************************

(01.02.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වරාය වෘත්තිය සමිති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.

ඒ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ සමාගමකට ලබාදෙන බවට පළවන වාර්තා හේතුවෙන් මතුව ඇති ගැටළුව නිරාකරණය කරගැනීම සඳහායි.

ඊට එරෙහිව වරාය වෘත්තිය සමිති පසුගිය 29 වනදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක්ද ආරම්භ කළ අතර, එය මේ වනවිටත් ක්‍රියාත්මක වනවා.

ගාල්ල සහ ත්‍රිකුණාමලය ඇතුලු තවත් වරාය කිහිපයක සේවකයින්ද ඊට සහය පළ කරමින් ඊයේ (31) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ වරාය සහ ඒ ආශ්‍රිත අනෙකුත් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කර තිබියදියි.

මේ අතර විෂයභාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතරද අද (01) පෙරවරුවේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, කොළඹ විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදියි. සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මාධ්‍යයට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරමින් එම ස්ථානයෙන් පිටව ගිය බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

නැගෙනහිර පර්යන්තය 100% ක් වරාය අධිකාරියට

(01.02.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පර්යන්තය සියයට සියයක් (100%) වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව අද (01) පස්වරුවේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සමග අරලියගහ මන්දිරයේ අද (01) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බවයි.

ඒ අනුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට (02) සිට අත්හිටුවීමට වෘත්තීය සමිති එකමුතුව අග්‍රාමාත්‍යවරයා හමුවේ එකඟත්වය පළ කළ බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා ෴

***************************************

(01.02.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමතුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු අසාධාරණ ලෙස වැඩි කර ඇති බව පවසමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද (01) විරෝධතාවක් පැවැත්වුණා.

පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය එය සංවිධානය කර තිබූ අතර ඔවුන් විරෝධතාව දැක්වීමෙන් අනතුරුව පා ගමනින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණියා. එහිදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් සංවාදාත්මක තත්ත්වයක් ද ඇති වුණා.

***************************************

(01.02.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ වීඩියෝපටය සම්බන්ධයෙන් ලක් රජය විරෝධය පළ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට ප්‍රධානියා වෙත මෙම විරෝධතාවය දැනුම් දුන් බවයි කලාපීය සහයෝගීතා කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා කියා සිටියේ.

විනාඩියයි තත්ත්පර 28 ක කාලයකින් යුත් අදාළ වීඩියෝපටය පසුගිය සතියේ ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් නිකුත් කළ අතර, එහි අඩංගු කරුණු මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර ඇත්තේ.

එය මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියා පටිපාටියෙන් සම්පූර්ණයෙන්ම බැහැරවීමක් බව ද විදේශ අමාත්‍යවරයා ජගත් සංවිධානයේ මෙරට නියෝජිතයා වෙත දැනුම් දී තිබෙනවා.

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය මේ මස 22 වන දා ජිනිවා නුවර දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පසුගිය මස 27 වන දා ජිනිවා නුවරදී ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචෙලට් විසින් වාර්තාවක් ද ඉදිරිපත් කළ අතර, එමගින් මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අවභාවිත කිරීම සම්බන්ධයෙන් විශ්වසනීයත්වයෙන් යුත් චෝදනා ලැබ සිටින පුද්ගලයින්ට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව සලකා බලන්නැයි සාමාජික රටවලින් ඉල්ලා සිටියා.

එවැනි පුද්ගලයින්ගේ වත්කම් තහනම් කිරීමට සහ සංචාරක තහනමක් පැනවීමට අදාල වාර්තාව මගින් යෝජනා කර තිබුණා.

කෙසේ වෙතත්, ලක් රජය එම වාර්තාවට ද මේ වන විට තම ප්‍රතිචාරය දක්වා තිබෙනවා ෴

***************************************

(01.02.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වත්මන් රජය ගැන ජනතාව තැබූ බලාපොරොත්තු ඉටු වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

@@@@@@@@@@@@@@@@@@

(01.02.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

හතරවන (4) දිනටත් නොකඩවා ඊයේ (31) මෙරටින් 800 ඉක්මවූ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

ඊයේ (31) රෝගීන් 864 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 64,157 දක්වා ඉහළ ගියා.

ඉන් 827 දෙනෙකුම පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් වන අතර 10 දෙනෙකු බන්ධනාගාර පොකුරේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, විදේශයන් හි සිට පැමිණි 27 දෙනෙකු ද කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 17 දෙනෙකු සහ දකුණු කොරියාවේ සිට පැමිණි දස දෙනෙකු (10) මේ අතර වනවා.

එමෙන්ම, තවත් කොරෝනා මරණ 03 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 316 දක්වා ඉහළ ගියා.

කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ කඩුවෙල හා අගුරුවාතොට පදිංචි අවුරුදු 68 සහ 69 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු (2) මියගිය පිරිස අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිත සංඛ්‍යාව 23,360 ක්.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12,820 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4321 ක් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

එමෙන්ම මහනුවර, ගාල්ල, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල සහ අම්පාර යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා.

මේ අතර, ජාතික නිදහස් දින උළෙලේ පෙර පුහුණුවීම් සඳහා කොළඹට පැමිණ සිටින සිවිල් ආරක්ෂක බලකායේ කිසිදු සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පිරිස් පාලන කර්නල් බණ්ඩාර දිසානායක පවසනවා.

මිහින්තලේ සිවිල් ආරක්ෂක බලකා මූලස්ථාන කඳවුරේ පසුගිය හයවනදා (06) සිට පැවති ජාතික නිදහස් දින උළෙලේ පෙර පුහුණුවීම්වලට සහභාගි වූ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් අතර සිදුකළ අහඹු පරීක්ෂණ 90 කින් කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකු හඳුනා ගත් බවට අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා ඊයේ (31) ප්‍රකාශ කළා.

ඒ අනුව එම රෝග ලක්ෂණ පෙන්නුම් කළ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් මිහින්තලේ ප්‍රදේශයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක රැඳවීමට පියවර ගැනීමෙන් අනතුරුව 200 ක පමණ පිරිසක් ජාතික නිදහස් දින උළෙලේ කොළඹ පැවැත්වෙන පෙරහුරුව සඳහා යොමුකර ඇති බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම මිනුවන්ගොඩ – මැඩෑමුල්ල ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වූ අයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ පවුල් 35 ක පිරිස් නිවෙස් තුළම නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර, හුදෙකලා තත්ත්වයේ පැවති නාරාහේන්පිට පොලිස් වසමේ සීය වත්ත, වරාය පොලිස් වසමේ පහළ ශාන්ත ඇන්ඩෲස් පෙදෙස, ඉහළ ශාන්ත ඇන්ඩෲස් පෙදෙස සහ ඇන්ඩෲස් පාර මෙන්ම පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ 90 වත්ත අද (01) උදෑසන 5 ට එම හුදෙකලා බවෙන් නිදහස් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

එසේම ස්වයං නිරෝධායනයට යොමු වී සිටින පුද්ගලයින් නිරෝධායන නීති රීති උල්ලංගණය කරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙල අද සිට ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් සිට යළි මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 288 දෙනෙකු අද (01) අලුයම දිවයිනට පැමිණියා.

ඉන් බහුතරයක් කාන්තාවන් වන අතර, අදාළ පිරිස නිරෝධායනය සඳහා රැගෙන ගිය බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ වසා දැමුණු සත්ත්වෝද්‍යාන අතරින් පින්නවල, දෙහිවල සහ රිදියගම සත්වෝද්‍යාන තුන (3) පමණක් පළමු අදියර යටතේ අද (01) සිට සීමිත කොන්දේසි යටත්ව දේශීය හා විදේශීය සංචාරකයන්ට යළි විවෘත කිරීමට නියමිතව තිබෙනවා ෴

++++++++++++++++++

(01.02.2021 – 11:44 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පැය 24 ක කාළය තුළ මුහුණුආවර නොපැළදි හා සමාජ දුරස්ථභාවය තබා නොගනිමින් නිරෝධායන නීති වලට පටහැනිව ක්‍රියාකළ පුද්ගලයින් 25 දෙනෙකු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා කාළය තුළ පුද්ගලයින් 2930 දෙනෙකු අත්ඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

++++++++++++++++++++

(01.02.2021 – 12:01 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 590 න් පාසල් 589 ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 446 න් පාසල් 442 ක් පෙබරවාරි 15 වන දින යළි ඇරඹීමට නිර්දේශ කර තිබෙනවා.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් නැවත විවෘත කිරීමේ තීරණය මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් බස්නාහිර පළාතේ පාසල් වල 11 ශ්‍රේණි සඳහා ඉගැන්වීම් කටයුතු පසුගියදා ආරම්භ කළා.

+++++++++++++++++++++

(01.02.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට එරෙහිව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් සහ ඉන්දියාවේ නිෂ්පාදිත භාරත් බයෝටෙක් එන්නත් මෙරට තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාගැනීමට මේ වනවිට ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ එන්නත් මෙරට තුළ හදිසි භාවිතය සඳහා පවතින යෝග්‍යතාව සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බවයි එම අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මීට පෙර ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කර තිබූ ‘ඔක්ස්ෆඩ් – ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නත හදිසි භාවිතය සඳහා අවසර ලබාදුන් ක්‍රමවේදය යටතේම ස්පුට්නික් සහ භාරත් බයෝටෙක් එන්නත් සම්බන්ධයෙන්ද අධ්‍යයනය කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

දැනටමත් ‘ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නත මෙරට තුළ ප්‍රමුඛතාව මත සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සාමාජිකයින් වෙත ලබාදීම සිදුවන අතර, සිව්වන (4) දිනයටත් එම කටයුතු අද (01) දිනයේ සිදුවනවා ෴

+++++++++++++++++++

(01.02.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

රෝග ලක්ෂණ පහළවීම හේතුවෙන් ඊයේ (31) පස්වරුවේ සිදුකළ ජෛව සාම්පල පරීක්ෂාවකදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දින කිහිපය තුළ අමාත්‍යාංශය වෙත පැමිණ නොමැති බැවින් ලේකම්වරියගේ ආශ්‍රිතයෙකු නොවුනද ඔහුටද පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. එහි ප්‍රතිඵල අද (01) දිනයේ ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරයෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ සියලු කාර්යමණ්ඩලය සහ රෝගීන් වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බවයි අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා කියා සිටියේ.

සේවකයන් 200 දෙනෙකු පමණ සේවය කරන ජාඇළ ප්‍රදේශයේ මත්ස්‍ය අපනයන කර්මාන්තශාලාවකින් කොරෝනා අසාදිතයන් 90 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ජාඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ පසුගිය 16 වනදා එම කර්මාන්තශාලාවේ එක් අංශයක සේවකයින් 25 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ආයතනයේ අනුමැතියකින් තොරව ජාඇළ – කොටුගොඩ ප්‍රදේශයේ සාදයක් පවත්වා ඇති බවටද අනාවරණ වී ඇති බවයි.

ඊයේ (31) දිනයේ මෙරටින් වාර්තාවූ නව ආසාදිතයන් 864 දෙනාගෙන් 362 කුම වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 88 දෙනෙකු, මහනුවරින් 81 දෙනෙකු, කළුතරින් 66 දෙනෙකු, රත්නපුරින් 45 දෙනෙකු, කුරුණෑගලින් 39 දෙනෙකු, මාතලෙන් 33 දෙනෙකු, නුවරඑළියෙන් 28 දෙනෙකු සහ අනුරාධපුරෙන් 14 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට සෙත් පතා නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී ඊයේ (31) විශේෂ ආශිර්වාද පිංකමක් පැවැත්වුණා.

කොරෝනා ආසාදනය වූ සිසුන් 9 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු (2) හමුවීම හේතුවෙන් පසුගිය 27 වනදා සිට තාවකාලිකව වසා දැමුණු හැටන් බොස්කෝ විද්‍යාලය අද (01) සිට යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කෙරුණේ පන්ති කාමර විෂබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ගම්පහ පාසල් 589 ක්, කළුතර පාසල් 442 ක් මේ මස 15 වනදා අධ්‍යයන කටයුතු සඳහා යළි විවෘත කිරීමට නිර්දේශ ඉදිරිපත්ව ඇති බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණය මෙම සතියේදී ගන්නා බවයි ඔහු කියා සිටියේ.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

එම අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමඟ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව අද (01) දහවල් ලැබී ඇති අතර, ඒ අනුව අමාත්‍යවරයාට වෛරසය වැළදී නොමැති බවට තහවුරු වුණා.

අමාත්‍යවරයා පසුගිය සතියේ එම අමාත්‍යාංශයට පැමිණ තිබුණේ නැහැ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *