පොතුවිල් වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ රාසික් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසයි – කරුණු සොයන්න ඥානසාර හිමිත් වඩිති

පොතුවිල් වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ රාසික් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසයි – කරුණු සොයන්න ඥානසාර හිමිත් වඩිති

*********************************************

පොතුවිල් වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ රාසික් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසයි – කරුණු සොයන්න ඥානසාර හිමිත් වඩිති

(30.01.2021 – 10:45 +0530 – lankaleadnews.com)

පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරන නීතිඥ රාසික් නැමැත්තා විසින් පොතුවිල් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසමින් සිටින බව වාර්තා වෙනවා.

පසුගිය දා බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ප්‍රදේශයේ සංචාරයක නිරතවූ අතර ඒ අවස්ථාවේදී ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා ඇතුළු ජනතාව මේ පිළිබඳව උවහන්සේව දැනුවත් කරන ලදි.

වසර ගණනාවක් පැරණි වෘක්ෂයන්ගේ මුල පොත්ත සුද්ධ කිරීමෙන් විශාල ප්‍රමාණයේ ශාක ගණනාවක් මරා දැමීමට කටයුතු කර ඇති ආකාරයක් මෙහිදී නිරීක්ෂණය විය.

එලෙස විනාශ කරන රක්ෂිත ප්‍රදේශ සඳහා පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බලපත්‍ර නිකුත් කිරීමට පවා ක්‍රියා කර ඇති බව මෙහිදී හෙළිවිය. පොතුවිල් ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කල මුෂාරෆ් නැමැත්තා විසින් මෙලෙස බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කල බවත් එම ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා පූජ්‍ය ඥානසාර හිමිට පැමිණිලි කළහ.

බලධාරීන් සමග සාකච්ඡා කර සිදුවෙන විනාශය නැවත්වීමට තමන් වහන්සේ බලාපොරොත්තු වන බව මේ පිළිබඳව අදහස් දක්වමින් පූජ්‍ය ඥානසාර හිමියෝ පැවසුහ.

***************************************

කොටස් වෙළඳපොළ හරහා නැගෙනහිර ජැටිය 85% ක් අදානි ඇතුළු සමාගම්වලට විකිණීමට ආණ්ඩුවේ කූඨ සැලැස්මක්

(30.01.2021 – 07:16 +0530 – lankaleadnews.com)

මේ වනවිට කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය පෞද්ගලිකකරණය සඳහා ඉඩ නොදෙන සාමුහික අරගලයක් බලවත් ලෙස පෙළ ගැසෙමින් තිබියදී එහි දිශානතිය දුර්වල කිරීමේ ක්‍රමවේදයක් ආණ්ඩුව ඉදිරියට ගැනීමට නියමිත බව වාර්තා වේ.

මෙහි එක් පියවරක් ලෙස ‘නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සඳහා ඉදිරිපත්වීමට අපේක්ෂිත ආයෝජකයන්ට කොළඹ කොටස් වෙළඳපොළ හරහා ඊට ප්‍රවේශවීමට හැකිවන යෝජනාවක්’ පෙබරවාරි 1 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය කැබිනට් සංදේශයක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීමේ අදහස වන්නේ මේ වනවිට ඉන්දිය ව්‍යාපාරික අදානිට අයත් සමාගමක් වරාය පර්යන්තය අත්පත් කරගන්නා බවට පළවන ජනප්‍රිය විරෝධය හරහා ආණ්ඩුවේ අරමුණ ඉටුකර ගැනීමටය.

වරාය සේවකයන් විසින් විරෝධය ගොනුකර ඇත්තේ කිසිදු සමාගමකට පැවරීම වෙනුවට වරාය අධිකාරිය සතු දේපළක් ලෙස මෙම අගනා ආර්ථික සම්පත පවත්වා ගෙන යමින් ලාභ ඉපදවිය හැකිවීම නිසාය. ආණ්ඩුව විසින් කොටස් මිලදීගැනීම හරහා යාම සිදුකිරීමට යෝජනා කරනු ඇති බවත් වරාය අධිකාරියට කොටස්වලින් 15% ක් තබා ගනිමින් ඉතිරි 85% ජෝන් කීල්ස් සමාගම, ජපන් හා ඉන්දිය සමාගම් වලට මිලදීගැනීමට හැකි සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට නියමිත බවත් දැනගන්නට ඇත.

මේ අතර ආණ්ඩුවේ වෙනත් පාර්ශ්වයක යෝජනාවක් ලෙස නැගෙනහිර පර්යන්තය නොව, බටහිර නව පර්යන්තය ඉදිකිරීම හා පවත්වාගෙන යාම ඉන්දිය සමාගමකට පැවරීමේ යෝජනාවක්ද ඉදිරිපත්කර ඇත. මෙය දැනට ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින්ද ප්‍රකාශයට පත් කළ අදහසකි. මේ ආකාරයට වරාය විවිධ විදේශික සමාගම්වලට හෝ දේශීය සමාගම්වලට විකිණීමෙන් රාජ්‍ය දේපලක් ලෙස ආදායම් ඉපදවිය හැකි අවස්ථා ගිලිහී යාම වරාය සුරැකීමේ අරගලයේ ප්‍රධාන පදනමය.

එම අදහස වෙනුවට ආයෝජන හරහා සංවර්ධනය කිරීම ලෙසින් වචන හරඹයක් තුළින් විකිණීම නීත්‍යානුකූල කිරීමට ආණ්ඩුවේ මෙම නූල් සූත්තර ගෙන එනු ලබන බව පැහැදිලිය ෴

+++++++++++++++++

බළය ලබාගැනීමට පෙන්වූ දේශප්‍රේමීත්වය දැන් කෝ? – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ

(30.01.2021 – 05:54 +0530 – lankaleadnews.com)

අපි හදපු ආණ්ඩුවේ ස්ථාවරය විය යුත්තේ හම්බන්තොට වරාය චීනයට දුන් නිසා කොළඹ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාවට දීම නොවන බව ද නැගෙනහිර පර්යන්තය විදේශයකට දුනහොත් ශ්‍රී ලංකාවට මෙරට තුළ එකදු ජැටියක් හෝ ඉතුරු නොවන බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

විපක්ෂයේ සිටින තුරු දේශප්‍රේමීන් වන අය ආණ්ඩු බලය ගත් පසු එම දේශප්‍රේමිත්වය අතුරුදහන් වන බව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

+++++++++++++++++++

බළයෙන් ඔළුව උදුම්මාගෙන වැඩ කරන්න බෑ – පොදුජන පෙරමුණු පාර්ළිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත

(29.01.2021 – 20:19 +0530 – lankaleadnews.com)

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට ලබාදීමට පක්ෂපාතීව රජයේම යම් යම් පාර්ශවයන් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණු පාර්ළිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතාගෙන් ඊයේ (28) දින මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්;

“අපි ජාතික සම්පත් විකුණන්නෙ නෑ කියලා ආපු ආණ්ඩුවක්. අපට එහෙම අයිතියක් නෑ මේවා කරන්න. ඒ නිසා ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් මේ සම්බන්ධයෙන් ජනතාවට කන්දෙන්න කියලා.

ඒ ගොල්ලො ඉතිං කියයි දෙනවාම කියලා. නමුත් ඉතිං ඒවාවල ප්‍රතිඵල අපට භුක්ති විඳින්න වෙයි. මොකද හේතුව, ජනතාව මෝඩ නෑ. ජනතාව මහින්ද රාජපක්ෂ කියන යුද්ධෙ දිනපු ඒ මහා නායකයාව 2015 පැරැද්දුවා. ඊට පස්සෙ අවුරුදු දෙකක් ගියෙ නෑ, යහපාලන ආණ්ඩුව අවුරුදු දෙකෙන් පැරැද්දුවා. ඒ වෙලාවෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් එක්ක හිටියෙත් නෑ. ඉතිං ඒක නිසා එහෙම බලයෙන් ඉදිමිලා, බළයෙන් ඔළුව උදුම්මාගෙන වැඩ කරන්න බෑ” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

***************************************

මේ රජය ඉවක් බවක් නැතිව වනාන්තර විනාශ කරනවා – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(30.01.2021 – divaina.com)

ස්වභාවික පරිසරය, ජාතික උරුමයන් ඇතුළු රටේ වටිනා සම්පත් විනාශ කරමින් එය රට සංවර්ධනය කිරීමක් ලෙසට අර්ථ දැක්වීමට පවතින රජය සහ පැවැති සෑම රජයක්ම සිදු කිරීම රටේ අවාසනාව බවට පත්ව ඇතැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ ‘දිවයින’ට ඊයේ (29 දා) සඳහන් කළහ.

නිදහසින් පසු වසර හැත්තෑදෙකක් (72) විවිධ රජයන් යටතේ දූෂිත තත්ත්වයට පත් වූ ශ‍්‍රී ලංකා මාතාව යම් තරමකට හෝ අස්වසාලීමට සමත් වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රාජ්‍ය පාලන සමයේදී පමණකැයි ද සඳහන් කළ ඒ හිමියෝ ඇය ජාතිකත්වය පෙරට දමා රට පාලනය කළ අභීත නායිකාවක වූ බව ද කියා සිටියහ.

වත්මන් රජය ඉවක් බවක් නොමැතිව වනාන්තර විනාශ කරමින් පවතින බවත්, ඒ වෙනුවෙන් තිබෙන පනත් එහා මෙහා කරමින් ඊනියා සංවර්ධනයක් මවමින් රටේ ජනතාව බරපතළ ලෙස මුලාවේ දමමින් සිටින බව ද පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ චෝදනා කළහ.

මෙරට පවතින ගංගා, වැව්, දිය උල්පත් සහ වන සම්පත ද වර්තමානයට දායාද වී ඇත්තේ අතීත මුතුන් මිත්තන්ට පින් සිදුවන්නට බව ද සඳහන් කළ උන්වහන්සේ එවන් සම්පත් කාබාසිනියා කරමින් මුදල් පසුපස පිම්මේ දුවන දූෂිත දේශපාළුවන් සදාකාලිකවම ජනතාව විසින් ප‍්‍රතික්‍ෂේප කිරීම වැඩි ඈතක නොවන බව ද කියා සිටියහ.

රට සංවර්ධනය කරනවා කියමින් වසර හැත්තෑ දෙකක (72) කාලයක් ම දේශපාලකයා පවුල් පිටින් සංවර්ධනය වූ බවත්, තමන් වහන්සේ පාසලේදී ඉගෙන ගත් තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රට තවමත් එතැනම පල්වෙවී පැවතීම කෙතරම් කනගාටුදායක තත්ත්වයක් දැයි ද පැවසූහ.

ලොව අගනාම ස්වභාව සෞන්දර්ය ඇති රට ලෙස පිළිගැනීමට ලක්ව ඇති ශ‍්‍රී ලංකාවට ස්වභාවික සම්පත සහ ජල සම්පත ආරක්‍ෂා කර ගත හැකි වේ නම් අනාගතයේදී ලෝකයටම වතුර විකුණා ධනවතකු විය හැකිව ඇතැයි ද පැවසූ ඇල්ලේ ගුණවංශ හිමියෝ එය සාක්ෂාත් කර ගැනීමට කළ යුතුව ඇත්තේ චින්තන විප්ලවයක් පමණකැයි ද වැඩිදුරටත් කියා සිටියහ ෴

***************************************

කඩා වැටී ඇති ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගොඩ නැංවීම පිණිස සංචාරක අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම යටතේ මෙරටට ගෙන්වා මේ වන විට සංචාරයේ යෙදෙන යුක්රේන ජාතික සංචාරකයන් පිරිසක් බෙන්තොට ප්‍රදේශයේ පිහිටි ඔවුන් නවාතැන්ගත් සංචාරක හෝටලයේ දී ගැටුමක නියැලෙන ආකාරය සමාජ ජාල වල සංසරණය වීඩියෝවක් මගින් තහවුරු වී තිබේ.

මුලින් සංචාරක කණ්ඩායමේ දෙපිරිසක් අතර සුළු බහින් බස් වීමක් සිදු වී ඉන් පසුව දුර දිග යන ගැටුමකට පරිවතනය වී ඔවුන් පිඟන් කෝප්ප ඇතුළු උපකරණ වලින් ද පහරදීගන්නා ආකාරය වීඩියෝ දර්ශන වල දැක්වේ.

***************************************

(30.01.2021 – 06:31 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නිදහස් චතුරස්‍රය සහ ඒ අවට ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් අද (30) දිනයේ සිට ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ, ජාතික නිදහස් දින උළෙලට අදාළ පෙරහුරු පැවැත්වීම හේතුවෙන්.

ඒ අනුව අද (30) සිට දින 05 ක් නිදහස් චතුරස්‍රය ආශ්‍රිත මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

***************************************

(30.01.2021 – 07:02 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම, තිරුකේදීශ්වරන්, මාලිගේතිඩල් ගම්මානයේ කලපු සීමාවේ තිබී මළ සිරුරු දෙකක් (2) ඊයේ (29) සොයාගත් බව මන්නාරම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ පදිංචි එම්.මහේන්ද්‍රන් නමැති 45 හැවිරිදි පුද්ගලයෙකුගේ හා මන්නාරම, වෙට්ටයාර්මුරිප්පු ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ඇන්තෝනිපිල්ලේ දේවශංකර් නමැති පුද්ගලයෙකුගේ මළ සිරුරු එලෙස හමුව ඇති බවයි.

නීති විරෝධි අයුරින් මාර්ගයේ පවතින විදුලි රැහැන්වලින් විදුලිය ලබා ගැනීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු (2) ට විදුලිසැර වැදීමෙන් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව මන්නාරම ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසූවේ මාර්ගයේ පවතින විදුලි රැහැන් පළුදු කොට ඊට ඇණයක් ගසා කුඹුරකට විදුලිය ලබා ගැනීමට ගිය අවස්ථාවේ අනතුර සිදුව ඇති බවයි.

පොලිසිය පැවසූවේ හමුවු මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මන්නාරම රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා ෴

***************************************

(30.01.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කරනවා.

ඊයේ (29) රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව ව්‍යවස්ථා සංශෝධනයට අදාළව පත් කර ඇති කමිටුව වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට තීරණය කළා.

ඒ අනුව, පුරවැසියාගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඍජුවම මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව ඔවුන් යෝජනා කරනවා. ව්‍යවස්ථාවේ දැනට සඳහන් වන්නේ ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනමත විචාරණය පමණයි.

එම නිසා පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ද ඊට ඇතුළත් කරන ලෙසටයි මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කරන්නේ.

එසේම, තරග කරනු ලබන අපේක්ෂකයන් ඔහු හෝ ඇය විසින් කළ වියදම සහ ආදායම් මූලාශ්‍ර ඇතුළත් ප්‍රකාශනයක් ඡන්ද ප්‍රතිඵල නිකුත් කර දින 30 ක් තුළ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම ද එහි ඇතුළත් තවත් යෝජනාවක්. ජනමත විචාරණයකදී දැනට පවතින්නේ එක් නිශ්චිත කරුණක් පිළිබඳව ජනමතය විමසීම පමණයි.

ඒ අනුව, යම් පනතක නිශ්චිත කාර්යයන් කිහිපයක් සම්බන්ධයෙන් විධානයක් හෝ විධාන කිහිපයක් සඳහා ජනතා අදහස් ලබා ගත හැකි පරිදි වගන්ති සංශෝධනය කිරීමට ද මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කරනවා.

මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන්, මන්ත්‍රීවරුන් සිදුකරන වැරදි, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සහ තරුණ සහ කාන්තා නියෝජනයට අදාළ යෝජනා කිහිපයක් ද මැතිවරණ කොමිෂන් සභාව ව්‍යවස්ථා සංශෝධන කමිටුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා ෴

@@@@@@@@@@@@@@@@@

(30.01.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 859 දෙනෙකු ඊයේ (29) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 62,445 දක්වා ඉහළ ගියා.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර 58,489 ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 6,742 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ඊයේ (29) දිනයේදී තවත් ආසාදිතයින් 936 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 55,398 ක් දක්වා ඉහළ ගියා.

තවත් කොරෝනා මරණ 08 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ යනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොලොන්නාව, පානදුර, ගාල්ල, කළුතර, මොරටුව, පිලියන්දල, සයින්දමරුදු සහ රත්නපුර ප්‍රදේශවලින් එම මරණ වාර්තා වන බවයි.

ඒ අනුව කොලොන්නාවේ පදිංචි 65 හැවිරිදි අයෙකු ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්. පානදුර ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක් කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුණා.

එසේම, 58 හැවිරිදි ගාල්ලේ පදිංචි අයෙකු මුල්ලේරියාව රෝහලේදී මියගොස් තිබුණේ කොවිඩ් නියුමෝනියාවෙන් සහ උග්‍ර වූ හෘදයාබාධයකින්.

90 වියැති කළුතර පදිංචි කාන්තාවක්ද කොවිඩ් ආසාදනයත් සමඟ මොලයට ලේ වහනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් පිඹුර මූලික රෝහලේදී මියගොස් ඇති අතර, ඒ කොවිඩ් නියුමෝනියාව සහ ලේ විෂවීම හේතුවෙන්.

එමෙන්ම, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් නියුමෝනියා තත්ත්වය සහ ලේ විෂවීම හේතුවෙන් පිලියන්දල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක්ද මියගොස් ඇති බව ඊයේ (29) වාර්තා වුණා.

අම්පාර – සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (29) මියගොස් ඇති අතර, ඊට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම නිසා ඇති වූ කම්පනය, කොවිඩ් නියුමෝනියාව සහ හෘද රෝගී තත්ත්වයයි.

මීට අමතරව රත්නපුර ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක්ද අයි.ඩී.එච්. රෝහලේදී මියගොස් තිබුණා.

ඇය මියයෑමට කොවිඩ් නියුමෝනියාව, ලේ විෂවීම නිසා ඇති වූ කම්පනය සහ හෘද රෝගී තත්ත්වය බලපා තිබූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

++++++++++++++++++++

(30.01.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

අදියරෙන් අදියර බස්නාහිර පළාතේ පාසල්වල අනෙකුත් ශ්‍රේණි ආරම්භ කිරීම පිළිබඳව සති අන්තයේ තීරණයකට පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඊට අදාළව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු පවත්වා විවෘත කළ හැකි අනෙකුත් ශ්‍රේණි පිළිබඳව තීරණයක් ගන්නා ලෙසයි මේ වනවිට දැනුම් දී ඇත්තේ.

පොදු තීරණයක් නොමැතිව, පාසල් බලධාරින්ට අනෙකුත් ශ්‍රේණි විවෘත කිරීමට හැකියාව ලැබෙන අතර, ප්‍රාථමික අංශද කඩිනමින් විවෘත කිරීම අපේක්ෂාවයි.

මේ වනවිට බස්නාහිර පළාතේ පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකෙරෙන්නේ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණයි.

ඒ අනුව, පෙබරවාරි 15 ට පෙර ආරම්භ කළ හැකි බස්නාහිර පාසල්වල අනෙකුත් ශ්‍රේණි පිළිබඳව කඩිනම් තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++

(30.01.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දන කොවිෂීල්ඩ් එන්නත දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල එන්නත් කිරීමේ වැඩසටහන් අද (30) සිට ආරම්භ කෙරෙනවා.

එම වැඩසටහන ඊයේ (29) බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 10 කදී අද ආරම්භ වූ අතර, එහිදී 5,286 දෙනෙකුට එන්නත ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

ඒ අනුව, කොළඹ ජාතික රෝහලේ 1,886 දෙනෙකුට, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ 803 දෙනෙකුට, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ 781 දෙනෙකුට සහ යුද හමුදා රෝහලේ 600 දෙනෙකුට එන්නත ලබාදී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ පනාගොඩ යුද හමුදා රෝහලේ 400 දෙනෙකුට මෙන්ම රිජ්වේ ආර්යා රෝහලේ 382 දෙනෙකුට මෙන්ම, හෝමාගම මූලික රෝහලේ 190 කට සහ මුල්ලේරියාව මූලික රෝහලේ 108 දෙනෙකුට එන්නත ලබාදුන් බවයි.

මීට අමතරව, අයි.ඩී.එච් රෝහලේ 80 දෙනෙකුට මෙන්ම වැලිසර නාවික හමුදා කඳවුරේ 56 දෙනෙකුට ඊයේ (29) දිනයේ එන්නත ලබාදී තිබෙනවා.

කොරෝනා පාලනය සඳහා ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස පෙරේදා මෙරටට ලැබුණු කොවිෂීල්ඩ් එන්නත මෙරට භාවිතයට ගැනීමේ පළමු වැඩසටහන අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී ඊයේ (29) පැවැත්වුණා.

එසේම, පොලිසියේ සාමාජිකයින් සඳහා කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන හෙට නාරාහේන්පිට පොලිස් රෝහලේදී ආරම්භ වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතෙහි නාවික හමුදාව වෙත යොමුකරන ලද එන්නත් වැලිසර නාවික මහරෝහල වෙත රැගෙන ඒමෙන් පසු එහි පළමු මාත්‍රාව නාවික හමුදාවේ කොරෝනා වැළැක්වීම සඳහා කටයුතු කරන ඉදිරි පෙළ සාමාජිකයින් වෙත සංකේතාත්මකව ලබාදීම ඊයේ (29) එම රෝහලේදී ආරම්භ වුණා. නාවික හමුදාව පැවසුවේ තමන් වෙත ලබාදුන් එන්නත් දස දහසක (10,000) ප්‍රමාණය ප්‍රමුඛතාවය අනුව නාවික හමුදා සාමාජිකයින් වෙත ලබාදෙන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *