කොරෝනා එන්නත් ලක්ෂ 70 ක්, ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට සැලසුම් – පළමු එන්නත් තොගය හෙට (28) ජනපති භාර ගනී

කොරෝනා එන්නත් ලක්ෂ 70 ක්, ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට සැලසුම් – පළමු එන්නත් තොගය හෙට (28) ජනපති භාර ගනී

*********************************************

කොරෝනා එන්නත් ලක්ෂ 70 ක්, ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට සැලසුම් – පළමු එන්නත් තොගය හෙට (28) ජනපති භාර ගනී

(27.01.2021 – 10:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකිකයින්ට කොරෝනා වෛරස් එන්නත් මාත්‍රා ලක්ෂ 70 ක් පමණ ලබාදීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසනවා.

මෙම එන්නත් මාත්‍රා දෙකක් (2) , එක් (1) පුද්ගලයෙකුට ලබාදිය යුතු අතර ඒ අනුව ශ්‍රී ලාංකිකයින් තිස්පන් ලක්ෂයකට (35,00,000) කොරෝනා එන්නත් ලබාදිය හැකියි.

සූම් තාක්ෂණය ඔස්සේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (27) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා කියා සිටියේ හෙට (28) පෙරවරු 11 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්’ එන්නත් තොගය භාර ගන්නා බවයි.

ඒ අනුව, හෙට (28) දිනයේදී ඉන්දියාවෙන් කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් පමණ මෙරටට ලැබෙන අතර එය 2,50,000 ක් පුද්ගලයන් වෙත ලබාදීමට නියමිතයි. හෙට (28) දිනයේ ලැබෙන මෙම එන්නත් ලබාදීමේ කටයුතු අනිද්දා (29) සිටම ආරම්භ කරන බව ද ඔහු සඳහන් කළා.

ඒ අනුව, පළමුව සෞඛ්‍ය අංශයේ 1,50,000 කට එන්නත් ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ.

මේ අතර, හෙට (28) ලැබෙන එන්නත් රැගත් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපලට පැමිණි සැණින් එම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපල ගුවන් ගැල් ගම්මානයේ පිහිටි ශීතාගාර තුළ ගබඩා කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි ගුවන්තොටුපල උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

++++++++++++++++

(27.01.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 755 දෙනෙකු ඊයේ (26) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 59,922 දක්වා ඉහළ ගියා.

ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර 56,036 ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 8,588 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ඊයේ (26) දිනයේදී තවත් ආසාදිතයින් 709 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 51,046 ක් දක්වා ඉහළ ගියා.

තවත් කොරෝනා මරණයක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැන් සටහන් වන්නේ 288 ක් ලෙසයි. රාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 71 ක කාන්තාවක් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර, ඒ, ලේ විෂවීමේ කම්පනය සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන්.

මේ අතර, කොරෝනා වෛරසය හාස්‍යයට කරුණක් කර නොගන්නා ලෙස ප්‍රාථමික, සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ප්‍රාථමික, සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද මාධ්‍ය හමුවට එක්ව සිටි අතර, ඇය කියා සිටියේ ඉන්දියාවෙන් ලැබෙන කොරෝනා එන්නත ලද දිනට පසුදින සිට එන්නත්කරණ කටයුතු ආරම්භ කිරීමට දැනටමත් සියලු කටයුතු සූදානම් බවයි. එන්නත් ගබඩා කිරීමට අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් බවද ඇය සඳහන් කළා.

මේ අතර, අද (27) උදෑසන පහේ (05:00) සිට බණ්ඩාරගම සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් නිදහස් කෙරුණා.

ඒ අනුව බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අටලුගම ප්‍රදේශයේ බෝගහවත්ත, බමුණුමුල්ල, කොලමැදිරිය, කොරවෙල, අටලුගම නැගෙනහිර සහ බටහිර මෙන්ම එපිටමුල්ල සහ ගල්ගෙමන්ඩිය යන ග්‍රාම සේවා වසම් මෙලෙස හුදෙකලා බවින් නිදහස් කර තිබෙනවා.

මීට අමතරව ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මොරගල ග්‍රාම නිලධාරී වසමද අද (27) උදෑසන පහේ (05:00) සිට හුදෙකලාබවින් නිදහස් කෙරුණු බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴

++++++++++++++++++

(27.01.2021 – 10:09 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (26) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 755 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 369 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

කොළඹ කොටුවෙන් හඳුනාගත් ආසාදිතයින් 20 ක්, පාදුක්කෙන් හඳුනාගත් ආසාදිතයින් 14 ක් සහ මට්ටක්කුලියෙන් හඳුනාගත් ආසාදිතයින් 12 දෙනෙකු ඒ අතර වනවා.

එසේම, ඊයේ (26) දිනයේදී වාර්තා වූ ආසාදිතයින් අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 124 දෙනෙකු වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. කළුතර දිස්ත්‍රික්කයෙන්ද ඊයේ (26) ආසාදිතයින් 80 දෙනෙකු හඳුනාගෙන තිබුණා.

++++++++++++++++

(27.01.2021 – 10:42 +0530 – hirunews.lk/sinhala)

පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු මේ බව තහවුරු කළා. පසුගිය දින කිහිපයේ තමා සමඟ කටයුතු කළ පිරිසගෙන් රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ස්වයං නිරෝධායනයට යොමු වී සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි.

මේ වනවිට රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ද ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම් සහ වසන්ත යාපා බණ්ඩාර යන මහත්ම මහත්මීන්ට මීට පෙර වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනුණා.

ඔවුන්ගෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ වනවිට සුවය ලබා නිවස වෙත පැමිණ තිබෙනවා.

මේ අතර, මෙරටින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී අදට වසරක් සපිරෙනවා. සංචාරයක් සඳහා දිවයිනට පැමිණි 43 හැවිරිදි ‘ලූ යැං’ නැමැති චීන ජාතික කාන්තාවට පසුගිය වසරේ ජනවාරි මස 27 වැනිදා මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව මෙරට සෞඛ්‍ය බලධාරීන් තහවුරු කළා.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූ ඇය සම්පූර්ණයෙන්ම සුවය ලබා යළි චීනය බලා පිටත්ව ගියේ පසුගිය වසරේ පෙබරවාරි 19 වැනිදායී.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 59,922 ක් හඳුනාගෙන ඇති අතර, ඉන් 51,046 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 85.19% ක්ම සුවය ලබා තිබීම විශේෂත්වයක්.

එසේම, මෙරටින් ඊයේ (26) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 755 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 369 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. කොළඹ මහ නගර සභා සීමාවෙන් හඳුනාගත් ආසාදිතයින් 195 දෙනෙකු ඒ අතර වනවා. ඒ අනුව කොළඹ කොටුවෙන් ආසාදිතයින් 20 ක්, පාදුක්කෙන් ආසාදිතයින් 14 ක්, මට්ටක්කුලියෙන් හඳුනාගත් ආසාදිතයින් 12 දෙනෙකු ඒ අතර වනවා.

එසේම, ඊයේ (26) දිනයේදී වාර්තා වූ ආසාදිතයින් අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 124 දෙනෙකු වන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. කළුතර දිස්ත්‍රික්කයෙන්ද ඊයේ (26) ආසාදිතයින් 80 දෙනෙකු හඳුනාගෙන තිබුණා.

ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ 03 වන ශ්‍රේණිය සඳහා ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුවරියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් එම ශ්‍රේණියේ අනෙකුත් ගුරුවරුන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ අනුව එම විද්‍යාලයේ 03 වන ශ්‍රේණියේ පන්ති 06 ක් අද (27) සිට ලබන සිකුරාදා දක්වා තාවකාලිකව වසා දැමුණා.

මෙරටින් හඳුනාගත් බවට ඊයේ (26) වාර්තා වූ නව විකෘති කොරෝනා ප්‍රභේදය පිළිබඳව අදහස් පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් බලධාරීන් වඩා කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්විය යුතු බවයි.

මේ අතර, පොදු ප්‍රවාහන සේවාවල නිරෝධායන නීතින් අනුගමනය කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා ෴

කොරෝනා ආසාදිත බවට හඳුනාගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පසුගිය 19 හෝ 20 දිනවල හෝ ඉන් අනතුරුව හෝ පාර්ලිමේන්තුවට පැමිණ නොමැති බව අනාවරණ වී තිබෙනවා.

වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ ඒ අනුව පාර්ලිමේන්තුව තුල ඔහුට සමීප ආශ්‍රිතයින් නොවන බව තහවුරු වී ඇති බවයි.

පාර්ලිමේන්තු පරිශ්‍රය තුල ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් යටතේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පසුගිය 15 වනදා පී.සී.ආර්. පරීක්ෂණය සඳහා ඉදිරිපත්ව ආසාදිතයෙකු නොවන බවට තහවුරු වූ බව ද වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියා ෴

++++++++++++++++

(27.01.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

ලක් රජයේ ඉල්ලීම මත චීනයේ නිෂ්පාදිත කොරෝනා වෛරස් එන්නත් මාත්‍රා තුන් ලක්ෂයක් (3,00,000) ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට කටයුතු කරන බව කොළඹ – චීන තානාපති කාර්යාලය අද (27) නිවේදනය කළා.

එමගින් සඳහන් කළේ දේශිය සහ ජාත්‍යන්තර ඉල්ලුම හමුවේ නිෂ්පාදන ඵලදායිතාව සීමිත වුව ද, ශ්‍රී ලංකාව වෙත පිරිනමන එන්නත් තොගය ලබන මස මැද භාගයේ ලබාදීමට හැකිවනු ඇති බවයි. මෙහිදී පිරිනමනු ලබන්නේ චීනයේ ජාතික ඖෂධ සමූහය සිනොෆාර්ම් විසින් නිෂ්පාදිත කොරෝනා වෛරස් එන්නතයි.

එමගින් රටවල් කිහිපයකදීම සියයට 79 ත් – සියයට 86 ත් අතර ශක්‍යතාවක් පෙන්නුම් කර ඇති අතර, දරුණු කොරෝනා වෛරස් රෝගී තත්ත්වයක් මුළුමනින්ම වලක්වන බවයි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

එම එන්නත මේ වනවිටත් එක්සත් අරාබි එමීරය, සර්බියාව, ඊජිප්තුව, බහරේනය, ජොර්දානය, ඉරාකය සහ පාකිස්ථානය යන රටවල ජනතාවට ලබා දී තිබෙනවා.

ඊයේ (26) දිනය වනවිට එලෙස එන්නත් කර ඇති චීන සිනොවැක් කොරෝනා එන්නත් සංඛ්‍යාව මිලියන 20 කට අධිකයි.

මෙම එන්නත ෆයිසර් හෝ මොඩර්නා එන්නත් මෙන්, අධි ශීත තත්ත්වයක පවත්වා ගැනීම අවශ්‍ය නොවන අතර, සෙල්සියස් අංශක 2 ත් 8 ත් අතර සාමාන්‍ය ගෘහස්ථ ශීතකරණ උෂ්ණත්වයේ ගබඩා කළ හැකියි ෴

@@@@@@@@@@@@@@@@@@@@@

(27.01.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

පානදුර – පල්ලිමුල්ල ප්‍රදේශයේදී පසුගිය සඳුඳා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරන කල්ලි දෙකක (2) ආරවුලක් මත සිදුවූවක් බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා පානදුර සහ ඒ අවට ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදා හරින ජාලයක කොටස්කරුවෙක් වන අතර, ඔහු වෙඩි තැබූ පාර්ශවය සමග මත්ද්‍රව්‍ය බෙදා හැරීමේදී සිදුවූ මුදල් ගණුදෙනුවක් සම්බන්ධයෙන් විරසකව සිට ඇති බව සඳහන්.

පසුගිය සඳුදා සිදුවූ මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මියගිය පුද්ගලයා ගමන් කළ ත්‍රිරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයායි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා ඇති බවයි.

මේ අතර, ගාල්ල – මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් (4) දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ළඟ තිබී ඝාතනය සඳහා යොදා ගත් බවට සැක කෙරෙන උල්පිහි දෙකක් (2) , කඩු සහ මන්නාපිහි සොයා ගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, බස්නාහිර පලාත ඇතුළු මුළු දිවයිනම ආවරණය වන පරිදි හෙට (28) සිට විශේෂ රථ වාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ බීමත් රියදුරන් සහ මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක බවයි.

***************************************

(27.01.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට මුහුදු තීරයේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල්පරයක ගැටුණු ‘එම්.වී.යුරෝසන්’ නෞකාවේ බඳට කිසිදු හානියක් සිදුව නොමැති බව නාවික හමුදාව තහවුරු කරගෙන තිබෙනවා.

නාවික හමුදා කිමිඳුම් කණ්ඩායමක් සමගින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් මගින් නැවට අදාළ මූලික විමර්ශන සිදුකර තිබුණා. එහිදී අනාවරණ වී ඇත්තේ නෞකාව පසුපස සිට මීටර් 70 ක පමණ කොටසක් ගල් පරයක සිරවී තිබූ බවටයි.

කෙසේ නමුත්, ඇති වූ දියවැල්වල බලපෑම හේතුවෙන් නෞකාවෙන් ගල්පරයෙන් ඉවත්ව ඇති බවට ද අදාල විමර්ශනයෙන් තහවුරු වී තිබෙනවා.

ලයිබීරියානු ධජය යටතේ අබුඩාබි වරායේ සිට ත්‍රිකුණාමලය වරාය වෙත සිමෙන්ති නිෂ්පාදනයට යොදා ගන්නා ‘ක්ලින්කර්’ නමැති අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබුණු මෙම නෞකාව කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල් පරයක සිරවී අනතුරට ලක්වුණේ පසුගිය 22 වනදා පස්වරුවේයි ෴

***************************************

(27.01.2021 – 09:42 +0530 – hirunews.lk/sinhala)

තමා නිවසේ නැති අවස්ථාවලදී තම රූමත් ළාබාල විවාහක බිරිඳ සමග අනියම් ඇසුරක් පැවැත්වූ 20 හැවිරිදි සිසුවකු බව කියන අයකුට එළව එළවා පිහි පහරවල් එල්ල කළ බව කියන සන්නිවේදන කටයුතු පිළිබඳ ඉංජිනේරුවරයකු බව කියන සැකකරුවකු රුපියල් පන්දහසක (5000) මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂයක ශරීර ඇපමත අත්අඩංගුවෙන් මුදාහැරීමට මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් ආර්. පී. එම්. චම්පික රාජපක්‍ෂ ඊයේ (26) නියෝග කර තිබෙනවා.

කටාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවූ 49 හැවිරිදි ඉංජිනේරුවරයා වෙන්නප්පුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සන්නිවේදන සහ සංගීත කටයුතු භාර ඉංජිනේරුවරයෙක්.

ඔහු කටානේ සිට වෙන්නප්පුවේ සේවයට ගොස් නිවසට පැමිණෙන්නේ සඳුදා (25) අලුයම් කාලයේදීයි.

මොහු මෙම සිද්ධිය වූ දින රාත්‍රි 10:00 ට පමණ නිවසට පැමිණ ඇති අතර නිවස තුළින් නැගෙන කසු කුසුව පිළිබඳව සැකකර නිවසේ දොර අරින ලෙසට තම බිරියට දැනුම්දී තිබෙනවා.

එම අවස්ථාවේ නිවසේ පිටුපස දොරෙන් තරුණයකු පැනයනු දැක ඔහු පසුපස ඉංජිනේරුවරයා හඹාගොස් තිබෙනවා. එහිදී මෙම පිහි ඇනුම සිදු වී ඇති බව පැමිණිල්ලෙන් කියැවෙනවා.

සැකකාර ඉංජිනේරුවා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරාජ් ජයමාන්න මහතා එම සිද්ධියේ සත්‍ය බව කියන තොරතුරු අධිකරණය හමුවේ පැවසුවා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කරනු ලැබුවා.

කටාන පොලිසිය පැමිණිල්ල මෙහෙය වුවා. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරාජ් ජයමාන්න මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය මාර්තු මස 2 වැනිදා පැවැත්වෙනවා ෴

***************************************

(27.01.2021 – 09:58 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ – දලුව වෙරළ තීරයේදී මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ කහ සහ තහනම් වල්නාශක තොගයක් අද (27) අලුයම නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ අතර රුපියල් ලක්ෂ 70 කට ආසන්න වටිනාකමින් යුත් කහ කිලෝ 1,340 ක් සහ ලක්ෂ 05 කට ආසන්න වටිනාකමකින් යුත් තහනම් වල්නාශකයක් වන ග්ලයිෆොසේට් පැකට් 800 ක් වන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

වැටලීමේදී සැකකරුවන් තුන් දෙනෙකු (3) ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් නොරොච්චෝලේ පොලිසියට භාරදී තිබෙනවා ෴

***************************************

(27.01.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – දේවනගර් සහ ආනන්දපුරි ප්‍රදේශවල ක්‍රියාත්මක කුඩා කොටි යන අරුත ඇතුළත් ‘කුට්ටිපුලි’ නම් මැර කණ්ඩායමක සාමාජිකයන් 5 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නාවික හමුදා බුද්ධි අංශ ලබාදුන් තොරතුරකට අනුවයි.

ඒ අනුව, දේවනගර් ප්‍රදේශයේදී පළමු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවක්, ජංගම දුරකථන 12 ක්, සිම්කාඩ් 5 ක්, කැමරාවක්, බලහත්කාරයෙන් ලබා ගත් විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් සමගයි.

කෙසේ වෙතත්, පසුව අත්අඩංගුවට ගත් සැකකරු මුදා ගැනීමට කුට්ටිපුලි කල්ලියේ සෙසු සාමාජිකයන් උත්සාහ කර තිබෙනවා. එහිදී තවත් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දේවනගර් සහ ආනන්දපුරි ප්‍රදේශවලම පදිංචිකරුවන්.

අපරාධ රැසක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ‘බී.එම්. විජයකාන්ත’ නමැත්තෙකු මෙම කල්ලියේ නායකයා ලෙස කටයුතු කරන බව මේ වනවිට අනාවරණ වී ඇති අතර, ඔහු ‘සී.අයි.ඩී. විජී’, ‘නේවි විජී’ යන නම්වලින් ද හඳුන්වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළා.

එසේම, අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු ‘බාබු’ හෙවත් ‘පරබාබු’ යන නමින් ද හැඳින්වෙන බවට හඳුනාගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශන සදහා සැකකරුවන් උප්පුවේලි පොලීසියට භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළා ෴

***************************************

(27.01.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිටුපස යම් අදෘශ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මකව තිබූ බව තමන්ට හැගෙන්නේයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර පවසනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු අනාවරණ කළේ සහරාන් ඇතුලු‍ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා සඳහා දෙමටගොඩ – මහවිල උද්‍යානයේ පිපිරීම සිදුවූ නිවසේ පුද්ගලයින් අරමුදල් ලබා දී ඇති බවයි.

පාස්කු ප්‍රහාරය සිදුවූ සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකර ඊයේ (26) දෙවන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටින කොළඹ ජාතික රෝහලේ 42 වන වාට්ටුවේ සිටයි.

එහිදී සාක්ෂිකරු පැවසුවේ සහරාන් හෂීම් ‘ත්‍රීමා’ නම් මෘදුකාංගයක් ඔස්සේ සිය ජංගම දුරකතන ඇමතුම් සහ පණිවුඩ හුවමාරු කරගෙන තිබීම හේතුවෙන් සැකකරු රැඳී සිටින නිශ්චිත ස්ථානයක් අනාවරණය කරගැනීමට අපොහොසත් වූ බවයි.

ඉන් පසුව සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීමේ අවස්ථාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ලබා ගත් අතර, පාස්කු ප්‍රහාරයට අදාල නොවන ප්‍රශ්න විමසීම හේතුවෙන් ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා නැගී සිටීමත් සමග කොමිසම උණුසුම් මුහුණුවරක් ගත්තා.

පාස්කු ප්‍රහාරය එල්ල වූ දින දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසක සිදුවූ පිපිරීමට සම්බන්ධ පුද්ගලයින් සහරාන් හෂිම්ගේ අන්තවාදී ක්‍රියා සදහා අරමුදල් සපයා ඇති බවද සාක්ෂිකාර ශානි අබේසේකර කොමිසම නැගූ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණ කළා.

මේ අතර, පාස්කු ප්‍රහාරය පිලිබඳ විමර්ශනය කරන මෙම ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම ඊයේ (26) දිනයෙන් නිල වශයෙන් අවසන් කෙරුණු අතර, අද (27) පස්වරුවේ එහි අවසන් කිරීමේ සැසිය සිදුවන බව හිරු වාර්තාකරු සඳහන් කළා.

***************************************

(27.01.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)

ඇමතිවරයෙකුට හෝ කිසිදු බලපෑමක් සිදුකළ නොහැකි ලෙස සකස් කර ඇති රේගු ආඥා පනත වෙනස් කිරීමට ඇතමුන් සැලසුම් කරන බවට රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය චෝදනා කරනවා.

කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සම ලේකම් සුදත් ද සිල්වා මහතා මේ බව සඳහන් කළා.

***************************************

(27.01.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා එල්ල වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක ලයනල් ජයරත්න ඇතුළු නිලධාරින් 5 දෙනෙකු ගොනුකර ඇති ඇප අයදුම්පත් ගැන ලිඛිත විරෝධතා ගොනුකිරීමට නීතිපතිවරයාට ලබන මස 25 වනදා දක්වා කල් ලබාදීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ විනිසුරු මංජුල තිලකරත්න හමුවේ අදාළ ඇප අයදුම්පත්‍රය අද (27) කැඳවූ අවස්ථාවේදියි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊට අදාළ ඉල්ලීම සිදුකළා.

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ වගකීම පැවරී ඇති නිලධාරින් ජාවාරම්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීම ඉතා බරපතල වරදක් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී පෙන්වා දුන්නා.

සැකකරුවන් සිදුකර ඇති බරපතල වරද අනුව ඔවුන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් දැඩිව විරෝධය පළ කරන බව ද ඔහු කියා සිටියා ෴

***************************************

(27.01.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදෙන ලෙස රජයට බල කරමින් ලංකා ගුරු සේවා සංගමය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (27) විරෝධාතාවක් සංවිධාන කර තිබුණා.

ලංකා ගුරු සේවා සංගමය සඳහන් කළේ අදාළ ගැටලුව සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන දැනුවත් කිරීම මෙම විරෝධතාවයේ මූලික අරමුණ බවයි.

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටින් අරම්භ කළ මෙම විරෝධතා පා ගමන පැවැත්වුණේ බෙරකරුවන් ද යොදා ගනිමින්.

අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රෙය් සිට පාගමනින් පැමිණි විරෝධතාකරුවන් අත්පත්‍රිකා බෙදමින් මෙලෙස ජනතාව දැනුවත් කිරීමට පියවර ගත්තා.

***************************************

(27.01.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

දුෂ්කරගමනක නියැලෙමින් අකුරු කරන්නට වෙහෙසෙන තවත් දරු පිරිසක් පිළිබඳව අපට බලංගොඩ ප්‍රදේශයේන් වාර්තා වුණා.

රත්නපුර දිස්ත්‍රික්කයේ, බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් දුෂ්කර ප්‍රදේශයක පිහිටි නන්පේරියල් විවේගානන්දා විද්‍යාලයයි මේ.

බලංගොඩ නගරයේ සිට කිලෝමීටර 25 ක පමණ දුරින් පිහිටි නන්පේරියල් වතුයාය සහිත කඳුවැටියේ මෙම පාසල පිහිටා තිබෙනවා.

ලෝකාන්තය නැරඹීම සඳහා යාමට බලංගොඩ සිට නන්පෙරියල් වතුයාය හරහා දිවෙන කෙටි මාර්ගයද පිහිටා ඇති මෙම ප්‍රදේශය සුන්දර පරිසරියකින් සමන්විතයි.

නමුත් ලෝකාන්තයේ සිට පහළ බලන අයෙකුට පෙනෙන මීදුම් වලාවට සැඟවුණු ඒ සොඳුරු ලොව තුළ අඳුරෙන් වැසුණු ලෝකයක් ද ඇති බව දුෂ්කර ගම්මානයේ සිට පාසල් යන දරුවන් අපට හෙළි කළා.

නන්පේරියල් විවේගානන්දා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිට නවය ශ්‍රේණිය දක්වා සිසුන් 100 කට පමණ ඉගැන්වීම් කටයුතු සිදුකෙරුනද ප්‍රමාණවත් ගුරුවරුන් සහ යටිතල පහසුකම් නොමැතිකමින් පාසලේ දරුවන් අද වන විට ගැටළු රැසකට මුහුණ පා සිටිනවා.

විධිමත් ජනාවාසයක් හෝ නොමැති දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති මෙම පාසල ස්ථාපනය කෙරෙන්නේ ප්‍රාදේශීය විෂමතා හා දිළිඳුකම අවම කිරීමේ වැඩසටහන යටතේයි.

ආසන්නතම ස්ථානයේ සිට පාසලට පැමිණෙන දූදරුවන් පවා අවම වශයෙන් කිලෝමීටර 06 ක පමණ දුෂ්කර ගමනක් පැමිණිය යුතු අතර බලංගොඩ නගරයේ සිට පැමිණෙන ඇතැම් දරුවන් දිනපතා පා ගමනින් පාසලට පැමිණෙන විට බොහෝවිට පාසලේ කටයුතු ආරම්භ වී අවසන්.

මේ නිසා ඇතැම් දරුවන් නේවාසිකාගාර වෙතද යොමුවී සිටිනවා.

කුමන බාධක පැමිණියත් තම දරුවන්ට නිසි ලෙස අධ්‍යාපනයක් ලබා දීමට මෙම මව්පියන් නිරන්තර උත්සාහයක් නිරතවනවා.

තම අනාගත සිහින පොදි බැදගනිමින් අධ්‍යාපන කටයුතුවල නිරතවන මෙම දරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම අනාගතය අඳුරුවන්නට ඉඩ නොදී මෙම ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *