අටළුගමදී PHIට කෙළ ගැසූ පුද්ගලයාට, වසර 6 ක සිර දඬුවම් – ලක්ෂ 4 ක වන්දියක් ගෙවන ලෙසටත් නියෝග

අටළුගමදී PHIට කෙළ ගැසූ පුද්ගලයාට, වසර 6 ක සිර දඬුවම් – ලක්ෂ 4 ක වන්දියක් ගෙවන ලෙසටත් නියෝග

*********************************************

අටළුගමදී PHIට කෙළ ගැසූ පුද්ගලයාට, වසර 6 ක සිර දඬුවම් – ලක්ෂ 4 ක වන්දියක් ගෙවන ලෙසටත් නියෝග

(21.01.2021 – 17:35 +0530 – hirunews.lk/sinhala)

අටළුගම ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් දෙදෙනෙකුට (2) කෙළ ගසා සෞඛ්‍ය නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයාට වසර හයක (6) සිර දඬුවමක් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නියම කළා.

මීට අමතරව මොහුට රුපියල් දස දහසක (10,000) දඩයක්ද නියම කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

එමෙන්ම මෙම නිලධාරීන්ට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 4 ක් වන්දි ලෙස ගෙවන ලෙසට මොහුට නියෝග කළ අධිකරණය එය ගෙවීමට අපොහොසත් වුවහොත් තවත් වසර 02 ක සිර දඩුවම් නියම කරන බවයි දැනුම් දුන්නේ.

මෙම සිද්ධිය වූයේ පසුගිය වසරේ දෙසැම්බර් මස 02 වනදායි.

මෙම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමෙන් පසුව ඔහුව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යාමට මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් දෙදෙනෙකු (2) සහ තවත් සෞඛ්‍ය නිලධාරීන් දෙදෙනෙකු (2) ගොස් තිබුණා.

එහිදී මෙම පුද්ගලයා ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් කෙළ ගසා තිබූ අතර එම නිලධාරීන්ට දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙසට උපදෙස් ලබා දී තිබුණා.

++++++++++++

+++++++++++++++++++

(21.01.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව දිස්ත්‍රික්කයේ අරසඩි ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ අද (21) සවස 6 සිට මෙම හුදෙකලා කිරීම ක්‍රියාත්මක වන බවයි.

මේ අතර කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයකට පනවා තිබූ හුදෙකලා තත්වය ද අද (21) පස්වරු 6 සිට ඉවත් කෙරෙනවා.

ඒ අනුව 165 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම 03, 165A කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර, 165B කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර, 166 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම 02, 166A කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර, 167A කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර, 167B කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර සහ 167D කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර මෙලෙස හුදෙකලා බවින් ඉවත් කෙරෙනවා.

මීට අමතරව බණ්ඩාරගම අටලුගම 660A එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ 659B බමුණුමුල්ල ග්‍රාම නිලධාරී වසම ද හුදෙකලා බවින් නිදහස් කෙරෙනවා.

මොණරාගල බඩල්කුඹුර අලුපොත ග්‍රාම නිලධාරී වසම ද හුදෙකලා බවින් ඉවත් කෙරෙන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම්දෙන්නේ ෴

+++++++++++++++++++++

(21.01.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (21) තහවුරු වුණා.

මීට අමතරව තවත් කොරෝනා ආසාදිත ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ආශ්‍රිතයෙකුව සිට වෛරසය වැදුණු බවට හඳුනාගත් හලාවත මහ රෝහලේ වෛද්‍යවරිය රැගෙන ගිය කුලි රථ රියදුරා මේ වනවිට තම කුලී රථය තුළම ස්වයං නිරෝධායනයට ලක්වන බව වාර්තාවනවා.

ඒ, ඔහුගේ නිවසේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු සිටීම හේතුවෙන්.

අදාළ වෛද්‍යවරිය කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වීම පිළිබඳ තොරතුරු සඟවමින් එම කුලී රථයේ ගමන් කර තිබුණා.

නිරෝධායන නීතීන්ට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් එම වෛද්‍යවරියට එරෙහිව මේ වනවිට පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.

මේ අතර ඊයේ (20) දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසත් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

එම සංඛ්‍යාව 270 ක්. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 80 ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 56 ක් ද වාර්තා වන බවයි කොවිඩ් නයින්ටීන් වැලැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ වන විට කොග්ගල වෙළඳ කලාපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත සංඛ්‍යාව ද 101 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (20) දිනයේදී ද නව ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වී ඇති බවයි හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

ඇඟලුම් කම්හල් 6 කින් මෙම ආසාදිතයින් වාර්තා වී ඇති අතර, මේ වන විට කම්හල් සේවක සේවිකාවන් 1500 ක් පමණ නිවෙස් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර, අහංගම නගරයේ පිහිටි පාසලක සහ වැල්ලතොට ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් 4 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි හබරාදූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළේ.

කෙසේ වෙතත්, එම පාසල්වල කටයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ සිදුකරන බව ද වාර්තා වනවා.

එමෙන්ම, හැටන් ප්‍රදේශයේ දෙමළ පාසලක ස්වයං නිරෝධායනයට යොමු කර සිටි ගුරුවරියකට (1) සහ සිසුන් දෙදෙනෙකුට (2) ද කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වුණා.

පාසලේ සිසු සිසුවියන් 38 දෙනෙකුට සහ ගුරුවරුන් සිව් දෙනෙකු (4) මීට පෙර ස්වයං නිරෝධායනයට යොමු කර සිටි අතර ඔවුන්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලිනුයි මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ.

එමෙන්ම, හැටන් – ගාමිණීපුර ප්‍රදේශයේ එකම පවුලේ 6 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

නාවලපිටිය – පස්බාගේ කෝරළේ සහ නවතිස්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් සතියක් තුළ කොරෝනා ආසාදිතයින් 44 දෙනෙකු වාර්තා වී ඇති බවයි ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

මීට අමතරව කොරෝනා ප්‍රතිකාර සඳහා වෙන් කර තිබෙන හෝමාගම මූලික රෝහලේ හෙදියකට ද කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ඇයගේ සමීපතම ආශ්‍රිත හෙදියන් 10 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර, සෞඛ්‍ය උපදෙස් සහ නිරෝධායන නීති අනුගමනය නොකරන ආයතන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, නිරෝධායන නීති අනුගමනය නොකරමින් මගී ප්‍රවාහනය සිදුකරන බස් රථ රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු කියා සිටියේ ෴

+++++++++++++++++++

(21.01.2021 – 15:29 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙතක් ලෙස ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සඳහා විශේෂ දුරකථන සේවාවක් හඳුන්වා දී තිබෙනවා.

අක්ෂි සායන සඳහා විශාල රෝගීන් සංඛ්‍යාවක් දෛනිකව පැමිණීම නිසා මෙම ක්‍රමවේදය අනුගමනය කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඒ අනුව සායන සඳහා දුරකථන ඇමතුම් ලබාදී දිනයක් සහ වේලාවක් වෙන් කර ගත යුතු වනවා.

011 768 2741, 011 768 2554, 011 768 2558 සහ 011 789 8301 යන දුරකථන අංක අමතා අවශ්‍ය තොරතුරු දැන ගැනීමේ හැකියාව පවතිනවා ෴

++++++++++++++++++++++

(21.01.2021 – 15:31 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවත්ත – පොදු වෙළඳ සංකීර්ණයේ සේවය කරන සේවකයින් 12 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

පසුගිය 19 වනදා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් අනතුරුවයි මෙලෙස 12 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ.

මීට අමතරව ඔවුන්ගේ ආශ්‍රිතයින් 21 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කිරීමට ද සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, පොදු වෙළඳ සංකීර්ණයට පිවිසීමට ද සීමා කර ඇති බවයි වාර්තා වන්නේ ෴

+++++++++++++++++++

(21.01.2021 – 16:55 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 769 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 47,984 ක් ලෙසටයි.

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 55,189 ක් හමුවී ඇති අතර ඉන් 6931 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සිදුවූ මරණ සංඛ්‍යාව 274 ක් ෴

++++++++++++++++++++++++

(21.01.2021 – 17:04 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය ඇතුළු 14 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ, රෝහල් කාර්ය මණ්ඩලයට ඊයේ (20) සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකදී.

ඔවුන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට සහ නාරම්මල පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගත් බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මීට අමතරව ඔවුන්ගේ ආශ්‍රිතයින්ද නිරෝධායනයට යොමු කර තිබෙනවා ෴

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 11 දෙනෙකුට මේ වන විට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් 70 දෙනෙකු නිවාස නිරෝධායනයට යොමු කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 337 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 55,526 ක් ලෙසටයි ෴

++++++++++++++++++++

(21.01.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කළුවැල්ල ප්‍රදේශයේ පාසලක රගර් ක්‍රීඩකයන් හතරදෙනෙකුට (4) සහ එම එක් ක්‍රීඩකයෙකුගේ මවකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

පසුගිය දිනක මොවුන් තවත් පිරිසක් සමග ශ්‍රී පාද වන්දනාවේ ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම, කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරීන් හතරදෙනෙකු (4), හෙද නිලධාරීන් අටදෙනෙකු (8), සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් දෙදෙනෙකු (2) කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ එම රෝහලේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලිනුයි.

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සිව්දෙනෙකු (4) කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු අද (21) එම පරිශ්‍රයේ තවත් සේවක සේවිකාවන් 200 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළා.

මීට පෙර ආසාදිතයන් වාර්තාවූ මාතලේ – නාවුල ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවෙන් ද වාර්තාවන ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 30 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළා.

මේ අතර වැල්ලවත්ත – පොදු වෙළඳ සංකීර්ණයේ සේවය කරන සේවකයින් 12 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

පසුගිය 19 වනදා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් අනතුරුවයි මෙලෙස 12 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ.

මීට අමතරව ඔවුන්ගේ ආශ්‍රිතයින් 21 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කිරීමට ද සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, පොදු වෙළඳ සංකීර්ණයට පිවිසීම ද සීමා කර ඇති බවයි වාර්තා වන්නේ ෴

+++++++++++++++++++

(21.01.2021 – 20:24 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත මෙරටට ලබාගැනීම සඳහා ඉදිරි දින දෙක (2) ඇතුළත අවශ්‍ය අනුමැතිය ලබාදීමට හැකිවනු ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

එහි ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ අදාළ එන්නතේ සාම්පලයක් මේ වනවිටත් ලැබී ඇති බවයි.

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නතක සාම්පලයක් මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා ඖෂධ නියාමන අධිකාරිය වෙත ලැබී ඇත්තේ පසුගිය 19 වනදායි.

ඒ අනුව අදාළ එන්නතෙහි සායනික පරීක්ෂාවන් මෙන්ම අදාළ ලිපි ලේඛන කටයුතු මේ වනවිට සිදුවනවා.

එහිදී අවධානය යොමු කෙරෙන්නේ අදාළ එන්නත නිපදවීමට කර ඇති අධ්‍යයනයන් මොනවාද, රෝගීන් සඳහා භාවිත කර තිබේද, අතුරු ආබාධ මොනවා ද වැනි කරුණු කෙරෙහියි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මාධ්‍ය හමුවක් කැදවමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර, එහි සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා එහිදී කියා සිටියේ එන්නත ගෙන්වීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් ඊට හේතුව ඉදිරියේදී හෙළි කිරීමට සූදානම් බවයි.

+++++++++++++++++++

(21.01.2021 – 20:39 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය මැල්සිරිපුර – නීරම්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට පසුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමත් සමඟ සෞඛ්‍ය අංශ මැදිහත්ව දේහය ආදාහනය සඳහා රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 35 හැවිරිදි ආදාළ තරුණයා පෙනහළු ආබාධයක් හේතුවෙන් මියගෝස ඇති අතර එය ස්වභාවික මරණයක් ලෙස දන්වා රෝහල් බලධාරීන් විසින් ඊයේ (20) දේහය ඥාතීන් වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව දේහය ඊයේ (20) පස්වරු 5 සිට අද (21) පෙරවරු 10 පමණ වනතෙක් තැන්පත් කර තිබුණේ නීරම්මුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසකයි.

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග පැමිණි සෞඛ්‍ය බලධාරීන් අදාළ දේහයට කොවිඩ් ආසාදිත බැවින් අදාහනය සඳහා රැගෙන යාමට ඉල්ලීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ කරුණු පහදාදීමෙන් අනතුරුව දේහය මැල්සිරිපුර ආදාහනාගාරය වෙතගොස් නිරෝධායන නීති අනුව අවසන් කටයුතු සිදුකළා.

++++++++++++++++++

(21.01.2021 – 21:38 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 2 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 276 ක් දක්වා ඉහළ යනවා.

මියගොස් ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් සහ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව රෝහලට මාරුකර එවා තිබුණා.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) මියගිය මෙම කාන්තාවගේ මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ උග්‍ර නිව්මෝනියාවයි.

අතුරුගිරියේ පදිංචි පුද්ගලයා ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.

එහිදී පසුගිය 19 වනදා මියගොස් ඇති මෙම පුද්ගලයාගේ මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාව සමග ස්නායු පද්ධතියේ ඇතිවූ ආසාදනයක් මගින් බහු ඉන්ද්‍රීය අක්‍රිය වීමයි.

මේ අතර මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 538 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 56,064 ක් ලෙසටයි.

ඉන් ආසාදිතයන් 7816 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 47,984 ක් ෴

@@@@@@@@@@@@@@@@

(21.01.2021 – 16:58 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය අද වාර්තා කළා.

දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශක දැක්වුණේ ඒකක 8131.25 ක් ලෙසයි.

මීට පෙර සියලු කොටස් මිල දර්ශකයේ වැඩිම අගය පසුගිය 18 වනදා වාර්තාවූ අතර, එය ඒකක 7922.66 ක් ලෙස දැක්වුණා ෴

***************************************

(21.01.2021 – 17:47 +0530 – hirunews.lk/sinhala)

නකල්ස් රක්ෂිත වනාන්තරයට අයත් පිටවල පතන ප්‍රදේශයේ නිදැල්ලේ සැරිසරන මී ගවයින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් හය දෙනෙකු (6) ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

නාවුල මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

මාතලේ කොට්ඨාශ අපරාධ පරික්ෂණ ඒකයට හා රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයට ලද තොරතුරුවලට අනුව, මාතලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරිවරයාගේ උපදෙස් මත මාතලේ කොට්ඨාශඅපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසිනුයි මෙම වැටලීම සිදුකර තිබුණේ.

සැකකරුවන් සතුව තිබූ ත්‍රී රෝද රථ 02 ක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පිටවලපතන ආශ්‍රිතව සිදු වු ගව ඝාතන සඳහාද මෙම සැකකරුවන් සම්බන්ධ බව පොලිසිය සිදුකළ ලද මූලික පරික්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

මීට පෙර ආනාවරණය වු තොරතුරු වලට අනුව නකල්ස් වන භූමිය ආශ්‍රිතව සිදු වූ සත්ව ඝාතනයන් යම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් වාර්තාවක් ද කැඳවා තිබෙනවා ෴

***************************************

(21.01.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම කල් යාම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කරන බව ‘ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය’ පවසනවා.

කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපතිනී අනුෂා ජයන්ති මහත්මිය මේ බව සදහන් කළා.

මේ අතර, තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලා ‘ස්වරණමහල් ෆයිනැන්ෂියල් සර්විසස්’ සමාගමේ හිටපු අධ්‍යක්ෂවරු තුන්දෙනෙකු (3) ඉදිරිපත් කර තිබෙන අපේක්ෂිත ඇප පෙත්සම් මේ මස 27 වනදා සලකා බැලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (21) දින නියම කළා.

එහෙත් අපේක්ෂිත ඇප පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අදාළ සමාගමේ තවත් අධ්‍යක්ෂවරියක වන දීපා එදිරිසිංහගේ පෙත්සමේ තිබූ මුද්‍රණ දෝෂයක් හේතුවෙන් එම පෙත්සම ප්‍රතික්ෂේප කරන බවයි ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් දැනුම් දුන්නේ ෴

***************************************

(21.01.2021 – 20:44 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දියාව අත්තනෝමතිකව කටයුතු කරන්නේ නම් ඉන්දියානු නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ ප්‍රතික්ෂේප කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන බව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිතිය පවනවා.

එහි නියෝජිතයන් පිරිසක් අද (21) සංදේශයක් රැගෙන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමණි අවස්ථාවේදී මේ බව සදහන් කෙරුණා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට ලබාදීමේ රජයේ තීරණයට විරෝධය පළ කරමින් වහාම එම ගිවිසුමෙන් ඉවත්වන ලෙස ඉල්ලා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සාමාජිකයින් විශේෂ සංදේශයක් භාරදීම සඳහා අද (21) කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණියා.

මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ කල් තියා වේලාවක් වෙන්කර ගෙන නොපැමිනීම හේතුවෙන් අදාළ සංදේශය භාරගත නොහැකි බවයි.

++++++++++++++++

***************************************

(21.01.2021 – 20:50 +0530 – hirunews.lk/sinhala)

කාති උසාවි තුළින් ක්‍රියාත්මක වන්නේ වෙනස් ආකාරයක ත්‍රස්තවාදයක් බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

මේ අතරල මුස්ලිම් නියෝජිතයින් ඇතුළු තවත් පාර්ශ්ව කිහිපයක්ද කාති උසාවි සම්බන්ධයෙන් අදහස් පළකළා.

මේ අධිකරණ සේවා කොමිසම විසින් දිවයින පුරා දිස්ත්‍රික්ක 11 ක ස්ථාන 25 ක් සඳහා මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ කාති තනතුරුවලට බඳවා ගැනීම වෙනුවෙන් පළ කර ඇති ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක්.

අධිකරණ සේවා කොමිසම මෙම පුවත්පත් දැන්වීම පළකර තිබුණේල කාති උසාවි හේතුවෙන් තමන් දැඩි අසාධාරණයකට ලක්වූ බවට මුස්ලිම් ජාතික කාන්තාවන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් ප්‍රශ්න මතුකර ඇති පසුබිමකයි.

මේ අතර, කාති උසාවි සම්බන්ධයෙන් අදත් (21) පාර්ශ්ව රැසක් අදහස් පළකළා.

***************************************

(21.01.2021 – 20:55 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – රූමස්සල අභයභූමිය ඔස්සේ රථ වාහන පවා ධාවනය කළ හැකි මාර්ගයක් තැනීමට කටයුතු කිරීම හේතුවෙන් එහි පරිසර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වන බව පරිසරවේදීන් පවසනවා.

අද (21) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රූමස්සල යනු පාරිසරිකව, භූවිද්‍යාත්මකව හා ඓතිහාසිකව ඉතා වැදගත් භූමියක්.

රාම – රාවණා කථාව හා බැඳුණු උරුමයක් සහිත රූමස්සල ආශ්‍රිතව ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් සමන්විත සමුද්‍ර හා ගොඩබිම් පරිසර පද්ධතියක් පවතිනවා.

රූමස්සල – ගල්හේන සිට පැමිණෙන දිය පහර සහ පීල්ල හන්දිය අතර මේ වනවිට අඩි පාරක් ලෙස පවතින මාර්ගයක්.

මීටර් 200 ක් පමණ දිග මෙම අඩි පාර කාපට් අතුරා පුළුල් මාර්ගයක් බවට පත්කිරීමටයි, මේ වනවිට සැලසුම් සකස් කෙරෙමින් පවතින්නේ.

පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙම සංවේදී කලාපය හරහා පුළුල් මාර්ගයක් ඉදිකිරීම හරහා ඉහළ ජෛව විවිධත්වයකින් අනුන පරිසර පද්ධතියට සෘජු බලපෑමක් එල්ල වන බවයි.

***************************************

(21.01.2021 – 22:51 +0530 – hirunews.lk/sinhala)

අලි මිනිස් ගැටුමට නිසි විසඳුමක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සුරියවැව වල්සපුගලදී ගොවි සංවිධාන විසින් සිදුකරන උපවාසයට විසඳුම් රැගෙන රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද එම ස්ථානයට පැමිණියත් උපවාසකරුවන් උපවාසය අත්හැරීමට කැමැත්ත පළ කලේ නැහැ.

ඔවුන් ප්‍රකාශ කළේ අලි කලමණාකරණ ප්‍රදේශ ගැසට් කර අදාළ ගැසට් පත්‍රය රැගෙන පැමිණෙන තුරු තමන් උපවාසය අත්නොහරින බවයි.

හම්බන්තොට – සූරියවැව, වල්සපුගල ප්‍රදේශයේදී වන අලින්ගෙන් දිගින් දිගටම එල්ල වන තර්ජන හේතුවෙන් වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86 ක නියෝජිතයන් පසුගිය 18 වැනිදා සත්‍ය ග්‍රහයක් ආරම්භ කළා.

අදාළ සත්‍යග්‍රහයේ නිරත වූ ගොවි නියෝජිතයන් 7 දෙනෙකු අතුරින් තිදෙනෙකු (3) මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ තම ඉල්ලීම්වලට විසඳුමක් නොලද බැවින්.

මේ අතරතුර යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය තුළ මහා පරිමාණයෙන් බිම් එළිපෙහෙලි කර අනවසරයෙන් වගා කටයුතු සිදුකරන පිරිසක් අද (21) පෙරවරුවේ එම ස්ථානයට පැමිණියා.

එහිදී දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.

පොලිසිය මැදිහත්ව අනවසර වගාකරුවන් එම ස්ථානයේ ඉවත්කිරීමට මෙලෙස කටයුතු කළා.

මේ අතර අද (21) පස්වරුවේ හම්බන්තොට දිසාපතිවරයාල ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් උපවාසකරුවන් හමුවීමට පැමිණියා.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන් පිරිස මෙලෙස නික්ම ගියා.

මේ අතර සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ මහලේකම් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් ඇතුළු පරිසර සංවිධාන නියෝජිතයින් පිරිසක්ද අද (21) උපවාසය පැවති ස්ථානයට පැමිණියා.

++++++++++++++

***************************************

(21.01.2021 – 16:56 +0530 – sinhala.adaderana.lk)

පොදු මගී ප්‍රවාහන බස් රථවල ආසන ගණනට පමණක් මගීන් රැගෙනයාම කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය අනුව එය ක්‍රියාත්මක විය යුතු බවය.

එහිදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,

“පොදු ප්‍රවාහන සේවාවල සහ පාසල් ප්‍රවාහන සේවාවල සෞඛ්‍ය රීති අනුගමනය නොකරන බවට සිවිල් ඇඳුමෙන් සැරසුන නිලධාරීන් විසින් තොරතුරු ලබාගෙන වාර්තාකර තිබෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ගිය වසරේ නිකුත්කරල ලද ගැසට් නිවේදනයට අනුව පොදු ප්‍රවාහන සේවාවක ගමන්කළ හැක්කේ ආසන ගණන පමණයි. ඊට පරිබාගිරව කටයුතු කරන්නේ නම් බස් රථයේ හිමිකරුට, බස් රථය හිමි සමාගමට, රියදුරුට සහ සහයකයා වරදකරු කිරීමට හැකියාවක් තියෙනවා. අපි ඉදිරියෙදී ඒ කටයුතු සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *