කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීමට එරෙහි බළවත් විරෝධයක් – ජාතික ඒකාබද්ධ කමිටුවෙන්
*********************************************
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීමට එරෙහි බළවත් විරෝධයක් – ජාතික ඒකාබද්ධ කමිටුවෙන්
(05.01.2021 – 18:38 +0530 – lankaleadnews.com)
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීම පිළිබඳව දසතින් එල්ලවන විරෝධය අතරට ජාතික ඒකාබද්ධ කමිටුව ද එක්වෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර එය පහතින් පලවේ :
යෝජිත ‘කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීම’ පිළිබඳව ජාතික ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ (කො.ව.නැ.ප./ECT) කොටසක් ඉන්දියානු සමාගමකට බදු දීමට රජය අදහස් කරමින් සිටින බවට වන මාධ්‍ය වාර්තා හේතුවෙන් ජාතික ඒකාබද්ධ කමිටුව (ජා.ඒ.ක./NJC) දැඩි ලෙස කණස්සලට පත්ව ඇති අතර එවැනි පියවරකට එරෙහිව අපගේ අප්‍රසාදය, නොමනාපය සහ ප්‍රබල විරෝධය මෙයින් ප්‍රකාශ කිරීමට අපේක්ෂා කෙරෙයි.
පළමුකොටම, උපාය මාර්ගික ජාතික වත්කම් අන්සතු කිරීමේ ප්‍රතිපත්තිය සහ භාවිතය අතිගරු ජනාධිපතිතුමාගේ රජයක් විසින් අනුගමනය කළ නොහැකි බව සිහිපත් කළ යුතුව ඇත. ජා.ඒ.ක. ඒ බව අවධාරණය කරන්නේ, අපගේ උපායමාර්ගික වත්කම් ආරක්ෂා කිරීම, අපේ රටේ ස්වෛරීභාවය හා ස්වාධීනත්වය අනතුරේ හෙළිමට තුඩු දිය හැකි කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට අතිගරු ජනාධිපතිතුමන් විසින් සිය ‘සෞභාග්‍යයේ දැක්ම’ තුළින් පැහැදිලිව ම පොරොන්දු වී ඇති බැවින් සහ ඒ ප්‍රතිඥාව පදනම් කරගනිමින් මේ රටේ ජනතාව ජනාධිපතිවරයා තෝරා පත් කර ගත් බැවින්ය.
වර්තමානයේ බලයේ සිටින දේශපාලන බලවේගයන් මීට වසරකට පමණ පෙර තමන් විපක්ෂයේ සිටියදී එවකට යහපාලන රජය විසින් චීනයට හම්බන්තොට වරාය බදු දීම දැඩි ලෙස විවේචනය කළ බවත්, ඉන්දියානු රජය සහ ජපාන රජය සමඟ ත්‍රෛපාර්ශවීය ‘සහයෝගිතා ගිවිසුමක්’ ඇති කර ගනිමින් කොළඹ දකුණු වරායේ නැගෙනහිර බහාලු පර්යන්තය අන්සතු කිරීමට ගත් උත්සාහය ද දැඩි ලෙස විවේචනය කළ බවත් අපට අමතක කළ නොහැකිය. මේ අනුව, ඉතා උපායමාර්ගික ජාතික වත්කමක් වන අපගේ කො.ව.නැ.ප.හි පැළපදියන්වීමට සහ එය පාලනය කිරීමට විදේශීය බලවතුන්ට හැකිවන පරිදි විකිණීම, බදු දීම හෝ අවකාශ දීම සඳහා වැනි ඕනෑම පියවරක් අප කිසි විටෙක අපේක්ෂා නොකළ හා මහජනතාවගේ බලාපොරොත්තු සුන් කරන ප්‍රතිවිරෝධයක් බවට පෙන්වා දිය යුතුව ඇත.
කො.ව.නැ.ප.හි කොටසක් බදු දීම පිළිබඳව ගෙනවිත් ඇති මෙම යෝජනාවට අදාළ පහත සඳහන් කරුණු වන පසුබිම, විකාශනය සහ අවදානම් පිළිබඳව ජා.ඒ.ක. අතිගරු ජනාධිපතිතුමාගේ, ගරු අග්‍රාමාත්‍යතුමාගේ, අමාත්‍ය කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු කිරීමට අපේක්ෂා කරයි :
1) ගෝලීය සහ කලාපීය බලවතුන් අතර ජාත්‍යන්තර දේශපාලන බල අරගලයට අපේ මව්බිම ගොදුරු වීමට ඉඩ තැබීමට අපට හැකියාවක් නොමැත. දැනටමත් හම්බන්තොට වරාය අත්පත් කර ගැනීමට චීනයටත්, ත්‍රිකුණාමල තෙල් ටැංකි අත්පත් කර ගැනීමට ඉන්දියාවටත් ඉඩ දී ඇති තත්ත්වය තුළ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට පයගැසීමට ඉන්දියාවට හෝ වෙනත් රටකට ඉඩ දීමේ බරපතල වරද අප රට විසින් නොකළ යුතුය.
2) නැගෙනහිර පර්යන්තය යනු ශ්‍රී ලංකා වරාය අධිකාරිය (ශ්‍රී.ලං.ව.අ.) සතු ගැඹුරට සැකසු පර්යන්තය වන අතර, ඒය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ පාලනය හා කළමනාකරණය යටතේ තබා ගත යුතු අතර ඒ බව නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව විසින් ද නිර්දේශ කරනු ලැබ ඇත. ඕනෑම විදේශීය බලවේගයකට හෝ පෞද්ගලික සමාගමකට කො.ව.නැ.ප. කුමන ආකාරයේ අන්සතු කිරීමක් සිදුකළහොත් නූතන නාවික ව්‍යාපාරයේ පාලනය අපෙන් ගිලිහියාමට ආදායම අහිමිවීමට අදාළ බරපතළ ව්‍යසනකාරි ප්‍රතිවිපාකවලට මුහුණ පෑමට ශ්‍රී.ලං.වා.අධිකාරියට සිදු වනු ඇත.
3) ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කො.ව.නැ.ප. ක්‍රමානුකූලව සංවර්ධනය කිරීම සඳහා වෙන් කරන ලද ප්‍රාග්ධන අරමුදල් ඇති බවත්, එහි ඩොලර් මිලියන සිය ගණනක් සංචිත ඇති බවත් අපි දැන සිටිමු. මීට අමතරව, කො.ව.නැ.ප. දැනට පවතින ආකාරයටම ක්‍රියාත්මක වන විට ද, වාර්ෂිකව ඩොලර් මිලියන 50 කට ආසන්න මුදලක් උපයා ගත හැකි අතර, පර්යන්ත මෙහෙයුම් මගින් ඉපැයෙන තමන්ගේ ම සම්පත් උපයෝගී කරගනිමින් අදියරෙන් අදියර වශයෙන් කො.ව.නැ.ප. තවදුරටත් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට හැකියාව ඇත. එබැවින්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ම කො.ව.නැ.ප. තමන් විසින් සංවර්ධනය කිරීමට ශ්‍රී.ලං.වා.අධිකාරිය සම්පත් නොමැති බවට සඳහන් කිරීම නිවැරදි නොවනවා පමණක් නොව, මහජනතාව ද නොමඟ යවන්නා වූ ප්‍රකාශයන්ය.
4) කො.ව.නැ.ප. සිය මෙහෙයුම් සිදුවන අතර ම ක්‍රමාණුකූලව සංවර්ධනය කිරීමට ශ්‍රී.ලං.ව.අධිකාරියට හැකි බව අපගේ විශ්වාසයි. ඒ බැවින්, ඒ උදෙසා එක් විදේශීය සමාගමක් සමඟ සාකච්ඡා කිරීමට රජය ගෙන ඇති පියවර ජාතික අභිලාෂයන්ට සපුරා පටහැනි වන බවත්, විනිවිද පෙනෙන ප්‍රසම්පාදන මූලධර්ම උල්ලංඝනය කරන බවත් ජා.ඒ.ක.හි අදහසයි. යම් හෙයකින් දේශීය හෝ විදේශීය පුද්ගලික සම්පත් මේ සඳහා සංචිත අවශ්‍ය යැයි යමකු උපකල්පනය කළ ද, එවැනි බාහිර ආයෝජනයක් අවශ්‍ය නම්, සිය පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ උපරිම වගකීම භාරව සිටින රජය විසින් කළ යුතුව තිබුණේ වඩාත් සුදුසු දේශීය පෞද්ගලික අංශයේ සහ ඉන් පසුව ජාත්‍යන්තරයේ ආයෝජකයන් වෙතින් තරඟකාරී මිල ගණන් කැඳවීමයි.
5) තෝරාගත් එක් ආයෝජකයෙකු සමඟ පමණක් සාකච්ඡා කිරීමෙන් යම් සම්පතක් කල්බදු දීමක දී හෝ විකිණීමකදී උපායමාර්ගිකව එහි උපරිම වටිනාකම ලබා ගැනීමේ අවස්ථාව ජාතියට අහිමි වනු ඇත. මහජන ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කිරීමේ අරමුණෙන් ව්‍යවස්ථානුකූල කර තිබු ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට අදාළ වූ ව්‍යවස්ථා වගන්තීන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අවලංගු කරන ලද අවස්ථාවක දී මෙම කරුණ වඩාත් මහජන අවධානයට යොමු වී තිබිම දෛවයේ සරදමක් වැනිය.
දැනට යෝජිත අපේක්ෂිත ගනුදෙනුව පිළිබඳ ගැඹුරින් තොරතුරු සොයා බැලීමේදී ජා.ඒ.ක. පුදුමයට පත් කරවන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙන් 49% ක කොටස් ඉන්දියානු සමාගමකට බදු දීමට අප රජයට සිදු වී ඇත්තේ 2019 මැයි 28 වැනි දින යහපාලන රජය, ඉන්දියාව සහ ජපානය සමග අත්සන් කළ සහයෝගිතා ලියැවිල්ලෙන් අප ඒ සඳහා බැඳී සිටින නිසා බවට මේ බදු යෝජනාව ඉදිරියට ගෙන එන්නන් විසින් කෙරෙන ප්‍රකාශයන් තුළිනි. මෙය පදනම් විරහිත වූ තර්කයක් වන්නේ ඒම සහයෝගිතා ලියවිල්ල හුදු ‘සාකච්ඡා සම්මුතීන් උදෙසා කෙරෙන සැලසුමක්’ පමණක් විනා කිසිඳු බැඳීමක් ඇති කරවන ගිවිසුමක් නොවන බැවිනි.
තව ද, එම ලියැවිල්ලේ එක් පාර්ශ්වයක් වූ ජපානය මේ වන විට ඉවත්ව ඇති බැවින් ඒ ඒකඟතාව අවලංගු වී ඇති හා තනි පාර්ශ්වයක් විසින් ක්‍රියාත්මක කළ නොහැකි ලියැවිල්ලක් බවට පත්ව ඇත. එම ඒකඟතා ලියැවිල්ලේ අරමුණ වුයේ ඉන්දියාවට සහ ජපානයට ‘සාමූහිකව 49% ක්’ ලබා දීම විනා කිසිදු තනි පාර්ශවයකට මුළු 49% ම ලබා දීමක් නොවන අතර එය ආණ්ඩු තුන ම එක්ව විනා කිසි ලෙසක ආණ්ඩු දෙකක් අතර පමණක් සාකච්ඡා කිරීමක් ද නොවේ.
ඊට අමතරව, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු වීරමාන්ත්‍රි මහතා, ඔහුගේ ‘Treaties on the Law of Contract prevailing in Ceylon’ නම් කෘතියේ සඳහන් කර ඇත්තේ, ‘පාර්ශ්වයන් අතර සාකච්ඡා පැවැත්වෙන තාක් කල් එක් පාර්ශ්වයකට ඉවත් වීමට ඉඩ ඇති’ බවය. එබැවින්, කොළඹ වරායේ කො.ව.නැ.ප. ව. අන්සතු කිරීම අතහැර දැමීමට වත්මන් රජය දක්වන බව පෙනෙන අකැමැත්ත යුක්ති සහගත නොවන අතර, එය කරුණු වැරදි ලෙස නිරූපණය කිරීමේ සහ මහජනයා නොමඟ යැවීමේ කනගාටුදායක උත්සාහයක් මිස අන් කිසිවක් නොවේ.
6) දැනට බලාත්මක නැති වූත් ‘සාකච්ඡා සැලසුමක්’ පමණක් වූ ලියැවිල්ලක් පදනම්ව තෝරාගත් එක් සමාගමක් සමඟ සාකච්ඡා පැවැත්වීමට රජය ගෙන ඇති පියවර පිළිගත නොහැකි බව ජා.ඒ.ක. තවදුරටත් සඳහන් කරයි. එම ඒකඟතා ගිවිසුමට අනුව සලකා බැලුව ද, එකී සමාගම කිසි විටෙකත් එම ඒකඟතාවයේ පාර්ශ්වකරුවෙකු නොවූ අතර, එහි හවුල්කාර රජයකට සිය අයිතිවාසිකම් සහ වගකීම් තෙවන පාර්හ්වයකට පැවරිය හැකි බවට කිසිදු ප්‍රතිපාදනයක් එම ලියැවිල්ලේ නොමැත. එබැවින්, යම් විදේශීය පාර්ශ්වයකට කො.ව.නැ.ප. හි කොටසක් අන්සතු කිරීමට වර්තමානයේ ගැනෙන ඕනෑම පියවරක් ‘නව උත්සාහයක්’ විනා එය පෙර පැවති ගිවිසුමක් මත සිදුකරන්නේ යැයි සාධාරණීකරණය කළ නොහැකිය.
7) රජය විසින් සාකච්ඡා කිරීමට අදහස් කරන තෝරාගත් සමාගම ශ්‍රී ලංකාවේ වරායේ සෘජු තරඟකරුවෙකු වන අතර කොළඹ වරායෙන් සිදුකෙරෙන අතරමැදි භාණ්ඩ ප්‍රවාහන ව්‍යාපාරික කටයුතු කොළඹ වරායෙන් ඉවතට ගෙන යාමේ නිශ්චිත අරමුණක් ඔවුන්ට ඇති බවට ජා.ඒ.කමිටුවේ නිරීක්ෂණයයි. මෙම සමාගම මේ වන විට කේරළයේ විජින්ජම් වරාය ඇතුළු තරඟකාරී වරායන් කිහිපයක් දකුණු ආසියානු කලාපය තුළ සංවර්ධනය කරමින් සිටින බව සැලකිල්ලට ගත යුතුය. එවැනි ආයෝජකයෙකු කොළඹ වරායේ අභිවෘද්ධිය සඳහා කළමනාකරණ තීරණ ගනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි වන අතර, අපගේ වරාය පසුබැස්සවීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැක්කා වූ එ වැනි තරගකාරී සමාගමකට අපගේ උපායමාර්ගික වශයෙන් වැදගත් වරාය පර්යන්තයක් කළමණාකරණය කිරීමට ආරාධනා කිරීම අනුවණකමකි.
8) මීට අමතරව, මෙම සමාගමට ඉන්දියාවේ සහ ඕස්ට්‍රේලියාවේ සමාජ විරෝධී හා පරිසර විරෝධී ක්‍රියා රාශියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව ජා.ඒ.ක වෙත දැන ගැනීමට ලැබී ඇත. එවැනි කළමනාකරණ සහකරුවෙකුගෙන් සමාජමය වශයෙන් විචක්ෂණශීලී ක්‍රියාමාර්ගයක් අපේක්ෂා කළ නොහැකි අතර, ඒ තුළින් ශ්‍රී ලංකාවේ ඇති විය හැකි සමාජ ආර්ථික හා දේශපාලන අහිතකර බලපෑම් ද නොසලකා හැරිය නොහැකිය.
9) එපමණක් නොව, ඉන්දියානු සමාගමක් කොළඹ වරායට පය තබන්නේ නම්, කො.නැ.ව.ප. ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු ශ්‍රමය ආනයනය කිරීමේ ඇති ඉඩකඩ ද සුළුපටු නොවනු ඇති අතර එය වරායේ මෙන්ම පොදුවේ දේශීය ආර්ථිකයේ සේවක සුභසාධනයට ද තර්ජනයක් වීමට ඉඩ ඇත. මේ තුළින්, පෙර පාලන තන්ත්‍රය විසින් උත්සාහ කරන ලදුව මහජන විරෝධය හමුවේ හකුළාගන්නා ලද කුප්‍රකට ‘ආර්ථික සහ තාක්ෂණ සහයෝගීතා ගිවිසුමත’ (ETCA) සඳහා ද යළි මග පෑදෙනු ඇත. එවකට විපක්ෂයේ සිටිමින් ඊට ඒරෙහිව තමන් විසින් දියත් කෙරුනු ලද විරෝධයන් වර්තමාන රජයේ දේශපාලකයන්ට නැවත සිහිපත් කිරීමට ජා.ඒ.ක.ට සිදු වී තිබීම කනගාටුවට කරුණකි.
මේ සම්බන්ධව සැබෑ තොරතුරු මේ වැනි මූලෝපායික, උපායමාර්ගික වත්කම්ක සැබෑ හිමිකරුවන් වන මහජනතාව වෙත දැනුවත් කර නොමැතිව විම නිසා සහ ඒ සැබෑ හිමිකරුවන්ගෙන් නොවිමසා අදාළ ජාතික වත්කමේ කොටස් සම්බන්ධයෙන් විදේශ ආයතන සමඟ සාකච්ඡා පැවැත්වීම කටයුතු කර තිබීම මත ජා.ඒ.කමිටුවේ බලාපොරොත්තු සුන් වී ඇත. මෙවැනි පොදු වත්කම්වල භාරකරුවන් ලෙස කෙටි කාලයක් සඳහා තෝරා පත් කර ගැනෙන රජයන් තමන්ගේ ධූර කාලයන් ඉක්මවන කාල පරාසයන් සඳහා සඳහා බලාත්මක කෙරෙන කල්බදු ගිවිසුම් සාකච්ඡා කිරිම පුරුවැසියන්ගේ ස්වෛරී අයිතීන් බරපතල ලෙස උල්ලංඝනය වීමට තුඩු දිය හැකිය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 (ඩී) ව්‍යවස්ථාවට අනුව පොදු වත්කම් සුරක්ෂා කිරීම හා ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයෙකුගේම වගකීමක් වන අතර, ඒ අනුව රජය වෙනුවෙන් තීරණ ගන්නන් විසින් තමන් භාරයේ ඇති පොදු දෙපොළ ඒවාට අදාළ හොඳම වටිනාකමක් ලබා ගැනීම උදෙසා අවශ්‍ය තරඟකාරී ලංසු තැබීමෙන් තොරව සහ ඒවායේ සැබෑ අයිතිකරුවන් වන මේ රටේ පුරවැසියන්ගෙන් නොවිමසා අන්සතු කරන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.
එබැවින්, අපේ මව්බිමේ ජාතික ආරක්ෂාව, ස්වාධීනත්වය සහ දේශපාලන-ආර්ථික ස්වෛරීභාවය අවදානමට හෙළීමට තුඩු දෙන්නා වූ මෙම කොළඹ වරායේ කො.නැ.ව.ප. කල්බද්දට ලබා දීමෙන් වළකින ලෙසත්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය හරහා සහ දේශීය ව්‍යවසායකත්වය තුළින් කොළඹ නැගෙනහිර වරාය පර්යන්තය සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසත් අතිගරු ජනාධිපතිතුමන්ගෙන්, ගරු අග්‍රාමාත්‍යවරයාගෙන්, අමාත්‍ය මණ්ඩලයෙන් සහ පාර්ලිමේන්තුවෙන් ජාතික ඒකාබද්ධ කමිටුව ඉතා ඕනෑකමින් අපේක්ෂා කර සිටි.
අත්සන් කළේ :
ලුතිනන් කර්නල් අනිල් අමරසේකර (විශ්‍රාමික)
නිතිඥ කේ. එම්. බී.කොටකදෙනිය (විශ්‍රාමික ජේ.නි.පොලිස්පති)
සම සභාපතිවරු
ජාතික ඒකාබද්ධ කමිටුව
+++++++++++++++++++++++++++
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විජාතිකකරණය….
(05.01.2021 – 23:30 +0530 – lankaleadnews.com)
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය තවමත් අපට අයිති ජාතික වස්තුවකි. එය මේ වන විට ලංකා මාතාවට අහිමිවීමේ අවදානමකට පත්වෙලා තියනවා කියල ආරංචි පැතිරෙන මෙම අවස්ථාවේදී ඒ පිළිබඳ යමක් නොපැවසුවහොත් මාතෘ භූමියට ආදරය කරන ශ‍්‍රී ලාංකිකයකු හැටියටත් වරාය හා නාවික අමාත්‍යාංශයේ හිටපු ලේකම් වරයකු වශයෙනුත් මා විසින් ඉටුකළ යුතු වූ යුතුකමක් සහ වගකීමක් පැහැර හැරීමක් ලෙස මට සිතෙන නිසා මෙම ලිපිය ලිවීමට අදහස් කෙළෙමි.
අපේ ප‍්‍රස්ථාව පිරුළක් තියනවා ‘වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා’ කියල. ඒකෙන් කියවෙන පසුබිම් කතාව ඉතාමත් ගැඹුරු ඒකක්. තමන් සතුව තිබුණ සාරවත් ඉඩමක් තිබුණ පරණ වලව් කාරයෙක් තමන් සතු ඉඩමේ ගහකොළ වලට සාත්තු සප්පායම් කිරීම හරි විදිහට කරල ඒකෙ පලදාව වැඩිකරගන්නට උත්සාහ කරනවා වෙනුවට ඉඩම බදුගන්න බලාගෙන හිටපු නගරයෙන් පැමිණි හෙට්ටියකුට ඒක බද්දට දීල එසේ බදුගත් තැනැත්තාගෙන් යමක් ඉල්ලාගෙන කමින් ජීවත්වන තත්ත්වයේ දීනත්වයකට පත්වීමට මග පාදාගත් ගමක පදිංචිවෙලා හිටපු පරම්පරාගත වලව්කාර ගැමියෙක් මුහුණදුන් අත්දැකීමක් පදනම් කරගෙනයි එම ප‍්‍රස්ථාව පිරුළ ව්‍යවහාරයට පැමිණියේ. වචනාර්ථයෙන් ප‍්‍රකාශ වන්නේ වත්ත පිට කෙනෙකුට බදු දීමෙන් පස්සෙ බඩගින්නක් ඇතිවෙලා කුරුම්බා ගෙඩියක් ඉල්ලගන්නට ගිහිල්ල ඉඩම බදුගත් අය ඉදිරියේ දීනත්වයට පත් වීමට සිදු වූ ආකාරය සහ තමන් කරගත් මෝඩකමේ තරම වැටහෙනකොට තමා පත්ව සිටි අසරණ තත්ත්වය පිළිබඳව පසුතැවිලි වීමට සිදු වූ බවයි.
පසුබිම් කතාවේ හැටියට අර පුද්ගලයා වත්ත බද්දට දුන්නේ හේතු කීපයක් නිසයි. පළමු වැන්න වත්ත තම සන්තකයේ තබා ගෙන එය සංවර්ධනය කළ හැකි බවට ඔහු තුළ ආත්ම විශ්වාසයක් නොතිබීම. දෙවැන්න ඔහු සතුව වත්ත සංවර්ධනය කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ දැනුමක් නොතිබීම. තුන්වනුව වත්ත බද්දට නොදී එය සංවර්ධනය කළ හැක්කේ කෙසේදැයි තමන් නොදනිතත් ගමේ අසල්වාසීන්ගෙන්ම අවශ්‍ය උපදෙස් සහ මූල්‍ය ආධාරද ලබාගෙන ඉඩම සංවර්ධනය කරගත හැකි බව තේරුම් ගැනීමට තරම් බුද්ධියක් ඔහු සතුව නොපැවතීම. හතරවනුව තමා වත්ත බද්දට දීම මගින් සිදුකරගන්නා ක‍්‍රියාවෙහි ඵලවිපාක පිළිබඳ අවබෝධයක් නොතිබීම. පස්වනුව වත්ත බද්දට දෙනමෙන් තමාව පොළඹවන්නන් තමන්ට ලැබෙන වරප‍්‍රසාද දෙස මිස එසේ ලබාගන්නා වරප‍්‍රසාද නිසා වතුහිමියාත් වත්ත පිහිටි ප‍්‍රදේශයේ සමාජ ආර්ථික ස්ථාවරත්වය විනාශ කරනවා පමණක් නොව තමන්මත් අපායට දොරටු විවර කරගන්නා අගතිගාමී ක‍්‍රියාවක් සිදුකරගන්නා බව නොවැටහීම.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තට විදේශ සමාගමකට පැවරීමෙන් පසුව ලංකා මාතාවට ‘ඇස්සට දත නියවන්නටවත්’ අවකාශයක් ලැබේ යැයි සිතිය නොහැකිය. ලංකා මාතාවට සිය බඩවියත රැක ගැනීම සඳහා බදුකරු යටතේ බැලමෙහෙවර කිරීමට සිදුවන තත්ත්වයක් උදාවීමට ඉඩකඩ ඇති බව තේරුම් ගැනීමට තරම් වගකිවයුත්තන්ට බුද්ධිය පහළ නොවන්නේ නම් ඒසේ වීමට හේතුව ඔවුන්ගේ මුග්ධ භාවයට වඩා අපේ මාතෘ භූමියේ අවාසනාව මිස වෙන ඒකක් විය නොහැකිය.
කොළඹ වරායේ ඇති පර්යන්තයන් අතරින් අපේ වරාය අධිකාරියට ආදායම් ලැබෙන්නේ පර්යන්ත දෙකකින් පමණකි. ඒවා නම් ජයබහලූ පර්යන්තතය හා නැගෙනහිර පර්යන්තයයි. ජයබහලූ පර්යන්තයට අදාළ සාගර ගැඹුර අනුව එයට ප‍්‍රවේශ අවකාශ දිය හැක්කේ මීටර් 14.5 ක් හෝ ඊට අඩු (Draft of the Ship) උසින් යුක්ත වූ නැව් වලට පමණකි. අද ලෝකයේ නවීනතම නාවික ඉංජිනේරු තාක්ෂණයේ දියුණුවත් සමග පැන නැගී ඇති අවශ්‍යතාව අනුව කන්ටේනර් නැත්නම් බහාලූම් විශාල ප‍්‍රමාණයක් ප‍්‍රවාහනය කළ හැකි පැනමා ගණයේ නැව් එනම් මීටර් 18 ක්වූ උසින් යුතු නැව් ඇතුල් කළ හැකි ලංකා මාතාව සතු එකම පර්යන්තය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයයි. දැනටමත් ඉන්දියාවේ වරායවලින් ලෝකයේ ඈත රටවලට යැවෙන විශාල ප‍්‍රමාණයේ නැව් භාණ්ඩ (Cargo) කොළඹ වරායට ප‍්‍රවාහනය කිරීමෙන් අනතුරුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට පැමිණෙන පැනමා ප‍්‍රමාණයේ නැව්මගින් ප‍්‍රතිනැව්ගත කිරීමේ කාර්යය (Transshipment) සිදුකෙරේ. එසේ කිරීමෙන් අපේ රටට දෛනිකව ලැබෙන ආදායම කොපමණදැයි දැනගන්නා ලංකාවට ආදරය ඇති ඕනෑම කෙනෙකු තුළ නැගෙනහිර පර්යන්තය අපේ රටට අහිමිකිරීමට සහාය දෙන ඕනෑම අයකු කෙරෙහි මහත් පිළිකුලක් ඇතිවනු නොඅනුමානය.
ඉන්දියාවේ නැව්තටාකාංග වල සිට ලංකාවට ප‍්‍රතිනැව් ගතකිරීමට නැව්බඩු ගෙන ඒමට හේතුව කුමක්දැයි පෙන්වාදීමද මගේ යුතුකමකැයි මම සිතමි. එයට හේතුව මෙහි දැක්වෙන වගුව කියවා බලන බුද්ධිමත් ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. ඉන්දියාව සතු ප‍්‍රධාන වරාය දෙළහෙන් එකකවත් අපේ නැගෙනහිර පර්යන්තය සතුව ඇති ප‍්‍රමාණයේ වූ පැනමා වර්ගයේ නාවික ප‍්‍රවේශයේ වාසනාව හිමිව නැති ආකාරයත් එහෙයින් අපේ කොළඹ වරාය දක්වා ප‍්‍රතිනැව්ගත කිරීම පිණිස භාණ්ඩ ප‍්‍රවාහනය අනිවාර්ය වී ඇති බවත් තහවුරු වනු ඇති බව මම සිතමි.
නැගෙනහිර ජැටිය ඉන්දියානු ව්‍යාපාරික ආයතනයකට පවරනු ලැබුවහොත් පළමුකොටම ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආදායමට මෙතෙක් ලැබුණ විශාල ධනස්කන්ධයක් රටට අහිමි වේ. ඊළඟට ලංකාවට විශාල නැව්මගින් එන භාණ්ඩ පිළිබඳව මෙන්ව විශාල නැව් මගින් ජාත්‍යන්තරයට යැවෙන භාණ්ඩ වෙනුවෙන් ඉන්දියානු සමාගමේ පිහිට පැතීමට සිදුවීමය. වෙනත් වචනවලින් කියනවානම් ඉන්දියාව ඉන්දියානු අර්ධද්වීපයේ වරායවල් දොළහක් මගින්ම කරගත නොහැකි වූ දේ මේ පුංචි ලංකාවේ කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ආධිපත්‍යය ඩැහැගැනීම තුළින් ඉටුකරගැනීමේ වෑයම සාර්ථක වුවහොත් ශ‍්‍රී ලංකාවට සිදුවන්නේ ‘වත්ත බද්දට දී ඇස්සට දතනියවන්ට සිදුවූ වළව් කාරයාට’ සිදුවූ දේම නොවේද? අපේ රටේ අර්ථ ශාස්ත‍්‍රඥයන් යැයි කියාගන්නා අයට කෞටිල්‍යයගේ මයිල්ගහකට ඇති දැනීමේ තරම්වත් දැනුමක් නොතිබීම ජාතියේ අවාසනාව නොවේද?
ඩබ්ලිව්. ඒ. ඒස්. පෙරේරා (වරාය හා නාවික අමාත්‍යංශයේ හිටපු ලේකම්)
+—————–
ඩබ්ලිව්. ඒ. එස්. පෙරේරා මහතා වරාය හා නාවික අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකි. ඒ මහතා වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් තනතුර දරණ කාලයේදී බෙල්ජියමත් ශ‍්‍රී ලංකාවත් අතර නාවික කටයුතු පුළුල් කිරීම මගින් ශ‍්‍රී ලාකික තරුණයන්ට බෙල්ජියම් නැව්වල සේවයට අවස්ථාවක් උදාකර දීමත් සඳහා අවශ්‍ය ගිවිසුම් අත්සන් කරනු ලැබිණ. ඒපමණක් නොව ඉන්දියාවත් ලංකාවත් අතර මගී ප‍්‍රවාහන නැව් සේවයක් ඇරඹීමටත් කටයුතු යොදනු ලැබිණ. ඒත් ඔහු වෙනත් අමාත්‍යාංශයකට මාරු වී යෑම නිසා ඒම කටයුතු දෙකෙහිම ඵල නෙළා ගත නොහැකි වීම රටේ අභාග්‍යයකි. ඔහුගේ මීළඟ ලිපියෙන් හම්බන්තොට මහා සාගරයේ පැනමා නැව් වලට පවා සේවා සැපයීමට ශක්තිය ඇති වරායක් ඉදිකිරීමට හැකිව තිබියදී ගොඩබිම කපා වරායක් ඉදිකිරීමට තරම් රාජ්‍ය නායකත්වය නොමග යැවීමට හේතු වූ සිංගප්පූරු – මැලේසියා වරාය අධිකාරීන්, කැනඩා බලධාරීන්ගේ සහ ඩොලර් කුට්ටිවලට ලොල් වූ අපේම දේශපාලන බලවතුන්ගේ සහායෙන් සිදුකළ අපරාධය සම්බන්ධයෙන් වූ පසුබිමි කතාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ ෴
***************************************
ගම්පොල උප නගරාධිපති ෆුර්කාන් සිදුකරන සංවිධානාත්මක ඉඩම් මංකොල්ල කෑමක් ගැන හෙළිදරව්වක්
(05.01.2021 – colombotoday.com)
ෆුර්කාන් හාජ්ජියාර් නැමති ගම්පොල උප නගරාධිපති විසින් සිදුකරන සංවිධානාත්මක ඉඩම් මංකොල්ලයක් පිලිබඳ හෙළිදරව්වක් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මාධ්‍ය හමුවක් පවත්වා අද (5) සිදුකර සිටියා.
අදාළ උපනගරාධිපති විසින් කඩුගන්නාව ප්‍රදේශයේ කාන්තාවකගේ ඉඩමක්, කිරිබත්ගොඩ ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමකගේ ඉඩමක්, මාලඹේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ඉඩමක් තම බලය පාවිච්චි කරමින් අත්පත්කර ගැනීමට උත්සහ දැරීම සම්බන්ධයෙන් තම සංවිධානයට දැනගන්නට ලැබුණු බවත් ඒ පිළිබඳව මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බවත් විතානගේ මහතා පැවසීය.
දී මූ ජයරත්න මහතා අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන සමයේ ආන්දෝලනයට පත් කුඩු කන්ටේනරයට ද මෙම තැනැත්තාගේ සම්බන්ධයක් පවතින බවට ගම්පොල ප්‍රදේශයේ ජනතාව පවසන බවත් හෙතෙම පැවසීය.
එමෙන්ම කසළ තේ අපනයනය කිරීම සම්බන්ධයෙන් ද ෆුර්කාන් ගේ නම ඈඳෙන බව ද පැවසීය.
මේ අතර දෙහිවල කවුඩාන අත්තිඩිය ප්‍රදේශයේ ඇස් නොපෙනෙන ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් කෝටි 25 ක් පමණ වටිනා නිවසක්, මැරයන් 35 ක් සමග පැමිණි උප නගරාධිපති ෆුර්කාන් නිවසේ හිමිකරු එළියට ඇද දමා බලෙන් අත්පත්කර ගැනීමට උත්සහා දරා ඇත. අදාළ නිවසේ හිමිකරු ද මාධ්‍ය හමුවට සහභාගී වී සිටි අතර ඔහු විසින් අදාළ සිද්ධිය පිලිබඳ විස්තර කරන ලදි…
අදාළ මාධ්‍ය හමුව :
++++++++++++
අන්ධ ව්‍යාපාරිකයෙකුගේ නිවස බලෙන් අත්පත් කරගැනීමට පැමිණි ගම්පොල උප නගරාධිපති ෆුර්කාන් අත්අඩංගුවට නොගැනීම : බස්නාහිර DIG ට නොතීසි
(06.01.2021 – colombotoday.com)
ඇමතිවරයෙකුගේ නම භාවිතා කරමින් පසුගිය නොවැම්බර් මස 27 වන දින මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවස බලෙන් අත්පත් කරගැනීමට ගිය බව චෝදනා එල්ලවී සිටින ගම්පොල උපනගරාධිපති මොහොමඩ් ෆුර්කාන් ඇතුළු පිරිස මෙතෙක් පොලීසිය විසින් අත්අඩංගුවට නොගැනීම හා ඒ පිළිබඳව විමර්ශන වාර්තා අධිකරණයට අදිරිපත් නොකිරීම සම්බන්ධව කරුණු දැක්වීමට බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ජනවාරි මස 19 වන දින ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඊයේ (05) නොතීසි නිකුත් කළේය.
දෙහිවල අත්තිඩිය කවුඩාන ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 25 ක් පමණ වටිනා මෙම නිවසෙහි දෑස් නොපෙනෙන ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳ ජීවත් වෙති. ඔහුගෙන් වෙන්ව සිටින බිරිඳ ජීවත් වන්නේ මෙම නිවසෙහිම උඩු මහලෙහිය.
පසුගියදා වාහන කිහිපයකින් පැමිණි උප නගරාධිපති ෆුර්කාන් ඇතුළු පිරිස නිවෙස් හිමි ව්‍යාපාරිකයා එලියට ඇද දමා මෙම නිවස අත්පත්කර ගැනීමට උත්සහ දැරීම සම්බන්ධව ව්‍යාපාරිකයා විසින් දෙහිවල පොලීසියට පැමිණිල්ලක් දමා ඇතත් මේ වන තෙක්ම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත්තේ දේශපාලන හා ඉහල පොලිස් නිලධාරීන්ගේ බලපෑමක් මේ සිදුවීම සම්බන්ධව ඇති නිසා දැයි සැකයක් මතු වී ඇති බව පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරුන් වන ගීත්‍ම ප්‍රනාන්දු සහ වරුණ ජයසිංහ යන මහත්වරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියහ.
බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා ය ෴
***************************************
තමන් විසින් ම පත් කෙරුණු ජෙනිෆර් කමිටුව
(05.01.2021 – FB : Nalin de Silva)
ජෙනිෆර් පෙරේරා කමිටුව පත් කෙළෙ කවුද? ඒක තමන් විසින් ම පත් කෙරුණු කමිටුවක් ද? ඒ පිළිබඳ කමිටුවේ සාමාජිකයන්ට සාමාජිකාවන්ට යැවුණු පත්වීම් ලිපි තියෙනවා ද? එහෙම මොකක්වත් නැතිව කමිටුවකට තමන් ම පත්කර ගෙන වාර්තාවක් නිකුත් කරන්න පුළුවන් ද? එහෙම වාර්තාවක් නිකුත් කරල තියෙනවා ද? ඒක කාට හරි භාර දුන්න ද? දැන ගන්නයි අහන්නෙ.
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ නම් කියන්නෙ ඇය ඒ කමිටුව පත් නොකළ බවයි. ජෙනිෆර් පෙරේරා ගෙන් ජනමාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළෙ නැද්ද ඇයට පත්වීමේ ලිපිය දුන්නෙ කවුද කියල. ඇය ජනමාධ්‍යවේදීන්ට කතා කරන්නෙ නැද්ද? ඇය ‘යළි ඉපදිලා’ ද? එහෙම නැත්නම් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ ‘යළි ඉපදිලා’ ද? කාගෙන් ද මේ කමිටුව ගැන දැනගන්නෙ. කමිටුව ගැන දැනගන්න තව කමිටුවක් පත් කරමුද? ඒක පත් කරන්නෙ කවුද?
කමිටුව පත්කළ අයකු නැත්නම් කමිටු වාර්තාවක් කියල එකක් ගැන කතා කරන්න ඕන නැහැ. ඒ වාර්තාව ලැබිච්ච කෙනකුත් නැත්තන් ඒක කුණු කූඩෙට විසි කරන්නත් බැහැ. කුණු කූඩෙට විසි කරන්න ඉස්සෙල්ල ලැබෙන්න එපායැ. වාර්තාව හදපු අයට ඕන නම් කුණු කූඩෙට විසි කරල අත පිහ දාගන්න එකයි තියෙන්නෙ.
අද සල්ලි එහාට මෙහාට විසි වෙන කාලයක්. සල්ලි නිකමටවත් කුණු කූඩෙට වැටෙන්නෙ නැහැ. ඒත් සල්ලි විසි වෙනවා. කමිටුවක් පත් කරන්න සල්ලි කොච්චර ඕන ද? සතයක්වත් ඕන නැහැ කියන එක තමයි උත්තර ය. ඒත් උත්තරය දැන දැනමත් ප්‍රශ්න අහන්න වෙනවා.
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ කියන්නෙ රාජ්‍ය ඇමතිවරියක්. ඊටත් වඩා බටහිර වෙද හාමිනේ කෙනෙක්. ඇය හොඳ කතා කියනවා. කොවිඩ් 19 ආදාහනය කරන්න හරි වළලන්න හරි බටහිර වෙදකමට බැරි නිසා තමයි මේ ප්‍රශ්නය ඇති වෙන්නෙ. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ කියනව කොවිඩ් ඇති වෙච්ච කාලෙ කොවිඩ් ගැන එච්චර දැන හිටියෙ නැහැ කියල. ඒ කාලෙ නිකුත් කරපු ගැසට් නිවේදනය පදනම් වෙලා තියෙන්නෙ ඒ කාලෙ තිබුණු දැනුම අනුව කියල ඇය කියනවා. ඒක හොඳ විද්‍යාත්මක කතාවක්.
සුදර්ශනී ප්‍රනාන්දුඳුල්ලෙ දැන් ඒ කාලෙට වඩා කොවිඩ් 19 ගැන කොච්චර දන්නවා ද? පොඩ්ඩක් කියනවා ද ඒ දන්න පොඩ්ඩ හරි ගොඩ හරි. ලංකාවෙ අය දැනුම එකතු කර ගන්න හරි කැමතියි. ඒ නිසා පොඩ්ඩ හරි කමක් නැහැ දන්න දෙයක් කියන්න. දැන් ඔය අලුත් දැනුම් පොඩ්ඩ මත පදනම් වෙලා ගැසට් නිවේදනයක් නිකුත් කරනවා ද? ඇත්තට ම කවුද ඒක නිකුත් කරන්න ඕන. පවිත්‍රා දේවි ද සුදර්ශනී ද?
දැන් ඒක නිකුත් කරල ඔන්න ටිකක් කල් ඉන්න කොට කොවිඩ් 19 ගැන තවත් දැනුම් පොඩ්ඩක් එකතු වුණොත් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරනවා ද? කොවිඩ් ගැසට් 1, කොවිඩ් ගැසට් 2 ආදී වශයෙන් ගැසට් නිකුත් කරමු ද? හැමදාම උදේට ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා ලවා කියවන්න වෙයි එදාට අදාළ කීවැනි ගැසට් නිවේදනය ද කියල.
අපි හිතමු කොවිඩ් 19 ට හේතුව වෛරසයක් කියල. මේ වෛරසය අනෙක් වෛරසවලට වඩා වෙනස්. අඩු ම තරමෙන් ඉක්මණින් පැතිරෙනවා. මේකයි ප්‍රධාන ප්‍රශ්නය. ඔය බටහිර වෙදමහත්තුරු වෙද හාමිනේලා දන්නවා ද ඇයි කොවිඩ් 19 වෛරසය වෙන වෛරසවලට වඩා ඉක්මණින් පැතිරෙන්නෙ කියල. ජෙනිෆර් පෙරේරවත් හොංකොංහි ජෝසෆ් මලික් පීරිස්වත් දන්නවා ද කොවිඩ් 19 වෛරසය අනෙක් වෛරසවලට වඩා ඉක්මණින් පැතිරෙන්නෙ ඇයි කියල.
කොවිඩ් 19 පැතිරීම සම්බන්ධයෙන් අනෙක් වෛරස පැතිරීම ගැන තියෙන බටහිර වෙදකමේ දැනුම ඒ විධියට ම යොදා ගන්න පුළුවන් ද? බටහිර වෙදකම ඒක දැන ගන්න කොච්චර කල් යයි ද? ඒක දැනගත්තට පස්සෙ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ ඒ බව දැන ගන්න කොච්චර කල් ගනීවි ද?
අපට දැනට ඇත්තේ සැක හා හිතළු. ඔය බටහිර ක්‍රමයට ඒ ගැන පරීක්‍ෂා කරන්න ටිකක් කල් යයි. එතකන් අපි අර පරණ ගැසට්ටුවට පමණක් සීමා වෙමු ද? අපි අර එන්නත් ගැන කතා කරන්නෙ නැහැ. ඒ එන්නත් ලබා ගත්ත අයත් ආසාදිතයන් වෙනව ද නැද්ද කියන එක එතරම් ප්‍රශ්නයක් නො වෙයි. එක් එක් අයගෙ ශරීර එක් එක් විධියයි. එන්නතත් එක් එක් අයට දුන්න ම එක් එක් විධියට ක්‍රියාත්මක වෙනව ඇති. පඬි නැට්ටන් තමයි ඔය වගේ ප්‍රශ්න අල්ල ගෙන හූ තියන්නෙ.
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ ඔය ඔක්කො ම වැඩ පැත්තකින් තියල අර කමිටුව පත් කෙළෙ කවුද කියල හොයනවා ද? ඇය නම් නොවන බව අපට සහතිකයි. ඇය කියනව නෙ තමන් නො වෙයි කියල. අපට කට වචනය වැදගත්.
මේ අය ආදාහනයට විරුද්ධ වෙලා තමන්ගෙ දෙවියන් වහන්සේටමයි නිග්‍රහ කරන්නෙ. ඔවුන් කියන්නෙ දෙවියන් වහන්සෙ මැවූ ආත්මය හරි වෙන යමක් හරි මේ මිනිසුන්ට පුච්චල විනාශ කරන්න පුළුවන් කියල. ඒ කියන්නෙ මේ සතපහකට වැඩක් නැති මිනිසුන් සර්වබලධාරී දෙවියන් වහන්සේට වඩා බලවත් කියන එක ද? ඒක එහෙම වෙන්න බැහැ. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ හරි ජෙනිෆර් පෙරේරා හරි එහෙම හිතනවා ද?
මහාචාර්ය නලින් ද සිල්වා
***************************************
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴