මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් ඉවත් වෙයි

මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් ඉවත් වෙයි

*********************************************

මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් ඉවත් වෙයි

(03.01.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයාගේ මළ සිරුර ඉන් ඉවත් කරන තෙක් අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් අද (03) පෙරවරුවේ සිට ඉවත්වුණා.

දින 14 කට වැඩි කාලයක් එම කොරෝනා ආසාදිත පුද්ගල මළ සිරුර මෘත ශරීරාගාරයේ පැවතීම හේතුවෙන් තම ජීවිතවලටද තර්ජනයක් එල්ලවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම ‘සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව’ අද (03) බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණේ කොරෝනා මරණ භූමදානය කිරීමට එරෙහිවයි.

මේ අතර කොරෝනා වැලදී මිය යන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් කිලිනොච්චිය පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පිරිසක් විරෝධතාවක නිරතවුණා.

කෙසේ වෙතත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් මහතා පෙන්වා දෙන්නේ කොරෝනා මරණ භූමදානය හෝ ආදාහනය යන කරුණු දෙකෙන් වඩාත් නැඹුරුවිය යුතු වන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයට බවයි.

++++++++++++++++++++++

(03.01.2021 – 18:55 +0530 – hirunews.lk/sinhala)

තරඟ දෙකකින් (2) සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කිසිවෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

කොරෝනා වසංගත තත්වය හමුවේ මෙරටට පැමිණි පළමු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත කණ්ඩායමයි.

ඔවුන්ටම වෙන්වූ විශේෂ ගුවන් යානයකින් අද (03) පෙරවරුවේ මත්තල ගුවන් තොටුපලින් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියේ බ්‍රිතාන්‍ය තුළ සීග්‍රයෙන් නව කොවිඩ් ප්‍රභේදයක් ව්‍යාප්ත වන පසුබිමකයි.

බ්‍රිතාන්‍යයෙන් පිටත්වීමට පෙර ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කර ඇති අතර, මත්තල ගුවන් තොටුපලට පැමිණීමෙන් පසුවද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට භාජනය කර තිබෙනවා.

එම සියලු පරීක්ෂණවලින් කිසිදු එංගලන්ත ක්‍රීඩකයෙකුට හෝ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ අතර, ඔවුන් ජෛව ආරක්ෂිත බුබුලකට යටත්ව අනිද්දා (05) සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ඔවුන් අද (03) දිවයිනට පැමිණීමෙන් පසු හම්බන්තොට හෝටලයක දින 07 ක කාලයක් නිරෝධායනයට ලක් කෙරෙනවා.

තරග දෙකකින් (2) සමන්විත එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 14 වනදා සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා ෴

++++++++++++++++++++++

(03.01.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

මහියංගණය ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගිවූ කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයන් වූ බදුල්ලේ පදිංචිකරුවන් තුන්දෙනෙකු (3) කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනුනු අතර, ඉන් එක් අයෙක් බදුල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සේවකයෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළා.

මේ අතර, හැටන් – වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇඟළුම් කර්මාන්තශාලාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 72 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අද (03) දිනයේ ලැබුණු පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවලින් කොරෝනා ආසාදිතයන් දසදෙනෙකු (10) අලුතින් හඳුනාගැනීමත් සමඟයි.

එමෙන්ම හැටන් – දික්ඔය නගර සභාවේ තවත් නාගරික මන්ත්‍රීවරයෙකුට සහ මීට පෙර වාර්තාවූ කොරෝනා ආසාදිත නාගරික මන්ත්‍රීවරයෙකුගේ 22 හැවිරිදි දියණියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා ෴

++++++++++++++++++++++

(03.01.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

මෙරටට පැමිණ සිටින යුක්රේන ජාතික සංචාරකයන් ප්‍රවාහනය කළ යාල වනෝද්‍යානයේ සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා.

කොරෝනා වසංගත තත්වය හමුවේ කඩාවැටී ඇති සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස විදෙස් සංචාරකයන් මෙරටට ගෙන්වාගැනීමේ වැඩපිළිවෙල යටතේ පසුගිය සතියේ සහ ඊයේ (04) දිනයේදී කණ්ඩායම් තුනක් (3) වශයෙන් යුක්රේන ජාතිකයන් 563 දෙනෙකු මත්තල ගුවන් තොටුපලින් මෙරටට පැමිණියා.

එලෙස දිවයිනට පැමිණි යුක්රේන ජාතිකයන් අට දෙනෙකුට (8) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි හඳුනා ගැනුනේ.

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති මෙම නියමු ව්‍යාපෘතිය යටතේ යුක්රේන ජාතිකයන් පිරිසක් ඊයේ (02) යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට ගොස් තිබුණා.

එහිදී ඇතැම් සංචාරකයන් මුව ආවරණ පවා නොමැතිව සිටි ආකාරයක් දක්නට ලැබුණා.

කෙසේ වෙතත් ඊයේ (02) රාත්‍රියේ ඔවුන් ප්‍රවාහනය කළ සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙකු නිරෝධානය සඳහා රැගෙන යාමට පියවර ගත් අතර, ඊට සෆාරි ජීප් රථ රියදුරන් විරෝධය පළ කළා.

කෙසේ වෙතත්, නිවේදනයක් නිකුත් කරමින් මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ මෙම නියමු ව්‍යාපෘතිය යටතේ මෙරටට පැමිණි යුක්රේන ජාතික සංචාරකයන්, සංචාරක කලාපවල සංචරණය කරන වේලාවන් තුළ දේශීය සංචාරකයන්ට එම ස්ථානවලට ප්‍රවේශවීමට ඉඩ ලබා නොදෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රකාශ කළා.

යුක්රේන ජාතික සංචාරකයන් හෙට (04) සහ අනිද්දා (05) පොළොන්නරුව සංචාරක කලාපයේ සංචාරය කිරීමට නියමිත අතර, හෙට (04) පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළදා මළුව, ශිව දේවාලය අංක දෙක, රන් කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරි වෙහෙර මෙන්ම ගල් විහාරය වෙත පැමිණෙන බැවින් පස්වරු 1 න් පසු එම ස්ථාන දේශීය සංචාරකයින් හට විවෘත වන්නේ නැහැ.

අනිද්දා මධ්‍යහ්න 12 දක්වා සීගිරිය සංචාරක කලාපයද දේශීය සංචාරකයන්ට විවෘත නොවන අතර, ඔවුන් ඉදිරි දින කිහිපය තුළ දඹුල්ල සහ මහනුවර ප්‍රදේශවලද සංචාරය කිරීමට නියමිතයි.

+++++++++++++++++++++++

(03.01.2021 – 19:59 +0530 – hirunews.lk/sinhala)

අද (03) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 188 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව අද (03) දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 403 ක් ෴

+++++++++++++++++++++++

(03.01.2021 – 20:10 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොස්කොටේ ජනපදයට අද (03) සංචරණ සීමා පනවනු ලැබුවා.

ඒ, එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 31 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

මේ අතර, හුදකලා කර තිබූ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයක් හෙට (04) උදෑසන පහේ (05:00) සිට හුදකලා බවෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව මෝදර පොලිස් වසම සහ කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර සහ නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ මිරිහාන දෙමළවත්ත ප්‍රදේශය මෙලෙස හුදකලා බවෙන් ඉවත් කරනු ඇති.

එමෙන්ම, පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත, මීගහවත්ත ග්‍රාම නිළධාරී වසම් සහ පට්ටිය – උතුර ග්‍රාම නිලධාරී වසමේ රෝහණ විහාර මාවත මෙන්ම පෑලියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පූරණකොටුවත්තද හෙට (04) උදෑසන පහෙන් (05:00) පසු හුදකලා බවින් ඉවත් කරන බව හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

එසේම කිරිබත්ගොඩ, විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවතද හෙට (04) උදෑසන 05:00 සිට හුදකලා බවින් ඉවත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ දැනට හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශ නැවත දැනුම් දෙනතුරු තවදුරටත් හුදකලා ප්‍රදේශ වශයෙන් පවතින බවයි.

මේ අතර දැනට මාස තුනකට (3) ආසන්න කාලයක් හුදකලා කර ඇති මාළිගාවත්ත එන්.එච්.එස්. නිවාස සංකීර්ණයේ ජනතාව අද (03) විරෝධතාවක නිරතවුණේ තමන්ගේ දෛනික අවශ්‍යතා සපුරාගැනීම සඳහා කඩිනමින් හුදකලාභාවය ඉවත් කරන ලෙස ඉල්ලමින්.

++++++++++++++++++++

(03.01.2021 – 23:38 +0530 – hirunews.lk/sinhala)

අද (03) දිනයේ මෙරටින් කොවිඩ් මරණ 02 ක් වාර්තා වනවා.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ ගණන 213 ක් දක්වා ඉහළ ගියා.

අද (03) දිනයේ වාර්තා වන මරණ වැලිපැන්න සහ කොළඹ 15 යන ප්‍රදේශ වලින් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 76 සහ 57 හැවිරිදි වියේ පසුවූ කාන්තාවන් දෙදෙනෙක් (2) ෴

++++++++++++++++++++++

(04.01.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

සේනා දළඹු උවදුර මැඩලීමට කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බාධා එල්ල වී තිබෙනවා.

ඒ, කෘෂි නිලධාරීන්ට අදාළ ක්ෂේත්‍රවලට යාමට සහ ගොවීන්ට නිසි පරිදි උපදෙස් ලබාදීමට නොහැකිවීම හේතුවෙන්.

කෙසේ වෙතත්, හැකි උපරිමයෙන් කෘෂි නිළධාරීන් අදාළ ක්ෂේත්‍රවලට ගොස් ගොවි බිම් නිරීක්ෂණය කිරීම සහ ගොවීන්ට උපදෙස් ලබාදීම සිදුකරන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බඩ ඉරිඟු ඇතුළු භෝග වගාවන් රැසකට සේනා දළඹුවාගෙන් මේ වනවිට බලපෑම් එල්ල වී තිබෙනවා ෴

++++++++++++++++++++

(04.01.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයින් 403 දෙනෙකු (2) ඊයේ (03) දිනයේ හඳුනාගැනීමෙන් පසුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 44,774 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (03) වාර්තා වූ ආසාදිතයින්ගෙන් 401 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර, දෙදෙනෙකු (2) බන්ධනාගාර පොකුරේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 41,031 දක්වා ඉහළ යනවා.

ඊයේ (03) දිනය වන විට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4103 දක්වා ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ආසාදිතයින් 7311 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 37,252 ක්.

මේ අතර කොරෝනා මරණ දෙකක් (2) අලුතින් වාර්තා වීමත් සමඟ මෙරට මුළු මරණ සංඛ්‍යාව 213ක් දක්වා ඉහළ ගියා.

වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක් ඊයේ (03) මෙලෙස මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කළුතර මහ රෝහලේ සිට කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යැවීමෙන් පසුව එහිදී ඇය මියගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර හෘද ආසාදනයක් සහ කොවිඞ් නිව්මෝනියාවයි.

එමෙන්ම කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ සිට කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව ඊයේ (03) මියගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාව, හෘද රෝගී තත්ත්වයක් සහ අපස්මාරයයි.

මේ දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 17,967 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 9322 ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 3030 දෙනෙකු ද වාර්තා වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවලට අමතරව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 1403 ක් ෴

++++++++++++++++++++++

(04.01.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

හුදකලා කර තිබූ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයක් අද (04) අලුයම 5 සිට හුදකලා බවෙන් ඉවත් කෙරුණා.

ඒ අනුව මෝදර පොලිස් වසම සහ කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඬේ බටහිර සහ නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ මිරිහාන දෙමළවත්ත ප්‍රදේශය මෙලෙස හුදකලා බවෙන් ඉවත් කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත, මීගහවත්ත ග්‍රාම නිළධාරී වසම් සහ පට්ටිය – උතුර ග්‍රාම නිලධාරී වසමේ රෝහණ විහාර මාවත මෙන්ම පෑලියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පූරණකොටුවත්තද අද (04) අලුයම 5 සිට හුදෙකලා බවෙන් ඉවත් කෙරුණා.

එමෙන්ම කිරිබත්ගොඩ, විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවතද අද (04) අලුයම 5 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා.

කෙසේ වෙතත්, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ දැනට හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශ නැවත දැනුම් දෙනතුරු තවදුරටත් හුදකලා ප්‍රදේශ වශයෙන් පවතින බවයි ෴

+++++++++++++++++++++++

(04.01.2021 – 08:31 +0530 – hirunews.lk/sinhala)

සියලු මාර්ගවල දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අද (04) සිට වැඩි කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 64 ක්, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 74 ක්, කැළණිවැලි මාර්ගයේ ගමන් වාර 12 ක්, උතුරු දුම්රිය මාර්ගයේ ගමන් වාර හයක් (6) සහ පුත්තලම මාර්ගයේ ගමන් වාර 26 ක් මෙම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කළේ.

මෙම ගමන් වාර දුම්රිය කාලසටහනට එක් කර ඇති අතර, දුර ගමන් සේවා තවදුරටත් ක්‍රියාත්මක නොවන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා කියා සිටියා ෴

+++++++++++++++++

(04.01.2021 – 09:01 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුළ ශ්‍රී ලාංකිකයින් 594 දෙනෙකු ගුවන් යානා 09 කින් දිවයිනට පැමිණ තිබෙනවා.

තවත් මගීන් 249 දෙනෙකු ගුවන් යානා 06 කින් මෙම කාලය තුළ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කුවේට් රාජ්‍යයේදී විවිධ හිංසනයන්ට ලක් වූ ශ්‍රී ලාංකිකයින් 376 දෙනෙකු ද මෙලෙස පැමිණි පිරිස අතර සිටින බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඩුබායි සිට 90 දෙනෙකු, සෞදි අරාබියේ සිට 50 දෙනෙකු සහ සිංගප්පූරුවේ සිට 41 දෙනෙකු මෙලෙස පැමිණි පිරිස අතර වනවා ෴

+++++++++++++++++++++

(04.01.2021 – 11:07 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් 11 වන ශ්‍රේණිය සඳහා ලබන 25 වන දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ මාර්තු මාසයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මේ අතර පාසල්වල ගුරු හිඟය පියවීම සඳහා හමුදා නිලධාරීන් යෙදවීමට ආණ්ඩුව තීරණය කර ඇති බවට ඒකාබද්ධ ගුරු සේවා සංගමය චෝදනා කරනවා.

එහි ප්‍රධාන ලේකම් සංජීව බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

=========================================

(03.01.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී තමන්ගේ අපේක්ෂකයින් දෙමළ ජාතික සන්ධානය හරහා හෝ ඉදිරිපත් කිරීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ කළා.

කිලිනොච්චියේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයින් මේ වන විටත් තෝරාගෙන අවසන් බවයි ෴

***************************************

(03.01.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ අධිකරණයට සිදුකළ දේශපාලන අතපෙවීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය, දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන අදත් (03) අදහස් පළ කළා.

***************************************

(03.01.2021 – 20:30 +0530 – hirunews.lk/sinhala)

සේනා දළඹු උවදුර මැඩලීම සඳහා රුවන්ඩාවේ හමුදා කෘෂි විශේෂඥයින් විසින් හඳුන්වා දුන් කෘමිනාශකය භෝග සඳහා හිතකර කෘමීන්ට අහිතකර විය හැකි බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් මහතා ප්‍රකාශ කරනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ එම කෘමිනාශකය ශ්‍රී ලංකාවේ පරිසරයට ද ඍණාත්මක බලපෑමක් ඇති කළ හැකි බවයි.

සේනා දළඹුවන් මෙරට බඩඉරිඟු වගාව ඇතුළු වගා කිහිපයකටම හානි පැමිණවීමත් සමඟ බලධාරීන්ගේ අවදානය ඒ සම්බන්ධයෙන් යොමු වූ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද කෘෂිකර්ම නිලධාරීන්ට දැනුම් දුන්නේ මේ පිළිබදව කඩිනමින් අවධානය යොමු කරන ලෙසයි.

අනතුරුව සේනා දළඹු උවදුර මර්දනය කිරීම සඳහා රුවන්ඩා ජාතික කෘෂි විශේෂඥයින් 06 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙරටට කැදවනු ලැබුවා.

ඒ අනුව ඔවුන් විසින් පයිරෙත්‍රම් නැමති කෘමිනාශකය හඳුන්වා දී තිබූ අතර, පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා පවසන්නේ මෙම කෘමි නාශකය මී මැස්සන්, සමනයන්, මත්ස්‍යයින් ඇතුළු බොහෝ කෘමීන්ට දැඩි ලෙස අහිතකර බවයි.

මෙම කෘමි නාශකය කෘත්‍රිම පයිරෙට්‍රොයිඞ් නැමති කෘමිනාශකයට සමාන වන අතර එය භාවිතය මෙරට තුළ දැඩි ලෙස සීමා කර ඇත්තේ මැසි මදුරුවන් වැනි පළිබෝධකයන්ගේ ප්‍රතිරෝධී වර්ධනයට ඉවහල් වන නිසා බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා යොමු කළ ලිපියේ දැක්වෙනවා.

එබැවින් මෙම කෘමිනාශකය පිළිබදව අවදානය යොමු කරන ලෙසයි ඔහු අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ.

මේ අතර, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ඒ.කේ. සුමේධ පෙරේරා මහතා ගෙන් මේ පිළිබදව අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙරට ජෛව විවිධත්වයට අදාළ කෘමිනාශකයෙන් හානි පැමිණෙන්නේ නම්, එය භාවිතය වහාම තහනම් කරන බවයි.

එමෙන්ම, සේනා දළඹු මර්දනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කළ කෘමිනාශක වර්ග 5 ක් මේ වන විටත් භාවිතයට ගනිමින් පවතින බවයි අමාත්‍යාංශ ලේකම්වරයා තවදුරටත් සදහන් කළේ.

මේ අතර, මෙරට තුළ නියාමනය කර ඇති පයිරෙත්‍රම් කෘමිනාශකයට සමාන පයිරෙට්‍රොයිඩ් කෘමිනාශකය මෙරටට වසරකදී ගෙන ඒමට හැක්කේ ලීටර් 8000 ක් පමණක් වන අතර රුවන්ඩා ජාතික විශේෂඥයින් විසින් පයිරෙත්‍රම් කෘමිනාශක 1000 ක් රැගෙන විත් ඇති බව ද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළා.

***************************************

(03.01.2021 – 20:51 +0530 – hirunews.lk/sinhala)

2016 වසරේ සිට මේ දක්වා රාජ්‍ය හා පෞද්ගලික ආයතන මගින් ගෙවීම් පැහැර හැරීම නිසා රාජ්‍ය දැව සංස්ථාවට රුපියල් මිලියන 1146 ක මුදලක් අහිමි වී තිබෙනවා.

ඒ අනුව දුම්රිය දෙපාර්තුමේන්තුවට සිල්පර කොටන් සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 940 ක්, විදුලිබල මණ්ඩලයෙන් මිලියන 40 ක් සහ පෞද්ගලික සමාගම් වෙතින් මිලියන 70 ක් දැව සංස්ථාවට අය විය යුතු බවයි වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය කියා සිටියේ ෴

***************************************

(03.01.2021 – 22:43 +0530 – hirunews.lk/sinhala)

වන අලි ගම්වැදීම හේතුවෙන් මහියංගනය ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාව දැඩි ගැටලුවකට මුහුණදී සිටිනවා.

ගම්වාසීන් පවසන්නේ දිවා කාලයේ මහවැලි ගඟේ රැදී සිටින වන අලි රංචු රාත්‍රී කාලයේ ගම්වදින බවයි.

නිවාස ආසන්නයටම පැමිණෙන මෙම වන අලින් පලවා හරින ලෙස වනජීවී නිලධාරීන්ට කොතෙක් දැන්වුවත් ඉන් පලක් නොවන බවයි ගම්වාසීන් පවසන්නේ.

***************************************

(04.01.2021 – 06:41 +0530 – hirunews.lk/sinhala)

යාපනය, චාවකච්චේරි, නුනාවිල් ප්‍රදේශයේදී ඊයේ (03) පස්වරුවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු (4) බරපතල තුවාල ලබා තිබෙනවා.

චාවකච්චේරි පොලිසිය පැවසුවේ මන්නාරම සිට යාපනය දක්වා ගමන්ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ යාපනය දෙස සිට ගමන්ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් වෑන් රථයට දැඩි හානි සිදුව ඇති අතර, තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන්ගත් සිව්දෙනෙකු (4) බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාලකරුවන් යාපනය රෝහලට ඇතුළත් කර ඇති අතර අධික වේගය අනතුරට හේතුවී තිබෙනවා.

ඡායාරූප – වවුනියාව, මාධව කුලසූරිය

***************************************

(04.01.2021 – 07:12 +0530 – hirunews.lk/sinhala)

කංසා සම්බන්ධයෙන් මෙරට පවතින නීති ලිහිල් කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටි බව සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමය පවසනවා.

කොළඹ දී ඊයේ (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමය මේ බව සඳහන් කර සිටියා.

නීති සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන බලධාරීන් විද්‍යාත්මක සාක්ෂි පදනම් කර ගැනීමකින් තොරව නීතිය සම්බන්ධයෙන් පමණක් කල්පනා කර එම තීරණ ගන්නා බවයි එම සංගමය එහිදී වැඩිදුරටත් පවසා සිටියේ.

ලෝකයේ සෙසු රටවල් මෙන් ඖෂධ ඇතුළු කංසා නිෂ්පාදන නීතිගත කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බව සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමය පවසා සිටියා.

***************************************

(04.01.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද (04) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කළේ එම වාර්තාවේ සඳහන් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂා කරන බවයි.

පසුගිය නොවැම්බර් මස 29 වනදා ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිමට අධිකරණ අමාත්‍යවරයා කමිටුව පත් කළ අතර, එහි සභාපතිවරිය ලෙස කටයුතු කළේ හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියයි.

අනතුරුව, එම කමිටුවේ අතුරු වාර්තාව පසුගිය දෙසැම්බර් 7 වනදාත්, අවසන් වාර්තාව පසුගිය 30 වන දා අධිකරණය අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබුවා.

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැදවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් 08 දෙනෙකුගේ සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව දේහයන් ආදාහනය සිදුකළා.

එමෙන්ම, තවත් සිරුරු 3 ක පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

***************************************

(04.01.2021 – 08:39 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 15 කට අධික වටිනාකමින් යුත් ගජමුතු 06 ක් සමඟ පුද්ගලයෙකු මාතර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව ඊයේ (03) අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල – උණවටුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

***************************************

(04.01.2021 – 10:34 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – රුවන්වැලි මහසෑයේ මහ මළුවේ තැන්පත් කර තිබූ අටපිරිකර සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ (03) අත්අඩංගුවට ගත් දෙදෙනා (2) ගෙන් අයෙකු චීවරධාරියෙකු ලෙස පෙනී සිට ඇති බවයි.

සැකකරුවන් අද (04) පෙරවරුවේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔවුන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *