කඩාවැටුණු කුඹුක් ගසෙන් එගොඩ මෙගොඩ යන අසරණ ගොවියෝ

කඩාවැටුණු කුඹුක් ගසෙන් එගොඩ මෙගොඩ යන අසරණ ගොවියෝ

*********************************************

කඩාවැටුණු කුඹුක් ගසෙන් එගොඩ මෙගොඩ යන අසරණ ගොවියෝ

(25.12.2020 – 13:51 +0530 – hirunews.lk/sinhala)

වළගම්බා රජ දවස සිට පැවත එන පාරම්පරික ගම්මානයක් වන සොරණාතොට, කිරිඔරුව ගම්මානය ස්වභාව සෞන්දාර්යෙන් සපිරි සුන්දර ගමක්.

පාරම්පරික උරුමයන් වන ගන්නිල්ලේ වෙල්යායේ වී වගාව සහ එළවළු වගාවේ යෙදෙන ගම්වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේද ගොවිතැනයි.

ගම්මානයට ඔබ්බෙන් පිහිටි මේ ගොවිබිම වෙත යායුත්තේ කොහොවිල කඳුර හරහා වන අතර ගොවිබිමට පිවිසීමට පාළමක් නොමැති වීම හේතුවෙන් ගම්වැසියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා.

කුඹුක්ගසකට පුවක් ගස් තබා බැද ගත් තාවකාලික පාලමකින් ගමන් පහසුකම් සළසා ගත්තද වැසි සමයන්හි පාලම උඩින් ජලය පිටාරගලන බැවින් ගමනාගමනයට බාධාමතුවන බවයි ගම්වාසීන් පවසන්නේ.

***************************************

(25.12.2020 – 14:02 +0530 – hirunews.lk/sinhala)

මෑතකදී විනිමය අනුපාතිකයේ සිදුවූ උච්චාවචනය අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

ඒ සඳහා වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතර, දේශීය විදේශ වෙළඳපොලේ මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවයි මහ බැංකුව උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම ක්‍රියාමාර්ග සහ අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම් අඛන්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී විනිමය අනුපාතය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 185 ට වඩා අඩු ප්‍රමාණයකට අතිප්‍රමාණය වනු ඇති බවට මහ බැංකුවේ අදහස වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙරට නිල සංචිත ප්‍රමාණය මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 5.6 ක් බවයි.

සංචිත මට්ටම ඉහළ නැංවීමට මහබැංකුව දේශීය හා විදේශීය හවුල්කරුවන් සමඟ පවත්වන සාකච්ඡාද අවසන් අදියරට පැමිණ ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

***************************************

(25.12.2020 – 14:04 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල 16 ක එකමුතුවෙන් සංවිධානය කළ අභ්‍යාවකාශ තාක්ෂණයෙන් නිපදවූ බැලූනයක් වායුගෝලයට මුදා හැරීම හෙට (26) සිදු කෙරෙනවා.

කිලෝ එකහමාරක් (1½) පමණ බරකින් යුත් මෙම බැලුනය කිලෝමීටර 40 ක් පමණ දුරක ඉහළ වායුගෝලයට මුදාහැරීමට නියමිත බවයි ඊට එක්වු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නියෝජිත තිලාන් හර්ෂණ බණ්ඩාර මහතා කියා සිටියේ ෴

***************************************

(25.12.2020 – 15:50 +0530 – hirunews.lk/sinhala)

සුනාමි ව්‍යසනය සිදුවී වසර 16 ක් සම්පූර්ණවීම නිමිත්තෙන් හෙටට (26) යෙදී ඇති ජාතික සුරක්ෂිතතා දිනය, සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් සර්වආගමික වතාවත් සිදුකිරීමට පියවර ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ පවතින කොරෝනා තත්වය සළකා කොල්ලුපිටිය මල්ලිකා වැඩිහිටි නිවාසයේ සිටින මව්වරුන්ට දානමය කටයුත්තක් සිදුකර මියගිය ජනතාවට පිං පැමිණවීමට කටයුතු කර ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටියා.

***************************************

(25.12.2020 – 17:11 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – තෙල්බැද්ද වත්ත ප්‍රදේශයේ අඩි 45 ක් පමණ උස කොස් ගසක් මත සිහිසුන්ව සිටි තරුණයෙකු ප්‍රදේශවාසීන්ගේ දැඩි පරිශ්‍රමයකින් යුතුව පැය දෙකක (2) පමණ මෙහෙයුමකින් පසුව ගසෙන් පහළට ගෙනවිත් තිබෙනවා.

27 හැවිරිදි මෙම තරුණයා කොස් ගසේ අතු කපමින් සිටියදී එක්වරම සිහිසුන්ව ඇති අතර, පසුව ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව දැක විශාල පරිශ්‍රමයක් දරා කඹයක ආධාරයෙන් පහළට ගෙන බදුල්ල රෝහලට ඇතුළත් කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

***************************************

(25.12.2020 – 17:22 +0530 – hirunews.lk/sinhala)

වෙනත් පුද්ගලයෙකු සතු කූට ලෙස සකස් කළ කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා කැනඩාව වෙත පැනයාමට උත්සාහ කළ තරුණියක් කටුනායක ගුවන් තොටුපලේදී ආගමන විගමණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (25) අලුයම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක් බවයි වාර්තාවන්නේ.

ඇය අද (25) අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාම සඳහා පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

(25.12.2020 – 20:49 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේදී දන්ත ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිවරයා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විමසා තිබෙනවා.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම සහ අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනු නා හිමිපාණන් වහන්සේ ද බැහැ දුටු ගෝඨාභය රාජපක්ෂ මහතා කෙටි පිළිසඳරක ද නිතර වුණා.

ඔහු අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන නා හිමිපාණන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නා හිමිපාණන් සහ ලේඛකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ ද බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විමසු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

අස්ගිරි ගෙඩිගේ විහාරය වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේ සමග කෙටි පිළිසඳරක නිරත වෙමින් විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සොයා බලනු ලැබුවා.

අස්ගිරි මහ පිරිවෙන වෙත ද ගිය ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා ෴

====================================

(25.12.2020 – 13:59 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මරණ අවසන් කටයුතු සම්බන්ධයෙන් පූජ්‍ය පක්ෂය ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙලෙස අදහස් පළ කළා.

+++++++++++++++++++++++

(25.12.2020 – 17:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයන් 771 දෙනෙකු අද (25) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 31,339 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 7,701 ක්.

මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 39,231 ක් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

++++++++++++++++++++++++

(25.12.2020 – 18:31 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 461 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 39,693 ක්.

මේ අතර අද (25) දහවල් සිට හුදෙකලා කෙරුණු මාතර – දික්වැල්ල – යෝනකපුර නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිලධාරී වසම් දෙකෙන් (2) සහ දික්වැල්ල – දකුණ හා වත්තේගම ප්‍රදේශවලින් කෙරෝනා ආසාදිතයන් 24 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් විසි දෙදෙනෙකුම (22) හමුවී ඇත්තේ යෝනකපුර නැගෙනහිර හා බටහිර ප්‍රදේශවලින්.

දික්වැල්ල දකුණ සහ වත්තේගම යන ප්‍රදේශවලින් ආසාදිතයෙකු බැගින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා.

මෙම ආසාදිතයන් වාර්තා වන ප්‍රදේශවල ප්‍රජාව පී.සී.ආර්. පරීක්ෂණ සඳහා පෙනී සිටීම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උද්ගතව ඇති අතර, ඒ හේතුවෙන් ආසාදිතයන් හඳුනා ගැනීම අසීරු වී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියා සිටියා.

එමෙන්ම යෝනකපුර ප්‍රදේශයේ ප්‍රධාන පල්ලියේ මවුලවිවරයා ද කොරෝනා ආසාදිතයන් අතර වනවා.

ඔහුගේ සහභාගීත්වයෙන් පැවති යාඤා මෙහෙයන් වලට සහභාගි වූ පිරිස් පිළිබදව ද තොරතුරු සොයා ගැනීමේ ගැටළු මේ වන විට පැණ නැගී ඇති බවයි වාර්තා වන්නේ ෴

නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට පිරිනමන විශේෂ නත්තල් සමාව ඉදිරියේදී ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ෴

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 90 දෙනෙකු වාර්තාවී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 39,782 ක් ෴

+++++++++++++++++++++++

(25.12.2020 – 19:29 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා ශ්‍රී ලංකාවේ ළමයින්ට එරෙහි කෲරත්වය සාමාන්‍ය අගයට වඩා සියයට 40 කින් ඉහළ ගොස් ඇති බව යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණ කර තිබෙනවා.

මෙම තත්වයත් සමඟ දරුවන් නොසළකා හැරීමට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බවද එම වාර්තාවේ සඳහන්.

යුනිසෙෆ් සංවිධානය සිය වාර්තාව මගින් තවදුරටත් සඳහන් කරන්නේ 2020 වසරේ මාර්තු මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ශ්‍රී ලංකාවේ පාසල් වසා තබන ලද කාලයේදී සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වූ බවයි.

කෙසේ වෙතත් මෙරට පමණක් නොව ලෝකය පුරා දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය තුළ පැහැදිළි කිරීම් සහ සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොමැතිවීමත්, ඇතැම් සිසුන්ට අන්තර්ජාල පහසුකම් නොමැති වීමත්, පාසල් පෝෂණ වැඩසටහන් නතර වීමත් යන කරුණු හේතුවෙන් දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මෙලෙස ඉහළ ගොස් ඇති බවයි යුනිසෙෆ් සංවිධානය සඳහන් කළේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටියේ කොවිඩ් කාලසීමාවේ පාසල් දැරියන් කිහිපදෙනෙකු ගැබ් ගැනීමේ සිද්ධීන් වාර්තාවී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය හරහා විමර්ශනයක්ද සිදුකරන බව ලේකම්වරයා කියා සිටියා ෴

+++++++++++++++++++++++

(25.12.2020 – 20:11 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව සහ විපක්ෂය තරඟකාරීව ඉස්ලාම් ආගමික අන්තවාදීන් සතුටු කිරීමට උත්සාහ කිරීම බරපතල දේශපාලන වරදක් බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසනවා.

කොරෝනා වැලදී මියයන මුස්ලිම් ජනතාවගේ අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුව පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ඉස්ලාම් බැතුමන්ට තම ඥාතීන්ගේ මළ සිරුර ආදාහනය කිරීමේදි ඇති විය හැකි සිත් වේදනා, පාංශුකූලය, පැන්වැඩීම සහ මතක වස්ත්‍ර පූජාව වැනි ආගමික කටයුතු කළ නොහැකි වීම නිසා සිංහල, දෙමළ හෝ කතෝලිකයෙකුගේ සිත් තුළද ඇති වියහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

පසුගිය යුද සමයේදී සහ සුනාමිය වැනි ආපදාවන්හිදී පොදු මහජන යහපත වෙනුවෙන් තමාට කෙටි කාලීනව විදීමට සිදුවන දුක් ගැහැට විඳ දරා ගනිමින් අභියෝග ජය ගැනීමට ජාතියක් ලෙස අප එක්වුණා.

නමුත් මෑතකාලිනව රට තුළ හිස ඔසවමින් තිබෙන විවිධ ආගමික අන්තවාදී ප්‍රවණතාවයන් විසින් මුලිස්ම් ජනතාව අතර අසතුට සහ අසහනය වර්ධනය කිරීමට උත්සාහ ගන්නා අතර ඔවුන් සහ බහුතර සෙසු ජනතාව අතර ගැටුම්කාරි තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ කරන බව නිරීක්ෂණය කළ හැකි බවයි දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

+++++++++++++++++++++++

(25.12.2020 – 20:32 +0530 – hirunews.lk/sinhala)

අවිස්සාවේල්ල – සීතාවක, කර්මාන්තපුරයෙන් වාර්තා වී තිබෙනවා. අද (25) දිනය වන විට එහි කර්මාන්තශාලාවලින් වාර්තා වන කොරෝනා ආසාදිත සංඛ්‍යාව 492 ක් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළා.

මෙම කර්මාන්තශාලාවලින් වාර්තාවන ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් ඊයේ (24) හුදකලා කෙරුණු අවිස්සාවේල්ල – කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශවල පදිංචිකරුවන්.

කොරෝනා ආසාදිත වූවන්ට සිදු කෙරෙන ප්‍රතිකාර සඳහා මේ වන විට රුපියල් බිලියන 100 කට වැඩි මුදලක් වැය කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ අලුතින් ඉදිකළ නව කොරෝනා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *