මෙරට කොරෝනා ආසාදිතයින් සමස්තය 40,000 ට ආසන්න වෙයි

මෙරට කොරෝනා ආසාදිතයින් සමස්තය 40,000 ට ආසන්න වෙයි

*********************************************

මෙරට කොරෝනා ආසාදිතයින් සමස්තය 40,000 ට ආසන්න වෙයි

(25.12.2020 – 08:11 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (24) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයන් 592 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 39,231 දක්වා ඉහළ ගියා.

ඉන් 570 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර තවත් 18 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අනුව දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් පොකුර 35,548 දක්වා ඉහළ යනවා.

එමෙන්ම, විදේශ රටවල සිට පැමිණි 4 දෙනෙකු ද ඊයේ (24) කොරෝනා ආසාදිතයින් බවට තහවුරු කර ගැණුනා.

ඔවුන් ගෙන් 4 දෙනෙකු එක්සත් රාජධානියේ සිට පැමිණ ඇති අතර, අනෙක් පුද්ගලයා පැමිණ ඇත්තේ ඉරානයේ සිටයි.

ඒ අනුව ආසාදිතයින් 8478 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 30,568 ක්.

මේ අතර, බස්නාහිර පළාතෙන් පිටවීමේදී මාර්ග 11 ක ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂාව සිදුකරන අතර, බෙන්තොට පාලම අසළ ඊයේ (24) සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂාවේදී පාසල් සිසුවෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වුණා.

සිසුවාගේ පියා කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන බැවින් එම පොලිස් ස්ථානයේ සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණයේදී තවත් හතරදෙනෙකු (4) කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබුණා.

ඒ අනුව තවත් 19 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති අතර, 68 දෙනෙකුට ඇන්ටිජන් පරීක්ෂාව ද සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත්, ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මගින් අහඹු පරීක්ෂණ සිදුකිරීමේදී එම වාර්තාවල නිවැරදිතාවය ආරක්ෂා කිරීම සඳහා බාහිර තත්ත්ව පාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ පවතින සියලු වැඩිහිටි නිවාස සදහා පිටතින් පැමිණෙන පුද්ගලයින් ඇතුළු කර නොගන්නා ලෙස දැනුම් දී ඇති බව එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජෙමුණි මහතා සදහන් කළා.

මේ අතර, තවත් කොරෝනා මරණයක් මෙරටින් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගියා.

අගලවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60 ක් වයසැති පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇත්තේ පසුගිය 20 වන දා පිඹුර මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීමයි.

කොරෝනා ආසාදනයත් සමඟ ලේ විෂවීම මෙම මරණයට හේතු වී තිබෙනවා ෴

++++++++++++++++++++

(25.12.2020 – 09:17 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 ක කාලය තුළ මුව ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීමේ චෝදනාව මත 54 දෙනෙකු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඔක්තෝම්බර් 30 වන දින සිට මේ දක්වා පුද්ගලයින් 1794 ක් මෙම චෝදනාවන්ට අදාළව අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴

++++++++++++++++++++++

(25.12.2020 – 09:30 +0530 – hirunews.lk/sinhala)

ලෝකයේ රටවල් කිහිපයක නිෂ්පාදිත කොරෝනා වෛරසයට එරෙහි එන්නත් 4 ක් පිළිබද වෛද්‍ය පර්යේෂණ සභාවේ නිර්දේශ ලබාදී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තවත් පාර්ශව කිහිපයක් එක්ව සාකච්ඡා පවත්වා කුමන එන්නත මෙරටට රැගෙන එන්නේ ද යන්න පිළිබදව කඩිනමින් අවසන් නිගමනයකට පැමිණෙන බවයි වෛද්‍ය පර්යේෂණ සභාව සදහන් කළේ.

බොහෝදුරට නිර්දේශ ලැබී ඇති එන්නත් 4 ම මෙරටට ගෙන්වීමට අපේක්ෂා කරන බව එම සභාවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

මේ අතර, අවදානයට යොමුව ඇති එන්නත් 4 රෙහි පවතින බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරටට ගෙන්වීම කෙරෙහි වැඩි අවදානයක් යොමුව ඇති බවයි වෛද්‍ය පර්යේෂණ සභාව සදහන් කළේ.

අදාළ එන්නත සාමාන්‍ය ශීතකරණයක පවතින උෂ්ණත්වය යටතේ තබා ගත හැකි වනවා.

මීට අමතරව මෙරටට ගෙන්වීම කෙරෙහි අවදානය යොමුව ඇති අනෙකුත් එන්නත් වන්නේ මොඩානා, ෆයිසර් බයොටෙක් සහ ස්පුට්නික්-5 එන්නත් ෴

+++++++++++++++++++++

රිටිගල පැණිය ධම්මික පැණිය පරදවයි ද?.. – Talk with Sudaththa (24.12.2020)

++++++++++++++++++++

(25.12.2020 – 10:59 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන සියළුම පෞද්ගලික බස් රථ කළුඅග්ගල දක්වා පමණක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

අවිස්සාවේල්ල සහ කොස්ගම පොලිස් බල ප්‍රදේශ ඊයේ (24) සිට හුදෙකලා කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව මාර්ග අංක 122 හයිලෙවල් මාර්ගය හරහා පිටකොටුව හා මහරගම සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන බස් රථ මෙන්ම ලෝලෙවල් මාර්ගයෙන් පිටකොටුවේ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන සියළුම බස් රථ කළුඅග්ගල බස් නැවතුම්පොළ දක්වා පමණක් ධාවනය වනු ඇති.

පාදුක්ක සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන බස් රථවල ගමනාන්තය ද කළුඅග්ගල බස් නැවතුම්පොළ දක්වා සීමා වන බව පොලීසිය කියා සිටියා ෴

+++++++++++++++++++++

(25.12.2020 – 11:02 +0530 – hirunews.lk/sinhala)

ලබන මස 15 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කල් දමා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ පවතින කොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් මත මෙම තීරණය ගෙන ඇති බවයි ෴

++++++++++++++++++++++++

(25.12.2020 – 11:58 +0530 – hirunews.lk/sinhala)

මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මකවන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස පත් කෙරෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++++++

(25.12.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී මිය ගිය මට්ටක්කුලිය ප්‍රදේශයේ කාන්තාවගේ දේහයක් කොළඹ අධිකරණ වෛද්‍යවරයා විසින් හොර රහසේ මුදා හැර ඇති බවට ‘සිංහලේ අපි ජාතික සංවිධානය’ චෝදනා කරනවා.

කෑගල්ල ප්‍රදේශයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් මේ බව සඳහන් කළා.

මේ අතර, හුදෙකලා කර ඇති කළුතර – වෙට්ටුමකඩ ප්‍රදේශයේ ජනතාව විසින් කොරෝනා ආසාදනය වී මිය යන දේහයන් ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් අද (25) දින සුදු කොඩි ප්‍රදර්ශනය කර ඇති බව හිරු වාර්තාකරු සඳහන් කළා.

+++++++++++++++++++++

(25.12.2020 – 13:02 +0530 – hirunews.lk/sinhala)

මේ අතර, ඊයේ (24) වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 592 ගෙන් 245 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා.

ඒ අතරින් වැඩිම ආසාදිත සංඛ්‍යාවක් හමුවී ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයෙන් වන අතර, එම සංඛ්‍යාව 48 ක්.

වැල්ලවත්ත – ශ්‍රී විජයපාර වත්තේ ඊයේ (24) සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 100 කින් ආසාදිතයන් විසි දෙනෙකු (20) හඳුනාගෙන ඇති බව වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

වැල්ලම්පිටිය ප්‍රදේශයෙන්ද ඊයේ (24) ආසාදිතයන් 42 කු සොයාගෙන තිබෙනවා.

කොල්ලුපිටිය ප්‍රදේශයෙන් ආසාදිතයන් 17 දෙනෙකු, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් ආසාදිතයන් 15 දෙනෙකු, මට්ටක්කුලියෙන් සහ කිරුලපන ප්‍රදේශවලින් ආසාදිතයන් 13 දෙනෙකු බැගින් ඊයේ (24) අලුතින් හඳුනාගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල යන ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමඟ එම පොලිස් බල ප්‍රදේශ ඊයේ (24) සිට හුදකලා කෙරුණා.

ඒ හේතුවෙන් කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන සියළුම පෞද්ගලික බස් රථ කළුඅග්ගල දක්වා පමණක් ධාවනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (24) හඳුනාගෙන ඇති නව ආසාදිතයන් සංඛ්‍යාව 140 ක්.

කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා දැඩි අවදානමක් පවතින බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් අටළුගම ප්‍රදේශයෙන් වාර්තාවන මුළු ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 981 ක් ලෙසයි දැක්වෙන්නේ.

බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන් ඉලක්ක කර සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණවලින් මේ දක්වා ආසාදිතයන් 23 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ මේ වනවිට ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම සඳහා නිකුත් කර ඇති බවයි.

බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන් ඉලක්ක කර ස්ථාන 11 කදී අද (25) දිනයේත් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනු ලබනවා.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ගතවූ දින 10 ක කාලය තුළ ආසාදිතයන් 223 දෙනෙකු හමුවී ඇති බව දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ප්‍රකාශ කළා.

ඇය කියා සිටියේ ඉන් 83 දෙනෙකු ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනුත්, කුරුවිටින් 50 දෙනෙකු, රත්නපුරින් 45 දෙනෙකු, ගොඩකවෙලින් 11 දෙනෙකු වාර්තාවී ඇති බවයි.

එමෙන්ම පැල්මඩුල්ලෙන් අටදෙනෙකු (8), ඇලපාතින් 9 දෙනෙකු, ඇඹිලිපිටියෙන් හයදෙනෙකු (6), කහවත්තෙන් පස්දෙනෙකු (5), කිරිඇල්ලෙන් හතරදෙනෙකු (4) සහ අයගම හා නිවිතිගල කොට්ඨාසවලින් එක් ආසාදිතයෙකු (1) බැගින්ද හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්කයේ මේ දක්වා වාර්තාවන සමස්ත ආසාදිත සංඛ්‍යාව 744 ක් වන අතර, ඉන් 455 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති බවයි වාර්තාවන්නේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැලියගොඩ සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, අවදානම් කලාප ලෙස දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව විසින් නම් කර ඇති බව ඇය කියා සිටියා.

මේ අතර කොරෝනා ආසාදිත බවට පසුගියදා හඳුනාගත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ආශ්‍රිතයෙකු වූ හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා ඊයේ (24) කොරෝනා ආසාදිත බවට හඳුනාගැනුනු අතර, ඔහු සහභාගිවූ උපන් දින සාදයකට එක්ව සිටි කිහිපදෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

ඒ අතර හැටන් – දික්ඔය නගර සභාවේ ලේකම්වරයා, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරු අටදෙනෙකු (8) සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුද වනවා.

දිවයිනට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 579 දෙනෙකු ගුවන් යානා 6 කින් දිවයිනට පැමිණියා.

ඩුබායි රාජ්‍යයේ සිට 390 දෙනෙකු, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට 120 දෙනෙකු, සිඩ්නි සිට 69 දෙනෙකු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි පිරිසට ඇතුළත් ෴

++++++++++++++++++++++

(25.12.2020 – 13:13 +0530 – hirunews.lk/sinhala)

මොස්කව් නුවර සිට රුසියානු සංචාරකයින් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ තම ගුවන් සමාගමට අයත් යානා ලබන 31 වන දා දක්වා අවලංගු කර ඇති බව රුසියාවේ ප්‍රධාන ගුවන් සමාගම වන එරෝෆ්ලොට් ගුවන් සමාගම මෙරටට දැනුම් දී තිබෙනවා.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි මහතා අද (25) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ සංචාරකයින් 300 කට ආසන්න පිරිසක් රැගෙන එම ගුවන් සමාගමේ පළමු යානය අනිද්දා (27) අලුයම කටුනායක – බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත ළඟාවීමට නියමිතව තිබූ බවයි.

කොරෝනා වසංගතය හේතුවෙන් අඩපණවී ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා නියමු ව්‍යාපෘති ලෙස පැරණි රුසියානු සමූහාණ්ඩුවට අයත් රටවල් තුනකින් (3) සංචාරකයින් මෙරටට ගෙන්වා ගන්නා බව පසුගියදා රජය සඳහන් කළා.

ඒ අනුව අනිද්දා (27) රුසියානු සංචාරකයින් පිරිසක් කටුනායක ගුවන් තොටුපල වෙත ළඟාවීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත් රුසියානු සංචාරකයින් රැගත් ගුවන් යානා අවලංගු වුවද යුක්රේන සහ කසකස්ථානයේ සිට සංචාරකයින් රැගත් යානා නියමිත පරිදි මෙරටට පැමිණෙන බවයි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++++

(25.12.2020 – 13:19 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ කොරෝනා වසංගතය හේතුවෙන් තමන් ගැටළු රැසකට මුහුණ දී සිටින බව ගිනිකෙළි කර්මාන්තයේ නිරත පිරිස් පවසනවා.

නීතිමය ගැටළු, රක්ෂණාවරණයක් නොමැතිවීම, අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ගැටළුව මෙන්ම වෙළදපොළ ගැටළු ද පවතින හෙයින් ඒවාට විසදුම් ලබාදීමට කටයුතු කළ යුතු බවයි ශ්‍රී ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින් සහ සේවකයින් පෙන්වා දෙන්නේ ෴

=======================================

(25.12.2020 – 08:46 +0530 – hirunews.lk/sinhala)

උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට සිහින් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම, සබරගමුව පළාතටත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් පස්වරු 1 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මේ අතර, මන්නාරම සිට කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ඇති විය හැකි අතර, කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම, කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ ද රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

***************************************

(25.12.2020 – 08:54 +0530 – hirunews.lk/sinhala)

වනාතවිල්ලුව – එළුවන්කුලම – රාල්මඩුව වෙල්යායේ පක්ෂීන් 150 කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (24) ලද තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවකදී මෙලෙස පක්ෂීන් මිය ගොස් සිටි ආකාරය නිරීක්ෂණය කර තිබුණා.

පක්ෂීන් මියයෑමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ප්‍රදේශයේ ගොවී ජනතාව පවසන්නේ වගාවන්ට ඉසින ලද කෘමි නාශක වර්ගයක් විෂවීමෙන් මොවුන් මිය යන්නට ඇති බවට සැක පළ කරන බවයි.

වී කුරුල්ලන් ඇතුළු පක්ෂීන් වර්ග කිහිපයක් මෙලෙස මිය ගොස් ඇති බවටයි වාර්තා වන්නේ ෴

***************************************

(25.12.2020 – 09:52 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස ප්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවාසයක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පොලිසිය සමත්ව තිබෙනවා.

එහිදී කළමනාකරු ඇතුළු කාන්තාවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

ගල්කිස්ස අපරාධ කොට්ඨාශ අංශයේ ස්ථානාධිපති වෙත ලද තොරතුරක් මත ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා මගින් සෝදිසි වරෙන්තුවක් ලබා ගැනීමෙන් අනතුරුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට පත් කාන්තාවන් අම්බලන්තොට, කටාන, බණ්ඩාරගම, දොම්පේ යන ප්‍රදේශයන්හි පදිංචිකාරිණියන් බවයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් වයස අවුරුදු 19 ත් 33 අතර පසුවන කාන්තාවන් බවයි වාර්තාවන්නේ.

තම නිවැසියන්ට කොළඹ ප්‍රදේශයේ රැකියාවන්හි නිරතවන බව පවසා ඔවුන් මෙලෙස ගණිකා සේවයේ නිරතව සිට ඇති බවටයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

***************************************

(25.12.2020 – 13:02 +0530 – hirunews.lk/sinhala)

බෞද්ධ අනන්‍යතාවට මුල් තැන දෙමින් ආගමික සහජීවනය ඉදිරියට ගෙන යාම සඳහා සියළු ආගමික නායකයින්ගෙන් සැදුම් ලත් කමිටුවක අවශ්‍යතාව බෞද්ධ උපදේශක කාරක සභාව පෙන්වා දී තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේදී ඊයේ (24), 7 වන වරටත් එම උපදේශක කාරක සභාව රැස්වූ අවස්ථාවේදියි.

බාධක සහ අභියෝග මැද ගෙවී ගිය වසර තුළ ජාතික ප්‍රතිපත්ති රැසකට ශක්තිමත් අඩිතාලමක් දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව ඇති බව මෙම රැස්වීමේදී බෞද්ධ උපදේශක සභාව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්, ජාතික උරුමයන් සුරැකෙන වැඩපිළිවෙලක් සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතුළු කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙරට ගමන් මඟ වෙනස් කරන වැඩපිළිවෙලක් දියත් කර තිබීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට බෞද්ධ උපදේශක කාරක සභාව ප්‍රසාදය පළ කර තිබෙනවා.

එමෙන්ම සංඝරත්නය අපේක්ෂා කළ බෞද්ධ අනන්‍යතාවට මුල් තැන දෙමින් ආගමික සහජීවනයට සමාජ පරිසරය සැකසීම ගත වූ කාලය තුළ ජනතාව ලැබූ ජයග්‍රහණයක් බවයි එම උපදේශක කාරක සභාව එහිදී පෙන්වා දී ඇත්තේ.

***************************************

(25.12.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

පස්සර – වැල්ගොල්ල ප්‍රදේශයේදී දෙබර ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

අද (25) පෙරවරුවේ මෙලෙස දෙබර ප්‍රහාරයට ලක්ව ඇත්තේ වැල්ගොල්ල ගම්මානයේ සිට පොහොර රැගෙන ඒම සඳහා කැන්දගොල්ල ගම්මානයට ත්‍රිරෝද රථයකින් හා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පිරිසකුයි.

දෙබර ප්‍රහාරයත් සමඟ ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති අතර, ප්‍රහාරයට ලක්වූ පිරිස කැන්දගොල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු (2) බදුල්ල මහරෝහලට මාරු කර යැවුණු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *