පාස්කු වින්දිතයන්ට ලෝක මුස්ලිම් සන්ධානය ලබාදුන් මුදල් ගැන විජේදාස ප්‍රශ්න කරයි

පාස්කු වින්දිතයන්ට ලෝක මුස්ලිම් සන්ධානය ලබාදුන් මුදල් ගැන විජේදාස ප්‍රශ්න කරයි

*********************************************

පාස්කු වින්දිතයන්ට ලෝක මුස්ලිම් සන්ධානය ලබාදුන් මුදල් ගැන විජේදාස ප්‍රශ්න කරයි

(24.12.2020 – 13:12 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට ලබාදීම සඳහා ලෝක මුස්ලිම් සන්ධානය ලබාදුන් මුදල් වලට කුමක් සිදුවූයේද යන්න දන්වා එවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරනවා.

ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු කියා සිටියේ ලෝක මුස්ලිම් සන්ධානය ලබාදුන් මුදල් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ සුභසාධනයට ලැබී නොමැති බවට එම පිරිස් තමා වෙත දැනුම් දී ඇති බවයි.

2019 වසරේ ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ පවත්වන ලද ලෝක මුස්ලිම් සන්ධානයේ ජාතික සාම සමුළුවේදී පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ලබාදීම සඳහා ඩොලර් මිලියන පහක (5) මුදලක් ලබාදුන් බව මාධ්‍ය වාර්තා කර තිබූ බවද එම ලිපියේ දැක්වෙනවා.

මෙම සමුළුවට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාපක්ෂ සහ හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගද එක්ව ඇති බවයි එහි දක්වා ඇත්තේ.

මෙම ලිපියේ පිටපත් අග්‍රාමාත්‍යවරයාට මෙන්ම අගරදගුරු හිමිපාණන්ට ද යොමු කර තිබෙනවා ෴

***************************************

(24.12.2020 – 13:15 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය චීන වරාය මීසමට අයත් කුරුසකන්ද පූජනීය ස්ථානය රැක ගැනීම සඳහා කටයුතු කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ඒ, අන්තවාදීන්ගෙන් එම පූජා භූමියට සිදුවන අකටයුතුකම් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ හෙළි කිරීමෙන් පසු කුරුසකන්ද ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වසර 50 කට වැඩි අතීතයකට උරුමකම් කියන කුරුසකන්ද කලක් තිස්සේ වරින් වර අන්තවාදීන්ගේ ග්‍රහණයට ලක්ව තිබුණා.

මීසම භාර පියතුමන්ට පවා මරණ තර්ජන එල්ල කරමින් මෙම ස්ථානයෙන් පලවා හැරීමට අන්තවාදීන් උත්සාහ කර තිබූ අතර පසුගිය ඔක්තෝම්බර් මස 7 වන දා ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය රටට අනාවරණ කළා.

පසුව ඒ පිළිබදව බොහෝ දෙනෙකුගේ අවදානයට යොමු වූ අතර ඒ අනුවයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් කුරුසකන්ද පූජා භූමිය නිරීක්ෂණය සඳහා පැමිණියේ.

හිරු ප්‍රවෘත්ති අංශය කළ අනාවරණයත් සමඟ කුරුසකන්ද පූජාභූමිය රැක ගැනීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමු වීම පිළිබඳව මීසම භාර පියතුමන් මෙලෙස සිය ස්තූතිය පළ කළා.

***************************************

(24.12.2020 – 13:25 +0530 – hirunews.lk/sinhala)

නත්තල් දිනයේ සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් සහ විශේෂ තුන් අවුරුදු බලපත්‍ර ලත් ස්ථාන හැර අනෙකුත් සියලුම සුරාසැල් මෙලෙස වසා තැබිය යුතු බවයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම උඳුවප් පුර පසළොස්වක දිනය යෙදී ඇති ලබන 29 වනදා දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබීමට කටයුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ෴

***************************************

(24.12.2020 – 13:54 +0530 – hirunews.lk/sinhala)

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස අදහස් පළ වුණා.

***************************************

(24.12.2020 – 18:52 +0530 – hirunews.lk/sinhala)

හැටන් ආරියගම ප්‍රදේශයේ නිවසක කාමරයක හටගත් ගින්නකින් එහි සිටි තිදරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ විශ්‍රාමික ගුරුවරියක් වන 74 හැවිරිදි කාන්තාවක්.

අද (24) පස්වරු 03:30 ට පමණ නිවසේ කිසිවෙකු නොසිටි අවස්ථාවක ගින්න හටගෙන ඇති අතර පැතිර යමින් තිබූ ගින්න ප්‍රදේශවාසීන් එක්ව පාලනය කර තිබුනා.

එහිදී අනාවරණ වී ඇත්තේ කාමරයේ සිටි තිදරු මව පිළිස්සී මියගොස් ඇති බවයි.

මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර හැටන් පොලිසිය විමර්ශණ මෙහෙයවනවා ෴

***************************************

(24.12.2020 – 19:31 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී හෘදයාබාධයක් වැළදුණු පුද්ගලයෙකු සතුව තිබූ රුපියල් 81,000 ක මුදලක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

බඩල්කුඹුර – ඇල්ල ප්‍රදේශයේදී මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ ඉංජිනේරුවරයෙකු බවයි මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කළේ.

මොහුගේ බිරිඳ මැදගම ප්‍රදේශයේ වෛද්‍යවරියක් වන අතර, ඔහු බුත්තල ප්‍රදේශයේ සිට සිය නිවස වෙත පැමිණෙමින් සිටියදී හදිසියේ මෙම හෘදයාබාධය හටගෙන තිබෙනවා.

මෝටර් රථය මාර්ගය අසළ නවතා උදව් ඉල්ලා ඇති අතර, එම ස්ථානයෙන් ගමන් කළ ලොරි රථයක සිටි පුද්ගලයින් තුන් දෙනෙකු (3) මෙම ඉංජිනේරුවරයා සමඟ කතා කිරීමට උත්සාහ කර තිබෙනවා.

කෙසේ වෙතත්, රෝගය උත්සන්න වී තිබීම නිසා ඔහුට වචන පිට වී නොමැති අතර එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සැකකරුවන් ඉංජිනේරුවරයාගේ සාක්කුවේ තිබූ මෙම 81,000 ක මුදල මෙලෙස කොල්ල කා ඇති බවයි පොලීසිය සදහන් කළේ.

පසුව මෙම ඉංජිනේරුවරයා වෙනත් පිරිසක් විසින් කඩිනමින් රෝහල් ගත කරනු ලැබ ඇති අතර, ඔහුට මහනුවර මහ රෝහලේදී හදවත් සැත්කමක් ද සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත්, රෝගයෙන් දැඩිව පීඩා විදිමින් සිටි ඉංජිනේරුවරයා සිය ජංගම දුරකථනයෙන් සැකකරුවන් පළා යන ටිපර් රථයේ ඡායාරූපයක් ලබාගෙන ඇති අතර, එය උපයෝගී කර ගනිමින් මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් සැකකරුවන් ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් ගොතටුව, පොළොන්නරුව සහ බඩල්කුඹුර යන ප්‍රදේශවල පදිංචි 21, 23, සහ 28 යන වයස්වල පසුවන්නන් බවයි හෙළි වී ඇත්තේ ෴

***************************************

(24.12.2020 – 19:39 +0530 – hirunews.lk/sinhala)

උත්සව අත්තිකාරම් වෙනුවට රජය යෝජනා කළ පරිපූරක උත්සව ණය යෝජනා ක්‍රමය රජයේ සේවකයන් රැවටීමක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ පක්ෂ මූලස්ථානයේ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

***************************************

(24.12.2020 – 20:12 +0530 – hirunews.lk/sinhala)

කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන් යුක්රේනයේ සිට මෙරටට ගෙන්වූ කෘෂිකාර්මික අපද්‍රව්‍ය ඇතුලත් කන්ටේනර් 28ක් ඔරුගොඩවත්ත රේගු අංගනයෙන් සොයාගෙන තිබෙනවා.

කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන් කෘෂි අපද්‍රව්‍ය සහිත බහලුම් 28 ක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් බාසල් සම්මුති කාර්යාලයට පැමිණිලි කරන ලෙසට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබාදී තිබෙනවා.

බාසල් සම්මුතියට අනුව එක් රටක සිට තවත් රටකට අපද්‍රව්‍ය අපනයනය කිරීම හෝ ආනයනය කිරීම තහනම් වනවා ෴

***************************************

(24.12.2020 – 20:53 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල ඓතිහාසික දෙවනගල රජමහා විහාරයට අයත් භූමියේ මැනුම් කටයුතු සම්බන්ධයෙන් ඉඩම් හිමියන් දැනුවත් කිරීමේ රැස්වීම අතරතුර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ඒ අරණායක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු දෙවනගල ඉඩම් නිරවුල් කිරීම පිළිබද සිදුකළ අසත්‍ය තොරතුරුක් පදනම් කර ගනිමින්.

දෙවනගල රජමහා විහාරයේ පුරාවස්තු වනසමින් අන්තවාදී පිරිස් විසින් සිදුකරගෙන ගිය ඉඩම් කොල්ලය ‘හිරු සී.අයි.ඒ.’ හරහා හෙළිකිරීමත් සමග රජයේ අවධානය ඒ පිළිබද යොමු වුණා.

ඒ අනුව පුදබිමට අයත් ඉඩම මැන නිරවුල් කිරීමට පියවර ගැනුණු අතර එහිදී යම් යම් බාධා කිරීම් සිදු වූ බවත් අප වරින් වර වාර්තා කළා.

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවනගල අවට ඉඩම් හිමියන් දැනුවත් කිරීම සඳහා අද (24) අරනායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රැස්වීමක් සංවිධානය කර තිබුනේ මෙවන් පසුබිමකයි.

මෙම අවස්ථාවට එක්ව සිටි අරණායක ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ අජන්ත දිසානායක මන්ත්‍රීවරයා දෙවනගල භාරකාරී හිමියන්ට අපහාස කරමින් හා ඉඩම් මැණුම් කටයුතු පිළිබදව අසත්‍ය ප්‍රකාශ කිරීමත් සමග රැස්වීම උණුසුම් වුණා.

අනතුරුව දෙවනගල ඉඩම් ගැටළු විසදීම සදහා තවත් සති දෙකක (2) කාලයක් ලබාදුන් ආණ්ඩුකාරවරයා ඒ සදහා විශේෂ කමිටුවක් ද පත්කළා ෴

***************************************

(24.12.2020 – 21:00 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජයේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව කිහිපයක් අදත් අදහස් පළ කළා.

***************************************

(25.12.2020 – 07:33 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ සිට මෙරටට ගෙන්වූ කසල අඩංගු බහලුම් 28 ක් ශ්‍රී ලංකා රේගුව සිය භාරයට ගෙන තිබෙනවා.

මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන් මේවා මෙරටට ගෙන්වා ඇති බවයි.

මෙම බහලුම් 28 න් 8 ක් පසුගිය 10 වනදාත් අනෙක් 20 පසුගිය 21 වනදාත් මෙරටට ගෙන්වා තිබෙනවා.

කෘෂිකාර්මික නිෂ්පාදනවල තත්ත්වය තහවුරු කරන යුක්රේනයේ පිහිටි ප්‍රධාන පෙළේ ආයතනයක් මෙම බහලුම් 28 සඳහා සහතිකයක් ද නිකුත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම බහලුම්වලින් 4 ක් පරීක්ෂා කළ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ප්‍රකාශ කළේ අදාළ අපද්‍රව්‍ය එම රටටම යළි ප්‍රතිඅපනයනය කළ යුතු බවටයි.

මේවායෙන් 24 ක් කොළඹ වරාය පරිශ්‍රයේ පවතින අතර, ඉතිරි 4 ශ්‍රී ලංකා රේගුවේ බහාලුම් පරීක්ෂා කිරීමේ අංගනයේ තැන්පත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා කියා සිටියේ අදාළ කන්ටේනර් ප්‍රමාණය කඩිනමින් අදාළ රටට ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර, මීට පෙර එංගලන්තයෙන් මෙරටට සායනික අපද්‍රව්‍ය ඇතුළත් කසල බහලුම් 242 ක් ගෙනවිත් තිබූ අතර ඒවායෙන් 120 ක් මේ වන විටත් එංගලන්තයට ප්‍රතිඅපනයනය කර තිබෙනවා.

***************************************

(25.12.2020 – 07:49 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් සතියක් තුළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා මාධ්‍ය හමුවක් පැවැත්වීම පිළිබදව අප කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරය තුළ හා ඉන් පිටත 150 කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

එමෙන්ම, මිය ගිය රැදවියන් 11 දෙනාගෙන් තුන්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ද ඉදිරි දින කිහිපය තුළ අවසන් කරන බව ඔහු සඳහන් කළා.

පසුගිය 29 වන දා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැදවියන් 8 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ වෙඩි වැදීමෙන් මොවුන් ජීවිතක්ෂයට පතව ඇති බවටයි ෴

=========================================

(24.12.2020 – 14:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් විශාල පිරිසක් හමුවීමත් සමඟ අද (24) පස්වරුවේ සිට අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කිරීමට පියවර ගැනුණා.

ඊයේ (23) දිනයේදී ආසාදිතයින් 99 දෙනෙකු අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයෙන් සොයා ගැනුණු අතර හුදෙකලා කෙරුණු පොලිස් බල ප්‍රදේශ 3 න් අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 45 දෙනෙකු සොයාගෙන තිබෙනවා.

ඒ, අවිස්සාවේල්ල නගර සීමාවෙන් 31 දෙනෙකු, රුවන්වැල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 8 දෙනෙකු සහ කොස්ගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 6 දෙනෙකු වශයෙන්.

අවිස්සාවේල්ල නගර සීමාවෙන් හමුවූ ආසාදිතයින් 31 දෙනා සීතාවක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ එක් කර්මාන්තශාලාවකින් වාර්තා වන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියාසිටියා.

රුවන්වැල්ල ප්‍රදේශයෙන් හමුවූ ආසාදිතයන් 08 දෙනාගෙන් 7 දෙනෙකුම වාර්තා වන්නේ සීතාවක ආයෝජන කලාපයෙන්.

අනෙක් ආසාදිතයා ශ්‍රී ලංකන් කෙටරින් ආයතනයේ සේවකයෙකු බව සදහන්.

දෙවන කොරෝනා රැල්ල ආරම්භ වු ඔක්තෝම්බර් 04 වනදා සිට මේ දක්වා රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් හදුනාගෙන ඇති මුළු ආසාදිත සංඛ්‍යාව 68 ක්.

අවිස්සාවේල්ල සීතාවක ආයෝජන කලාපයේ කර්මාන්තශාලා වලින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 380 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල සහ කොස්ගම යන පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කිරීමත් සමඟ කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

ඒ අනුව හෙට සිට කඩුගොඩ, කොස්ගම, පුවක්පිටිය සහ අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථාන නැවත දැනුම් දෙන තුරු මගීන් සඳහා විවෘත නොවන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එසේම, අද (24) අලුයම සිට ත්‍රිකුණාමලය – අභයපුරම් ග්‍රාමනිලධාරි වසම සහ ජින්නානගර් ප්‍රදේශ හුදකලා කිරීමට පියවර ගැනුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ හුදකලා කල ප්‍රදේශ හරහා වැටී ඇති ප්‍රධාන මාර්ගවල ගමන් කිරීමේදී එම ප්‍රදේශවල රථවාහන නොනවත්වා ධාවනය කළ යුතු බවයි.

+++++++++++++++++++++++

(24.12.2020 – 15:08 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදීර් සෙල්වන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ලංකා කම්කරු කොංග්‍රසය පියවර ගෙන තිබෙනවා.

ඒ, නිරෝධායන නීති උල්ලංගණය කරමින් ධුරයේ කටයුතු කිරීම හේතුවෙන්.

මේ වන විට සභාපතිවරයා ප්‍රතිකාර ලබන්නේ හම්බන්තොට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේයි.

පසුගිය දින කිහිපය තුළ ඔහු විවිධ උත්සව අවස්ථාවන්වලට සහභාගිවීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළු තවත් ප්‍රාදේශීය දේශපාලනඥයින් කිහිප දෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ෆවුසල් නියාස් විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය බර්ට්‍රම් ගුණවර්ධනට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් ෴

++++++++++++++++++++++++

(24.12.2020 – 15:30 +0530 – hirunews.lk/sinhala)

අද (24) දිනයේදී තවත් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයන් 686 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 30,000 ඉක්මවා තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ එය 30,568 ක් ලෙස සටහන් වන බවයි.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 7887 ක් වන අතර, මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 38,639 ක් ෴

+++++++++++++++++++++++++

(24.12.2020 – 16:05 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ජාතික රෝහල වෙත පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ කොළඹ දිස්ත්‍රික් සංගමය විසින් රුපියල් ලක්ෂ 50 ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

ඒ, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ යෝජනාවක් මතයි.

ඊට අදාළ මුදල අද (24) දිනයේ රාජ්‍ය අමාත්‍යවරයා විසින් මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂවරිය වෙත භාර දුන් බවයි මැණික් හා ස්වර්ණාභරණ, ආර්ථික කර්මාන්ත කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

+++++++++++++++++++++++++++

(24.12.2020 – 17:13 +0530 – hirunews.lk/sinhala)

අවිස්සාවේල්ල සහ කොස්ගම යන පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කිරීමත් සමඟ කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට ‘වග’ දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා.

ඒ අනුව හෙට (25) සිට කඩුගොඩ, කොස්ගම, පුවක්පිටිය සහ අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථාන නැවත දැනුම් දෙන තුරු මගීන් සඳහා විවෘත නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴

++++++++++++++++++++++++++

(24.12.2020 – 18:01 +0530 – hirunews.lk/sinhala)

අද (24) රාත්‍රී සහ හෙට (25) නත්තල් දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් ලබාදෙන්නැයි පොලිස්පතිවරයා අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා ෴

+++++++++++++++++++++++++++

(24.12.2020 – 18:12 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 406 දෙනෙකු වාර්තාවී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 39,045 ක්.

එමෙන්ම, අද (24) දිනයේත් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයන් 686 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 30,000 ඉක්මවා 30,568 ක් ලෙස සටහන් වුනා.

සමස්තයක් ලෙස මෙරටින් වාර්තාවන කොරෝනා අසාදිත සංඛ්‍යාව ස්ථාවර මට්ටමක පවතින බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කලේ මේ වනවිට රටේ පවතින කොරෝනා අවදානම පිළිබද නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීමෙන් තොරව කොරෝනා වෛසරය පාලනය කිරීමට නොහැකි බවයි ෴

+++++++++++++++++++++++

(24.12.2020 – 19:29 +0530 – hirunews.lk/sinhala)

සුවසරණ සෞඛ්‍ය අරමුදලේ උපදේශක, හොරණ – කුරුඳුවත්ත මහ විහාරාධිපති පූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නාහිමියන්ගේ මග පෙන්වීම මත පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මිලදීගත් පී.සී.ආර්. යන්ත්‍රයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදී තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේදියි.

එම යන්ත්‍රය කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ ස්ථාපනය කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

මේ අතර කෝට්ටේ මාදිවෙල – ඊයම්පෝරුව – ගංඟාතිලක විහාරස්ථානයේ ඉදිකරන ලද අපවත්වී වදාළ පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස නාහිමි අනුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) නිරාවරණය වුණා.

පසුගිය මැයි මස දෙවනදා (02) අපවත් වූ උන්වහන්සේ උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ධුරයද හොබවනු ලැබුවා ෴

+++++++++++++++++++++++

(24.12.2020 – 20:03 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතෙන් පිටවීමේදී මාර්ග 11 ක ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂාව සිදුකරන අතර, බෙන්තොට පාලම අසළ අද (24) උදෑසන සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂාවේදී පාසල් සිසුවෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වුණා.

පසුව අදාළ සිසුවාගේ පියා කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන බැවින් එම පොලිස් ස්ථානයේ සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණයේදී ඔහු ඇතුලු තවත් හතරදෙනෙකු (4) ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා ෴

++++++++++++++++++++++

(24.12.2020 – 20:08 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් අද (24) සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා.

ඒ, ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ෆවුසල් නියාස් විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය බර්ට්‍රම් ගුණවර්ධන මහතාට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින්.

කරාපිටිය ශීක්ෂණ රෝහලේ තිබු කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් ගැටලුවක් මුල් කරගනිමින් මේ බැණ වැදීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, කොරෝනා වැලදීමෙන් මිය ගිය එම පුද්ගලයාගේ දේහය අද (24) ආදාහනය කෙරුණා.

ඒ, රජයේ වියදමින් ගාල්ල – දඩල්ල ආදාහනාගාරයේදීයි.

++++++++++++++++++++++

(24.12.2020 – 20:19 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල සිනමා ශාලා ජනවාරි පළමුවනදා (01) සිට සියයට 25 ක ධාරිතාවක් යටතේ විවෘත කිරීමට තීරණය වී තිබෙනවා ෴

+++++++++++++++++++++++

(24.12.2020 – 20:45 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 182 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 39231 ක්.

ආසාදිතයන්ගෙන් 8478 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 30568 ක්.

මෙරටින් කොරෝනා ආසාදිත මරණ 185 ක් ද වාර්තාවුනා ෴

+++++++++++++++++++++

(24.12.2020 – 22:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 185 ක්.

මියගොස් ඇත්තේ අගලවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙක්.

ඔහු පසුගිය 20 වනදා පිඹුර මූලික රෝහලට ඇතුලත් කරන විට මියගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ.

මෙම මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග ඇතිවූ ලේ විෂ වීමයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ importation of other countries garbage to Sri Lanka. Why there is no news about punishments to the Sri Lankan companies or individuals that are perpetrating these criminal activities? They must be punished by throwing them in prison and confiscating all their assets. It seems that the tax payers are paying the cost of repatriating these garbage containers. Yes they must be repatriated but the importers MUST be enforced to pay for the costs.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *