තුන්වන (3) පාසල් වාරය අදින් අවසන් – නව වසරේ පාසල් ආරම්භය ජනවාරි 11 වනදා

තුන්වන (3) පාසල් වාරය අදින් අවසන් – නව වසරේ පාසල් ආරම්භය ජනවාරි 11 වනදා

*********************************************

තුන්වන (3) පාසල් වාරය අදින් අවසන් – නව වසරේ පාසල් ආරම්භය ජනවාරි 11 වනදා

(23.12.2020 – 18:07 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කයන්හි පාසල් සහ හුදකලා කර ඇති පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් හැර සෙසු සියලු පාසල්වල 2021 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 11 වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ නව පාසල් වාරය ආරම්භ කෙරෙන සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ද ඇතුළුව සියලු ශ්‍රේණිවල සිසුන්ට පාසල් ක්‍රියාත්මක වන බවයි.

2020 වර්ෂයේ තුන්වන පාසල් වාරය අද (23) දිනයෙන් අවසන් වන අතර, මෙම වර්ෂය අවසන් වනවිට සියලුම සිසුන් ඊළඟ පන්තියට උසස් කළ යුතු බවත් එම අමාත්‍යංශය දැනුම් දෙනවා.

ඒ අනුව, 2021 වර්ෂයේ නව පාසල් වාරයේ දී සිසුන් උසස් කරන ලද පන්තියේ ඉගෙනුම ලැබිය යුතු බවත්, ඊට අදාළ පෙළ පොත් මෙම වර්ෂය අවසානයේ දී සියලු සිසුන් වෙත ලබාදිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත දැනුම් දී තිබෙනවා.

කිසියම් පාසලක 2020 වර්ෂයට අදාළ විෂය නිර්දේශ ආවරණය වී නොමැති නම්, 2021 වර්ෂයේ නව පන්තියේ පළමු වාරයේ මුල් මාස දෙක (2) අතරතුර පාසල් මට්ටමින් සුදුසු වැඩපිළිවෙළක් යොදාගනිමින් එම විෂය කොටස් ආවරණය කිරීමට පියවර ගන්නා ලෙසයි පළාත් බලධාරීන් සහ විදුහල් ප්‍රධානීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

මේ සම්බන්ධ ව සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් චක්‍රලේඛය සහ පාසල් ක්‍රියාකාරකම් ඇතුළත් දින දර්ශනය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරියේ දී නිකුත් කරන බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ ෴

++++++++++++++++++++++++

(23.12.2020 – 17:13 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දින 03 තුළ කොවිඩ්-19 රෝගීන් 70 කට අධික සංඛ්‍යාවක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරනවා.

ඒ අනුව එම දිස්ත්‍රික්කය තුල කොවිඩ් වෛරසය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් එළඹෙන උත්සව සමයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට සංචාරය කිරීමෙන් වළකින ලෙස මහජනතාවට දැනුම් දෙනවා ෴

++++++++++++++++++++++++++

(23.12.2020 – 17:56 +0530 – hirunews.lk/sinhala)

නත්නල් නිවාඩු සමය පදනම් කර ගනිමින් සංචරණය සීමා කිරීමේ රජයේ උපදෙස් මත දුම්රිය ගමන් සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අනිද්දා සිට 27 වනදා දක්වා ප්‍රධාන මාර්ගයේ, කැළණිවැලි මාර්ගයේ, උතුරු සහ මුහුදුබඩ මාර්ගවල මෙන්ම පුත්තලම මාර්ගයේ දුම්රිය ගමන් සේවා සීමා කිරීමටයි පියවර ගෙන ඇත්තේ ෴

++++++++++++++++++++++++++

(23.12.2020 – 18:16 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 348 දෙනෙක් අද (23) දිනයේ හඳුනාගෙන තිබෙනවා.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ මෙම ආසාදිතයින් 348 දෙනාගෙන් 72 ක් බන්ධනාගාර වලින් වාර්තා වන බවයි ෴

+++++++++++++++++++++++++++

(23.12.2020 – 19:29 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 හේතුවෙන් මිය ගොස් ආදාහනය කළ දින 20 ක් වයසැති බිළිඳාගේ මරණය සැක සහිත බැවින් වෛද්‍ය වාර්තා කැඳවා පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා බිළිඳාගේ දෙමව්පියන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++

(23.12.2020 – 19:40 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිත දේහයන් ආදාහනය හෝ භූමදානය කිරීම සම්බන්ධයෙන් රජය ඍජු තීරණයක් නොගැනීම හේතුවෙන් අධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුව ද අපහසුතාවට පත් වන බව වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (23) ප්‍රකාශ කළා.

ඒ මහර බන්ධනාගාර සිද්ධියේදී මියගිය රැඳවියන්ගේ දේහයන් ආදාහනය කිරීම සම්බන්ධ නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදියි.

කෙසේ වෙතත් අදාළ තීන්දුව ලබාදීම මේ මස 30 වනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා අද (23) නියෝග කළා.

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර නඩු වාරය ක්‍රියාත්මක වූ පසුගිය 18 වනදා අධිකරණය නියෝග කළේ සිද්ධියෙන් මියගොස් මෙතෙක් ආදාහනය නොකළ රැඳවියන් හත්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අද (23) අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

කෙසේ වෙතත් ඉන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රැඳවියන් සිව්දෙනාගේ (4) මෘත දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පමණක් විශේෂඥ මණ්ඩලය මගින් රහස්‍ය වාර්තාවක් ලෙස අද (23) මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙර අවස්ථාවේ ලබාදුන් නියෝගය පරිදිම මෙම කොවිඞ් ආසාදිත මෘත දේහයන් නොපමාව ආදාහනය කිරීමට අවසර ලබාදෙන ලෙසයි.

නමුත් අගතියට පත් පාර්ශවය ඊට විරුද්ධත්වය පළ කළා.

මේ අතර බන්ධනාගාර තුළ ඇතිවන ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා විශේෂ බුද්ධි ඒකකයක් ස්ථාපිත කරන බව මහනුවර අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළා.

බන්ධනාගාර පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ද අදහස් පළ කළා.

+++++++++++++++

+++++++++++++++++++++++++++

(23.12.2020 – 19:52 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති කොරෝනා ආසාදිත පුද්ගලයාගේ දේහය මීට පෙර නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව ආදාහනය කළ යුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත අද (23) ලිඛිතව දැනුම් දුන්නා.

මේ අතර, කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් පවසන්නේ අද (23) දිනය තුළ අදාළ මළ සිරුර ආදාහනය නොකරන්නේ නම් හෙට (24) සිට සියළු සේවා කටයුතුවලින් ඉවත් වන බවයි.

පසුගිය 19 වන දා කොරෝනා වැලදීමෙන් මෙලෙස මිය ගොස් තිබුණේ ගාල්ල – දේද්දුගොඩ ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

කෙසේ වෙතත්, අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටළුසහගත තත්ත්වයක් මත පසුගිය දා ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ රජයේ විශේෂඥ කමිටුව මගින් තීරණයක් ලැබෙන තුරු කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

එහිදී පොලීසියට දැනුම් දුන්නේ මෙම කරුණ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් ලබා ගන්නා ලෙසයි.

ඒ අනුවයි අද (23) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිතව ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත මෙම දැනුම් දීම සිදුකරනු ලැබුවේ.

කොරෝනා ආසාදනය වීමෙන් සිදුවන මරණ ආදාහනය සම්බන්ධයෙන් රජය පළමු වරට ගැසට් නිවේදනයක් නිකුත් කළේ පසුගිය අප්‍රේල් 11 වනදායි.

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනත යටතේ සෞඛ්‍ය ඇමතිනිය විසින් නිකුත් කළ එම ගැසට් පත්‍රයේ සඳහන් වූයේ කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයෙකුගේ මෘතදේහ සෙල්සියස් අංශක 800 ත් 1200 ත් දක්වා වූ උෂ්ණත්වයක් සහිතව විනාඩි 45 ත් පැයත් අතර කාලසීමාවක් සම්පූර්ණයෙන් දැවී යන තෙක් ආදාහනය කළ යුතු බවටයි.

මේ අතර, කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාව පිළිබඳ සොයාබැලීම සඳහා රජය පත් කළ විශේෂඥ කමිටුව අද (23) සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුලු බලධාරීන් සමඟ සාකච්ඡාවක නිරතවුණා.

එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශේෂඥ කමිටුව සිය අදහස් හුවමාරු කරගෙන ඇති අතර, අවසන් වාර්තාව සකස් කිරීමට නියමිතව ඇත්තේ ඒ අනුවයි.

+++++++++++++++++++++++++++

(23.12.2020 – 19:58 +0530 – hirunews.lk/sinhala)

කොළඹ දිස්ත්‍රික්කය අභිබවා දෛනිකව කොරෝනා රෝගීන් වාර්තාවීම අතින් කළුතර දිස්ත්‍රික්කය මේ වනවිට මුල්තැනට පත්ව තිබෙනවා.

ඊයේ (22) කළුතරින් වාර්තාවී තිබූ ආසාදිතයන් සංඛ්‍යාව 193 ක්.

එය කළුතර දිස්ත්‍රික්කයෙන් මේ දක්වා දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව ද වනවා.

මේ දක්වා කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 2,818 ක් හමුවී ඇති අතර, ඉන් 1,139 දෙනෙකුම සොයා ගැනුණේ අටළුගම අයත් බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්.

මීට පෙර වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවූ කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට ආසාදිතයින් හමුවීම සැළකිය යුතු ලෙස අඩුවී තිබෙනවා.

ඊයේ (22) සහ පෙරේදා (21) දිනවලදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් වාර්තාවී තිබුණේ 101 බැගින්.

මෙලෙස රෝගීන් අඩුවීම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය නිසි පැහැදිලි කිරිමක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය කියා සිටියේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තාවන ආසාදිතයන්ගේ සුළු අඩුවීමක් පෙන්නුම් කරන බවයි.

රෝගීන් සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්නුම් කළද එම බල ප්‍රදේශය තුළ සිදුකරන දෛනික පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව කිසිදු ලෙසකින් අඩු කර නොමැති බව ඇය කියා සිටියා.

මේ අතර දැනට හුදකලා කර ඇති කොළඹ – වනාත – අල්ගාකුඹුර ප්‍රදේශයේ ජනතාව අද (23) විරෝධතාවක නිරතවුණේ මාස දෙකක (2) පමණ කාලයක් හුදකලා කර ඇති තම ප්‍රදේශ එම තත්වයෙන් නිදහස් කරන ලෙස ඉල්ලමින්.

එමෙන්ම, ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ ජනතාවද අද වීථි බැස සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා විරෝධතාවල නිරත වුණා.

මේ අතර කොළඹ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය පොලීසිය හරහා බෙදාදීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (23) පැවැත්වුණා.

එම අවස්ථාවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එක්ව සිටියා.

+++++++++++++++++++++++

(23.12.2020 – 20:02 +0530 – hirunews.lk/sinhala)

අදත් (23) බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් ඉලක්ක කර ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ 779 ක් සිදුකර, ඉන් ආසාදිතයන් දෙදෙනෙකු (2) හඳුනාගෙන තිබෙනවා.

බස්නාහිර පළාතේ ස්ථාන 11 ක් කේන්ද්‍ර කරගනිමින් මෙම ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ සිදුකිරීම පසුගියදා සිට ආරම්භ කළ අතර, මේ දක්වා එම පරීක්ෂණවලින් හඳුනාගෙන ඇති මුළු ආසාදිත සංඛ්‍යාව 19 ක් ෴

+++++++++++++++++++++++++++

(23.12.2020 – 20:47 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහ භූමදානය කිරීමෙන් භූගත ජල මූලාශ්‍රවලට වෛරසය මිශ්‍රවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.

මේ අතර කොවිඩ් ආසාදිතව මියයන මුස්ලිම් පුද්ගලයන්ගේ දේහ ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය අද (23) කොළඹදී විරෝධතාවක නිරත වුණා.

කෙසේ වෙතත් තවත් පාර්ශ්ව කිහිපයක් සඳහන් කළේ කොවිඩ් මරණ ආදාහනය සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය වෙනස් නොකළ යුතු බවයි.

++++++++++++++++++++++++

(23.12.2020 – 21:34 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 231 දෙනෙක් අද (23) දිනයේ වාර්තා වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව අද (23) දිනයේ මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාව 579 ක් ෴

තවත් කොවිඩ් 19 ආශ්‍රිත මරණයක් අද (23) දිනයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 184 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

+++++++++++++++++++++++

(23.12.2020 – 23:08 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍යවලට එරෙහිව ක්‍රියාකරන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට විවිධ ජීවිත තර්ජන එල්ලවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

මත්ද්‍රව්‍ය හා දුම්වැටි නිවාරණය සඳහා දායක වූ පිරිස් වෙත සම්මාන ප්‍රදානෝත්සවයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

+++++++++++++++++++

(24.12.2020 – 07:01 +0530 – hirunews.lk/sinhala)

මාස දෙකකට (2) අධික කාලයක් හුදකලා කර තිබූ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය අද (24) අලුයම හයේ (06:00) සිට හුදකලා භාවයෙන් ඉවත් කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ත්‍රිකුණාමලය – අභයපුර ග්‍රාමනිලධාරි වසම සහ මුර්ගපුරි ප්‍රදේශය අද (24) අලුයම සිට හුදකලා භාවයට පත් කරන බවයි ෴

++++++++++++++++++++

(24.12.2020 – 07:34 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව නිපදවා ඇති ස්පුට්නික් එන්නත මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් මූලික කටයුතු ආරම්භ කර ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව හෝමෝන පෙති සහ කරල් නිෂ්පාදනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර නව කොරෝනා ආසාදිතයන් 580 දෙනෙකු ඊයේ (23) අලුතින් හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 38,639 දක්වා ඉහළ ගියා.

ඊයේ (23) වාර්තාවූ රෝගීන්ගෙන් 507 දෙනෙකු පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, බන්ධනාගාර පොකුරෙන් 72 කුද වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයන් 34,960 ක් දක්වා ඉහළ යන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම ඊයේ (23) වාර්තාවූ නව මරණයත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 184 දක්වා ඉහළ ගියා.

දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 71 ක් වයසැති පිරිමි පුද්ගලයෙකු පසුගිය 21 වනදා නිවසේදී මියගොස් ඇති අතර, මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනය සමඟ ලේ විසවීම සහ පිළිකා රෝගී තත්වයක්.

ඒ අනුව ආසාදිතයන් 8,573 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 29,882 ක්.

මේ අතර, මුතූර් පොලීසියේ 13 දෙනෙකු ද කොරෝනා ආසාදිත බවට ඊයේ (23) තහවුරු වුණා.

ඒ හේතුවෙන් මුතූර් පොලීසියේ රාජකාරී කටයුතු සඳහා ත්‍රිකුණාමලය කොට්ඨාශයේ වෙනත් පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අදාළ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා ෴

++++++++++++++++++++

නිරෝධායන නීති කැඩූ බස් 40 ක බලපත්‍ර අහෝසි කෙරේ

(24.12.2020 – 08:14 +0530 – sinhala.adaderana.lk)

නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් ධාවනය කළ බස්රථ 40 ක බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගෙනඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

එළඹෙන උත්සව සමය තුළදී ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ප්‍රවාහන රාජ්‍ය ආමාත්‍යවරයා සඳහන් කරයි.

නුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා, “හිටගෙන මගීන් ප්‍රවාහනය කෙරුවොත් රියදුරු මහතුන් සහ කොන්දොස්තර මහතුන් අත්අඩංගුවට අරගෙන නීති මගින් කටයුතු කරන්න වෙනවා. ප්‍රවාහන අධිකාරියත් එක්ක කතා කරලා, ඒ වෙනුවට ඒ අයට හැකියාව තියෙනවා බස් රථ ප්‍රමාණය වැඩිකර ගන්න. බස් හිමියෙක් ගාව බස්රථ දෙක තුනක් තියෙනවා නම් මේ කාලෙදි අතිරේක ගමන්වාර සාකච්ඡා කරලා යොදා ගැනීමේ හැකියාව තියෙනවා,” යනුවෙන් ද පැවසීය ෴

===========================================

(23.12.2020 – 17:20 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරියෙකුවන අනූෂ පැල්පිට මහතා 2021 ජනවාරි 01 දින සිට බලාත්මක වන පරිදි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා ෴

***************************************

(23.12.2020 – 18:37 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍ය වෙත යැවෙන සියලු තැපැල් භාණ්ඩ සඳහා 2021 ජනවාරි මස 01 වනදා සිට බදු ප්‍රතිපත්ති සංශෝධනය වී තිබෙනවා.

බ්‍රිතාන්‍ය රාජකීය තැපැල් පරිපාලනය විසින් ඒ බව දැනුම් දී ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළේ.

එම නීති සහ රෙගුලාසි පහතින් :

***************************************

(23.12.2020 – 18:57 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ කහවත්ත යන ප්‍රදේශවලට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ ෴

***************************************

(23.12.2020 – 20:09 +0530 – hirunews.lk/sinhala)

සබරගමුව, බස්නාහිර පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ට වැඩි වැසි අද (23) රාත්‍රියේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

හෙට (24) පෙරවරුව තෙක් මෙම ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බැවින් එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරින්ගේ සහය ලබාගැනීමට කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ හදිසි වාන් දොරටු දෙක (2) අඩි හය (6) බැගින් විවෘත කර තිබෙනවා.

ඒ අනුව කලාවැව – අවුකන මාර්ගය, අවුකන විහාරස්ථානය අසළින් ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, කලාවැවේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 87,401 ක් ලෙස සටහන් වනවා.

කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ කලාවැව ආශ්‍රිත ප්‍රදේශවල සිටින ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙසටයි.

එමෙන්ම රාජංගණය ජලාශයේද වාන් දොරටු විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

***************************************

(23.12.2020 – 20:39 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජයේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් දේශපාලනඥයින් ඇතුළු පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

***************************************

(23.12.2020 – 21:09 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව නිෂ්පාදනය කළ පෙන්සියුලින් ඝනයේ ප්‍රතිජීවක ඖෂධයක් වන ෆ්ලුක්ලොක්සසිලින් නැමති ඖෂධය වෙළඳපොළට නිකුත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) සිදුකෙරුණා.

ඒ, රත්මලානේ පිහිටි එම සංස්ථා පරිශ්‍රයේදියි.

මෙහිදී අදාළ නිෂ්පාදනාගාරයේ නව නිෂ්පාදන අංගනය විවෘත කිරීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවූ අතර, මෙම ඖෂධය මෙරට දී නිෂ්පාදනය කිරීමෙන් වසරකට මිලියන 70 ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති.

***************************************

(24.12.2020 – 06:19 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරු දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දෙකක් (2) අඩිය (1) බැගින් විවෘත කර තිබෙනවා.

පොළොන්නරුව වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය පවසන්නේ අධික වර්ෂාවත් සමඟ ජලාශය සීඝ්‍රයෙන් පිරී යමින් පවතින බවයි.

මේ අනුව එක් වාන් දොරටුවකින් තත්පරයට ඝන අඩි 280 ක් ජලය පිට කෙරෙන බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය පවසන්නේ.

එසේම මේ වනවිට ජලාශයේ ජල මට්ටම අක්කර අඩි එක්ලක්ෂ දහ දාහකට (1,10,000) ආසන්න ව පවතින බවද සඳහන්.

වාන් දොරටු විවෘත කිරීමත් සමග පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශය හා පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල-මනම්පිටිය අතර ජලයේ යට වීමටත් ඉඩ ඇති බවයි වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

එසේම අඹන් ගඟ ආසන්නයේ සිටින ජනතාව ද මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම වැදගත් බවයි පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂක S.K. හේවාගම මහතා පවසන්නේ ෴

***************************************

(24.12.2020 – 08:09 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 03ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් හෙරොයින් හා රුපියල් 216,260 ක මුදල් සමග සැකකරුවෙකු තලංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

(24.12.2020 – 08:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට සහ පක්ෂ සංවිධායකවරුන්ට පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් කෙනෙහිලිකම් පවතින බවත් ඒ පිළිබදව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මැදිහත් වී විසදුමක් ලබාදෙනු ඇති බවට තමන් විශ්වාසය පළ කරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

පරිසර අමාත්‍යාංශයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ ෴

***************************************

‘මැරීන් ඩ්‍රයිව්’ ව්‍යාපෘතියේ 5 වැනි අදියර

(23.12.2020 – 21:07 +0530 – sinhala.adaderana.lk)

‘මැරීන් ඩ්‍රයිව්’ ව්‍යාපෘතියේ 5 වැනි අදියර වන කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට ගෝල්ෆේස් හෝටලය දක්වා වන කොටස සංවර්ධනය කිරීම මේ දිනවල සිදුවෙයි.

එය නිරීක්ෂණ කිරීම සඳහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහි අද (23) පැමිණියේය.

‘මැරීන් ඩ්‍රයිව්’ ව්‍යාපෘතියේ 5 වැනි අදියරේ සමස්ත දුර ප්‍රමාණය මීටර් 600 ක් වන අතර මංතීරු 4 කින් සමන්විත මාර්ගය ඉදිකිරීම සඳහා වැයවන මුදල රුපියල් මිලියන 238 කි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *