කුරුණෑගල හිටපු එස්.එස්.පී.ගෙන් පාස්කු කොමිසමේදී හෙළිදරව්වක්

කුරුණෑගල හිටපු එස්.එස්.පී.ගෙන් පාස්කු කොමිසමේදී හෙළිදරව්වක්

*********************************************

කුරුණෑගල හිටපු එස්.එස්.පී.ගෙන් පාස්කු කොමිසමේදී හෙළිදරව්වක්

(12.12.2020 – 19:21 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය ශාෆි ශිහාබ්දීන්ට ඇප ලැබුණු දිනයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් තමන්ට දුරකථනයෙන් අමතා සැකසහිත ලෙස කථා කළ බව කුරුණැගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා.

ඒ, ඊයේ (11) කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදියි.

අමාත්‍යවරයා මෙලෙස දුරකථන ඇමතුමක් ලබාදීම සම්බන්ධයෙන් තමන්ට සැකයක් පවතින බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කියා සිටියා.

වන්ද්‍යාකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය සාෆි සහබ්දීන්ට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමඟ සබඳතාවක් තිබූ බවත්, අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම නිසා තමාව ස්ථාන මාරු කළ බවත් කුරුණෑගල දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී පසුගියදා ප්‍රකාශ කළා.

ඔහු යටතේ එවක කුරුණෑගල කොට්ඨාසය භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා සාක්ෂි විමසීම සඳහා ජනාධිපති කොමිසමට අද (12) කැඳවූයේ ඒ අනුවයි.

නීතිඥ රවිශානි පීරිස් – අගරදගුරු හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය :

“ඔබ මුලින්ම වෛද්‍ය සාෆි සහබ්දින් සම්බන්ධයෙන් දැනගත්තේ කුමන කාලයේද ?”

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක – කුරුණෑගල කොට්ඨාසය භාරව සිටි නිලධාරියා :

“පාස්කු ප්‍රහාරයට පසුව ස්වාමිනි”

නීතිඥ රවිශානි පීරිස් – අගරදගුරු හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය :

“වෛද්‍ය සාෆි සහබ්දින් සම්බන්ධයෙන් කුමක්ද දැනගත්තේ ?”

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක – කුරුණෑගල කොට්ඨාසය භාරව සිටි නිලධාරියා :

“පාස්කු ප්‍රහාරයට පසුව කුරුණෑගලත් කලබල ඇතිවෙලා තිබුණා. ඒ අතරතුර තමයි මේ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහබ්දින් සම්බන්ධයෙන් දැනගන්න ලැබුණේ. සාෆි වෛද්‍යවරයාගෙන් සිදුකළ ප්‍රකාශ සටහන් කිරීමේදී අනාවරණ වුණා ඔහුගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ඉන්දීය ජාතිකයන් සහ අරාබි සම්භවයක් ඇති පකිස්ථාන ජාතිකයන් ලක්ෂ ගණනින් මුදල් එවන බව. ‘ඒ ගැන අහන්න එපා’ කියලා ප්‍රකාශ ගන්නකොට සාෆි කිව්වා. අපිට ඒ නිසා සැකයක් ආවා. ඒ මුදල් කාගෙන් කොහෙටද යන්නේ, මොනවටද ආවේ කියලා අපිට ඒ නිසා හොයාගන්න බැරි වුණා. 2019.05.22 මම අධිකරණයට බී වාර්තාවක් මඟින් මේ කරුණු දැන්වූවා. ඒ අනුව ඔහුගේ බැංකු ගිණුම් පරීක්ෂා කර අපි අනාවරණ කරගත්තා සාෆිගේ එක් බැංකු ගිණුමක රුපිල් කෝටි 44 ක මුදලක් හුවමාරු වෙලා තිබුණ බව. නමුත් ඒ මුදල කොහෙන් ආවද කියලා අපිට හොයාගන්න බැරි වුණා. ඒ අතරතුර තමයි සාෆි වෛද්‍යවරයා සිංහල කාන්තාවන්ගේ දරු උපත් පාලනය කර ඇති බවට තොරතුරු ගලා ආවේ. ඒ අනුව අපි හෙදියකගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළා මොහු කළ සැත්කමකදී කාන්තාවකගේ මුත්‍රා නාලය කැපී ගිහින් විවිධ අබාධවලට ලක්වුණා කියලා.

ඒ වගේම රෝහලේ උපන් දරුවකුගේ අනන්‍යතාව වෙනස් කරලා වෙනත් මවකට දෙන්නත් සාෆි සහබ්දින් උත්සහ කරලා තිබුණා. ඒ වෙනකොට සාෆි සහබ්දින් සිසේරියන් සැත්කම් 8,000 ක් පමණ මව්වරුන්ට සිදුකර තිබුණා. මේ කාරණා සම්බන්ධයෙන් සාෆිගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගත්තා. එතනදි අපි නඩු භාණ්ඩ ලැයිස්තුවක් ගත්තා. ඔහුගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ CCTV පටිගත වෙන DVR යන්ත්‍රයත් භාරයට ගත්තා. අත්අඩංගුවට ගත් පසු දින CID හා TID නිලදාරීන් ඇවිත් සාෆි සහබ්දින්ව ඔවුන්ගේ භාරයට ගත්තා. නමුත් මට පසුව අනාවරණය වුණා නඩු භාණ්ඩ බැහැර කිරීමේ ක්‍රමවේදයට අනනුකූල ලෙස අර DVR යන්ත්‍රය නැවත වෛද්‍ය සාෆිට ලබාදී තිබුණා කියලා. එහි CCTV දර්ශන රැසක් මකාදමලා තිබුණා.”

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා අනතුරුව සංවේදී වුණා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක – කුරුණෑගල කොට්ඨාසය භාරව සිටි නිලධාරියා :

“මේ විමර්ශනයට පසුව නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාව පුත්තලමට මාරු කළා. මාව කන්තලේට මාරු කළා. ඒ වෙද්දි මගේ පුතා උසස් පෙළ එක විෂයයි ලියලා තිබුණේ ස්වාමිනී. ඊටපස්සෙ ස්වාමිනි සාෆි සහබ්දින්ට ඇප ලැබුණා. ඒ ඇප ලැබුණු දිනයේ සවස එවක අමාත්‍යවරයෙක් වූ රිෂාඩ් බදියුදීන් මගේ දුරකතනයට ඇමතුමක් අරන් මගෙන් ඇහුවා ‘දිසානායක මහත්තයා සනීපෙන් ඉන්නවා නේද..? දැන් සතුටින් ඉන්නවද..?’ කියලා. මේ කෝල් එක ගැන මට ලොකු සැකයක් තියෙනවා ස්වාමිනි. මම මෙච්චර කාලයක් මේ කතාව කිසිම කෙනෙකුට කිව්වේ නැහැ. ඒකයි අද මුල්වරට මේ කොමිසමට කිව්වේ”

ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරිය :

“රිෂාඩ් බදියුදීන් මහතා තර්ජනයක් ලෙස කතාකළ බවද ඔබට හැඟුණේ ?”

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක – කුරුණෑගල කොට්ඨාසය භාරව සිටි නිලධාරියා :

“ඇත්තටම ස්වාමිනි එතුමාට මට කතාකරන්න වුවමනාවක් නැහැ. මම එතුමාව ඊට පෙරවත් පෞද්ගලිකව දන්නේ නැහැ. අනික මගේ නමින්ම මට කතාකිරීම ගැන සැකයක් තියෙනවා ස්වාමිනි.”

මේ අතර BBC සිංහල සේවයේ මාධ්‍යවේදී ශර්ලි උපුල් කුමාර මහතා සාක්ෂි විමසීම සඳහා ජනාධිපති කොමිසම වෙත ඊයේ (11) රාත්‍රියේ කැඳවා තිබුණා.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසමට සාක්ෂි ලබාදුන් අවස්ථාවකදී BBC සිංහල සේවය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳ විමසීමටයි.

එහිදී සාක්ෂි දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබුණේ, BBC සිංහල සේවය තමා කෙරෙහි ද්වේශ සහගත හැඟීමකින් යුතුව තමා දැක්වූ අදහස් විකෘති කරමින් සංස්කරණය කර අදාළ සම්මුඛ සාකච්ඡාව පළ කර ඇති බවයි.

රජයේ අධිනීතිඥවරයා –

“මෙම වීඩියෝ පටයෙහි යම්කිසි සංස්කරණයකින් කොටස් ඉවත් කර තිබෙනවා ද ?”

මාධ්‍යවේදී ශර්ලි උපුල් කුමාර – බී.බී.සී. සිංහල සේවය :

“සංස්කරණය කර තිබෙනවා ස්වාමීනි. පැහැදිලි කරන්නම්. අපි පටිගත කරපු තැනදි හිටපු ජනාධිපතිවරයාගේ කොන්ඩේ සුළඟට යන අවස්ථා තිබුණා. ඒ තැන් ඉවත් කළා. එකම දේ යළි යළිත් කියපු තැන් ඉවත් කිරීමක් කළා. ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත කොටස් පමණයි අන්තර්ගත කළේ. වෙනත් කිසිම විදියකින් අන්තර්ගතයට හානි වන කිසිදු සංස්කරණයක් වුණේ නැහැ.”

සම්මුඛ සාකච්ඡාව අරම්භ කිරීමට පෙර ලෑස්තිදැයි තමා හිටපු ජනාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේදී, “ඔව් ලෑස්තියි, ඕන ප්‍රශ්නයක් අහන්න” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන් බවත් ශර්ලි උපුල් කුමාර මහතා සඳහන් කළා.

තමන් ඇසූ සියලු ප්‍රශ්නවලට ඔහු ඉතා සන්සුන්ව පිළිතුරු දුන් නමුත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසීමේදී හිටපු ජනාධිපතිවරයා යම් නොසන්සුන්තාවක් පෙන්නුම් කළ බව ද සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා.

රජයේ අධිනීතිඥවරයා :

“කිසියම් අවස්ථාවක මේ වීඩියෝ පටය ඉවත් කරන්න හෝ ඒ සම්බන්ධයෙන් විරෝධයක් හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් යොමු වුණාද ?”

මාධ්‍යවේදී ශර්ලි උපුල් කුමාර – බී.බී.සී. සිංහල සේවය :

“මෙම කොමිසමට එන්න කලින් අපේ ප්‍රධාන කාර්‍යාලයෙන් මම ඒ ගැන විමසීමක් කළා. මෙතෙක් එවැනි ඉල්ලීමක් ලැබිලා නැහැ. මේ සාකච්ඡාවෙන් පස්සේ මා සමඟ, හිටපු ජනාධිපතිවරයා කරට අත දා ගෙන ඡායාරූපයක් පවා ගත්තා.”

අනතුරුව සාක්ෂිකරු එම ඡායාරූප කොමිසමට ඉදිරිපත් කළා.

මේ අතර ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකළ නාමල් කුමර නැමැත්තා අද (12) පාස්කු කොමිසමට ලිපියක් ඉදිරිපත් කළේ තමන් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී කොමිසම හමුවේ කරුණු සඳහන්වීම පිළිබඳවයි.

***************************************

(12.12.2020 – 19:44 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ අමාත්‍යාංශය පෞද්ගලික ගොඩනැගිල්ලකට රැගෙන යාමට ගෙන තිබූ තීරණය මේ වනවිට වෙනස් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ සාකච්ඡා කිහිපයකින් පසු අදාළ තීරණය ගනු ලැබූ බවයි.

අධිකරණ අමාත්‍යාංශය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දැඩි කථාබහක් මතුවුණේ රුපියල් කෝටි ගණනක් වැය කර එම අමාත්‍යාංශය පෞද්ගලික ගොඩනැගිල්ලකට රැගෙන යාමේ සූදානමක් පිළිබඳව විපක්ෂය විසින් කරුණු දැක්වීම හේතුවෙන්.

කෙසේ වෙතත් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණය සඳහා ඉහළ නැංවූ විනිසුරුවරුන් 14 දෙනාට සහ ඔවුන්ට අදාළ සේවාවන් සැපයීම වෙනුවෙන් අමාත්‍යාංශය යොදාගැනීම සම්බන්ධයෙන් උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකාරීත්ව මණ්ඩලය සහ අධිකරණ සේවා කොමිසන් සභාව යෝජනා ඉදිරිපත් කර තිබූ බව අධිකරණ අමාත්‍යාංශය අදාළ නිවේදනයෙන් පෙන්වාදී තිබෙනවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ කොටස් අමාත්‍යාංශ ගොඩනැගිල්ල තුළ ස්ථාපිත කිරීමටත්, අධිකරණ අමාත්‍යාංශය වෙනත් සුදුසු ස්ථානයකට රැගෙන යාමටත් යෝජනාවූ බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.

ඒ අනුව වසර දෙකක (2) කාලයක් සඳහා මාසික කුලිය මිලියන 9.8 ක් ගෙවා දමමින් මුළු අධිකරණ අමාත්‍යාංශයම කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීමට තීරණය කළ බව අදාළ නිවේදනයේ සඳහන්.

ගොඩගැසී ඇති නඩු විශාල ප්‍රමාණයක් විසඳීම සඳහා දැනට පවතින ගොඩනැගිල්ලේ අධිකරණ කටයුතු පවත්වාගෙන ගොස් ඵලදායී සේවාවක් ලබාදීමේ අරමුණ තේරුම් නොගෙන ඇතමුන් වෙනත් අර්ථකථන ලබාදීමට උත්සාහ දැරූ බවද අදාළ නිවේදනයෙන් දක්වා තිබෙනවා.

ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලේම පවත්වාගෙන යෑමට තීරණය කළ බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මේ අතර ජනතා නීතීඥ සංගමයේ නීතීඥවරුන් පිරිසක් අලුත්කඩේ උසාවි සංකීර්ණය ආසන්නයේ ඉදිකර ඇති මහල් 13 කින් සමන්විත ගොඩනැගිල්ල පරීක්ෂා කිරීම සඳහා පැමිණියා.

ඊට එක්වූ නීතීඥවරුන් පෙන්වා දුන්නේ විශාල වියදමක් දරා පෞද්ගලික ගොඩනැගිල්ලක් වෙත අධිකරණ අමාත්‍යාංශය රැගෙන යාම වෙනුවට විකල්පයක් ලෙස අදාළ ගොඩනැගිල්ල භාවිතා කළ හැකි බවයි ෴

***************************************

(12.12.2020 – 19:47 +0530 – hirunews.lk/sinhala)

රඹකැන්ඔයේ ජල පෝෂක ප්‍රදේශයක් වන මහඔය – පොල්ලෙබැද්ද ප්‍රදේශයේ පිහිටි අක්කර 5,000 කට අධික ප්‍රමාණයක් බඩඉරිඟු වගාව සඳහා පෞද්ගලික සමාගමකට ලබාදීම නතර නොකළහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් ප්‍රකාශ කළා.

පරිසර යුක්ති කේන්ද්‍රයේ නියෝජිතයින් පිරිසක් සමඟ ඊයේ (11) එම ප්‍රදේශයේ සංචාරකයකට එක්වෙමින් ආදිවාසී නායකයා ප්‍රකාශ කළේ වගාව සඳහා හෙළි පෙහෙළි කර ඇති අදාළ ප්‍රදේශය ආදිවාසීන් ජීවත්වූ ප්‍රදේශයක්ද බවයි.

මේ සම්බන්ධයෙන් පරිසර සංවිධානද දිගින් දිගටම කරුණු හෙළිදරව් කළ අතර, වන විනාශයක් මෙන්ම මේ හරහා රඹකැන්ඔයේ ජල ප්‍රමාණය අඩුවීමටද හේතුවක් විය හැකි බව පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් ඊයේ (11) මාධ්‍ය හමුවක් කැඳවමින් මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු, යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් කියා සිටියේ මහවැලි කලාපවල කෘෂිකාර්මික කටයුතු පවත්වාගෙන යාමේදී පරිසරයට බලපෑම් එල්ල වන කිසිදු ක්‍රියාමාර්ගයකට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අවතීර්ණ නොවන බවයි ෴

=====================================

(12.12.2020 – 19:51 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට පවතින තත්වය සළකා බැලීමේදී උත්සව සමයේ හුදකලා කිරීම් හෝ සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ සාලාව යුද හමුදා කඳවුරේ අද (12) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

[ https://www.youtube.com/watch?v=skhMUD0nlLQ ]

++++++++++++++++++++++

(12.12.2020 – 19:58 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දනය කළ හැකි දේශීය ඖෂධ නිපදවීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ පුළුල් කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

අද (12) දිනයේ තවත් එවැනි ඖෂධයක් නිපදවා ඇති බවට මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවේ පැල්මඩුල්ල – මීගහගොඩ පුරාණ රජමහා විහාරාධිපති හිමියන් සහ තවත් වෙද මහතුන් කිහිපදෙනෙක්.

මේ අතර කොරෝනා වෛරසය මැඩපැවැත්විය හැකි ඖෂධයක් නිෂ්පාදනය කළ බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට යන්ත්‍රෝපකරණ කිහිපයක් ලබාදීමට කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඖෂධ වර්ග ඇඹරීම සඳහා යොදාගන්නා උපකරණ කිහිපයක් ඊයේ දිනයේ ධම්මික බණ්ඩාර මහතා වෙත ලබාදීමට කටයුතු කළ බවයි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ ෴

++++++++++++++++++++++++

(12.12.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 123 දෙනෙකු හමුවී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 32,130 ක්.

ඉන් 8679 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 23,304 ක්.

මෙරටින් කොරෝනා ආසාදිත මරණ 147 ක් ද වාර්තාවුනා ෴

++++++++++++++++++++++

(12.12.2020 – 20:12 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ 50 කට ආසන්න පිරිසකට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් බවයි මෙම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පසුගිය නොවැම්බර් මස 1 වන දා සිට මේ දක්වා එම රෝහලේ වාට්ටු තුළ සහ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අයගේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 580 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ජාතික රෝහලේ වැටුප් අංශයේ නිලධාරිනියකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (11) හඳුනා ගැනීමත් සමඟ එම කාර්යාලය ද තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුනා.

++++++++++++++++++++++

(12.12.2020 – 20:20 +0530 – hirunews.lk/sinhala)

මාස දෙකකට (2) ආසන්න කාලයකට පසුව මෙතෙක් හුදෙකලා කර තිබූ කොළඹ මහල් නිවාස සංකීර්ණ 6 ක් හුදකලා භාවයෙන් අද (12) සිට ඉවත් කෙරුණා.

මෙලෙස හුදකලා භාවයෙන් නිදහස් කෙරුණේ මට්ටක්කුලිය – රන්දිය උයන, මෝදර – මෙත්සඳ සෙවන සහ මිහිජය සෙවන යන නිවාස සංකීර්ණ මෙන්ම ග්‍රෑන්ඩ්පාස් මෝදර උයන සහ සමගිපුර නිවාස සංකීර්ණ, දෙමටගොඩ මිහිදුසෙන්පුර නිවාස සංකීර්ණ යි.

එහෙත් මීට පෙර හුදකලා කෙරුණු නිවාස සංකීර්ණ 7 ක තවදුරටත් එම හුදකලාභාවය ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 550 කට අධික පිරිසක් මේ දක්වා හඳුනාගෙන තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද (12) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා වන පරීක්ෂණ සිදුකරනු ලබන්නේ කිසියම් ජන කොට්ඨාශයක් ඉලක්ක කර නොව වෛරස ව්‍යාප්තියේ අවදානම සලකා බවයි.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති මුළු ආසාදිත සංඛ්‍යාව 1,167 දක්වා ඉහළ ගියේ අද (12) දිනයේ ආසාදිතයන් 89 දෙනෙකු අලුතින් හඳුනාගැනීමත් සමඟයි.

මෙම ආසාදිතයන් බුලත්සිංහල – වේයන්ගල්ල ප්‍රදේශයෙන් වාර්තාවී ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ කියා සිටියා.

මේ අතර සංචරණ සීමා පනවා ඇති ගිනිගත්හේන – කෙනිල්වත්ත – බ්ලැක්වෝටර් වතුයායේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා වීමත් සමඟ එම වතුයායෙන් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව 47 ක්.

එමෙන්ම බදුල්ල – ඌව පරණගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් ආසාදිතයන් 7 දෙනෙකු අලුතින් වාර්තා වී තිබෙනවා. එම ආසාදිතයන් අතරට ග්‍රාම නිලධාරිනියක් ද අයත්.

මේ අතර මෙතෙක් දෛනිකව සිදුකළ වැඩිම පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ දිනයේදී සිදුකර තිබෙනවා. එම සංඛ්‍යාව 17,425 ක්.

[ https://www.youtube.com/watch?v=skhMUD0nlLQ ]

කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමඟ වැලිගම – ගල්බොක්ක ප්‍රදේශයේ සංචරණ සීමා පැනවීමට පසුගිය 9 වන දා සිට පියවර ගත්ත ද ඇතැම් පිරිස් එම සීමා උල්ලංගණය කරමින් විකල්ප මාර්ග ඔස්සේ නගරයට පැමිණෙන බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිලි ලැබී තිබෙනවා.

ඒ අනුව සංචරණ සීමා පවතින ප්‍රදේශ අවට තවත් මාර්ග කිහිපයක පොලිස් මාර්ග බාධක යෙදවීමටයි පොලීසිය අද කටයුතු කරනු ලැබුවේ ෴

++++++++++++++++++++

(12.12.2020 – 22:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත මරණ 149 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (12) දිනයේදී තවත් මරණ දෙකක් (2) වාර්තාවීමත් සමගයි.

මියගොස් ඇත්තේ කොළඹ 15 සහ ඉඹුල්ගොඩ ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයන් දෙදෙනක් (2).

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයා වැලිසට ළය රෝහලේ සිට කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු පිඹුර මූලික රෝහලටත් අනතුරුව මුල්ලේරියාව මූලික රෝහලටත් මාරුකර එවා තිබුනා.

මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ඊයේ (11) දිනයේ මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියා තත්වයයි.

ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයා පසුගිය 10 වනදා රාගම රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී මියගොස් සිට ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ.

මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ උග්‍ර දියවැඩියා තත්වය සහ කොවිඩ් නිව්මෝනියාවයි ෴

+++++++++++++++++++++

(13.12.2020 – 09:34 +0530 – hirunews.lk/sinhala)

මුව ආවරණ නොපැළඳීම ඇතුළු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 60 දෙනෙකු ගතවූ පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ වැටලීම් ආරම්භ කළ පසුගිය ඔක්තෝම්බර් 30 වැනිදා සිට මේ දක්වා වූ ගත වූ කාලය තුළ පුද්ගලයින් 1,349 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන අතර, නිරෝධායන නීතිවලට අනුගත වෙමින් සහ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

+++++++++++++++++++

(13.12.2020 – 10:16 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලදී එහි තවත් වෙළඳුන් 4 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියා සිටියේ වෛරසය ආසාදනය වී ඇති සිව්දෙනා ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් 3 ක සේවකයින් බවයි.

ඒ අනුව, පසුගිය දින කිහිපයේදී ආර්ථික මධ්‍යස්ථානය තුල සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී වෛරසය ආසාදනය වූවන් 12 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා ෴

***************************************

(13.12.2020 – 07:41 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුරය – ඉපලෝගම ඵෙතිහාසික විජිතපුර බලකොටුව පැවති බවට සැලකෙන පුරාවිද්‍යාත්මක භූමියට හානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (12) දිනයේදී ඒ පිළිබඳව සොයා බැලීම සඳහා උතුරු මැද පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ඇතුලු පිරිසක්ද එහි පැමිණ තිබුණා.

මුස්ලිම් පල්ලියක් සහ ඊට යාබද සුසාන භූමිය වෙන් කිරීම සඳහා අනවසරයෙන් තාප්පයක් ඉදිකිරීමට කිසියම් පිරිසක් පියවර ගෙන තිබුණේ එහි තිබූ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත නටඹුන් විනාශවන ලෙසයි.

එහිදී චෝදනා එල්ලවූයේ ඉපෝලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලහප්පෙරුමාගම පිහිටි මුස්ලිම් පල්ලිය සහ පොදු සුසාන භූමිය වෙන් කිරීම සඳහා මෙම තාප්පය ඉදිකර ඇති බවටයි.

මෙම ස්ථානයට යාබදව බැලුම්ගල නම් පුරාවිද්‍යා ස්ථානයද පවතින අතර, එයද 2018 වසරේදී ඩෝසර් කිරීමකට ලක්ව තිබුණා.

කෙසේ වෙතත් පුරාවිද්‍යා නටඹුන් සහිත භූමිය විනාශ කිරීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වා ඊයේ (12) දිනයේදී පුද්ගලයින් දසදෙනෙකු (10) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට පල්ලියේ සභාපතිවරයාද අයත් වන බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයත් සමඟ මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුදබිමේ පෞරාණික සෙල් ලිපිය ආරක්ෂා කිරීම සඳහා ආවරණය කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට නව සිංහලේ ජාතික සංවිධානය ඇතුලු සංවිධාන කිහිපයක් ඊයේ (12) කටයුතු කළා.

දෙවනගල පුදබිමේ පවතින පෞරාණික සෙල් ලිපියට අන්තවාදීන් පිරිසක් විසින් ඇසිඩ් යොදා විනාශ කිරීමට ගෙන තිබූ උත්සහයක් සම්බන්ධයෙනුයි ‘හිරු සී.අයි.ඒ.’ පසුගියදා හෙළිකළේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ නව සිංහලේ ජාතික සංවිධානය ඇතුලු සංවිධාන කිහිපයක් දෙවනගල පුදබිමේ විහාරාධිපති පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් බැහැදැක සෙල්ලිපිය ආරක්ෂා කිරීම සඳහා ආවරණයක් ඉදිකිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කළා.

[ https://www.youtube.com/watch?v=jGJ0rShvMmE ]

***************************************

සාදික්කා ප්‍රමාණය ඉක්මවා ලබා ගැනීම අහිතකරයි

(13.12.2020 – 07:51 +0530 – hirunews.lk/sinhala)

කුළුබඩුවක් ලෙස සහ ඖෂධයක් ලෙසද භාවිත කරන සාදික්කා ප්‍රමාණය ඉක්මවා ලබාගැනීම ශරීරයට අහිතකර බව වෛද්‍යවරුන් පවසනවා.

එමෙන්ම ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ වෛද්‍යවරුන්ගේ තොරතුරුවලට අනුව විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුණේ සාදික්කා ප්‍රමාණය ඉක්මවා භාවිත කිරීමෙන් ස්නායු පද්ධතියට හානි විය හැකි බවටයි.

එමෙන්ම මානසික සෞඛ්‍යයටද එය අහිතකර වනවා.

මිරිස්ටිසින් (Myristicin) වන රසායනික ද්‍රව්‍යය සාදික්කාවල අඩංගු වන අතර, එය ඉන්ද්‍රියන් අකර්මන්‍ය කිරීමට හේතුවක් වන බවයි එම වෛද්‍යවරුන් පවසන්නේ.

ඒ අනුව සාදික්කා ග්‍රෑම් 10 කට වඩා භාවිත කිරීම ශරීරයට අහිතකර වනවා.

ඔක්කාරය, ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකි අතර, මධ්‍යම ස්නායු පද්ධතියටද මින් හානි විය හැකියි.

අවශ්‍ය ප්‍රමාණයට එය භාවිත කළහොත් කිසිදු ගැටළුවක් නොවන බවද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

කොරෝනා වෛරසයට ප්‍රතිකාර කළ හැකි බවට පවසමින් නිෂ්පාදනය කරන ඇතැම් ඖෂධවල සාදික්කා පවතින බවට වාර්තාවනවා.

කොරෝනා වෛරසය මර්දනය කළ හැකි ඖෂධයක් නිෂ්පාදනය කළ බවට පැවසූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා ද ඔහු නිෂ්පාදනය කළ ඖෂධයට සාදික්කා භාවිත කෙරෙනවා.

අදාළ ඖෂධයෙන් කොරෝනා ආසාදිත රෝගීන් සුවවන බවට මෙතෙක් තහවුරු වී නොමැති අතර, බොහෝ පිරිස් එම ඖෂධය භාවිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙය ඖෂධයක් ලෙස තවමත් රජය විසින් ප්‍රකාශයට පත් කර නොමැති බවද රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඊයේ (12) ප්‍රකාශ කළා.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු බොහෝ වෛද්‍යවරුන් තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා මෙන්ම තවත් බොහෝ පිරිසක් නිෂ්පාදනය කළ ඖෂධ මගින් කොරෝනා සුවවන බවට මෙතෙක් විද්‍යාත්මකව තහවුරු නොවන බවටයි.

එවැනි බොහෝ ඖෂධ ලියාපදිංචි කිරීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවට යොමුකර ඇති නමුත් තවමත් එම දෙපාර්තමේන්තුව මගින් ඒවා ලියාපදිංචි කර නැහැ.

මේ අතර, කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ ඖෂධය සම්බන්ධයෙන් සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කමිටුවක්ද පසුගියදා පත් කළ අතර එහි වාර්තාව කඩිනමින් ලබාදීමට හැකි බවයි ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අනුරාධපුරයේදී ඊයේ (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

+++++++++++++++

8 Science-Backed Benefits of Nutmeg
https://www.healthline.com/nutrition/nutmeg-benefits

***************************************

(13.12.2020 – 08:07 +0530 – hirunews.lk/sinhala)

උල්කාපාත වර්ෂාවක් අද (13) සහ හෙට (14) ජනතාවට දැකබලාගැනීමට අවස්ථාව පවතිනවා.

මෙය ඉතාමත් දර්ශනීය ආකාරයට දැකගත හැකි අතර, උල්කාපාත වර්ෂාවන්හි රජ දැක්ම ලෙසද බොහෝ පිරිස් එය හඳුන්වනවා.

ඒ අනුව පැයකට කඩාවැටෙන උල්කා සංඛ්‍යාව 150 ක් පමණ වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාඥ ජනක අඩස්සූරිය මහතා සඳහන් කළේ අද (13) රාත්‍රි දොලහෙන් පසු මෙම උල්කා වර්ෂාව රාත්‍රි අහසේ දක්නට ලැබෙන බවයි.

එය හෙට (14) සහ අනිද්දා (15) දිනයේද නිරීක්ෂණය කළ හැකි වනවා.

[ https://www.youtube.com/watch?v=YNkWuTeUpaQ ]

[ https://www.youtube.com/watch?v=4ZgprR3BlZI ]

***************************************

(13.12.2020 – 08:20 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සිදුවන බව කියන අයථා ගණුදෙනු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, ප්‍රවාහන අමාත්‍යාංශයේ දැනුම්දීමකට අනුවයි.

කලක් තිස්සේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ වේරහැර කාර්යාලයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරිම ඇතුළු ඒ හා සම්බන්ධ වෙනත් කටයුතුවලදී අයථා ගණුදෙනු සිදුවන බවට පැමිණිලි ලැබී තිබුණා.

ජනාධිපතිවරයාද මීට පෙර එම දෙපාර්තමේන්තුවට ගොස් මහජන සේවා කාර්යක්ෂම කරන ලෙස උපදෙස් ලබාදුන් අතර, අක්‍රමිකතාවලින් තොර සේවයක් ලබාදීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කර තිබුණා.

බස්රථ ප්‍රවාහන සේවා හා වාහන නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ මෙම අයථා ගණුදෙනු වසර ගණනාවක් තිස්සේ විවිධ පාර්ශවයන් විසින් සිදුකරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.

කාර්යක්ෂම මහජන සේවාවක් උදෙසා මෙම ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

(13.12.2020 – 08:29 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශ 255 ක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ, ඊයේ (12) දිනයේ එලෙස සටහන් කරගත් ප්‍රකාශ 27 ක් සමඟයි.

මේ වනවිට රැඳවියන්, බන්ධනාගාර නිලධාරීන්, වෛද්‍ය කාර්ය මණ්ඩල ඇතුළු කණ්ඩායම් වෙතින් සිද්ධියට අදාළ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, මියගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ දෙකක් (2) ඊයේ (12) සිදුකරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එම මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[ https://www.youtube.com/watch?v=bIBrxiruqgQ ]

[ https://www.youtube.com/watch?v=MqzVzR7198w ]

***************************************

(13.12.2020 – 08:58 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි සිට මෙහෙයවන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) සහ සැකකාරියක (1) ඊයේ (12) අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ඔවුන් පෑලියගොඩ සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්.

මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ගැනීමට මොවුන් සැලසුම් කර ඇති බවයි හෙළි වී ඇත්තේ.

එමෙන්ම, මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ජාත්‍යන්තර විද්‍යුත් හුවමාරු ක්‍රමවේද යොදා ගෙන ඇති බව සඳහන්.

[ https://www.youtube.com/watch?v=nfShP9H3MyY ]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *