නොනවතින දෙවනගල ඉඩම් කොල්ලය

නොනවතින දෙවනගල ඉඩම් කොල්ලය

*********************************************

නොනවතින දෙවනගල ඉඩම් කොල්ලය

(30.11.2020 – 13:37 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල දෙවනගල ඓතිහාසික පුදබිමේ සිදුවන ඉඩම් ආක්‍රමණයන් සම්බන්ධයෙන් හිරු සී. අයි. ඒ හරහා අප රටට අනාවරණ කලේ වරක් දෙවරක් නොවේ. නමුත් මෙම ඉඩම් ආක්‍රමණිකයන්ගේ ක්‍රියාකාරකම් තවමත් නැවතී නැහැ.

සබරගමුව පළාතට අයත් මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි දෙවනගල පුදබිම, පුරාවිද්‍යා ස්ථානයක් ලෙසයි නම් කර ඇත්තේ.

එවන් ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම පුදබිමේ ඉඩම් පසුගිය කාලය පුරා ඉඩම් කොල්ලකරුවන්ගේ දැඩි ග්‍රහණයට නතුව තිබුණා.

කෙසේ වෙතත්, මේ පිළිබඳව අවස්ථා කිහිපයකදී ‘හිරු සී.අයි.ඒ.’ සිදු කල අනාවරණයෙන් පසු මෙහි පළමු අදියරේ මිනුම් කටයුතු ආරම්භ කළා.

ඒ අනුව ප්‍රදේශවාසීන්ට දැනුම් දුන්නේ මිනුම් කටයුතු අවසන් වන තෙක් මෙම භූමියේ කිසිදු ඉදිකිරීම් කටයුත්තක් සිදු නොකරන ලෙසයි.

කෙසේ වෙතත් එම උපදෙස් නෑසුකන්ව අවස්ථා කිහිපයකදී සිදු කල ඉදිකිරීම් පොලීසිය මැදිහත්වීමෙන් නවතා දැමුණා.

***************************************

කොන්ද නොනමා ඇත්ත කතාකළ වනජීවී නිලධාරීහු

(30.11.2020 – 14:33 +0530 – lankadeepa.lk කතුවැකිය)

වනජීවි දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරිහු ඉකුත් 27 වැනිදා රටපුරා සංකේත වැඩ වර්ජනයක නියැලුණහ. ඒ වනජීවි හා වන සම්පත් රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක මහතා පොලොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ දී වනජීවි නිලධාරින්ට බැණ තර්ජනය කරන ලදැයි සඳහන් සිද්ධියට විරෝධය පාමිනි.

පොලොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය කලක පටන් අනවසර වගාකරුවන්ගේ පරාදීසයක් බවට පත්ව තිබී ඇති අතර වනජීවි දෙපාර්තමේන්තුව අධිකරණ නියෝගයක් මගින් එය වනජීවි දෙපාර්තමේන්තුවට පවරා ගෙන තිබේ. අප පුවත්පතට අනුව වනජීවි රාජ්‍ය ඇමතිවරයා වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග එහි නීරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති අතර එහිදී රාජ්‍ය ඇමතිවරයා නිලධාරින්ගෙන් ඉල්ලා තිබෙන්නේ එම ඉඩම් යළි වගාකරුවන්ට නිදහස් කර දෙන ලෙසය. එහිදී වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම ඉල්ලීමට එරෙහිව කරුණු ඉදිරිපත් කර ඇති අතර එය ‘වාග් සංග්‍රාමයක්’ බවට පත්වී තිබේ. වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් ‘සර් මේකට ඉඩදෙන්න එපා. මේක ජාතික අපරාධයක්’ යැයි පවසද්දී රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, ‘මම බබෙක්’ නොවන බවය. මෙම සිද්ධියට අදාළ රූපරාමු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ද විකාශය කෙරිණි.

වනජීවි දෙපාර්තමේන්තුවේ එක් ප්‍රධාන කාර්යයක් වන්නේ මෙරට වනාන්තර පද්ධතිය ආරක්ෂා කිරීමය. ඒ විවිධ මැරයන්ගේ, සංවිධානාත්මක කල්ලි කණ්ඩායම්වල හා අන්තවාදීන්ගේ ‘පහසු බිලි’ බවට මෙරට වනාන්තර පද්ධතිය පත්ව ඇති හෙයිනි. පොලොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය ද එබඳු පහසු බිල්ලක් බවට පත්ව තිබිණි.

1984 වසරේදී අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් රජය මෙම වනෝද්‍යානය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. එම ජාතික වනෝද්‍යානයට අයත් භූමිය අක්කර 43,375 කි. එම භූමිය ජාතික වනෝද්‍යානයක් බවට පත් කළ ද අපරාධකරුවන්ගේ ග්‍රහණයෙන් මුදා ගත නොහැකි විය. එහෙයින් වනජීවී දෙපාර්තමේන්තුව එම අපරාධකරුවන්ට එරෙහිව 2015 වසරේ දී නඩු පැවරූ අතර පොලොන්නරුව මහාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් එම ජාතික වනෝද්‍යානය වනජීවි දෙපාර්තමේන්තුවට නැවත පවරා දුන්නේය. අප පුවත්පතට ප්‍රකාශයක් දෙමින් වන සත්ව අඩවි සහකාර වෘත්තිය සංගමයේ නියෝජිත ඩබ්ලිව්.එම්.කේ. විජේකෝන් මහතා ප්‍රකාශ කර තිබුණේ ඒ වනවිටත් වනෝද්‍යානයේ අක්කර පන්දහසක් (5000) පමණ විනාශ කර ඇති බවය.

විෂය බාර අමාත්‍යවරයාගේ වගකීම විය යුත්තේ තම අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු, අධිකාරි, සංස්ථාවල නිලධාරින්ගෙන් හා සේවකයන්ගෙන් අවශ්‍ය කටයුතු කරවා ගැනීමය. වනජීවි දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ වනාන්තර ආරක්ෂා කිරීම නම් අදාළ අමාත්‍යවරයා කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයමින් බාධක මැඬලමින් නිලධාරින් සේවකයන් දිරිමත් කිරීමය.

පොලොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය ජාවාරම්කරුවන්ගෙන් අපරාධකරුවන්ගෙන් මුදා ගැනීමේ මෙහෙයුම සුමට නොවීය. මන්ද යත් එම ජාවාරම්කරුවන්ට දේශපාලන බලයත් ආශිර්වාදයත් තිබේ. අවි ආයුධ ද තිබේ. මැර බලය තිබේ. ඔවුන් සමග ගැටෙන්නට යාම දින නියමයක් නැති මරණ සහතිකයක් ලියා සාක්කුවට දමා ගැනීමය. එහෙත් වනජීවි නිලධාරිහු දළ රළ පෙළක් සේ උස්ව නැඟෙමින් එම අපරාධකරුවන් සමග ගැටී ජාතිය සතු එම සම්පත රැක ගත්හ. එම නිලධාරීන්ට මුළු මහත් ජාතියේම ප්‍රමාණය ඉක්මවා ගිය ප්‍රණාමයත්, ප්‍රසාදයත් හිමි විය යුතුය. එහෙත් අප රටේ වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ අධිකරණය මගින් අත්පත්කර ගත් රට සතු මහරු සම්පත අනවසර වගාකරුවන්ට මුදා හරින ලෙසය.

ජනතාවට ද වගා කිරීමට ඉඩම් අවශ්‍ය වේ. එහෙත් ඒ සඳහා ජාතික වනෝද්‍යාන තෝරා නොගත යුතුය. වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වනජීවි රාජ්‍ය ඇමැතිවරයාගේ මූණටම කී පරිදි එය ‘ජාතික අපරාධයකි’. එහෙත් රාජ්‍ය ඇමතිවරයා පවසන්නේ එම ජාතික අපරාධයට ඉඩ ලබා දෙන ලෙසය. වගාව සඳහා ජාතික වනෝද්‍යානයක්ම තෝරා ගැනීමේ යම් අරමුණු තිබේ. අවසර ඉල්ලා සිටින්නේ වගා කිරීමටය. ගවයන් මුදා හැරීමටය. එයට අවසර ලැබුණු පසු වනාන්තරය විනාශ කිරීම, සතුන් මැරීම, මත්පැන් පෙරීම ආදි සියලු අපරාධ සිදුවීමට පටන් ගනී. අහිංසක ගැමියන් ඉස්සරහට දමාගෙන ජාවාරම්කරුවන් ක්‍රියා කරන්නේ එසේය.

පාසල් නොගොස් උපාධිය ගත් බව කියන වනජීවි රාජ්‍ය අමාත්‍යවරයාට තව බොහෝ දේ ඉගෙන ගැනීමට තිබෙන සෙයකි. අවම වශයෙන් විල්පත්තු සංහාරයට අදාළව ලැබුණු නඩු තීන්දුව හෝ නැවත කියවා බලන ලෙස ඉල්ලා සිටීමට සිදු වන්නේ එහෙයිනි ෴

***************************************

(30.11.2020 – 14:44 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව මේ වනවිට 71 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔවුන් මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ඊයේ පස්වරුවේ ඇති වූ මෙම සිද්ධියෙන් බන්ධනාගාර රැඳවියන් 08 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ෴

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියේදී එහි ලේඛනාගාරය, සිරමැදිරි කිහිපයක්, ආහාර ගබඩාව, අධිකාරි හා සහකාර අධිකාරි කාර්යාල ගින්නෙන් විනාශ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස, ආරක්ෂක ලේකම් විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා ෴

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් පොලිස්පති C.D වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා ෴

++++++++++++++++++

(30.11.2020 – 18:52 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ජනාධිපති නීතිඥ යූ. ආර්ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ යන මහත්වරුන්.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස අධිකරණ අමාත්‍යවරයා එම කමිටුවට උපදෙස් ලබාදී තිබෙනවා.

+++++++++++++++++++

(30.11.2020 – 20:50 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය පිටුපස අදිසි හස්තයක් ඇති බවට තමන් විශ්වාස කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (30) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

කෙසේවෙතත්, අමාත්‍ය විමල් වීරවංශ මහතා එහිදී සඳහන් කළේ මෙම ගැටුම පිටුපස ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවයි.

***************************************

(30.11.2020 – 16:19 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල වලින් සේවා වෙන් කර ගැනීම සඳහා නව දුරකථන අංකයක් හදුන්වාදී තිබෙනවා.

පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම කාර්යාලවලින් සේවා ලබා ගැනීම සඳහා කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගත යුතු අතර, සේවාලාභීන් පත්වන අපහසුතා අවම කිරීම සඳහා මෙම නව දුරකථන අංකය හඳුන්වාදෙන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අනුව 011 267 7877 යන දුරකථන අංකය ඔස්සේ පැය 24 පුරාම සේවා වෙන් කර ගැනීමේ පහසුකම් අද (30) සිට ලබා ගත හැකි වනවා.

මේ අතර, කොරෝනා තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි රජයේ ප්‍රකාශන කාර්යාංශය නියමිත සෞඛ්‍ය උපදේශයන්ට අනුකූළව හෙට සිට යළි මහජනතාව වෙනුවෙන් විවෘත කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා ෴

***************************************

(30.11.2020 – 17:04 +0530 – hirunews.lk/sinhala)

නඩු කටයුතු කඩිනම් කරන ලෙස හා ඇප ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකු (4) එම බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක් මතට නැග විරෝධතාවක නිරත වනවා.

පොලීසිය පැවසුවේ මෙම රැඳවියන් හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන්නන් බවයි ෴

***************************************

පාර්ළිමේන්තුවේ 225 ට ඔහේ බලා සිටීමට සිදු වෙලා – කර්මාන්ත ඇමති විමල් වීරවංශ

(30.11.2020 – 19:01 +0530 – lankaleadnews.com)

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (30) දින පාර්ලිමේන්තුව අමතමින් පවසා සිටියේ බෝ නොවන රෝග සහ ජනතාවගේ ආහාර පුරුදු මෙන්ම ජීවන රටාව අතර ඇති සබඳතාව යන පැතිකඩයන් දෙකම වෙළඳපොළ බලවේග විසින් පාලනය කරන බවයි.

ඒ පිළිබඳව දීර්ඝ විග්‍රහයක් කරමින් වීරවංශ මහතා චෝදනා කර සිටියේ කෘතිම ලෙස නිෂ්පාදිත ආහාර මෙන්ම විෂ රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යට දැඩි අන්තරාකාරී තත්වයක් ඇතිවී ඇතිවී තිබෙන බවයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ අදාල සමාගම් විසින් මෙරට ජීවන රටාව සහ ආහාර රටාව හැඩගස්වමින් සිටින බවයි.

එමෙන්ම සබන් ලෙස හඳුන්වා දෙන ඇතැම් නිෂ්පාදනයන් පිළිබඳවද එහිදී එම මහතා හෙළි කර සිටි අතර අදාල සමාගම් විසින් සිය බලය යොදා සිදු කරමින් පවතින දෑ පිළිබඳවද හෙළි කර සිටියේය.

මෙම වෙළඳපොළ බලවේග විසින් නිළධාරීන් මෙන්ම දේශපාළකයින් ද මිළදී ගැනීම ලොව පුරා සිදුවෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම බැරෑරුම් සහ සංකීර්ණ තත්වය යටතේ; මිනිසුන් විශ්වාසය තියා පත් කළ 225 ට, වෙළඳපොළ බළවේගයන්ට රට පාළනය කිරීමට ඉඩදී ඔහේ බලා සිටීමට සිදුවී තිබීම සෝචනීය කරුණක් බව ද ඔහු වැඩිදුරටත් අනාවරණය කර සිටියේය.

සම්පූර්ණ කතාව පහතින් :

***************************************

(30.11.2020 – 00:00 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ දේශපාලන පලිගැනීම් වෙනුවෙන් ගොනු කළ නඩු සඳහා සාධාරණය ඉෂ්ඨ වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (30) පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

***************************************

(30.11.2020 – 20:33 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට කැබිනට් මණ්ඩල රැස්වීම අද(30) වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත් වෙනවා.

ජනාධිපතිවරයා ජනපති කාර්යාලයේ සිට සහ අමාත්‍යවරුන් සිය කාර්යාලවල සිට ඊට එක්වූ බවයි, ජනාධිපති මාධ්‍ය අංශයප්‍රකාශ කළේ.

***************************************

(30.11.2020 – 22:25 +0530 – hirunews.lk/sinhala)

මෙරට සිදුවන අපරාධ සහ පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට පියවර ගන්නා බව අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඔහු මේ අදහස් පැවසූවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී.

======================================

(30.11.2020 – 15:23 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 558 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 17,560 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 23,484 ක් ෴

අද (30) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 178 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++++++++++++

(30.11.2020 – 17:24 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයට ගොදුරු වී මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට (01) දිනය දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) නියෝග කළා.

ඒ අදාළ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මූර්දු ප්‍රනාන්දු හා ප්‍රීති පද්මන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද (30) කැඳවූ අවස්ථාවේදීයි ෴

+++++++++++++++++++++++

(30.11.2020 – 17:46 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ රැඳවියන් අතරින්, 48 දෙනෙකුට සිදුකළ පරීක්ෂණවලදී ඉන් 26 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී තිබෙනවා ෴

++++++++++++++++++++++

වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට තවත් රාජ්‍ය අමාත්‍යධූරයක්

(30.11.2020 – 17:57 +0530 – sinhala.adaderana.lk)

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට තවත් රාජ්‍ය අමාත්‍යධූරයක් ලබා දී තිබේ.

ඒ අනුව ඇය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දී ඇත ෴

++++++++++++++++

+++++++++++++++++++

(30.11.2020 – 19:20 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් සමාජයෙන් වාර්තා වීමේ ප්‍රවණතාවයේ අඩුවක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, අද (30) දිනයේදී තවත් ආසාදිතයින් 178 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 23,662 දක්වා ඉහළ ගියා.

අද (30) හඳුනා ගත් ආසාදිතයින් මීට පෙර වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

එසේම, ආසාදිතයන් 558 දෙනෙකු අද (30) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 17,560 ක්.

එසේම, කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු (3) හඳුනා ගැනීමත් සමඟ මොරොන්තුඩුව සහ මිල්ලනිය පොලිස් ස්ථාන දෙකට (2) අනුයුක්තව සේවය කළ 80 කට ආසන්න පිරිසක් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර, අද (30) හුදෙකලා බවින් ඉවත් කෙරුණු කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ජනාකීර්ණ ස්වභාවයක් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

එසේම, අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශයද දැඩි සෞඛ්‍ය ආරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පියවර ගෙන ඇත්තේ එම ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟයි.

++++++++++++++++++++

(30.11.2020 – 21:54 +0530 – hirunews.lk/sinhala)

අද (30) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 318 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

මෙරටින් තවත් කොරෝනා මරණ දෙකක් අද (30) වාර්තා වුණා.

ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යව 118 දක්වා ඉහළ ගියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *