පිටකොටුව, වෙරළබඩ සහ මට්ටක්කුලිය ඇතුළු ප්‍රදේශ කිහිපයක් අද (30) සිට විවෘතයි

පිටකොටුව, වෙරළබඩ සහ මට්ටක්කුලිය ඇතුළු ප්‍රදේශ කිහිපයක් අද (30) සිට විවෘතයි

*********************************************

පිටකොටුව, වෙරළබඩ සහ මට්ටක්කුලිය ඇතුළු ප්‍රදේශ කිහිපයක් අද (30) සිට විවෘතයි

(30.11.2020 – 07:52 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ කිහිපයක අද (30) අලුයම පහේ (05:00) සිට හුදෙකලා බවින් නිදහස් කෙරුණා.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ වෙරළබඩ සහ පිටකොටුව පොලිස් බල ප්‍රදේශවල හුදෙකලා තත්ත්වය ඉවත් කළ අතර, රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය, ෆර්ගියුසන් පාර හැර මට්ටක්කුලිය පොලිස් බල ප්‍රදේශයේ සෙසු ප්‍රදේශද හුදෙකලා බවින් ඉවත් කර තිබෙනවා.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම සහ මීගමුව පොලිස් බල ප්‍රදේශද අද (30) අලුයම පහේ (05:00) සිට හුදකලා බැවින් නිදහස් කළා.

කෙසේ වෙතත්, වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය, සාලමුල්ල සහ විජයපුර යන ග්‍රාමසේවා වසම් අද (30) උදෑසන පහේ (05:00) සිට හුදෙකලා කෙරුනු අතර, වත්තල, පෑලියගොඩ සහ කැළණිය පොලිස් බල ප්‍රදේශ තවදුරටත් පවතින්නේ හුදකලා තත්ත්වය යටතේයි.

මේ, අතර පිටකොටුව අද (30) අලුයම 05:00 සිට විවෘත කළත් පැරණි මැනිං වෙළඳපොළ මෙන්ම, පිටකොටුව හතර (4) වන සහ පස් (5) වන හරස් වීථිවල වෙළඳ කටයුතු සිදුකිරීමට අවස්ථාව නොලැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර, රාජකාරි සඳහා පිටත්ව යන මගීන්ට හිඟයක් ඇති නොවන පරිදි අද (30) සිට බස් රථ යොදවන්නැයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අදාළ බලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එසේම, කාර්යාල සේවා ඇතුළු කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන සහ ඉන් පිටත්වන දුම්රිය ගමන්වාර 104 ක් අද (30) සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++

(30.11.2020 – 08:21 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා මරණ 07 ක් වාර්තා වීමත් සමඟ මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (29) මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් තුන්දෙනෙකු (3) සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු (40) යි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මියගිය කාන්තාවන් තිදෙනා (3) 50, 51 සහ 90 හැවිරිදි වියේ පසුවන කොළඹ 02, මාතර – අකුරුස්ස සහ කොළඹ 13 ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි.

කෙරෝනා වෛරසය සමඟ ඇති වූ නියුමෝනියා රෝගි තත්ත්වය හේතුවෙන් එම කාන්තාවන් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මියගිය පිරිමි පුද්ගලයින් අතර එක් අයෙක් ගොතටුව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි වියේ පසුවන අතර ඔහු කොවිඩ් නියුමෝනියා තත්ත්වය සහ දියවැඩියා රෝගය හේතුවෙන් මියගොස් තිබෙනවා. අනෙක් පුද්ගලයා 73 හැවිරිදි වියේ පසුවන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කොරෝනා වෛරසය අසාදනයවීමත් සමඟ ඇති වු නියුමෝනියා රෝගි තත්ත්වය ඔහු මිය යාමට හේතුවයි. එමෙන්ම ජීවිතක්ෂයට පත්වු අනෙක් පුද්ගලයින් දෙදෙනා 70 සහ 78 හැවිරිදි වියේ පසුවන හලාවත සහ මරදාන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් මිය යාමට හේතුව අධික රුධිර පිඩනය සහ පෙනහලු අකර්මන්‍ය වීම බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නව ආසාදිතයින් 496 දෙනෙක් හමුවීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,484 ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුර 19,946 ක් වනවා. සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,002 ක් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. ඒ අනුව මේ වනවිට වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6,366 ක් වනවා.

ඊයේ (29) පස්වරුව වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව අසාදිතයින් 67 දෙනෙක් හමුවී ඇති අතර, ඉන් ආසාදිතයින්ගෙන් 34 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයෙන්. කැළණිය ප්‍රදේශයෙන් වෛරසය ආසාදනය වුවන් 9 දෙනෙකු හදුනාගත් බවයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා සඳහන් කළේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වනවිට හඳුනා ගෙන ඇති මුළු ආසාදිතයින් ගණන 5278 ක්. මේ දක්වා සිදු කළ ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 79, 388 ක් බවයි ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ද කියා සිටියේ කළුතර, කුරුණෑගල, පුත්තලම ඇතුළු ප්‍රදේශ කිහිපයක තවදුරටත් වෛරසය පැතිරිමේ අවදානමක් පවතින බවයි.

එමෙන්ම, තම නිලධාරින් සමඟ කලහකාරි ලෙස හැසිරිමේ චෝදනාව මත ඉවත් කළ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා යළි එම ස්ථානයේම සේවයේ පිහිටුවීමට රජය ගෙන ඇති තිරණය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විරෝධය පළ කරනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ගැන සෞඛ්‍ය අමාත්‍යංශය නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඉදිරියේදි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

මේ අතර, දෙසැම්බර් මාසය අවසානය වනවිට දිනකට පී.සී.ආර්. පරික්ෂණ 20,000 සිදු කිරිමට බලාපොරොත්තු වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා මහනුවර ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ෴

++++++++++++++++++

(30.11.2020 – 12:51 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහ නගර සභා සීමාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තියේ අඩුවීමක් ඉදිරියේදී දක්නට ලැබෙනු ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙරටින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 23,484 දෙනෙකු වාර්තා වන අතර, ඊයේ (29) දිනයේදී හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 496 ක්.

එම නව ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් වූ 167 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 56 දෙනෙකු සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙකු ඊයේ (29) දිනයේ හඳුනාගෙන තිබුණා.

කෙසේ වෙතත්, මේ වනවිට හඳුනාගන්නා ආසාදිතයින්ගේ ශරීරය තුළ පවතින කොරෝනා වෛරස ධාරිතාවේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මේ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 19,946 ක්. ඉන් 13,594 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.

මේ අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි පුද්ගලයින් තුන් දෙනෙකුට (3) කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (29) තහවුරුවීමෙන් අනතුරුව එහි කම්කරුවන් 50 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවා.

එසේම, ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් 03 ක සේවය කළ සේවකයින් 34 දෙනෙකුද මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත්, ආසාදිතයින් වාර්තා වීමෙන් අනතුරුව වෙළඳ කටයුතු සඳහා විවෘත කෙරුණු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළුවන දොරටු අසල දෑත් සේදීම සඳහා යොදා තිබූ සියලු පහසුකම් අද (29) ඉවත්කර තිබීම හේතුවෙන් ගොවීන් සහ ව්‍යාපාරිකයින් දැඩි අපහසුතාවකට මුහුණ දුන්නා. ප්‍රධාන මාර්ගය ඉදිරිපිට කාණු පද්ධතිය අළුත්වැඩියා කිරීම නිසා ඒවා ඉවත් කර තිබූ අතර ඊට විකල්ප ක්‍රියාමාර්ගයක් ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය විසින් යොදවා තිබුනේ නැහැ ෴

***************************************

(30.11.2020 – 08:24 +0530 – hirunews.lk/sinhala)

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බැවින් නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනවා.

කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද නිවේදනය කළේ ෴

***************************************

(30.11.2020 – 09:32 +0530 – hirunews.lk/sinhala)

ලොව හුදෙකලාම හස්තියා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර සත්වෝද්‍යානයක රඳවා සිටි ශ්‍රී ලංකාවේ කාවන් හස්තියා කාම්බෝජයේ වනාන්තර අභය භූමියක් වෙත ඊයේ (29) නික්මුණා.

රුසියානු ජම්බෝ ජෙට් යානයක රැඳවූ විශේෂිත කුටියකට ඇතුළු කළ කාවන් උතුරුදිග කාම්බෝජයේ – සියම් රීප් හි අක්කර 25,000 ක අභය භූමියකට රැගෙන යන්නේ සුප්‍රකට පොප් ගායිකා සහ හොලිවුඩ් සිනමා නිළි ෂර් ගේ අනුග්‍රහයෙන්.

කිලෝග්‍රෑම් 2000 ක් පමණ බරැති 36 හැවිරිදි කාවන්ගේ දිගු ගුවන් ගමනට අවශ්‍ය කෙසෙල් කොමඩු වැනි ආහාර ද්‍රව්‍ය එහි ඇතුළත් කර තිබුණා.

1985 වසරේදී ලක් රජය විසින් මෙම හස්තියා එවකට පාකිස්ථානයේ හමුදා පාලකයාව සිටි ජෙනරාල් සියාවුල් හක් වෙත පිරිනමා තිබෙනවා.

ඒ හස්තීන් ගැන කියැවෙන හාති මෙරේ සාතී නමැති හින්දි චිත්‍රපටය නැරඹූ ජෙනරාල් සියාවුල් හක්ගේ දියණිය සිය පියාගෙන් කළ ඉල්ලීමක් සපුරාලීමටයි.

කෙසේ නමුත්, කාවන් හස්තියාට ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයේ වසර 35 ක් පමණ දෙපාවලට දම්වැල් යොදවා රඳවා සිටි බව සඳහන්. කාවන් එහිදී විවිධ කායික පීඩාවන්ට මෙන්ම, මානසික ආතතියට ගොදුරු වී ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

කාවන්ගේ තනියට රැගෙන ආ සහකාරිය සහේලි 2012 වසරේදී මියගියේ අධික උණුසුම නිසා ඇති වූ හෘදයාබාධයකින්. කෙසේ නමුත්, සහේලිට ඇති වූ සුළු තුවාලයක් නොසලකා හැරීම නිසා එය උත්සන්න වී ඇය මියගිය බව සත්ත්ව අවිහිංසා සංවිධානවල අදහසයි.

එතැන් සිට හස්ති ඇසුරකින් තොරව හුදකලාව සිටි කාවන් මුදා ගැනීම සඳහා සත්ත්ව අවිහිංසා සංවිධාන දැවැන්ත ව්‍යාපාරයක් දියත් කළ අතර, එහි පෙරමුණ ගත් පොප් ගායිකා ෂර් ඒ සඳහා ඩොලර් හාරලක්ෂයකට අධික මුදලක් එක්රැස් කරදීමට සමත්වුණා ෴

***************************************

(30.11.2020 – 10:33 +0530 – hirunews.lk/sinhala)

දිවිනැගුම නඩුවට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු 4 දෙනෙකු කොළඹ මහාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,292 ක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු හතර දෙනාට (4) චෝදනා එල්ල වී තිබුණා.

ඒ අනුව, හිටපු අමාත්‍යවරයා මෙන්ම, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක යන මහත්වරු මෙලෙස නිදොස් කොට නිදහස් කර තිබෙනවා ෴

(30.11.2020 – 13:19 +0530 – hirunews.lk/sinhala)

2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 385 ක මුදලක් වැය කර ජී.අයි. බට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද (30) නියෝග කළා.

අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින්.

මේ අතර, 2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූහතර ලක්ෂයක් (2,94,00,000) වැය කරමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ලිත් පනස් ලක්ෂයක් (50,00,000) මුද්‍රණය කර බෙදා හැරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවට අදාළව මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ද ඉවත් කෙරුණා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොලගේ නියෝගයකට අනුවයි ෴

***************************************

(30.11.2020 – 11:58 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා තරුණයෙකු ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ළාබාල ජපන් දැරියක් පැහැරගෙන පැමිණියේ යැයි කියන ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධියට සම්බන්ධ වයස 16 ක ළාබාල දැරිය පරිවාස භාරයේ තබා නැවත දෙසැම්බර් 3 වන දිනට පරිවාස වාර්තාවක් සමග අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොච්චිකඩේ පොලිසියට මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා නියම කොට තිබෙනවා.

පැහැරගෙන පැමිණි බව කියන තරුණයා ස්ත්‍රී දූෂණයක් සිදු කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ කොච්චිකඩේ පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඔහු දෙසැම්බර් 3 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

එම දැරිය මේ වන විට මාස හතක (7) ගැබිනියක් බව කොච්චිකඩේ පොලිසිය විසින් අධිකරණයට වාර්තා කළ අතර මහෙස්ත්‍රාත්වරයා නඩු කටයුතු සිදුවන අවස්ථාවේ අධිකරණය තුළ ඇයට අසුන් ගැනීමට ද අවසර දෙනු ලැබුවා.

මෙම තරුණයා ජපන් ජාතික දැරිය සමග දීර්ඝ කාලයක් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබූ බවත් මෙහි ඇත්තේ ප්‍රේම කතාවක් මිස ස්ත්‍රී දූෂණයක් නොවන බව සැකකාර තරුණයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ වර්ණ චන්ද්‍රනාත් වීරසිංහ මහතා අධිකරණයේදී ප්‍රකාශ කර තිබෙනවා ෴

***************************************

(30.11.2020 – 12:43 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සංචාරයක නිරත වූ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හමුවී තිබෙනවා.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා දිවයිනට පැමිණියේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින අතර ත්‍රෛයි පාර්ශවික – ආරක්ෂක සහයෝගිතා සංවාදයකටයි. සිය සංචාරයේ අවසන් අදියර ලෙස ඔහු දෙමළ ජාතික සන්ධානයේ නායකයා මුණ ගැසුණු බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිල නිවසේදී ඊයේ (29) එම සාකච්ඡාව පැය භාගයකට ආසන්න කාලයක් පැවති බවයි හින්දු පුවත්පත සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ වත්මන් වාතාවරණය මෙන්ම, උතුරු නැගෙනහිර තත්ත්වය පිළිබඳව ඔවුන් අතර අදහස් හුවමාරු වී තිබෙනවා.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සිය ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මුණ ගැසුණා. ඔහු ඊයේ (29) දිවයිනෙන් පිටත්ව ගිය බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

(30.11.2020 – 12:49 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඊයේ (29) රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ 50 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ අතර, මහර බන්ධනාගාරයේ හෙද නිලධාරිවරයෙකු සහ ඖෂධ සංයෝජකවරයෙකු සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තුවාල ලැබූ රැඳවියන් අතරින් වැඩි පිරිසක් බරපතල තත්ත්වයේ පසුවන්නන් බව රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා කියා සිටියා.

මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 3000 කට වැඩි පිරිසක් සිටින අතර, ඉන් මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කරන ලද රැඳවියන් මෙම කලහකාරි තත්ත්වය ඇති කළ බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

රට තුළ පවතින කොරෝනා තත්ත්වයත් සමඟ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන ලෙස සහ නිරෝධායන ක්‍රියාවලියට යොමු කරන ලෙස ඔවුන් බල කර ඇති අතර, ඇතමුන් තමන්ට නිවෙස් වෙත යාමට අවශ්‍ය බව පවසා කලහකාරි ලෙස හැසිරී ඇති බව සඳහන්.

එමෙන්ම ඔවුන් පසුගිය දින කිහිපයේදී බන්ධනාගාර නිලධාරින්ට ද විවිධ චෝදනා එල්ල කර තිබෙනවා.

ඉන් අනතුරුවයි ඊයේ (29) පස්වරුවේ මහර රිමාන්ඞ් රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලට කඩා පැන එහි දේපලවලට හානි සිදුකරනු ලැබුවේ. එහිදී, බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරි තත්ත්වයත් සමඟ දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් උද්ගත වුණා.

පසුව රැඳවියන් බන්ධනාගාරයේ දේපලවලට හානි සිදුකර ගිනි තැබීම් සිදුකළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ගින්න පාලනය කිරීම සඳහා කොළඹ මහනගර සභාව මගින් ගිනි නිවීමේ රථ 3 ක් යෙදවූ අතර, ගම්පහ ගිනි නිවිම් ඒකකයේ රථවලට අමතරව, නාවික හමුදාවට අයත් ගිනි නිවිමේ රථ ද ඒ සඳහා යොමු කර තිබුණා. ඊයේ (29) පස්වරු 6 ට පමණ මෙම ගැටුම්කාරි තත්ත්වය හට ගත් අතර එය අද අලුයම තෙක් පැවතුණා.

මේ වනවිට එම ගැටුම්කාරි තත්ත්වය යම්තාක් දුරකට පාලනය කළ අතර තව පැය කිහිපයක් තුල බන්ධනාගාරයේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 400 ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 200 ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, මහර බන්ධනාගාරය තුළ ඇති වූ මෙම ගැටුම්කාරි තත්ත්වයත් සමඟ එහි කටයුතු සොයා බැලීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (30) පෙරවරුවේ පැමිණියා.

එමෙන්ම, මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරි සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (30) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා ෴

***************************************

(30.11.2020 – 13:16 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – දිගන – අඹකොටේ ප්‍රදේශයේ සුළු භූ චලනයක් සිදුව තිබෙනවා.

ඊයේ (29) රාත්‍රි 08:45 ට මෙම භූ චලනය සිදුව ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයෙන් විමසීමක් කළා.

එහි සභාපති අනුර වල්පොල මහතා ප්‍රකාශ කලේ ඊයේ (29) රාත්‍රියේ දිගන ප්‍රදේශයට බලපා ඇති සුළු භූ කම්පන තත්වය රික්ටර් මාපක 2 ට වඩා අඩු අගයක් ගන්නා බවයි.

එය පල්ලෙකැලේ භූ කම්පන මානයේ සටහන් වී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර පසු ගිය මාස දෙකක (2) පමණ කාලයක් තුල මහනුවර ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවල ඇතිවූ භූ කම්පන සම්බන්ධයෙන් විමර්ශන සදහා පත්කළ කමිටුව මේ පිලිබදව වැඩි දුර පරීක්ෂණ සිදු කරන බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා ෴

***************************************

රාජ්‍ය සේවා කොමිසමට දිලිත් ජයවීර පත් කලාට විරෝධය.. ජනපතිට ලිඛිතව දන්වයි..

(30.11.2020 – 15:50 +0530 – lankacnews.com)

රාජ්‍ය සේවා කොමිසම වෙත නුසුදුසු පුද්ගලයන් පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.

එහි සභාපති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර තිබේ.

ජනමාධ්‍ය වෙතද පිටපත් යොමු කර ඇති එම ලිපිය පහතින් දැක්වෙයි :

ගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමණි,

රාජ්‍ය සේවා කොමිෂමට නියෝජිතයින් ලෙස නුසුදුසු පුද්ගලයන් පත්කිරීම සම්බන්ධවයි.

රාජ්‍ය සේවයේ ඉහල නිලධාරීන් පත්කිරීම්, උසස්කිරීම් හා විනය කටයුතු සම්බන්ධව බලධාරියා වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. දිගින් දිගටම රාජ්‍ය සේවාවට දේශපාලන අතපෙවීම් සිදුවන්නේ යැයි යන විවේචනය තදින් පවතින පරිසරයකදී එහි ස්වාධිනත්වය ආරක්‍ෂා කර ගැනීම මූලික කර ගනිමින් 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එය පිහිටුවාලූයේ රාජ්‍ය සේවකයාද රාජ්‍ය සේවයේද විනිවිදභාවය අපේක්‍ෂා කරන සියළු දෙනාගේ ආශීර්වාදය ඇතිවය.

ඉන් අනතුරුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් තවදුරටත් එය තහවුරුවූ අතර, අඩුපාඩුකම් මධ්‍යයේ වුවද එය ක්‍රියාත්මක විය. 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව රාජ්‍ය සේවා කොමිෂම වෙත නියෝජිතයින් පත්කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා ලෙස ඔබ විසින් පවරාගෙන ඇත.

එම පත්කිරීම් සිදු කිරීමේ දී කොමිසමේ විෂය පථයට හා බලතල වලට අනුව එම කාර්ය නිවැරදිව හා විනිවිදභාවයෙන් යුතුව ස්වාධීනත්වය ආරක්‍ෂා වන පරිදි කටයුතු කළ හැකි නිලධාරීන් නම් කිරීම පත්වීම් බලධාරියා වන ඔබගේ වගකීමයි.

නමුත්, ඔබ විසින් නව කොමිෂමට නිලධාරීන් පත්කිරීමේ දී රාජ්‍ය සේවය පිළිබඳව කිසිදු අත්දැකීමක් නැති රාජ්‍ය නිලධාරීන් සමග රාජකාරිමය කිසිදු කාර්යයක නියලී නැති පෞද්ගලික ව්‍යාපාරික කටයුතු වල නියුතු නුසුදුසු පුද්ගලයන් පත්කිරීම රාජ්‍ය සේවයට එල්ල කරන ලද බරපතල අතුල් පහරකි. එහි බලපෑම වඩාත් තීව්ර වන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් ටෙන්ඩර් හරහා තමන්ගේ ව්‍යාපාරික ආයතන වලට ලබාගන්නා ආණ්ඩුව සමග ඝෘජුවම ව්‍යාපාරික කටයුතු වල නියුතු දිලිත් ජයවීර නැමැත්තා රාජ්‍ය සේවා කොමිෂමේ නියෝජිතයෙකු ලෙස පත්කිරීමයි. රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය සේවයේ ඉහල වගකීම් දරණ නිලධාරීන්ගේ පත්කිරීම්, මාරුකිරීම් හා උසස්වීම මෙන්ම විනය කටයුතු සම්බන්ධයෙන් ද වගකීම් දරණ රාජ්‍ය සේවා කොමිෂමේ නියෝජිතයෙකු විසින් ඉදිරිපත් කර ඇති ටෙන්ඩර් පත්‍රිකා සම්බන්ධයෙන් සාධාරණ තීන්දු ගැනීමේ අයිතිය මෙමගින් අහෝසිකර ඇති බව ඔබතුමාට නොතේරීම පුදුමසහගතය. දිලිත් ජයවීර මහතාම පවසන පරිදි ඔහු ඔබ සමග සමීප සබඳතා පවත්වන අතිජාත මිත්‍රයෙකි. එම සබඳතාවය රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ කටයුතු නීති ගරුකව යුක්ති සහගතව කරගෙන යෑමට ඇතිකරන බාධාව සුළුපටු නොවේ.

මේ කෙලෙසී යන්නේ කොමිෂමේ ස්වාධීනත්වය පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයේම ස්වාධීනත්වයයි. අහෝසිවී යන්නේ රටත් ජනතාවත් වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට නිවැරදිව හා විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට ඇති අවකාශයයි. මෙයින් ගොඩනැගෙන තත්වය ඔබගේ දැක්ම ලෙස ප්‍රරසිද්ධියට පත්කළ ‘සෞභාග්‍යයේ දැක්ම’ තුල ඇති විනය ගරුක රටක් ගොඩනැගීමට දායක වන්නේ කෙලෙසද යන්න ප්‍රහේලිකාවකි.

බලතල තමන්ට අවැසි ආකාරයට සකසා ගනිමින් කටයුතු කිරීම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ලද මරු පහරකි. රාජ්‍ය සේවය යනු යම්කිසි පාලකයෙකුගේ පෞද්ගලික අභිමතයන්ට අනුව කටයුතු කළ යුතු සේවාවක් නොවේ. එහි වගකීම හා වගවීම පවතින්නේ රාජ්‍යට මිස කාලයෙන් කාලයට පත්වන ආණ්ඩු වලට හෝ පාලකයන්ට නොවේ. එය ඔබ වටහාගත් බවක් මෙම පත්කිරීම් තුලින් ගම්‍යමාන නොවේ. එසේම මේ හරහා විද්‍යමාන වන තවත් කරුණක් වන්නේ රාජ්‍ය සේවා කොමිෂම සම්බන්ධයෙන් හා එයට පත්කළ යුතු නියෝජිතයන් සම්බන්ධයෙන් ඔබගේ ඇති අවබෝධයේ ප්‍රමාණයයි. කරුණු මෙසේ හෙයින් මේ පිළිබඳව අගතිමානි නොවී රාජ්‍ය සේවා කොමිෂන් සභාවට එයට ගැලපෙන සුදුසු පුද්ගලයන් පත්කිරීමට කටයුතු කරන ලෙසත් රාජ්‍ය නිලධාරීන්ට කරනු ලබන දේශපාලන බලහත්කාරී මැදිහත් වීම නතර කිරීමට කටයුතු කරන ලෙසත් සමස්ත රාජ්‍ය සේවය වෙනුවෙන් ඔබතුමාට අවධාරණය කිරීමට කැමැත්තෙමි.

ස්තූතියි.

කේ.ඩී.ලාල්කාන්ත
සභාපති,
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

***************************************

මහර බන්ධනාගාරයේ මොකද වුණේ? රැඳවියන් පිස්සු වට්ටන ‘මත් පෙත්තක්’ ගැන විමල්ගෙන් හෙළිදරව්වක්

(30.11.2020 – 14:43 +0530 – lankaleadnews.com)

බන්ධනාගරයන් තුල ගැටුම්කාරී තත්ත්වය ඇතිවී තිබීමට ප්‍රධාන හේතුව සංවිධානාත්මක රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාරය තුල බෙදා හරිනු ලබන ‘මත් පෙත්තක්’ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ හිටපු සංවිධානත්මක අපරාධකරුවෙකු ‘සමයං’ ගේ ගෝලයෙකු වන ‘චතුරංග’ විසින් වැලිකඩ බන්ධනාගාරය තුළ ‘රිවර්ස්’ නමින් හඳුන්වනු ලබන මත් පෙත්තක් විකිනීමට යොදා ඇති බවට කලකට පෙර බුද්ධි විසින් අනාවරණය කර ගෙන තිබු බවයි.

මෙම මත් පෙත්ත වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියන් කිහිපදෙනෙකුට මුලින්ම ‘චතුරංග’ යන අය විසින් ලබාදී ඇති බවත් එම පෙත්ත භාවිතා කිරීමෙන් පසු ඔවුන්ට ‘ලේ දැකීමට’ අවශ්‍ය වන බවත් සිද්ධිය ගැන අනාවරණය වීමෙන් පසු ‘චතුරංග’ ඇතුළු ඊට සම්බන්ධ රැඳවියන් කිහිපදෙනෙකු වෙනත් බන්ධනාගාර වලට මාරුකොට යැවීමට බලධාරීන් පියවර ගනු ලැබූ බවයි.

කෙසේ හෝ මහර බන්ධනාගාරයේ ඊයේ (29) ඇතිවූ අවාසනාවන්ත තත්ත්වය මගින් ජනාධිපතිවරයා ඇතුළු රජය ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියකට ලක් කිරීමට ඇතැම් පිරිසක් කටයුතු කරමින් සිටින බවයි අමාත්‍ය විමල් විරවංශ මහතා ප්‍රකාශ කර සිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *