ප‍්‍රාඩෝ, මොන්ටෙරෝ, පැජරෝ, වෑන්.. එන්ජින් අංක සහ චැසි අංක වෙනස් කර වාහන හතක්‌ (7) කෝටි නවයකට (9) විකුණලා…

ප‍්‍රාඩෝ, මොන්ටෙරෝ, පැජරෝ, වෑන්.. එන්ජින් අංක සහ චැසි අංක වෙනස් කර වාහන හතක්‌ (7) කෝටි නවයකට (9) විකුණලා…

පොලිස් නිල සුනඛ ‘ඔස්කා’ කිලෝමීටර් 5 ක් පයින්ම ගොස් රන් බඩු සහ මුදල් කොල්ලකෑ කුඩ්ඩා අල්ලයි

පාර්ලිමේන්තුවට ආ බස් රියක් පොකුණට වැටෙයි

*********************************************

ප‍්‍රාඩෝ, මොන්ටෙරෝ, පැජරෝ, වෑන්.. එන්ජින් අංක සහ චැසි අංක වෙනස් කර වාහන හතක්‌ (7) කෝටි නවයකට (9) විකුණලා…

(20.11.2020 – divaina.com)

එන්ජින් අංක, චැසි අංක වෙනස් කර ව්‍යාජ ලිපි ලේඛන සකස්කොට වෙනත් පුද්ගලයන්ට විකුණන ලද රුපියල් කෝටි නවයකට (9) ආසන්න වටිනාකමින් යුත් වාහන හතක් පෙරේදා (18 දා) රාත‍්‍රී අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාස බුද්ධි අංශය සමත් විය.

නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති වාහන වන්නේ ප‍්‍රාඩෝ, මොන්ටෙරෝ, පැජරෝ, වෑන් හා එකම අංක තහඩුවක් සහිත ත‍්‍රිරෝද රථ දෙකකි.

ආනයන නීති උල්ලංඝණය කරමින් මෙරටට ගෙන්වා එකලස් කොට ඇති වාහනවලට ආර්.එම්.වී. නිලධාරීන්ගෙන්ද සහාය ඇතුව කූට අන්දමින් ලියවිලි සකසා ගම්පහ, පානදුර, හොරණ, රත්මලාන හා වාද්දුව යන ප‍්‍රදේශවල පුද්ගලයන්ට අලෙවි කර තිබියදී සොයාගෙන ඇති අතර එම සොයාගත් වාහනවලට මෙරට නීතිය අනුව ධාවනය කිරීමට අවශ්‍ය කරන ලද කිසිදු ලියවිල්ලක් ලබාගෙන නොමැති බව පොලිසියට සොයා ගැනීමට හැකියාව ලැබී ඇත.

සුඛෝපභෝගී ජීප් රථ ව්‍යාපාරිකයන්ට අලෙවි කර තිබූ අතර වෑන් රථය රත්මලාන ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ගාල්ල ප‍්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට පූජා කර තිබියදී සොයාගෙන ඇත.

මෙම කූට ව්‍යාපාරය සිදු කරගෙන ගිය එක් පුද්ගලයකු මෙම ව්‍යාපාරය කලක සිට සිදුකර ඇති බව පොලිසිය පවසයි.

පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට අපහසු වී ඇතත් වාහන පොලිස් භාරයට ගන්නා මොහොතේ පාවිච්චි කළ අයවළුන්ගෙන් ලබාගත් තොරතුරු මත ඔවුන් සොයා පරීක්ෂණ සිදු කරන බව පානදුර කොට්ඨාස බුද්ධි අංශ ස්ථානාධිපතිවරයා පවසයි ෴

*********************************************

පොලිස් නිල සුනඛ ‘ඔස්කා’ කිලෝමීටර් 5 ක් පයින්ම ගොස් රන් බඩු සහ මුදල් කොල්ලකෑ කුඩ්ඩා අල්ලයි

(20.11.2020 – divaina.com)

රුපියල් ලක්ෂ පහකට ආසන්න රන් ආභරණ සහ මුදලින් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් සැලසුම් සහගත ලෙස සොරකම් කළ 19 හැවිරිදි තරුණයකු ගන්දර පොලිස් වසමෙහි දෙල්ගල්ල ප‍්‍රදේශයේ දී ඉකුත් 17 දා අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පැවසීය.

ගන්දර පොලිස් වසමේ දෙල්ගල්ල සහ ඒ අවට ප‍්‍රදේශයන්හි රාත‍්‍රි කාලයේ නිවාස කිහිපයක සහ වෙළෙඳසල් කිහිපයකම සොරකම් සිදුව ඇති බවට අවස්ථා කිහිපයකදීම ගන්දර පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබිණි. රාත‍්‍රී කාලයේ වෙළෙඳ සල්හි උළු ඉවත් කර එම වෙළෙඳ සල්වලට ඇතුළු වී සුවඳ විලවුන්, දුම්වැටි සහ මුදල්ද, නිවාසයන්හි ජනේල ගළවා නිවෙස් තුළට ඇතුළු වී රන් ආභරණ සහ මුදල්ද සොරකම් කර ඇත.

මාතර කොට්ඨාස පොලිස් නිල සුනඛ අංශයේ (1340) ‘ඔස්කා’ නමැති පොලිස් නිල සුනඛයාගේද සහාය ලබා ගනිමින් වෙළෙඳ සලක් අසල දමාගිය පාවහන් යුගලය නිල සුනඛයා වෙත ලබා දීමෙන් අනතුරුව සුනඛයා විසින් සැකකරු සොයා කිලෝමීටර් පහක (5) පමණක් දුරක් ගෙවා දෙල්ගල්ල ප‍්‍රදේශයේම පිහිටි සැකකරුගේ නිවස වෙත පැමිණ සැකකරු හඳුනා ගැනීමට සහාය දී තිබේ.

පොලිස් නිලධාරීහු ඒ අස්ථාවේම සැකකරු සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී තමා විසින් සිදුකළ සියලු සොරකම් පිළිබඳව 19 හැවිරිදි තරුණයා සියලු තොරතුරු හෙළිකර ඇත.

19 හැවිරිදි සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු ලෙස සිදුකළ විමර්ශනයන්හි දී හඳුනාගත් බව පොලිසිය පවසයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. සොරකම් කරන ලද භාණ්ඩ සහ මුදල්වලින් කොටසක් සොයා ගත් බව පොලිසිය පැවසීය ෴

*********************************************

පාර්ලිමේන්තුවට ආ බස් රියක් පොකුණට වැටෙයි

(20.11.2020 – 18:47 +0530 – lankadeepa.lk)

අද සවස පාර්ලිමේන්තුව අවසන් වීමෙන් පසු පාර්ලිමේන්තු කාර්ය මණ්ලය රැගෙන යාමට පැමිණි ලංගම බස්රියක් පාර්ලිමේන්තුව ඉදිරිපිට පොකුණට වැටී තිබේ.

එම අවස්ථාවේදී කාර්ය මණ්ඩලයේ සෑහෙන පිරිසක් බසයේ සිටි අතර අවට සිටි පිරිස එක්වී ඔවුන් බේරා ගන්නා ලදි.

අධික වර්ෂාව හේතුවෙන් මෙම අනතුර ඇතිවී තිබේ.

බස්රිය මේ වන විටත් පොකුණේම තිබෙන නමුත් එය ගොඩගැනීම සඳහා ආපදා රථයක් හෝ වෙනත් අවශ්‍ය දොඹකරයක් ගෙන්වා ගැනීමට බලධාරීහු කටයුතු කරමින් සිටිති.

(20.11.2020 – gossiplankanews.com)

පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය ප්‍රවාහනය කරන ශ්‍රීලංගමයේ තලංගම ඩිපෝවට අයත් බස් රථයක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඇති ජල තටාකයකට පෙරලී අනතුරක් සිදුවිය.

අනතුර සිදුවනවිට බස් රථයේ පාර්ලිමේන්තුවේ සේවය කරනු ලබන නිලධාරින් 30-35ත් අතර ප්‍රමාණයක් සිට ඇති බවත් ඔවුන්ගෙන් ඇතැම් අයට සුළු සීරීම් සහ තැලීම් සිදුව ඇති නමුත් බරපතල තුවාල කිසිවෙකුට නොලද බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මාධ්‍ය වෙත දන්වා ඇත.

පස්වරුවේ ඇදහැළුණු මහ වර්ෂාව හේතුවෙන් රියදුරුට මාර්ගය නිසි ලෙස නිරීක්ෂණය නොවීම් අනතුරට හේතුව වී ඇති බව කියැවිණි. වෙනදා මෙම බස් රථය එම මාර්ගයේ නොයන බවත් පවතින වැසි තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයින් රැගෙන යාමට බස් රථය අද දිනයේදී පාර්ලිමේන්තු සංකීර්ණය තුලට ඒමට අවසර ලබාදී තිබු බවත් සේවකයින් නංවා ගෙන ආපසු යන අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා විය.

සංකීර්ණයට ආසන්න” ටී” වංගුවේදී අනතුර සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා මේ වන විට පොලිස් භාරයට ගෙන ඇත.

***************************************

පන්සල අසලදී දැරියකට තම නිරුවත පෙන්වූ මානසික රෝගියා …

මෙම මස 10 වෙනි දින පිලියන්දල කටුබැද්ද පාරේ සුවාරපොල පුරාණ බෝධිය අසලදී මෙම සිදුවීම සිදු වී ඇති අතර මොටර් බයිසිකලයකින් පැමිනෙන මොහු එතනට පැමිණෙන දැරියකට නිරුවත් පෙන්වා ඇත. ඉන්පසු මිනිසුන් පැමිනිනෙන විට මොහු මොටර් බයිසිකලයට නැගී පලගොස් ඇත. (nethgossip.lk)

(21.11.2020 – colombotoday.com)

පිලියන්දල සුවාරපොල විහාරස්ථානයක් ඉදිරිපිටදී සිය නිරුවත පෙන්වා දැරියක් අපහරණය කිරිම සම්බන්ධයෙන් අද (21) දින අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස අතිරේක මහේස්ත්‍රාත් නුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.

මෙලෙස ඇප මත මුදාහැරියේ පානදුර උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවකු වූ ඉරේෂ් ප්‍රසන්න මංජුල නම් 38 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

සැකකරුගේ එම අශෝභන ක්‍රියාව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සහ විද්‍යුත් නාලිකා වල ප්‍රදර්ශනය කෙරුණු අතර ඔහු පැමිණි යතුරු පැදියේ ලියාපදිංචිය අංකය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී කොට්ටාව ප්‍රදේශයේ ඔහු රැකියාව කරන ස්ථානයේදී අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා අධිකරණයට පැවසීය ෴

*********************************************

වැලිගමදී හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ, දෙවිනුවර, මිරිස්ස ප්‍රදේශවල පදිංචි තිදෙනෙක් (3)

(21.11.2020 – 07:16 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් දින ගණනාවක් පුරා සිදුකරන ලද විමර්ශනයකට අනුව මාතර – වැලිගම ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 100 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගැනීමට සමත්වූවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම සැකකරුවන් භාවිතා කරන ලද මෝටර් රථයක්ද අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ, දෙවිනුවර, මිරිස්ස ප්‍රදේශවල පදිංචි 38, 33, 34 යන වයස්වල තිදෙනෙකු (3) බවයි වාර්තාවන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යය බාලකාය විසින් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක කරන බවයි.

+++++++++++++++++++

වැලිගමදී රුපියල් කෝටි 100 ක කුඩු අල්ලයි

(21.11.2020 – divaina.com)

රුපියල් කෝටි 100 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 100 ක් සමඟ ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් තිදෙනකු (3) පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (20 දා) සවස වැලිගමදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් මත සති කිහිපයක් තිස්සේ කි‍්‍රයාත්මක කළ මෙහෙයුමකින් පසු දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ සුඛෝපභෝගී මෝටර් රථයකින් කොළඹට ගෙන ඒමට සූදානම් කර තිබූ මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය.

හෙරොයින් ප‍්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ සුඛෝපභෝගී මෝටර් රථය ද විශේෂ කාර්ය බළකාය සිය භාරයට ගෙන ඇත.

දකුණු පළාතේ ප‍්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු බව කියන ‘රත්ගම විදුර’ නමැත්තාට අයත් බව කියන මෙම හෙරොයින් තොගය ඇෆ්ගනිස්ථානයේ සිට රැගෙන එන්නට ඇති බවට සැක පහළ කරයි.

රත්ගම විදුර ඉතාලියේ සැඟව සිටිමින් මෙම හෙරොයින් ජාවාරම මෙහෙයවන බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන්ගෙන් දෙදෙනකු (2) වැලිගම පදිංචිකරුවන් වන අතර අනෙක් සැකකරු කොළඹ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම හෙරොයින් තොගය මීට සති කිහිපයකට උඩදී ට්‍රෝලර් යාත‍්‍රාවකින් වැලිගම මුහුදු තීරය වෙත ගෙනවිත් පසුව ආරක්‍ෂිත නිවාසයක ගබඩාකර තබා කොළඹට රැගෙන යෑමට ජාවාරම්කරුවන් සැලසුම් කර ඇති බවද හෙළිව ඇත.

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය සහ ජාවාරම්කරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දීමට නියමිතය.

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක කර තිබිණි.

හේමන්ත රන්දුණු

+++++++++++++++++++++

***************************************

(21.11.2020 – 08:58 +0530 – hirunews.lk/sinhala)

රන් භාණ්ඩ සොරකම් කළ තිදෙනෙකු (3) වවුනියාව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මවක්, දියණියක් සහ දියණියගේ පෙම්වතා බව සඳහන් පුද්ගලයෙක් බවයි වාර්තාවන්නේ.

සැකකරුවන් තිදෙනා (3) හම්බන්තොට හා තලාව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ.

වවුනියාව රන් භාණ්ඩ අලෙවිසැලකින් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකල විමර්ශනයකදී සැකකරුවන් අතඅඩංගුවට ගෙන තිබෙනවා.

පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් විවිධ ප්‍රදේශවල සොරකම්, මංකොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ බවයි.

අදාළ මව 43 හැවිරිදි වියේ පසුවන අතර දියණියගේ වයස 18 ක් බවත් ඇයගේ පෙම්වතාගේ වයස 29 ක් බවත් අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් වවුනියාව දිස්ත්‍රික්කයෙන් පමණක් සොරාගත් භාන්ඩ රුපියල් ලක්ෂ 4 කට අධික බවයි පොලීසිය පවසන්නේ.

ඔවුන් අද (21) වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වවුනියාව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

රන් භාන්ඩ මිලදී ගන්න මුවාවෙන් ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණෙන මොවුන් භාන්ඩ සොරා ගන්නා අයුරු CCTV කැමරාවල සටහන්ව තිබූ අයුරු පහතින් :

***************************************

(21.11.2020 – 09:14 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලෙස සකස් කළ වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් හරහා ඉතාලියට යාමට තැත්කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ කවුළුව වෙත ඉදිරිපත් කළ වීසා බලපත්‍රය සැක සහිත වීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (20) දිනයේදීයි.

25 හැවිරිදි මෙම සැකකරු යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු කටුනායක ගුවන්තොටුපල තුළ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *