විල්පත්තුව එළි කිරීම නීතිවිරෝධීයි – පෞද්ගලික වියදමෙන් නැවත වගා කරන්නැයි රිෂාඩ් බදියුදීන්ට අභියාචනාධිකරණයෙන් නියෝග

විල්පත්තුව එළි කිරීම නීතිවිරෝධීයි – පෞද්ගලික වියදමෙන් නැවත වගා කරන්නැයි රිෂාඩ් බදියුදීන්ට අභියාචනාධිකරණයෙන් නියෝග

කොරෝනා ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය ගැන රජයේ වෛද්‍ය නිලධාරින්ගෙන් අනතුරු ඇගවීමක්

ජනප්‍රිය ගායක පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

*********************************************

විල්පත්තුව එළි කිරීම නීතිවිරෝධීයි – පෞද්ගලික වියදමෙන් නැවත වගා කරන්නැයි රිෂාඩ් බදියුදීන්ට අභියාචනාධිකරණයෙන් නියෝග

(16.11.2020 – 11:25 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ මෙහෙයවීමෙන් විල්පත්තු ප්‍රදේශයේ අක්කර සිය ගණනක් උතුරේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා එළිපෙහෙළි කරමින් ජනාවාස ඉදිකිරීම නීතිවිරෝධී බව අභියාචනාධිකරණය අද (16) තීන්දු කළා.

එලෙස එළිකළ ප්‍රදේශය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ පෞද්ගලික වියදමින් නැවත වන වගාව සිදුකළ යුතු බවට ද අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

එමෙන්ම, පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රයට නැවත නඩු ගාස්තු ගෙවන ලෙස ද අභියාචනාධිකරණය බදියුදීන් මන්ත්‍රීවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළා.

පරිසර යුක්ති කේන්ද්‍රය මගින් මෙම නඩුව 2015 වසරේ අභියාචනාධිකරණය හමුවේ ගොනු කෙරුණු අතර එමඟින් සඳහන් කර තිබුණේ විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය එළිකොට ඒ තුල අනවසර ඉදිකිරීම් සිදු කිරීම හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදුව ඇති බවටයි.

එම නිසා අදාල වනාන්තර එළි කිරීම නීති විරෝධී බවට තීන්දු කර දැනට සිදුකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද මෙමඟින් ඉල්ලා තිබුණා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු 08 දෙනෙකු නම් කර තිබුණා.

+++++++++++++++++

අභියාචනාධිකරණය දිලේ සහ බැබලේ. බදුර්දීන් කොටුවේ – නීතිඥයෝ පවසති

(16.11.2020 – 17:29 +0530 – lankaleadnews.com)

2015 වසරේ ගොනු කරන ලද විල්පත්තු නඩුව අවසන් කරමින් අභියාචනාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දී ඇත. ඒ අනුව විල්පත්තුව එළි කරමින් අවතැන් ජනයා පදිංචි කරවීම නීති විරොධී බවට තින්දු කර ඇති අතර එළි කරන ලද වනාන්තරය හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ පුද්ගලික වියදමින් වන වගා කටයුතු සිදු කර පුනස්ථාපනය කළ යුතු බවට ද නියෝග කර ඇත. අදාල පදිංචිකිරීම් නීතියට අනුකූල නොවන බවත්, යුද්ධයෙන් අවතැන්වූවන් පදිංචි කිරීමට ඇති අයිතිය පිළිගන්නා අතරම ඔවුන් ඔවුනගේ පූර්ව වාසභූමිවල යළි පදිංචි කිරීමට ඇති හැකියාව සළකා පබැලිය යුතු බවත් තීන්දුවේ වැඩිදුරටත් සදහන් වේ.

ඊට අදාල වියදම් ඇස්තමේන්තුව සකස් කර ඒ සදහා කොපමණ මුදලක් වැය වන්නේ ද යන්න මෙම තීන්දුවේ දින සිට මාස දෙකක් (2) ඇතුළත රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට දැනුම් දෙන ලෙසට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝග කර ඇත. තවද අදාල මුදල බැර කළයුත්තේ කවර ගිණුමකටදැයි ඒ සමගම රිෂාඩ් බදුර්දීන්ට දන්වා සිටින ලෙසට ද අභියාචනාධිකරණය නියෝග කර ඇත. අභියාචනාධිකරණ නියෝගයට අනුව රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා විසින් අදාල මුදල එම දැන්වීම ලැබී මාසයක් ඇතුළත – දෙන ලද ගිණුමේ තැන්පත් කළ යුතුව ඇත.

හංගේරියාව සහ ස්ලෝවැකියාව අතර පැවති ගබ්කිකෝවෝ-නගිමාරස් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අන්තර්ජාතික අධිකරණයේදී කීර්තිමත් ශ්‍රී ලාංකේය විනිසුරු සී. ජී. වීරමන්ත්‍රි මහතා දැක්වූ අදහසත්, එප්පාවල නඩු තීන්දුවේදී කීර්තිමත් විනිසුරු ඒ.ආර්.බී. අමරසිංහ මහතා ප්‍රකාශ කළ තීන්දුවත් තවත් පූර්ව නඩු තීන්දු ගණනාවකුත් මෙම තීන්දුව ලබාදීමේදී අභියාචනාධිකරණය සැළකිල්ලට ලක්කළ බව තීන්දුවේ සදහන් වේ.

තවද බෞද්ධ දර්ශනයේ එන කූටදන්ත සූත්‍රයත්, හින්දු දර්ශනයේ එන භූමිකන්ද-පද්මපූරණයත්, ඉස්ලාම් දහමේහි කුරාණයේ සදහන් විශ්වය පිළිබද භාරකාරත්ව සංකල්පයත් ඇතුළු තවත් සංකල්ප සහ නිරීක්ෂණ ගණනාවකින් ද අභියාචනාධිකරණ තින්දුව සමන්විත වී තිබිනි.

මෙම නඩුව ගොනු කොට කරුණු දක්වන ලද්දේ පරිසර යුක්ති කෙන්ද්‍රයේ රවීන්ද්‍රනාත් දාබරේ මහතා ඇතුළු නීතීඥ කණ්ඩායමක් විසිනි.

සම්පූර්ණ නඩු තීන්දුව පහතින් :

c.a. writ 291-2015 by Prasad Nilanka

*********************************************

කොරෝනා ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය ගැන රජයේ වෛද්‍ය නිලධාරින්ගෙන් අනතුරු ඇගවීමක්

(16.11.2020 – 14:13 +0530 – hirunews.lk/sinhala)

නොවැම්බර් මාසයේ ගතවූ පළමු දින 14 තුළදී කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභා සීමාවේ විශාල අවදානමක් පවතින බවයි.

මේ අතර, ඊයේ (15) දිනයේ වාර්තා වූ ආසාදිතයින් 704 දෙනා අතරින් 701 දෙනෙකු මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයින් වනවා.

වාර්තා වූ අනෙක් ආසාදිතයින් තුන් දෙනා (3) විදේශ රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

දේශීයව වාර්තා වූ ආසාදිතයින් 701 දෙනා අතරින් 541 ක් වූ වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයේ 39 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයේ 08 දෙනෙකුද ඊයේ (15) වාර්තා වූ ආසාදිතයින් අතර වනවා.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 13,788 ක්.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 17,287 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

සම්පූර්ණයෙන්ම සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 11,495 ක්.

තවදුරටත් ආසාදිතයින් 5,734 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර, අත්බෝම්බයක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දකුණු කළුතර පොලිසිය සහ කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් එක්ව මේ මස 06 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මෙම සැකකරුවන් 07 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බූස්ස බන්ධනාගාරය වෙත යොමුකිරීමෙන් පසු සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී එය තහවුරු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ හේතුවෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් නිලධාරීන් කිහිප දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති අතර, ඔවුන් අද (16) දිනයේදී ස්වයං නිරෝධායනයට ලක් කරන බව දකුණු කළුතර පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.

++++++++++++++++++++++

(16.11.2020 – 15:20 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් සංචාරක රියදුරන් සඳහා රජය ලබාදෙන රුපියල් 15,000 ක දීමනාව කඩිනමින් ගෙවීමට වහා කටයුතු කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ සඳහා ඉල්ලුම් කර සුදුසුකම් සපුරා ඇති සියලුදෙනාට ඉදිරි සතිය තුළ මෙහි ගෙවීම් කටයුතු සිදුකර අවසන් කරන ලෙසටයි අමාත්‍යවරයා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහතා වෙත උපදෙස් ලබාදී ඇත්තේ ෴

++++++++++++++++++++

(16.11.2020 – 16:18 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 311 දෙනෙක් අද (16) සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11,806 දක්වා ඉහළ ගියා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ආසාදිතයින් 5423 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි.

මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,287 ක් ෴

++++++++++++++++++++

(16.11.2020 – 16:24 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් කල් දමා තිබූ නඩු සඳහා නව දින ලබාදීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා.

කොළඹ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල විසින් මෙම තීරණයට එළඹි බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, අද (16) පෙරවරුවේ කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් විසින් කල් දමා ඇති නඩු සියල්ල යළි පරිශීලනයට ලක් කළ බව හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළා.

ඉන් අනතුරුව, එම නඩු සඳහා නව දින ලබාදීමට පියවර ගන්නා ලෙසටයි විනිසුරුවරුන් විසින් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට නියෝග කර ඇත්තේ.

කල් දමනු ලැබූ නඩු යළි කැඳවන දින මහජනතාවගේ දැන ගැනීම පිණිස දැන්වීමක් වශයෙන් ඉදිරියේදී අධිකරණ භූමියේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි ෴

++++++++++++++++++

(16.11.2020 – 18:22 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 ආරක්ෂා විය හැකි නව එන්නතක් නිපදවීමට ඇමරිකානු සමාගමක් වන Moderna සමාගම සමත්ව තිබෙනවා.

මෙම නව එන්නත 95% කට ආසන්න ප්‍රතිඵල පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ ෴

+++++++++++++++++++

(16.11.2020 – 18:32 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් ආසාදිතයින් 229 දෙනෙකු අද (16) හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් මීට පෙර වාර්තා වූ අසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

++++++++++++++++++++

(16.11.2020 – 19:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ තොග වෙළඳාම සඳහා පමණක් සති දෙකකින් (2) පසු යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා.

පැළියගොඩ මත්ස්‍ය වෙළඳපොළ යළි විවෘත කිරිම සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා අද (16) පෙරවරුවේ එහි නිරික්ෂණ චාරිකාවකට එක්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

අද (16) අලුයම පහේ සිට පිටකොටුව, කොටුව, මරදාන, වේල්ලවීථිය සහ කොම්පඤ්ඤවීථිය පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කිරිමත් සමග මේ වනවිට මෙරට හුදකලා කර ඇති මුළු පොලිස් බල ප්‍රදේශ සංඛ්‍යාව 24 ක්.

කෙසේ වෙතත්, බැස්ටියන් මාවත, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ සහ කොටුව දුමිරිය ස්ථානය දක්වා පොදු ප්‍රවාහන සේවා අද (16) ක්‍රියාත්මක වුණේ හුදකලා ප්‍රදේශ වල නැවැත්වීමකින් තොරවයි.

++++++++++++++++++

සුවය ලැබූ ආසාදිතයන් 12,000 ට ළං වෙයි – කොළඹ සහ අවට ප්‍රදේශවල ඕනෑම අවස්ථාවක, මතුපිටක කොරෝනා වෛරසය පැවතිය හැකියි

(16.11.2020 – 19:22 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව සුවය ලැබූ සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 12,000 කට ආසන්න වී තිබෙනවා.

අද (16) දිනයේදී සුවය ලැබූ ආසාදිතයින් 311 දෙනාද සමඟින් මේ වනවිට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 11,806 ක්.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,423 ක් වන අතර, සිදුවූ මරණ සංඛ්‍යාව 58 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර අද (16) දිනයේදී කොරෝනා ආසාදිතයින් 229 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔවුන් මීට පෙර වාර්තා වූ අසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි ඔහු කියා සිටියේ.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 17,516 ක් ලෙස මේ වනවිට සටහන් වනවා.

ඊයේ (15) දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 541 දෙනෙකු වාර්තා වූ අතර, එම දිස්ත්‍රික්කයෙන් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවද එයයි.

ඒ අතරින් කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 238 ක්.

මේ අතර, කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ කොළඹ නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල ඕනෑම අවස්ථාවක මතුපිටක කොරෝනා වෛරසය පැවතිය හැකි බවයි.

පවතින තත්ත්වය හමුවේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය සඳහා දැඩි සංචරණ සීමා පනවන්නැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඉල්ලීමක් කළා.

මෙරට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 438 ක් බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.

ඒ, කුරුවිට බන්ධනාගාරයේ කාන්තා රැඳවියක ආසාදිතයෙකු ලෙස අලුතින් හඳුනා ගැනීමත් සමඟයි.

මේ අතර, මහනුවර – යටිනුවර ඩිපෝවේ සේවකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමඟ ඔහු සමීපව ඇසුරු කළ පුද්ගලයින් 07 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔවුන්ව ඇසුරු කළ බව පවසමින් එම ඩිපෝවේ සේවකයින් 20 දෙනෙකු පමණ අද (16) ඩිපෝව ඉදිරිපිට රැඳී සිටියේ, තම නිවෙස්වලට යන ලෙස දැන්වූවද එය සිදුකළ නොහැකි බව පවසමින්.

එසේම, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ පවතින දිස්ත්‍රික් මැතිවරණ සහ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙකු කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන්.

මේ අතර, නව පී.සී.ආර්. යන්ත්‍රයක් ස්ථාපනය කිරීම සඳහා තාවකාලිකව පරීක්ෂණ ධාරිතාව අවම කළ මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ නව පී.සී.ආර්. යන්ත්‍රය ස්ථාපනය කිරීම මේ දිනවල සිදු වනවා.

පසුගිය සෙනසුරාදා එම යන්ත්‍රයේ මූලික සවිකිරීම් සිදුකර අවසන් බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා ප්‍රකාශ කළා.

++++++++++++++++++++

(16.11.2020 – 21:32 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොවිඩ් 19 මරණ 03 ක් අද (16) වාර්තා වී තිබෙනවා.

මෙම මරණ තුනත් (3) සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ ගණන 61 දක්වා ඉහළ ගියා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් (2).

මොවුන් 84,70 සහ 75 යන වයස්වල පසුවන්නන්.

++++++++++++++++++

(16.11.2020 – 22:15 +0530 – hirunews.lk/sinhala)

අද (16) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 153 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඔවුන් මීට පෙර වාර්තා වූ අසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව අද (16) දිනයේ මේ වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින ගණන 382 ක් වනවා ෴

+++++++++++++++

මහජන යුතුකම් කේන්ද්‍රයේ චෝදනාව

(16.11.2020 – 20:19 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකරණ නිලධාරිනිය සිදුකළ ප්‍රකාශයෙන් ඉස්ලාම් මූලධර්මවාදයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදී ඇති බවට මහජන යුතුකම් කේන්ද්‍රය චෝදනා කරනවා.

එහි සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් මෙම චෝදනාව සිදුකළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලයට ලිපියක් භාරදීමට පැමිණි අවස්ථාවේදීයි.

+++++++++++++++++++

ජාතික සංවිධානවලට පහරදෙන, ආණ්ඩුව ග්‍රහණයට ගෙන ඇති කල්ලි

(16.11.2020 – 20:42 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව ග්‍රහණයට ගෙන ඇති කල්ලිවල දූෂිත ගනුදෙනු හෙළි කිරීම නිසා ඔවුන් ජාතික සංවිධානවලට පහරදෙන බව ‘සිංහලේ ජාතික සංවිධානය’ පවසනවා.

එහි මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි අද (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.

++++++++++++++++++

95% ක සාර්ථකත්වයක් සහිත කොවිඩ් එන්නතක් ඇමරිකාවෙන්

(17.11.2020 – 07:53 +0530 – hirunews.lk/sinhala)

95% ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන කොවිඞඩ්-19 එන්නතක් ඇමරිකානු ‘මොඩර්නා’ සමාගම මඟින් නිෂ්පාදනය කර තිබෙනවා.

එම පුවත ඊයේ (16) වාර්තා වූයේ ‘ෆයිසර්’ සහ ‘බයෝ එන්ටෙක්’ කොවිඩ් එන්නත 90% ක සාර්ථකත්වයක් පෙන්නුම් කර දින කිහිපයක් ඇතුළතයි.

එමෙන්ම, සතියක් තුළ වාර්තා වූ තවත් සුබවාදී පුවතක් වූයේ රුසියානු ‘ස්පුට්නික් ෆයිව්’ එන්නතද 92% ක සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමයි.

මෙම එන්නත් තුනම මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා යොමුකර ඇති අතර, මොඩර්නා සමාගම සඳහන් කළේ සිය එන්නත සඳහා ඇමරිකානු ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරි දින කිහිපය තුළදී කටයුතු කරන බවයි.

එන්නත ලබාදුන් 30,000 ක් පුද්ගලයින් අතරින් කොවිඩ්-19 ආසාදන ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ 5% කට අඩු ප්‍රමාණයක්.

එමෙන්ම, වයස්ගත පුද්ගලයින්ටද එන්නත සාර්ථක අන්දමින් ක්‍රියාකාරී වීම විශේෂත්වයක්.

මොඩර්නා එන්නත සෙල්සියස් අංශක ඍණ විස්සක උෂ්ණත්වයේ මාස 06 ක කාලයක් සහ සාමාන්‍ය ශීතකරණයක මාසයක පමණ කාලයක් ගබඩා කළ හැකියි.

මොඩර්නා කොවිඩ්-19 එන්නත මගින් වෛරසයේ ජාන කේත හෙවත් ආර්.එන්.ඒ. මාත්‍රාවක් ශරීරයට ඇතුළත් කෙරෙනවා.

එමඟින් කොවිඩ්-19 වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ප්‍රතිදේහ සහ ටී-සෛල වර්ධනය කිරීම එහි යාන්ත්‍රණයයි.

මෙම එන්නත මගින් කිසිදු අහිතකර ප්‍රතිඵලයක් මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන්.

එහෙත්, මොඩර්නා එන්නත මෙන්ම ෆයිසර් – බයෝ එන්ටෙක් එන්නත සහ රුසියානු ස්පුට්නික් එන්නත මගින් ලබන ප්‍රතිශක්තිය කොතෙක් කල් පවතීද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකළ යුතු බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත්, මෙම කොවිඩ්-19 එන්නත් මගින් කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ බලපෑමෙන් ඉදිරි වසර තුළදී ලෝකවාසීන්ට මිදීමට හැකියාවක් ලැබෙනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරනවා.

+++++++++++++++

(17.11.2020 – 08:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් මහ මග මියයන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අසත්‍ය පුවත සංවිධානාත්මකව ජපානයේ සහ ඕස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් දෙදෙනෙකු (2) සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු සිදුකරන අතර, ඊට අදාළව පුද්ගලයින් දෙදෙනෙකුද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ ෴

++++++++++++++++

(17.11.2020 – 08:36 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 ගෝලීය වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස තම සිඟිති දියණියන් දෙදෙනා (2) සමඟ දෝහා කටාර් හි අතරමං වූ ශ්‍රී ලාංකික පවුලක් නැවත මෙරටට පැමිණීම සඳහා සහය පතනවා.

හෝටල් ක්ෂේත්‍රයේ සේවයේ නිරතව සිටි පියාට පසුගිය මැයි මාසයේ රැකියාව අහිමි වී ඇති අතර, මේ වනවිට කිසිදු ආදායමක් නොමැති බවයි ඔහු වීඩියෝ පටයක් අප වෙත එවමින් සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පසුගිය අප්‍රේල් 27 වැනිදා ලියාපදිංචි වූවද, නැවත පැමිණීම සඳහා ගුවන් යානයකට ගෙවීමක් කිරීමට හැකියාවක් නොමැති බව ඔහු කියා සිටියා.

මේ නිසා තමා සහ පවුලේ සාමාජිකයින් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සහය වන ලෙස ඔහු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

කටාරයේ අතරමං වූ එම ශ්‍රී ලාංකික පවුල 0097 43 375 7982 අංකයෙන් සම්බන්ධ කරගත හැකියි.

++++++++++++++++++

(17.11.2020 – 08:40 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඊයේ (16) දිනයේ තවත් තුන්දෙනෙකු (3) කොරෝනා ආසාදනය වීමෙන් මියයාමත් සමගයි.

මොරටුව ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් ඊයේ (16) මියගොස් තිබූ අතර, ඇය මියයාමට හේතුව ලෙස දක්වා තිබුණේ දියවැඩියා රෝගය සමග කොවිඩ් වෛරසය ආසාදනය වීමයි.

එමෙන්ම, මරදාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70 ක පිරිමි පුද්ගලයෙකුද අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ (16) මියගියා.

ඔහුට නිධන්ගත වකුගඩු රෝගයක් සහ ආඝාත රෝගී තත්ත්වයක් පැවති බවත්, කොවිඩ් වෛරසය ආසාදනය වී තිබූ බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කළුවැව මහතා සඳහන් කළා.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 75 ක පිරිමි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගිය අතර, එම මරණයට හේතුව ලෙස දක්වා තිබුණේ දියවැඩියාව, සංජානනීය හෘද රෝගය සහ කොවිඩ් ආසාදනය වීම උත්සන්න වීමයි.

මේ අතර, මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,674 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ (16) පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයින් 382 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඞ් පොකුරේ වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,170 ක් බවයි.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව සුවය ලැබූ සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 12,000 කට ආසන්න වී තිබෙනවා.

ඊයේ (16) දිනයේදී සුවය ලැබූ ආසාදිතයින් 311 දෙනාද සමඟින් මේ වනවිට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 11,806 ක්.

මේ අතර, කොළඹ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ දැඩි සත්කාර ඒකක 15 ක් ද මේ වනවිට සූදානම් කර ඇති අතර, ඊට ඇඳන් 146 ක් ඇතුළත් බවයි.

මේ අතර, පිටකෝට්ටේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බවට ප්‍රදේශවාසීන් චෝදනා නගනවා.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි කර්මාන්තශාලා 3 කින් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු ඊයේ (16) දිනයේ දී වාර්තා වූ බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා කියා සිටියා.

ඒ අනුව, මේ දක්වා කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා 28 කින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 457 ක්.

එමෙන්ම, බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (16) තහවුරු වී තිබෙනවා.

ඒ අනුව, දැනට බූස්ස බන්ධනාගාරයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 49 දක්වා ඉහළ යනවා ෴

++++++++++++++++

(17.11.2020 – 08:41 +0530 – hirunews.lk/sinhala)

3 වන පාසල් වාරය ලබන සඳුදා ආරම්භ කරන්නේ ද යන්න පිළිබඳව තීරණය ගනු ලබන්නේ සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පාසල් ආරම්භ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර විධිමත් වැඩපිලිවෙලක් සකස් කරන බවයි.

විශේෂයෙන් කුඩා දරුවන් පාසල්වලට ගෙන්වා ගැනීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන බවයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++++++

(17.11.2020 – 10:34 +0530 – hirunews.lk/sinhala)

විදේශ රටවල සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 88 දෙනෙකු අද (17) අලුයම කටුනායක ගුවන්තොටුපලින් මෙරටට පැමිණ තිබෙනවා.

ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ අලුයම 12:40 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 29 දෙනෙකු සහ අලුයම 01:45 ට පමණ කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු මෙරටට පැමිණි බවයි.

එමෙන්ම, අලුයම 05:20 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 218 දරණ ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 22 දෙනෙකු මෙරටට පැමිණියා.

මෙලෙස පැමිණි සියලුදෙනා නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බවයි ගුවන්තොටුපළ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ෴

+++++++++++++++++++

(17.11.2020 – 11:18 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 506 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පරණ බෝගම්බර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 41 දෙනෙකු, වැලිකඩ බන්ධනාගාරයෙන් ආසාදිතයින් 15 දෙනෙකු නව ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

එසේම, කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයෙන් ආසාදිතයින් 8 දෙනෙකු, බූස්ස බන්ධනාගාරයෙන් ආසාදිතයින් දෙදෙනෙකු (2), මෙන්ම මහර සහ මැගසින් බන්ධනාගාරවලින් ආසාදිතයෙකු (1) බැගින් වාර්තා වී තිබුණා.

මේ වනවිට පොලිසියේ නිලධාරීන් 750 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ අතර, කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් මහ මග මියයන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අසත්‍ය පුවත ජපානයේ සහ ඕස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් දෙදෙනෙකු (2) සංවිධානාත්මකව සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඊට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු (2) ද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ ෴

===================================

(16.11.2020 – 17:32 +0530 – hirunews.lk/sinhala)

රුපියල් අනූලක්ෂයක් (90,000) පමණ වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක් කිලිනොච්චියේ සිට වලස්මුල්ල දක්වා සුඛෝපභෝගි ජිප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු උතුරුමැද පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුරාධපුර රථ වාහන පොලිස් කොට්ඨාශ නිලධාරින්ගේ ද සහය ඇතිව අද (16) පෙරවරුවේ අනුරාධපුර – ශාවස්තිපුර සුදු පාලම අසල සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය, සුඛෝපභෝගි ජිප් රථය සහ සැකකරු හෙට (17) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වා ඇති බවට සුරාබදු නිලධාරින් සැක පළ කරනවා ෴

*********************************************

ජනප්‍රිය ගායක පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

(16.11.2020 – 17:46 +0530 – hirunews.lk/sinhala)

ජනප්‍රිය ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කළුබෝවිල රෝහලේදී ඔහු මිය යනවිට 69 වන වියේ පසු වුණා ෴

+++++++++++++++

meemessasinhalasongs.com : Paul Fernando (28 songs)

++++++++++++++

***************************************

(16.11.2020 – 19:06 +0530 – hirunews.lk/sinhala)

2021 අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

ලබන වසරේ සේවා වියදම් සඳහා සහ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබා ගැනීම සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (17) පස්වරු 01:40 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ එය මෙරට 75 වන අයවැය වාර්තාව වන බවයි.

2021 මුදල් වර්ෂයට අදාළව රජයේ සේවා වියදම් සඳහා එමගින් වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 2678 ක්.

ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2900 ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට එහිදී යෝජනා කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වනදා සිට 21 වනදා දක්වා අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, ඊට අදාළ ඡන්ද විමසීම 21 වනදා පස්වරු 05:00 ට පැවැත්වෙනවා.

අදාළ කාලය තුළ පාර්ලිමේන්තුව පෙරවරු 09:30 සිට පස්වරු 05:30 දක්වා රැස්වීමට නියමිතයි.

අයවැය කාරක සභා අවස්ථාව 23 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා ක්‍රියාත්මක අතර, තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

හෙට (17) දිනයේ විදේශ තානාපතිවරු සහ මුදල් අමාත්‍යාංශයේ අවසරලත් නිලධාරින්ට පමණක් පාර්ලිමේන්තු රැස්වීම සඳහා ආරාධනා කර ඇති අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පාර්ලිමේන්තුව රැස්වන බව ද පාර්ලිමේන්තු මහලේකම්වරයා ප්‍රකාශ කළා ෴

***************************************

බදියුදීන් ගැන පාස්කු කොමිසමේදී එළියට ආ සාක්ෂිය

(16.11.2020 – 20:57 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ නිවසට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අවස්ථා කිහිපයකදී පැමිණ තිබූ බව ජනාධිපති කොමිසම හමුවේ අද (16) අනාවරණ වුණා.

දෙහිවලදී අත්අංඩංගුවට ගත් අදාළ සැකකරු සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා එවක යුද හමුදාපති මහේෂ් සේනානායක ගෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කර තිබූ බවද මීට පෙර අනාවරණ වී තිබුණා.

+++++++++++++++

***************************************

විදේශ අමාත්‍යාංශයෙන් සංචාරකයින්ට විශේෂ දනුදීමක්

(17.11.2020 – 06:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට හෝ වෙනත් ඕනෑම තෙවැනි රටකට ඇතුළුවීමට අවසර ලබාදීම සඳහා ඕනෑම ආකාරයක මූල්‍යමය අයකිරීමක් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය මෙරටට පැමිණෙන සහ මෙරටින් පිටතට යන සියලුම සංචාරකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ රාජ්‍ය ආයතනවලට හැර, ශ්‍රී ලංකාවට ඇතුළුවීමට හෝ පිටවීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට අවසර දී නොමැති බවයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

මෙරට තුළ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය, වඩාත් අවදානමට ලක්විය හැකි සහ සුදුසුම පුද්ගලයන්ට ප්‍රමුඛතාවය දෙමින් ඉදිරි සතිවල දී නැවත ආරම්භ කරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

විදේශ රටවල පදිංචිව සිටින පුද්ගලයින්ට වැඩිදුර හා සත්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ළඟම ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හෝ කොන්සල් ජනරාල් කාර්යාලයවලට අමතන ලෙසයි දැනීම් දෙන්නේ ෴

***************************************

(17.11.2020 – 08:14 +0530 – hirunews.lk/sinhala)

කොට්ටාව – පැලැන්වත්ත ජල පොම්පාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (17) රාත්‍රී 9 සිට පැය 10 ක කාලයක් ඒ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනවා.

ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ අදාළ කාලය තුල පැලැන්වත්ත, ඇරැව්වල, සිද්ධමුල්ල, පිංහේන හන්දිය, ගොරකාපිටිය පාර, මොරකැටිය පාර සහ නිවත්තිඩිය යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ෴

***************************************

(17.11.2020 – 10:07 +0530 – hirunews.lk/sinhala)

රූමස්සල ගල් පරයක සිරවී ඇති නෞකාව ලබන අප්‍රේල් මාසය වනවිට ඉන් ඉවත්කර නොගතහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

පසුගිය වසරේ ජුලි 18 වන දින ඇතිවූ දැඩි සුළඟකින් ගාල්ල පිටත වරායේ නැංගුරම් ලා තිබූ, ගාල්ල රුහුණු සිමෙන්ති කම්හලට අමුද්‍රව්‍ය ගෙන එන ලද ‘ශ්‍රී ලංකා ග්ලෝරි’‍ නම් වූ මෙම නෞකාව ගසාගෙන ගොස් රූමස්සල සාම චෛත්‍ය අසල ගල්පරයක සිරවී තිබුණා.

නැවේ තෙල් විසිරී සමුද්‍ර දුෂණ වැලැක්වීම සදහා සමුද්‍ර දුෂණ වැළක්වීමේ අධිකාරිය, නැවේ තිබු තෙල් ටොන් 22 ක් ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා.

පසුගිය කාල සීමාව තුලදී මෙම නෞකාව ඉවත්කර ගැනීමේ යම් අපහසුතා ඇති වුවද, ලබන අප්‍රේල් දක්වා කාල සීමාව තුළ මුහුද රළු බවෙන් තොර නිසා නැව ඉවත් කර ගැනීමට හැකියාව පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පෙන්වා දුන්නා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *