2020 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

2020 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

ඊයේත් (15) වැඩිම ආශ්‍රිතයන් කොළඹින් – හුදෙකළා කෙරෙන කාලසීමාව ගැනත් ඉඟියක්

*********************************************

2020 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

(15.11.2020 – 21:39 +0530 – hirunews.lk/sinhala)

2020, 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

2020 ඔක්තෝම්බර් මස 11 වන පැවති මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 326,264 දෙනෙකු පෙනී සිටියා.

මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කිරීමත් සමඟ කඩයිම් ලකුණු ද විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

සිංහල සහ දෙමළ මාධ්‍යන් සඳහා එක් එක් දිස්ත්‍රික්කයන් වෙනුවෙන් නිකුත් කළ කඩයිම් ලකුණු පහතින්.

විභාග ප්‍රතිඵල සදහා පිවිසෙන්න :
[ https://www.doenets.lk/examresults ]

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කිරීමත් සමඟ කඩයිම් ලකුණු ද විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

කඩඉම් ලකුණු යටතේ සිංහල මාධ්‍ය ඉහළම ලකුණු සංඛ්‍යාව වන 169 දිස්ත්‍රික්ක 09 කට වෙන් වී තිබෙනවා.

අඩුම කඩඉම් ලකුණ සංඛ්‍යාව වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා වෙන් කර ඇති අතර එය 157 ක්.

දෙමළ මාධ්‍ය ඉහළම කඩඉම් ලකුණ 162 ක් වන අතර අවම කඩඉම් ලකුණු සංඛ්‍යාව 155 ක් වනවා.

මෙවර ශිෂ්‍යාධාර ලබා දෙන සිසුන් සංඛ්‍යාව 20,000 ක් වන අතර විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ඉන් ශිෂ්‍යත්ව 250 ක් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෙන් කර ඇති බවයි.

සිංහල සහ දෙමළ මාධ්‍යන් සඳහා එක් එක් දිස්ත්‍රික්කයන් වෙනුවෙන් නිකුත් කළ කඩයිම් ලකුණු පහතින් :

++++++++++++++++

මෙවර 5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල 200 න් 200 ම ගත් අය කිහිපදෙනෙක්

(15.11.2020 – gossiplankanews.com)

++++++++++++++++

(16.11.2020 – 08:06 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිඵල නිකුත් වී ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උපරිම ලකුණු සංඛ්‍යාව වන 200 ලබාගත් සිසුන් 10 දෙනෙකු දිවයිනෙන් වාර්තා වනවා.

ඒ අනුව ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සියති විතුම්සා සිසුවිය, ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙව්ලි යසස්මි සිසුවිය, රත්නපුර ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුදි දම්සරා සිසුවිය, ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිඳු චිරන්ජිත් සිසුවා ලකුණු 200 ලබාගත් සිසුන්ට අයත්.

මේ අතර මරදාන සහිරා විද්‍යාලයේ ෆර්සාන් මොහොමඩ් අමර් , දිඹුලාගල සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ තේනුජ මනුමිත යන දරුවන් ද මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ක් ලබාගැනීමට සමත්ව තිබෙනවා.

එසේම, තවත් සිසුන් 06 දෙනෙකුද ලකුණු 200 ලබාගත් සිසුන් අතර වනවා.

මේ අතර ප්‍රතිඵල සකස් කිරීමේදී දිවයිනේ හෝ දිස්ත්‍රික්ක වශයෙන් සිසුන්ගේ මට්ටම ප්‍රකාශයට පත් නොකිරීම විශේෂත්වයක්.

ප්‍රතිඵල නිකුත් කර ඇත්තේ අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව, දිස්ත්‍රික්කය සහ මාධ්‍ය අනුව අදාළ කඩඉම් ලකුණු සමඟයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (15) නිකුත් වූ අතර, පාසල්වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා කඩඉම් ලකුණුද විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලැබුවා.

පසුගිය ඔක්තෝම්බර් 11 වැනිදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණේ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් කිහිප වතාවක් කල් දැමීමෙන් අනතුරුවයි.

ඒ සඳහා සිසුන් 3,31,741 ක් ඉල්ලුම් කර තිබූ අතර, සිසුන් 3,26,264 ක් පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඊයේ (15) නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 20,000 කට ශිෂ්‍යාධාර හිමි වනවා.

ඒ අතරින් ශිෂ්‍යාධාර 250 ක් වෙන් කෙරෙන්නේ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහායී.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණු සංඛ්‍යාව 169 ක් ලෙස සටහන් වනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 165 ක් වන අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව සටහන් වන්නේ 164 ක් ලෙසයි.

පුත්තලම, අනුරාධපුරය, පොලොන්නරුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණු සංඛ්‍යාව 163 ක්.

මොණරාගල දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 162 ක් ලෙස සටහන් වන අතර, නුවරඑලිය දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 161 ක්.

මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 157 ක්.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අදාළ පාසල්වලට බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර, සියලු පාසල්වල ප්‍රතිඵල ලේඛණ ඉදිරියේදී තැපැල් කර එවීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ෴

*********************************************

ඊයේත් (15) වැඩිම ආශ්‍රිතයන් කොළඹින් – හුදෙකළා කෙරෙන කාලසීමාව ගැනත් ඉඟියක්

(16.11.2020 – 06:44 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (15) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 704 දෙනා අතරින් 541 දෙනෙකු ම වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘හිරු TV පත්තරේ විස්තරේ’ වැඩසටහන වෙත එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ එම ආසාදිතයන් අතරින්ද වැඩි පිරිසක් වාර්තාවන්නේ කොළඹ නගරසීමාව ආශ්‍රයෙන් බවයි.

එම ආශ්‍රිතයන් බොහෝ පිරිසක් මේ වනවිට හුදෙකළා කර ඇති ප්‍රදේශ සහ අද (16) උදෑසන 5 සිට හුදෙකළා කරන ලද ප්‍රදේශවලින් වාර්තාවීම ද විශේෂත්වයක්.

ඉන් අනෙකුත් ප්‍රදේශවලට වෛරසය පැතිර යාම වැළක්වීමට මෙලෙස පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර තැබීමට පියවර ගත් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් පලකළ යුද හමුදාපතිවරයා සඳහන් කළේ එම ප්‍රදේශ හුදෙකළා කර ඇත්තේ දීර්ඝ කාලීනව නොව කෙටි කාලීනව බවයි.

ඒ අනුව අදාළ ප්‍රදේශ හුදෙකළා කර තැබෙන කාලසීමාව පිළිබඳව, අදාළ ප්‍රදේශයන්හි ආශ්‍රිතයන් වාර්තාවන ආකාරයට තීරණය කෙරෙන බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.

එසේම හුදෙකළා කර ඇති ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සෞඛ්‍ය අංශවල දැඩි අධීක්ෂණය යටතේ පවත්වාගෙන යාමට අවසර හිමිවනු ඇති.

මේ අතර හුදෙකළා කර ඇති ප්‍රදේශවල දුරගමන් සිදුකරන රථවාහනවලට ගමනාගමනයට අවසර හිමි වුවද එම ප්‍රදේශවල කුමන හේතුවකට හෝ මගීන් නග්ගවා ගැනීමට හෝ බැස්සවීමට අවසර හිමිනොවන බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ‘හිරු TV පත්තරේ විස්තරේ’ වෙත එක්වෙමින් ප්‍රකාශ කළේ ෴

++++++++++++++++

(16.11.2020 – 08:46 +0530 – hirunews.lk/sinhala)

අද (16) අලුයම පහේ (05:00) සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, කෙසෙල්වත්ත සහ වේල්ල වීදිය යන පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කෙරුණා.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බල ප්‍රදේශය ද අද (16) අලුයම 05:00 සිට හුදකලා කළ අතර, ඒ අනුව මේවනවිට මෙරට හුදකලා කර ඇති මුළු පොලිස් බල ප්‍රදේශ සංඛ්‍යාව 24 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

එමෙන්ම, බස්නාහිර පළාතෙන් පිටතට යාම සඳහා පනවා තිබූ සංචරණ සීමාව ඊයේ (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

මේ අතර, අද (16) සිට හුදකලා කෙරෙන මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය කෙසෙල්වත්ත සහ වේල්ල වීදිය යන පොලිස් වසම් වල ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්තශාලා සහ අධිකරණ කටයුතු පවත්වාගෙන යා හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම, කොළඹ දක්වා බස්රථ සහ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි අද සිදු කෙරෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා කියා සිටියේ ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංගම බස් ධාවනය සාමාන්‍ය පරිදි ආරම්භ වු බවයි.

අද (16) අලුයම 05:00 සිට දුම්රිය ධාවනය යළි ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අද (16) දිනයේදි කාර්යාල දුම්රිය ඇතුළු ගමන්වාර 80 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි එහි ගමනාගමන අධිකාරී රංජිත් පත්මලාල් මහතා කියා සිටියේ.

පෞද්ගලික බස්රථ ද අද (16) සිට සාමන්‍ය පරිදි ධාවනය වනවා. හුදකලා ප්‍රදේශ වල කිසිදු පොදු ප්‍රවාහන සේවයක් නොනවත්වා ධාවන විය යුතු බව පොලීසිය ප්‍රකාශ කළා.

මේ වනවිට කොටුව බස් නැවතුම්පොල සහ දුම්රිය ස්ථානය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

++++++++++++++++++++

(16.11.2020 – 08:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මරණ 5 ක් ඊයේ (15) වාර්තාවීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගියා.

මියගිය ආසාදිතයින් 05 දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර ඉන් දෙදෙනෙකු (2) 88 වන වියේ පසුවනවා.

හෘදයාබාධ වැළදිම හේතුවෙන් මිය ගිය එම අසාදිතයින් දෙදෙනො (2) කොළඹ 12 සහ 13 ප්‍රදේශ වල පදිංචිකරුවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

අනෙක් මියගිය පුද්ගලයන් 3 දෙනා අතර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි වියේ පසුවන පිළිකාවකින් පෙලුණු අයෙකු සිටින බව සඳහන්.

මියගිය අනෙක් පුද්ගලයින් දෙදෙනා (2) ගෙන් එක් අයෙක් 54 හැවිරිදි ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ ද කොරෝනා ආසාදනය වීම නිසා දිර්ඝ කාලයක සිට පෙලුණු පිළිකා රෝගය උත්සන්න වීමයි.

79 හැවිරිදි මියගිය අනෙක් ආසාදිතයා බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු මිය යාමට හේතුව පෙනහලු රෝගයක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුක් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර, මෙරට මුළු කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 17,287 දක්වා ඉහළ ගියා.

ඒ, ඊයේ (15) නව ආසාදිතයන් 704 දෙනෙකු වාර්තාවීමත් සමඟයි.

ඊයේ (15) හදුනාගත් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගෙන් ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

මේ අනුව, මේ දක්වා වාර්තා වූ පෑලියගොඩ සහ දිවුලපිටිය පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,788 දක්වා ඉහළ ගියා.

ඒ අනුව, තවදුරටත් ආසාදිතයින් 5,734 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

ඊයේ (15) දිනයේදී කොරෝනා ආසාදිතයින් 171 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ, සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 11,495 දක්වා ඉහළ ගියා.

එසේම, ඊයේ (15) වනවිට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද 437 දක්වා ඉහළ ගියා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ පවතින තත්ත්වය හමුවේ සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි.

ඒ අනුව, සියලුම බන්ධනාගාර නිලධාරීන් අද (16) පෙරවරු 08:00 පෙර බන්ධනාගාරවලට සේවය සඳහා වාර්තා කළ යුතු බව එහි පාලන කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සඳහන් කළා.

මේ අතර, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවකයෙකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා.

මෙම රෝහල් සේවකයා මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ සහෝදරයෙකුටද කොරෝනා වෛසරය අසාදනය වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කළේ.

ඒ අනුව මේ වනවිට එම රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකුට වෛරසය අසාදනය වී තිබෙනවා.

එමෙන්ම එහි ළමයින් 20 දෙනෙකු සහ මව්වරුන් 12 දෙනෙකු වෛසරය අසාදනය වු බව පසුගියදා වාර්තා වුණා ෴

+++++++++++++++++++

(16.11.2020 – 11:29 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශ රටවල සිරවී සිටි තවත්, ශ්‍රී ලාංකිකයින් 97 දෙනෙකු අද (16) කටුනායක ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණියා.

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවල සේවය කිරීම සඳහා සුඩානය වෙත ගොස් ඉතියෝපියාවේ සිට අද (16) අලුයම 02:00 ට පැමිණි ශ්‍රී ලාංකික හමුදා නිලධාරින් 79 දෙනෙකු ද ඊට අයත්.

එමෙන්ම, අද (16) අලුයම 01:45 ට කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙකු සහ පෙරවරු 09:10 ට පමණ පාකිස්ථානයේ ලාහෝර් සිට ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණියා ෴

========================================

***************************************

(16.11.2020 – 09:23 +0530 – hirunews.lk/sinhala)

2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව හෙට (17) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පස්වරු 01:40 ට එම අයවැය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අයවැය දෙවන වර කියවීමේ විවාදය දින 4 ක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනිද්දා (18) සිට ලබන 21 වනදා දක්වායි.

එම දිනවල දිනපතා අයවැය විවාදය සිදුකෙරෙන අතර, දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන 21 වනදා පස්වරු 05:00 ට සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 23 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර, අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා පස්වරු 05:00 ට සිදුකිරීමට නියමිතයි.

රට තුළ පවත්නා තත්ත්වය හේතුවෙන් මෙවර අයවැය විවාදය පවත්වන දින ගණන සීමිත කර ඇති අතර, පාර්ලිමේන්තුව වෙත මාධ්‍යවේදීන් කැඳවීමද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

***************************************

(16.11.2020 – 10:12 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වාද්දුව සහ කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට (17) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන මණ්ඩලය සඳහන් කර ඇත්තේ හෙට (17) පෙරවරු 08:30 සිට පස්වරු 07:30 දක්වා පැය එකොලහමාරක (11½) කාලයක් මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බවයි.

ඒ අනුව, වාද්දුව, වස්කුඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, බෝම්බුවල, පයාගල, බේරුවල, මග්ගොන, අලුත්ගම, දර්ගානගරය සහ කළුවාමෝදර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති ෴

***************************************

(16.11.2020 – 12:40 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නියමුවරියන් දෙදෙනෙකු (2) ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලලත් නිලධාරින් ලෙස සුදුසුකම් ලැබුවා.

ඔවුන් ත්‍රිකුණාමලය – චීන වරාය ගුවන් හමුදා ඇකඩමියේ පුහුණුව ලැබූ අයයි.

ඔවුන්ට පියාසර නිල ලාංඡන පැළදවීම ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ සහභාගිත්වයෙන් චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේදී අද (16) උදෑසන සිදුකෙරුණා ෴

***************************************

හොර සල්ලි අච්චු ගැසූ ව්‍යාජ ගුවන් යානා ඉංජිනේරුවරයා පොලිසියට කොටුවෙයි

(16.11.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ගුවන් යානා ඉංජිනේරුවරයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට වසර 10 කට පමණ පෙර කටුනායක ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ රාජකාරියක නියැලී සිටි පුද්ගලයෙකු බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.

ඔහු වෙන්නප්පුව, ලුනුවිල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම පුද්ගලයා විසින් අත්‍යාවශ්‍ය සේවා සදහා ඇදිරි නීති බලපත්‍ර සකස් කරමින්, විවාහ තුනක් (3) සිදු කරගනිමින් කටුනායක, කෝවින්න ප්‍රදේශයේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටියදීයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.

අදාළ සැකකරු ආසියාවේ හොදම ගුවන් යානා ඉංජිනේරුවරයා තමන් ලෙසද ව්‍යාජ සහතික සහ රන් පදක්කම් සකස් කරගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඔහු සිය පළමු විවාහය වෙන්නප්පුව ප්‍රදේශයේ කාන්තාවක සමග සිදු කර ගෙන ඇති අතර, දෙවන විවාහය රත්නපුර ප්‍රදේශයේ ධනවත් කාන්තාවක සමග සිදු කර ගෙන ඇති අතර තුන්වන විවාහය මොරටුව ප්‍රදේශයේ තවත් ප්‍රබල ධනවත් කාන්තාවක සමග සිදුකරගෙන ඇති බවයි හෙළිවී ඇත්තේ.

ඒ සෑම විවාහයක්ම තමන් ලොව කීර්තිමත් ගුවන් යානා ඉංජිනේරුවරයෙකු බවට රවටා සිදුකරගෙන ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු විසින් මුද්‍රණය කර බෙදාහැරීමට සූදානම් කර තිබූ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක්, ඒවා මුද්‍රණය කිරීමට යොදා ගත් පරිගණක උපකරණ, ඔහු සතුව තිබූ ව්‍යාජ සහතික පත්‍ර, ව්‍යාජ රන් පදක්කම්, ව්‍යාජ සේවා හැදුනුම්පත් ඇතුළු තවත් උපකරණ සහ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

***************************************

(16.11.2020 – 13:19 +0530 – hirunews.lk/sinhala)

රියදුරු බලපත්‍රයක් නොමැතිව අපරික්ෂාකාරීව සුඛෝපභෝගී ජීප් රථයක් ධාවනය කර අනතුරක් සිදුකිරීම හේතුවෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය සහ තවත් පුද්ගලයෙකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට පෙර පොලිස් නිලධාරියෙකුට මරු කැඳවමින් බම්බලපිටිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර තිබුණේද මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේම පුත්‍රයෙක්.

නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථය පාලනය කර ගැනීමට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඊයේ (15) පස්වරුවේ මෙම අනතුර සිදුව තිබුණා.

අදාළ ජීප් රථය නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිටින් දිවෙන නිදහස් මාවත අසළ පිහිටි පෞද්ගලික මොටර් රථ ප්‍රදර්ශනාගාරයක ගැටී තිබුණු අතර, ඒ හේතුවෙන් ප්‍රදර්ශනාගාරයට දැඩි අලාභහානි සිදුව තිබුණේ මෙලෙසින්.

අනතුරෙන් මෝටර් රථ ප්‍රදර්ශනාගාරයේ අලෙවියට තිබූ සුඛෝපභෝගී මෝටර් රථයකට දැඩි අලාභහානි සිදුව තිබුණා.

අනතුර සිදුවී සුළු වේලාවකට පසු එම මෝටර් රථයේ අංක තහඩු ඉවත් කිරීමට පුද්ගලයෙකු කටයුතු කරන ආකාරයද දක්නට ලැබුණා.

අනතුර සම්බන්ධයෙන් සැකපිට නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය සහ තවත් පුද්ගලයෙකු කුරුඳුවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද (16) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, ඉකුත් වසරේ පෙබරවාරි මස 24 වැනි දින බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්කරමින් බම්බලපිටිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස ඩිෆෙන්ඩර් රථයක් පදවා සිදුකළ අනතුරක් වාර්තා වී තිබුණා.

එම අනතුරට අදාළ ඩිෆෙන්ඩර් රථය පදවා තිබුණේද නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා විසින්.

+++++++++++++++++

“කුරුඳුවත්තේ අනතුර කළේ මම නෙවෙයි” – සමාජ මාධ්‍යවල කතාවන තරුණියගෙන් විශේෂ ප්‍රකාශයක්

(16.11.2020 – 17:26 +0530 – hirunews.lk/sinhala)

රියදුරු බලපත්‍රයක් නොමැතිව අපරික්ෂාකාරීව සුඛෝපභෝගී ජීප් රථයක් ධාවනය කර අනතුරක් සිදුකිරීම හේතුවෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය සහ තවත් පුද්ගලයෙකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා.

නුගේගොඩ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථය පාලනය කර ගැනීමට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඊයේ (15) පස්වරුවේ මෙම අනතුර සිදුව තිබුණා.

අදාළ ජීප් රථය නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිටින් දිවෙන නිදහස් මාවත අසළ පිහිටි පෞද්ගලික මොටර් රථ ප්‍රදර්ශනාගාරයක ගැටී තිබුණු අතර, ඒ හේතුවෙන් ප්‍රදර්ශනාගාරයට දැඩි අලාභහානි සිදුව තිබුණා.

මෙම අනතුරත් සමඟ අනතුර සිදුවූ ස්ථානයේ සිටි තරුණියක් පිළිබදව සමාජ මාධ්‍යවල දැඩි කතා බහට ලක් වූ අතර ඒවායේ සඳහන් වුණේ අදාල තරුණිය අනතුර සිදුකළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය බවටයි.

කෙසේ වෙතත් එම ඡායාරූපයේ සිටින සින්ඩි වික්‍රමනායක නැමැති තරුණිය පවසනේ තමන් එම අනතුරට සම්බන්ධ අයෙක් නොවන බවත් තමා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය නොවන බවයි.

සිය මිතුරියක් වන පොලිස් අධිකාරීවරයාගේ දියණිය අතින් මෙම අනතුර සිදුවූ බවත් එම අවස්ථාවේ ඇයට උදව් කිරීම සඳහා එම ස්ථානයේ රැඳී සිටි බවයි සින්ඩි වික්‍රමනායක නැමැති තරුණිය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් විශේෂ සටහනක් ඇය සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණා ෴

++++++++++++++++

නෙළුම් පොකුණ රඟහල අසල අනතුර – මෝටර් රථය පැදවූ තරුණියට ඇප

(16.11.2020 – 19:39 +0530 – sinhala.adaderana.lk)

කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල මෝටර් රථ අලෙවිසැළක සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් තරුණියට ඇප ලබාදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අනතුරින් පුද්ගල හානි කිසිවක් සිදු නොවීම යන කරුණ සලකා ඇයට ඇප ලබාදුන් බවය.

අපරික්ෂාකාරීව සුඛෝපභෝගී ජීප් රථයක් ධාවනයකර අනතුරක් සිදුකිරීම හේතුවෙන් මෙලෙස කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ 20 හැවිරිදි තරුණියක් වන අතර ඇය නුගේගොඩ උසස් පොලිස් නිලධාරියෙකුගේ දියණිය වේ.

අනතුර සිදුවන අවස්ථාවේ රථයේ සිටි තවත් අයෙක් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අනතුර සිදුව ඇත්තේ රථය පාලනය කරගත නොහැකි වීමෙන් බව වාර්තා වේ.

නිදහස් මාවත ආසන්නයේ නෙළුම් පොකුණ රඟහල අසල පිහිටා තිබූ මොටර් රථ ප්‍රදර්ශනාගාරයේ ගැටී සිදුවූ මෙම අනතුරින් ප්‍රදර්ශනාගාරයට හා එහි තිබූ සුඛෝපභෝගී මෝටර රථ කිහිපයකට අලාභ හානි සිදුවී තිබේ.

අනතුරට ලක්වූ මෝටර් රථයේ අංක තහඩු ගලවා ඉවත්කරන ආකාරය ද කැමරාවල සටහන්ව තිබුණි.

පසුගිය වසරේ පෙබරවාරි මස බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ගැටී මියයාමට හේතුවූ ඩිෆෙන්ඩර් රිය පදවා තිබුණේ ද අදාළ අනතුර සිදුකළ තරුණියගේ සහෝදරයා විසිනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක අතර පුද්ගල හානි සිදුව නොමැති බැවින් අනතුර සිදුකළ පාර්ශවය අලාභ පියවීමේ එකඟතාවකට පැමිණියහොත් පරීක්ෂණ අනවශ්‍ය වියහැකි බවය.

එහෙත් ඔහු වැඩිදුරටත් පැවසුවේ කුරුඳුවත්ත පොලිසීය විසින් ඇප ලබා දුන්නද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග අනුව නඩු පවරන බවය.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සින්ඩි වික්‍රමනායක නම් තරුණියක් ෆේස්බුක් සටහනක් තබමින් පවසා තිබුණේ එම අනතුරට තමා සම්බන්ධ නැති බවත් තමා එම ස්ථානයට ගියේ සිය මිතුරන් ගැන සොයාබැලීමට බවත්ය.

+++++++++++++++++

රථ ගාය හැදුණු SSP ගේ දුව ‘රෙෂානි මලිෂාට’ පොලිසියෙන්ම ඇප දී යවලා

(17.11.2020 – 09:06 +0530 – truenews.lk)

රියැදුරු බපත්‍රයක් නොමැතිව වාහනයක් පදවා අනතුරක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණිය සහ එම වාහනයේ හිමිකරු ඊයේ (16 වැනිදා) කුරුඳුවත්ත පොලිසිය මගින් පොලිස් ඇපමත මුදාහැර තිබෙනවා.

මෙසේ මුදාහැර ඇත්තේ රෙෂානි මලිෂා රත්නායක සහ මොහොමඩ් සම්රාස් අහමඩ් යන දෙදෙනායි.

ඔවුන් ඊයේ (16) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය මුලින් සඳහන් කර තිබුණේ.

සැකකාරිය විසින් පදවන ලද ජීප් රථය පෙරේදා (15 වැනිදා) කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලදී මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ වාහන අලෙවිසලකට කඩාවැදී තිබු අතර මේ අවස්ථාවේදී අදාළ වාහනයේ හිමිකරුද එම ජීප් රථයේ සිට තිබෙනවා.

පවතින කෙරෝනා වසංගත තත්ත්වය හමුවේ සැකකරු හා සැකකාරිය මෙසේ පොලිස් ඇපමත මුදාහැර ඇති නමුත් ඉදිරි දිනකදී අධිකරණය හමුවට ඔවුන් ඉදිරිපත් කරන බව පොලිසිය පවසනවා ෴

++++++++++++++++

[ https://www.facebook.com/watch/?v=853986375338787 ]

***************************************

(16.11.2020 – 13:48 +0530 – hirunews.lk/sinhala)

කොළඹ විශ්වවිද්‍යාලයට අයත් කාන්තා නේවාසිකාගාරයක් අත්තනෝමතික ලෙස නාගරික සංවර්ධන අධිකාරීය විසින් පවරා ගැනීමට උත්සාහ කරන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය චෝදනා කරනවා.

කෙසේ වෙතත්, නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම මත අදාළ නේවාසිකාගාරය සහිත භූමිය පවරා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

***************************************

(16.11.2020 – 13:59 +0530 – hirunews.lk/sinhala)

මාර්ගයක ඉදිකිරීම් හේතුවෙන් ඒ අසළ පිහිටි නිවසක් ගිලා බැසීමේ අවදානමකට ලක්ව තිබෙන පුවතක් රුවන්වැල්ල – බටුවිට ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මේ 59 හැවිරිදි ආරියවතී සහ 65 හැවිරිදි ගුණපාල යුවළයි.

මව්පියන්ගෙන් උරුම වූ රුවන්වැල්ල, බටුවිට ප්‍රදේශයේ පිහිටි ඉඩමක ගොඩනගා ගත් මෙම නිවසේ ඔවුන් ජීවත්ව සිටින්නේ දශක 3½ පමණ සිටයි.

කුරුඳු පැල අලෙවියෙන් සිය ජීවිකාව සරිකරගත් මෙම යුවළට එම කටයුතු අත්හරින්නට සිදුවන්නේ ගුණපාල මහතා රෝගාතුරවීමත් සමඟයි.

ඒ අනුව කිසිඳු හවුහරණක් නොමැති මෙම යුවළට ඇති එකම ආදායම් මාර්ගය වී ඇත්තේ සමාජ මෙහෙවරක් ලෙස සිදුකරන සර්ප විෂ වෙදකමේදී රෝගීන් පිරිනමන කිසියම් හෝ මුදලක් පමණයි.

යෝජිත රත්නපුර – කටුනායක අධිවේගී මාර්ගයට පිවිසුම් මාර්ගයක් ලෙස සංවර්ධනය කෙරුණු තල්දූව – අවිස්සාවේල්ල මාර්ගය සඳහා පර්චස් 16 කින් සමන්විත වූ මොවුන්ගේ ඉඩමෙන් පර්චස් නවය හමාරක (9½) කොටසක් අත්පත් කරගෙන තිබෙනවා.

ඒ වෙනුවෙන් ඔවුන්ට පිරිනැමුණු වන්දි මුදල රුපියල් 3,45,000 ක්.

කෙසේ වෙතත්, මේ වනවිට එම නිවස පිහිටි පරිශ්‍රය ගිලා බැසීමේ අවදානමක් මතුවීම හේතුවෙන් මෙම යුවළ පත්ව සිටින්නේ දැඩි අසීරුතාවකටයි.

***************************************

(16.11.2020 – 14:03 +0530 – hirunews.lk/sinhala)

විවිධ වර්ගයේ අලංකාර වූ මලින් තම ජීවිතය සුවඳවත් කරගත් මල් වගාකරුවන් මේ වනවිට දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිනවා.

ඒ, කොවිඩ් 19 වසංගතයත් සමඟ අලෙවි කර ගැනීමට නොහැකි වූ මල් වර්ග වගාවන් තුළම පරවීයාම හේතුවෙන්.

වැලිමඩ, ඌව පරණගම, බොරලන්ද, කැප්පෙටිපොල, දියතලාව, බණ්ඩාරවෙල, නුවරඑළිය ආදී ප්‍රදේශ රැසක පවුල් සිය ගණනක් මල් වගාවේ නිරත වනවා.

විවිධ වර්ගයේ රෝස, ඇන්තූරියන්, කානේෂන් ආදී මල් වර්ග වගා කොට අලෙවි කිරීම මොවුන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගයයි.

මංගල, අවමංගල මෙන්ම විවිධ උත්සව සහ අලංකරණ කටයුතු උදෙසා මල් අලෙවිය සිදු කරන බව මල් වගාකරුවන් පවසනවා.

විශාල මුදලක් වැය කරමින් කාලයක් තිස්සේ පෝෂණය කළ වගාවේ මල් අස්වැන්න මෙරට පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අලෙවි කර ගැනීමට නොහැකිව වගා බිම්වලම පරවීමට ඉඩ හැර ඇති ආකාරය ඔවුන් මෙලෙස පැහැදිලි කළා.

***************************************

මට ඕනේ මගේ මිනිස්සු බේරගන්න… වැරදි දෙයක් කරනවානම් මම සූදානම් හිරේට යන්න – හෙළ වෛද්‍ය අමිල සංජීව

https://www.youtube.com/watch?v=8DOTlJ05Ixs
15-11-2020

***************************************

අති ප්‍රභල වට්ටෝරු 2 ප්‍රථම වරට හෙළි කරයි – දේශබන්ධු වික්‍රමආරච්චි වෙදමහතා

https://www.youtube.com/watch?v=0On0VBxwBgg
14.11.2020

++++++++++++++++++

https://www.youtube.com/watch?v=GzD9uKa2UIA
18-11-2020
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *