නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශවලට කටයුතු කළයුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශයක්

නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශවලට කටයුතු කළයුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශයක්

බොරැල්ල පොලිසියේ තවත් 08 කට කොරෝනා

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ඉඩම් කොල්ලකන කණ්ඩායම ගැන විමර්ශනයක්

*********************************************

නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශවලට කටයුතු කළයුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශයක්

(02.11.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සඳහාද සීමා කිරීම් හඳුන්වාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ( http://www.health.gov.lk ) පවසනවා.

රට තුළ දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා ‘ඩ්‍රීම්’ (DReAM) නැමති සංකල්පය හදුන්වාදෙන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

රට තුළ දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය වරින් වර වෙනස්වීම්වලට භාජනය වන අතර දැනට රට තුළ ඇති තත්ත්වය ‘අල්අර්ට් ලෙවල් ත්‍රී’ (Alert Level 3) ලෙසයි සැලකෙන්නේ.

එම නිසා මෙම ‘ඩ්‍රීම්’ (DReAM) සංකල්පයට අනුගතව ක්‍රියා කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. එනම් :

ඩී (D) ලෙසින් හඳුන්වන්නේ පුද්ගල දුරස්ථභාවය, පුද්ගලයින් ඒකරාශීවීම් නොමැතිවීම සහ නිවසේ රැඳී සිටීමයි.

ආර් ඊ (Re) ලෙස ශ්වසන ආචාර විධි හඳුන්වාදෙනු ලබනවා.

ඒ (A) ලෙස හැඳින්වෙන්නේ විෂබීජහරණ ක්‍රියා පිළිවෙත් වන අතර

එම් (M) යනු මුහුණු ආවරණ නිසි ලෙස භාවිත කිරීමයි.

නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශවල කටයුතු කළ යුතු ආකාරයද එහි දැක්වෙන අතර අත්‍යවශ්‍ය සේවා සඳහා හෝ අවසර ලත් රාජකාරි සඳහා නිරත නොවන්නේ නම් නිවසින් පිටවීමට අවසර ලබාදී ඇත්තේ පුද්ගලයින් දෙදෙනෙකුට (2) පමණයි.

පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී බස් රථයේ සහ දුම්රියේ සියයට 75 ක ආසන ධාරිතාව දක්වා මගීන් ප්‍රවාහනය කිරිමට පමණක් අවසර ලබා දී තිබෙනවා.

පුද්ගලික කුලී රථ සේවා භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශය වන්නේ මෝටර් රථ සහ ත්‍රිරෝද රථ උපරිම මගීන් දෙදෙනෙකුට (2) සීමිත බවයි.

වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාවයෙන් 50% කට සීමා කළ යුතුවනවා.

අත්‍යවශ්‍ය උපයෝගී සේවාවන් ලෙස සැලකෙන විදුලිය, ජලය, විදුලි සංදේශ, ඉන්ධන පිරවුම්හල්, එල්.පී. ගෑස් ස්ථාන, මෝටර් ගරාජ්‍, ටයර් සේවා සහ තැපැල්, කුරියර් සේවා ක්‍රියාත්මක කළ යුත්තේ අවම කාර්ය මණ්ඩලයක් යොදා ගනිමිනුයි.

රාජ්‍ය කාර්යාලවල මෙන්ම පෞද්ගලික අංශයේ කාර්යාලවලද අවම කාර්ය මණ්ඩලයක් සමඟ කටයුතු කළ යුතු අතර නිවසේ සිට වැඩකිරීමට හැකි සේවකයින් සඳහා ඉඩ ලබා දිය යුතුවනවා.

බැංකු, මූල්‍ය සමාගම්, උකස් මධ්‍යස්ථාන ආදී මූල්‍ය ආයතනවල ගනුදෙනු කරුවන් සඳහා ඉඩ ප්‍රමාණයෙන් සියයට 50 ක ඉඩ ප්‍රමාණයක ගනුදෙනු කරුවන් ඇතුළත් කර ගත හැකියි.

අධිකරණ කටයුතුද සිදු කළ යුතු වන්නේ මුළු ආසන ධාරිතාවයෙන් සියයට 50 ක උපරිමයකින් යුතුව බවටයි එම මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.

බන්ධනාගාරවලට අමුත්තන්ට පැමිණීමට අවසර නොමැති අතර රජයේ රෝහල්, පුද්ගලික රෝහල්, ෆාමසි, රසායනාගාර, වෛද්‍ය සේවා ඇතුළුව සෞඛ්‍ය අංශ සඳහාද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සේවා පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අවම සේවකයින් සංඛ්‍යාවක් යොදා ගත යුතුවනවා.

එමෙන්ම ගෘහස්ථ හා එළිමහන් උත්සව හා මහජන රැස්වීම්ද පැවැත්වීමට අවසර හිමිවන්නේ නැහැ.

ව්‍යායාම ශාලා ගෘහස්ථ ක්‍රීඩා ශාලා, පවත්වාගෙන යා යුත්තේ ඉඩ ප්‍රමාණයෙන් සියයට 50 ක ධාරිතාවයෙනුයි.

සුපිරි වෙළඳ සැල්, සාප්පු සංකීර්ණ, කෘෂිකර්මාන්තය, වීදි වෙළෙඳුන්, ජංගම වෙළෙඳුන්, සැලුන් සහ රූපලාවන්‍යාගාර රෙදි සේදීමේ ස්ථාන, අධ්‍යාපන ආයතන, මංගල සහ අවමංගල්‍ය උත්සව, මධ්‍යසාර අලෙවිසැල් ඇතුළු සේවා ආයතන සඳහා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ලබාදී ඇති මාර්ගෝපදේශ පහතින් :

+++++++++++++

*********************************************

බොරැල්ල පොලිසියේ තවත් 08 කට කොරෝනා

(02.11.2020 – 13:09 +0530 – hirunews.lk/sinhala)

හෙද නිලධාරීන් විසි දෙනෙකු (20) ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 60 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති ප්‍රකාශ කළා.

මෙම තත්වයත් සමඟ තවත් 300 ක පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි එම වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, රාගම, මිනුවන්ගොඩ, දිවුලපිටිය, ලග්ගල – පල්ලේගම, මාතලේ, නාලන්ද සහ හොරණ යන රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙලෙස වෛරසයට ගොදුරු වී ඇති අය අතර වනවා.

ත්‍රිකුණාමලය මහරෝහලේ වෛද්‍යවරයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකු මෙලෙස ආසාදිතයෙකු වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ ජගත් වික්‍රමරත්න සඳහන් කළේ.

පසුගිය සිකුරාදා ඔහු කොටහේන ප්‍රදේශයේ පිහිටි තම නිවසට ගොස් පැමිණි පසු උණ රෝගය ඇතිවීම හේතුවෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

ඒ හේතුවෙන් ඔහු සමඟ සේවය කළ තවත් වෛද්‍යවරුන් 3 දෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ.

එමෙන්ම ජාතික රෝහලෙන් ද මේ වනවිට ආසාදිතයන් හයදෙනෙකු (6) හඳුනාගෙන ඇති අතර, හෙද නිලධාරිනියන් තුන්දෙනෙකු (3) සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ තුන්දෙනෙකු (3) ඒ අතර වනවා.

ජාතික රෝහලෙන් මේ වනවිට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් අතර මාස අටක (8) ගර්භනී හෙදියක්ද වනවා.

කළුබෝවිල ශික්ෂණ රෝහලේද වෛද්‍යවරියක් හා වෛද්‍යවරයෙකු ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුද මේ වනවිට වෛරසයට ගොදුරු වී තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමාණවත් තරම් වැඩපිළිවෙලක් තවමත් ක්‍රියාත්මක නොවන බවට සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත මහතා චෝදනා කළා.

ඔහු කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෛරසයට ගොදුරු වුවහොත් අර්බුදකාරී තත්වයකට මුහුණදීමට සිදුවන බවයි.

මේ අතර ශ්‍රී ලංකා පොලීසියේ කොරෝනා ආසාදිත සංඛ්‍යාවද 135 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

බොරැල්ල පොලීසියෙන්ද නව ආසාදිතයන් අටදෙනෙකු (8) වාර්තාවීමත් සමඟ එම පොලිස් ස්ථානයෙන් වාර්තාවන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 14 ක්.

කොරෝනා ආසාදිත තවත් පොලිස් නිලධාරීන් 14 දෙනෙකු ඊයේ (01) කරදියනාරු රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පයාගල, කුඩා පයාගල ප්‍රදේශයේ පදිංචි කුලී රථ රියදුරෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීම හේතුවෙන් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ඔහු ඉරණවිල රෝහලට ඇතුළත් කළා.

ඊයේ (01) දිනය තුළ පී.සී.ආර්. පරීක්ෂණ 11,087 ක් සිදුකර ඇති අතර මේ දක්වා මෙරට තුළ සිදුකර ඇති මුළු පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව පන්ලක්ෂ 23,822 ක්.

ඊයේ (01) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 397 දෙනාගෙන් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

එම සංඛ්‍යාව 179 ක් වන අතර, කොළඹින් 93 ක්, කළුතරින් 33 ක්, කෑගල්ලෙන් 19 ක්, කුරුණෑගලින් 11 ක්, මහනුවරින් සහ මඩකලපුවෙන් ආසාදිතයින් 5 දෙනෙකු බැගින් සොයා ගැනුණා.

පුත්තලමෙන් සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් දෙදෙනෙකු (2) බැගින් සොයාගෙන ඇති අතර, හම්බන්තොටින්, ත්‍රිකුණාමලයෙන්, මාතරින්, රත්නපුරෙන්, පොළොන්නරුවෙන්, මන්නාරමෙන් සහ අනුරාධපුරයෙන් ඊයේ (01) ආසාදිතයෙකු බැගින් හමුවූ බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

අඛණ්ඩව 3 වන දිනටත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලින් සොයාගෙන ඇති අතර, එම සංඛ්‍යාව 51 ක්.

කොළඹ කොටුවෙන්, 31 ක්, වත්තල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශයෙන් 39 ක්, මහරින් 34 ක්, හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් 33 ක් සහ කැළණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් රෝගීන් 26 ක් ඊයේ (01) අලුතෙන් සොයාගෙන තිබෙනවා.

මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11,060 ක් ලෙස දැක්වෙන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6134 ක්. එමෙන්ම සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 4905 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

++++++++++++++++++

පිටකොටුවේ තොග වෙළඳසැල් හෙට (03) ඇරේ

(02.11.2020 – 13:19 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද හෙට (03) දිනයේදී පිටකොටුවේ තොග වෙළඳසැල් විවෘතව තබන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සභාපති එස්. රාජේන්ද්‍රන් මහතා කියා සිටියේ උදෑසන 5 සිට තොග වෙළඳසැල් විවෘතව පවතින බැවින් ඇඳිරි නීති බලපත්‍ර ලබාගෙන පැමිණෙන වෙළදුන්ට භාණ්ඩ බෙදා හැරීම සිදුකරන බවයි.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ආහාර මෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සඳහා රජය විසින් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සතොස ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා කියා සිටියා.

ඒ අනුව සතොස මගින් ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

සතොසට අමතරව මෙරට ක්‍රියාත්මක සුපිරි වෙළඳසැල් ජාල මගින් ද ජනතාවට භාණ්ඩ බෙදා හැරීම සඳහා මේ වන විටත් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

මීට පෙර කොරෝනා ව්‍යාප්තිය සිදුවූ අවස්ථාවේදී සිදුකළ ආකාරයට ‘ඔන්ලයින්’ ඔස්සේ භාණ්ඩ ඇනවුම් කොට ඒවා ලබා ගත හැකි අතර, ‘වට්ස්ඇප්’ සහ දුරකථන ඔස්සේ ද භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලිය සිදුකරන බවයි එම සුපිරි වෙළදසැල් ජාල සඳහන් කළේ.

කොළඹ ඇතුළු ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට බේකරි නිෂ්පාදන අලෙවි කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදෙන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා ෴

++++++++++++++++++

(02.11.2020 – 13:31 +0530 – hirunews.lk/sinhala)

හදිසි අවශ්‍යතාවක් හැර පෞද්ගලික ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

පෞද්ගලික ඇඳිරි නීති බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය නම් නිශ්චිතවම අවශ්‍යතාව සනාථ කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 179 දෙනෙකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති අතර, මුව ආවරණ සහ මීටරයේ දුර පවත්වා නොගත් පුද්ගලයින් 70 දෙනෙකුද එම කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාත, කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය, කුරුණෑගල නගර සීමාව සහ ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයන් හි කිසිදු වෙළඳසැලක් හෝ ඖෂධ අලෙවිසැලක් අද (02) දිනයේ විවෘත කර තිබුණේ නැහැ.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පැවතියද අත්‍යවශ්‍ය සේවා සඳහා පුද්ගලයින් අද (02) දිනයේ බස්නාහිර පළාතට පැමිණෙන ආකාරයක් දක්නට ලැබුණා.

ඔවුන් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේද යන්න සහ ඇඳිරි නීති බලපත්‍ර ලබාගෙන ඇත්ද යන්න පිළිබඳ විමර්ශනය කිරීමට බොහෝ ස්ථානවල පොලිස් මාර්ග බාධක යොදවා තිබෙන ආකාරයක් දක්නට ලැබුණා.

බස්නාහිර පළාතටම සහ කුලියාපිටිය පොලිස් වසමට මෙන්ම ඇහැලියගොඩ පොලිස් වසමට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන 9 වන සඳුදා අලුයම 5 දක්වා බලපැවැත්වෙනු ඇති.

+++++++++++++++++++

(02.11.2020 – 13:51 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම ප්‍රදේශයේ මවක කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගත කළ පසු ඇගේ පුත්‍රයා සිය දිවි හානි කරගැනීමේ පුවතක් පසුගියදා හිරු ප්‍රවෘත්ති මගින් විකාශනය කළා.

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහිදී නිසි පරිදි කටයුතු කර ඇති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ.

කොවිඩ් 19 වෛරසයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් හෝමාගම, දොළහේන, හරිත පෙදෙසේ කාන්තාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවා සිය දිවි හානි කරගැනීමේ පුවතක් වාර්තා වුණේ පසුගිය 31 වැනිදා.

මහරගම ප්‍රදේශයේ මාළු වෙළඳ පොළකින් මාළු මිලදී ගෙන ඇති අතර අනතුරුව ඇයට කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙනුයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඇයව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණේ.

අදාළ කාන්තාවට විශේෂ අවශ්‍යතා සහිත අවුරුදු 25 ක පුතෙකු සිට ඇති අතර නිවසේ ජීවත්ව ඇත්තේ ඔවුන් දෙදෙනා (2) පමණයි.

කෙසේ වෙතත් සිය මව රැගෙන යාම හේතුවෙන් කම්පාවට පත් පුතු අනතුරුව නිවසට වැදී ගෙළ වැලලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මෙම කාන්තාව රෝහල් ගත කිරීමේ ක්‍රියාවලියේදී මහජන සෞඛ්‍ය රෙගුලාසිවලට පටහැනිව ක්‍රියා කළ බවටයි මත පළ වුණේ.

මේ සම්බන්ධයෙන් ‘හිරු පත්තරේ විස්තරේ’ වැඩ සටහනේදී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙලෙස පැහැදිලි කළා.

මේ අතර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ සම්බන්ධයෙන් මීට පෙර සිදුකර තිබූ ප්‍රකාශයක් ගැන යළි පැහැදිලි කිරිමක් සිදු කළා.

++++++++++++++++++

ප්‍රති වෛරස මුහුණු ආවරණයක් මෙරටදී නිෂ්පාදනය කෙරේ

(02.11.2020 – 14:19 +0530 – hirunews.lk/sinhala)

දේශීය පර්යේෂක කණ්ඩායමක් විසින් මෙරටදී පළමුවරට ප්‍රති වෛරස මුහුණු ආවරණයක් නිෂ්පාදනය කර තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් ඇතුලු කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කර ඇති මෙම මුහුණු ආවරණය මයික්‍රො හා නැනෝ අංශුවලින් සමන්විතයි.

සාමාන්‍ය මුහුනු ආවරණයකින් විෂබීජ අංශු වළක්වාලිම සිදුකරනු ලබන අතර, මෙම මුහුණු ආවරණයේ විශේෂත්වය වන්නේ එය ප්‍රතිවෛරස නාශක පෙරණයකින් සමන්විත වීමයි.

එමෙන්ම සේදුම්වාර විස්සක් දක්වා භාවිත කළ හැකිවීමත්, මාසයක කාලයක් කිසිදු සේදීමකින් තොරව භාවිත කළ හැකිවීමත් මෙහි විශේෂ ලක්ෂණ වනවා.

මෙම මුහුණු ආවරණය අද (02) අදාළ පර්යේෂක කණ්ඩායම විසින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ඉදිරිපත් කළ බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

+++++++++++++++++

(02.11.2020 – 14:33 +0530 – hirunews.lk/sinhala)

අද (02) දිනයේත් කොරෝනා ආසාදිතයින් 344 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5249 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

තවදුරටත් පුද්ගලයින් 5789 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා ෴

+++++++++++++++++

(02.11.2020 – 16:09 +0530 – hirunews.lk/sinhala)

අවදානම් තත්වය පහව ගිය සහ වෛද්‍ය පරීක්ෂණ පවත්වා අවදානමකින් තොර බවට තහවුරු කරගත් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රකාශ කළා.

අරලියගහ මන්දිරයේ අද (02) පැවති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාතේ සුදුසුකම් ලත් ජනතාවට මෙවරත් රුපියල් පන්දහසේ (5000) ජිවන දීමනවාද ලබාදෙන බවයි.

එසේම නිරෝධායනයට ලක්වන ආසාදිතයන් හා ආශ්‍රිතයන් සිටින නිවෙස් වෙත රුපියල් දස දහසක (10,000) වටිනාකමක් සහිත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබාදීමද මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

එලෙස ආහාර ද්‍රව්‍ය මල්ල නොලැබෙන සහ ඇඳිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය මාර්ග අහිමිවූ සුදුසුකම් ලත් පවුල් සඳහා රුපියල් පන්දහසේ (5000) දීමනාව ලබාදෙන බවයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ ෴

+++++++++++++++++

(02.11.2020 – 16:31 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සියලුම සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු අද (02) සිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මේ හේතුවෙන් මීට පෙර සංචාරක පහසුකම් වෙන් කරගත් සංචාරකයින් සඳහා විකල්ප දිනයන් වෙන් කරදීම පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+++++++++++++++++

(02.11.2020 – 17:22 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සේවකයින් හතරදෙනෙකුට (4) ද කොරෝනා ආසාදනය වී තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කළේ පසුගියදා එහි 65 දෙනෙකුගේ පමණ සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණවලින් අනතුරුව මෙලෙස හතරදෙනෙකුට (4) වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

එමෙන්ම කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය සහකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඊයේ (01) හඳුනාගත් එම ආසාදිත පුද්ගලයා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියාමනය යටතේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම සඳහා පෞද්ගලික රෝහල්වල සහය වැඩිකරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික රෝහල් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් අද (02) සාකච්ඡාවක් පවත්වා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදියි ෴

+++++++++++++++++

(02.11.2020 – 17:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 164 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඉන් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර අනෙක් 121 දෙනා ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ.

ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 11,224 ක් දක්වා ඉහළ යනවා.

ඉන් 5249 දෙනෙකු ප්‍රතිකාරවලින් අනතුරුව සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා ෴

+++++++++++++++++++

(02.11.2020 – 18:58 +0530 – hirunews.lk/sinhala)

පෙරේදා (ඔක්තෝම්බර් 31) දින පානදුර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිටි 27 හැවිරිදි පුද්ගලයාගේ මරණ කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූවක් නොවන බවට තීරණය කර තිබෙනවා.

මෙම පුද්ගලයා කොවිඩ් 19 ආසාදිතයන් අතර සිදුවූ 22 වන මරණය ලෙසටයි වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළේ.

එහෙත් මෙම මරණයට කොරෝනා වෛරසයේ දායකත්වයක් නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා කියාසිටියේ.

කොවිඩ් 19 රෝගයේ බලපෑම තක්සේරු කිරීම සඳහා වැදගත් වන්නේ එම රෝගයේ දායකත්වයෙන් සිදුවන මරණ බැවින් එම මරණ වෙනම වාර්තා කිරීමට තීරණය කර ඇති බව අදාළ නිවේදනය මගින් පෙන්වා දෙනවා.

ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාව තුල කොවිඩ් 19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 21 ක් පමණක් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ.

මෙම මරණය 22 වන කොරෝනා මරණය ලෙසයි මීට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එමෙන්ම මෙරට 21 වන කොරෝනා මරණයද ඊයේ (01) වාර්තාවූ අතර, මියගොස් තිබුණේ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය අයත් හේනේගම – කහටාන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගම්පහ – කසගහ වත්ත ආදාහනාගාරයේදී අද (02) පෙරවරුවේ සිදු කෙරුණා.

මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ අද (02) දිනයේදීත් අලුතින් ආසාදිතයන් 164 දෙනෙකු සොයාගත් බවයි ෴

+++++++++++++++++++

පාසල් ආරම්භය තවත් සති දෙකකින් (2) කල් යයි

(02.11.2020 – 19:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් තුන්වන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම තවත් සති දෙකකින් (2) කල් දැමීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා ෴

++++++++++++++++++

(02.11.2020 – 20:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 111 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඔවුන් සියලුදෙනා මේවන විට හමුවී ඇති ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++

(02.11.2020 – 20:19 +0530 – hirunews.lk/sinhala)

කහතුඩුව නගර මධ්‍යයේ පිහිටි කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුවෙකුට ද කොරෝනා වැළඳීම නිසා ඔහුගේ ආශ්‍රිතයින් 120 දෙනෙකු නිරෝධායනයට යොමු කළ අතර, 90 දෙනෙකුට (2) අද (02) පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළා. කොණ්ඩය කැපීම සඳහා පැමිණි පුද්ගලයෙකුගෙන් මොහුට වෛරසය වැළඳදෙන්නට ඇති බවටයි සැක කරන බවයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ මහතා කියා සිටියේ.

මේ අතර හැටන් නගරයේ පෞද්ගලික බැංකුවක කළමනාකාරවරයෙකුටද වෛසරය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමඟ අද (02) එම බැංකුව වසා දැමුණා.

එමෙන්ම පසුගියදා ආසාදිත කාන්තාවක් වාර්තාවූ හොරණ ප්‍රදේශයේ සේවකයින් 6,000 ක් පමණ සේවය කරන ඇඟළුම් කර්මාන්තශාලාවෙන් මේ වනවිට ආසාදිතයන් 34 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

අද (02) පැවති මාධ්‍ය හමුවේදී වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ අදාළ කර්මාන්තශාලා පරිශ්‍රයෙන් නිර්මාණය වන්නේ නව අනු පොකුරක්ද යන්න පිළිබඳවයි.

මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයෙන්ද අද (02) දිනයේත් නව ආසාදිතයන් හත්දෙනෙකු (7) හඳුනාගැනීමත් සමඟ එම දිස්ත්‍රික්කයෙන් වාර්තාවන මුලු ආසාදිත සංඛ්‍යාව 104 දක්වා ඉහළ ගියා.

අද (02) අලුතින් හඳුනාගත් අසාදිතයන් 164 දෙනාගෙන් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් සොයාගෙන ඇති අතර, ඉතිරි 121 දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

අද (02) දිනයේත් කොරෝනා ආසාදිතයින් 344 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්දහස (5000) ඉක්මවා ගොස් සටහන් වුණේ 5,249 ක් ලෙසයි.

තවදුරටත් පුද්ගලයින් 5789 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, මෙරටින් මේ දක්වා වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11,224 ක් ෴

+++++++++++++++++++

(02.11.2020 – 20:52 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ වසාදමා ඇති සියලු ආර්ථික මධ්‍යස්ථාන අනිද්දා (04) විවෘත කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඒ අනුව රත්මලාන, නාරාහේන්පිට, බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථානවල සේවකයන් හෙට (03) පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කිරීමට නියමිතයි.

සිල්ලර වෙළඳාම අදාළ ආර්ථික මධ්‍යස්ථානවල සිදු නොවන අතර තොග වෙළඳුන්ට පමණක් අවස්ථාව ලබාදීමටයි තීරණය වී ඇත්තේ ෴

+++++++++++++++++++

දුම්රිය කාලසටහන් ගැන දැනුම්දීමක්

(02.11.2020 – 17:57 +0530 – sinhala.adaderana.lk)

නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලසීමාව තුළ කොළඹ කොටුව දක්වා පැමිණෙන සහ කොළඹ කොටුවෙන් පිටවන දුම්රියන් පිළිබඳ ප්‍රධාන දුම්රිය පාලකවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පහත සඳහන් දුම්රියන් පමණක් කොළඹ කොටුව දක්වා ධාවනය වන අතර කොටුවෙන් පිටත්ව යයි.

මෙම දුම්රියවල ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවලට ගමන් කළ හැක්කේ පාසල් ළමුන්, ඔවුන් සමග ගමන් කරන දෙමාපියන්ට හා ගුරුවන්රුන්ට පමණී.

එලෙස කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන හා ළඟාවෙන දුම්රියන් පහත පරිදි වේ :

***************************************

වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

(02.11.2020 – 13:28 +0530 – hirunews.lk/sinhala)

විල්පත්තුව රක්ෂිතය ආසන්නයේ පිහිටි හොරිවිල – හුණුවිලගම ගම්මානයේදී වන අලි ප්‍රහාරයකට ලක්ව කාන්තාවක් අද (02) අළුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

75 හැවිරිදි මෙම කාන්තාව මුහුණ සේදීමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

ඒ අනුව දින 03 ක් තුළ වන අලි පහරදීමෙන් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය 30 වනදා කරුවලගස්වැව රජවිගම ප්‍රදේශයේදී සිව් (4) හැවිරිදි දරුවෙකු, සොරබොර වැව – නව මකුණු ගොල්ල ප්‍රදේශයේදී 75 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා.

අද (02) ජීවිතක්ෂයට පත් වූ කාන්තාව වාසය කරන හුණුවිලගම ගම්වාසීන් ප්‍රකාශ කළේ අවස්ථා ගණනාවකදී වනඅලි ගැටළුව පිළිබඳව බලධාරීන් දැනුම්වත් කළ ද මේ දක්වා ඊට ස්ථීර විසදුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි.

***************************************

(02.11.2020 – 14:02 +0530 – hirunews.lk/sinhala)

දෙනියාය බෙරලපානාතර ප්‍රදේශයේ ඉදිවන මාර්ගයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයක් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

දෙණියාය – බෙරලපනාතර මාර්ගයේ කාපට් ඇතිරීම සඳහා මේ වන විට වැඩ ආරම්භකර තිබෙනවා.

තලපලකන්ද සිට ජම්බුගස්මුල්ලදොල දක්වා මාර්ගය දෙපස ශුද්ධ පවිත්‍රකර ඇති අතර එම මාර්ගයේ පුහුල්හේන කන්ද දක්වා කොටස වැටී ඇත්තේ අනිල්කන්ද රක්ෂිතය හරහායි.

රක්ෂිතය හරහා කාපට් ඇතිරීම සිදුනොකරන ලෙසට පිරිසක් ඉල්ලා සිටින අතර තවත් පිරිසක් පවසන්නේ පුහුල්හේන කන්ද දක්වා මාර්ගය කාපට් කර සකස් කරන ලෙසයි.

රක්ෂිත විනාශ වුවහොත් බීමට පවා ජලය නොමැති වන බවටයි එක් පාර්ශ්වයක් චෝදනා කළේ.

එහිදී දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා ෴

*********************************************

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ඉඩම් කොල්ලකන කණ්ඩායම ගැන විමර්ශනයක්

(02.11.2020 – 14:32 +0530 – hirunews.lk/sinhala)

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ව්‍යාජ ඔප්පු සකසා අලෙවි කරන බවට සමාජ මාධ්‍යයේ මේ දිනවල සැරිසරන වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා

ලිපියක් යොමු කරමින් ඔහු වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී ඇත්තේ අදාළ දර්ශන නැරඹීමේදී ඩෙක්ස්ටර් අජිත් බාලසූරිය නැමති පුද්ගලයෙකු විසින් හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු හට එම ව්‍යාජ ඔප්පු සාදා දෙන බවට හෙළිදරව් වී ඇති බවයි.

ඉඩම්වලට ඇතුලුවීම සඳහා හම්බන්තොට නගරාධිපතිවරයා ඔහු විසින් ලියාපදිංචි කර ඇති සිය පෞද්ගලික ආරක්ෂක සේවය යොදවා ඇති බවත්, එලෙස පිරිසක් නුගේගොඩ ප්‍රදේශයේ ඉඩමකට බලහත්කාරයෙන් ඇතුලුවී ඇති බවත්, අදාළ ලිපියේ දක්වා තිබෙනවා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සනිත් සංජීව වීරරත්න සහ මොහොමඩ් මසාහිර් මොහොමඩ් නසීර්දීන් නැමති පුද්ගලයින්ද ඊට සම්බන්ධ බවට හෙළිවී ඇති බවයි.

ඒ අනුව මෙම කරුණු නිර්ව්‍යාජද යන්න සෙවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශනයක් සිදුකරන ලෙසයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ.

එහි ප්‍රගතිය සතියක් ඇතුළත තමන් වෙත දැනුම් දෙන ලෙසද නීතිපතිවරයා නියෝග කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *