කථානායක ඥාති සංග‍්‍රහයක

කථානායක ඥාති සංග‍්‍රහයක

පෞද්ගලික රෝහල් PCR පරීක්ෂණ ජාවාරමක

මාළු වෙළඳසැල් වසා දැමීම අනවශ්‍යයි, හොඳින් පිස පරිභෝජනයට ගන්න – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ

වාර්තා යහපත් වුවහොත් අලුත්ගම, බේරුවල සහ පයාගල ඇඳිරි නීතිය හෙට (26) ඉවතට

කොටුව, පිටකොටුව, බොරැල්ල, වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශ වලට නිරෝධායන ඇඳිරිනීතිය පනවයි

අමාත්‍ය උදය ගම්මන්පිලගේ පැමිණිල්ල විභාග කරයි

සහරාන් ගැන තවත් හෙළිදරව්වක්

ජනවාරි මාසයේ සිට තහනමට ලක්වන භාණ්ඩ

*********************************************

කථානායක ඥාති සංග‍්‍රහයක

(25.10.2020 – 08:42 +0530 – lankaleadnews.com)

වත්මන් ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයෙක් සිය පුද්ගලික කාර්ය මණ්ඩල සඳහා පවුලේ ඥාතීන් පත් කර නොගන්නැයි කියා ජනාධිපතිවරයා ධුරයේ වැඩ භාර ගෙන කරන ලද රාජාසන කතාවේදී කරන ලද ඉල්ලීම නොතකා හරිමින් වර්තමාන පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අභයවර්ධන සිය කාර්ය මණ්ඩලයේ සියලුම තනතුරු සඳහා පවුලේ ළඟම ඥාතීන් පත්කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව සිය සහෝදරයා වන වසන්ත යාපා අභයවර්ධනට පුද්ගලික ලේකම් තනතුරක් ද තවත් සහෝදරයකු වන සරත් යාපා අභයවර්ධනට මාධ්‍ය ලේකම් තනතුරත් ලබා දී ඇති අතර කථානායකවරයාගේ පුතණුවන් වන චමීර යාපා අභයවර්ධනටත් තවත් සහෝදරයකු වන ඉඳුනිල් යාපා අභයවර්ධනටත් ඉතිරි සම්බන්ධීකරණ ලේකම් තනතුරු දෙක පිරිනමා ඇත.

‘පී ආර් ඕ’ හෙවත් ‘මහජන සම්බන්ධතා නිලධාරී’ තනතුර සිය මස්සිනා වන පේ‍්‍රමානන්ද කොමසාරුට ලබා දෙන්නට කාරුණික වූ කථානායකවරයා තවත් ව්‍යාපෘති ලේකම්වරු පහක් (5) බඳවා ගැනීම සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් ඉල්ලා කැබිනට් පත‍්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. ඉන් එක තනතුරක් සඳහා දැනටමත් ජනක යාපා අභයවර්ධන නම් ඉතිරි සහෝදරයාගේ නම යෝජනා වී තිබේ ෴

*********************************************

පෞද්ගලික රෝහල් PCR පරීක්ෂණ ජාවාරමක

(24.10.2020 – aruna.lk)

කොවිඩ් දෙවන රැල්ල තුළ පී.සී.ආර්. පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලට වැඩි වශයෙන් යොමු කිරීමේ ජාවාරමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුවන බව වාර්තා වෙයි.

පෞද්ගලික රෝහල් හතරක පී.සී.ආර්. පරීක්ෂණ මේ වන විට සිදු කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් අවිධිමත්ව ලබාදුන් අවසරයක් යටතේ බව අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි. එම රෝහල්වල පී.සී.ආර්. නිදර්ශක දාහක් (1000) පමණ දෛනිකව සිදු කරයි. ඇතැම් පෞද්ගලික රෝහල් පෞද්ගලික ආයතනවලින් ලබා ගෙන ඇති පී.සී.ආර්. සාම්පල පරීක්ෂාවට ලක් නොකර රෝහල්වල ගබඩා කර ඇති බවද අනාවරණය වෙයි.

පෞද්ගලික රෝහල් රැසක් පසුගිය දිනවල සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ පළමුව ධණාත්මක වී පසුව සෘණාත්මක වීම පිළිබඳවද රජයේ විශේෂ අවධානය යොමු වී ඇත. තවද පෞද්ගලික රෝහල්වලින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරගත් ඇතැම් රෝගීන් කෙටි කාලයකින් සුව අතටද පත්වීම පුදුමසහගත බව අනාවරණය වෙයි.

කොවිඩ් පළමු රැල්ල ආරම්භ වූ අවස්ථාවේදී ද පෞද්ගලික අංශය පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම සඳහා අවසර ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප විය. දෙවන රැල්ල ආරම්භයේදී ඊට අවසර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාකිරීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් ප්‍රකාශ කරයි. එසේම ඇතැම් පෞද්ගලික රෝහල්වල පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන ආකාරය සහ රසායනාගාර පහසුකම් පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය ජනාධිපතිවරයාගෙන් සහ සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.

“පෞද්ගලික රෝහල් විසින් කර්මාන්ත ශාලා සහ පෞද්ගලික ආයතනවලින් ලබාගත් සාම්පල මේ වන විට ගොඩ ගැසී තිබෙනවා. වෛද්‍ය සභාවේ පුහුණුව නොලත් පිරිසක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වනවා. පරීක්ෂණ වාර්තාවක් දිනකින් ලබා දෙන්නේ නම් රුපියල් 15,000 ක් ඔවුන් අය කරනවා. දින 3 කින් ලබාදීම සඳහා අය කරන්නේ රුපියල් 7,000 යි. මිල නියාමනය කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් පෙන්වා දෙනවා මේ පෞද්ගලික අංශ නැතිව පී.සී.ආර්. පරීක්ෂණ කරන්න බෑ කියලා. ඒක මිත්‍යාවක්.” යැයි රවී කුමුදේශ මහතා පැවසීය.

ඒ අනුව පෞද්ගලික රෝහල් නියාමන පනත යටතේ සෞඛ්‍ය ලේකම්වරයාට මෙම විමර්ශනය සිදු කළ හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් දැනට පී.සී.ආර්. පරීක්ෂණ කළ හැකි මධ්‍යස්ථාන 24 ක් ඇති අතර ඉන් දිනකට පරීක්ෂණ 6000 ක් පමණ සිදු කළ හැකිය. එය 10,000 දක්වා ඉහළ දැමිය හැකි සඳහන් වේ. පෞද්ගලික අංශයෙන් සිදු කළ පරීක්ෂණවලින් කොවිඩ් 19 ලෙසට ධනාත්මක වූ රෝගීන්ගේ සාම්පල රජයේ වෛද්‍ය පරීක්ෂණාගාරයට එවා ඇති අතර එසේ එවූ 100 කින් 20 ක් පමණ යළි සෘණාත්මක බවට සඳහන් වී ඇති බව රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ගෙන් මේ පිළිබඳ කළ විමසීමකදී ඔහු පැවසුවේ පෞද්ගලික රෝහල් සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ නියාමනය කළ යුතු බවයි. පරීක්ෂණවලදී හෙළි වන ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යාංශය අධීක්ෂණය කළ යුතු බව ඔහු පැවසීය. පෞද්ගලික රෝහල්වලට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම සඳහා අමාත්‍යාංශය අවසර ලබාදී ඇති බවද ඔහු අවධාරණය කර සිටියේය.

උදයජීව ඒකනායක

***************************************

ලංකා සතොස මගින් සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 85 ක මිලකට ලබා දෙන්නේ රුපියල් 600 වැඩි භාණ්ඩ මිළදී ගතහොත් පමණක් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදී අමාත්‍යවරයා කියා සිටියේ නිතීවිරෝධි ලෙස මත්පැන් නිෂ්පාදනය සිදු කරන පුද්ගලයින් විසින් සීනි වැඩි වශයෙන් මිලදී ගැනීම වැළැක්වීමට මෙම පියවර ගත් බවයි.

පසුගියදා ලොකු සැමන් ටින් එකක මිල රුපියල් 200 කටත්, බී ලූණු කිලෝග්‍රෑමයක් රුපියල් 100 මිලකට අලෙවි කරන ලෙසට රජය මගින් නියම කළ අතර, පරිප්පු සඳහා වන ආනයනික බද්ද ද ඉවත් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, ඇතැම් සතොස අලෙවිසැල් වලින් නියමිත මිලට වඩා වැඩි මිලට සීනි අලෙවි කරන බවට පාරිභෝගිකයන් හිරු ප්‍රවෘත්ති අංශයට පැවසූ අතර, ඒ අනුව අප කළ විමසීමකදී අමාත්‍යවරයා මෙම පැහැදිලි කිරීම සිදුකළා ෴

***************************************

ප්‍රමිති සහතික අවභාවිත කරමින් වෙළඳපොලට නිකුත් කිරීමට සූදානම් කර තිබූ මුන්දලම ප්‍රදේශයේ පිහිටි නිෂ්පාදන ආයතනයක රුපියල් ලක්ෂ 50 ක පමණ ටින් මාළු තොගයකට මුද්‍රා තබා තිබෙනවා.

ඒ, පුත්තලම පාරිභෝගික අධිකාරි ඒකකයේ නිලධාරින් විසින්.

එස්.එල්.එස් (SLS) ප්‍රමිති සහතිකය අවභාවිත කරමින් මෙම ටින් මාළු සඳහා ලාංඡන යොදා ඇති බවට ලද පැමිණිල්ලක් අනුව, සිදුකළ වැටලීමකින් අනතුරුවයි මෙලෙස ඒවාට මුද්‍රා තබා ඇත්තේ.

කෙසේ වෙතත්, අදාළ සැමන් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු වී නොමැති අතර, ප්‍රමිති සහතික අවභාවිත කිරීමට අදාළ නඩු කටයුතු අවසන් වනතුරු ටින් මාළු තොගය ආරක්ෂිතව ගබඩා කර තැබීමට පියවර ගෙන තිබෙනවා ෴

***************************************

ඵෙතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහාසෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ආරම්භ කෙරුණා.

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද නාහිමියන් ප්‍රමුඛ මහමෙව්නා භාවනා අසපු සංචිතයේ දායකත්වයද ඊට හිමි වනවා.

ඒ අනුව ඊයේ (24) මිහින්තලා පුදබිමට පැමිණි ජනාධිපතිවරයා ධාතු මන්දිරය වැද ආශිර්වාද ලබා ගත්තා.

මිහිඳු මහරහතන් වහන්සේගේ පළමු පාද ස්පර්ශය සිදුවූ ස්ථානය ලෙස සැලකෙන ‘චන්ද්‍රකාන්ති පාෂාණය’ පිහිටි සේල චෛත්‍ය මළුවේ ඉදිකෙරුණු මිහිඳු පිළිරුව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (24) විවෘත කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මිහිඳු ලෙන පිහිටි ස්ථානයට ළංවීමට ඇති මාර්ගයේ ශෛලමය පියගැටපෙලක් ඉදිකිරීමටද නියමිත අතර, එය ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් සිදුකෙරෙනු ඇති.

***************************************

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 188 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (24) පෙරවරු 6 සිට අද (25) අලුයම 5 දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදුකළ බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

එම වැටලීම් වලදී හෙරොයින් සම්බන්ධයෙන් සැකකරුවන් 61 දෙනෙකු සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ නිරත වීම සම්බන්ධයෙන් සැකකරුවන් 69 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

හබරන සංචාරක හෝටලයක පිළිගැනීමේ නිලධාරිනියක් පිහිනුම් තටාකයට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (24) මෙම සේවිකාව ඇතුලු හෝටලයේ අනෙකුත් සේවකයන් එම පරිශ්‍රය පිරිසිදු කිරීමේ නිරත වී ඇති බව පොලීසිය සඳහන් කළා.

එහිදී ඔවුන් පිහිනුම් තටාකය ද පිරිසිදු කර ඇති අතර, එම අවස්ථාවේදී හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් එයට ඇද වැටීමෙන් පිළිගැනීමේ නිලධාරිනිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වත්තල – හැඳල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක් ෴

***************************************

පොලිස් පාර්ලිමේන්තු කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන විශේෂ බුද්ධි ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ උප පොලිස් පරීක්ෂකවරයා මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වෙත ගොස් ඇති බවයි ෴

++++++++++++++++++

නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල සංචරණ සීමාවන් සම්බන්ධයෙන් නිරීක්ෂණයට අද (25) දිනය තුළ විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව නිරෝධායන නීති අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවයි.

මේ අතර, නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් 240 දෙනෙකු අද (25) නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක් දැක්වෙන්නේ මේ වනවිට පුද්ගලයින් 57,221 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බවයි.

තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 74 ක් තුළ පුද්ගලයින් 8,158 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා ෴

++++++++++++++++++++

හැටන් මහජන වෙළෙඳපොළ තාවකාලිකව අද (25) සිට හුදකලා කිරීමට හැටන් දික්ඔය නගර සභාව සහ හැටන් පොලීසියේ නිලධාරින් කටයුතු කර තිබෙනවා.

ඒ පෑළියගොඩ මත්ස්‍ය (මාලු) වෙළෙඳපොළෙන් හැටන් නගරයට මත්ස්‍යයින් රැගෙනවිත් අලෙවි කළ මත්ස්‍ය වෙළෙන්දෙකුට කොවිඩ් 19 වෛසරය අසාධනය වි ඇති බවට තහවුරු විමත් සමඟයි.

කොරෝනා අසාධනය වූ පුද්ගලයා සහ ඔහුගේ පවුලේ සමාජිකයන් නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යාමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් පියවර ගත් බව සඳහන්.

මේ අතර එම කොරෝනා ආසාදිත මත්ස්‍ය ව්‍යාපාරිකයා හැටන් නගරයේ ආපන ශාලා ඇතුළු වෙළෙඳසැල් කිහිපයකට ගොස් ඇති බවට ලැබුණු තොරතුරු මත එම වෙළෙඳසැල්ද තාවකාලිව වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පියවර ගත් බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් ප්‍රකාශ කළේ.

*********************************************

මාළු වෙළඳසැල් වසා දැමීම අනවශ්‍යයි, හොඳින් පිස පරිභෝජනයට ගන්න – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ

(25.10.2020 – 11:37 +0530 – hirunews.lk/sinhala)

හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනයෙන් කොරෝනා වෛරසය බෝවන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවත්, ඒ පිළිබඳව පැතිර යන කටකතාවලට නොරැවටෙන ලෙසත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව නිර්මාණය වූ කොරෝනා පොකුර හේතුවෙන් දිවයින පුරා ජනතාව මත්ස්‍ය පරිභෝජනය සහ අලෙවිය පිළිබඳව ජනතාව බියක් දක්වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ද සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය :

මේ අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ කොරෝනා ආසාදිත සේවකයෙකු මඩකලපුව – කරදියනාරු රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔහු ඉල්ලීමක් කරමින් සඳහන් කළේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණි අයෙකු සිටී නම් කඩිනමින් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙසයි.

මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,521 ක් ලෙස සටහන් වනවා.

ඊයේ (24) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 368 දෙනෙකු වාර්තා වූ අතර, ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිත කොරෝනා පොකුර 4,050 දක්වා ඉහළ ගියා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් මාළු රැගෙනවිත් අලෙවි කළ වෙලෙන්දෙකුට කොරෝනා ආසාදිත බව අනාවරණ වීමත් සමඟ හැටන් නගරයේ මහජන වෙළඳපොල තාවකාලිකව වසා දමා ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

දඹුල්ල මහනගර සභාවට අයත් මාළු වෙළඳසැලක ද නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල හා සම්බන්ධතා පැවැත්වූ මිරිහාන පොලීසියේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව පොලීසිය පැවසුවා.

මේ අතර, වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ කරවල වෙළඳාමේ යෙදුණු බෝපිටිය ප්‍රදේශයේ අයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කෙරුණා.

වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරය සඳහන් කළේ සෞඛ්‍ය උපදෙස් ලැබෙනතුරු ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා තැබෙන බවයි.

මේ අතර, සුළු සේවකයින් හතර දෙනෙකු (4) කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගැනීමත් සමඟ කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකය සහ බාහිර රෝගී අංශය, තාවකාලිව වසා දැමීමට ඊයේ පියවර ගෙන තිබුණා.

එම පරිශ්‍රය විෂබීජහරණයෙන් අනතුරුව අද (25) පෙරවරුවේ සිට ප්‍රතිකාර සඳහා යළි ආරම්භ කිරීමට පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

එසේම, අම්පාර – සේනානායකපුර ප්‍රදේශයේ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබූ අතර ඔහුගේ ආශ්‍රිතයින් පිරිසකට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා.

එසේම, ඇහැලියගොඩ, බුළුගහපිටිය, එල්ලාවල හා හේවාඉන්න යන ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් තිදෙනෙකු හමුවීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයින් 180 ක් පමණ ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මේ අතර, දැනට පවතින කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව වෛද්‍ය සුදත් සමරවීර මහතා අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ දෛනිකව වැඩිවන ආසාදිත ප්‍රමාණය අඩු කර ගැනීමට කටයුතු කිරීමෙන් රෝහල් වලට රෝගීන් ඇතුළත් කර ගැනීමේ ධාරිතාව පාලනය කර ගත හැකි බවයි.

කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාත්මක වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා ‘හිරු පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කළේ කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම පී.සී.ආර්. පරීක්ෂණ වලට පමණක් සීමා නොකළ යුතු බවයි ෴

*********************************************

වාර්තා යහපත් වුවහොත් අලුත්ගම, බේරුවල සහ පයාගල ඇඳිරි නීතිය හෙට (26) ඉවතට

(25.10.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

ලැබෙන වාර්තා යහපත් වුවහොත්, අලුත්ගම, බේරුවල සහ පයාගල පොලිස් බල ප්‍රදේශවලට පනවා ඇති ඇඳිරි නීතිය හෙට (26) උදෑසන 5 ට ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අද (25) පස්වරුවේ ලැබෙන වාර්තා සැලකිල්ලට ගනිමින් මේ පිළිබඳව තීරණයක් ගන්නා බවයි.

දිවයිනේ දිස්ත්‍රික්ක හතරකට (4) අයත් පොලිස් බල ප්‍රදේශ ගණනාවක් ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය නැවත දැනුම් දෙන තුරු බල පැවැත්වෙන බව යුදහමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා සහන කාලයක් ලබා දීමට කටයුතු කරන බවයි.

දැනට දිවයිනේ දිස්ත්‍රික්ක 4 ක පොලිස් බල ප්‍රදේශ 56 ක නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.

ඒ අතරින් අඛණ්ඩව දින 3 කට වැඩි කාලයක් ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට පමණක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට සහන කාලයක් ලබාදීමට කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා.

පසුගිය බදාදා රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

• කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය / මෝදර / වැල්ලම්පිටිය / බ්ලූමැන්ඩල් / ග්‍රෑන්ඩ්පාස් මාලිගාවත්ත / කෙසෙල්වත්ත / වේල්ල වීදිය / ආදුරුප්පු වීදිය / වෙරළබඩ / ගොතටුව / මුල්ලේරියාව / දෙමටගොඩ / මරදාන / කොටහේන / පොලිස් බල ප්‍රදේශ වලද ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

• කලුතර දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන්නේ පයාගල / බේරුවල / අලුත්ගම පොලිස් බල ප්‍රදේශ සඳහායි.

• කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය / පන්නල / ගිරිඋල්ල / නාරම්මල / දුම්මලසූරිය යන පොලිස් බල ප්‍රදේශ වලට ද නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

• මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන පොලිස් බල ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම්කරනු ලැබුවේ ඊයේ (24) රාත්‍රී සිටයි.

• මීට අමතරව කලුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 14 ක් ද හුදෙකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

හුදකෙලා කෙරුණු සහ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එක්ව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මකයි.

මේ අතර, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ද සතොස සහ සුපිරි වෙළඳසැල් මගින් ආහාර බෙදා හැරීමේ වැඩසටහන ද ක්‍රියාත්මක වන බවයි.

*********************************************

කොටුව, පිටකොටුව, බොරැල්ල, වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශ වලට නිරෝධායන ඇඳිරිනීතිය පනවයි

(25.10.2020 – 13:20 +0530 – hirunews.lk/sinhala)

කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශවලට අද (25) පස්වරු 6 සිට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇදිරි නීතිය පනවනු ලබන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා.

එම නිවේදනය පහතින් :

+++++++++++++++++

මෙරට කොවිඩ් 19 පැතිර යාම, සමාජ සම්ප්‍රේෂණ මට්ටම අබියස පවතින බැවින් ආරක්ෂිත ක්‍රමවේද අනිවාර්ය බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.

ඊයේ (24) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 368 දෙනෙකු වාර්තා වීමත් සමඟ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මාළු වෙළඳපොළ ආශ්‍රිත ආසාදිතයින් ගණන 4000 සීමාව පසු කර ගියා.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන කොවිඩ් 19 අසාදිතයින් සංඛ්‍යාව 7521 ක් .

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 7,521 ක් ලෙස සටහන් වනවා.

කොවිඩ් 19 ආසාදිතයින් 368 දෙනෙකු ඊයේ (24) වාර්තාවීමත් සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ආශ්‍රිත කොවිඩ් 19 පොකුර 4,050 දක්වා ඉහළ ගියා.

ඉන් අනූ දෙදෙනෙකු (92) පෑලියගොඩ මාළු වෙළෙදපොළ ආශ්‍රිතවද, 215 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙසද, 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් ද, 24 දෙනෙකු ධීවර වරාය වලින් ද, වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයින් 3,714 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 3,792 ක් පමණයි.

මේ අතර පෑලියගොඩ මාළු වෙළදපොළේ සේවය කරමින් සිට කොවිඩ් 19 ආසාදිත වූ පිරිසක් ප්‍රතිකාර ලබන රෝහලේ සිට සමාජ මාධ්‍ය වෙත මෙලෙස වීඩියෝවක් පළ කර තිබුණා.

මේ අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ කොරෝනා පොකුරට සම්බන්ධ හඳුනා නොගත් ආසාදිතයින් ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව තවදුරටත් සිටිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

+++++++++++++++++

ඇඳිරි නීතිය පැනවූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා සියලුම අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථාන සහ ඔසුසැල් හෙට (26) පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මකයි.

එම නිවේදනය පහතින් :

++++++++++++++++++

බේරුවල – පයාගල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලට පනවා ඇති ඇඳිරි නීතිය හෙට (26) අලුයම 5 සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා ෴

*********************************************

අමාත්‍ය උදය ගම්මන්පිලගේ පැමිණිල්ල විභාග කරයි

(25.10.2020 – 15:01 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට එරෙහිව ඔහුගේ නීතිඥවරුන් මූලික විරෝධතා ගොනු කළා.

ඒ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොමිසමට කළ පැමිණිල්ලක් ඊයේ (24) විභාගයට ගත් අවස්ථාවේදී .

1997 වසරේදී ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකසා ඕස්ට්‍රේලියාවේ බ්‍රයන් ජෝන් ෂැඩික් නැමැත්තාට අයත් සමාගම් කොටස් විකුණා ඇති බවට ව්‍යාජ සාක්ෂී ගොනු කරමින් යහපාලන ආණ්ඩු සමයේදී තමාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩූ පැවරීම දේශපාලනිකව පලි ගැනීමේ අරමුණින් සිදු කර ඇති බවට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ජනාධිපති කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

මෙම පැමිණිල්ලට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක , හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර මෙන්ම එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබුවා .

පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේ ගම්මන්පිල මහතා කොමිසමට ලබාදී ඇති සාක්ෂියට අනුව ඔහු ව්‍යවස්ථාදායකයේ නියෝජිතයෙකු බව පෙනී යන බවයි.

ඒ අනුව කොමිෂන් සභා ආඥා පනතේ 7(සී) වගන්තිය අනුව සිය සේවාදායකයා කොමිෂන් සභාව හමුවට කැඳවීමට බලයක් නොමැති බව ශිරාල් ලක්තිලක මහතා පෙන්වා දුන්නා.

ඊට කොමිසමේ දැඩි විරෝධය එල්ල වූ අතර කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සදහන් කළේ චම්පික රණවක මහතා කොමිසම හමුවට කැදවීමට බලය ඇති බවයි.

ඒ පිළිබඳව තර්ක කිරීමෙන් වලකින්නැයි කොමිෂන් සභාව වගඋත්තරකාර පාර්ශවයට දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියා.

මෙම පැමිණිල්ලටම අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හරස් ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා.

ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විමසා සිටියේ “2018 ජුනී 18 මාගේ සේවාදායකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔබතුමාට මම යෝජනා කරනවා කාර්යක්ෂමතාවයෙන් සහ දැඩි හදිසියකින් මේ ආකාරයට කටයුතු කළේ ඔබ වෙත පැමිණි දේශපාලන බලපෑමක් මත කියලා.”

“එම යෝජනාව වචනයක් වචනයක් නෑරම මම ප්‍රතික්ෂේප කරනවා ස්වාමිනි. මේ පරීක්ෂණ කටයුත්තට අදාළ කටයුතු වලදී මම කිසිදු ආකාරයකින් බලපෑමට ලක් වෙලා නැහැ.” පූජිත් ජයසුන්දර මහතා පිළිතුරු දුන්නා.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය පිහිටුවීම සම්බන්ධයෙන් කොමිසම ජයසුන්දර මහතාගෙන් කරුණු කිහිපයක් විමසූ අතර ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීමට මතකයක් නොමැති බවයි.

මේ අතර ගම්මන්පිල මහතාගේ පැමිණිල්ලට අදාළ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා කොමිසම නිකුත් කළ නොතීසි නොසලකා හරින බවට නිරීක්ෂණය කර ඇති බැවින් ඔහු කොමිසම මගහැරි පුද්ගලයෙකු බවට වාර්තා කිරීමට තීරණය කළ බව කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළා.

***************************************

වගා හානි පමණක් නොව ජීවිත තර්ජනයක් දක්වාම දිග්ගැස්සුණු වන අලි ගැටලුව තවමත් අපේ රටේ නොවිසඳුණු ගැටලුවක්.

රාත්‍රී කාලයේ පමණක් නොව දිවාකාලයේ පවා ගම්වදින මේ වන අලි රංචු හේතුවෙන් මහකුඹුක්කඩවල ප්‍රදේශවාසීන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව හිරුට වාර්තා වුණා.

වන අලි ගම්වැදීම හේතුවෙන් දුෂ්කරතාවට පත් තවත් ගම්වැසියන් පිරිසකගේ මේ මැසිවිලි ඇසෙන්නේ මහකුඹුක්කඩවල, වල්පාලුව, දෙඹරගස්වැව, කොහොඹගස්වැව, පානියාමඩුව, එගොඩගොඩ ඇතුළු ගම්මාන රැසකින්.

ප්‍රදේශයේ පවුල් 1500 ට ආසන්න පිරිසක් මෙම වන අලි උවදුර නිසා බරපතල ලෙස පීඩාවට පත්ව සිටිනවා.

ගම්වාසීන් චෝදනා කරන්නේ, රාත්‍රී කාලයේ පමණක් නොව දිවාකාලයේ පවා ගම්වදින වන අලි රංචු හේතුවෙන් තම භවබෝග පමණක් නොව නිවාස පවා විනාශයට පත්ව ඇති බවටයි.

ගම්වදින වන අලි ප්‍රදේශයේ පොල් ගස් 1000 ට ආසන්න ප්‍රමාණයක් මෙලෙස මුළුමනින්ම විනාශයට කර තිබුණා.

අවස්ථා ගණානාවකදී තම ජීවිතවලට පවා දැඩි ලෙස තර්ජනයක්ව ඇති මෙම වන අලි ගැටලුවට තිරසර විසදුම් ඉල්ලා සිටියද එය මේ දක්වා ඉටු නොවන පොරොන්දුවක් පමණක් බවට පත්ව ඇතැයි ගම්වැසියන් චෝදනා කරනවා.

*********************************************

සහරාන් ගැන තවත් හෙළිදරව්වක්

(25.10.2020 – 15:23 +0530 – hirunews.lk/sinhala)

සහරාන් හෂීම් තම සංවිධානයෙන් නෙරපන ලද්දේ IS මතවාදය දැරීම නිසා බව ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ හිටපු සභාපතිවරයෙකු වන මවුලවි මොහොමඩ් යුසුෆ් මොහොමඩ් පවසනවා.

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඔහු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් මේ බව සඳහන් කළා.

2017 මාර්තු 10 වැනිදා කල්මුණේ අලියාර් හංදියේ ගැටුමින් පසු සහරාන් හෂීම් අතුරුදහන් වී සිටි අතර එතැන් පටන් ඔහුව කිසිලෙසකින්වත් තමන්ට සම්බන්ධ නොවුණු බව ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ හිටපු සභාපතිවරයෙකු වන මවුලවි මොහොමඩ් යුසුෆ් මොහොමඩ් තවුෆික් කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සඳහන් කළා.

NTJ හිටපු සභාපති මවුලවි මොහොමඩ් යුසුෆ් :
“සහරාන් හෂීම් විසින් IS මතවාදය අනුමත කරමින් සිදුකරන ලද ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ සිය අනුගාමිකයන් අතර බෙදා ගෙන තිබුණා.ජනතාව මේ සම්බන්ධයෙන් මට පැමිණිලි කළා.

ඒ සම්බන්ධයෙන් අපි සොයා බැලූවා. පසුව 2017 වසරේ දෙසැම්බර් මාසයේදී සහරාන් හෂිම්ව අපේ සංවිධානයෙන් නෙරපුවා. ඒ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ දෙසැම්බර් 28 හෝ 29 වැනිදා දැනුවත් කරලා තියෙනවා.2018 වසරේ ජනවාරි 01වැනිදා දිනකරන් සහ වීරකේසරී යන පුවත්පත් හරහාද දැන්වීමක් පළ කළා.”

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය :
“ඔබ වැටුප් ලබන තැනැත්තෙක් ලෙස තවුහිද් ජමාද් සංවිධානයේ කටයුතු කළා?”

NTJ හිටපු සභාපතිවරයා :
“ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ බැංකු ගිණුමක් පැවතියා. එම සංවිධනය විසින් සිදුකරන සමාජ සේවා කටයුතුවලට මෙන්ම තවුහිද් ජමාත් පල්ලිය ඉදිකිරිමේ කටයුතුද එම පරිත්‍යාග මත සිදුකෙරුණා. නමුත් අදාළ ගිණුම්වලට මුදල් පරිත්‍යාග ලැබුණු ආකාරය පිළිබඳව නම් දන්නේ නැහැ. නමුත් වියදම් සම්බන්ධයෙන් ගිණුම් පවතිනවා. ජාතික තවුහිද් ජමාත් සංවිධානයට ලොව පුර සිටින බැතිමතුන් විසින් එම ගිණුමට මුදල් පරිත්‍යාග කරන්නට ඇති. සහරාන් හෂීම් IS ත්‍රස්තවාදය අනුමත කරන්නෙක් බව මුලින් දැන සිටියේ නම් මම මෙම සංවිධානයට එක් වන්නේ නැහැ. අනික ආරම්භයේදීම සහරාන් හෂීම් සම්බන්ධයෙන් අනාවරණය වූයේ නම් ඔහුව එම සංවිධානයෙන් ඉවත් කරනවා.”

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය :
“කෙසේවෙතත් තමන් සහරාන් හෂීම්ගේ වීඩියෝ පට සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර තිබෙනවා?”

NTJ හිටපු සභාපතිවරයා :
“මම එලෙස කළේ මම එකඟවන මතවාදයන් සම්බන්ධයෙන් පමණයි. අන්තවාදය හෝ IS මතවාදය අනුමතකරන කිසිවක් මම එලෙස හුවමාරු කර නැහැ. 2017 මාර්තු මාසයේ අලියාර් හංදියේ ගැටුමින් පසු අතුරුදහන් වූ සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන පසුබිමක මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට ඔහුට පොලීසියට පැමිණ භාරවන ලෙස ඔහුගේ මවටද මම දැනුම් දුන්නා. ජාතික තවුහිද් ජමාත් සංවිධානය අන්තවාදයට තුඩු දෙන සංවිධානයක් නොවෙයි. සහරාන් ත්‍රස්තවාදියෙක් වූණාට මා දිහා එලෙස බලන්න එපා. අල්ලා දෙවියන්ගේ නාමයෙන් දිවුරනවා මම එවැන්නකට සහය දුන්නේ නැහැ.”

සභාපති විනිසුරුවරයා :
“අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය සිදුවන විට ඔබ කොහෙද සිටියේ?”

(NTJ හිටපු සභාපතිවරයා) :
“මම පල්ලියේ හිටියේ‍.”

සභාපති විනිසුරුවරයා :
“සහරාන් අන්තිමට කතා කළේ කවදාද?”

(NTJ හිටපු සභාපතිවරයා) :
“අන්තිමට දුටුවේ අලියාර් හංදියේ ගැටුම දවසේ.”

සභාපති විනිසුරුවරයා :
“සහරාන් මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට ඔබ දැනගත්තේ කවදාද?”

(NTJ හිටපු සභාපතිවරයා) :
“ප්‍රහාරයෙන් දවස් දෙකකට පස්සේ. මගේ නිවසට CID සහ TID අය ඇවිල්ලා සහාරන්ගේ හිස හඳුනාගන්න පුළුවන්ද කියල ඇහුවා. මම තමයි එය හඳුනාගත්තේ.”

සභාපති විනිසුරුවරයා :
“බෝම්බය පිපිරුවට පස්සේ තවුහිද් ජමාද් පල්ලියට පැමිණි බැතිමතුන් මොනවද කිව්වේ?”

(NTJ හිටපු සභාපතිවරයා) :
“ඇත්තටම මෙයාද ඒක කළේ කියලා ඒ අයට බයක් ඇති වුණා. සහාරන්ට අසභ්‍ය වචනයෙන් ඔවුන් බැණ වැදුණා. ඒවා මට මේ කොමිසම හමුවේ ප්‍රකාශ කරන්න බැහැ.”

සභාපති විනිසුරුවරයා :
“ඔබ කිව්වා ගිණුම්වලට මුදල ආපු විදිහක් දන්නේ නැහැ කියලා?”

(NTJ හිටපු සභාපතිවරයා) :
“අපේ හැඟීමක් තිබෙනවා ඉස්ලාම් දහමේ දකුණු අතින් කරන උදව්වක් වම් අත දැනගන්න අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා ලොව පුර සිටින බැතිමතුන් මුදල් පරිත්‍යග කරන්න ඇති.”

සභාපති විනිසුරුවරයා :
“සහරාන් වැඩකරලා තිබෙන්නේත් දකුණු අත කරන දෙය වම අත දැනගන්නේ නැති විදිහටද?”

(NTJ හිටපු සභාපතිවරයා) :
“එහෙම නැහැ. සහරාන් ගැන මුල් අවස්ථාවේදීම දැනගත්තා නම් ඔහුව සංවිධානයෙන් ඉවත් කරනවා.”

+++++++++++++

***************************************

අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය හෝ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ සේවය කරන අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ කිසිදු නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.

ඒ අනුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බවට පැතිර යන පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර, කොරෝනා ආසාදිත ආරක්ෂක අංශ නිලධාරියෙකු හමුවී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයකින් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අග්‍රාමාත්‍යවරයා සහභාගි වන බාහිර උත්සව වල පූර්ව ආරක්ෂක කටයුතු පිළිබඳ සූදානම් කිරීම්වලට අදාළව පමණක් සම්බන්ධ වන එම නිලධාරියා, ඔක්තෝම්බර් 17 වනදා සිට සේවයට වාර්තා කර නොමැති බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සදඟන් ෴

+++++++++++++++

කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ගාල්ල තැපැල් දුම්රිය හැර අද (25) රාත්‍රියේ ධාවනය වීමට නියමිත අනෙකුත් සියලු තැපැල් දුම්රිය අවලංගු කිරීමට තීරණය කළ බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා ෴

+++++++++++++++

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දඹාන ආදිවාසී ගම්මානය සංචාරකයන් සහ ජනතාව සඳහා තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා ෴

++++++++++++++++

(25.10.2020 – 13:33 +0530 – sinhala.adaderana.lk)

නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති තවත් පොලිස් බලප්‍රදේශ 15 කට රුපියල් 5000 දීමනාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.

ඒ අනුව පවුල් 464,254 ක් සඳහා ලබාදීමට රුපියල් කෝටි 232 කට අධික මුදලක් ඇස්තමේන්තුකර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

පළමු අදියර යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය හා වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශ සඳහා රුපියල් 5000 දීමනාව මේ වනවිට ගෙවා අවසන්කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 3702 ක් නිරෝධායනයට යොමුකර ඇති අතර එම පවුල් සඳහා අවශ්‍ය වියළි ආහාර ලබාදීමට ද පියවරගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.

ළමා නිවාස, වැඩිහිටි නිවාස සහ ආර්ථික දුෂ්කරතා ඇති පිරිවෙන් සඳහා වියළි ආහාර ලබාදීමට රුපියල් මිලියන 16 ක මුදලක් වෙන්කර තිබේ ෴

++++++++++++++

***************************************

මන්නාරම මඩු ප්‍රදේශයේදී කිසියම් ද්‍රව්‍යයක් පුපුරා යාමෙන් කුඩා දරුවන් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙනවා.

තම මිත්තණිය සමග නිවස ආසන්නයේ දර කැඩීමට ගිය අවස්ථාවක හමුවූ උපකරණයක් සමග දරුවන් සෙල්ලම් කිරීමේදී පිපිරීම සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

තුවාල ලබා ඇත්තේ ඉරනඉලුප්පෙයිකුලම් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 12 ක් සහ 10 ක් වයසැති ළමුන් දෙදෙනෙක් (2).

ඔවුන් වව්නියාව රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කර ඇත්තේ යුද සමයේ අත්හැර දමා ගිය අත් බෝම්බයක් වැනි යමක් පිපිරී මෙම ළමුන් තුවාල ලබන්නට ඇතැයි සැක කරන බවයි.

සිද්ධිය පිළිබඳ මඩු පොලිසිය පරීක්ෂණ සිදුකරනවා ෴

***************************************

(25.10.2020 – 15:49 +0530 – sinhala.adaderana.lk)

හොරණ මුවපට්ටිය සහ ඕවිටියාගල ප්‍රදේශවල ජනතාවට තවදුරටත් හිවලුන් (නරින්) ගෙන් තර්ජන එල්ල වෙමින් පවතී.

එම ජනතාව තවදුරටත් ඉන් පීඩාවට පත්ව ඇති බවට ආසන්නතම සිදුවීම ඊයේ (24) වාර්තා වූයේ හිවලෙකු ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් අල්ලා ගැනීමත් සමඟ ය.

හොරණ මහඋඩුව ප්‍රදේශයේ සැරිසරමින් ප්‍රදේශවාසීන්ට හානි කිරීමට තැත්කළ හිවලෙකු ප්‍රදේශවාසීන් විසින් මෙලෙස අල්ලා වනජීවී නිලධාරීන්ට භාරදීමට කටයුතු කර තිබුණි.

එලෙස අල්ලාගත් හිවලා තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයෙන් ගසක ගැටගසා තිබුණි.

මෙම හිවලා පසුගිය දින කිහිපය පුරා ප්‍රදේශයේ සැරිසරමින් ප්‍රදේශවාසීන් සපාකෑමට තැත්කළ බව ප්‍රදේශවාසීන් පවසයි.

පසුව ප්‍රදේශවාසීන්ගේ දැනුවත් කිරීම මත එහි පැමිණි බෙල්ලන්විල වනජීවී කාර්යාලයේ නිලධාරීන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ හිවලා රැගෙනයාමට කටයුතුකර තිබේ.

කෙසේවෙතත් පවතින හිවල් උවදුර සම්බන්ධයෙන් දැනුම්දීමට දුරකථන අංකයක් හඳුන්වාදී තිබුණද ඉන් අවශ්‍ය අවස්ථාවල ප්‍රතිචාරයක් නොමැති බවට ගම්වාසීන් චෝදනා කරයි.

*********************************************

ජනවාරි මාසයේ සිට තහනමට ලක්වන භාණ්ඩ

(25.10.2020 – 13:39 +0530 – sinhala.adaderana.lk)

පරිසරයට හානිදායක වන ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන රැසක් 2021 ජනවාරි මස පළමුවනදා සිට තහනම් කිරීමට තීරණයකර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

ඒ යටතේ පී.ඊ.ටී (PET) සහ පී.වී.සී (PVC) ඇසුරුම් තුළ රසායනික ද්‍රව්‍ය හෝ කෘමිනාශක ද්‍රව්‍ය ඇසුරුම් කිරීම තහනම් වන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඊට විකල්ප ලෙස වීදුරු හෝ වෙනත් අමුද්‍රව්‍යවලින් යුත් නිෂ්පාදන ඇසුරුම් භාවිත කළ හැකි බව සඳහන් වේ.

එමෙන්ම මිලිමීටර් 20 හෝ ග්‍රෑම් 20 ට අඩු පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත සැෂේ පැකට් තහනම්කර ඇති අතර ආහාර හා ඖෂධ සඳහා ඒවා භාවිත කිරීම තහනම් නොවන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

බැලුන් සහ දියමත පාවෙන සුළං පුරවන ලද භාණ්ඩ හැර ප්ලාස්ටික්වලින් සාදන ලද සුළං පුරවන ලද විවිධ සෙල්ලම් භාණ්ඩ තහනම් කෙරෙන අතර විකල්ප ලෙස පරිසර හිතකාමී හා සෞඛ්‍යාරක්ෂිත අමුද්‍රව්‍යවලින් යුත් නිෂ්පාදන භාවිත කළ හැකිය.

මීට අමතරව සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා යොදාගන්නා ද්‍රව්‍ය හැර ප්ලාස්ටික් ‘කොට්න් බඩ්’ තහනම් කිරීමට ද පියවර ගෙන තිබේ.

මේ අතර සියලුම ප්ලාස්ටික් නිෂ්පාදනයන් හි ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර වශයෙන් නිර්දේශිත ප්ලාස්ටික් හඳුනාගැනීම සඳහා 1-7 දක්වා අංකනය මත ඛේත ක්‍රමයක් සඳහන් කිරීම ද අනිවාර්ය වන බව පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Speaker at the Parliament. Excellent example, corruption starts from the TOP. Get rid of this traitor before the country becomes “ARAJIKA”. This time people would not tolerate this kind corruption and nepotism. He was a UNP stalwart one time, was n’t he. Now recognize a King Frog and the cause of downfall of Mahinda government. Don’t let the rot get in, nip in the bud Mr president.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *