පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මියයාමේ සිද්ධියට පොලිස් සැරයන්වරයෙක් ඇතුලු 8 ක් අත්අඩංගුවට

පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මියයාමේ සිද්ධියට පොලිස් සැරයන්වරයෙක් ඇතුලු 8 ක් අත්අඩංගුවට

අද (17) සොයාගත් හෙරොයින් සුබයිරෝ සුමේධගේ බවට තහවුරු වෙයි

බදියුදීන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම ගැන අදත් විවිධ අදහස්

පාඨලී, පූජිත් සහ ඉලංගකෝන්ට දේශපාලන පළිගැනීම් කොමිසමෙන් සිතාසි

ඊයේත් (17) නව ආසාදිතයින් 121 ක්

*********************************************

පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මියයාමේ සිද්ධියට පොලිස් සැරයන්වරයෙක් ඇතුලු 8 ක් අත්අඩංගුවට

(18.10.2020 – 07:36 +0530 – hirunews.lk/sinhala)

පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගයෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු ඇතුලු සැකකරුවන් අටදෙනෙකු (8) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත තවදුරටත් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වන බවයි.

පොල්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු පසුගිය 11 වනදා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළවයි.

අත්අඩංගුවේ සිටියදී හදිසියේ අසනීප වූ ඔහු, පූගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රාගම රෝහලට මාරුකර යැවුණා.

එහිදී මෙම පුද්ගලයා මියගොස් තිබූ අතර, ඔහුගේ බිරිඳ පොලීසියට පැමිණිලි කර තිබුණේ තම සැමියාට අත්අඩංගුවට ගත් දින රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පහරදී තිබූ බවටයි ෴

*********************************************

අද (17) සොයාගත් හෙරොයින් සුබයිරෝ සුමේධගේ බවට තහවුරු වෙයි

(17.10.2020 – 20:13 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අපරාධ කොට්ඨාසයට භාරයට ගත් ප්‍රබල අපරාධ කල්ලි නායකයෙකු වන ‘සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත’ හෙවත් ‘මාකඳුරේ මධූෂ්’ හෙළි කළ තොරතුරුවලට අනුව සොයාගත් හෙරොයින් තොගය මුස්ලිම් ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සුබයිරෝ සුමේධ’ගේ බවට තහවුරු වී තිබෙනවා.

ඒ, එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සහ ‘මාකඳුරේ මධුෂ්’ එකිනෙකට මුණගස්වා සිදුකළ ප්‍රශ්න කිරීම්වලදියි.

එම සැකකරුගෙන් ලද තොරතුරකට අනුව හෙරොයින් කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් පසුගියදා සොයාගනු ලැබුවා.

ඒ සැකකරු තවත් සැකකරුවන් තුන් දෙනෙකු (3) සමඟ මෙරටින් පළා යෑමට සූදානමින් සිටි අවස්ථාවේදීයි.

එහිදී සැකකරු සන්තකයේ තිබී ටී-56 ගිනි අවි 03 ක් සහ පතොරම් 170 ක ප්‍රමාණයක්ද සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ඒ අනුව ‘මාකඳුරේ මධූෂ්’ගෙන් ලද තොරතුරු මත අද (17) සොයාගෙන ඇත්තේ එම සැකකරුට අයත් හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක්.

වසර එකහමාරකට (1½) ආසන්න කාලයක් රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි ‘මාකඳුරේ මධුෂ්’ ඊයේ (16) කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදෙනු ලැබුවා.

ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහායි.

ඩුබායි හි සාදයකට සහභාගි වී සිටියදී එරට පොලිසිය පසුගිය වසරේ පෙබරවාරි පස්වනදා (05) අත්අඩංගුවට ගත් ‘මාකඳුරේ මධූෂ්’ අනතුරුව මෙරටට එවා තිබූ අතර, කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුව පසුගිය වසරේ මැයි 05 වනදා සිය භාරයට ගනු ලැබුවා.

මේ අතර, පොලිසිය අත්අඩංගුවට ගැනීමට යාමේදී හෙරොයින් ගිල දැමීම නිසා ජීවිතක්ෂයට පත්වූ බව කියන කාන්තාවගේ සිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (17) පස්වරුවේ ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රේමරත්න තිරානගම මහතා සිදුකරනු ලැබුවා.

ඇයගේ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකෙරුණු අතර, එහි වාර්තාව හෙට (18) නිකුත් කිරීමට නියමිතයි.

මෙම කාන්තාව අත්අඩංගුවේදී මියයාමට විරෝධය පළ කරමින් හික්කඩුව – කලුපේ ප්‍රදේශයේ ජනතාව හික්කඩුව පොලිස් ස්ථානය ඉදිරිපිට ඊයේ (16) පස්වරුවේ විරෝධතාවකද නිරත වුණා.

ඔවුන් එහිදී ප්‍රකාශ කර සිටියේ අදාළ කාන්තාවට සිදුවූ පහරදීමක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවටයි.

*********************************************

බදියුදීන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම ගැන අදත් විවිධ අදහස්

(17.10.2020 – 21:05 +0530 – hirunews.lk/sinhala)

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති උපදෙස් ලැබී අදට (17) දින 4 ක් ගතවුවද තවමත් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී නැහැ.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාව ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශයට මාරුකර යවා තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක වරයා ලෙස පත් කර ඇත්තේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතායි.

රජයේ මුදල් අවභාවිත කිරිම ඇතුළු චෝදනා යටතේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් නියෝගයක් නිකුත් කළේ පසුගිය 13 වැනිදායි.

පොලිස් කණ්ඩායම් 06 ක් සැකකාර මන්ත්‍රීවරයා සොයා එදිනම මෙහෙයුම් ආරම්භ කළ නමුත් මේ දක්වා ඔහු අත්අඩංගුවට ගැනීමට සමත් වී නැහැ.

මේ අතර, රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාව නීතිපතිවරයා සිය දෙපාර්තමේන්තුවට පසුගිය 15 වැනිදා කැඳවුවා.

එහිදී නීතිපතිවරයා සඳහන් කළේ නීතිපති උපදෙස් සහ අධිකරණ නියෝග හෑල්ලුවට ලක් නොකර කටයුතු කරන ලෙසයි.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත් කර තිබෙනවා.

ඒ අනුව එම තනතුරේ මෙතෙක් කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ආර්.පී.ජේ. ද අල්විස් මහතා මාරු කර යවා ඇත්තේ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂක වරයා ලෙසටයි.

මේ අතුරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්නේ මහතා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් අද (17) සිදුකළා.

බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් අදත් (17) විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

*********************************************

පාඨලී, පූජිත් සහ ඉලංගකෝන්ට දේශපාලන පළිගැනීම් කොමිසමෙන් සිතාසි

(18.10.2020 – 07:03 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක, හිටපු පොලිස්පතිවරුන් වන එන්.කේ ඉලංගකෝන් සහ පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට ලබන 20 වනදා දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි ඊයේ (17) සිතාසි නිකුත් කෙරුණා.

ඒ, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළවයි.

1997 වසරේදී ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකසා ඕස්ට්‍රේලියාවේ බ්‍රයන් ජෝන් ෂැඩික් නැමැත්තාට අයත් සමාගම් කොටස් විකුණා ඇති බවට ව්‍යාජ සාක්ෂී ගොනු කරමින් යහපාලන ආණ්ඩු සමයේදී තමාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩූ පැවරීම දේශපාලනිකව පලි ගැනීමේ අරමුණින් සිදු කර ඇති බවට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ජනාධිපති කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

ඔහු සදහන් කළේ බ්‍රයන් ජෝන් ෂැඩික් නැමැත්තාගේ ඇටර්නී බලකරු ලෙස පෙනී සිටි ලසිත පෙරේරා නැමැත්තා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර සාධාරණයක් ඉටු කරන්නැයි 2015 ජූනී 17 වැනිදා එවකට සිටි පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

එම පැමිණිල්ලට අදාළ විමර්ශන ආරම්භ වන තුරු බ්‍රයන් ජෝන් ෂැඩික් ඔහු සතු සමාගම් කොටස් පිළිබඳව මෙන්ම මුදල් පිලිබදව වසර 18 ක් පුරා කිසිම ආකාරයකින් තමාගෙන් විමසා නොමැති බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

2015 ජනාධිපතිවරණයේදී තමා පාඨලී චම්පික රණවක ලේකම් ධුරය දැරූ ජාතික හෙළ උරුමයෙන් ඉවත් වී පිවිතුරු හෙළ උරුමය නමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර මහින්ද රාජපක්ෂට සහයෝගය පළ කිරීම මෙම පදනම් විරහිත නඩු පැවරීමට හේතු වූ බවයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ.

ඔහු පැවසුවේ එවකට සිටි පොලිස්පතිවරුන් වන එන් කේ ඉලංගකෝන් මෙන්ම පූජිත් ජයසුන්දර ඔහුගේ සමීපතමයකු වන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ මෙවන් සිල්වා සහ නීතිපති දෙපාර්තමේන්තුව ද තමාට එරෙහිව මෙම පදනම් විරහිත නඩු පැවරීමට යොදා ගෙන ඇති බවයි.

විදේශිකයෙකුට තමා මුදල් වංචා කර ඇති බව පවසමින් තමාගේ කීර්තී නාමයට අගතියක් සිදු කල පිරිස සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොමිසමෙන් ඉල්ලීමක් කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඊයේ (17) පස්වරුවේ දේශපාලන පලි ගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණියා. ඒ සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩී. එස්. ජයවීර කළ පැමිණිල්ලකට අදාළවයි.

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කල දේශීය සංචාරකයන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩු සමයේදී අසත්‍ය චෝදනා ගොනු කර නඩු පැවරීම දේශපාලනිකව පලි ගැනීමේ චේතනාවෙන් සිදු කර ඇති බවටයි ඩී.එස්. ජයවීර කොමිසමට පැමිණිලි කර තිබුණේ ෴

*********************************************

ඊයේත් (17) නව ආසාදිතයින් 121 ක්

(18.10.2020 – 07:09 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (17) දෙදහස ඉක්මවා ගියා.

ඒ, අනුව ඊයේ (17) දිනයේ එම පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් 115 දෙනාත් සමඟ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 2014 ක්.

එම පොකුරේ ඊයේ (17) වාර්තා වූ ආසාදිතයන්ගෙන් 24 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩලයේ අය වන අතර, සෙසු 91 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් වනවා.

එසේම, විදේශ රටවල සිට දිවයිනට පැමිණ නිරෝධානයට ලක්වෙමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකුද ඊයේ (17) ආසාදිතයින් ලෙස හඳුනාගත්තා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ විදේශ රටවල සිට පැමිණි නාවිකයින් 04 දෙනෙක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 5,475 ක් ලෙසයි.

ඉන් පුද්ගලයින් 2,067 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

ඊයේ (17) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පුද්ගලයින් දසදෙනා (10) ද ඇතුළුව මේ වනවිට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,395 ක්.

පවතින තත්ත්වය හමුවේ කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ පෞද්ගලික අංශයට යොමු කිරීම තුළින් වැරදි වාර්තා නිකුත් විය හැකි බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය පවසනවා.

එහි සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ රජයේ රෝහල් හරහා අදාළ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි කළමනාකාරීත්වයක් සිදු නොකරන බවයි.

මේ අතර, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මහජනතාවට අවශ්‍ය වන සියලු තොරතුරු ලබාගැනීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 1999 ක්ෂණික දුරකතන අංකය අමතා අදාළ තොරතුරු ලබාගත හැකි බවයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ එස්.ශ්‍රීධරන් මහතා ප්‍රකාශ කළේ.

මෙම ක්ෂණික දුරකතන අංකය හරහා වෛරසය ආසාදනය වීම වළකා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මෙන්ම එය පවුලේ සෙසු සාමාජිකයින් ඇතුළු පිරිස් වෙත බෝවීම වළක්වා ගන්නා ආකාරය පිළිබඳවද උපදෙස් ලබාගත හැකි වනවා.

යම් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හැඟී යන්නේ නම් කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම දුරකතන අංකය හරහා භාෂා තුනෙන්ම තොරතුරු ලබාගත හැකියි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ දැනට වාර්තා වන සියලු කොරෝනා ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථානවල හෝ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය හරහා ආසාදිතයින් වූ පුද්ගලයින් බවයි ෴

++++++++++++++++

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19 කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය අද (18) දිනයේත් බල පැවැත්වෙනවා.

එමෙන්ම, අදාළ ප්‍රදේශවල ඔසුසැල් සහ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන තවදුරටත් වසා තැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

මේ අතර, ගැසට් පත්‍රයේ සඳහන් වන පරිදි නව සෞඛ්‍ය රෙගුලාසි දිවයින පුරාම දැඩිව ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සිටින පුද්ගලයින්ද මුඛ ආවරණ පැළඳීම, මීටරයක දුර පවත්වා ගැනීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කළා ෴

***************************************

පරිසරයට හානි සිදුකරන්නන්ට ලබාදෙන දඬුවම් දැඩි කරමින් පරිසර පනත සංශෝධනයට ලක් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

පානදුර ප්‍රදේශයේ ඊයේ (17) පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම සංශෝධන සැකසීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි ෴

***************************************

18 October 2020 – 7:53

ක්‍රිස්තු වර්ෂ 1600 දී පමණ ඉදිකරනු ලැබූ බවට සැලකෙන හඟු‍රන්කෙත පල්ලෙමළුව රජ මාලිගාවේ පාදම සොයාගත් බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පුරාවිද්‍යා නිලධාරීන් පවසන්නේ මහනුවර යුගයට අයත් මෙම නටඹුන් ඔස්සේ මහනුවර යුගයේ ඉතිහාසයට අයත් සැඟවුණු තොරතුරු රැසකට මඟ පාදා ගත හැකි බවයි.

හඟු‍රන්කෙත ප්‍රදේශයේ පල්ලෙමළුව රජ මාලිගාව පිහිටා ඇති මෙම භූමි ප්‍රදේශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරින් හදුනාගෙන තිබෙන්නේ 1992 වසරේදීයි.

ඉතිහාස ලේඛන සාක්ෂි සපයන්නේ හඟු‍රන්කෙත පල්ලෙමළුව රජ මාලිගාව 1803 වසරේදී පමණ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් ගිනි තබා විනාශ කර ඇති බවයි.

පසුව ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍ය ජනතාව රජ මාලිගාව අවට ඉඩම් අත්පත් කර ගෙන තිබෙනවා.

රජ මාලිගා සංකීර්ණය අවට පැවති නටඹුන් මෙම ප්‍රදේශයේ ඇති ඉදිකිරීම්වලට යොදාගෙන ඇති අයුරුද දැකගත හැකියි.

කෙසේ වෙතත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය කාලය පුරා සාමාන්‍ය ජනතාවට මෙම ඉඩම්වල ඉදිකිරීම් සම්බන්ධව සීමා පැනවු අතර, වර්තමාන රජය යටතේ මෙහි පුරාවිද්‍යාත්මක කැණීම්ද ආරම්භ කෙරුණා.

එම කැණීම්වලදී පල්ලෙමළුව රජ මාලිගාවේ පාදම, බිත්ති ආදී ගොඩනැගිල්ලේ වැදගත් නටඹුන් කිහිපයක් හමුව තිබෙනවා.

***************************************

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය නිසා ඉන්දියාවේ නිෂ්පාදනය අඩාලවීම හේතුවෙන් මෙරට තේ නිෂ්පාදනය සඳහා ඉහළ මිලක් හිමිවී තිබෙනවා.

විශේෂයෙන් චීන සහ රුසියානු තැරැව්කරුවන් මෙලෙස ශ්‍රී ලංකා තේ වැඩි වශයෙන් මිලදී ගැනීමට පෙළඹී ඇති බවයි වාර්තාවන්නේ.

රුසියාව මේ වනවිට තේ තොග රැස් කරන්නේ එළඹෙන ශීත ඍතුව ඉලක්ක කරගෙනයි.

කෙසේ නමුත් ගෝලීය වසංගතය හේතුවෙන් මෙවර ශීත ඍතුව සඳහා බොහෝ රටවලින් ලැබෙන ඇනවුම් අඩු වී ඇති බව සඳහන්.

පසුගිය තේ වෙන්දේසියේදී තේ කිලෝග්‍රෑම් මිලියන 5.3 ක් අලෙවි වූ අතර, ප්‍රමිතිය පවත්වාගැනීම සඳහා වතු යායන් හි තබා අලෙවි කළ තේ තොගය කිලෝග්‍රෑම් හයලක්ෂයක් ෴

***************************************

18 October 2020 – 09:05

මරදාන – සංඝරාජ මාවතේදී බස් රථයක් ගිනිගෙන තිබෙනවා.

කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ සිය නිලධාරීන් එම ස්ථානයට ගොස් ගින්න නිවා දැමීමට කටයුතු කළ බවයි.

මෙය පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් වන අතර, ගින්නෙන් කිසිවෙකුටත් හානියක් නැහැ.

***************************************

ග්ලයිෆොසේට් තහනම් වල් නාශක පැකට් තොගයක් ළඟ තබාගත් සැකකරුවන් තුන්දෙනෙකු (3) නොරොච්චෝලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ (17) සිදුකළ වැටලීමකදියි.

ග්‍රෑම් 100 බැගින් ඇසුරුම් කළ ග්ලෆොසේට් පැකට් 797 ක් මෙලෙස සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ නොරොච්චෝලේ ප්‍රදේශයේ පවත්වාගෙන යන ගොවිපලවලට යෙදීම සඳහා මොවුන් තහනම් වල්නාශක තොගය ළඟ තබාගෙන සිට ඇති බවටයි ෴

***************************************

තලවකැලේ නගරයේ පිහිටි සිල්ලර වෙළඳසැලක් ගින්නකින් විනාශවී තිබෙනවා.

අද 18 අලුයම මෙම ගින්න හටගෙන ඇති අතර විදුලි කාන්දුවක් ඊට හේතුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

පැතිර යමින් තිබූ ගින්න තලවකැලේ ලිඳුල නගර සභාවේ ගිනි නිවීම් ඒකකය ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව නිවා දමා තිබෙනවා.

අලෙවි කිරීමට තිබූ ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ රැසක් ගින්නෙන් විනාශවී ඇති අතර සිදුවූ අලාභය තක්සේරු කර නැහැ.

තලවකැලේ පොලිසිය පරීක්ෂණ සිදුකරනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *