කොරෝනා වෛරසයේ සමාජ ව්‍යාප්තියක් තවමත් නැහැ – සෞඛ්‍ය ඇමතිනිය කියයි

කොරෝනා වෛරසයේ සමාජ ව්‍යාප්තියක් තවමත් නැහැ – සෞඛ්‍ය ඇමතිනිය කියයි

FCIDය නීත්‍යානුකූල නොවන බව රනිල් පිළිගනී

සහරාන්ගේ සැලසුමක් ගැන පාස්කු කොමිසමේදී හෙළිවෙයි

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 2000 සීමාව පසු කරයි – කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 12 ක් ඇතුලු 53 ක් නිරෝධායනයට

*********************************************

කොරෝනා වෛරසයේ සමාජ ව්‍යාප්තියක් තවමත් නැහැ – සෞඛ්‍ය ඇමතිනිය කියයි

(17.10.2020 – 08:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය මෙරට සමාජ ව්‍යාප්තියක් දක්වා තවමත් වර්ධනය වී නොමැති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

ඒ අද (17) උදෑසන ‘හිරු ටී වී’ ඔස්සේ විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින්.

මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් දැනට වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1901 ක් වනවා. ඒ අනුව මෙරටදී වාර්තාවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 5,354 ක් ලෙසටයි.

පිටකොටුව – මැනිං වෙළඳ සංකීර්ණයේ එක් වෙළඳසැලක සේවකයෙකුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනයවීමත් සමඟ පසුගියදා පී.සී.ආර්. පරික්ෂණ සිදුකළ එම වෙළඳපොලේ පුද්ගලයන් 153 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවයි. කොළඹ නගරය ආශ්‍රිතව අද දිනයේදීත් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කෙරෙනවා.

මේ අනුව කොළඹ මැනිං වෙළඳපොලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව කොළඹ මැනිං වෙළඳ සංගමයේ උප සභාපති නිමල් අත්තනායක මහතා කියා සිටියා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිත බවට පළමු පී.සී.ආර්. පරීක්ෂණයෙන් තහවුරු වූ කොළඹ මහ නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සහකාරවරියට එම වෛසරය ආසාදනය වී නොමැති බවයි ඊයේ (16) සිදුකළ දෙවන පී.සී.ආර්. පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ.

මෙම තත්ත්වයත් සමඟ ඇයට ඉදිරියේදී තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළා.

එසේම ඌව – වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි සිසු සිසුවියන් 38 දෙනාගෙන් කිසිවෙකුට හෝ කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා කියා සිටියා.

එසේම ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් අද (17) දිනයේ පුද්ගලයින් 198 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගොස් තිබෙනවා.

අද (17) දිනයේ වැඩිම පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත්තේ පම්පෙමඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වන අතර, එම සංඛ්‍යාව 50 ක්.

පුද්ගලයින් 53,395 දෙනෙකු මේ වනවිට නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර, මධ්‍යස්ථාන 86 ක් තුළ තවදුරටත් පුද්ගලයන් 9,415 දෙනකු නිරෝධායනය වෙමින් සිටින බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතරගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19 කට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

***************************************

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ තනතුරේ සිට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස මාරුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය අනුව පොලිස්පතිවරයා විසින් මෙම ස්ථානමාරුවීම් ලබාදී තිබෙනවා.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස් ත්‍රස්ත විමර්ශන හා විමර්ශණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස මාරුකර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.තල්දූව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස මාරුකර ඇති අතර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.කේ. කරුණාකළගේ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස පත් කර ඇති බව සඳහන්.

ඒ අනුව පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව සේවයේ අවශ්‍යතාව මත නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස්දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් අටදෙනෙකු, සහකාර පොලිස් අධිකාරීවරුන් හතරදෙනෙකු, ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 18 දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස ස්ථාන මාරුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ෴

***************************************

වසර එකහමාරකට (1½) ආසන්න කාලයක් රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිට ඊයේ (16) කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදුන් ප්‍රබල අපරාධ කල්ලි නායකයෙකු වන ‘සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත’ හෙවත් ‘මාකඳුරේ මධූෂ්’ ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් රුපියල් කෝටි 10 ක හෙරොයින් සොයාගෙන තිබෙනවා.

විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ හෙරොයින් කිලෝ 10 ක් කොටිකාවත්ත ප්‍රදේශයේ තිබී අද (17) උදෑසන සොයාගත් බවයි.

ඒ අනුව මෙම හෙරොයින් තොගය සම්බන්ධයෙන් තවදුරටත් ‘මාකඳුරේ මධුෂ්’ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව ද එම උසස් නිලධාරියා සඳහන් කළා.

ඩුබායි හි සාදයකට සහභාගි වී සිටියදී එරට පොලිසිය පසුගිය වසරේ පෙබරවාරි පස්වනදා අත්අඩංගුවට ගත් ‘මාකඳුරේ මධූෂ්’ අනතුරුව මෙරටට එවා තිබූ අතර, කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුව පසුගිය වසරේ මැයි 05 වනදා සිය භාරයට ගනු ලැබුවා ෴

*********************************************

FCIDය නීත්‍යානුකූල නොවන බව රනිල් පිළිගනී

(17.10.2020 – 12:34 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හෙවත් FCID ය පිහිටුවීමේ ගැසට් නිවේදනය නීත්‍යානුකූල නොවන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (16) පිළිගත්තා.

ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා කළ පැමිණිල්ලකට අදාලව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (16) පස්වරුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට පැමිණියා.

ඔහු සඳහන් කළේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ සංයුතිය සහ ක්‍රියාකාරිත්වය ඇතුලත් ලේඛනය සකස් කළේ දූෂණ මර්දන කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ජනාධිපති නීතීඥ ජේ.සී. වැලිඅමුණ බවයි.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පිහිටුවීමට අදාළ කැබිනට් පත්‍රිකාව හිටපු අගමැතිවරයාගේ අවධානයට යොමු කරමින් පැමිණිල්ලේ නීතීඥවරයා සදහන් කළේ, පොලිස් ඒකකයක් පිහිටුවීමට කැබිනට් පත්‍රිකාවෙන් මගපෙන්වීම ලබාදී ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරයාට බවයි.

එහෙත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පිහිටුවීමට අදාල ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ අමාත්‍යාංශ ලේකම් විසින් නොව පොලිස්පතිවරයා විසින් බව නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඊට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ඒ බලය තිබෙන්නේ පොලිස්පතිවරයාට බවයි.

අනතුරුව පැමිණිල්ලේ නීතීඥවරයා හිටපු අග්‍රාමාත්‍යවරයාට පොලිස් ආඥා පනතේ 55 වන වගන්තිය උපුටා දක්වමින් ප්‍රකාශ කළේ අදාළ වගන්තිය යටතේ පොලිස්පතිට වෙනත් ඒකකයක් පිහිටු වීමේ බලයක් ලබාදී නොමැති බවයි.

එම කරුණු සලකා බැලූ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න පනතේ නැති බලයක් යටතේ ක්‍රියා කර ඇති බව සදහන් කළා.

පැමිණිල්ලේ නීතීඥවරයා ‍යළි පෙන්වා දුන්නේ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ පොලිස් ආඥා පනතේ 55 වන වගන්තිය යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිට වූ බවයි.

එහෙත් එම වගන්තියෙන් එවැනි බලයක් ලබා දී නොමැති බවද නීතිඥවරයා ප්‍රකාශ කළා.

“‍බලයක් නැත්නම් නැහැ”‍ යනුවෙන් හිටපු අගමැතිවරයා පිළිතුරු දුන්නා.

මේ අතර යහපාලන රජය සමයේදී ස්ථාපනය කළ දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ වියදම් සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් රුපියල් මිලියන 33.7 ක් වියදම් කර ඇති බව රනිල් වික්‍රමසිංහ කොමිසම හමුවේ පෙරේදා සාක්ෂි ලබාදෙමින් පිළිගත්තා.

දූෂණ මර්දන කමිටු කාර්යාලයේ නිලධාරින් 44 දෙනෙකුට වැටුප් සහ දීමනා ලබාදීම වෙනුවෙන් එම මුදල වැය කර ඇති බවට සාක්ෂි කොමිසමට ඉදිරිපත් වී ඇති බවයි සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේ.

*********************************************

සහරාන්ගේ සැලසුමක් ගැන පාස්කු කොමිසමේදී හෙළිවෙයි

(17.10.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

ස්වයංඝාතකයින් 20 දෙනෙකු යොදා ගනිමින් පාස්කු දින ප්‍රහාරය එල්ල කිරීමට සහරාන් සැලසුම් කර තිබූ බව පාස්කු ප්‍රහාරය පිලිබඳව සොයා බැලෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පළමු වරට අනාවරණය වුණා.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස නිලධාරීයෙකු ප්‍රකාශ කළේ, පළමු ප්‍රහාරයෙන් පසුව අදියර 3 ක් යටතේ ප්‍රහාරයන් රැල්ලක් සිදුකිරීමට සූදානම් වී සිටි බවට අත්අඩංගුවට ගත් සහාරාන්ගේ කණ්ඩායමේ සමාජිකයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස නිලධාරීයෙකු ඊයේ (16) ප්‍රකාශ කළේ, 2019 වසරේ මාර්තු මාසය වනවිට ජාතික තහ්විද් ජමාත් සංවිධානයේ නායක සහාරාන් හෂීම් සහ නවුෆර් මවුලවි අතර නායකත්වය වෙනුවෙන් ගැටුමක් හට ගෙන තිබූ බවයි.

මෙම ගැටුම නිරාකරණය කිරීමට 2019 වසරේ මාර්තු 27 වැනිදා කොච්චිකඩේ දේවස්ථානයේ බෝම්බකරු වූ අලහුදීන් අහමඩ් මුවාඩ් සහ දෙහිවල බෝම්බය පුපුරවාගත් ජමීල් ඊට මුල්ව කටයුතු කළ බවද ඔහු කොමිසම හමුවේ පැවසුවා.

එම දිනයේදී ගල්කිස්ස දුම්රිය පොළ අසළදී ඔවුන් දෙදෙනා මෝටර් රථයකින් පැමිණ සහාරාන්ගේ කණ්ඩායමේ තවත් තිදෙනෙකු (3) එම ස්ථානයෙන් නංවා පානදුර පරත්ත පාරේ පිහිටි සහාරාන්ගේ ආරක්ෂක නිවස වෙත මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගොස් තිබෙනවා.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස නිලධාරීයා එම අවස්ථාවේදී ආරක්ෂක නිවස තුළ සහරාන් සහ කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බකරු වන අච්චියාර් මොහොමදු හස්තූන් සිට ඇති බවත් හෙළිවුණා ස්වාමීනි.

***************************************

නරක් වූ ටින්මාලු තොගයක් නිසා බංගදෙණිය ප්‍රදේශයේ ජනතාව අපහසුතාවට

(17.10.2020 – 13:07 +0530 – hirunews.lk/sinhala)

බංගදෙණිය ප්‍රදේශයට බැහැර කර ඇති නරක් වූ ටින්මාලු තොගයක් නිසා ප්‍රදේශවාසීන් දැඩ් අපහසුතාවයකට පත්ව තිබෙනවා.

මෙම ටින්මාලු තොගය බැහැර කර ඇත්තේ පශු සම්පත් මණ්ඩලයේ ගොවිපළට අයත් භූමියකටයි.

පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ බංගදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෙළ බොජුන් හළ ආසන්නයේම පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මාටින් ගොවිපල පිහිටා තිබෙනවා.

එම ගොවිපලට සත්ව ආහාර ලෙස ගෙන ආ ටින්මාලු කන්ටේනරයක් හේතුවෙන් ප්‍රදේශය පුරා දින කිහිපයකට සිට දුර්ගන්ධයන් පවිතන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

පවතින අධික දුර්ගන්ධය හේතුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෙළ බොජුන් හලේ ව්‍යාපාරික කටයුතු වලටත් බාධා එල්ල වී තිබෙනවා.

බොජුන් හලේ ව්‍යාපාරිකයින් සිදු කළ දැනුම් දීමකට අනුව මෙම ස්ථානයට හලාවත පොලීසියද පැමිණියා.

එහිදී පොලීසිය කළ දැනුම් දීමකට අනුව ටින් මාලු තොගය වලදැමීමටයි කටයුතු කළේ.

නමුත් එම ප්‍රදේශයේ තවමත් දුර්ගන්ධය හමන නිසා බොජුන්හලේ ව්‍යාපාරිකයින්, ප්‍රදේශවාසීන් සහ පරිසර සංවිධාන එක්ව අදත් හලාවත පොලීසියේ පැමිණිල්ලක් සිදු කිරීමට නියමිත බව අප වාර්තාකරු සඳහන් කළා.

මේ පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම අපහරණ අංශයෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක් සඳහන් කළේ සත්ව ආහාර ලෙස යොදා ගත හැකි ද්‍රව්‍ය තමන් වෙත ලබා දෙන ලෙස පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගින් කර තිබූ ඉල්ලීමකට අනුව ටින්මාලු කන්ටේනර් දෙකක් (2) එම ස්ථානයට යොමු කළ බවයි.

ඇය වැඩි දුරටත් සඳහන් කළේ එම කන්ටේනර් විවෘත්ත කිරීම සිදු කරන්නේ රේගු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අදාල ස්ථානයට ගෙන යාමෙන් අනතුරුව බවයි.

එහිදී එක් කන්ටේනරයක තිබූ ටින්මාලු සත්ව ආහාර ලෙස භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව තිබූ බව හෙලි වී තිබෙනවා.

එබැවින් එම ටින් මාලු තොගය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් අනුව වලදැමීමට උපදෙස් දුන් බවයි ඇය සඳහන් කළේ.

***************************************

මේ කරුවලගස්වැව නවගත්තේගම හරහා මීයැල්ලාව දක්වා වූ කිලෝමීටර් 19 ක දුරකින් යුත් මාර්ගයේ ඔල්ලුක්කුලියේ සිට එරබදුගස්වැව දක්වා වූ කොටසයි.

කිලෝමීටර් 5 ක දුරකින් යුත් මෙම කොටස අවස්ථා ගණනාවකදී සංවර්ධනය කිරීමට මුල පිරුවද අද වන විටත් එය ඉටු නොවන පොරොන්දුවක් බවට පත්ව ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

එකල එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යධුරයක් දැරූ පාලිත රංගේ බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් මාර්ගයේ ප්‍රතිසංස්කරණයන් සදහා ප්‍රතිපාදන වෙන් කෙරුණුද එයින්ද කිසිදු ඵල ප්‍රයෝජනයක්වී නැහැ.

අධිවේගී මාර්ග ආදිය රට පුරා ඉදිවන යුගයක ප්‍රධාන මාර්ගයක් වූ මෙම මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කර දෙන තුරු ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

දරුවන් යනු මව්පියන්ට මෙලොව ඇති වටිනාම සම්පතයි.

දරුණු රෝගී තත්ත්වයකින් පීඩා විඳින සිය දරුවා සුවපත් කර ගැනීමට වෙහෙසෙන මාපිය යුවළක් පිළිබඳව මේ පුවත වාර්තා වුණේ වනාතවිල්ලුව ප්‍රදේශයෙන්.

වනාතවිල්ලුව, මොරපතාව ප්‍රදේශයේ පදිංචි චන්දන සහ චන්ද්‍රිකා යුවළට දාව උපත ලැබූ මෙම දැරිය මොරපතාව ප්‍රාථමික විද්‍යාලයේ 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියා.

නමුත් ඇස්වල ඇතිවූ ආබාධයක් හේතුවෙන් මව්පියන් විසින් ඇයව වෛද්‍යවරුන් වෙත යොමු කර කෙරෙනු අතර, ඇය බරපතළ රෝගී තත්ත්වයකට මුහුණ දී සිටින බවට අනාවරණ වී ඇත්තේ මීට මාස 4 කට පමණ පෙරයි.

රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මේ වනවිට දැරියගේ පෙනීම සම්පූර්ණයෙන් අහිමි වී ඇති බවත්, වාරු නොමැති තත්ත්වයක් හටගෙන ඇති බවත් බවත් මව්පියන් පෙන්වා දෙනවා.

දැරිය සතිපතා මහරගම අපේක්ෂා රෝහලට රැගෙන යාමද මෙම යුවළට දැඩි අසීරුතාවක් වී ඇත්තේ, පවතින තත්ත්වය හමුවේ චන්දනට රැකියාවක නිරතවීමට ඉඩප්‍රස්ථා නොමැති වීම හේතුවෙන්.

මෙම ආර්ථික අපහසුතාවල තවත් ප්‍රතිඵලයක් වී ඇත්තේ, පවුලේ අනෙක් දරුවන් දෙදෙනාගේ පාසල් ගමනද අවසන් වීමයි.

පවතින තත්ත්වය සළකා බලා සිය දියණිය සුවපත් කර ගැනීමට උපකාර වන ලෙස චන්දන සහ චන්ද්‍රිකා යුවළ ඉල්ලා සිටිනවා.

***************************************

විදේශ සේවයට පත්වූ නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හතරදෙනෙකු (4) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස පත්වූ මොහාන් පීරිස්, චීනයේ නව තානාපති ආචාර්ය පාලිත කොහොන, ජපානයේ නව තානාපති සාජිව් ගුණසේකර යන මහත්වරු ඊයේ (16) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමුවූ බවයි එම මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

එමෙන්ම ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස පත්වූ සී ඒ චන්ද්‍රප්‍රේම මහතා ද එහිදී අග්‍රාමාත්‍යවරයා හමුවී තිබෙනවා.

විදෙස් තානාපති සේවයට යන මෙම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සුබපැතුම් එක් කළ අතර, ඔවුන් තම තානාපති සේවාවන් සඳහා නොබෝ දිනකින් විදෙස්ගතවීමට නියමිතයි ෴

***************************************

අභාවප්‍රාප්ත ප්‍රවීන වේදිකා, ටෙලි නාට්‍ය සහ සිනමා රංගන ශිල්පිනි අනුලා බුලත්සිංහලගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17) පස්වරු 04:30 ට සිදුකිරීමට නියමිතයි.

ඒ, බොරැල්ල පොදු සුසාන භූමියේදීයි.

දේහය මේ වනවිට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති අතර, දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් ඇතුලු රසික රසිකාවියන් විශාල පිරිසක් පැමිණ සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

***************************************

ශ්‍රී ලංකාවෙන් පිටව යන සියලුම ගුවන් මගීන් තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත පී.සී.ආර්. පරීක්ෂණය සිදුකරගෙන තිබීම අනිවාර්ය බව ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම නිවේදනය කරනවා.

හෙට (20) පස්වරු 6 සිට මෙය ක්‍රියාත්මක බවයි ඔවුන් නිවේදනය කළේ ෴

***************************************

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැය තුනක (3) පමණ කාලයක් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදී ඉන් පිටව ගොස් තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා සාක්ෂි ලබාදීම සඳහා එම කොමිසම වෙත පැමිණියේ අද (17) හතරවන (4) දිනටයි.

අද (17) පෙරවරු 10 ට පමණ එහි පැමිණි හිටපු ජනාධිපතිවරයා පස්වරු එකට (01:00) පමණ සාක්ෂි ලබාදී ඉන් පිටව ගිය බව හිරු වාර්තාකරු සඳහන් කළා.

ලබන ඔක්තෝම්බර් 22 වනදා යළි කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට එහිදී හිටපු ජනාධිපතිවරයාට දැනුම්දී තිබෙනවා.

***************************************

17 October 2020 – 16:15

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයන් 73 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව වාර්තාවූ ආසාදිතයන්ගෙන් දෙදෙනෙකු (2) නිරෝධායන මධ්‍යස්ථානවල සිටින මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ ආශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩල සාමාජිකයින් වනවා.

අනෙකුත් 71 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අද (17) වාර්තාවූ ආසාදිතයන් 73 දෙනා සමඟින් මේ වනවිට බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1972 ක් ෴

***************************************

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අයෙකු භාවිත කළ බව කියන වෑන් රථයක් සමඟ එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශනයක් අනුව කාත්තන්කුඩි පොලීසිය ඊයේ (16) මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කාත්තන්කුඩි – මඤ්ඤංතුඩුව ප්‍රදේශයේදියි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන මොණරාගල බන්ධනාගාරයේ රඳවා සිටින ‘හනීෆා මොහොමදු අක්රම්’ නැමැත්තාට අයත් වෑන් රථයක් මෙලෙස පොලීසිය භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගෙන ඇති එහි රියදුරු ඔහුගේ ඥාති සහෝදරයෙකු බව සඳහන් ෴

***************************************

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සියලුම සත්වෝද්‍යාන වසාදැමීමට තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා කියා සිටියේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මහජනතාවට ජාතික උද්‍යාන වෙත පිවිසීමේ අවස්ථාව තවදුරටත් පවතින බවයි අමාත්‍ය සී.බී. රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

‘ජනිත් මධුසංක ද සිල්වා’ හෙවත් ‘පොඩි ලැසී’ගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ‘ජනිත් නිශාන්ත’ හෙවත් ‘තනි ඇටයා’ නැමැත්තා ගාල්ල බන්ධනාගාරයේ සිට බස් රථයකින් රැගෙන ඒමේදී ඝාතනය කිරීම සඳහා කර තිබූ සැලැසුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ, පසුගිය 15 වැනිදා එම දෙපාර්තමේන්තුව භාරයට ගත් ‘පොඩි ලැසී’ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීයි.

ඒ සඳහා උපයෝගී කර ගැනීමට නියමිතව තිබූ ලොරි රථයක්, මෝටර් රථයක් සහ මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක්ද ඊයේ (16) සහ අද (17) දිනවලදී පොලිස් භාරයට ගැනුණා.

ඒ, මීටියාගොඩ, උණවටුන සහ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලදීයි.

බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණය වෙත රැගෙන ඒමේදී අත්අඩංගුවට ගත් ලොරි රථය හරස් කර බන්ධනාගාර බස් රථයේ සිටින ‘ජනිත් නිශාන්ත’ හෙවත් ‘තනි ඇටයා’ ඝාතනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

අදාළ ලොරි රථය පොඩි ලැසීගේ සමීපතමයෙකු වන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින ‘විහඟ සම්පත්’ගේ නමින් ලියාපදිංචි කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

‘විහඟ සම්පත්’ එම දෙපාර්තමේන්තුව භාරයේ සිටින්නේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් භාරයට ගත් මත්කුඩු තොගයක් කොළඹට රැගෙන ඒමේදී ඉන් කොටසක් හික්කඩුව ප්‍රදේශයට ගෙන ගොස් තිබීම සම්බන්ධයෙන් ෴

***************************************

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මහජනතාවට අවශ්‍ය සියලු තොරතුරු ලබා ගැනීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 ක්ෂණික අංකහ අමතන ලෙසටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම්දෙන්නේ.

ඒ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මෙන්ම වෛරසය ආසාදනය වුවහොත් එය තම පවුලේ සාමාජිකයන් ඇතුලු සෙසු පිරිස් වෙත බෝවීම වළක්වා ගන්නා ආකාරය පිළිබඳ උපදෙස් ද මෙම අංකයට ඇමතීමෙන් ලබාගත හැකියි.

අදාළ රෝග ලක්ෂණ සමග තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හැගී යන්නේ නම් කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග දැන ගැනීමට සහ අවශ්‍ය සහය ලබාගැනීමට වහාම මෙම අංකය අමතන ලෙසටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම්දෙන්නේ.

සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සේවාව ලබාගත හැකි අතර වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් අදාළ උපදෙස් ලබාදීමට මෙම සේවාව සමග සම්බන්ධ වී සිටිනවා.

1999 ක්ෂණික දුරකථන අංකය සමග ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ පැය 24 පුරා සම්බන්ධ වීමට මහජනතාවට පහසුකම් සලසා තිබෙනවා ෴

*********************************************

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 2000 සීමාව පසු කරයි – කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 12 ක් ඇතුලු 53 ක් නිරෝධායනයට

(17.10.2020 – 19:07 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් නව ආසාදිතයන් 115 දෙනෙකු අද (17) දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තාවීමත් සමඟ එම පොකුරෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 2000 සීමාව පසුකර ගියා.

මේ වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 2014 ක්.

මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 5,475 ක් ලෙසටයි.

ඉන් පුද්ගලයින් 2,067 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

කෙසේ වෙතත්, අද (17) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පුද්ගලයින් දසදෙනාද (10) ඇතුළුව මේ වනවිට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,395 ක් වීමද විශේෂත්වයක්.

මේ අතර, කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වීමත් සමඟ එම රෝහලේ වෛද්‍යවරුන් 12 දෙනෙකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 53 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

මෙම තත්වයත් සමඟ කුලියාපිටියේ ඌරුපිටිය හා ගයියාල යන ප්‍රදේශවලට සංචාරක සීමා පැනවීමට කටයුතු කළ බවයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

කොළඹ නැව් තටාකාංගණයේ සේවය කරන ගාල්ල – කිතුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටද කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර, ඔහු ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිත බවට පළමු පී.සී.ආර්. පරීක්ෂණයෙන් තහවුරු වූ කොළඹ මහ නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සහකාරවරියට එම වෛසරය ආසාදනය වී නොමැති බවයි ඊයේ (16) සිදුකළ දෙවන පී.සී.ආර්. පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොරෝනා මර්දනයට උරදෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කරගත යුතු බවයි.

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිය සමිති නායකයින් සමඟ අද (17) සෞඛ්‍ය අමාත්‍යාශයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.

මේ අතර, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සියලුම සත්වෝද්‍යාන වසාදැමීමට තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා කියා සිටියේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මහජනතාවට ජාතික උද්‍යාන වෙත පිවිසීමේ අවස්ථාව තවදුරටත් පවතින බවයි අමාත්‍ය සී.බී. රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම, ශ්‍රී ලංකාවෙන් පිටව යන සියලුම ගුවන් මගීන් තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත පී.සී.ආර්. පරීක්ෂණය සිදුකරගෙන තිබීම අනිවාර්ය බව ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම නිවේදනය කරනවා.

හෙට (18) පස්වරු 6 සිට මෙය ක්‍රියාත්මක බවයි ඔවුන් නිවේදනය කළේ.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19 කට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව සතොස අලෙවිසැල් හරහා අවදානම් කළාපවල ජනතාව වෙනුවෙන් භාණ්ඩ ලබාදීම සඳහා ප්‍රමුඛතාව ලබාදී ඇති බව සතොස සභාපති නුෂාඩ් එම් පෙරේරා මහතා සඳහන් කළා.

***************************************

මීගමුව ප්‍රදේශයේ විදුහලක උසස් පෙළ තර්ක ශාස්ත්‍ර ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිදුව ඇතැයි පැවසෙන වංචාව පිළිබඳ විභාග දෙපාර්තුමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අදාළ විදුහලේ විදුහල්පතිවරයා විසින් උසස් පෙළ විභාගය අතරතුරදී පිටස්තර පුද්ගලයකුගෙන් දුරකතනය ඔස්සේ සහය ලබා ගනිමින් සිසුන්ට උත්තර පත්‍රය ලිවීමට සහයෝගය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන්.

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා කියා සිටියේ අදාළ ගැටලුව පිළිබඳව විමර්ශන සිදුකිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට භාරදිය යුතු බවටයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *